IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සහරාන්ගෙන් බේරී යන අයට ඉල්හාම්ගෙනුත් බෝම්බයක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයකින් කොටසකි.


2. ෂැංග්‍රිලා හෝටලය
2019 අප්‍රේල් 17 වැනිදා සිදු කළ පූර්ව නිරීක්ෂණයේ දී ඉන්ෂාෆ් විසින් ඒබීසී 1090 අංක තහඩුව දරන ත්‍රීරෝද රථයක් ෂැංග්‍රිලා හෝටලයට අනික් පස පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට ගෙන්වාගෙන ඇත. ඉන්පසු ඔහු පැය 13.52 ෂැංග්‍රිලා හෝටලයට ඇතුළුවී මොහොමඩ් හාම්සාඩ් යන නමින් පෙනී සිටිමින් අප්‍රේල් 20 වැනිදා සඳහා කාමර අංක 616 වෙන්කරවාගෙන ඇත. කෙසේ වුවත් ඔහු කිසිදු ආකාරයක හැඳුනුම්පතක් අනන්‍යතාව තහවුරු කිරීම සඳහා මෙහි දී  ලබා දී නොමැත. මේ කාමර වෙන්කරවා ගැනීම සම්බන්ධ දත්ත ඇතුළත් කිරීමේ පෝරමයේ අදාළ කාමරයේ ලැඟුම් ගන්නා පුද්ගලයාගේ නම ලෙස සඳහන් වෙන්නේ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් ලෙස වන අතර ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වෙන්නේ අංක 658/90, මහවිල උයන කොළඹ 09 ඔහුගේ හැඳුනුම්පත් අංකය ලෙස 862442067V සඳහන්කොට ඇත. මෙම කාමර වෙන් කිරීමෙන් පසු ඉන්ෂාෆ් ෂැංග්‍රිලා හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ 201-4592 අංක තහඩුව දරන ත්‍රීරෝද රථයෙන් වන අතර කිංස්බරි හෝටලයට එය ගමන් කර තිබේ. ඉන්පසුව හෝටලය සහ ඒ අවට පරිසරය සහරාන් සහ ඉල්හාම් විසින් පූර්ව නිරීක්ෂණයට ලක්කර ඇත්තේ 2019 අප්‍රේල් 19 වැනිදා බව සී.සී.ටී.වී කැමරා දර්ශන මගින් අනාවරණය වේ.

ඔවුන් උදෑසන 7.27 ට පමණ CBB 3681 උබර් කුලී රථයෙන් ආර්.ඒ. ද මෙල් මාවත දෙසින් ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණ ඇත. ඔවුන් දෙදෙනාම ටේබල් වන් අවන්හලට උදෑසන 7.29 ට ඇතුළු වී තිබේ. එහිදී රුපියල් 5599 සත 90 ක් වටිනා ආහාර වේලක් ඔවුන් ලබාගෙන ඇත. ඔවුන් තෝරාගත් මේසය ස්ථානගතකොට තිබී ඇත්තේ 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ පිපිරීම සිදුවූ එක් ස්ථානයක් දර්ශනය වන ආකාරයටයි. ඔවුන් උදෑසන 9.22ට සීබීසී 7819 අංක තහඩු දරන උබර් කුලී රථයෙන් හෝටලයෙන් පිටවීමට පෙර උදෑසන 09.14 සිට ඔවුන් දෙපල තෙවන මහලේ පිහිටි ආලින්දයේ කාලය ගත කර ඇත. ඔවුන් ඉන් පිටව ගොස් ඇත්තේ කොල්ලුපිටිය ලකී ප්ලාසා දෙසටයි.

2019 අප්‍රේල් 20 වැනිදා පැය 19.56ට ඩබ්ලිව්.පී.පී.අයි. 9289 අංක තහඩුව දරන පික්මී කුලී රථයෙන් සහරාන් සහ ඉල්හාම් ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණ තිබේ. ඔවුන් එහි පැමිණ තිබුණේ පානදුර, පරත්ත පාරේ, ෂෙරීෆ් මාවතේ, අංක 61/02 දරන ලිපිනයෙහි පිහිටි නෂ්මිලා විලාහි සිට වන අතර ෂැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 හි ඔවුන් නවාතැන් ගෙන ඇත. ඊට පෙර ඔවුන් පිළිගැනීමේ කවුළුව වෙත පැමිණ ඉල්හාම්ගේ හැඳුනුම්පත් අංකය ලබා දී කලින් වෙන් කර තිබූ කාමරය ලබාගෙන ඇති අතර සහරාන්ගේ තොරතුරු ලෙස ලබා දී ඇත්තේ අසොම් මොහොමඩ් මුබාරක් යන නම වන අතර හැඳුනුම්පත් අංකය ලෙස 873340312V මෙම අංකය ලබා දී ඇත්තේ A01921411 දරන රියදුරු බලපත්‍රය ඇසුරෙනි.

ඉල්හාම් පිටේ එල්ලාගෙන යන ගමන් මල්ලක් සහ තවත් ගමන් බෑගයක් රැගෙන කාමරයට ඇතුළු වූ අතර, සහරාන් ද එවැනිම කරේ එල්ලාගෙන යන ගමන් මල්ලක් සහ ගමන් බෑගයක් සහිතව සිටියේය. ඔවුන් දෙදෙනාම අප්‍රේල් 20 වැනිදා පැය 20.11 ට ෂැංග්‍රිලා හෝටලයේ 6 වැනි මහලේ පිහිටි කාමර අංක617 වෙත පිවිසියෝය. රුපියල් 40,611 ක මුදල් ඍජු මුදල් ගෙවීමක් ලෙස සිදු කළ බව දැක්වෙන බිල් පමණක් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ නමට කාමර නවාතැන් සමඟ උදෑසන ආහාරය ද ඇතුළත් වන සේ නිකුත් කර තිබුණි. ඉල්හාම් කාමරයෙන් සහ හෝටලයෙන් WPCAG 2763 දරන අංක තහඩුව සහිත පික්මී කුලී රථයකින් නික්ම ගොස් ඇති අතර, එය ගමන්කොට ඇත්තේ ගල්කිස්ස ස්පෑන් ටවර්ස් වෙතයි. එහි දී ඔහු සැහැල්ලු පිටේ එල්ලන ගමන් මල්ලක් ද රැගෙන ගොස් ඇත. ඉල්හාම් නැවත දක්නට ලැබුණේ අප්‍රේල් 21 වනිදා පැය 01.46 ට සී.කේ.වයි. 1549 දරන අංක තහඩු සහිත ඌබර් කුලී රථයෙන් නැවත හෝටලය වෙත පැමිණි මොහොතේදීය. 2019 අප්‍රේල් 21 වැනිදා ලබා ගත් සී.සී.ටී.වී දර්ශන මඟින් පෙනී යන්නේ ඉල්හාම් පැය 08.08 ට කාමර අංක 616 න් පිට වී තෙවන තට්ටුවේ ඇති ආලින්දය වෙත විදුලි සෝපානය ආධාරයෙන් පැමිණෙන ආකාරයයි. ඒ මොහොතේ ඔහු කිසිදු ගමන් මල්ලක් රැගෙන ආවේ නැත. වෙනත් කැමරාවකින් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් දක්නට ලැබෙන්නේ ඉල්හාම් විදුලි පියගැට පෙළක් ආධාරයෙන් පැය 08.13 ට පමණ ගමන් කරන ආකාරයයි. දුරකථන ඇමතුමක් ගන්නා අතරතුර එම විදුලි පියගැට පෙළින්ම ඔහු තෙවන මහල වෙත පෙරවරු. 8.19 ට පමණ ගමන් කරන ආකාරය එම කැමරාවේම සටහන් වී ඇත. පෙරවරු 8.21 ට පමණ ඉල්හාම් කාමර අංක 616 වෙත නැවත පැමිණ ඇත. ඉන්පසුව පෙරවරු 8.50 සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනාම කාමර අංක 616 න් පිටතට පැමිණි අතර, ඔවුහු ඉතා බරැති ගමන් මලුත් පිටේ එල්ලාගෙන සිටියෝය. ඉන්පසු තෙවන මහලට යාම සඳහා ඔවුන් විදුලි සෝපානය භාවිත කරනු දක්නට ලැබිණි.

විදුලි සෝපානය ඇතුළත ඇති සී.සී.ටී.වී. කැමරා තුළ සටහන් වන්නේ ඉල්හාම් සහ සහරාන් එකිනෙකාට අතට අත දෙමින් සුබ පතන ආකාරයයි. ඔවුන් දෙදෙනා තෙවන මහලේ පිහිටි ටේබල්වන් අවන්හලට පෙරවරු 8.51 ට පමණ ඇතුළු වූ අතර, එහි දී පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් විශේෂ උදෑසන ආහාරයක් පිළියෙල කර තිබුණි.. ඔවුන් දෙදෙනාම අවන්හල ඇතුළට ඇවිද ගිය අතර, එහි දී සහරාන් ඉතා උනන්දුවෙන් වට පිටාව නිරීක්ෂණය කරනු දක්නට ලැබුණි. ඉල්හාම් අනික් පසට ඇවි ද යන අතර දෙවන මහල හා 3 වැනි මහල සම්බන්ධ කෙරෙන පියගැටපෙළ දෙසට ඔහු ගමන් කළේය. සී.සී.ටී.වී දර්ශනවලින් දර්ශනය වන පරිදි සහරාන් විසින් සිදුකරනු ලැබූ පළමුවැනි පිපිරීම 2019 අප්‍රේල් 21 වැනිදා පැය 08.54.17 ට සිදුවී ඇති අතර, විදුලි පියගැටපෙළ අසල සවිකර තිබූ කැමරාවෙන් දර්ශනය වෙන ඉල්හාම්ගේ ගමන් මාර්ගය ලෙස දැක්වෙන්නේ ඔහු පිටගැටපෙළ ඔස්සේ දෙවැනි මහළ වෙත ගමන් කරන ආකාරයයි. පළමු පිපිරීමත් සමග ඇණහිටි විදුලි පිටගැටපෙළ ඉහළට ගමන් කරන ආකාරය දර්ශනය වත අතර, එහි දී ඔහු පළමු පිපිරීමෙන් පසුව බේරී පලා යන කුඩා දරුවන් ද ඇතුළු පිරිස සමඟ සමීපවී ඔහු සතුව තිබූ බෝම්බය පුපුරුවා ගත්තේය.

පිපිරීම් දෙකෙහි ප්‍රතිඵලයක් ලෙස 35 දෙනෙක් ලාංකිකයන් 13 දෙනෙක් එනම් පිරිමි 8 දෙනෙක් සහ කාන්තාවන් 5 දෙනෙක් සමඟ විදේශිකයෝ 22 දෙනෙක් සහ කුඩා දරුවෝ 8 දෙනෙක් මිය ගියෝය. 34 දෙනෙක් තුවාල ලැබූහ.

සහරාන්ගේ අනන්‍යතාවය සිය ඥාතීන් විසින් ඔහුගේ හිස හඳුනා ගැනීමත් සමගම හෙළි වූ අතර, එය තවදුරටත් තහවුරු වූයේ ඔහුගේ දියණිය රුදයිනාගේ හා සහින්දමර්දු පිපිරීමේ දී මියගිය පුතුගේ ඩී.එන්.ඒ. සමඟ සන්සන්දනාත්මකව විශ්ලේෂණය කිරීමෙනි.

ඉල්හාම්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලද්දේ ඔහුගේ ඩී.එන්.ඒ. සාම්පල යුසුප් ඊබ්‍රාහිම් (ඔහුගේ පියා), ඉස්මයිල් ඊබ්‍රාහිම් (සහෝදරයා), ඉස්ලාම් ඊබ්‍රාහිම් (සහෝදරයා) ජුනයිඩින් කාර්දිජා උම්මා (ඔහුගේ මව) සහ කොළඹ 9, මහවිල ගාඩ්න්ස්හි පිපුරුම සිදුවූ ස්ථානයෙන් සොයාගත් පටක සාම්පල 10ක ඩී.එන්.ඒ. සමග සන්සන්දනාත්මකව විශ්ලේෂණය කිරීමෙනි.


3. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය
මරාගෙන මැරෙන බෝම්බකරුවා ලෙස කටයුතු කළේ ඉන්ෂාෆ්ය. මරාගෙන මැරෙන බෝම්බකරු කාමර අංක 425 හි නවාතැන් ගෙන තිබිණි.

ඔහුගේ පියා වන මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් සහ සහෝදරවරුන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉෆ්තාල් අහමඩ් යන අයගේ ඩී..එන්.ඒ. සාම්පල් ඇසුරෙන් විශ්ලේෂණ සිදු කෙරෙනු අතර ඒ අයුරින් ඔහුගේ අනන්‍යතාව හෙළි කෙරිණි..

සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ දත්ත අනුව අප්‍රේල් 20 වැනිදා පැය 19.07.38 ට කුඩා ගමන් මල්ලක් ද රැගෙන ඉන්ෂාෆ් හෝටලය වෙත පැමිණ ඇත. පැය 19.08.25 ට පමණ හෝටලයේ ඉදිරිපස කාර්යාලයට ඔහු ඇතුළු වූ අතර, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති ව්‍යාජ නමක් ලබා දී ඔහු එහි ලියාපදිංචි වී ඇත. දුම්පානය සඳහා ද ඔහු විශේෂයෙන් කාමරයක් ඉල්ලුම්කර ඇත. පැය 19.17.02 ට පමණ ඔහු ඉදිරිපස කාර්යාලයෙන් පිට වූ අතර, කාමර අංක 425 වෙත ඇතුළුවීමට උත්සාහ කළේය. කාමරයේ යතුර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු නැවතත් ඉදිරිපස කාර්යාලයට පැමිණ ඔහුගේ බඩු බාහිරාදිය එහි තබා යයි. ප්‍රධාන දොරටුවෙන් පිටවන ඔහු, තමන් එහි පැමිණීමට භාවිත කළ රතු පැහැති මෝටර් රථයේ සිටින කෙනකු සමඟ කතා බහක යෙදුණේය. ඔහු පිළිගැනීමේ කවුළුව වෙත පැමිණ පැය 19.31.23 ට කාමර අංක 425 වෙත ගමන් කළේය. පැය 20.08.59 ට පමණ ඉන්ෂාෆ් කාමරයෙන් පිටතට පැමිණි අතර, සුදු පැහැති මෝටර් රථයකින් හෝටලයෙන් පිටව ගියේය.

අප්‍රේල් 21 වැනිදා පැය 07.05.00 ට පමණ ඉන්ෂාෆ් සිනමන් ග්‍රෑඩ් හෝටලය වෙත නැවත පැමිණි අතර, ඒ සඳහා භාවිතාකර තිබුණේ WPCBD 8175 අංක තහඩු දරන නිල් පැහැති මෝටර් රථයකි. ඔහු එවර පැමිණෙන්නේ තමන් විසින්ම රැගෙන එන බරැති ගමන් මල්ලක් ද සමගයි. පැය 07.09.04 ට පමණ කාමර අංක 425 දරන කාමරයට ඇතුළු වෙන ඉන්ෂාෆ් පැය 07.50 ට පමණ ඔහු මැහුම් සඳහා භාවිත කරන උපකරණ කට්ටලයක් ඉල්ලා සිටි බැවින් අදාළ හෝටලයේ පවිත්‍රතා කාර්ය මණ්ඩලය මගින් අදාළ උපකරණ ඔහුට  ලබා දී ඇත.. පැය 08.46.00 ට පමණ කාමරයෙන් පිට වූ ඔහු තැප්‍රබේන් අවන්හලට ඇතුළුවී එහි බුෆේ ක්‍රමයට පිළියෙල කොට තිබූ ආහාර ගැනීම පැය 08.49 පමණ සිදු කළේය. නැවතත් පැය 08.08 ට පමණ සිය කාමරයට පැමිණෙන ඔහු පැය 09.07.43 ට පමණ කාමරයෙන් පිටවී තැප්‍රබේන් අවන් හලට නැවතත් ගමන් කර අසුනක හිඳගෙන තිබේ. විනාඩි කිහිපයකින් අනතුරුව පැය 09.11.28 ට එයින් නැගී සිටින ඔහු අවන්හල මධ්‍යයට ගොස් පැය 09.12.33 ට බෝම්බය ක්‍රියාත්මක කරයි. මෙහිදී මරණ 22 දෙනෙකු තුවාල ලැබූ 17 දෙනකු වාර්තා විණි.


4. කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය
කොළඹ රදගුරු දියෝසිසයට අයත් රෝමාණු කතෝලික දේවස්ථානයක් වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිහිටා ඇත්තේ මීගමුව කටුවාපිටිය ප්‍රදේශයේය. ශාන්ත සෙබස්තියන් සාන්තුවරයාව ප්‍රකටවී ඇත්තේ රෝගීන්ට සුවය ලබාදීමෙන් හාස්කම් සහිත සාන්තුවරයකු ලෙසයි. වර්ෂ 2018 දී මෙම දේවස්ථානය ඉදිකොට වසර 150 ක් සපිරිණි. මරාගෙන මැරෙන බෝම්බකරුවා වූයේ හස්තූන්ය. ඔහු එහි පැමිණියේ කටුවාපිටිය උළුඅම්බලමේ දොන් ඩේවිඩ් මාවතෙහි පිහිටි නිවසක සිටය. මෙම නිවස 2019 පෙබරවාරි 05 වැනිදා සිට කුලී පදනම මත ලබාගෙන තිබූ අතර ඒ වෙත පදිංචිය සඳහා පිරිස ගොස් තිබුණේ 2019 පෙබරවාරි 16 වැනිදා පමණ කාලයේ සිටයි. මෙහිදී වාර්තා වූ ආකාරයට මෙම නිවසේ තිබූ බඩු බාහිරාදිය අප්‍රේල් 9 වැනිදා පමණ ඉවත් කර තිබුණි. හස්තූන් 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 9 ට පමණ මෙම නිවසට පැමිණ තිබුණේ මීගමුවේ තෙල්වත්ත හන්දියේ සිට ත්‍රිරෝද රථයකිනි. ඔහු මාර්ගය ඔස්සේ පැමිණෙන ආකාරය සහ දේවස්ථානයට ඇතුළු වන ආකාරය සීසීටීවී දර්ශනවලින් දැකගත හැකිය. ඔහු දේවස්ථානය වෙත මාර්ගය හරහා පැමිණෙන විට කුඩා ගැහැනු දරුවකු ඔහු පැමිණෙන මග හරහා ගමන් කරන අතර එහිදී හස්තූන් එම දරුවාගේ උරහිස සන්සුන්ව ස්පර්ශ කරනු දැකගත හැක. ඔහු දේවස්ථානයේ කොරිඩෝව දිගේ ගමන් කරන අතර ඉදිරිපසින් දේවස්ථාන ශාලාවට ඇතුළුවී එහි රැස්වී සිටි භක්තිවන්තයින් අතරට ගොස් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරීම සිදු කරයි. මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස 115 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර 302 දෙනෙකු තුවාල ලැබූහ. කටුවාපිටිය ශාන්තසෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ හස්තූන් යන වග හඳුනාගනු ලැබුවේ ඔහුගේ මවුපියන්ගෙන් සහ සොහොයුරාගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල සමග විශ්ලේෂණය කිරීමෙනි.


5. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කරන ලද්දේ මුවාඩ් විසිනි. 2019 අප්‍රේල් 21 වැනිදා මෙම දේවස්ථානය අසලට මුවාඩ් පැමිණියේ WP PJ 4080 දරන අංක තහඩුව සහිත වෑන් රියෙනි. එම රථය ලියාපදිංචි කර ඇත්තේ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් මුබාරක්ගේ නමිනි. ඔහු වෑන් රථයේ ඇති පුපුරන ද්‍රව්‍ය සහිත ඇටවුම සක්‍රීයකොට වෑන් රථයෙන් පිටතට බැස ගමන් මල්ලක් ද පිටේ එල්ලාගෙන දේවස්ථානය තුළට ගමන් කළේය. 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු දින ශුද්ධවූ යාච්ඤාව ජූඩ් ජෝෂප් ජෝයි මරියරත්නම් පියතුමා විසින් දෙමළ බසින් සිදු කරනු ලැබීය. එය ආරම්භ වූයේ උදෑසන 8 ට පමණය. දේවස්ථානය තුළ සමහර භක්තිවන්තයන් හිඳ සිටි අතර සෙසු පිරිස සිටගෙන සිටියෝය. විශාල පිපිරුමක ශබ්දයක් සමග මරියරත්නම් පියතුමාට දක්නට ලැබුණේ දේවස්ථානයේ ගායක කණ්‍ඩායම වෙත හිසක් විසිවී යන ආකාරයයි. මුවාඩ්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලද්දේ ඔහුගේ පියා වන අහමදු ලෙබ්බේ අලව්දීන් සහ ඔහුගේ මව වන පකීර් මුගෙවුදින් වෝකිගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල විශ්ලේෂණය කිරීමෙනි.
ජීවිත 56 ක් මෙහිදී අහිමිවූ අතර තුවාල ලැබූවන්ගේ පිරිස වාර්තා වන්නේ 148 දෙනකු ලෙසයි. පුපුරුවා හැරීම් සඳහා ඇටවුමක් වෑන් රිය තුළ සක්‍රිය කර තිබූ බව හඳුනාගන්නා ලද්දේ මෙම පිපිරීම සිදුවූ ස්ථානය වෙත සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකුම පැමිණීමෙන් ද සුළු කාලයකට පසුවයි. විශේෂ කාර්ය බළකාය අප්‍රේල් මස 22 වැනිදා පස්වරු 3.26 ට පමණ එය පුපුරුවා හැරියේය.


6. මඩකළපුව සියෝන් දේවස්ථානය
මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලද්දේ අසාද් විසිනි. 2019 අප්‍රේල් 20 වැනිදා උදෑසන 11.21 ට පමණ මුවාඩ් (කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ තැනැත්තා මෙන්ම අසාද්ගේ මිතුරෙක්) විසින් ඔහුගේ දුරකථන අංකය වන 0779814308 අංකයෙන් කල්මුණේ වෙත ගමන් කරන බස් රථවල ආසන වෙන්කරන ඒජන්තවරයෙකු වන උදුමා ලෙබ්බේ අබ්දුල් අලීම් නමැත්තාගේ දුරකථන අංකය වන 0772589057 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එම ඇමතුමෙන් මුවාත් දැනුම්දී සිටියේ කොළඹ සිට මඩකළපුව දක්වා ගමන් කිරීමට තමාහට ආසනයක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය බවයි.

එවිට අලිම් විසින් ඔහුගේ මිතුරෙකු වන මොහොමඩ් සකීල් බතුර්දීන් නමැති දෙහිවල ප්‍රදේශයේ බස් සඳහා ආසන වෙන්කිරීමේ සේවා ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකුට උදෑසන 11.23 ට පමණ ඇමතුමක් ලබාගෙන ආසනයක් වෙන්කොට ගෙන ඇත. ඉන්පසු ආසන වෙන්කිරීම පිළිබඳ අලීම් විසින් මුවාත් දැනුවත් කර ඇති අතර දෙහිවල ප්‍රදේශයේ බස් සඳහා ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යන සකීල් බතුර්දීන් නමැත්තා සම්බන්ධ කරගැනීම සඳහා තොරතුරු ලබාදී ඇත. ඉන් අනතුරුව මුවාත් සකීර් අමතා ආසන වෙන්කිරීම පිළිබඳ තහවුරු කරගෙන අසාත්ගේ දුරකථන අංකය ලබාදී ඇත. 2019 අප්‍රේල් 20 වැනිදා පස්වරු 8.07, 8.22 සහ 8.34 අසාද් විසින් සකීල්හට තෙවරක් දුරකථනයෙන් අමතා ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ ප්‍රහාරයෙන් පසුව ඒ සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් සිම් පතයි.

කොළඹ සිට කල්මුනේ බලා පිටත් වූ EP MD 2664 දරන අංක තහඩු සහිත සුඛෝපභෝගී බස් රථයට මරදාන, සහිරා විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම්පොළෙන් අසාද් ගොඩවී තිබේ. ඔහු ගමන් මලු දෙකක් රැගෙන යමින් සිට ඇත. පැය 20.51ට එම බස් රථය මරදාන සහිරා විදුහල අසලින් පිටත් වන අතර ඒ මඩකළපුව නගරයට ළඟා වන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා අලුයම 2.12 ට පමණය. මඩකළපුව නගරයෙන් බැසගත් පසුව අසාද් අලුයම 2.14 ට පමණ ත්‍රිරෝද රථයකට නැගී මඩකළපුවේ ජම්මූස් සම්මාන් ජුම්මා දේවස්ථානයට ගමන්කොට අලුයම 2.16ට පමණ ඉන් බැස තිබේ. මෙම දේවස්ථානය පිහිටා තිබෙන්නේ මඩකළපුව අධිකරණ සංකීර්ණයට යාබදවයි. මස්ජිදයේ දොරටුවට අගුලුලා තිබූ අතර පෙරවරු 4.38 පමණ දොරටුව විවෘත කරනතුරු ගමන් මලු දෙකක් සමග අසාද් එහි රැඳී සිට ඇත. ඊට පෙර මස්ජිදයේ ඉදිරිපිටින් මුර සංචාරයේ යෙදෙන පොලිස් ජීප් රථයක් ද දැකිය හැකිය. පෙරවරු 4.39 ට පමණ ගමන් මලු දෙකක් රැගෙන අසාද් මස්ජිදය ඇතුළට ගමන් කළේය. මෙම මස්ජිදය තුළ බාහිර පුද්ගලයන්හට කුලී පදනම මත ලබාදී ඇති කාමර 06 ක් පිහිටා ඇති අතර ඕනෑම අයකුට විවේක ගැනීම සඳහා විවේකාගාරයක් ද මෙහි තිබේ. මෙම මස්ජිදය තුළ ඇති පොදු විවේකාගාරය තුළ තම ගමන් මලු තැන්පත් කරන අසාද් ස්වභාවික ලෙස හැසිරී තිබේ. ඔහු මස්ජිදයේ නාන කාමරය ද භාවිතාකර ඇති අතර පෙරවරු 5.30 පමණ මස්ජිදයේ ප්‍රධාන කොටසට ගොස් උදෑසන යාඥාවේ ද යෙදී ඇත. උදෑසන 8.31 ට පමණ අසාද් එක් ගමන් මල්ලක් පිටේ එල්ලාගෙන අනික් ගමන් මල්ල අතෙහි රැගෙන දේවස්ථානයෙන් පිටවී තිබේ. 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන 8.40 ට පමණ ඔහු සියෝන් දේවස්ථානයට පැමිණ තිබේ.
උදෑසන 9.03 පමණ ඔහු බෝම්බය පුපුරවා හැර තිබේ. මෙහිදී 31 දෙනෙකු පමණ මියගිය අතර ඒ අතර වූ බහුතරය කුඩා දරුවෝ වූහ. තුවාල ලැබූවන් 72 ක් පිළිබඳ වාර්තාවී ඇත.


මතු සම්බන්ධයි...

 

 



අදහස් (1)

සහරාන්ගෙන් බේරී යන අයට ඉල්හාම්ගෙනුත් බෝම්බයක්

janahitha Saturday, 13 March 2021 09:27 AM

මේ කතාවල් ජනතාව ඔක්කොම දන්නවා මේකට උදව් කරපු දේශපාලකයන් ගැනද ජනතාව දන්නවා... දඬුවම් දෙන්න නම් පරක්කු වැඩියි වගේ පේන්නේ. දෙවන ප්‍රහාරයක් ක්‍රියාත්මක වුණොත් ප්‍රතිප්‍රහාර සිදුවනු ඇත.

:       1       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1178 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 565 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 180 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4507 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12889 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 744 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site