IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සරසවි ඇතුළේ මොකද වෙන්නේ?

   14-Page-18-M-10 

 

ඔබ සැලසුම් කරන්නේ එක් වසරකට පමණක් නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට හැකිතාක් අධ්‍යාපනය ලබාදෙන්න. අප්‍රිකානු ජන කියමනයක එසේ සඳහන් වෙයි.


මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා යැයි හඳුන්වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ මැති සභයේ සිටි ඇතැම්හු ඊට තදින්ම  විරුද්ධත්වය ප්‍රකාශ කරමින් -“මෙහෙම යද්දි අපට ගහකට නග්ගගන්නවත් කොල්ලෙක් ඉතුරු වෙන එකක් නැහැ” යනුවෙන් සඳහන් කළ බව කියැවේ.


නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එදාමෙන්ම අදත් විවිධ මතභේද ඇතිවිය. කෙසේ නමුත් තවමත් අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර නිදහස් ප්‍රවේශයක් තුළ ක්‍රියාත්මක වේ. 

SLD_20170115_A018
නිතර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අප විමසුමක යෙදුනෙමු. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට අදාළව අප සිදුකළ තොරතුරු විමසා බැලීම්වල දී ශිෂ්‍ය ප්‍රජාව විසින් සැපයූ තොරතුරු හා විශ්වවිද්‍යාල ඉහළ පාලනාධිකාරිය ලබාදුන් පිළිතුරු මෙසේ සටහන් වේ.
සංගීත පිඨයේ ශිෂ්‍ය හර්ෂක අබේසිරිවර්ධන දැක්වූ අදහස් මෙසේය:


-සංගීත පීඨයේ බොහෝ අධ්‍යයන අංශවල සිසුන්ට සංගීත භාණ්ඩ නිසි ආකාරව සැපයෙන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ නඩත්තු නොකළ සංගීත භාණ්ඩවලින් පුහුණුවීම් කටයුතු කිරීම ඉතාම අපහසුයි. එවැනි අවස්ථාවල මුදලට සංගීත භාණ්ඩ මිලදී ගෙන පුහුණුවීම් සිදුකිරීමට ශිෂ්‍යයන්ට සිදුවෙනවා. 
මේ සියල්ල සමග මූල්‍ය අර්බුදයන්ට පවා ලක්වීමට ශිෂ්‍යයන්ට සිදුවී තිබෙනවා. අමතර රැකියාවක් සඳහා කාලය යෙදවීමට පවා නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුවී තිබෙනවා. එයට හේතුව සියයට අසූවක දේශන සහභාගිත්වය අනිවාර්ය කිරීමයි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සපයා ඇති නිර්ණායකයන්ට අනුව දේශනවලට ආචාර්යවරු පැමිණියත් නොපැමිණියත් ශිෂ්‍යයන්ට දේශනවලට සහභාගිවීමට සිදුවෙනවා.


සෞන්දර්ය කලා විෂය ක්ෂේත්‍රවල දී සටහන් කේන්ද්‍රිය දේශන නොවන නිසා ශිෂ්‍යයාගේ පෙනී සිටීම අවශ්‍ය වෙන කාරණයක්. නමුත් ඇතැම් විෂයයන්වලට අනිවාර්යයෙන් පෙනී සිටීම ගණනය කිරීම සාධාරණ නැහැ. ආර්ථික දුෂ්කරතා සහිත බොහෝ ශිෂ්‍යයන් අමතර රැකියාවල නිරත වෙලා තම වියදම් සොයා ගන්නවා. සියයට අසූවක දේශන සහභාගිත්වය නිර්දේශ කළාට එවැනි කිසිවකට යොමුවෙන්න බැහැ. ඇතැම් අවස්ථාවල පහසුකම් සපයා ගැනීමට හැකිවුවත් විෂයයට නිපුණ ඊට අදාළ ආචාර්යවරුන්ගේ දායකත්වය දේශනවලට ලැබෙන්නේ නැහැ.


සමස්තයක් විදිහට සඳහන් කළාම සෙන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බොහෝ අධ්‍යයන අංශවලට ඒ ඒ ක්ෂේත්‍රවලට නිපුණ ආචාර්යවරුන් නැහැ. අපේ රටේ සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැළකෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. එම විශ්වවිද්‍යාලයට අවශ්‍ය ආචාර්යවරුන් නැහැ. ශිෂ්‍යයන් බඳවා ගැනීමේ අඩුපාඩුකම් පසුගිය කාල සීමාවේ වැඩිපුරම දක්නට ලැබෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීම කියන්නේ අසීරු කාර්ය භාරයක්. උසස් පෙළ සෞන්දර්ය විෂය හදාරණ ශිෂ්‍යයන් අතරින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්නේ අතිශය සීමිත පිරිසක්. ඒ ලැබෙන අවස්ථාව තුළත් දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණදීමට සිදුවීම කනගාටුවට හේතුවක්.

14-Page-18-M-02
අපි ඉතාම දුක් මහන්සියෙන් විශ්විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරද්දි මුදල් හදල් ඇති අය ඉන්දියාවට ගොස් අප හදාරණ උපාධිය ඉතා පහසුවෙන් මුදල් කුට්ටියක් වියදම් කරලා ලබාගන්නවා. නැවතත් ඔවුන් අපේ රටට ඇවිත් අපත් සමඟ ගැටෙනවා. මොකද අපි හැමදෙනාම අධ්‍යාපනය අවසන් කරලා වෘත්තිය ක්ෂේත්‍රයකට ප්‍රවේශවීමට බලාපොරොත්තුවෙන් සිටින අය දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න අයත් මුදල් වියදම් කරලා ඉගෙන ගන්න අයත් රැකියාව වෙනුවෙන් එකට ගැටෙනවා. දක්ෂතාවය හැකියාව ප්‍රදර්ශනය කිරීමට තිබෙන අවස්ථාවන් සීමා වෙනවා.


සෞන්දර්ය කලා ක්ෂේත්‍රයට ලැබෙන අවස්ථා බොහෝමයක් අඩුවෙලා තිබෙනවා. රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන අධ්‍යාපන රටාව ඇතුළේ සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයෙත් අධ්‍යාපනය ලබන සිසුන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙලා තිබෙනවා. 


සංගීත ක්ෂේත්‍රයන්ට අදාළ පර්යේෂණ නව නිර්මාණ කරන අය බොහෝමයක් අපේ විශ්වවිද්‍යාලය තුළත් ඉන්නවා. නමුත් ඒවාට ලැබෙන අවස්ථා අවමයි. විශ්වවිද්‍යාලය ආශ්‍රිතව රාත්‍රි කාලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නේවාසිකගාරවලට ගියාම පුහුණුවීම් කටයුතු කරන්න ඉඩකඩ නැහැ. මහ ගොඩනැගිලි පිරුණු කොළඹ මැද්දේ ශිෂ්‍යයෝ අසරණ වෙනවා. 


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සතු ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරය තුළ ශිෂ්‍යයන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබා නොදෙන බව ශිෂ්‍යයෝ අප සමඟ පැවැසූහ. -චිත්‍ර කලාව, මූර්ති කලාව වැනි විෂය ක්ෂේත්‍රයන්ගෙන් උපාධි පාඨමාලා හදාරණ සිසුන්ට සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා කලාගාරය භාවිතා කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය ඉඩ ලබාදෙන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයට කිසිසේත්ම සම්බන්ධ නැති අය කලාගාරයට ඇවිත් විවිධ ප්‍රිය සම්භාෂණ පවා පවත්වනවා. එවැනි පිටස්තර පුද්ගලයන් කිසිදු සුපරීක්ෂාකාරී බවකින් තොරව කටයුතු කිරීම නිසා කලාගාරය සතු සම්පත් විනාශවී යනවා.


පසුගිය දවසක කලාගාරය ඇතුළත උපන්දින සාදයක් පවා පැවැත්වුනු බවට තොරතුරු අපට ලැබුණා. ශිෂ්‍යයෝ කලාගාරය ඉල්ලුවාට පරිපාලන අංශයෙන් කලාගාරය ලැබෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලය සතු සම්පත් ශිෂ්‍ය ප්‍රයෝජනයට ලබා නොදීම ගැන අප පරිපාලන අධිකාරියට අපගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කරනවා.

14-Page-18-M-03
විශ්වවිද්‍යාලයේ මුර්ති කලා අධ්‍යයන අංශයට රෙදිපිළි හා ඇඟලුම් කලා අධ්‍යයන අංශයට, බහු ශික්ෂණාත්මක නිර්මාණ සැලසුම් අධ්‍යයන අංශයට හා සෙරමික් කලා විෂය අධ්‍යයන අංශවලට ඒ ක්ෂේත්‍රවලට ප්‍රවීණයන්ගෙන් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම විෂයයන් හැදෑරීම බොහෝ ශිෂ්‍යයන් විසින් අතහැර දමා යන තත්ත්වයට පත්වී තිබෙනවා.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් නිර්නායකවලට අනුව අධ්‍යයන අංශයක ප්‍රධානියා විය යුත්තේ මහාචාර්යවරයෙක්. නමුත් ඉහත සඳහන් කළ අධ්‍යයන අංශවලට මහාචාර්යවරු නැහැ. එවැනි අධ්‍යයන ක්ෂේත්‍රවල කටයුතු හැදෑරීම නිද්‍රා සහගත තත්ත්වයට පත්වෙලා තිබෙනවා. සංගීත පීඨයේ මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙනවා. ආචාර්යවරු නැහැ කියන්නේ ශිෂ්‍යයන්ට සිදුවන බලවත් අසාධාරණයක්. විභාග කෙසේ හෝ පැවැත්වුණත් දැනුම නිසි ආකාරයෙන් නොලැබීම නිසා ක්ෂේත්‍රයට පිවිසීමේ ගැටලු මතු වෙනවා. ඒ සියල්ල විශ්වවිද්‍යාල පරිපාලනයේම ගැටලු නෙවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වහාම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.


නියමිත තරම් ප්‍රමාණවත් ආචාර්යවරු දේශනවලට සහභාගි නොවෙන අවස්ථාවලදී දේශන සඳහා බාහිර කථිකාචාර්යවරු පැමිණෙනවා. පිටස්තර කථිකාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දේශන ගැන ළමුන් තුළ හොඳ ආකල්පයක් නැහැ. ඒවායේ යම් යම් පරස්පරතාවයන් තිබෙනවා. ඇතැම් අවස්ථාවල සංගීත පීඨයේ උපදේශකයින් පවා දේශන පවත්වනවා. උපදේශකවරුන් කියන්නේ සංගීත සංදර්ශනවලදී වාද්‍ය සහාය ලබාදෙන පිරිස් ඒ අයත් ඇතැම් විට දේශන පවත්වනවා. 


අප සමඟ අදහස් දැක්වීමට එක්වූ දෘෂ්‍ය කලා පීඨයේ දිනේෂ් මදුරංග ශිෂ්‍යයා දැක්වූ අදහස් මෙසේය:


විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගෙන් සියයට දෙකක තුනක ප්‍රමාණයකටයි මහපොළ ශිෂ්‍ය ආධාරය ලැබෙන්නේ. මහපොළ ශිෂ්‍ය ආධාර ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ නිවසේ වාර්ෂික ආදායම ලක්ෂ තුනට වඩා අඩුවීමයි. වසරකට ලක්ෂ තුනක ආදායමක් ලබන පවුලක මාසික වියදම කොපමණද? වාර්ෂිකව ලක්ෂ පහ හයක් උපයන පවුලක් වුණත් ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්. එවැනි පවුල්වල දරුවන් තුන් හතර දෙනෙක් සිටියොත් ඒ සියලු දෙනාටම මුදල් බෙදී යනවා. 


සෞන්දර්ය කලාව වැනි විෂය ක්ෂේත්‍ර ඇතුළත අධ්‍යයන පර්යේෂණ බහුලව යෙදෙනවා. එවැනි දේවලට මුදල් සපයා ගන්න ඉතා අපහසුයි. අවසන් වසර අධ්‍යයන පර්යේෂණවලට විශාල මුදලක් වැයවෙනවා. විශ්වවිද්‍යාලයෙන් ඒ සඳහා යම් මුදලක් ලැබුණත් එය කිසිසේත්ම අධ්‍යයන පර්යේෂණවලට ප්‍රමාණවත් නැහැ.


දෘෂ්‍ය කලා පීඨයේ චිත්‍ර කලා අධ්‍යයන අංශයේ මූර්ති කලා අධ්‍යයන අංශයේ සිසුන්ට පින්සල්, පැන්සල්, වර්ණක, කැන්වස් ආදිය සඳහා විශාල මුදලක් වැයවෙනවා. චිත්‍ර අඳින පින්සල් සමහර ඒවා රුපියල් දෙසියය තුන්සියටත් මිලදී ගැනීමට අපහසුයි. පින්සල් පැන්සල් ආදිය විශ්වවිද්‍යාලය මගින් යම් ප්‍රමාණයක් ලබාදෙනවා. ඒ ලබාදෙන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඇතැම් නව විෂය ක්ෂේත්‍ර හදාරණ සිසුන්ට එම සීමිත ප්‍රමාණයවත් ලැබෙන්නේ නැහැ. රෙදිපිළි හා ඇඟලුම් කලාව, සෙරමික් කලාව වැනි නව විෂය ක්ෂේත්‍රවලට ප්‍රවේශ වෙන්න සිසුන් බයක් දක්වනවා. ඊට හේතුව එම විෂයයන් හැදෑරීමට තම තමන්ම මුදල් සපයාගන්න සිදුවීමයි. කැමැත්ත හා අවශ්‍යතාවය බහුලව තිබුණත් ශිෂ්‍යයෝ එම විෂය ක්ෂේත්‍රවලට යොමු වෙන්නේ නැහැ.

14-Page-18-M-01
මෝස්තර නිර්මාණ ප්‍රදර්ශනයක් කරන්න නම් ශිෂ්‍යයෝ තමන්ගේ තනි වියදමෙන් අදාළ මුදල් ගෙවාගෙන එම නිර්මාණ කටයුත්ත කරන්න වෙනවා. බහු ශික්ෂණාත්මක නිර්මාණ සැලසුම්කරණයේදීත් මේ තත්ත්වය බලපානවා. ඒ කෙසේ වෙතත් සෞන්දර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙකුට මූර්තියක් කැටයමක් නිර්මාණය කර ගැනීමට පිරිවැයක් දරාගත හැකි මට්ටමකවත් නැහැ. 


විශ්වවිද්‍යාලය මගින් ලබාදී තිබෙන නේවාසිකාගාර පිහිටා තිබෙන්නේ විශ්වවිද්‍යාලයට බොහෝ දුරින්. මඟ වියදම් පවා දරන්න සිදුවෙන්නේ ශිෂ්‍යයන්ටමයි. රාත්‍රි සංදර්ශනයක් නැතිනම් විශේෂ උත්සව අවස්ථාවක් වගේ වෙලාවක දී ශිෂ්‍යයන්ට නේවාසිකාගාරවලට යෑමට නොහැකිව අතරමඟ බොහෝ වෙලා රැඳී සිටීමට සිදුවෙනවා. ගැහැණු ළමුන් එවැනි අවස්ථාවල බොහෝ දුෂ්කරතාවන්ට ලක්වෙනවා. වර්තමානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරින් සියයට හැටක ප්‍රතිශතයක් ගැහැනු ළමුන්. විශ්වවිද්‍යාලයට සමීපයේ නේවාසිකාගාර පහසුකම් ලබාදීමට ඉඩ පහසුකම් නොමැති බව පරිපාලන අංශයෙන් ප්‍රකාශ කරනවා. නමුත් සිසුන්ට ආරක්ෂාකාරී ප්‍රවාහන පහසුකමක් හෝ ලබාදී නැහැ. එවැනි අඩුපාඩුකම් සම්පූර්ණ කරදෙන ලෙස පරිපාලන අංශයෙන් අප ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වය මත ශිෂ්‍යාවෝ නේවාසිකාගාර අත්හැර දමා වැඩි වියදමක් දරමින් බෝඩිම් කාමරවල නවාතැන් ගන්නවා. බෝඩිම් කාමරවල රැඳී සිටීමේ දී තව දුරටත් අසීරුතාවයන්ට ලක්වෙන්න සිදුවෙනවා.


පසුගිය කාල සීමාව තුළ සිසුන්ගේ දක්ෂතාවය මත අධ්‍යයන අංශ තෝරා ගැනීමට ඉඩ ලබානොදීමේ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. පදනම් වර්ෂයේ දී විෂයයන් තෝරා ගැනීමට ඉඩ ලබා නොදි ප්‍රවේශයේදීම විශ්වවිද්‍යාලයෙන් නිර්දේශ කරන විෂය ක්ෂේත්‍රයක් යටතේ අධ්‍යාපනය හදාරන්න සිදුවුණා. ශිෂ්‍යයෝ මැදිහත්වෙලා අරගල කරලා ඒ තත්ත්වය කෙසේ හෝ මඟහරවා ගැනීමට අපට හැකියාව ලැබුණා. 


විශ්වවිද්‍යාල පරිපාලකයන් ගන්නා ඇතැම් තීරණවල දී ශිෂ්‍යයන් අපහසුතාවයට පත්වෙන අවස්ථා නිතර සිදුවෙනවා. සියයට අසූවක දේශන සහභාගිත්වය අනිවාර්ය කිරීමත් එවැනි තීරණයක්, සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයන්වලට විශේෂවේදී උපාධියක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. 


දෘෂ්‍ය කලා පීඨයේ අධ්‍යයන අංශ නවයක් තිබෙනවා. රෙදිපිළි හා ඇඟලුම් අධ්‍යයන පාඨමාලාව සෙරමික් කලාව මුද්‍රණ කලාව වැනි රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පාඨමාලාවන් කිහිපයක්ම පවතිනවා. ඒ සඳහා සිසුන් අතර වැඩි රුචිකත්වයක් පවතිනවා. නමුත් අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා නව නිර්මාණ කිරීමේදී මූල්‍ය අපහසුතාවයන්ට ලක්වීම නිසා ශිෂ්‍යයෝ අපහසුතාවයට ලක් වෙනවා. 


විශ්වවිද්‍යාලයේ ඒ ඒ අධ්‍යයන අංශවල පවතින ලිඛිත හා ප්‍රායෝගික විභාග පරීක්ෂණවලදී ලකුණු ලබාදීම් ක්‍රියාවලිය ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යාවගේ පෞද්ගලිකත්වය මත පදනම්ව සිදුවන බවද ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ චෝදනා කරති.


-විභාගවල දී ලකුණු ලබාදීමේ ක්‍රියාවලිය ගැන ගැටලු බොහෝ කාලයක සිට පවතිනවා. කෙතරම් හොඳට පර්යේෂණ නිබන්ධන කළත් වැඩි ලකුණු ලබා දෙන්නේ තෝරාගත් ශිෂ්‍යයන්ට. විභාගවලදී ඉහළ ප්‍රතිශතයක ලකුණු ලැබීම ඉදිරි වෘත්තිය ජීවිතයටත් ඍජු බලපෑමක්. නමුත් ආචාර්යවරු තමන්ගේ අභිමතය පරිදි තෝරාගන්නා සිසුන්ට ඉහළ ලකුණු ලබාදෙනවා. ආචාර්යවරුන්ට ලකුණුදීම පිළිබඳ නිදහසක් තිබෙනවා. අපි එයට බාධා කරන්නේ නැහැ. මූණ බලලා ලකුණු දෙන එක ගැන ඍජු විරෝධතාවයක් පල කරන්න බැරි ඒ නිසයි. 


සෞන්දර්ය විෂයයන්වලදී නිර්ණායක හා කොන්දේසිවලට බාහිරව ආචාර්යවරුන්ට කටයුතු කරන්න පුළුවන්. නමුත් ශිෂ්‍යයාගේ මානසික මට්ටම මත පදනම්ව ඔහුව/ඇයව ඇගයීමට ලක් කරනවා නම් වඩාත් හොඳයි. අප සියලු දෙනාම ඉහළ ප්‍රතිඵල උසස් රැකියාවක් හොඳ සමාජ මට්ටමක් හිමිකර ගැනීම සියලු දෙනාගේම අපේක්ෂාව වෙනවා. විශ්වවිද්‍යාලයේ දී සිසුන් ලබාගන්නා ඇගයීම මුළු ජීවිත කාලයටම ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ ජීවිතයට ආලෝකයක් සපයනවා.


ශිෂ්‍ය ගැටලු සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා දැක්වූ අදහස් මෙසේය.


සුභ සාධන ගැටලු ගැන ශිෂ්‍යයෝ නිතරම ඉල්ලීම් කරනවා. ඒ සම්බන්ධයෙන් වඩාත් සංවේ දී බවක් දක්වනවා. පහසුකම් ගැන කතා කරාම සීමාවක් හරිහැටි තීරණය කරන්න බැහැ. අද ප්ලාස්ටික් මේසයක් ලැබුණොත් හෙට ලී මේසයක් ඉල්ලනවා. එහෙම බැරි වුණොත් ඊළඟට වීදුරු මේසයකුත් ඉල්ලනවා. අද වෙනවිට සියයට අනූවක ශිෂ්‍ය ප්‍රජාවට නේවාසිකාගාර පහසුකම් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. නඩත්තු කටයුතු පිළිබඳව ද අවධානයෙන් පසුවෙනවා. පවතින අඩුපාඩුකම් ක්‍රමානුකූලව කාලානුරූපීව විසඳා ගැනීමට සිදුවෙනවා. 


කාලාන්තරයකට පෙර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පහසුකම් අතින් අවම මට්ටමකයි පැවතුණේ. ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතා දිනක් මා සමඟ මෙසේ පැවැසුවා. -අද ළමයින්ට හුඟක් පහසුකම් තිබුණා. අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලසීමාවේ ගහක් යටක කඩමාළු පැදුරක් එලාගෙන සංගීතය පුහුණු වුණේ. ඒ කාලේ මේ වගේ පහසුකම් තිබුණා නම් අපිට සංගීත ක්ෂේත්‍රයේ මීටත් වඩා ඉදිරි ගමනක් යන්න ඉඩ තිබුණා.


විශ්වවිද්‍යාලයේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරය ප්‍රවීණ කලාකරුවන්ගෙන් යුක්ත මණ්ඩලයක් මගින් පාලනය වෙන ස්ථානයක්. ඒක විශ්වවිද්‍යාලයට පමණක් සීමාවූ ස්ථානයක් නොවෙයි. නමුත් අපි ශිෂ්‍යයන්ගේ අවසන් වසර නිර්මාණ එළිදැක්වීමේ දී කලාගාරය භාවිත කිරීමට ඉඩ සලස්වා තිබෙනවා.
සියයට අසූවක දේශන සහභාගිත්වය පිළිබඳ ගැටලුවේ දී ශිෂ්‍යයාගේ මට්ටමින් සිතා බලා විභාගවලට සහභාගි වීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් සමහර සිසුන් දේශනවලට සහභාගි වෙන්නේ නැහැ. ඇතැම් සිසුන් විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වෙලා. ඒ අතර දක්ෂ සිසුන් ඉන්නවා. ඒ අයට අපි හැකි ආකාරයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් උදව් කරනවා. ශිෂ්‍යත්ව පවා ලබාදෙනවා.


ප්‍රශ්නකාරී තැන්වල දී මැදිහත්වීම ශිෂ්‍යයාගේ පාර්ශ්වයෙන් වරදක් නැහැ. නමුත් අධ්‍යාපන ප්‍රමුඛ ඉලක්කය කොට තබාගෙන කටයුතු කළ යුතුයි. 


සංගීත කලා පීඨයේ සිසුන්ට පර්යේෂණ කරන්න අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. නමුත් ශිෂ්‍යයෝ ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගන්නේ නැහැ. සංගීත කලා පීඨයට මහල් පහක ගොඩනැගිල්ලක් ඉදිකරලා එය නුදුරේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා. විශ්වවිද්‍යාලය මගින් අපේ රටට ජාතියට සුවිශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. අපේ රටේ කලා ක්ෂේත්‍රයට ප්‍රවීණ නිපුණ කලාකරුවන් දායාද කිරීමට අප සමත්ව තිබෙනවා. ඒ කිසිවෙකු පහසුකම් ගැන ඉල්ලා හඬ නැගූ අය නෙවෙයි. පහන් කණුව යට ඉඳන් පොත් පාඩම් කරලා ඉගෙන ගත්තු මිනිස්සු රටට සමාජයට සුවිශාල සේවාවක් ඉටුකොට තිබෙනවා. ඔවුන් විෂය පැත්තෙන් සුවිශාල කැප කිරීම් කිරීමට සමත්ව තිබෙනවා. ඒ නිසා අපේ ශිෂ්‍යයන්ට කියන්නේ අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානය ලබාදී කටයුතු කළ යුතුයි කියලා.


සංගීත කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා දැක්වූ අදහස් මෙසේය.


අපේ පීඨයේ සිසුන්ට පහසුකම් බොහෝ සෙයින් සපයා දී තිබෙනවා. තවත් කෝටි ගණනක උපකරණ ඉල්ලීම් කොට තිබෙනවා. එකවර සියලු ගැටලු විසඳන්න බැහැ. සියල්ල ක්‍රමානුකූලව විසඳාගත යුතුයි. ශිෂ්‍යයන්ගේ පාර්ශ්වයෙන් අධ්‍යයන කටයුතුවලට මීට වඩා දායකත්වයක් කැපවීමක් ඉටුවිය යුතුයි. යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.


රක්ත වර්ණයෙන් ඇඳි තීන්ත ඉරි සටහන් අතර සටන් පාඨ, කවි ලියැවී ඇත. විශ්වවිද්‍යාලයට පිවිසුම් දොරටුවේ කළුකොඩි වැල් දිස්වේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කර්ණ කටුක කොළොම්තොටේ ඉදිවූ මහරු කලා රුක්ෂයක් බඳුයැයි අපට හැඟුණේය. එයින් බිහිවූ කලාකරුවන් ශ්‍රේෂ්ඨයන්ගේ නම් අපේ රටේ කලා අඹරේ තවමත් සුදිලෙන්නේය. සියලු මතකයන් සමඟ අප විශ්වවිද්‍යාල භූමියෙන් සමුගත්තෙමු.

m

 



අදහස් (0)

සරසවි ඇතුළේ මොකද වෙන්නේ?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 87 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 404 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1030 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1519 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 456 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2097 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site