IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සහෝදර සංග්‍රාමය

ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමට එළිපිටම පහරදෙන තත්ත්වයකට ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරමින් සිටිති. එහි ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගය. බැසිල් රාජපක්ෂ ඉකුත් සතියේ දී ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කර තිබිණ. “ඔය පිරිස ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තා. හැම පනතකටම අත ඉස්සුවා, අන්තිම වෙනකම්ම ආණ්ඩුවේ ඉඳලා බැරිම තැන ඉවත් වුණා. එහේ කකුලකුයි මෙහේ කකුලකුයි තියාගෙන කටයුතු කරන්න බැහැ. හරි තීරණයක් අරගෙන ආවොත් සලකා බලන්න පුළුවන්”  යැයි බැසිල් කීවේය. බැසිල් කී කතාවට අටුවාටීකා සපයමින් ප්‍රසන්න රණතුංග සැර කතාවක් කළේය. ප්‍රසන්න රණතුංග කීවේ “ඔය දහසය දෙනා දෙපිටකාට්ටුවෝ. ඇමැතිකම්වලින් ඉවත් වෙලා. ඒත් තවම ශ්‍රීලනිපයේ තනතුරු දරනවා. කොන්ද කෙළින් තියාගෙන ඒකාබද්ධ විපක්ෂයට එනවා නම් ඕනෑම කෙනෙක් ගන්නවා. එහෙම නැතිව ආණ්ඩුවේ ප්‍රධානියා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත් එක්ක එකට ඉන්න ගමන් ආණ්ඩු පෙරළන්න අපිත් එක්ක එන්න හදනවා. අපට ඔය දහසය දෙනා ආවත් නාවත් ඊළඟ මැතිවරණයේ දී අපට පහසුවෙන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. එදා මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගුණවයමින් සිටි ඔය කට්ටිය ඡන්දය ඉවර වෙච්ච ගමන් ගිහින් මෛත්‍රි මහත්තය ළඟ වැඳ වැටිලා ඇමැතිකම් ගත්තා. මේ අය පාර්ලිමේන්තුවට ගියේ මහින්ද මහත්තයගෙ පින්තූරය ගහගෙනයි. මහින්ද මහත්තයගේ නම විකුණලා පාර්ලිමේන්තු ගිහින් මෛත්‍රි ජනාධිපතිගෙන් ඇමැතිකම් ගත්ත ගමන්ම ආපස්සට හැරිලා මහින්ද මහත්තයටම අපහාස කරන්න ගත්තෙ කවුද? පරණ පත්තර ටික බැලුවාම ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වේවි” යැයි ද ප්‍රසන්න රණතුංග කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් සිදුකරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවත් වැඩකට අත තබා තිබේ. බන්දුල ගුණවර්ධන තවත් ග්‍රන්ථ කිහිපයක් රචනා කිරීමට පටන්ගෙන ඇත.

 “රුපියලේ ඉතිහාසය”, “ඛනිජ තෙල් මිල සූත්‍රය” බන්දුලගේ අලුත්ම ග්‍රන්ථ දෙක වන අතර එම ග්‍රන්ථ ඉතා නුදුරු දිනයක දී එළිදක්වන බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ. මුලදී ප්‍රකාශ කර තිබුණේ එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දහසය දෙනාගේ කණ්ඩායම ද සහභාගි වනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. 

“ඒකාබද්ධ විපක්ෂය සමඟ අපට තව සාකච්ඡා කරන්න තියෙනවා. එකඟවෙන්න බැරි පුළුවන් කරුණු කාරණා රැසක් තියෙනවා. ඒ ගැන සොයා බලන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ.” යැයි දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සඳහන් කර තිබිණ. 

මේ අතර ආරංචිමාර්ග සඳහන් කරනුයේ දිනේෂ් ගුණවර්ධන හා අනුර යාපා අතර දේශපාලන සාකච්ඡාවක් අද හෙටම පැවැත්වීමට නියමිතව තිබෙන බවය.

ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය ඉකුත් බදාදාට යෙදී තිබිණ. ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිර යන ආරංචි හේතුවෙන් ඒ පිළිබඳව ජනමාධ්‍යය ද විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනේ. ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය වෙනුවෙන් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ සාංඝික දානයක් පැවැත්විණ. මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අනුනාහිමිවරු ද එම දානයට වැඩම වීම විශේෂත්වයක් විය. චමල්, මහින්ද සහ බැසිල් ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් ද දේශපාලනඥයෝ ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. දහසය දෙනාගේ කණ්ඩායමේ ගෝඨාභයට හිතවත් හා ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතුය යන ස්ථාවරයේ සිටින ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු පමණක් ගෝඨාභයට සුබපැතීමට ගොස් සිටි අතර අනෙක් පිරිස එහි යාමෙන් වැළකී සිටියහ. මේ අතර තවත් විශේෂත්වයක් වී තිබුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන ගෝඨාභයට අකමැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිංකමට සහභාගි වී නොසිටීමය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බැසිල් හා ගෝඨාභය අතර දැන් දැන් සීතල යුද්ධයක් ආරම්භ වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඉකුත්දා බැසිල් රාජපක්ෂ දේශපාලන රැස්වීමක දී අමුතු කතාවක් කියා තිබිණ. “ඔව් අපි දන්නවා. අපේ ආණ්ඩුවට යම් යම් තැන්වල දී වැරදුණා. රතුපස්වල සිද්ධියේ දී අපි ඉක්මන් වුණා. ඒ විතරක් නෙමෙයි කටුනායක වෙළෙඳ කලාපයේ තරුණයාගේ ප්‍රශ්නය” ආදී වශයෙන් බැසිල් විස්තරයක් කර තිබිණ. “බැසිල් කරපු ඔය කතාව සුළුවට තකන්න බැහැ. එයා ඉදිරිපත් කරපු කාරණා දෙකටම සෘජුවම සම්බන්ධතා තිබුණේ හමුදාවට හා පොලිසියට. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් වගකියන්න වෙනවා. බැසිල් කියන්නේ ගෝඨාභයගේ අතින් වුණ වැරදි. එයා ඒකෙන් කාරණා දෙක තුනක්ම ඉටු කරගන්නවා. ජනාධිපති අපේක්ෂත්වය එක කාරණාවක්. අනිත් කාරණාව අතීත වැරදි පිළිගැනීම හා ඉන් ජනතාවගේ හොඳ හිත දිනා ගැනීම. එයා එදා කළේ ලොකු දේශපාලන කතාවක්.” යැයි ද ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය හිතවාදී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ හමුවක දී සාකච්ඡාවට බඳුන් වී තිබිණ. මේ අතර ගෝඨාභයගේ උපන් දිනය වෙනුවෙන් දානමය පිංකමක් සූදානම් කිරීම හා එහිදී ජනාධිපති අපේක්ෂකත්වය ගැන අදහස් පළකිරීම ද ඒවා මහින්දට හා බැසිල්ට ඇසෙන්නට සැලසීම ගැන ද  දේශපාලනඥයන්ගේ කතාබහට ලක්ව තිබේ.

 කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන දේශපාලන අර්බුදය තව තවත් දුරදිග යන ලකුණු පහළ වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ මහනගර සභාවේ හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව විසි දෙකකි. විපක්ෂයේ පක්ෂ අතරින් වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එම පක්ෂයට හිමි වී තිබේ. ඒ අනුව එම තර්කය ගොඩනගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවේ විපක්ෂනායක ධුරය ඉල්ලා සිටී. කොළඹ නාගරික මන්ත්‍රී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ට විපක්ෂනායක ධුරය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් නගරාධිපතිනියට ලිඛිතව හා වාචිකව දන්වා තිබේ. එහෙත් රෝසි සේනානායක තුරුම්පුවකට ගෙන ඇත්තේ මහ නගර සභා ආඥා පනතයි. මහ නගර සභා ආඥා පනතේ විපක්ෂනායක ධුරයක් සඳහන්ව නැත. ඒ නිසා විපක්ෂනායකයකු අවශ්‍ය නැතැයි රෝසි සේනානායක ඇතුළු එජාප නාගරික මන්ත්‍රීවරුන් පිරිසකගේ තර්කය වී තිබේ. එහෙත් කොළඹ මහ නගර සභා ඉතිහාසය පුරාවටම විපක්ෂ නායකයකු සහ ඔහු වෙනුවෙන් කාර්යාලයක් ද ඊට අවශ්‍ය පහසුකම් ද තිබිණ.

මහ නගර සභා ආඥා පනතේ විපක්ෂ නායක ධුරයක් නැති වෙන්න පුළුවන්. මේක සම්ප්‍රදායක්. ඇත්ත කතාව මේක නෙමෙයි. ප්‍රදීප් කාරියවසම් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාතියෙක්. කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා. එතුමා නගර සභාවේ වෙන නොවෙන සියලුම දේවල් දන්නවා. එයාට බලයක් එනවට එජාපයේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් විරුද්ධයි. ඒ අය රෝසි සේනානායකට බලපෑම් කරනවා. මෙතැනදී රෝසි හිරවෙලා. හැබැයි රෝසිත් කැමැති නැහැ ප්‍රදීප් කාරියවසම් එනවට ඒ නිසා රෝසි කියන්නේ ප්‍රදීප් කාරියවසම් නැතිව වෙන කෙනෙක් දාමු කියලයි. ඒත් වෙන කෙනෙක් දාන්න පොහොට්ටුවේ අය කැමැති නැහැ. විපක්ෂනායකයා කවුද කියලා එජාපයට තෝරන්න බලයක් නැහැ. ඒක අපේ පක්ෂයේ ප්‍රශ්නයක්” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියති. කෙසේ වෙතත් මේ අතර තවත් ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ අවසන් මොහොතේ විපක්ෂ නායක ධුරය ප්‍රදීප් කාරියවසම්ට දීමට රෝසි නිල නොවන මට්ටමින් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවය. ඒ අනුව ඉදිරියේදී වෛද්‍ය ප්‍රදීප්ට එම ධුරය හිමිවනු ඇතැයි දැනගන්නට තිබේ.

ඉකුත් සතියේ තවත් දේශපාලන සිද්ධියක් වූයේ නියෝජ්‍ය ඇමැති ධුර පිරිනැමීමය. එහිදී අජිත් මාන්නප්පෙරුමට අකරතැබ්බයක් වූයේය. අගමැතිවරයා යෝජනා කර තිබුණේ අජිත් මාන්නප්පෙරුමට මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමටය. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ජනාධිපති කාර්යාලයට යැවූ ලිපි ලේඛනවල ද ඒ බව සඳහන් වී තිබිණ. අජිත් මාන්නප්පෙරුම මෙගා පොලිස් අමාත්‍යාංශය හෙවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිකමේ දිවුරුම් දීමට දතකට මැදගෙන ගියේය. එහෙත් ජනාධිපති කාර්යාලයට ගිය අවස්ථාවේ දී මාන්නප්පෙරුමට දැනගන්නට ලැබුණේ ඔහුට එම අමාත්‍යංශය නොලැබෙන බවය.

ඒ වෙනුවට ජනාධිපතිවරයාට අයත් පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ධුරයේ දිව්රුම් දීමට මාන්නප්පෙරුමට සිදුවිය. අග්‍රාමාත්‍යවරයා දිවයිනේ නොසිටි හෙයින් ඔහු ජනාධිපති කාර්යාලයේ දීම මලික් සමරවික්‍රමට හා අකිල විරාජ්ට ගතු කීවේය. “දැනට පරිසර අමාත්‍යාංශය බාර ගන්න. අපි අගමැතිතුමා ආවම කතා කරමු.” යැයි මලික් හා අකිල කීවේය. ඒත් දිව්රුම් දී සමූහ ඡායාරූපයට පෙනී සිටීමට සූදානම් වූ අවස්ථාවේ මාන්නප්පෙරුම ජනාධිපතිවරයා ළඟට ගොස් “ඇයි සර් මට පරිසරය දුන්නේ. මගේ මෙගා පොලිස් අමාත්‍යාංශයට මොකද වුණේ?” යැයි මාන්නප්පෙරුම ඇසූ විට ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගියේය. “මේක හොඳම අමාත්‍යාංශයක්. ඔයාට  බැරි නම් දැන්ම කියන්න.” යැයි ජනාධිපතිවරයා කීවේය. අජිත් මාන්නප්පෙරුම එතැනින් නැවතුනේ නැත. පසුදින පාන්දරම නොදන්වාම මාන්නප්පෙරුම කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට ගියේය.

 ජනාධිපතිවරයා හමුවූ විට මාන්නප්පෙරුමට කිසිවක් කීමට ඉඩ තැබුවේ නැත. “පරිසර අමාත්‍යාංශය හොඳ අමාත්‍යාංශයක්. හොඳ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඕනේ. අවංකව ඔළුව තියෙන කෙනෙක් ඕනේ ඔයා හෙට උදේ දහය හමාරට වැඩ බාරගන්න. මමත් එනවා.” යැයි ජනාධිපතිවරයා කීවේය. මාන්නප්පෙරුමට කට උත්තර නැති විය. ඔහු නැවත ගෙදර ගොස් පසුවදා පරිසර අමාත්‍යාංශයට ගොස් වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා ද ඒ අවස්ථාවට පැමිණියේය. මාන්නප්පෙරුමට රාජකාරි ආරම්භ කරන්නට නැකැත් වෙලාවක් හෝ නොතිබිණ. ජනාධිපතිවරයා කී වෙලාවට ඔහුට අත්සන් කරන්නට සිදුවිය.

කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත ස්වභාවික වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හට ගැණින. විදුලිබලාගාර ව්‍යාපෘති ලක්දනවි නැමති විදුලිබල මණ්ඩලයට අයත් සමාගමකට ලබාදීමට තිබියදී නීති විරෝධීව හා සැකසහිතව ටෙන්ඩරය අවසන් මොහොතේදී චීන සමාගමකට ලබාදීම පිළිබඳව මුලින් බෝම්බය පුපුරුවා හැරියේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමතිවරයා වන පාඨලී චම්පික රණවකය. පාඨලී ඇමතිවරයා දිගින් දිගටම තර්ක කළේ බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලක්දනවි සමාගමට ලබාදිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ වාර්තාවක් පවා පෙර සූදානම් කරගෙන තිබූ ඇමතිවරයා එයද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. පාඨලීගේ සහායට සාගල රත්නායක ඇමතිවරයාද එක්විය. සාගල ඇමතිවරයා සඳහන් කළේ ලක්දනවි සමාගමට අදාළ ටෙන්ඩරය ලබාදීම චීන සමාගමකට ලබාදීමට වඩා වාසි සහගත බවය. ලක්දනවි සමාගමේ ඉතිහාසයද ගෙන හැර එමින් සාගල කරුණු කාරණා කීවේය. කෙසේ වෙතත් බලාගාර ටෙන්ඩරය නිසා කැබිනෙට්ටුව රත්වෙද්දී ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටියද වාදයට එක්වූ අතර ඔහු දිගින් දිගටම කරුණු කියන්නට විය. සියඹලාපිටිය කීවේ නියමිත ටෙන්ඩර් පරිපාටිය හා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුවට අනුව සාධාරණව කටයුතු සිදුව ඇති බවය. එම නිසා චීන සමාගමට එම ටෙන්ඩරය ලබාදිය යුතු බවද හෙතෙම කීවේය. සියඹලාපිටිය ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමට මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වාත් අටුවා ටීකා සැපයූහ. වාදය උණුසුම්වෙද්දී ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තේය. “අපි පාඨලී ඇමතිවරයාගේ අදහස ගනිමු. මේ පිළිබඳව නැවත සලකා බලන්න ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට සතියක කාලයක් ලබාදෙමු” යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත බලාගාරයේ කැබිනට් උණුසුම එලෙසින් නිමවිය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමතිධුරයක් හිමිවීම පිළිබඳව දේශපාලන කරළියේ නොයෙකුත් කතාබහ ඇතිවිය. ඇතැම් පිරිස් කීවේ ‘බුද්ධික ඔය අවුරුදු එකහමාරත් ඕක නොගෙනම හිටියා නම් හොඳයි’ කියාය. ‘අගමැතිතුමා දිගින් දිගටම බුද්ධික නොසලකා හැරියා. මාතර දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් පළමු තැනට ආවේ බුද්ධික. ඒත් නියෝජ්‍ය ඇමතිධුරයක්වත් ලැබුණේ නැහැ.’ යැයි තවත් කෙනෙක් පවසා තිබිණ. නියෝජ්‍ය ඇමතිධුර ලබාදෙන අවස්ථාවේ බුද්ධික ජපානයේ සංචාරයකට ගොස් සිටියේය. දින දෙක තුනකට පසුව නැවත දිවයිනට පැමිණි බුද්ධික ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ නියෝජ්‍ය ඇමතිධුරය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නිවසට ගියේය. එහි ගියවිට බුද්ධිකට ලබාදීමට නියමිතව තිබූ නියෝජ්‍ය ඇමතිධුරය වෙනස්ව ඇති බව ඔහුට දැනගන්නට ලැබිණ. බුද්ධික පතිරණට නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමතිධුරය ලබාදීමට සූදානම් වුවද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ‘මට තියෙන්නේ කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමතිධූරය. ඒනිසා මට නාගරික සංවර්ධනය එපා’ බුද්ධික නියෝජ්‍ය ඇමතිධූරය ප්‍රතික්ෂේප කළේය.

එවිට ජනාධිපති නිල නිවසේ සිටි නිලධාරීන්ට කොළඹ ජනාධිපති කාර්යාලයට යාමට සිදුවූයේ බුද්ධිකගේ නියෝජ්‍ය ඇමතිධුරය වෙනස් කර ගැනීමටය. ‘මම පැය දෙක තුනක් වුණත් ඉන්නම් ගිහින් වෙනස් කරගෙන එන්න’ යැයි බුද්ධික නිලධාරීන්ට කීවේය.

මේ අතර ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉඩම් ඔප්පුවක් ඉකුත් බදාදා ලබාදුන්නේය. ‘කතානායක නිල නිවස, රජයේ සියලු කාර්යාල හා මන්ත්‍රී නිල නිවාස සංකීර්ණ ආදිය පිහිටා තිබෙන ඉඩම් නැවත මැනුම් කරනවා. ඒවාට අලුත් ඉඩම් ඔප්පු හදනවා’ යැයිද ගයන්ත කරුණාතිලක කීය.

 



අදහස් (0)

සහෝදර සංග්‍රාමය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 154 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38753 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site