IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන යුද්ධයක ආරම්භය

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල අලුත් වැඩසටහන් කිහිපයකටම අත්පොත් තබා තිබේ. යහපාලන ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් ඈත්ව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා අවධානය යොමුකර ඇති හෙතෙම අලුත් දේශපාලන ගමනකට ද යොමු වෙමින් සිටී. මේ ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා සමඟ “ලංකාදීප” ය කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවට වසර තුනක් ගතවෙලා. විවිධ පාර්ශව චෝදනා ගොන්නක් ඉදිරිපත් කරනවා. ආපසු හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර:- යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ 2015 වසරේදී. ඒ වෙනකොට මේ රට තිබුණේ ප්‍රපාතයකට වැටිලා. රටේ සංවර්ධනයක් තිබුණේ නැහැ. රට ඒකාධිපති මාවතකට ගමන් කරමින් තිබුණා. අපට විශාල අභියෝගයක් තිබුණේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදයකට යොමුකර වීමටයි. ඒ අසීරු කාර්යය අපි කරමින් ඉන්නවා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා. ලෝකයේ සුපිරිම මාධ්‍ය නිදහසක් තියෙන රටක් ලෙස ලංකාව ඉහළට ඇවිල්ලා තියෙනවා. කඩා වැටෙමින් හා දූෂණයට ලක්වෙමින් තිබූ ආර්ථිකය අද නියම මාවතකට යොමුවෙමින් තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට ජනතාවගේ ඇඟට දැනුණ දෙයක් වෙලා නැහැ. ජනතාවට මොනවද ලැබිලා තියෙන්නේ?

පිළිතුර:- රටක් සංවර්ධනය කරනකොට ජනතාවගේ ඇඟට දැනෙන දේවල් වගේම නොදැනෙන නොපෙනෙන දේවලුත් තියෙනවා. මම මුලින්ම කියන්නම් ඔබ නියෝජනය කරන මාධ්‍ය ආයතනයේ සගයෙක් උස්සන් ගිහිල්ලා මැරුවොත් වද දුන්නොත් ඔබේ ඇඟටත් දැනෙනවා. හැබැයි අද එහෙම වෙන්නේ නැති නිසා ඔබේ ඇඟට දැනෙන්නේ නැතිව ඇති. මාධ්‍යවේදියෙක් විධියට ඔබම තීරණය කරන්න වඩා හොඳ ඇඟට දැනෙන එක ද නොදැනෙන එකද කියලා.

ප්‍රශ්නය:- ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස කොපමණ තිබුණත් ජනතාවට ජීවිකාව ගෙන යන්න අසීරු නම් එතැන ප්‍රශ්නයක් තියෙන බව ඔබට තේරෙන්නේ නැද්ද?

පිළිතුර:- ඔව් මට හොඳටම තේරෙනවා. අපි ආණ්ඩුව බාර ගන්නකොට මහින්ද රාජපක්ෂලාට පින්සිද්ධ වෙන්න රුපියල් ට්‍රිලියන 1.9 ක මහා පරිමාණ ණය කන්දක් තෑගි දීලා තිබුණා. ඒ මහා ණය කන්දරාවෙන් සියයට 83 ක්ම 2015 වසරකට පෙර ගත්ත ණය. 2019 සහ 2020 වසරවලදී අපට රුපියල් ට්‍රිලියන 4ක් බැගින් ණය සහ පොලී වාරික ගෙවන්න වෙනවා. මේවා කරන ගමන් ජනතාව වෙනුවෙනුත් සහන දෙන්න වෙනවා. ඒ සඳහා තමයි අප ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වගේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ. ඒවායේ ප්‍රතිඵල ළඟදීම ජනතාවට ලැබෙනවා.

ප්‍රශ්නය:- ඇත්තටම මොකක්ද මේ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ?

පිළිතුර:- ගම්පෙරළිය කියන්නේ ගමට කඩිනමින් සංවර්ධනය ගෙන යන වැඩපිළිවෙළක්. ගමේ වැව හදනවා. පාරවල් හදනවා. ප්‍රජාශාලාව, පන්සල්, පල්ලිය, කෝවිල හදනවා. පාසලේ අඩුපාඩු හදනවා. ජනතාවගේ ශරීර සුවතාවට අවශ්‍ය ඇවිදින මංතීරු වගේම පුස්තකාල වගේ දේවලුත් ලබා දෙනවා. ගම්පෙරළිය යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම රුපියල් මිලියන 200ක් වෙන් කරන අතර රුපියල් කෝටි 8000 ක විශාල මුදලක සංවර්ධනයක් රට පුරා සිදුවෙනවා. මේක යුද්ධයක්. රටේ තිබුණ යුද්ධය නිම වුණා. දැන් අපට සංවර්ධන යුද්ධය කරන්න තියෙනවා. සංවර්ධන යුද්ධයට රණවිරුවන්ගේ දායකත්වයක් අපට ලැබෙනවා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ 2025 වසරේදී රටට අත්පත් කරගැනීම නියමිත යෝධ සංවර්ධනයේ වැඩපිළිවෙළ.
‘‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’’ කියන්නේ තවත් යෝධ සංවර්ධන වැඩපිළිවෙළක්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණ ප්‍රජාවට, රටේ ජනතාවට සහන ණය ලබා දෙනවා. ඒක රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහනක්. රට දියුණු කරන්න නම් ඇත්තටම මේ වගේ සංවර්ධන වැඩපිළිවෙළවල් අවශ්‍යයි. රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවි බල සවි, දිරි සවිය, ජය ඉසුර, සොඳුරු පියස, මාධ්‍ය අරුණ, ඇරඹුම, හරිත ණය, මධ්‍යම ආදායම්ලාභී නිවාස යෝජනා ක්‍රමය ආදී ණය යෝජනා ක්‍රම රැසක්ම ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරෙන අතර සමහර ණය ලිහිල් ඇප මතත් සහන පොලී මතත් ක්‍රියාත්මක වෙනවා. ණය යෝජනා ක්‍රමවලට අදාළ පොලියෙන් වැඩි කොටස දරන්නේ ආණ්ඩුව. සමහර ණය වෙනුවෙන් ඇප කොන්දේසි බලන්නෙත් නැහැ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජාතික ප්‍රදර්ශනය හා සැණකෙළිය මේ මස 29, 30 සහ 31 යන දිනවල මොණරාගලදී පැවැත් වෙනවා. දිවයිනේ දුප්පත්ම දිස්ත්‍රික්කය වන මොණරාගල අපි මුලින්ම තෝරා ගත්තා.

ප්‍රශ්නය:- බොරු ආටෝප හා ප්‍රදර්ශන පැවැත්වූ බවට රාජපක්ෂ ආණ්ඩුව පතුරු ගැහුව ඔබ දැන් මේ කරන්නෙත් ඒ වගේ මුදල් නාස්තියක් නොවේද? ඇත්තටම මේක තවත් දැයට කිරුළක්ද?

පිළිතුර:- දැයට කිරුළ ප්‍රදර්ශනය මම දැකලා නැහැ. ඒ නිසා සංසන්දනය කරන්න බැහැ. රාජපක්ෂලා හැමදේම කළේ ආටෝපෙට. හැම වැඩසටහනකින්ම කොමිස් ගත්තා. රාජපක්ෂලා කළේ සංවර්ධනය මුවාවෙන් දූෂණය. තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට හොඳට හම්බ කරගන්න අවස්ථාව දුන්නා. රටේ ජනතාව ප්‍රපාතයට ඇද වැටුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඇත්තටම සද්භාවයෙන් කරන දෙයක්. කිසිදු දේශපාලනඥයකුට, නිලධාරියෙකුට දූෂණයට වංචාවට ඉඩක් නැහැ.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිනවා. අධිවේගි මාර්ගය එක උදාහරණයක්.

පිළිතුර:- දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල් තිබ්බේ, චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව කාලෙදි. මේ අය වැඩ නිමකරලා නම ගහගත්තා. නෙළුම් පොකුණට සල්ලි වෙන්කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව. රාජපක්ෂලා නම ගහ ගත්තා.

ප්‍රශ්නය:- වර්තමාන ආණ්ඩුවට ඒ වගේ නමක් ගහගන්න තරම්වත් සංවර්ධන ව්‍යාපෘති තිබෙනවාද?

පිළිතුර:- අද අපි මහනුවර අධිවේගී මාර්ගය හදනවා. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාව සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා විශාල ලාබ ලබන තත්ත්වයකට ගේන්න සැලසුම් කරනවා. චීනයත් සමඟ එක්වී අපට හම්බන්තොට වරායෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපේ ආර්ථික ක්‍රමෝපා නිසා හම්බන්තොට වරායෙන් රැකියා දහස් ගණනක් බිහිවෙන්න ඉඩක් තිබෙනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුව හිටිහැටියේම මේ ව්‍යාපෘති පටන් ගත්තේ ළඟ ළඟ එන ඡන්ද බලාගෙන නේද?

පිළිතුර:- ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගේ අය වැය කතාවෙන් කළ යෝජනාවක්. එතකොට ඡන්දයක් ගැන කතාවුණේ නැහැ. ඇත්තටම මේක ආර්ථික දර්ශනයක්.

ප්‍රශ්නය:- ජනාධිපතිතුමා 2035 යනුවෙන් හා “ග්‍රාම ශක්ති” යනුවෙන් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඇතුළු එජාපය වි-2025 සහ ගම්පෙරළිය කියලා තවත් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා. මොකක්ද මේ එකම ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ දෙක.

 පිළිතුර:- ආණ්ඩුවකට ආර්ථික වැඩපිළිවෙළ දෙකක් නොවෙයි. තුන හතරක් වුණත් තියෙන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ 2030 වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ අරමුදල මගින් ක්‍රියාත්මක කරන්නක්. ඒකත් වි-2025 වැඩසටහනත් අතර ගැටුමක් නැහැ.

ප්‍රශ්නය:- එකම ආණ්ඩුවක් තුළ මත දෙකක් ක්‍රියාත්මක වෙන එක එතරම් හොඳ ලක්ෂණයක් නොවේ නේද?

පිළිතුර:- අද ජනමාධ්‍යයි ඇතැම් දේශපාලන පක්ෂයි හිතාගෙන ඉන්නේ වැරදි විදියට. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේ අය හිතන්නේ දුර්වලකමක් ලෙසයි. විවිධ මත, විවිධ වැඩපිළිවෙළ යෝජනා වීම හා ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්.

ප්‍රශ්නය:- ජනතාවගේ සහනාධාර කපා හැරීමටත් විශේෂයෙන් සමෘද්ධි සහනාධාරය කපා හැරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා නේද?

පිළිතුර:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කළු යකෙක් නෙවෙයි. ඒ ආයතන අපි වගේ රටවලට උදව් උපකාර කරනවා. හැබැයි ඔය සමෘද්ධි ගැන නම් මට ඒතරම් පැහැදීමක් නැහැ. සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අද දේශපාලනීකරණය වෙලා. සමෘද්ධි නිලධාරීන් තනිකරම රාජපක්ෂලාට කඩේ යනවා. සහනාධාරය කපා හරින බවට ඉඟි කරමින් දුප්පත් මිනිස්සු බය කරනවා. ඒ අයගේ දේශපාලනයට ඒ වාසිය ලබා ගන්නවා. අද සුදුසුකම් තියෙන බොහෝ දෙනෙකුට සමෘද්ධි නැහැ. ඔය තත්ත්වය නිවැරදි කළ යුතුයි.

ප්‍රශ්නය:- ඔබ කලක් විදේශ කටයුතු අමාත්‍යධුරය දැරුවා. මුදල් ඇමැතිධුරයට පත්කිරීම ගැන ඔබ එතරම් සතුටු වුණේ නැහැ. අද මොකද හිතෙන්නේ?

පිළිතුර:- විදේශ කටයුතු අමාත්‍යාංශයයි මුදල් අමාත්‍යාංශයයි සංසන්දනය කරන්න අමාරුයි. මම විදේශ ඇමැතිධුරය බාරගත්තේ රට අපකීර්තියට පත්වී තිබුණු කාලෙක. මට විශාල කාර්යයක් කරන්න වුණා. ලංකාවේ නායකයකුට එදා පිට රටකට යන්න බැහැ. ගියත් පිළිගැනීමක් නැහැ. අපි තත්ත්වය කණපිට පෙරළුවා. මට මතකයි ජපානයේ පැවැති ජී-7 කණ්ඩායමේ සමුළුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වුණ අවස්ථාවේ ලෝකයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් පැමිණ එතුමා සමඟ කතා කළා. විශාල පිළිගැනීමක් ඇතිවුණා. රාජපක්ෂ යුගයේ පැවැති විදේශ ප්‍රතිපත්තිය අපි කණපිට පෙරළුවා. 

ප්‍රශ්නය:- ඇතැම් නිලධාරින් කකුලෙන් අදිනවා. සහයෝගය දෙන්නේ නැහැ. ඔබේ අමාත්‍යාංශයෙත් ඒ වගේ නිලධාරීන් ඉන්නවාද?

පිළිතුර:- ඇත්තටම හොඳම, දක්ෂ වෘත්තිය නිපුණතාවක් තියෙන නිලධාරීන් පිරිසක් මගේ අමාත්‍යාංශයේ ඉන්නවා. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි මම නිර්මාණකරුවෙක්. මම ආර්ථිකය නිර්මාණය කරනවා. නිලධාරීන් වැඩ කරනවා.

ප්‍රශ්නය:- ඇතැම් අමාත්‍යාංශවල රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිවරුන් එක්ක හැප්පෙනවා. ඒ වගේ පැමිණිලි ජනාධිපති දක්වාමත් යනවා. මෙහේ කොහොමද?

පිළිතුර:- මම ඔබට රහසක් කියන්නම්. මම මුදල් අමාත්‍යාංශය බාරගන්නකොට කොන්දේසියක් දැම්මා. ඉරාන් වික්‍රමරත්න මහතා රාජ්‍ය ඇමැති වුණොත් තමයි මම බාරගන්නේ කියලා. එතුමා බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක්. මට උපරිම සහායක් දෙනවා. ලසන්ත අලගියවන්න දක්ෂ ක්‍රියාශීලි නියෝජ්‍ය ඇමැතිවරයෙක්. ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට හොඳින් සහාය දෙනවා.

ප්‍රශ්නය:- ඇයි ඔය තරම් ගෝඨාභය රාජපක්ෂට බය?

පිළිතුර:- අනේ මගේ කිසිම බයක් නැහැ. රටේ ජනතාවට කළ දේවල් ගැන මට තරහක් තියෙනවා. ඒක පුද්ගලික තරහක් නෙමෙයි.

ප්‍රශ්නය:- ගෝඨාභයගෙන් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් නොකරන ලෙස ඔබ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා බලපෑම් කරන බවට චෝදනාවක් එල්ල වෙනවා නේද?

පිළිතුර:- මට එහෙම හැකියාවක් තියෙනවා නම් ඒ ගැන මම ආඩම්බර වෙනවා. පුරවැසිභාවය ඉවත් කිරීමේ යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒකට කාලයක් යනවා. කවුරුන් හෝ බලපෑම් කරාය කියලා ඇමරිකාව ඒ ක්‍රමවේදය වෙනස් කරන්නේ නැහැ. ඔය කතා කියන බයියන්ට මම කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යාළු මිත්‍ර කමට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවාට නීති රීති මාලාවක් තියෙනවා.

නිව්  යොර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියටත් මාව අල්ලා ගත්තා. ලෝකයේ ලොකුම පුවත්පතේ මට ඕන ප්‍රවෘත්ති, ලිපි පළ කරගන්න පුළුවන් නම් ඒක ලොකු හපන්කමක්.

ප්‍රශ්නය:- ඔබ රාජපක්ෂලාත් එක්ක ජන්මාන්තර වෛරයකින් කටයුතු කරන බවටත් ඇතැම් පිරිස් අදහස් දක්වනවා.

පිළිතුර:- රාජපක්ෂලා එක්ක මට තරහක් තිබෙන්නේ රතුපස්වල සිද්ධිය. උතුරේ අහිංසක දරුවො මැරුවා. ලසන්ත වික්‍රමතුංග මරා දැම්මා. මට මතකයි මහින්ද රාජපක්ෂ කැබිනට් ඇමැතිවරයෙක් විදියට ඉන්නකොට කැබිනට් රැස්වීමෙන් පස්සේ තමන්ගේ මෝටර් රථයෙන්ම ලසන්ත වික්‍රමතුංග සොයාගෙන ගිහින් කැබිනට් රහස් දෙනවා. ලසන්ත මහින්දගේ හොඳම යාළුවෙක්. මේවට තමයි මගේ තියෙන අමනාපය.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ගැන හොඳක් දකින්නෙම නැද්ද?

පිළිතුර:- මම ඔබට අර කිව් දේවල් ගැන තරහක් තිබ්බත් මහින්ද රාජපක්ෂ ගැන හිතේ කොනක පොඩි ගෞරවයකුත් තියෙනවා තමයි.

ප්‍රශ්නය:- රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමැතිධුරයෙන් ඔබ ඉවත් කළා. රාජපක්ෂ වෛරය පටන් ගන්නේ එතැනින් කිව්වොත්?

පිළිතුර:- එදා විදේශ ඇමැතිධුරයෙන් මම ඉවත් කළත් නැතත් මම ඉවත් වෙන්නයි හිටියේ. ඉතාම නරක විදේශ ප්‍රතිපත්තියක් තමයි රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගියේ 2006 දී මම මහින්දට පිටු 13 ක ලිපියක් ලිව්වා. විදේශ ප්‍රතිපත්තිය විවේචනය කළා. ලෝකෙට මුහුණ දෙන්න බැහැ කිව්වා. විදේශවලින් මගෙන් අහනදේට මට පිළිතුරු නැහැ. ඒකට දීපු තෑග්ග තමයි මාව විදේශ ඇමැතිධුරයෙන් ඉවත් කිරීම. මට වරාය හා ගුවන් සේවා ඇමැතිධුරයක් තිබ්බා. ඒකෙනුත් මම 2007 වසරෙ පෙබරවාරි මාසයේදී ඉවත් කළා. මම ඒ ඉවත් කිරීමට සතුටුයි. 

ප්‍රශ්නය:- මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ සිහිනයක් ඔබටත් තියෙනවා නේද?

පිළිතුර:- නැහැ. මම කිසිම දෙයක් ඉල්ලලා ගත්තේ නැහැ. 1994 ඡන්දෙන් පස්සේ මට කැබිනට් ඇමැතිධුරයක් ලැබුණා. එතකොට ඒ ගැන මම හීනයකින්වත් හිතලා තිබ්බේ නැහැ. එදා මට ටෙලිකොම් ඇමැතිධුරය ලැබුණා. ඊට පස්සේ විශාලම කැබිනට් ඇමැතිධුර මට ලැබුණා. මම තනතුරු ඉල්ලා ගත්තේ නෑ.

ප්‍රශ්නය:- එජාපය ජනාධිපතිවරයා සමඟ යම් නොරිස්සුම් ආකාරයෙන් නේද කටයුතු කරන්නේ.

පිළිතුර:- එජාප පාක්ෂිකයන්ට එතුමා ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඉඩි අමීන් වගේ කාලෙක බෙල්ල තියලා රට බේරාගන්න ඉදිරිපත් වුණේ එතුමායි. එතුමා යුගයේ කාර්ය භාරය කළා. චන්ද්‍රිකා-රනිල් කපුකම කළා. රට බේරුණේ ඒ විධියට. එතුමාට රටේ ජනතාව සදා ණය ගැතියි.

සාකච්ඡා කළේ - රංජන් කස්තුරි



අදහස් (1)

සංවර්ධන යුද්ධයක ආරම්භය

Senarath Tuesday, 04 September 2018 06:38 AM

පෙනෙනවා සංවර්ධන යුද්ධයේ තරම. පසුගිය අවුරුදු දෙකේම සංවර්ධනය 4% ට වඩා අඩුවෙලා.. මේ අවුරුද්දේ 3 % ක් විතර වෙලා. බදු ගහල මිනිස්සු මරාගෙන කන්න හදන්නේ සංවර්ධනයේ වැඩිකමට වෙන්න ඇති. කොහොම උනත් මැති ඇමතිලා නම් සංවර්ධනය වෙලා කියල පෙනෙනවා. ලඟදිත් රුපියල් ලක්ෂ 2 ක දීමනාවක් ලැබුනාණේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 141 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 173 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 128 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 182 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1730 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 789 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 984 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site