IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම

ඕනෑම සමාජයක යහපත් සංස්කෘතියක් බිහිවීමට පදනම් වන්නේ, ආගමයි. එලෙසම සංස්කෘතිය පෝෂණය කරන ප්‍රමුඛතම සාධකයක් වන්නේ, සාහිත්‍යයයි. ලෝකයේ බොහොමයක් නිර්මාණ බිහිවී තිබෙන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතිය පදනම් කරගෙනය. නිර්මාණ හා සංස්කෘතිය අතර ගැළපීම අඹුසැමි සම්බන්ධතාව වැනි යැයි වියතුන් පෙන්වා දෙන්නේ ඒ නිසාය. වර්තමානයේ සංස්කෘතික වර්ධනයට මෙන්ම එහි පරිහානියට බලපාන ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇත්තේ, මාධ්‍යයයි. මින් ඉතා දැඩි බලපෑමක් සිදුවන්නේ පරිගණකය හා ජංගම දුරකතනය යන නව මාධ්‍යවලිනි. මෙමගින් බිහිවන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ක්‍රියාත්මක කෙරෙන ආටක නාටක පාලනය කිරීම දුෂ්කර කාර්යයකි.

නව මාධ්‍යවල බලපෑමෙන් අද ලෝකය අල්ලට ගතහැකිව තිබේ. එය දියුණු ලෝකයේ සාමාන්‍ය ලක්ෂණයකි. මෙමගින් යහපත් ප්‍රතිඵල බොහොමයක් උරුම වී ඇති බව සැබෑවකි. එලෙසම යම් ප්‍රමාණයකට කරුමයක් වී ඇති අයහපත් ප්‍රතිඵලද නැතුවා නොවේ. මිනිසුන් අසීමිත නිදහසක් තුළ අපරීක්ෂාකාරීව ඉදිරියට යන්නේ ඒ නිසාය. එය සමාජයේ යහපැවැත්මට හිතකර නොවේ. අපට නව මාධ්‍ය මඟින් හඳුන්වා දී ඇති අපූරු මෙවලමක් වන්නේ මුහුණු පොතයි. අප කොයි කවුරුත් හඳුන්වන පරිදි එය ෆේස්බුක්ය. මේ මුහුණුපොත නිසා තරුණ ජීවිත විනාශ වූ අයුරු මාධ්‍ය මගින් වාර්තා වූ අවස්ථා බොහොමයකි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ඊට ගොදුරු වූ අවස්ථා නැතුවා නොවේ. අද අප සඳහන් කරන්නේ ඒවා ගැන නොව ෆේස්බුක් නිසා බිහි වූ අවර ගණයේ නිර්මාණයක් පිළිබඳවයි. 

මෙයට සම්බන්ධ සිදුවීම අප පුවත්පත මගින් පසුගිය තුන්වැනිදා (3) හෙළි කර තිබිණි. එය ලේඛකයකුගේ නිර්මාණයක් පිළිබඳ ප්‍රවෘත්තියයි. ඔහු වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකි. ඔහු විසින් මුහුණු පොතට ලියුවා යැයි කියන අර්ධ නමැති කෙටිකතාවකින් බුදුන් වහන්සේට අපහාසයක් වී ඇති බවට පිරිසක් විසින් නඩු පවරනු ලැබ ඇත. මෙය වඩාත් බරපතළ වන්නේ, ඔහු උගතකු වීම හා නිර්මාණකරණයේ යෙදෙන්නකු වීම නිසාය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ විරෝධයද පළවිය. බුද්ධ චරිතයට, යසෝදරා දේවියට, රාහුල කුමරුට අපහාස වන අයුරින් එය නිර්මාණය කර තිබූ බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයන් අධිකරණයට කරුණු පැහැදිලි කර ඇතැයිද වාර්තා වී තිබිණි. මෙවැනි දේ පළවීමෙන් ආගමික සංහිඳියාවටද බාධා විය හැකිය. මේවා ආයුධ කර ගැනීමට අන්තවාදී පිරිස් සිටීම ඊට හේතුවයි. සියලු ආගම්වලට අනුව සැවොම එක සමානය. ඒ අනුව ආගම් බේද පමණක් නොව, ජාති, කුල භේද පවා සමාජයෙන් බැහැර කළ යුතුය.

එම නිර්මාණය සම්බන්ධයෙන් වියතුන් විසින්ද මාධ්‍ය මගින් විවිධ අදහස් පළ කර තිබිණි. ඒ අය බොහෝ දෙනකු පෙන්වා දී තිබුණේ මෙවැනි නිර්මාණ නොකළ යුතු බවයි. තවත් සමහර අය ප්‍රකාශ කර තිබුණේ එම ලේඛකයා බොදු මහ ජනතාවගෙන් සමාව ගතයුතු බවයි. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ට අනුව, එය බහුබූත කතාවකි. ජනප්‍රිය වීමේ උමතුවකි. තවත් ලේඛකයන් කිහිප දෙනකුගේ අදහස වී තිබුණේ, දිළිඳු පරිකල්පනය නිසා බිහි වූ ප්‍රචාරකවාදී කතාවක් බවයි. වත්මන් නිර්මාණකරුවාට ස්වයං වාරණයක් අවශ්‍ය බව තවත් ලේඛකයකුගේ අදහස විය. 

කෙසේ වෙතත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බව ලේඛකයන්ගේ අදහස විය. මතුවට ගනු ලබන මේ නඩු තීන්දුවෙන් මාධ්‍ය නිදහසට බාධා ඇතිවේදෝයි යන සැකය ඔවුන් තුළ පැවතීම ඊට හේතුවයි. එය අර්ධ නිර්මාණය නිසා ඇති වූ අර්ධ සත්‍යයක් බව අපගේද විශ්වාසයයි. එය එසේ වුවද, අප හුඹස් බියක් ඇති කර නොගත යුතුය. මක්නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ව්‍යවස්ථාවට අනුව අපේ මාධ්‍ය නිදහස තහවුරු වී ඇති නිසාය.

මෙයට දශක හතරකට පෙර එදා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියූ බවතරණයටද විශාල විරෝධතාවක් ඇති විය. එතුමා එය නිර්මාණය කරනු ලැබුවේ, සිදුහත් බෝසත් චරිතය නූතන සමාජ දෘෂ්ටි කෝණයෙන් දකින ආකාරයටයි. එහි සිදුහත් බෝසතාණන්ට අපහාස කරන අරමුණක් නොවීය. සිදුහත් කුමරු බුදුවීමට පෙර පෘතග්ජනයකු වීම ඊට හේතුවයි. මතවාද හා පුළුල් කතිකාවතක් ඇති වීමෙන් එතුමාට එදා එය තුලනාත්මක තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවිය. එහෙත් අද බිහිවන පල්හෑලි ගැන යම් තරමක අදහස් පළ වුවද, පුළුල් මතවාද, පුළුල් කතිකාවතක් ඇති කිරීමට අසමත් වී ඇත. තවද මෙම නිර්මාණය තුළ ලේඛකයාට තර්ජනය නොකර, අධිකරණයට යාම බෞද්ධයාගේ ශීලාචාරකම පෙන්නුම් කරන හොඳ පූර්වාදර්ශයක් බව නොකියාම බැරිය. එවැනි අධිකරණ ක්‍රියාමාර්ග නොගතහොත්, නව මාධ්‍යයේ ඇති ප්‍රබලත්වය නිසාම තවදුරටත් මෙවැනි අවර ගණයේ නිර්මාණ සමාජ ජාල ඔස්සේ සමාජගත වීමේ ඉඩකඩ වැඩි විය හැකිය.

නව මාධ්‍ය මගින් සිදුකෙරෙන මෙවැනි ක්‍රියා මාධ්‍ය නිදහසට හානි නොවන පරිදි කිසියම් පාලනයකට ලක්විය යුතුය. කෙසේ වෙතත් ගෝත්‍රික සමාජයක මිස ශීලාචාර සමාජයක කිසිදු ආගමකට, ජාතියකට, කුලයකට, ආගමික නායකයකුට අපහාස, උපහාස කිරීම කිසිවෙක් අනුමත නොකරති. එසේම නිර්මාණකරුවකු ලෝකය නිරීක්ෂණය කිරීම හා පරිකල්පනය කළ යුත්තේ මානව හිතවාදීව යන්න වියතුන් අතර සමස්ත විශ්වාසයයි.

 



අදහස් (0)

සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 92 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 67 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 500 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 249 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 140 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 181 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 423 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 919 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site