IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සිංහරාජ අඩවියේ කෑල්ල

 
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වර්තමානයේ  අංක 206 නමින් පරිපාලනමය වශයෙන් බෙදී වෙන්වී පවතින “කෑල්ල”‍  කෑල්ලගම, කෙහෙලියගම යන නම් වලින් හඳුන්වන මෙම ගම්මානය අතීතයේදී ඉතා සුන්දර වූ පාරිසරික වත් පොහොසත් කමින් අනූන වූ  ප්‍රදේශයකි.
ශ්‍රී ලංකාවට ලෝක උරුමයක් වූ අමිල අගයකින් යුත් සිංහරාජ වනාන්තරයට යාබද ගොන්ගල කන්දේ නැගෙනහිර බෑවුමේ රමණීය පරිසරයක  පිහිටි මිටියාවත කෑල්ල (කෑල්ලගම) ලෙස හැඳින්වේ.
 
ගොන්ගල  කන්ද ආශ්‍රිත වූ භූමි භාගයෙන් ආරම්භ වී තවත් දිය  උල්පත් සමග එක්වී ‘හේයස්’ වතුයාය සහ කබරගල කන්ද, හේනගොඩ කන්ද අතරින් පැමිණ කෑලිකන්ද හරහා ගලා එන සීතල වූ ජලධාරාවෙන්  යුක්ත මකුළුතොට ඔය අසබඩ දැකුම්කලු උස් භූමි භාගයක ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරය ද පිහිටා ඇත.
“කෑල්ල”‍ නමින් පටබැඳි මේ ගමට බස්නාහිරින් ගොන්ගල කන්දද,  නැගෙනහිරින් වළල්ගොඩ නම් ඉපැරැණි ගම්වරයද, දකුණු දෙසින් කෝප්පකන්ද සහ උතුරු දෙසින් බුත්කන්දෙන්ද, මායිම්ව පිහිටි මෙම ගම්මානය ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේට පූජා කොට ඇති විහාර ගමක් වශයෙන්  ⁣ඓතිහාසික ලේඛන ගතව ඇත. එදා මේ ගම කඳු හෙල් අතරින්  ඇදහැළුණු සීතල දිය දහරාවලින් සුවය ලබා ඇත. රමණීය වූ ස්වාභාවික  සෞන්දර්යයෙන් අනූන වී ඇත. සුව පහසු දනවන මනා දේශගුණයකින්  සුපෝෂණය වී ඇත. ප්‍රදේශයට ආවේණික වූ සියොතුන්ගේ ගී නාදයත්,  මීමැසි, බමර සමූහයාගේ ගුමු ගුමුවත් සමග බැඳුණු සමනලු‍න් නිසා පරිසරය ඉතා ශෝභාවත් වී ඇත. ගෝන, මුව ආදී සිව්පාවුන්ද රිසි සේ  සැරිසරා ඇති බවටද තොරතුරු බොහෝය. එමෙන්ම මිලක් ගණනය කළ නොහැකි වටිනා දැව සහිත වෘක්ෂයන්ගෙන් මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවට අවැසි ඖෂධ වර්ගයන්ගෙන්ද ගහණය වූ මෙම ⁣ඓතිහාසික “කෑල්ල”‍ නම් ගම්මානය විවිධ පලතුරු වර්ගයන්ගෙන්ද පිරී ගොස් තිබූ බවද පැහැදිළිය. 
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරලයට අයත් කොළොන්න ගම්පත්තුවේ පිහිටි කෑල්ල නම් ගමේ ඉතිහාසය පිරිසිදු  ලෙස දැනගැනීමට තරම් ඓතිහාසික වූ ලිඛිත සාක්ෂි හෝ පුරා විද්‍යාත්මක සාධක මේ තාක් හමුවී නොමැත. දැනට මූලාශ්‍ර වශයෙන් ගත හැකි වෙන්නේ මුඛ පරම්පරාවෙන්  එන  සාමාන්‍ය වහර පමණක්ම වේ.
 
“පෙර රුහුණු රටේ මාගම්පුර රාජධානි සමයේ මෙම ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය රජෙකු සහ වෙනත් රජ කුමාරයෙකු අතර සටනක්  සිදුවී ඇත. ඒ සටනින් ප්‍රාදේශීය පාලකයා පරාජයට පත්කර ජයග්‍රහණය කළ කුමාරයා මෙම ගමෙහි ජය කෙහෙල්ල (ජය කොඩියක්) ඔසවා ඇත. එතැන් පටන් “කෙහෙල්ළ”‍ නමින් මේ ගම ප්‍රකට වී ඇති බවත්, එය ජනව්‍යවහාරයත් සමග “කෑල්ල” බවට පත්වී ඇති බවත් තොරතුරු අපවත්වී වදාළ පූජ්‍ය පණ්ඩිත කෑල්ලගම චන්දානන්ද හිමි විසින් රචිත කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාර වංශයේ සඳහන්ව ඇත. එහි සඳහන්  පරිදි මෙය සනාථ කරනුවස් විහාරස්ථානයට කිලෝ මීටර් දෙකක් පමණ බටහිරින් සාමාන්‍ය දිය ඇල්ලක් පිහිටා ඇත. ප්‍රදේශය වනගතව පැවති පුරාණ කාලයේ මෙය විශාල දිය ඇල්ලක් වීය. මෙම දිය ඇල්ලට සමීපව විශාල ගල් කුහරයක් තුළ විහාර කුටියක් සහිත පුරාණ රජමහා විහාරයක් අදටද දැක ගත හැක. එම විහාරයේ වහළය මහා ගල්තලාවකින් සැකසී ඇති අතර එම ගල් තලාව දිගේ ද දිය ඇල්ලක් කඩාහැළෙන අයුරු දක්නට තිබේ. මෙය වළගම්බා රජු පැනවිත් සැඟවී සිටි බවට ව්‍යවහාරයේ පවතී. එමෙන්ම සුගලා දේවියගේ ආගමනයක් සමග ඇයද මේ ලෙන තුළ සැඟවී සිටි බවටද මත දරන අයද බොහොමයක් සිටිති.
එසේ සැඟවී ගිය ඉතා වටිනා ඉතිහාසයක් ඇති මෙම ලෙන් ⁣විහාරය  බීරිගන්ඇල්ල පුරාණ රජමහා විහාරය ලෙස හඳුන්වයි. එම විහාරයට සමීපව ඇති දිය ඇල්ල පැරැන්නන් හඳුන්වනු ලැබ තිබුණේ “රජාපත්”‍  ඇල්ල නමිනි. ඉහත සටනින් පරාජයවූ රජු ගන කැලෑවේ හඬ දෙමින් කඩා හැළෙන මෙම දිය ඇල්ලට පැන සිය දිවි නසා ගත් බවද  එහි  සඳහන් ව ඇත. එම රජාපත් ඇල්ල පසු කාලීනව “බීරිගම්”‍ ඇල්ල නම් වී ඇත. එයට හේතුව වී ඇත්තේ කන් බිහිරි කරවන තරමට දෝංකාර දෙමින් ඇදහැළුණු බැවිනි. නමුත් දැනට මේ ප්‍රදේශයද ජනාකීර්ණ වීම නිසා ඒ බීරිගම් ඇල්ල කුඩා දිය පාරක් බවට පත්වී තිබේ. එමෙන්ම ශ්‍රී   දළදා වහන්සේට පූජා කරන ලද කොටස “කෑල්ල”‍ නමින්  ව්‍යවහාර වී ඇත. මෙලෙස නම් වූ ගමේ නම නිසා ව්‍යවහාරයේදී මතුවෙන යම් යම් ගැටලු ද එකල මතුවී ඇත. පසුගිය කාල වලදී රාජකාරි මට්ටමේ  නිලධාරීන් වෙත පවා ලැබුණු ලිපි ලේඛන කෑල්ල පසු කරමින් කෑගල්ල  සොයා ගිය අවස්ථා ද බොහෝය. අසීරුවෙන් සොයා එම ලිපි ආපසු  කෑල්ලට එන විට එහි කාලයද හමාර වී අවසන්ය. 
එම හේතුව නිසාම 1880 දී මෙම ගැටලුවට විසඳුමක් ලෙස ගොවීන්ගෙන් බදු අයකිරීමට නිකුත් කරනු ලැබූ කුවිතාන්සියේ ගමේ නම සඳහන් කරන ස්ථා⁣නයේ කෑල්ල වෙනුවට කෑල්ලගම යනුවෙන් යෙදීමට එකල විසූ ඒජන්තවරයා කටයුතු කර ඇත. එසේ එක්තැන් වූ කෑල්ලගමට  අවට පිහිටි අඹගහයාය, හක්බෙලිආර, පුපුලකැටිය, වළකඩ, 10 කණුව,  ඌරාවල, මහයාය, කෑලිකන්ද, අලගල්කන්ද, පේරකැටිය, කෑල්ලහංදිය  ආදි කුඩා ගම්මාන රාශියක්ම ඒකාබද්ධ වී තිබුණි. 
 
එදා පවුල් අතළොස්සකට වාසස්ථාන වූ මේ ගමෙහි වර්තමානයේ   පවුල් දහසකට අධික පිරිසක් උරුමකම් කියති. මේ වෙන විට පරිපාලනමය වශයෙන් කෑල්ලගම ග්‍රාම නිලධාරී වසමක් ලෙසින් වෙන් කරන විට එගමට පොකුරු ලෙසින් බැඳී තිබූ කුඩා ගම්මාන බෙදී වෙන්වී ගියේය. ඒ අනුව වර්තමාන පරිපාලන ක්‍රියාදාමයට පහසුවන සේ  අඹගහයාය, හබ්බෙලිආර, පුපුලකැටිය, කෝප්පකන්ද, බුත්කන්ද, සහ කෑල්ලගම වශයෙන් ග්‍රාමනිලධාරී වසම් අනුව බෙදා වෙන්කර ඇත. 
මෙයට වසර 30, 40 ට පෙර  ගමනාගමන පහසුකම් කිසිවක්  නොමැති වීම නිසා එදා මිනිසුන් පා ගමනින්ම තම අවශ්‍යතා ඉටුකර ගෙන ඇත. බස්රියක් ආසාවට නොදැකපු මිනිසුන් බොහෝය. කෙසේ වූවත් ප්‍රදේශයේ ජීවත්වූ ඉහළ පෙළැන්තියේ රදලවරුන්, නිලමේවරුන්, වගේම කුමාරිහාමිලා වැනි ප්‍රභූ කාන්තාවන් දෝලාවෙන් ගමන් බිමන් ගිය බව පැරැන්නෝ පවසති. ගැමියන්ට අවශ්‍යතාවක් වූ විට රක්වානට, ඇඹිලිපිටියට හෝ ඌරුබොක්ක වැනි ප්‍රදේශවලට පා ගමනින්ම ගමන්කර ඇත. ගැමියෝ ගොවිතැනින් ජීවත් වූවද සිල්ලර බඩු මිලදී ගැනීමට කෑල්ලේ එක කඩයක්ද, කොළොන්නේ එක කඩයක්ද තිබුණු බව පැරැන්නෝ පවසති.
 
අතීතය වල් අලි ගහනය නොඅඩුව තිබුණු මෙම ගමේ ඉතිහාසගත රසමුසු සහ ත්‍රාසජනක සිදුවීම්ද බහුලය. කොළොන්න, ඇඹිලිපිටිය අඩිපාර දිගේ උදය සහ සවස් කාලයේ ගමන් බිමන් යාම ඉතා අනතුරුදායකය. එබඳු එක් අවස්ථාවක සිදුවූ එක් ත්‍රාසජනක මෙන්ම සොඳුරු සිදුවීමකි මේ. කෑල්ල 10 කණුව, වර්තමාන ශ්‍රී ධර්මාකර විහාරස්ථානයට සමීපව කිසි කලෙක නොසිඳෙන දිය උල්පතක් තිබේ.  නමින් එය දොඩම් ගහ උල්පතය. එය අදට ද එසේමය. එදා වල් අලින් නිතර දිය බීමට එන්නේ මෙම දොඩම්ගහ උල්පතටයි. කොතෙක් බාධක තිබුණද ගැමි චාරිත්‍ර අදට වඩා සශ්‍රීකව එදා ක්‍රියාත්මක කර ඇත. එයට හොඳම නිදසුනක් ලෙස, කෙහෙලියගම සිට වළල්ගොඩට මනාලියක්  කැන්ද‌ා ගෙන යාමේ උත්සවයක් පැවැත්වූ එගම වැසියන් සවස් කාලයේ  සුභ නැකතින් ගමන පිටත් වූයේ පා ගමණිනි. එසේ යමින් සිටියදී  දොඩම්ගහ උල්පත අසල සිටි වල් අලි රංචුවක් නිසා කලබල වූ මඟුල් පෙරහර ආපසු හැරී දුව ගොස්  පාර අයිනේ තිබූ විශාල කෝන් ගසට  මනාලියද ඔසවාගෙන නැග ඇත. එහිදී මනාලි⁣යගේ මඟුල් සාරි පොටෙන්ම ඇය කෝන් ගසටම තබා බැඳ සියලු‍ දෙනාම එදා රාත්‍රිය  කෝන් ගහේම ගතකර ඇත. එතැන් පටන් අදවෙන තුරුත් ඒ ගස  “මනමාලි බැන්ද කෝමේ”‍ ලෙසින් දක්නට ඇත. 
 
 
පැරණි ජනතාව අතර එවකට අලි එළවන මන්ත්‍ර, ස්ත්‍රී පුරුෂ  භේදයකින් තොරව භාවිතයේ පැවත ආ බවට දැනුදු සාක්ෂි දැකගත හැක.  හේන් ගොවිතැනට ප්‍රමුඛත්වය දැක්වූ එදා ගොවියා කුරහන් තලපයට බතට වඩා ප්‍රියකර ඇත. හේන් ගොවිතැනට අමතරව වී ගොවිතැන වගේම පාරම්පරික කර්මාන්ත බහුලව පැවත ඇත. ඒ අතරින් කොහු කර්මාන්තය, මැටි වළං කර්මාන්තය, උළු, ගඩොල් නිෂ්පාදනය, (මෝඩ ගඩොල්), පෙදරේරු සහ වඩු කර්මාන්තය  ආදි දේ වර්තමානය තෙක් වර්ධනය වී ඇත. 
 
මිඩිකර අරගෙන උණුදියරෙහි ලා 
පදමට තම්බා පෙරමින්නේ
දැඩිකර කොටවා  පිටිගෙන ළිප්ගල්
  දෙකට දෙපය දී ඉඳ ගන්නේ
වැඩිපුර දියවෙන බඳුනක වත්කර
පදම බලාලා පිටි ලන්නේ
කඩිසරලෙස ගොල ගැට නොගැසෙන්නට
විගසට කලවම් කරගන්නේ
      
ඔරු පදිනා ලෙස ඇද  ඇද පතුගා 
දියවර තුනකින් තම්බන්නේ
තරු පෙනෙනා කල දුම් වැද  ඇස්වල
පදම බලාලා බා ගන්නේ
ගුරු නොවනා ලෙස ලෙලි නැති පොල්
සා තරමට ගුළි කරවා ගන්නේ
බරු දමනා ලෙස මාත්තු සමගින්
තද උණුසුම්  පිට වළඳන්නේ
 
හේන් ගොවිතැනට ආදරය කළ එකල කෙහෙලියගම ගැමියාගේ  ප්‍රියතම ආහාරය වූයේ  කුරහන් තලපය. ඒ පිළිබඳ ඔවුන්ගේ ජීවිතයේ ඇතිවූ රසය ඔවුන් මෙසේ ඉතා රසවත් ලෙස පෙන්වාදී ඇත.       
                           
ප්‍රදේශයේ ජනාකීර්ණත්වය වර්ධනය වීමත් සමග විවිධ වූ පැතිකඩ ඔස්සේ කෑල්ල, කෑල්ලගම නැත්නම් කෙහෙලියගම සංවර්ධනය වෙමින් පවතින්නේය. නාගරික පරසරයකට නම්‍ය වෙමින් බහුතරයක් සාමාන්‍ය   ජනයා නාගරික සංස්කෘතියට අත වනනු ලබන ස්වභාවයක් දක්නට ලැබේ.  අතීතයේ තුබූ ඒ සුන්දර පරිසරය වෙනුවට අද දියුණු වෙන්නට වෙර දරන කෑල්ලහංදිය හෙවත් තුංමසලකින් සුසැදි කඩපොළ, ඊට අමතරව  කෑල්ලගම ශ්‍රී සුනන්ද ජාතික පාසල සහ එහි දෙපසින් පිහිටා අැති නිල්ල ගැහුණු වෙල්යාය දැකගත හැකිය.
 
 
■ කොළොන්න පී. ආර්. ගමගේ



අදහස් (3)

සිංහරාජ අඩවියේ කෑල්ල

ජයවර්ධන Monday, 24 July 2023 06:44 PM

ඔය වාර්තාව සඳහා කෑල්ල ආසන්නව එක් පැත්තක මඩුවන්වෙල වලව්වත්, අනෙක් පැත්තේ පනාමුර ඇත් ගාලත් තිබුණා කියලා කිව්වා නම් තවත් සාර්ථක ලිපියක් කියන්න පුළුවන්...

:       0       6

Jerald Premanath Wednesday, 26 July 2023 03:38 PM

ගොඩක් හොඳ ලිපියක්... හොඳ වැඩක්...

:       0       12

ජුනයිඩ් නානා Tuesday, 01 August 2023 08:59 AM

සිංහලෙන් කෑල්ල. ඉංග්‍රීසියෙන් කෙල්ල (KELLA). බලන්නකෝ බෝඩ් එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 647 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1101 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 394 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 559 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 930 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site