IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිහින දකින ආණ්ඩුවේ - විපක්ෂයේ දේශපාලනය

මාර්තු 9 වැනිදාට නියමිතව තිබී ආණ්ඩුව අවශ්‍ය මුදල් නොදීම නිසා අප්‍රේල් 25 වැනිදාට කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණ එදිනට ද නොපැවැත්වෙන බවට දැන් බොහෝ දුරට ස්ථිරය.

මාර්තු 28,29,30 යන දිනවලට යොදා ගනු ලැබ තිබූ තැපැල් ඡන්ද විමසීම ද පැවැත්වුණේ නැත. ඒ 25 වැනිදා ඡන්දය පැවැත්වීම ස්ථිර නැති නිසා සහ විශේෂයෙන්ම රජයේ මුද්‍රණාලයෙන් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙතට නොලැබීම නිසාය.

ඒ අනුව මැතිවරණය නිල වශයෙන් දෙවැනි වරටත් කල් දැමීමක් සිදුවී නැතත් එය සිදුවීම බොහෝ දුරට තහවුරු වී ඇත. මැතිවරණය සඳහා දෙන්නට මුදල් නැතැයි කියන ආණ්ඩුව මුදල් තිබුණා ද දෙන්නට සූදානම් නැති බව ද පැහැදිලිය. දැනට එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවක් ද තවමත් පෙනී යයි. එසේම රට හමුවේ විරුද්ධ පක්ෂ අසීරුවට පත් කිරීමට ද මැතිවරණය කල් යාම නිසා ජනාධිපතිවරයාට හා ආණ්ඩු පක්ෂයට හැකියාව ලැබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු 3 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කොට තිබිණි. එම නියෝගය අනුව ඔහු කටයුතු නොකිරීම නිසා ජාතික ජන බලවේගය හා සමගි ජනබලවේගය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ඉදිරිපත් කොට ඇත.

මේ තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසම හා රජයේ මුද්‍රණාලයාධිපතිනිය මුදල් ඉල්ලා තමන් වෙත එවන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා  මුදල් ඇමැති වන ජනාධිපතිවරයා  වෙත යොමු කරන බව ජනමාධ්‍ය වාර්තාවලින් කියවේ. මැතිවරණය සඳහා වූ මුදල් ඉල්ලීම් මුදල් ඇමැතිවරයාගේ අනුමැතියට යොමු කොට ඇතැයි අධිකරණයේ දී  කියන්නට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අදහස්  කරනවා විය හැකිය. විධායක ජනාධිපතිවරයාට මුදල් ඇමැති ධුරය දරන නිසා එහිදී අධිකරණය කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්ද යන්න පැහැදිලි නැත.

මේ අතර පසුගිය 27 වැනිදා කොළඹ, නාරාහේන්පිට අභයාරාමයේ දී ජනමාධ්‍යවේදීන් හට අදහස් දැක්වූ හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයට පෙර මැතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් සිතන බව පැවසීය. මෙය රට යන අත අනුව ඔහුට ඇත්ත වශයෙන්ම වැටහෙන දේද නැත්නම් ඔහු විරුද්ධ පක්ෂවලට ඔච්චම් කිරීම සඳහා කළ ප්‍රකාශයක් ද යන්න පැහැදිලි නැත.

ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැළි වන්නේ දැනට එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ජනප්‍රියතාව ඉතා පහළ මට්ටමක පැවතීම නිසාය. සෞඛ්‍ය හා සමාජ ක්‍රම වර්ධනය සඳහා වූ ස්වාධීන පර් යේෂණ ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IPH) මේ මස මුල් භාගයේ පැවැත්වූ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයේ (SLOTS) ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගයේ ජනප්‍රසාදය සියයට 43 හා සමගි ජන බලවේගයේ  ජන ප්‍රසාදය සියයට 30ක් වූ අතර පොදුජන පෙරමුණේ හා එජාපයේ ජන ප්‍රසාදය සියයට 4ක්ව පැවැතිණි.

මැතිවරණය කල් යෑම තේරුම් ගත යුත්තේ ඒ අනුවය. ඒ අනුව තමන්ට වාසිදායක තත්ත්වයක් ඇතිවන තෙක් මැතිවරණ කිසිවක් නොපවත්වන්නට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් උත්සාහ කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථයෙන් එය වැරැදි වුවත් එවැන්නක් සිදු නොවේයැයි කිව නොහැකිය.

ආණ්ඩුවේ ජනප්‍රියතාව මේ තරම් දරුණු විදියට කඩා වැටුණේ ආර්ථික අර්බුදයත් එමඟින් ජනතාව මත පැටවුණු අසාමාන්‍ය හා අසීමිත පීඩනයත් නිසාය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට දෙන්නට නියමිත ඩොලර් බිලියන තුනෙන්  ඩොලර් මිලියන 330ක පළමු වාරිකය ලැබී තිබේ. එසේම ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු තුනකට ඩොලර් මිලියන 400ක ණයක් දෙන බව ඉකුත් පෙබරවාරි 27 වැනිදා නිවේදනය කළේය. මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය අනුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් කඩින් කඩ ලැබෙන පරිදි ඩොලර් බිලියන 3.8ක් ලැබෙන්නට නියමිතය.

මෙම ලැබුණු හා ලැබෙන්නට නියමිත විදේශ විනිමය නිසා මෙරට විදේශ විනිමය තත්ත්වය තරමක් ශක්තිමත් වන බවත් පෙනේ. ඒ අනුව ඉන්ධන හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සුළුවෙන් නමුත් අඩුවන්නට පටන්ගෙන තිබේ. එමෙන්ම මූල්‍ය අරමුදලෙන් ලැබෙන්නට නියමිත  ණය මුදල  සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරය නිසා එහි මුල් වාරිකය ලැබුණු සැණින් අර්බුදය අවසන් බවට හැඟීමක්ද ඇති වෙමින් තිබේ. මේ අනුව එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන තම තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් ජනාධිපතිවරය පවත්වනු ඇති බවටද ඇතැම්හු මත පළ කරති.

එහෙත්  අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන වික්‍රමසිංහ මහතාට ලබන වසරේ අවසානයේදී ඔහුගේ නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකිය. මක් නිසාදයත් ජනාධිපතිවරයකුට සිය පළමු නිල කාලයෙන් වසර හතරක් ඉක්ම ගිය  තැන තවත් ජනවරමක් ඉල්ලා සිටිය හැකියැයි පවසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය එහෙත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට මෙම අයිතිය නැතැයිද පවසයි.

විවිධ මාර්ගවලින් විදේශ ණය ලැබීමත් සමඟ ආර්ථික තත්ත්වය දැනට වඩා හොඳ තත්ත්වයකට පත් වේ නම් ඉන් එජාප ප්‍රයෝජනය  ලබන්නට ඇති ඊළඟ පියවර වන්නේ මහින්ද රාජපක්ෂ  මහතා පැවසූ පරිදි මේ වසර අවසානයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණයක් පැවැත්විය හැකි වන්නේද වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් පිරෙන ලබන වසරේ දෙසැම්බර් මාසයෙන් පසුවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට මෙම වාසිය ගන්නට දී පොදුජන පෙරමුණ බලා නොසිටින බව දැන් දැන් පෙනෙන්නට තිබේ. එම පක්ෂය ආර්ථික  අර්බුදය හමුවේ මෙතෙක්  සැඟ වී සිටි ගුල්වලින් පිටතට පැමිණ ප්‍රචාරක රැස්වීම් පවත්වන්නට පටන්ගෙන තිබේ. ආර්ථික අර්බුදයේත් එමඟින් ජන ජීවිතය කඩා වැටීමේත්. ජනතාවගේ සිහින බිඳ වැටීමේත් සියලු පව් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස මත  තබා අර්බුදය නිසා නැගී සිටි ලක්ෂ ගණනක ජනතාව අතුරින් සුළු පිරිසකගේ නොපනත්කම් එම ලක්ෂ ගණනක ජනතාවගේ ගිණුමට බැර කරමින් යළි ජනතාව දිනා ගැනීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇති බව පෙනේ.

මෙම උත්සාහය කොතෙක් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය. මෙරට දේශපාලන ජනමතය එක්තරා දුරකට පුද්ගල කේන්ද්‍රීය වන හෙයින් ඔවුන් මුළුමනින්ම  අසාර්ථක වේ යැයි සිතිය නොහැකිය.

කෙසේ වෙතත්, ඔවුන්ගේ මෙම උත්සාහය බොහෝ විට එජාප සමඟ ගැටුමක් දක්වාද වර්ධනය විය හැකිය. එහිදී පොදුජන පෙරමුණ රට ගොඩ නැගීමේ කීර්තිය සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියන්නටද ඉදිරිපත් විය හැකිය. මන්දයත් මූල්‍ය අරමුදල සමඟ ණය සඳහා සාකච්ඡා ආරම්භ කළේ සෙමෙන් අගාධයට යමින් සිටි රට එක්වරම එහි පතුළටම තල්ලු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය.  එනම්  පසුගිය වසරේ මාර්තු මාසයේදීය. ඒ යටතේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම  සඳහා විදේශ උපදේශකයන් පත් කළේද ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ කාලයේ 2022 මැයි මාසයේදීය.

මූල්‍ය අරමුදල ණය සඳහා සාකච්ඡා ආරම්භ වන්නට පෙරම එම අරමුදල ආර්ථික ප්‍රතිසංස්කරණ වශයෙන් බදු ඉහළ දැමීම, විදුලිය හා තෙල් මිල වැඩි කිරිම හා රාජ්‍ය ආයතන‘‘ ප්‍රතිව්‍යුහගත කිරීම’’ ආදිය යෝජනා කොට තිබිණි. ඒ සාමාජික  රටවල් සමඟ පවත්වනු ලබන වාර්ෂික සාකච්ඡා  යටතේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පසුගිය වසරේ මාර්තු මුලදී නිකුත් කරන ලද වාර්තාවකිනි.

අනෙක් අතට පොදුජන පෙරමුණ රට ආධයට ඇද දමා බංකොලොත්භාවයට පත් කොට රට ගොඩ ගැනීමේ කීර්තිය ගසා කන්නට උත්සාහ කරන බව එජාපයට කිව හැකිය.

මෙතැනදී වැදගත් ප්‍රශ්න දෙකක් මතුවේ. එකක් නම් ආර්ථික තත්ත්වය  කොතෙක් දුරට යහපත් වේද යන්නයි. මේ ලැබෙන ණය ගෙවන්නේ කෙසේද යන ප්‍රශ්නය පසෙක තිබියදී ලැබෙන්නට නියමිත ණය මුදල් නිසි පරිදි ලබා ගැනීමේ කියලු බාධක අවසන් නැත. ණය ප්‍රතිව්‍යූහගත කිරීම මූල්‍ය අරමුදලේ  ඉතිරි ණය වාරික ලබාගැනීමේ දී අනිවාර්ය බවත් එවැනි ගැටලුවකට දැනට  මූල්‍ය අරමුදලේ මුල් වාරිකය ලබාගෙන ඇති සැම්බියාව මුහුණ  දී සිටින බවත් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

චීනය සැම්බියාව සම්බන්ධයෙන් එහිදී අලුත් කොන්දේසි ඉදිරිපත් කොට ඇති බවත් එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල විදේශ ණය හිමියන් මෙරට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කළ යුතු යැයි කියා සිටීමේ අනතුරක් ඇති බවත් ඔහු එහි දී ප්‍රකාශ කළේය. මෙරටට  මූල්‍ය අරමුදලේ ඉතිරි වාරික ලැබෙන්නේ මාස හයෙන් හයට ප්‍රගතිය බැලීමෙන් පසුවය.

අප ඉහතින් සඳහන් කළ ප්‍රශ්න දෙකෙන් දෙවැන්න නම් ආර්ථික පීඩනය ලැබෙන ණය මුදල් නිසා තරමක් අඩු විය හැකි වුවත් ආර්ථික  අර්බුදය නිසා නිවාස වාහන, විදේශ අධ්‍යාපනය,උසස් අධ්‍යාපනය හා විවාහය වැනි සංවේදී සිහින විනාශ වූ පවුල් දස දහස් ගණනක් රටේ සිටී. ඔවුන් ඒ සිහින බිඳ වැටීමේ වේදනාව එතරම් ලෙහෙසියෙන් අමතක කරනු ඇද්ද යන්න මත ආණ්ඩු පක්ෂ දෙකට ලැබෙන‘‘ගොඩ ඒමේ’’ අවස්ථාව තීරණය වනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

සිහින දකින ආණ්ඩුවේ - විපක්ෂයේ දේශපාලනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 972 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 6368 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 445 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 838 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 851 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 449 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site