IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


සහල් අර්බුදයේ සුළ මුල

පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.

පාලන මිලට සහල් විකිණීම පිළිබඳ මහා පරිමාණ සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර මතුවී තිබූ මතභේදයක් හා නාඩු සහල් හිඟයක් පිළිබඳ පොළොන්නරුවේ වාර්තාකරුවන්ගේ නමින් ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා ඩේලි මිරර් පුවත්පතේ පුවතක් පළවී තිබිණ.

මෙය පළ වී තිබෙන්නේ ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන හරියටම සතියකිනි. ඒ අනුව සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිව යුතු නැතැයි ජාජබ නායකයන් කරන ප්‍රකාශ නිවැරැදිය.

එහෙත් ප්‍රශ්නයට කවුරුන් වගකිවයුතු වුවත් නැතත් ප්‍රශ්නය විසඳීමේ වගකීම පැවරෙන්නේ පවතින ආණ්ඩුවටය. කලින් පැවැති ආණ්ඩු මෙවැනි ප්‍රශ්න නොහිතපු නිසාත් අලුත් ප්‍රශ්න ඇති කිරීම නිසාත් ඒවා විසඳන්නට තමන්ට ඡන්දය දෙන්නැයි ජාජබ නායකයෝ පසුගිය දශක ගණනාවක් තිස්සේ ජනතාවට කියා සිටියහ. ඒ අනුව ජනතාව ඔවුනට ඡන්දය දුන්නේ අනෙක් පක්ෂ ඇති කළ හා වර්ධනය කළ ප්‍රශ්න විසඳීමටය. ඒ නිසා ප්‍රශ්නයට තමන් වගකිවයුතු නැතැයි ඔවුන් කරන ප්‍රකාශ සදාචාරාත්මක නොවේ.

සහල් ප්‍රශ්නය විශේෂයෙන්ම සහල් හිඟය විසඳීම සඳහා දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු මහා පරිමාණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා තුනක් පැවැත්වීය. ඉන් ඉඟි කෙරුණේ මෝල් හිමියන් සහල් සඟවා ගෙන සිටීම නිසා සහල් හිඟයක් ඇතිවී තිබෙන බවය.

ඇත්ත වශයෙන්ම ඉකුත් ඔක්තෝබර් මස පැවැති පළමු සාකච්ඡාවෙන් පසු දින කිහිපයක් වෙළෙඳපොළට සහල් ගලා ආවේය. ඉන්පසු යළිත් හිඟය ඉස්මතු විය. මිලද ඉහළ ගියේය. එහෙත් ඉකුත් ජනවාරි 4 වැනිදා ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවය. ඔහු එහිදී තවදුරටත් පැවසුවේ  සහල් පිළිබඳ නිසි දත්ත කිසිදු රාජ්‍ය ආයතනයක නැති බවය. මෝල් හිමියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට කිසිදු පාර්ශ්වයකින් විවේචනයක් එල්ල වූයේද නැත.

සහල් හිඟය පියවීම සඳහා ආණ්ඩුව දෙසැම්බර් මාසයේ සිට සහල් ආනයනය කරන්නට අවසර දුන්නේය. මුලදී සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන බව පැවසුවද හිඟය නොකඩවා පැවතියෙන් ජනවාරි 10 වැනිදා ආනයනය සඳහා දී තිබූ කාලය අවසන් වනවිට සහල් මෙට්‍රික් ටොන් 168,000ක් ආනයනය කරනු ලැබ තිබිණි.

එම සහල් පාලන මිල වූ කිලෝව රුපියල් 230ට විකුණන්නට නියම කෙරිණි. එහෙත් එසේ වූයේ නැත. මෙහිදී පාලන මිල හා සසඳන කල රජය සහල් කිලෝවකින් රුපියල් 65ක බද්දත් අය කළ බව විපක්ෂය පැවසීය. එමඟින් රජය රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් උපයා ගත් බවද පුවත්පත්වල පළවිය.

මෙම බදු මුදල අඩු කොට සහල් මිල අඩු කළ හැකිව තිබිණැයි විපක්ෂය කී විට ආණ්ඩුවේ තර්කය වූයේ එසේ කළහොත් ජනතාව ආනයනික සහල්ම ගන්නට පෙළඹෙන බවත් එමඟින් දේශීය ගොවියාට පහර වදින බවත්ය. මෙය පිළිගත හැකි තර්කයකි. කෙසේ වෙතත් ආනයනය කරන ලද සහල්වලින් සියයට අනූවක්ම ගෙන්වා ඇත්තේ පෞද්ගලික අංශයයි. සමහර විට මෙම බදු මුදල ගැන සිතා එසේ වන්නට ආණ්ඩුව ඉඩ හැරියා විය යුතුය.

ශ්‍රී ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් විසිහතර ලක්ෂයක් පමණ වන බව කියැවේ. එහෙත් පසුගිය වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ක් පමණ නිෂ්පාදනය කරනු ලැබ ඇති බව හිටපු ඇමැතිවරයකු පසුගිය දිනෙක පැවසීය. ජාජබ නායකයෝද මුලදී එසේ කීහ. එහෙත් දැන් විවිධ තැන්වල කෙරෙන ප්‍රකාශ අනුව වී නිෂ්පාදනය, මෝල් හිමියන් වෙත ඇති වී හෝ සහල් ප්‍රමාණය බෙදා හැරීම, හිඟය හෝ අතිරික්තය යන කිසිවක් පිළිබඳව කිසිදු ආයතනයක නිවැරැදි තොරතුරු නැති බව පෙනේ.

ජනාධිපතිවරයාද ඉහත කී රූපවාහිනී සංවාදයේදී ඒ බව පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය මුදල් කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් දැක්වූ අදහස්වලින්ද එය පෙනී ගියේය. එපමණක් නොව යල මහ කන්න දෙකේ අස්වනු පිළිබඳ දළ අදහසක් හෝ එම නිලධාරීන් සතුව නැති බවද එහිදී පෙනී ගියේය. හිටපු පාලකයන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මහ ඉහළින් දේශනා පවත්වා ඇත්තේ එසේ තිබියදීය.

මහා පරිමාණ මෝල් හිමියන් විශාල වශයෙන් සහල් රැස් කරගෙන අස්වනු නෙළන කාලයේ ඒවා මුදාහැර සහල් මිල අඩු කොට එය පෙන්වා ගොවීන්ගෙන් කුණුකොල්ලයට වී මිලදී ගන්නා බවත් ඉන් පසු අස්වනු නෙළිම අවසන් වූ පසු වෙළෙඳපොළට මුදාහරින සහල් ප්‍රමාණය අඩු කොට සහල් මිල ඉහළ යවන බවත් බොහෝ දෙනා තුළ මතයක් ඇත. සමහරවිට මෙය සත්‍ය විය හැකිය.

ඒ අනුව සහල් හිඟ කාලයේදී මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා වී අලෙවි මණ්ඩලයෙන් වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ඒ අනුව පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලයේ වල් වැදුණු ගබඩා 200කට වැඩි සංඛ්‍යාවක් හමුදාව යොදවා අලුත්වැඩියා කොට ශුද්ද පවිත්‍ර කෙරෙමින් පවතින බවත් කියැවේ.

මෙරට සහල් නිෂ්පාදනයෙන් සියයට 65ක් 70ක් පමණ මහ කන්නයේදී නිෂ්පාදනය කෙරෙන බව ඇතැම් වාර්තාවල සඳහන් වේ. දැන් එම කන්නයේ අස්වනු වෙළෙඳපොළට පැමිණෙන්නට පටන් ගෙන තිබේ. ඉදිරියේදී මෝල් හිමියන් ඇති කළ හැකි සහල් හිඟයට මුහුණ දීම සඳහා වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නේ නම් දැන්ම එය කළ යුතුය. ඒ සඳහා සහතික මිලක්ද නියම කළ යුතුය. එහෙත් ආණ්ඩුව එය හිතාමතාම ප්‍රමාද කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ සමගම වී වලට ආණ්ඩුව යෝජනා කරන සහතික මිල කිලෝවට රුපියල් 130ක් බවද ඔහු පවසයි. වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 100කැයි අනුමාන කොට ඊට ඉන් තුනෙන් එකක්ද එකතු කොට මෙම සහතික කළ මිල තීරණය කළ  බවද ඔහු කියයි.

නිල වශයෙන් සහතික මිල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීමට හේතු වශයෙන් ඔහු පවසන්නේ දැනට බොහෝ ප්‍රාදේශවල යෝජිත සහතික මිලට වඩා වැඩි මිලකට වෙළෙඳුන් වී මිලදී ගන්නා බවත් සහතික මිල නියම කළ විට  වෙළෙඳුන් ඒ මිලට වී ගැනීමෙන් ගොවීන්ට පාඩු වන බවත්ය.

බැලූ බැල්මට මෙම තර්කය ඉතා ප්‍රබල බව පෙනේ. එහෙත් දැනට ​ෙවළෙඳුන් යෝජිත සහතික මිල වන රුපියල් 130ට වඩා වැඩි මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට නියෝජ්‍ය ඇමැතිවරයා කරන ප්‍රකාශය සත්‍යයක්ද යන ප්‍රශ්නය මතුවේ. වලවේ ප්‍රදේශයේ ගොවි සංවිධානයක නායකයකු වෙළෙන්දන් තමන්ගේ වී කිලෝව රුපියල් 170 බැගින් මිලදී ගන්නා බවත් එහෙයින් ආණ්ඩුවට වී ඇටයක් හෝ නොවිකුණන බවත් ප්‍රකාශ කොට තිබිණි. එසේම වෙළෙන්දන් තමන්ගේ වී කිලෝව රුපියල් අසූවට අනූවට මිලදී ගන්නා හෙයින් ආණ්ඩුව වහාම සහතික මිලක් ප්‍රකාශයට පත් කළ යුතුයැයි තවත් ගොවීන් පිරිසක් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබිණි.

ආණ්ඩුව පවසන ආකාරයට වෙළෙඳුන් යෝජිත සහතික මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගන්නේ නම් එසේ කරන්නේ එම සහතික මිල ප්‍රකාශයට පත් කොට නැති නිසා නොවේ. සහතික මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවද ඊට වඩා වැඩි මිලට වී මිලදී ගැනීම තහනම් නැත. වෙළෙන්දන් වැඩි මිලට වී මිලදී ගන්නේ එසේ කළ යුතු තත්වයක් වෙළෙඳපොළේ ඇති නිසාය. එසේ නොවේ නම් ඔවුන් පෙළඹෙන්නේ හැකි තාක් අඩු මිලට වී මිලදී ගැනීමටය.  එසේ නම් සහතික මිලක් නියම කළද  වෙළෙඳපොළ තත්වය අනුව වෙළෙන්දන් එම මිලට වඩා වැඩි මිලට වී මිලදී ගනු ඇත.

අනෙක් අතට සහතික මිල නියම කළහොත් වෙළෙන්දන් අඩු මිලට වී මිලදී ගන්නා ස්ථානවලදී ඔවුනට එම සහතික මිලට වී මිලදී ගන්නට සිදුවනු ඇත. ඒ  අනුව සහතික මිල නියම කළහොත් ගොවීන්ට අසාධාරණයක් වේය යන ආණ්ඩුවේ තර්කය තේරුම් ගත නොහැකිය.

එසේම වලව ගොවි සංවිධානය පවසන ආකාරයට වෙ​ෙළන්දන් වී කිලෝව රපියල් 170ට මිලදී ගන්නා බවද විශ්වාස කළ නොහැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම අනුව වී කිලෝවකින් සහල් කිලෝ දශම හයයි පහක් (.65) ලැබේ. එනම් වී කිලෝ පහකින්  සහල් කිලෝ තුනක් පමණ ලැබේ. ඒ අනුව රුපියල් 170ට වී කිලෝව මිලදී ගත් වෙළෙන්දාගේ සහල් කිලෝවේ සහල්වල වටිනාකම පමණක් රුපියල් 283ක් වේ. ඊට නිෂ්පාදන වියදම් හා ප්‍රවාහන ගාස්තු හා ලාබය එකතු කළ විට  එය අනිවාර්යයෙන්ම රුපියල් 300ට වඩා වැඩිවේ.

වෙළෙන්දා එවැනි අවදානමක් ගනු ඇත්ද? එසේම වී කිලෝව රුපියල් 170ට මිලදී ගන්නට වෙළෙන්දන්ට බල කෙරෙන තරගකාරී තත්වයක් වෙළෙඳපොළේ තිබේද?

එවැනි තත්වයක් තිබුණේ වුවද ආණ්ඩුවට වී ඇටයක්වත් නොදෙන බව ගොවියකු ප්‍රකාශ කරන්නේ නම් එය සදාචාරාත්මක ප්‍රකාශයක් නොවේ. ගොවි බිම ඔහුගේ පෞද්ගලික දේපළක් විය හැකිය. එහෙත් වාරිමාර්ග නඩත්තු කොට ගොවි බිමට ජලය සැපයෙන්නේ මහජන මුදලිනි.  පොහොර සහනාධාරය දෙන්නේ මහජන මුදලිනි. බොහෝ විට වගා ණය දෙන්නේද රාජ්‍ය බැංකුවලිනි. අවශ්‍ය වුවහොත් ගංවතුර  හෝ නියඟ නිසා වගාවට හානි වුවහොත් වන්දි දෙන්නේ මහජන මුදලිනි. ඒ සියල්ල ලබාගෙන වී අලෙවි මණ්ඩලයට වී ඇටයක්වත් නොදෙන බව කීම කොතෙක් දුරට  සාධාරණද?

වී අලෙවි මණ්ඩලයේ පරමාර්ථ අනුව ආණ්ඩුව එය ශක්තිමත්  කරන්නේ නම් එය සහල් පාරිභෝගිකයාගේ පමණක් නොව ගොවියාගේද ආරක්ෂකයා වනු ඇත. දැනටමත් ඇතැම් ප්‍රදේශවල ගොවීහු වී වලට සහතික මිලක් ඉල්ලා සිටිති. සහතික මිල සමඟ වී මිලදී ගැනීමේදී පෞද්ගලික වෙළෙන්දා සමග තරග කරන යාන්ත්‍රණයක්ද තිබේ නම් එහි වාසිය යන්නේ ගොවියාටය. එහෙයින්  වී අලෙවි මණ්ඩලය ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා  රජය මෙන්ම ගොවීන්ද කටයුතු කළ යුතුවනු ඇත.

එහෙත් මහා පරිමාණ වී වෙළෙන්දන්ගේ මිල භාවිතය වැනි උපක්‍රම හමුවේ ගොවියා වී අලෙවි මණ්ඩලය නොතකා හරින්නට ඉඩ තිබේ. ඊටද පිළියමක් ආණ්ඩුව සතුව තිබිය යුතුය.

වී අලෙවි මණ්ඩලය පරිහානියට ලක් වූයේ දේශපාලනඥයන්ගේ වංචා හා දූෂණය නිසාම නොවේ. රජයේ ඉහළ නිලධාරීන්ද වෙළෙන්දන්ගේ ග්‍රහණයට හසු නොවුණායැයි සිතිය හැකිය. සහල් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයන්නේ නම් ඊටද පිළියමක් තිබිය යුතුය.

මෙහිදී වැදගත්ම ප්‍රශ්නය නම් සහල් කර්මාන්තයට අදාළ දත්ත නැතිවීමයි. රටේ කොපමණ වී වගා කෙරෙන්නේද? එහි අස්වැන්න කොපමණද? වී වගාවෙන් ගොවීන්ට ලැබෙන ප්‍රතිලාභ කොතෙක්ද? ඉදිරියේදී සහල් හිඟයක් හෝ මිල වැඩිවීමක් ඇති විය හැකිද? ඊට හේතු මොනවාද? ඊට දෙන විසඳුම කුමක්ද? මෙවැනි ප්‍රශ්නවලට  පිළිතුරු  සපයන්නට නම් ගොවිබිම්, සහනාධාර, වගා ණය, ජලය, අස්වැන්න, මෝල් හිමියන් මිලදී ගත් වී ප්‍රමාණය, නිකුත් කළ සහල් ප්‍රමාණය ආදිය ඇතුළත් දත්ත පද්ධතියක් නැතිව මෙම ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් සෙවිය නොහැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

සහල් අර්බුදයේ සුළ මුල

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

සහල් අර්බුදයේ සුළ මුල
2025 පෙබරවාරි මස 01 104 0

පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 203 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


මාධ්‍ය ලෝකයේ මිතුරා ලක්‍ෂ්මන්
2025 ජනවාරි මස 30 133 0

මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.” කල්‍යාණ මිත්‍ර ලක්ෂ්


කෘෂිකර්මය නවීකරණය අවශ්‍ය ඇයි
2025 ජනවාරි මස 30 151 0

වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලු‍කාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා


හිටපු ජනපතින් ආරක්ෂාවේ කතිකාව
2025 ජනවාරි මස 29 911 3

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට


හැමදාම සිසුන් හැඬවූ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ ජාවාරම
2025 ජනවාරි මස 27 509 3

2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 701 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 721 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site