IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ස්වාර්ථය පසුපස යන දේශපාලකයෝ

ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය විධායකය සහ ව්‍යවස්ථාදායකය වශයෙන් කොටස් දෙකකි. විධායකය පූර්ණ බලතල සහිත ජනාධිපතිවරයෙකි. මහජන නියොජිතයෝ පාර්ලිමේන්තුවට පත් කර ගැනෙති. ව්‍යවස්ථානුකූල සුදුසුකම් ඇති පුරවැසියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නැත. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තවත් වසර තුනක පමණ කාලයක් තිබේ. අපේක්ෂකයන් පෙළ ගැසෙමින් සිටින බව පෙනෙන කරුණකි. දේශපාලන පක්ෂ ගණනාවක් ජනාධිපතිවරණය ආරම්භ කර ඇත. සමහරු රට හදන සැලැසුම් ඉදිරිපත් කරන අතර එය ජනාධිපතිවරණයකට බව පෙනේ. 

රටට අවශ්‍ය අලුත් ජනාධිපතිවරයකු ද යන ප්‍රශ්නය අපට ඇත. ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේ පවා ආනයනයට බාධා මතු වී ඇති කාලයකි. නොයෙක් මත තිබේ. පාලන ක්‍රමය ගැන ප්‍රශ්න තිබිය හැකිය. පටු පරමාර්ථ මුදුන් පත් කරගැනීම වෙනුවට රට ගොඩනගන්නට එකතු විය යුතුය. ජනාධිපති පුටුවේ වාඩිවීමට කලින් රට යහපත් තැනකට ගෙන එන සාමුහික ප්‍රයත්නය ගැන අවධානය යොමු කළ යුතුය. දැන් පවතින ගැටලුවලට එක පුද්ගලයකුට, එක කණ්ඩායමකට විසඳුමක් නැත. රට ස්ථාවර කරගන්නට වසර දහයකට වඩා කාලයක් ගත විය හැක. ආණ්ඩු ගණනාවක ක්‍රියාදාමයක් වනු ඇති අතර මිහිරි නැති, දුෂ්කර තීන්දු ගන්නට සිදුවේ. එම තීරණ ගන්නා ඕනෑම පාලකයකු, ආණ්ඩුවක් අද ඇති ආකාරයටම බරපතළ විවේචනවලට ගොදුරුවනු ඇති බව සඳහන් කළ යුතුය. සමාජය එකතු වී, නායකත්ව සංවිධාන ගතව අප මුහුණ පා ඇති බැරෑරුම් තත්ත්වය පාලනය කරගැනීම සුදුසුය. 

අවුල අවුලකින් අවසානයක් කර ගැනීම

රට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුට අනන්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් සිටී. එම විසඳුම් සියයට සියයක් සාර්ථක නොවෙන්නට ඉඩ ඇත. අප මුහුණ පා සිටින්නේ ලෝක ඉතිහාසයේ නොතිබුණ බරපතළ සෞඛ්‍ය තර්ජනයකටය. ජීවිත බේරා ගැනීම අභියෝගයකි. බේරාගත් ජීවිත ජීවත් කරවන පියවර එයටත් වඩා අපහසු කාරණයකි. කොවිඩ් වසංගතය සමග ආර්ථිකයේ සමහර අංශ දුර්වල වී තිබේ.

පුරුදු ජීවන රටාව වෙනස් වී ඇත. ආදායම අඩුය. ජීවන වියදම ප්‍රශ්නයකි. පහසුවෙන් ගත කරන ලද ජීවිතය වඩා දුෂ්කර තැනකය. දුෂ්කරතා වලින් මිදී අලුත් ව්‍යුහයක් ඇති කරගත යුතුය. එය පහසු නැත. කැපවීමක් අවශ්‍යය. මෙම දුෂ්කරතා හුදෙක් කොවිඩ් වසංගතයේ බලපෑමක්ම නොවේ. නිදහස ලබාගත් දිනයේ සිට අනුගමනය කළ පිළිවෙළක ප්‍රතිඵලයකි. ආදායම ඉක්මවා වියදම් කරන්නට හුරු වී තිබුණ රට හදිසි ආදායම් හිඟය මත අර්බුදයකට පත්විය. 

නැගීම හා පසුබැසීම ජීවිතයේ එක පැත්තකි. දුක සැප, ජය පරාජය ගැන බුදු දහම උගන්වා ඇත. අපගේ පැවැත්ම විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඉහළ තැනකට පැමිණ ඇත. එහෙත් මූලික සිද්ධාන්ත වලින් බැහැරවිය නොහැක. සංකීර්ණ ගැටලු වෙන්කර හඳුනාගතහොත් විසඳුමක් නිර්මාණය කරගත හැකිය. සන්සුන්ව සහ මධ්‍යස්ථභාවයෙන් ක්‍රියා කිරීම වැදගත්ය. ඈත සහ මෑත බලා තීරණ ගැනීම වගකිවයුතු නායකයන් තුළ තිබිය යුතු ලක්ෂණයකි. නායකත්වය කරා යන විශේෂිත පුද්ගලයන් තුළ උදාර පරමාර්ථ සහිත ගති ලක්ෂණ වඩාත් පිළිබිඹුවිය යුතුය. 

තනතුර වෙනුවට අනාගත පරපුර ගැන අවධානය

අද අපට සිටින නායකයෝ ජනාධිපති පුටුව දෙස බලාගෙන සිටිති. ලෝකය නිර්මාණය කළ විශිෂ්ට පුද්ගලයෝ වගකීම ඉෂ්ට කරන අතරවාරයේ තමන්ට ලැබෙන බලය, එතැනින් හිමිවන ප්‍රතිලාභ ගැන අවධානය යොමු නොකළහ. කැනඩාවේ අගමැති බ්‍රයන් මල්රෝනි 1984ත් 1993ත් අතර කාලයේ එරට ඇති වූ අර්බුදය ඉදිරියේ ක්‍රියා කළ ආකාරය මෙහි දී උදාහරණයකි. මෙරට ඇතැම් පිරිස් දැන් දියුණුවට පත් කැනඩාවේ පුරවැසිකම ගන්නට දරන ප්‍රයත්නය දෙස බලන විට ඒ හා සමාන ප්‍රයත්නයකින් ශ්‍රී ලංකාව වෙනස් කරන්නට කැපවීමකට සූදානම් නැත්තේ ඇයි ද යන ප්‍රශ්නය මතු වේ.

ආර්ථිකය බිඳ වැටුණ පසු බ්‍රයන් අගමැතිවරයා එරට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීය. වියදම කපා හැරි අතර බදු වැඩි කළේය. රාජ්‍ය අංශය සීමා කරන තීරණ ගත්තේය. පෞද්ගලීකරණය වේගවත් කළ අතර රජයේ සංවර්ධනය වෙනුවට සංවර්ධන වැඩසටන් කරන්නට ප්‍රාදේශීය පාලන ආයතනවලට බලය පැවැරීය.

විරෝධතා මැද රටවල් ගණනාවක් සමග වෙළඳ ගිවිසුම් අත්සන් කළේය. මේවා කරගෙන යන විට විරුද්ධ පක්ෂ දැවැන්ත විරෝධතා, විවේචන කළ බව පෙන්වා දිය යුතුය. ඊළඟ මැතිවරණයෙන් බ්‍රයන් අගමැතිවරයාගේ පක්ෂය ආසන දෙකට වැටුණි. බලයට පත් අලුත් ආණ්ඩුව හිටපු අගමැතිවරයාගේ තීරණ ගැන බරපතළ චෝදනා කරන අතරවාරයේ එම සැලසුම් නොනවත්වා ඉදිරියට ගෙන ගිය අතර එය ආර්ථික සංවර්ධනයකට අත්තිවාරමක් විය.

පදනමක් නිර්මාණය කරන දැක්මක් අපට නැත. වරින් වර වෙනස් වන ආණ්ඩු තිබුණ අත්තිවාරම ගලවා අලුත් අත්තිවාරමක් දමන අතර ඒවා එකලාසයක් කරගන්නා විට නිල කාලය අවසන්ය. ජනාධිපතිවරණයක් කලින් කැඳවා තමන් බලයට එන්නට කැසකවන පියවර තුළ මෙම අත්තිවාරම් හැදීම හැර අනෙක් යමක් නැත.

පරිවර්තනයක් කරන ලද ශ්‍රේෂ්ඨ පුද්ගල චරිත ඉතිහාසගත වී ඇත. තනතුර, ධනය හෝ බලය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ලෝකය වෙනස් කළ ජාතික හා ආගමික නායකයන් ගේ ක්‍රියාකාරකම් අපට ආදර්ශයකි. වෙනස් අදහස් ඇතිව කැපවීමෙන් ගමනක් ගිය නායකයන් ගැන අධ්‍යයනය කිරීම අවශ්‍යය. අපට ඇති දේශපාලනය අවුල් ඇති කරන්නට සමත්ය.

අවුල් අවුලුවා නිරවුල්භාවයක් ඇති කරගත නොහැක. පවතින ව්‍යාකූලතා නිරාකරණය කරන පරිදි එක්සත්වීම හැර අනෙක් ගමනක් මෙම තීරණාත්මක මොහොත තුළ නැත. නොයෙක් බෙදීම් අප සමාජයෙහි තිබේ. බෙදීම්, වෙන්වීම්, ගැටුම් සහ කෝලාහල අප සියලු දෙනා විනාශය කරා කැඳවාගෙන පැමිණ ඇත. ජාතිය, ආගම, කුලය, පක්ෂය හා පංතිය වශයෙන් තවදුරටත් බෙදී ඇති අවස්ථාවක ජනාධිපතිවරයකු පත් කරගැනීමෙන් පමණක් එක්සේසත් රටක් හදන්නේ කෙසේ ද?

හෙට රට භාරගන්නා නායකයාගේ අභියෝග

අද ජනාධිපතිවරණයක් තබා එහි ප්‍රතිඵල අනුව අලුත් පාලකයකු හෙට පත් කරගත හැකිය. නායකයා වෙනස් කිරීම අද පවතින ප්‍රශ්නවලට උත්තරය නොවේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැක. විපත තමන්ගේ සැපත බවට හරවා ගැනීම පහසුය. අප තෝරා ගත යුතු පහසු අවස්ථා නොවේ. රටත් ජන සමාජයත් ඉහළට ඔසවා තබා පසුව තමන්ගේ අවස්ථාව සඳහා තරඟ කළ යුතුය. ගෝලීය ආර්ථික ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් විකල්පයක් දැනට නොමැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සංකීර්ණතා මතු වී තිබේ. නුතන මාධ්‍ය භාවිතාව ව්‍යාකූලතා ඇති කරයි. සාධාරණ විවේචන වෙනුවට අන්තවාදී අදහස් මතු කෙරේ. ජනාධිපතිවරයකු හෙට පත්කරගත හැකිය. අලුතින් රට භාර ගන්නා ඕනෑම පුද්ගලයකු මෙකී ක්‍රමයේ ගොදුරක් වනු ඇත.  

පුද්ගල ප්‍රතිරූපය දේශපාලන නායකත්වයකට විශාල ප්‍රයෝජනයක් විය හැකිය. ප්‍රතිරූපවලට පමණක් ආර්ථිකයක් ගොඩනගන්නට පුළුවන්කමක් නැත. 

ලෝකයේ නොයෙක් රටවල ඇති වූ මෑත කාලීන සිද්ධි ප්‍රජාතන්ත්‍රවාදය පැමිණ ඇති සංකීර්ණ තැන හුවා දක්වයි. අර්බුදයක පවතින අවස්ථාවක ආණ්ඩු පෙරළා විසඳුම් අපේක්ෂා කරති. නායකයන් පලවා හැර අලුත් නායකයෝ පත්කර ගැනෙති. මෑත කාලයේ බලයට එන අලුත් චරිතවලට පවා වැඩි ආයුෂ තිබුණේ නැත. ජනතා අපේක්ෂා සාක්ෂාත් කිරීමට විසඳුම් ඇති බව පෙන්වා බලයට පැමිණි නමුත් පැමිණි වේගයට වඩා ඉක්මනින් පිරිහීමකට ලක් විය. 

පහළට වැටුණ ආර්ථිකයක් නැවත හැරවීමට ක්ෂණික පියවර නැත. රැකියා අවස්ථා, ඉහළ වැටුප්, අඩු මිලට බඩු භාණ්ඩ, හොඳ ප්‍රවාහන සේවා, පුළුල් සෞඛ්‍ය පහසුකම්, නොමිලේ අධ්‍යාපනය මේවා කළ හැකි දේ නොවේ. නායකත්වයට පත් වූ පසු යථාර්ථය වැටහේ. 

අසාර්ථකත්වය සමග නැවත විරෝධතා ඇති වෙයි. ළඟ ළඟ සිදුවන ආණ්ඩු පෙරැළීම් කිහිපයකට පසු රටක් ස්ථාවර තත්ත්වයට පත්වන බව ආර්ථික ප්‍රශ්න ඇති රටවල් කියා දී ඇති පාඩමකි. මේවා ශ්‍රී ලංකාවේ ස්වභාවයට ද වෙනසක් නැත.

බලය ගැනීමෙන් පසු කළ හැකි දේ ගැන අවබෝධය වැදගත්ය. මෙරට සමාජ හා දේශපාලන ව්‍යාපාර හැසිරෙන අන්දම පුදුම සහගතය. බලය ගැනීමට අති උනන්දුව තිබේ. වැඩපිළිවෙළක් හදාගන්නා උත්සාහයක් නැත. කළ යුතුය. මෑත භාගය තුළ ජනතාවගෙන් එකතුකරගත් සම්මාදම්වලින් ජනතාවාදී මාධ්‍ය ආරම්භ කළේය. පොදු ජනතාවගේ ආධාරවලින් පක්ෂ නඩත්තු කරන ලද ඉතිහාසයක් ඇත. මහජන ආධාරවලින් ආර්ථිකයක් හදන්නට නොහැකි බව ඉගෙන ගන්නට ද විශාල ප්‍රමාණයේ වන්දි ගෙවන්නට අපට සිදුවනු ඇත. 

ක්‍රමයක වරද හැර ප්‍රතිරූපවල ප්‍රශ්නයක් නොවේ

විරුද්ධ දේශපාලන නායකයන්ට ඉමහත් ජනප්‍රියත්වයක් තිබේ. විරුද්ධවාදී අදහස් මතුකරන හෙයින් සමාජයේ ආකර්ශනයක් ඇත. සලකා බැලිය යුතු වෙනත් පැත්තකි. රටට අවශ්‍ය විරුද්ධවාදී දේශපාලනයක් නොවේ. විකල්ප වැඩ පිළිවෙළකි. එක්තරා කාලයක ධනවාදී හා නිර්ධනවාදී කඳවුරු දෙකක් තිබුණි. එම යුගය අවසන්ය. නිර්ධනවාදීන් ද ධනවාදයට එකතු වී ඇත. වඩාත්ම දක්ෂ, වඩා කාර්යක්ෂම ක්‍රමය විකල්පය බවට පත්ව තිබේ. 

ඉහළ ජනතා ආකර්ශනයක් තුළින් පත්වන නායකයෝ පාලනය ස්ථාවර කරති. ජනතා විශ්වාසය වැදගත්ය. බලය හා ශක්තිය ලැබෙන්නේ එතැනින්ය. ජනප්‍රියතාව වෙනස් එකකි. අතිශය ජනප්‍රිය නායකයන් රටවල් ඔසවා තබන්නට අපොහොසත් වූ බව සඳහන් කළ යුතුය. ජනප්‍රිය නොවන තීරණගත් පාලකයෝ රටවල් දියුණු කර ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටිති. සහන, සුබසාධනය සහ ආධාර වැඩපිළිවෙළ කරන තරමට ජනප්‍රියත්වය ආරක්ෂා කරගත හැක. ඒවාට අවශ්‍ය ධනය ලැබෙන්නේ කොතැනින් ද?  

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ තීරණ ගැනීමේ දී අතිශය දුර්වලය. නුසුදුසු අවස්ථාවල, කිසිම පලක් නැති කාර්යයන් ඉදිරියේ ඉතාම තද නිර්භීතභාවයක් පෙන්වන නමුත් අවශ්‍යම අවස්ථාවල පසුබට වෙති. තීරණ ගැනීමේ දී ඡන්ද පදනම ගැන තැවේ. ප්‍රජාතන්ත්‍රවාදය එකකි. සමාජ විනය ඇති කර ආර්ථිකය හැදීම අනෙකකි. දේශපාලන පක්ෂ නායකයන්, ජනාධිපතිවරණයකට සුදානම්වන පිරිස් එම වැදගත් කාරණය මතක තබාගත යුතුය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි පක්ෂ ගොඩනැගූ, ජනතාව තමන් වටා එකතු කරගත් නායකයෝ බලයට පත්ව සිටිති. ජනතාවගේ හෝ පක්ෂයේ බලයෙන් ආර්ථිකය ගොඩනගන පියවරකට අවතීර්ණ නොවීම බලවත්ම දුර්වලතාවකි.

නිවැරදි තීරණ ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය නොකිරීම පසුගිය දශක හත තුළ විද්‍යමාන වන ලක්ෂණයකි. ආණ්ඩුවලින් යැපෙන ක්‍රම දියුණු කර තිබේ. ජනතාවට විවෘත අවස්ථා සම්පාදනය කර නැත. ජාත්‍යන්තර ආර්ථිකය හා ආයෝජන ගැන මහත් භීතියකින් කටයුතු කර ඇත. රටවැසියන්ට පනවන බදුවලින් ඔවුන්ටම සහන දෙන ක්‍රමය හැර විකල්ප කෙරෙහි අවධානය යොමු නොකිරීම ගැටලුවකි. ශ්‍රී ලාංකික ජනතාව විශාල වශයෙන් රජයට වක්‍ර බදු ගෙවන ජන කොටසකි. රජයේ ආදායම රජය නඩත්තු කිරීමට හෝ ප්‍රමාණවත් නැත. බලයට එන්නට බලා සිටින නායකයෝ මෙම කර්කශ ව්‍යුහය ගැන කල්පනා කළ යුත්තෝය.

අසාධ්‍ය ආර්ථිකයක් ඇති රටක් අයිතිකර ගැනීම

ණය ගෙවා ගත නොහැකි, විදේශ සංචිත පිරිහී ඇති ශ්‍රී ලංකාවට දේශීය හා විදේශීය වශයෙන් බරපතළ පීඩනයක් එල්ල වී තිබේ. පවතින අසාධ්‍ය තත්ත්වය ගැන දේශපාලනඥයන්ට ඇති වැටහීමක් නැත. මැලේසියාව ගොඩනැගූ මහතීර් මොහමඩ් මහතා තරුණ දේශපාලනඥයන්ට දෙන ලද අවවාදය මෙහි දී මතක් කළ යුතුය. දේශපාලනයට එන්න කලින් ව්‍යාපාරයක් ආරම්භ කර සේවකයන්ට වැටුප් ගෙවන අත්දැකීම් ගන්නා ලෙස හෙතෙම ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනය රජයේ වියදමෙන් ආධාරකරුවන්, පාක්ෂිකයන් නඩත්තු කරන එකකි. මහජන බදුවලින්, රජයේ කොන්ත්‍රාත්වලින් පක්ෂයට ළැදි පිරිස පමණක් නඩත්තු කරන ක්‍රමය අවසන් කළ යුතුය. දූෂණයෙන් මුදල් සොයාගෙන ඡන්ද කරන, පක්ෂ හා පාක්ෂිකයන්ට සලකන ක්‍රම පිටුදැකිය යුතුය. ඒවායෙන් සිදුවී ඇති හානිය අද අපට අත්දකින්නට ලැබී තිබේ.

දේශපාලනඥයන් වේදිකාවේ කියන වචනවලින් සුන්දර සිහින මවා පෙන්විය හැකිය. සිහින හැබෑ කරගත හැක්කේ කැපවීමෙන්ය. රට ගැන කැපවීම නායකත්වයකට අවශ්‍යය. කැපවීම තුළ යුතුකම හා වගකීම තිබේ. එකිනෙකට පරස්පර මත ඉදිරිපත් කරන නායකයෝ විශාල පිරිසක් සිටිති. රට ගැන කැක්කුමක් ඇති බව ප්‍රකාශ කරති. ආකර්ශනීය වචන තිබේ. ව්‍යාකූලතා ඇති කිරීමෙන් පවතින ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැත. මෙම අවස්ථාවේ රටට අවශ්‍ය අලුත් නායකයෙක් ද? 

වැඩ කරන්නට ඉඩ දෙන සමාජ ක්‍රමයක්

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දක්ෂ නායකයෝ බලයට පත් වූහ. බලයට පත් නායකයන්ට වැඩ කරන්නට ඉඩ දුන්නේ නැත. ඊළඟට බලයට එන්නට වෑයම් කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් විශාල අවුල් ඇති කරන ලද බව මතක් කළ යුතුය. අවුල් ඇතිකර බලයට එන විපක්ෂයට ද එහි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවිය. නිදහස ලැබුණ දිනයේ සිට ආණ්ඩුව හා විපක්ෂය යන තට්ටුමාරු ක්‍රමය රට තුළ තිබිය යුතු සැලසුම් සහගත සංවර්ධයකට ඉඩ දී නැත. 

ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. මධ්‍යම පාන්තික බහුතරයකට ආපසු හැරෙන්නට වුවමනාවක් නැත. සලාක ක්‍රම, පෝලිම් වර්තමානයට නොගැළපේ. පෞද්ගලික අධ්‍යාපනය, පෞද්ගලික අංශයේ රෝහල් පද්ධතිවලට නැඹුරු වී ඇති පිරිස සැලකිය යුතු ප්‍රතිශතයකි. මැදි ආදායම් පංතියේ පිරිසගේ  දරු දැරියෝ ලක්ෂ ගණනක් විදේශ රටවල අධ්‍යාපනය ලබති. ජනගහනයෙන් වැඩි පිරිසකට සාමාන්‍ය වාහනයක් හෝ ඇත. මෙම ජන කොටස මෙතැනින් ඉහළට නැගෙන ප්‍රයත්නයක සිටිති. දේශපාලන ක්‍රමය ජනතාව ගැන නොසිතන්නේ ඇයි ? බලාපොරොත්තු පාලනය කර දුප්පතුන් ඇති කිරීම සුදුසු ද? තරුණ පරපුර දෙස බලන්න. ඔවුන් ව්‍යවසායකත්වයට සූදානම්ය. අවදානම ගෙන ලෝකයේ ඕනෑම රටකට ගොස් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට නිර්භීතය. 

අලුත් ආර්ථිකයක් ඇති රටක් හදන්නට තීරණගත යුතු කාලයකි. අවිධිමත් ක්‍රමයකින් ලැබුණ ප්‍රතිවිපාක අපට පාඩමකි. තව තවත් නායකයන් සහ ආණ්ඩු පත් කරමින් වැනසෙනවාට වඩා අත්තිවාරමක්, ශක්තිමත් පදනමක් වෙනුවෙන් සංවාදය වැදගත් බව මෙහිලා සඳහන් කළ යුතුය. මහජනතාවගේ අවශ්‍යතා තේරුම් ගන්නා දේශපාලනයක් රටට අවශ්‍යය. ජනතාවට අවශ්‍ය මෙම ක්‍රමය වෙනස් කර නැගී සිටින්නටය. දේශපාලනඥයන්ට ඉහළම තනතුර අවශ්‍ය වී තිබේ. දේශපාලනඥයන් සහ මහජනතාව අතර පවතින පරතරය මෙයින් පෙන්වන කරුණකි.

මෙම ලිපිය ගැන ඔබගේ  අදහස [email protected]  ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ විසිනි



අදහස් (0)

ස්වාර්ථය පසුපස යන දේශපාලකයෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3064 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12231 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1016 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site