IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස

 23-Rasa-P1-2    

 

“රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ බෑනා වූ තැනැත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ශ්‍රී වර්ධන පුරයෙහි රජ විය. පහන් සිත් ඇති හෙතෙමේ දළදා වහන්සේට මිණි මුතු ආදිය ද නොයෙක් ගම්බිම් ද පූජා කළේය. එහෙත් පාපමිත්‍ර සේවනය නිසා විපරිත භාවයට පැමිණ රජු කරුණු රහිතව ජනයා පෙළීය. මෙසේ හැසිරෙන කල කෝපයට පත් උඩරට සිංහල ජනයාද කොළොම්පුරේ සිටි ඉංග්‍රීසිහුද එක්ව අභිෂේකයෙන් අටළොස් වර්ෂයේදී ඔහු ජීවග්‍රහණයෙන් ගෙන සමුදුරින් එතෙර ලැවූහ. එයින් පසු ඉංග්‍රීසි නම් ඇත්තාහූ ලංකා රාජ්‍යය අත්පත් කර ගත්තාහුය”


සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසුව රජු ඇතුළු පිරිස මෙරටින් පිටුවහල් කිරීමේ සිද්ධිය මහාවංශයේ සඳහන් වන්නේ ඉහත කී පරිදිය.”


පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් කොතරම් උත්සාහ ගත්තද යටත් කර ගැනීමට නොහැකි වූ උඩරට රාජ්‍යය 1815 පෙබරවාරි 18 දින ඉංග්‍රීසින් විසින් යටත් කරගනු ලැබුවේද සිංහලයන්ගේම උපකාර ඇතිවය. 1850 දී ලංකා ඉතිහාසය පිළිබඳව ලිපියක් ලියන හෙන්රි චාල්ස් නම් ඉංග්‍රීසි ලේඛකයාට අනුව සිංහලයන් විසින් රජුව අල්ලා දෙනු නොලැබුවේ නම් ඉංග්‍රීසින්ට කවරදාවත් උඩරට රාජ්‍යය යටත් කර ගැනීමට හැකිවන්නේ නැත.


ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පියා රාමේෂ්වරම්හි නායක්කර් වංශයට අයත් අයෙකු යැයි සැලකෙන අතර, වැන්දඹු මව කිරිකැටි දරුවා සමග ඉන්දියන් සාගරය තරණය කර ලංකාවට පැමිණියේ මහනුවර පදිංචිව සිටි නෑදෑ පිරිසකගේ රැකවරණය පතාය.


ක්‍රි.ව. 1780 සිට 1795 දක්වා උඩරට රජු වූ ශ්‍රී රාජාධි රාජසිංහ රජුට නායක්කර් වංශයට අයත් බිසෝවරුන් පස් දෙනකු සිටියත් එකම බිරිඳකටවත් දරුවෝ නොවූහ. තමන්ට දරුවන් නොසිටි හෙයින් රජුගේ අදහස වූයේ තමන්ගේ ඇවෑමෙන් තමන්ගේ පළමු බිසව වූ අලමේලු අම්මා සහ තුන්වන බිරිඳ වූ රෙංගනායහි අම්මා යන සහෝදරියන් දෙදෙනාගේ වැඩිමහල් සහෝදරයා වූ මුත්තුසාමි රජකමට පත් කිරීමය. එහෙත් රජුගේ හදිසි මරණය මේ සියල්ල අවුල් කළේය. පෙර සූදානමට අනුව මුත්තුසාමි රහසිගතව රජ  වන අතර එදිනම මුත්තුසාමි පලවා හැර ශ්‍රී වික්‍රම රාජසිංහ නම් නායක්කර් රජතුමා මහනුවර රජු ලෙස අභිෂේක ලැබීය.

 

23-Rasa-P1-1


මේ සිදුවීම පිටුපස සිටියේ පිළිමතලාවේ මහ අදිකාරම්ය. පිළිමතලාවගේ අදහස වූයේ ළාබාල රජු තමන්ගේ අභිමතය පරිදි රජකම් කරනු ඇති බවය. එහෙත් එය එසේ සිදු නොවිණි. මේ නිසා සිහසුන කෙසේ හෝ තමා යටතට ගන්නට පිළිමතලාව අදිකාරම් සැලැසුම් කළේය. 1811 දී රජු ඝාතනය කිරීමට පිළිමතලාවේ සිදු කළ කුමන්ත්‍රණය හසු වූ රජු විසින් පිළිමතලාව අධිකාරම්ගේ හිස ගසා දමනු ලැබීය. පසුව එම තනතුරට පත්වන්නේ පිළිමතලාවගේ බෑනා වූ ඇහැළේපොල නිලමේය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හා ඇහැළේපොල අදිකාරම් අතර ඇති වූ අනවබෝධය නිසාත්, රජුගේ විශ්වාසවන්තයෙකුව සිටි මොල්ලිගොඩ නිලමේ ඇහැලේපොලට එරෙහිව බොරු කේලාම් කීම නිසාත් රජු හා ඇහැළේපොළ අතර ද හොඳ හිත පලුදු විය. 1813 දී ඇහැළේපොල අදිකාරම් සබරගමුවට මාරු කර යවන්නේ ද මේ නිසාය.

23-Rasa-P1-4
දෙදෙනාගේ මෙම ගැටුම දරුණු වන්නේ රජු විසින් ඇහැළේපොල පවුල ඝාතනය කිරීමට නියෝග කිරීමත් සමගය. මෙම කාලයේ රදලවරුන්ගේ විරෝධය ද බීමත්කමට ඇබ්බැහිවීම හේතුවෙන් ද රජුගේ හැසිරීම් දරුණු විය. ඇහැළේපොල පවුල ඝාතනයට අදාළ ආඥාව නිකුත් කළේද රජු අධික ලෙස බීමත්ව සිටි අවස්ථාවක බවට ද සැලකේ.


උඩරට රාජ්‍යය ඇල්ලීම එතරම් පහසු නොවන අවධියක ශ්‍රීමත් ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ 1801 දීය. රාජසිංහ රජු අල්ලාගැනීමට ඉංග්‍රීසි-සිංහල දෙපක්ෂය අතර සබඳතාව ගොඩනගන්නේ ඩොයිලිය. ඇහැලේපොල මහඅදිකාරම විසින් මොල්ලිගොඩ අදිකාරම, එක්නැලිගොඩ අදිකාරම්, බටුවිටියේ රාල යන රදලයන්ද සත්කෝරළය, තුන් කෝරළය සහ සබරගමුවේ ජනතාව ද මේ සඳහා පොලඹවා ගන්නා ලදී. ඉංග්‍රීසි ආක්‍රමණ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රන් ආභරණ හා දළදා වහන්සේ ද රැගෙන මහනුවරින් හඟුරන්කෙත ප්‍රදේශයට පැන ගියේය. දළදා වහන්සේ ඉවතට වැඩම කරවීමේ කටයුත්ත ඉඹුල්මල්ගෙදර රාල සහ තවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමකට පැවරූ රජු තමන්ට හිතවත් දොරගමුවේ රාලත් මොලගොඩ රාලත්, හේවාවිස්සේ මඩුප්පිලිරාලත් කැටුව තමන්ගේ බිසෝවරුන්ද සමගින් උඩවත්ත කැලය හරහා ගමන් කර මහවැලි ගඟෙන් එතෙර වී මැදමහනුවර, උඩපිටියේ ගල්ලැහැවත්තේ බෝමුරේ ආරච්චිගේ නිවසට පැමිණියෝය. තමන්ගේ හැඩරුවට සමානකමක් ඇති හේවාවිස්සේ මඩුප්පිලිරාල පමණක් නතර කරගෙන දොරගමුවේ රාලත්, මොළගොඩ රාලත් පිටත් කර යැවූ බව සඳහන්ය. උඩුපිටියේ බෝමුරේ ආරච්චි රජතුමා වී අටුවක සඟවා තැබුවේය. එහෙත් මෙම රහස සඟවා තැබීමට නොහැකි වූයේ මේ පිළිබඳව තොරතුරු දැනගත් එක්නැලිගොඩ මොහොට්ටාල විසින් රජු සැඟ වී ඇති ස්ථානය පිළිබඳ තොරතුරු ඉංග්‍රීසින්ට දැනුම් දෙනු ලැබීමත් සමගය.


1815 පෙබරවාරි 14 දින රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සිංහල රජු අල්ලාගන්නට හමුදා බළඇණියක් මහනුවරට පිටත් කර යැවීය. කන්ද උඩරට බලා පැමිණෙන ඉංග්‍රීසි හමුදාවට වෙනදාට ප්‍රහාර එල්ල වන “බලන” කපොල්ලේදී හෝ කිසිදු බාධාවක් සිදුනොවූ අතර එහි සේවයේ යෙදී සිටි සිංහල හේවායෝ කිසිදු විරෝධයක් ඉංග්‍රීසින්ට එල්ල නොකළහ. 1815 පෙබරවාරි 18 දින ඉංග්‍රීසිහු වී අටුවක සැඟවී සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අල්ලා ගත්හ. මාරාවේශ වූ සබරගමු වැසියෝ පිරිසක්, එක්නැලිගොඩ නිලමේ, බටුවිටියේ රාල හා ඉංග්‍රීසි සෙබළුන් බෝමුරේ රාලගේ නිවසට කඩා පැන්නාහ. එලෙස පැමිණි සිංහලයන් රජුගේත්, බිසවගේත්, සළුපිළි ඉරා පැහැර ගැනීමට අමතරව නාසයේ හා කන්වල පැලඳි රන් ආභරණ පැහැර ගත්තේ කන්වලින් හා නාසයෙන් ලේ වැගිරෙද්දී බව කියැවේ.

23-Rasa-P1-3
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දෙසට ඇඟිල්ල දිගු කළ එක්නැලිගොඩ නිලමේ පවසා ඇත්තේ “මේකා වැල්පටක් ගෙන අතපා බැඳ කුදලාපිය” යනුවෙනි. ඒ අනුව අත් පා බඳිනු ලැබූ රජුව නිවසින් එළියට රැගෙන එන ලද්දේ බිම දිගේ ඇදගෙනය. රජුට රැකවරණය දුන් උඩපිටියේ ආරච්චි නමැති සිංහලයාවද මරා දැමූ බව  කියැවේ. රජු අල්ලාගත් පුවත යටිපහුවේ කංකානම විසින් ජෝන් ඩොයිලි වෙත දැනුම් දෙන ලද අතර, ඩොයිලි විසින් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් වෙත දන්වන ලදී. පුරා වසර 2350කට ආසන්න සිංහළේ රාජාවලියේ අවසානය සටහන් වන්නේ එම සිදුවීමත් සමගය.


ජෝන් ඩොයිලි විසින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත මෙම පුවත දැනුම්දෙනු ලැබූ විට ආණ්ඩුකාරවරයා සිට ඇත්තේ රාත්‍රී භෝජනයකට සහභාගි වෙමිනි. වසර තුන්සියයක් තිස්සේ තමන්ට පමණක් නොව පෘතුගීසින්ටත්, ලන්දේසීන්ටත් නොහැකි වූ දේ ඉටුවීම පිළිබඳව සතුටු වූ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ පිළිබඳව සතුටු කඳුළු හෙලූ බව ද කියැවේ. ඔහු වහාම ඩොයිලිට ප්‍රකාශ කළේ ප්‍රමාද නොවී රජු ඇතුළු පිරිස දැඩි ආරක්ෂාකාරීව කොළඹට රැගෙන එන ලෙසය. කර්නල් හාඩි, සහ කර්නල් හූත් ඇතුළු තවත් සෙබළුන් 100ක්ද ආණ්ඩුකාරවරයා ඩොයිලි සමග එක්වීමට මහනුවරට යැවීය.
රජු මහනුවර සිට කොළඹට රැගෙන ආ යුත්තේ මහනුවර ප්‍රදේශය මගහරිමින් බව ඉංග්‍රීසීන් තීරණය කළේ ආරක්ෂිත පියවරක් වශයෙනි. රජතුමා රැගෙන ආ මාර්ගය මීගමුව හරහා වැටුණු බව ස්ථීර වුවද මීගමුව දක්වා පැමිණි මාර්ගය පිළිබඳව මත දෙකක් තිබේ. කුරුණෑගල, හලාවත, මීගමුව හරහා මාර්ගයත්, කුරුණෑගල දඹදෙණිය, ගිරිඋල්ල, මීගමුව යන මාර්ගයත් පිළිබඳව මත දෙකක් පවතී. නමුත් වඩා ආරක්ෂිත ක්‍රමයක් ලෙස හලාවත සිට මීගමුව හරහා හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ රජු රැගෙන ගිය බවට සාක්ෂි හමුවෙයි.


එවකට මෙම ඇළ මාර්ගය ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන තිබූ බවට ඉතිහාසගත සාධක තිබේ. 1815 පෙබරවාරි 22 දින හවස තෙල්දෙණියෙන් ගමන් ආරම්භ කළ රජතුමා ඇතුළු පිරිස දින කිහිපයකින් කොළඹ බලා පැමිණියහ. ගොඩබිම් ප්‍රදේශවලදී අවශ්‍ය දෝලා සපයාගැනීමත්, රජුට හා බිසෝවරුන්ට අවශ්‍ය ඇඳුම් සොයාගැනීම ද ඩොයිලිට භාර වූ භාරදූර කටයුතුය. එහෙත් ඔහු ඒ සියල්ලට වඩා අවධානයෙන් පසුවූයේ රජු ඉතා පරිස්සමෙන් කොළඹට රැගෙන ඒම පිළිබඳවය.


කෙසේ වෙතත් හලාවතට පැමිණ බෝට්ටුවක් මගින් කොළඹට එන ගමනේදී දිනක් පිරිස රාත්‍රිය ගත කළේ මීගමුවේ පිහිටි කුරුකුලසූරිය තම්බි මුදියන්සේ නමැත්තෙකුට අයත් නිවසකය. එම නිවස පිහිටියේ හැමිල්ටන් ඇළට මායිම්වය. රජු ඇතුළු පිරිස එදින රාත්‍රියේ අසල පිහිටි ඉංග්‍රීසි ආණ්ඩුවට අයත් ස්ථානයක නවාතැන් ගන්නට නියමිතව තිබුණද රජුගේ ඉල්ලීම වී තිබෙන්නේ තමා ගත කරන අවසන් දින කීපය තම රටවැසියකුගේ නිවසක සිටින්නට ඉඩ ලබාදෙන ලෙසය. ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන් ඉංග්‍රීසිහූ හැමිල්ටන් ඇළ අසල පිහිටි නිවසක එදින රාත්‍රිය ගත කළහ. පසු කලක එම නිවස මුදියන්සේ මහතාගේ පුත්‍රයකු වූ ගැස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වූ අතර, ගැස්ටන් ප්‍රනාන්දු මහතා වහාම කළේ රජු නැවතී සිටි නිවසක් බැවින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගනීවි යැයි බියට පත්ව එම නිවස වෙනස්කර ප්‍රතිසංස්කරණය කිරීමයි. අද වන විට එම නිවසේ පදිංචිව සිටින්නේ ගැස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන රාජින්ද්‍ර ප්‍රනාන්දු මහතාය. හැමිල්ටන් ඇළට මායිම්ව පිහිටි රාජින්ද්‍ර මහතාට අයත් මෙම නිවසේ ඉදිරිපස තාප්පයේ සඳහන්ව ඇත්තේ “ශ්‍රීවික්රාජ්” නමැති පුවරුවකි. එම පුවරුවද ඉතා පැරණි බව බැලූ බැල්මට පෙනෙයි. හැමිල්ටන් ඇළෙහි සිට මෙම නිවසට ඇති පරතරය අඩියක් දෙකක් පමණ තරම් සමීපය.

23-Rasa-P1-5


මෙම නිවසේ නවාතැන් ගන්නට පැමිණි රජු ඇතුළු පිරිසට නිවැසියන්ගෙන් ලැබී ඇත්තේ උණුසුම් පිළිගැනීම් සහිත ආගන්තුක සත්කාරයන්ය. මීගමුවේ ඉස්සන් කිරිහොද්ද සහිත ආහාර රජතුමා ඉතා ආශාවෙන් අනුභව කළ බව පැවැසේ. තම බිරින්දෑවරුන් ද සමග ඉතා කැමැත්තෙන් මෙම නිවසේ ගත කළ රජතුමා පසුදින එහි සිට පිටත්ව යද්දී ට්‍රංක පෙට්ටි (යකඩ පෙට්ටි) දෙකක් ද එම නිවැසියන්ට ත්‍යාග ලෙස භාරදී ඇති බව ද කියැවේ. පසු කාලයක ඒවා කෞතුකාගාරයට පරිත්‍යාග කර ඇති බවත්, ඒ තුළ රජුගේ ආභරණ මෙන්ම ආයුධ ද තිබූ බව පැවැසේ.


1948 දී යෙදුණු ප්‍රථම නිදහස් දිනයේදී මීගමුවේ ප්‍රභූන් හා ජනතාව මෙම නිවස ඉදිරිපිට උත්සවයක් පවත්වා සිංහ කොඩිය ගුවනට ඔසවා ජාතික දිනය සැමරූ බව ද පැවැසේ. එවකට තිබූ නිවස වෙනස් කර වර්තමානයේදී නව නිවසක් නිර්මාණය කර තිබුණද තවමත් එම නිවස “ශ්‍රී වික් රාජ්” යනුවෙන්ම හැඳින්වෙයි.


ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා හා බැඳුණු ජනප්‍රවාදයක දැක්වෙන්නේ මීගමුවේ “වයි” හන්දිය ආසන්නයේ පිහිටි “උස්පිල” නමැති නිවසකින් රජතුමාට දිය පිපාස වී දිය බඳුනක් ඉල්ලා පානය කළ බවය. උස්පිල නමැති නිවස අසල මෙන්ම රජතුමා නැවතී සිටි නිවස අසලත් දැවැන්ත සියඹලා ගස් පිහිටි බවට ජනප්‍රවාදයයි. උස්පිල ගෙදර අද වන විට දක්නට නැතත් ඒ ආසන්නයේ සියඹලා ගසක් ඇත. “ශ්‍රීවික්රාජ්” නිවස වෙනස්කමකට භාජනය වී හෝ අද එම ස්ථානයේ දක්නට ඇතත් සියඹලා ගස් ඒ ස්ථානයේ දක්නට නැත. රජතුමා “ශ්‍රීවික්රාජ්” නිවසේ නැවති දිනය ලෙස සැලකෙන්නේ 1815 මාර්තු 05 දින රාත්‍රියේය. පසුදින එනම් මාර්තු 06 දින සිට 1816 ජනවාරි 24 දින දක්වා කොළඹ කොටුවේ ස්ථානයක රජතුමා රඳවා සිටි බවත්, වර්තමානයේ සෙලින්කෝ ආයතනය පිහිටියේ එම ස්ථානයේ බවත් සැලකේ.


1816 ජනවාරි 24 දින “කොන්චෝලිස්” නමැති නෞකාවෙන් රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවේ මදුරාසිය බලා පිටත් කරවන ලදී. එහි වෙල්ලෝර් බළකොටුවේ සිරකරුවකු ලෙස කල්ගත කළ රජු දිගු කාලයක් රෝගාතුරව දුක් විඳ මියගියේ 1832 ජනවාරි 30 වැනිදාය. දැනටත් මීගමුව මහවීදියෙන් හැරී යන ශාන්ත මරියා වීදියේ අංක 77 දරන ස්ථානයේ සිංහලේ අවසන් රජතුමා දිනක් නවාතැන් ගත් නිවස අපට දකින්නට හැකිය. එය පිහිටියේ 156් මුන්නක්කරය උතුර ග්‍රාම නිලධාරි වසම තුළය.


තත්ත්වය එසේ වුවද රජු නැවතී සිටි ස්ථානය මෙය යැයි කියමින් බලයට පත්වන ඕනෑම රජයක දේශපාලන හයි හත්තිය ලැබෙන ව්‍යාපාරිකයකු මීගමුව කළපුවේ කඩොලාන රක්ෂිත විනාශ කරමින් “රජුගේ ප්‍රදේශය” බව ඇඟවෙන නමක් භාවිත කරමින් හෝටල් පද්ධතියක් ඉදිකර තිබෙනු දක්නට ලැබෙයි. මෙම හෝටල සංකීර්ණය නිසා පරිසර හානියක් සිදුවීමට අමතරව සිංහලයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ නාමය විකුණාගෙන කෑමක්ද සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.


රජතුමා නැවතී සිටි ප්‍රදේශය ලෙස කඩොලාන කැලයක් නම් කරන ව්‍යාපාරිකයාගෙන් අසන්නට ඇත්තේ එදා රාත්‍රිය රජතුමා ගත කර ඇත්තේ මහ කැලයේ ද යන්නයි.

m

 



අදහස් (18)

සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස

මාලණි හෙල්විස්ට් Monday, 03 October 2016 07:40 AM

ඉතා වැදගත් ලිපියක්, පාවාදීම පරම් පරාවට ගෙනියන ජාතියක් සමහර සිංහලයෝ. නියම සිහලයට තෙරුවන් සරණයි. (ර)

:       0       0

ලලිත් Friday, 02 September 2016 07:02 PM

එදා එක්නැලිගොඩලා එයාව සුද්දන්ට අල්ලලා නොදෙන්න, අද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නැත්නම් තමිල්නාඩුවේ කොටසක්. මදුරාසියේ අාණ්ඩුකාරයෙකු යටතේ තමයි යහපාලන ආණ්ඩුව පිහිටුවන්න වෙන්නේත්. ඒ විතරක් නොවෙයි මැතිවරණය දිනලා එංගලන්තේ මහරැජිණිය බැහැදකින්න යනවා වගේ ජයලලිතා බැහැදකින්නත් යන්න වෙනවා. කවුරු මොනවා කිවුවත් සිංහලේ ඒ වෙනකොට ද්‍රවිඩ පාලනයට නතුවෙලා හමාරයි. සුද්දා නොඉන්න අපට කවදාවත් සිංහල ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

දසුන් Wednesday, 27 July 2016 02:04 AM

අවුරුදු 200 ඉස්සර ජිනීවා සමුළු තිබුනා නම් එක්නැලිගොඩ, මොහොට්ටාලත් ලංකාවට විරුද්ධව සුද්දාගේ පැත්තෙන් ජිනීවා යාවි කියා හිතුනා මෙය කියවද්දී.

:       0       0

නීල් Wednesday, 03 August 2016 06:31 AM

අපේ සිංහල රජවරුන්ට ඉන්දියාවේ ගැණු වුවමනා නොවුනා නම් ප්‍රශ්න මෙතරම් අවුල් නොවෙන්න තිබුනා. අැයි ලංකාවේ ගැණු හිටියේ නැතිලුද ඒ කාලේ. (බ)

:       1       0

ප්‍රනාන්දු Saturday, 24 September 2016 08:01 AM

ඉතින් අපි ජාති ආගම් නිසා කුමකට ගැටෙමුද?

:       0       0

සුකිරි Friday, 29 July 2016 10:20 AM

මොල්ලිගොඩ ඇහැලේපොලට විරුද්දව කේලම් කිවලු. අපේ අය ඒ කාලේ ඉදන්ම එකාට එකා නැති මිනිස්සු කොට්ඨාසයක්. (ර)

:       0       0

නීල් පෙරේරා Friday, 05 August 2016 05:16 AM

බල ලෝභය එදත් අදත් එක සමානයි. කෙසේ වෙතත් එදා තිබූ රාජාණ්ඩු ක්‍රමය අදත් තිබුණානම්, වෘත්තිය සංගම්, සේවක සංගම් වලට අයිතිවාසිකම් ඉල්ලන්න උද්ඝෝෂණ පවත්වන්න ඉඩ ලැබෙයිද ? (ම)

:       0       0

සමන් Wednesday, 27 July 2016 04:42 AM

1815 දී වුණු සිදුවීම තවමත් හරිහැටි හෙළි වී නැති බවයි මගේ වැටහීම. (ම)

:       0       0

වෙල්ගම Thursday, 28 July 2016 04:20 AM

සිංහලයන් පාවා දීමට උපන් හපන්නු බව හොඳින්ම වැටහෙනවා. තමන්ගේ වල තමන්ම කපා ගන්නවා. (ම)

:       0       0

දිනේෂ් Tuesday, 26 July 2016 01:08 PM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

ටිකිරි Wednesday, 23 November 2016 12:48 PM

හොඳ ලිපියක්

:       0       0

මිනිපෙ Wednesday, 27 July 2016 03:24 PM

රාජ් සින්ග්, ඉන්දියානුවෙක්.(බ)

:       0       0

වසන්ත ප්‍රනාන්දු Monday, 12 September 2016 02:21 PM

ගස්ටෝන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂන් මීගමුව අසනයට තරග කළ බව මතකය. (බ)

:       0       0

නුවන් Tuesday, 13 September 2016 07:16 AM

ඉතා හොඳ ලිපියක්

:       0       0

දිනේෂ් Tuesday, 26 July 2016 02:27 PM

එක්නැලිගොඩ පරපුරම සුද්දටනේ වැඳලා තියෙන්නේ. (බ)

:       0       0

බාසු Monday, 29 August 2016 03:06 PM

රජ මියගියේ මුරුසියේ කියලි අපි නම් ඉස්කෝලේ ඉගෙන ගත්තේ. (අ)

:       0       0

දාස Monday, 22 August 2016 05:06 AM

අපි නොදන්න දේ ගැන දැන ගත හොඳ ලිපි පෙළක්. තව මේ වගේ දේ ඇත්නම් ලියන්න. දරුවන්ටත් ප්‍රයෝජනවත්.(ම)

:       0       0

සිංහල සිංහලයෙක්. Wednesday, 19 December 2018 06:10 PM

ඉතා වටිනා ලිපියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 8 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 375 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 985 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1475 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2081 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site