IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සංහිඳියා පනතේ අතුරු කතා

ආරම්භයේදී එනම් 1980 ගණන්වල අග භාගයේදී කොටි සංවිධානය ඇතුළු උතුරේ දෙමළ සන්නද්ධ සංවිධාන ගණනාවක් සමඟත් පසුව 1987 න් පසු කොටි සංවිධානය සමඟත් මෙරට ආරක්ෂක හමුදා කළ යුද්ධය අවසන් වී වසර 15ක්  ගතවන්නට තව ඇත්තේ මාස හතරකි.

එම සන්නද්ධ ගැටුම්වලදී හටගත් සිදුවීම් පිළිබඳව සොයා ජන කොට්ඨාස අතර ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය ඇති කිරීම සඳහා කාර්යාලයක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කර ගත්තේය.

එම කාර්යාලය පිහිටුවන්නට ආණ්ඩුව  නීතියක් මඟින් කටයුතු කරන්නේ කලින් කී පරිදි යුද්ධය අවසන් වී වසර පහළොවක් ඉක්ම ගියාට පසුය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු හෙයින් මෙම පනත සම්මත කෙරුණේ එම පක්ෂයේ ඡන්දයෙන් වුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ නොසිටියේ නම් අඟහරුවාදා මෙවැනි පනතක් සම්මත වන්නේ නැත. එහෙත් වික්‍රමසිංහ මහතාද බලයට පත්වී සිටින්නේ පළමුවැනි වතාවට නොවේ.  ඔහු බලයට පත්වූ පෙර වතාවල මෙම පනත සම්මත  වූයේ නැත.

1993 මැයි මාසයේදී ඔහු පළමු වතාවට  ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා යටතේ අගමැති ධුරයට පත් විය. එහෙත් එකල ඔහු එතරම් බලගතු බවක් පෙනෙන්නට තිබුණේ නැත.

එහෙත් 2001 දෙසැම්බර් මස ඔහු මහජන ඡන්දයෙන් අගමැති ධුරයට පත්වූ විට ඔහු බලවත් අගමැතිවරයෙක් විය. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් වග කියන ජනාධිපතිගෙන් (ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාර්තුංග මහත්මියගෙන්) නොවිමසාම කොටි සංවිධානය සමඟ සටන් විරාමයක් ඇති කරගෙන සාම සාකච්ඡාද ආරම්භ කළේය.

ඉන්පසු 2015 දී බලසම්පන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රමුඛ රාජපක්ෂවරුන් පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු යළිත් අගමැති ධුරයට පත්වී ස්වාධීනව හා බලවත් පුද්ගලයකු ලෙස කටයුතු කළේය. එතරම් බලසම්පන්න ලෙස ඔහු කටයුතු කළ එම අවස්ථා දෙකේදීද යුද්ධය පැවැති කාලයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන් වෙතින්  හා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් චෝනා එල්ල විය. දකුණු අප්‍රිකාවේ මෙන් ශ්‍රී ලංකාවේද එම සිද්ධි සම්බන්ධයෙන් සොයා බලන්නට සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කළ යුතු යයි එකලද යම් යම් පාර්ශ්ව වෙතින් යෝජනා  ඉදිරිපත් විය.

වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවූ 2015 සිට 2019 දක්වා පැවැති ‘‘යහපාලන’’ ආණ්ඩුව එම යෝජනා පිළිගෙන එවැනි කොමිසමක් පත් කරන බව 2015දී හා 2017 දී එ.ජා.මානව හිමිකම් කොමිසමට වරක් නොව දෙවරක්ම පොරොන්දු වූයේය. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා  කාර්යාලයක්ද ආරම්භ කෙරිණි. එහෙත් 2019 දී කුමාරතුංග මහත්මිය එම කාර්යාලයෙන් ඉල්ලා අස් වූවාය. 

මෙසේ මෙම කටයුතු  ඇදි ඇදී ගොස් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හොබවන තත්වය යටතේ සත්‍යය, සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා පසුගිය ජනවාරි 1 වැනිදා පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීය. ඒ අතර ආණ්ඩුව ඉකුත් අඟහරුවාදා ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය නමින් ආයතනයක් පිහිටුවීම සඳහා පනතක්ද අඟහරුවාදා සම්මත කර ගත්තේය.

චන්ද්‍රිකා කුමාරතුංග  මහත්මිය සභාපතිත්වය හෙබවූ ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය කැබිනට් අනුමැතියෙන් පිහිටුවන ලද්දකි. දැන් ආණ්ඩුව පනක් මඟින් එනමින්ම  කාර්යාලයක් පිහිටුවන්නට යයි.

මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දී අත්තේ උතුරු  නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් පමණි. ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබේ සිට නැත.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය (සංහිඳියාව) සඳහා පනතක් සම්මත කරන්නට ආණ්ඩුව  ඉදිරිපත් වන්නේ බාහිර බලපෑම් නිසාය යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ. සමහර විට මෙය මාර්තු මස පැවැත්වීමට නියමිත එ.ජා.මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ඉලක්ක කරගෙන සම්මත කෙරුණා විය හැකිය. යුද්ධයෙන් පීඩිත දෙමළ ජනතාවට අනාගත සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් දෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය කරන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පනත සම්මත කෙරුණු බව සැලකිය හැකිය.

එසේ නම්  උතුරේ දෙමළ පක්ෂ මෙම පනතට විරුද්ධව ඡන්දය දුන්නේ කුමක් නිසාද යන ප්‍රශ්නය මතුවේ. ඔවුන් ඒ ගැන පවසා තිබුණේ මෙවැනි කාර්යාල, අණ පනත් කොතෙකුත් තිබුණත් ඒවා සිය අරමුණු ඉටුවන ආකාරයට ක්‍රියාත්මක නොවන හෙයින් තමන් මෙම පනතට විරුද්ධ වන බවය.

මෙම පනතට ඔවුන් විරුද්ධවීම එක්තරා දුරකට ගැටලු සහගත වුවත් අතීතයේදී සංහිඳියාව වෙනුවෙන් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පත් කරන ලද සියලු කොමිෂන් සභාවලින්, කාර්යාලවලින් හා වෙනත් යන්ත්‍රණවලින් අත්වූ යහපතක් නැත යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප  කළ නොහැකි සත්‍යයකි.

මෙම කොමිෂන් සභා හා කමිටු සියල්ලම පාහේ පත් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඔහු 2005 දී බලයට පත්වී වසරක් ගතවන්නටත් පෙර ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ බලපෑම් හේතුවෙන් 2005   අගෝස්තු 1 වැනිදා සිට මෙරට සිදුවූ බරපතළ අපරාධකාරී සිදුවීම් 15ක් පිළිබඳව විභාග කොට වාර්තාවක් ඉදිරිපත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  නිශ්ශංක උදලාගම මහතාගේ සභාපතිත්වයෙන් 2006දී කොමිසමක් පත් කෙරිණි. එම වසරේම ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් සර්ව පාක්ෂික නියෝජිත කමිටුව (APRC) පත් කෙරිණි.

තමන් පත් කළ උදලාගම කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනයට ලක්වීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය විශේෂඥයන් 11 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර ස්වාධීන විශිෂ්ට පුද්ගලයන්ගේ කණ්ඩායම’’ යනුවෙන් කමිටුවක් පත් කළේය. එහි සභාපති  වූයේ ඉන්දියාවේ  හිටපු අග විනිසුරු පී.එන්.භගවතී මහතාය. තමන්ට රජය අවශ්‍ය සහයෝගය නොදෙන බවට චෝදනා කරමින් එම කමිටුව 2008 දී තම කටයුතු අවසන් කළේය.

2009 දී යුද්ධය අවසාන වීමෙන් පසු යුද්ධය පැවැති කාලයේදි සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල විය. එවක සිටි එ.ජා. මහලේකම් බෑන්කි මුන් ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා 2010 දී විශේෂ කමිටුවක් පත් කළ විට කලබල වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 මැයි 15 වැනිදා උගත්  පාඩම් හා සංහිදියා කොමිසම (LLRC) පත් කළේය. එම කොමිසම 2011 වසරේදී සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය.   

එහෙත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදැක්වීම නිසා එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් එ.ජා. මානව හිමිකම් කවුන්සිලය 2012දී ශ්‍රී ලංකාව සම්බක්ධයෙන් යෝජනාවක් සම්මත කළේය. එතැන් සිට වසර කිහිපයක් හැර සෑම වසරකම එම කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් බැගින් සම්මත කරයි. පසු කාලීන යෝජනාවලින් කියවුණේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන ශ්‍රී ලංකාවේ හමුදා හා දේශපාලන ප්‍රධානීන්ට එරෙහිව විදේශවලදී නඩු පැවරිය යුතු බවය.

මානව හිමිකම් කවුන්සිලය 2012 දී සිය යෝජනාව සම්මත කොට 2013 දී තවත් යෝජනාවක්ද සම්මත කළ විට මහින්ද රාජපක්ෂ මහතා මෙරට යුද්ධයේදී අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු  මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළේය. එහි කටයුතුද විවේචනයට ලක්වීම නිසා යුද්ධයේදී අහිමිවූ සිවිල් වැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් හා මානව හිමිකම් හා මානුෂිය නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන්ද කරුණු විභාග කරන්නට පරණගම කොමිසමට තවත් රාජකාරීයක් පැවරිණි. ඊට විදේශීය උපදේශකයන් ද පත් කෙරිණි. කොමිසම සිය වාර්තාව 2016 දී එවක ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම් පී.බී.අබේකෝන් මහතාට භාර දුන්නේය.

යහපාලන ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේ 2015 යෝජනාව අනුව 2016 දී අතුරුදහන් වූවන් පිළිබඳ  කාර්යාලය නමින් කාර්යාලයක් ආරම්භ කළේය. එම යෝජනාව අනුවම පසුව හානිපූර්ණ කාර්යාලය යනුවෙන් තවත් කාර්යාලයක් ආරම්භ කෙරිණි. යුද්ධයේදී සිදුවූ හා හානිවලට වන්දි ගෙවීම එමඟින් කරන බව කියවේ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් සංගිදියා කාර්යාලය ආරම්භ කෙරුණේද ඒ කාලයේය. ඒ සමඟම මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් උපදේශන කාර්ය  සාධක  බළකාය යනුවෙන් තවත් ආයතනයක්ද ආරම්භ කෙරිණි. එය සංහිඳියාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසා කුමාරතුංග මහත්මිය වෙත වාර්තාවක්  ඉදිරිපත් කළේය. යුද්ධය පැවැති කාලයේ සිදුවූ මානව හිමිකම් හා යුද්ධ අපරාධ පිළිබඳව  පරීක්ෂණ  පැවැත්වීම සඳහා මෙරට හා විදේශ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවීමට එමඟින් නිර්දේශ කෙරිණි. මේවාට අමතරව ඒ කාලයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යනුවෙන්ද ආයතනයක් පිහිටුවා තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ පත් කරන ලද උදලාගම කොමිසම, පරණගම කොමිසම, උගත් පාඩම් හා සංහිදියා කොමිසම, ජත්‍යන්තර ස්වාධීන විශිෂ්ට පුද්ගලයන් කණ්ඩායම ආදි සියල්ලේ ප්‍රකාශිත අරමුණු  එකමය. එසේම යහපාලන ආණ්ඩුව ආරම්භ කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය,  ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාලය, උපදේශන කාර්ය සාධන බළකාය හා සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ආදියේද අරමුණු පමණක් නොව වෙනත් කටයුතුද  සමානය.

අදද ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හා හානිපුරණ කාර්යාලය පවත්වාගෙන යයි. ඒ අතර දැන් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාලය පනත සම්මත කොට ඇත. සත්‍යය සමඟිය හා සංහිඳියා කොමිසම යනුවෙන් කොමිසමක් පත් කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයේ පළ කොට  ඇත. මේවායේද ඇතැම් ඒවායේ අරමුණු හා ඒවාට පැවරෙන කාර්ය භාරය සමානය. ඒවා වෙනුවෙන් වැය කෙරෙන්නේ මහජන මුදල්ය.

දෙමළ පක්ෂවල ඉල්ලීම්වල සාධාරණත්වය පිළිබඳව කෙනකුට ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් මෙම  පසුබිම තුළ ආණ්ඩුවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුනට විශ්වාසයක් නැතිවීම තේරුම් ගත හැකිය. එහෙත් ඒවාට විරුද්ධව ඡන්දය දීම කොතරම් දුරට නිවැරැදිද යන්න  විමසා බැලිය යුත්තකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (3)

සංහිඳියා පනතේ අතුරු කතා

AB Sunday, 14 January 2024 06:38 AM

නිදහසින් පසු ලංකාවේ ජාතින් නියෝජනය වන්නා වූ ප්‍රදේශ අනුව බලය බෙදීම පිළිබඳව ගැටලුව මතුවිය. එය ප්‍රධාන වශයෙන්ම එම ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන්නා වූ දේශපාලකයින්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා වූ බලය බෙදීමක් මිස රටේ පුරවැසියන්ගේ මූලික අවශ්‍ය තත්වයන් මුල් කරගෙන ඇතිවූවක් නොවේ. උතුරේ හෝ නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට අවශ්‍ය වූයේ නම් ඔවුන් කළයුතුව තිබුනේ රජය සමග එක්ව කැබිනට් ඇමැති තනතුරු ලබා ඔවුන්ගේ ජනතාවට අවශ්‍ය සේවය කිරීම වුවත් ඔවුන් එසේ සිදුකළේ නැත. දේශපාලකයින් ජනතා ගැටළු නිසි ආකාරයට විසඳීමට කටයුතු කළේනම් යුද්ධයක් ඇතිවන්නේද නැත. නිදහසින් පසු ලංකාවේ රාජ්‍යයන් ගණනාවක් බිහිවී තිබේ. සංහිඳියාව යනු කුමක්ද? ඒ සඳහා ලබාදිය යුතු පිළියම් මොනවාද යන්න පිළිබඳව හෝ සංහිදියාව පිළිබඳව අවබෝධයක් තිබූ දේශපාලකයින් ඒ සඳහා විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීමේදී ඔවුන් ජාතිවාදීන් ලෙස අන්තවාදී දේශපාලන කණ්ඩායම් විසින් රටේ මතයක් ගොඩ නැගීය. එය සිදුවුයේ උතුරේත්, නැගෙනහිර, කඳුරට සහ දකුණේත් දේශපාලකයින්ගේ බලය පිළිබඳවම තිබූ අවශ්‍යතාවය නිසාමයි.

:       0       2

AB Sunday, 14 January 2024 06:39 AM

ලංකාවේ නිදහසින් පසු ජාතික ගැටලුව විසඳීමට විවිධ නම්වලින් කොමිසම් ගණනාවක් පත්කරන ලදී. එසේ උවත් සත්‍ය විසඳිය යුතු ගැටළුව එසේම පවතී. සංහිදියාව යනු බලය ලබාගැනීම බව වැරැදි වැටහීමකින් උතුරේත් නැගෙනහිර සහ කඳුකර දේශපාලකයින් ක්‍රියාකරමින් සිටියි. සංහිඳියාවට මුවාවී බලය ලබන්නේ කෙසේද කියා ඔවුන් සිතනවා වෙන්නට පුළුවනි. එය එසේ සිදුවන්නේ ද නැත. ජනතාවගේ මූලික අවශ්‍ය තත්වයන් ඉටු නොවන තුරු සංහිඳියාව මිථ්‍යාවකි. රටේ පුරවැසියන් දේශපාලකයින් විසින් ලබාදිය යුතු මූලික අවශ්‍යතාවයන් අමතක කරමින් දශක ගණනාවක් රැවටීමට ලක්කිරීම නිසා මේවන විට සමස්ත සම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රනයම රටේ දැඩි ලෙස ප්‍රතික්ෂේප වෙමින් තිබේ. ලංකා දේශපාලන ඉතිහාසයේ මෙවැනි තත්වයක් ඇතිවූ පළමු අවස්ථව මෙය වේ. දේශපාලකයින් දේශපාලන Deal දමන්නේ ඔවුන්ගේ අවශ්‍ය තත්වයන් සහ බලය ලබාගැනීමට පමණක් වූ කාරණය අවශ්‍ය තත්වයන් වෙනුවෙන් බව රටේ පුරවැසියන් තේරුම්ගෙන තිබේ.

:       0       1

AB Sunday, 14 January 2024 07:00 AM

සංහිඳියාව කළයුතු වන්නේ විසඳුම් ලබාදීමට නොහැකි කොමිසම් පත් කිරීමෙන්, පොත් ලිවීමෙන් හෝ දේශපාලන සාකච්ඡා පවත්වමින් ජාතීන්/ ආගම් අතර විරසකය මතුකරමින් හෝ ජාත්‍යන්තර නියෝජිතයින් වෙත, ආයතන වෙත ගොස් හෝ ඔවුන් ලංකාවට ගෙන්වා... ඔවුන්ට රටේ ප්‍රශ්නය පවසා ඔවුන්ගෙන් සංහිඳියාවට පිළිතුරු ලබාගැනීමට උත්සාහ කිරීම හෝ නොවන බවත් රටේ පුරවැසියන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු පිළිබඳව සොයා විසඳුම් ලබාදීමට කටයුතු කිරීම සංහිඳියාව බව පසුගියදා ජනාධිපතිවරයගේ යාපනය සංචාරයෙන් පැහැදිලි විය. දශක ගණනාවක් දේශපාලකයින්ගේ රැවටීමට ලක්වූ උතුරේ, නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල පුරවැසියන්ට ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලකයන් දශක ගණනාවක් ලබාදීමට නොහැකි වූ සංහිදියාව කුමක්ද යන්න පිළිතුර ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසු තේරුම් ගත් පුරවැසියන් මැතිවරණයේදී නිසි පිළිතුරු ලබාදෙනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 163 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site