1962 හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ අය විසින් අත්අඩංගුවට ගනු ලැබ යුද හමුදා මූලස්ථානයේ රඳවා තබන්නට බලාපොරොත්තු වූ පුද්ගලයන් අතර එවකට මුදල් අමාත්‍ය, ආරක්ෂක කටයුතු හා විදේශ අමාත්‍යාංශ පාර්ලිමේන්තු ලේකම් ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක හා ඉතා බලසම්පන්න අයකු වූ ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල් ක්වින්ටස් ඩයස් යන අය වූහ. කුමන්ත්‍රණය මෙහෙය වූ අය මේ දෙදෙනා හැඳින් වූයේ අන්තරාදායක ඩයස් යුගල යනුවෙනි.
බොහෝ ජනයා එන්.කිව්. ඩයස් ගැන අසා ඇති නමුදු හරියටම ඔහු කවු ද යන්නත් හෙතෙම ඉටු කළ කාර්ය කොටසත් දැන සිටියේ නැත. රහසේ කළ කුමන්ත්‍රණයේ දී කුමන්ත්‍රණකරුවන් විසින් වෙසෙස් කොට හඳුනාගත් එකම ස්ථිර ලේකම්වරයා එන්.කිව්. ඩයස් වීම ඇතැමුන්ගේ කුතුහලයට හේතු විය.
දේශපාලකයන් කිහිප දෙනකුත් ආරක්ෂක නිලධාරීන් වෘත්තීය සමිති නායකයන් ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වූ නමුදු කුමන්ත්‍රණය අසාර්ථක නොවී නම් අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටි එකම ස්ථිර ලේකම්වරයා එන්.කිව්. ඩයස්ය. ඒ ගැන බොහෝ දෙනා විමතියට පත් වූවෝය.
හිටපු සිවිල් සේවක ප්‍රවීණ කතුවර නෙවිල් ජයවීර, ඩයස් ගැනත් රටේ දේශපාලනයේ හා මහජන කටයුතුවලට අදාළව ඔහු ඉටුකළ කාර්ය කොටස ගැනත් ප්‍රමුඛ ලෙසම දැන සිටියේය. ඩයස් ගැන බොහෝ දේ ලියා තැබූ ඔහු වැඩි ප්‍රසිද්ධියට පත් නොවූ ඩයස් සම්බන්ධ මතභේදාත්මක අත්දැකීම් හා ඔහුගේ ජීවිතයේ වැඩි දෙනා නොදත් කරුණු කෙරෙහි අවධානය යොමුකර තිබිණි.
ජයවීර විසින් ලියන ලද පහත වැකි කිහිපයෙන් 1962 කුමන්ත්‍රණයේ දී ඩයස් ඉලක්ක වීමට හේතුවත් ඔහුගේ වැදගත්කමත් පැහැදිලි කෙරේ.
‘‘ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා පමණක් නොවූ එන්.කිව්. ඩයස් වඩාත් බලසම්පන්න රජ්‍ය සේවකයා ද වූයේය. බණ්ඩාරනායක මහතා වෙත බලපෑම් කළ හැකි වූ තත්ත්වයක ඔහු පසු වූ නිසා හෙතෙම කැබිනට් අමාත්‍යවරුන්ගේ ගෞරවයටත් බියටත් පාත්‍ර වූයේය. පොදුවේ ඔහුව හඳුන්වන ලද්දේ සාර් රජු ලෙසයි.’’
ඉන්දිරා ගාන්ධි - ජී.එන්. හස්කර්
1960 – 65 – සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දැරූ රජයේ ද සැලකිය යුතු තරම් ප්‍රබලත්වයක් එන්.කිව්. ඩයස් උසුලා සිටියේය. ඔහුගේ උපදේශ හා මාර්ගෝපදේශ එවකට අත්දැකීම් විරහිතව සිටි අග්‍රාමාත්‍යවරියට මහත් සම්පතක් විය. එන්.කිව්. ඩයස් ඉටු කළ කාර්ය කොටස ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි වෙත ජී.එන්. හස්කර් ඉටුකළ කාර්ය කොටසට බොහෝ සෙයින් සමාන වූයේය. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධාන ලේකම් ධූරය ඉසුලු හස්කර් 1970 ගණන්වල ඉන්දිරා ගාන්ධිගේ ප්‍රධාන මුලෝපාය හා ප්‍රතිපත්ති උපදේශකයා ද වූයේය. හැටගණන් වල සිරිමාවෝ රජයේ මූලෝපායන් සම්බන්ධයෙන් එන්.කිව්. ඩයස් එවැනිම කාර්යභාරයක් ඉටු කළේය.
කෙසේ වුවද වැඩි දෙනා නොදත් දේ අතර 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට ගෙන එන්නට එන්.කිව්. ඩයස් ඉටු කළ කාර්ය භාරයක් ද වේ. රජයේ ඉහළ මට්ටමේ කාර්ය ඉටුකළ සිවිල් සේවකයකු වූ ඩයස් තිරයෙන් පසුපස රැදෙමින් පසුබිම් කාර්ය කොටස ඉටු කළේය. එසේ වුවද 1956 මැතිවරණ තීන්දුව දිනා ගැනීම සඳහා ඩයස් ඉටු කළ කාර්ය භාරයට වැඩි පිළිගැනීමක් ලැබුණේ නැත. වඩාත් වැදගත් කාරණය වූයේ එන්.කිව්. ඩයස් තමාටම ආවේණික දැක්මක් හා මෙහෙවරක් ඇති අන් අයගේ සහායෙන් තොරව වැඩ කළ හැකි මිනිසකු වීමයි.
සිංහල බෞද්ධ ක්‍රමෝපායවාදියකු වූ ඔහුගේ අරමුණ වූයේ එජාපය බලයෙන් පහකොට සිංහල බෞද්ධ බහුතරය වෙත ශ්‍රී ලංකාව තුළ ඔවුනට හිමි අයිතීන් ලබා දීමයි.
පරස්පර පෞරුෂ
නෙවිල් ජයවීර, එන්.කිව්. ඩයස් ගැන කී දේ තව දුරටත් උපුටා දක්වමින් ඔහුගේ ද්වන්දාත්මක පෞරුෂයේ කතාව අරඹන්නෙමි. එම උපුටා ගත් කොටස මෙසේය.
එන්.කිව්. ඩයස් යනු රාජ්‍ය සේවකයකු හෝ හමුදා ක්‍රමෝපායවාදියකු පමණක් නොවේ. ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ අගාධය තුළින් පුපුරා මතු වූ සිංහල – බෞද්ධ ජාතිකවාදී රළ බිඳුමේ සංසිද්ධි ප්‍රතිමූර්තිමත් කරන්නෙකි. කෙසේ වුවද ඔහුව සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අප ඔහු තුළම අන්තර්ගත වූ එකිනෙකට පරස්පර පෞරුෂයන් මුළුමනින් ග්‍රහණය කර ගත යුතු වේ.’’
රාජ්‍ය සේවකයකු වුව එක් අතෙකින් එල්.එච්.හේමචන්ද්‍ර, එෆ්.ආර්. ජයසූරිය, කේ.එම්.පී. රාජරත්න, හේන්පිට ගෙදර ඥානසීහ හිමි ආදීන් සමඟ 1956 සිංහල බෞද්ධ පුනරුදයේ පෙරමුණේ ගමන් ගත් ඔහු මුල් ගනයේම අන්තගාමී ජාතිකවාදියකු වූයේය. 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට පත් වූ විට තමන් කැමති ඕනෑම රාජ්‍ය නිලයක් තෝරා ගැනීමේ වරය අගමැතිවරයා ඔහුට පිරිනැමුවේය. එහෙත් එකල සිවිල් සේවකයකුට ළඟා විය හැකි ඉහළම නිළය වූ භාණ්ඩාගාර ලේකම් පදවිය තෝරා ගනු වෙනුවට හෙතෙම සාපේක්ෂ වශයෙන් ඊට පහළ මට්ටමේ තනතුරක් වූ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ධූරය තෝරා ගත්තේ බණ්ඩාරනායක ජයග්‍රහණයේ සංස්කෘතික ජයග්‍රහණය තහවුරු කර ගැනීමටයි.
බටහිර ඇඳුම අත්හැර ජාතික ඇඳුම ඇඟලා ගත් පළමු රාජ්‍ය සේවකයා ද ඔහු වූයේය. එන්.කිව්. අනුකම්පා විරහිත ලෙස විදේශිකයන් නුරුස්සන අයකු වූ අතර ඉන්දියානුවන් දමිළ ජනයා රෝමානු කතෝලික ආගම හා බටහිර සංස්කෘතිය ද්වේෂ සහගත ලෙස පිළිකුලෙන් බැහැර කළ අයෙකි. ඔහු අතිශය දරුණු අයුරින් ඉන්දියාව පිළිබඳ පීඩනෝන්මාදයෙන් පෙලුණේය. ඉන්දියානු සාගරයේ ඉන්දීය ආධිපත්‍ය නොවැළැක්විය හැක්කක්ය යන මතයට අදාළ කොන්දේසිය එක හෙළා පිළිගත් පනික්කාර් ධර්මයේ අන්තර්ගතය කිය වූ ඔහු ශ්‍රී ලංකාව අල්ලා ගැනීම අරමුණු කොට ගත් දුර්දාන්ත සැළසුම් ඉන්දියාව සතු බව විශ්වාස කළේය. මේ දිවයින මුළුමනින් අල්ලා ගත නොහැකි නම් එය සදහටම අඩපන කොට ඉන්දියාවට වහල් කොට ඉන්දියාව මත්තේ යැපීමට තබා ගැනීමද එම සැලසුමට අයත් බව හෙතෙම විශ්වාස කළේය.
ඊට හාත්පසින් වෙනස්ව යන අයුරින් එන්.කිව්. ඩයස් අන්තගාමී යටත් විජිතවාදී ගනයේ එකාකෘතික මහත්මා ගුණයෙන් හෙබි අයකු වූයේය. සිංහල බස චතුර ලෙස කතා නොකරන්නකු වූ ඔහු ආක්‍රමණශීලි උද්ධච්ජ අයකු විය. තමන්ගේ ශක්තිය හා දක්ෂතා හා අයිතීන් කෙරේ විශ්වාසය තැබූ හෙතෙම කොළඹ ප්‍රභූවරුන්ගේ ක්‍රීඩා සමාජ වල අගේට කේවල ටෙනිස් ක්‍රීඩාවේ යෙදුනේය. නිරන්තරයෙන්ම පාහේ ගෝල් ෆේස් හෝටලයේ දිවා භෝජනය රසිවිඳි ඔහු තමන්ගේ රුචිකර ප්‍රියතම මද්‍ය පානය වූ ජින් සමග ටොනික් සංයෝගය තොල ගෑවේය. හෙතෙම ජාතික ඇඳුම ඇඟලා ගත්තද ඔහු ඒකාකාරී රාජ්‍ය සේවකයකු නොවූයේය. අනෙක් අතට ඔහුගේ විදේශිකයන් නුරුස්සනා ගුණය හැරුණු විට ඔහු වියැකී ගිය අතීතයක් හිමි මිනිසකු බවට 1956 විප්ලවීය ජයග්‍රහණය සාක්ෂි දෙනු ලැබුවේය.
ඔහු තම බටහිර නම වූ නීල් ක්වින්ටස් ඩයස් නාමය අන්ත ජාතිකවාදය වැළඳා ගැනීමෙන් පසුව ද අත් හළේ නැත. එසේ වුව ද ඔහු සිය දරුවන්ට ඩයස් නාමය නොදී දයාසිරි යන සිංහල නාමය යෙදුවේය. කෙසේ වුවද ඔහුගේ බොහෝ යහළුවන් ඔහු සැබෑ ස්වරූපය වසන් කිරීම ප්‍රිය නොකළ ද හෙතෙම අවංක බුද්ධිමත් ශික්ෂණයෙන් හෙබි දූෂණයෙන් තොර අතීත සිවිල් සේවාවේ සම්ප්‍රදායන්ට හා ආචාර ධර්මවලට ගරු කළ අයකු බව පිළි ගත්තේය.
නීල් ක්වින්ටස් ඩයස්
එන්.කිව්. ලෙස සාමාන්‍යයෙන් හැඳින් වූ නීල් ක්වින්ටස් ඩයස් හෙවත් එන්.කිව්. ඩයස් පානදුරේ වරප්‍රසාද ලත් පවුලක උපන් අයෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඩයස් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගියේය. ඉන්පසු නීති විෂය හැදෑරු ඔහු මිඩ්ල් ටෙම්පල් නමින් හැඳින් වූ ලන්ඩනයේ ගරු නීතිඥ සංගමයට එක්වූයේය. ඉන් අනතුරුව සිවිල් සේවා විභාගයට පෙනී සිටි එන්.කිව්. ඩයස් එය සාර්ථක ලෙස සමත් වී 1936 සිවිල් සේවාවට එක් වූයේය.
ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍ය පදවිය දරමින් එක්සත් ජාතික පක්ෂය පළමු ආණ්ඩුව පිහිටුවන්නේ 1948 නිදහස ලබා ගැනීමට පෙරාතුව 1947 වසරේය. සර් ඔලිවර් ගුණතිලක සෙනෙට් මන්ත්‍රී ධුරයක් ලැබ ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධුරයට පත් වූයේය. මාතර දිස්ත්‍රික්කයේ රජයේ සහකාර ඒජන්ත ධුරයට ඩයස් පත් වූයේය. ඔහුගේ ජීවිතය වෙනසකට ලක් කළ පළමු සිද්ධි දෙක සිදු වූයේ එහිදීය. එන්.කිව්. ඩයස් බටහිර ගැති එක්සත් ජාතික පක්ෂිකයකු සමඟ ගැටුමක් ඇති කරගත්තේ එම තනතුර දරන අවස්ථාවේය.
පළමු සිද්ධිය
මේ කියන පළමු සිද්ධිය සමහරවිට නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන අතපෙවීමේ උත්සාහය විය හැකිය. 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ස්වාධීනව පත්වුණු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එජාපය රජයට එක් වූවෝය. එවැනි එක් ව්‍යවස්ථාදායකයකු වූයේ දෙනියාය පාර්ලිමේන්තු මන්ත්‍රී වික්ටර් ගාර්වින් වීරවර්ධන රත්නායකය. ඔහුව හැඳින්වූයේ වික්ටර් රත්නායක නමිනි. 1948 දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ ගම්මුලාදෑනි තනතුරක ඇබෑර්තුවක් ඇති වූයේය.
මෙම ඇබෑර්තුව සඳහා තමාගේ ආධාරකරුවකු පත් කිරීමට වික්ටර් රත්නායකට අවශ්‍ය වූයේය. මාතර සහකාර රජයේ ඒජන්ත ධුරය ඉසිලූ එන්.කිව්. ඩයස් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට නියමිත ක්‍රියා පටිපාටිය ඔස්සේ සුදුසු අපේක්ෂකයකු ඒ සඳහා පත් කරන්නට ක්‍රියා කළේය. දෙනියාය මන්ත්‍රීවරයා ඒ ගැන ස්වදේශ කටයුතු අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලකට ඒ ගැන පැමිණිලි කරන ලදුව ඔහු එන්.කිව්. ඩයස් වෙත දුරකථන ඇමතුමක් දී වික්ටර් රත්නායකගේ හෙංචයියා එම තනතුරට නම් කරන ලෙස දැන්වූයේය.
දූෂණයෙන් තොර අයකු වූ ඩයස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මහජන සේවා කොමිසමේ රෙගුලාසි උල්ලංඝනය කරන බවයි. ඉන් කෝපයට පත් සර් ඔලිවර් එන්.කිව්. ඩයස් මාතරින් ත්‍රිකුණාමල සේවයට මාරු කොට ඔහු ත්‍රිකණාමලයේ සහකාර රාජ්‍ය ඒජන්ත ධුරයේ තැබුවේය.
ලංකාව එවකට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා තිබුණද බ්‍රිතාන්‍ය බලපෑමෙන් මුළුමනින් මිදී තිබුණේ නැත. ඒ වන විටත් ත්‍රිකුණාමලයේ වරාය සහ නාවික හමුදා කඳවුර පැවතියේ එක්සත් රාජධානිය යටතේය. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය නැව් සමාගමේ මූලස්ථානය පැවතියේද ත්‍රිකුණාමලයේමය.
ත්‍රිකුණාමලයේ සහකාර රජයේ ඒජන්ත තැනගේ එක් චාරිත්‍රානුකූල රාජකාරියක් වූයේ ත්‍රිකුණාමලයේ නැව් තටාකාංගණයට පැමිණෙන යාත්‍රවල කැප්ටන් වරුන් පිරිනමන විවිධ කොක්ටේල් සාදවලට සහභාගි වීමයි. ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා විධිමත් ලෙස බටහිර ටයිකෝට් ඇඳ පැළඳ ඊට සහභාගි විය යුතුවිය. මෙය එන්.කිව්. ඩයස් හට තරමක අප්‍රසන්න කාර්යයක් වූයේ මෙතෙක් නිද්‍රාශීලි ජාතික වාදියකුව සිටි ඩයස් නිදහසින් පසු කාලයේ ඇවිස්සෙන්නට නැඹුරුව කල් ගෙවූ බැවිනි.
ජාතික ඇඳුම ඇඳීම
තමන්ට රිසිසේ ක්‍රියා කළ නීල් ක්වින්ටස් ඩයස් වැල්ලවත්තේ පිහිටි ටේලර් සාප්පුවකින් ජාතික ඇඳුම් කට්ටල තුනක් ඇණවුම් කළේය. ලන්ඩනයේ අධ්‍යාපනය ලත් සිවිල් සේවකයා එක රැයින් ජාතික ඇඳුම අදින දේශප්‍රේමියකු බවට පත් වූයේය. එය එන්.කිව්. ගේ මුරන්ඩු භාවය පළකරන සංකේතාත්මක ක්‍රියාවක් වූයේය. ඒ කාලයේ ඇඳුම වෙනස් කිරීම විප්ලවීය වෙනසක් මෙනි. නිල වශයෙන් (නිල උත්සවයක දී) ජාතික ඇඳුම ඇඟලා ගිය පළමු ලාංකීය සිවිල් සේවකයා වූයේ එන්.කිව්. ඩයස්ය. ඔහුගේ ක්‍රියාව දෙස බොහෝ අය ඇහි බැම ඔසවා ඔලොක්කුවට බැලුවෝය. ඔහුගේ සමකාලීන මිතුරන් හා නිලධාරීන්ගේ බැල්මෙන් බැලූ විට එය නොකළ යුතු ක්‍රියාවකි.
දෙවැනි සිද්ධිය
ඇඳුම වෙනස් කිරීම නිසා ජීවිතය වෙනස් කරන දෙවැනි සිද්ධියට ද ඔහුට මුහුණ දීමට සිදුවිය. යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය නිදහස් ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය බවට පත්විය. නිදහසට පෙර සිටි ආණ්ඩුකාර සර් හෙන්රි මොන්ක්මේසන් මුවර් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරයා බවට ද පත් වූයේය.
ආණ්ඩුකාරයා සම්ප්‍රදානුකූලව ආණ්ඩුවේ ඒජන්තවරුන් ආණ්ඩුවේ සහකාර ඒජන්තවරුන් උදෙසා වාර්ෂිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතක් විය. ආණ්ඩුකාර තැනගේ සම්ප්‍රදායක රාත්‍රී භෝජන සංග්‍රහය මේ වන විට හැඳින්වූයේ අග්‍රාණ්ඩුකාර තැනගේ රාත්‍රී භෝජන සාදය යනුවෙනි. ත්‍රිකුණාමලයේ ආණ්ඩුවේ සහකාර ඒජන්ත එන්.කිව්. ඩයස් හා ඔහුගේ බිරිඳ ද කොළඹ ක්වින්ස් හවුස් මන්දිරයේ පැවති එම සාදයට ආරාධනා ලැබූ ආරාධිත අමුත්තෝ අතර වූහ.
මන්දිරයේ පෝටිකෝවට පැමිණෙන ආරාධිතයන් තම ආරාධනා පත්‍ර ඉදිරිපත් කළ විට විධිමත් ලෙස ඒ බව නිවේදනය කිරීම. ඒ වන විට පැවති විධිමත් චාරිත්‍රයයි. ඉන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අමුත්තන් අතට අත දී පිළිගෙන ඔවුන් අගමැතිවරයාට හඳුන්වා දීම සිදු කළේය. ඉන් අනතුරුව අගමැතිවරයා එම අමුත්තන් අග්‍රාණ්ඩුකාරතුමාට හඳුන්වා දුන් විට ඔහු අමුත්තන් ප්‍රධාන පිළිගැනීමේ ශාලාව වෙත කැඳවා ගෙන යනු ලැබේ.
පිළිගත් සමාජීය පිළිවෙත අනුව සියලු පිරිමි තම ටයි කෝට් - කළිසම් හැඳ කළු ටයි පටි හෝ බෝ පැළ ඳ සාදයට පැමිණිය යුතුය. ඩිනර් ජැකැට්ටුව ද අනිවාර්යයෙන් ඇඳ සිටිය යුතු අතර කළු කලිසම් ගෙත්තම් වැඩ දැමූ ඒවාය. කාන්තාවන් බාල් නැටුම් ගවුම් වලින් හෝ මිලාධික සාරි වලින් සැරසී පැමිණිය යුතුය.
එන්.කිව්. ඩයස් මහතා හා එම මහත්මිය සම්ප්‍රාප්ත වූ කල මුළු ක්වීන්ස් හවුස් මන්දිරයම ප්‍රකම්පිත වූයේය. ඔවුන් ගේ ඇරියුම් පත් ඉදිරිපත් කළ විට විධිමත් ලෙස දෙපළ ගේ නම නිවේදනය කෙරිණි. ත්‍රිකුණාමලයේ ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා සැරසී සිටියේ සුදු ජාතික ඇඳුමෙනි.
අග්‍රාණ්ඩුකාර තැන
අමුත්තා සමඟ චාරිත්‍රානුකූලව අතට අත දෙනු වෙනුවට ස්වදේශ කටයුතු අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලක, එන්.කිව්. ඩයස් දිගු කළ හස්තය නොදැක්කා සේ අහක බලා ගත්තේය. ගරු සරු නොදක්වා හරිනු ලැබූ ඩයස් එවර අග්‍රාමාත්‍ය දොන් ස්ටෙෆාන් සේනානායක වෙත ඉදිරියට පියවර තැබුවේය. අගමැතිවරයා ද ඔහු නොදැක්කා සේ අහක බලා ගත්තේය. දෙවරක් පිටපිට ගණන් නොගෙන හැරීම නිසා සිත්තැවුලට පත් වූ ඩයස් හා ඔහුගේ බිරිඳ ගෙදර යාම සඳහා ආපසු හැරුණෝය. එහෙත් මහත්මා ගුණයෙන් හෙබි අග්‍රාණ්ඩුකාරවරයා සර් මොන්ක් මේසන් මුවර් ඩයස් දෙපළ මුහුණ පෑ සෝචනීය තත්ත්වය දැක, විධිමත් චාරිත්‍රය කඩකොට ඉදිරියට ආවේය. තම හස්තය එන්.කිව්. ඩයස් වෙත දිගු කළ සර් හෙන්රි ඔහුගේ අතත් බිරිඳගේ අතත් ගෙන සොලවා ඔවුන් සාදරයෙන් පිළිගෙන ඔහු විසින්ම යුවළ පිළිගැනීමේ ශාලාව වෙත කැඳවාගෙන ආවේය.
කරදර කම්කටොලු එතැනින් නිමා වූයේ නැත. ජාතික ඇඳුමෙන් සැරසුණු එන්.කිව්. ඩයස් බටහිර අඳුමෙන් සැරසුණු අය අතර තැනට නුසුදුස්සකුසේ හිඳගෙන උන්නේය. එම දෙපල එතැන සිටි සියලු මිත්‍රාදීන් විසින් නොසලකා ගණන් නොගෙන හරිනු ලැබුවේය. පැමිණි අමුත්තන්ගෙන් වැඩිපුරම ඔහුව ගණන් නොගත්තේ සිවිල් සේවාවේ යෙදුණු මිතුරන්ය. රාත්‍රී භෝජනය අවස්ථාවේ කෑම මේසයේ පහත අන්තයේ හිඳගෙන ඉන්නට ඔවුනට සිදු වූ අතර කිසිවෙක් ඔවුන් හා කතා නොකළහ. වේටර්වරුන් පවා ඔවුන් වෙත පෑවේ මද අවධානයකි.
සිංහල බෞද්ධ පුනරුදය
ගණන් නොගෙන හරින ලද එන්.කිව්. ඩයස් ගෙදර ආයේ තම රටේදීම ජාතික ඇඳුම ඇඳීම නිසා නිග්‍රහයට පාත්‍ර වීම නිසා ඔහුගේ ජාතික හැඟීමෙන් යුතු සිත වේදනාවට පත්විය. ජාතිකාභිමානය පිළිබඳ ඔහුගේ හැඟීම ඇවිස්සී ගියේය. බල සම්පන්න බටහිර ගැති එ.ජා.ප රජය පලවා හැර ජාතිකවා දී ආණ්ඩුවක් බලයට පත් කරන තුරු නිදා නොගන්නට එදින රැයේ ඔහු ප්‍රතිඥා දුන්නේය. සිංහල භාෂාව හා බෞද්ධයන්ගේ ආගම ඔවුන්ට හිමි නියම තැනට ගෙන එන්නට සිංහල බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට හෙතෙම ඉටා ගත්තේය. එය නීල් ක්වින්ටන් ඩයස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය්‍යක් වූයේය.
එන්.කිව්. ඩයස්ගේ එම අදහස වගා කළ වුන් අතර පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමි, පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ හිමි, විදුහල්පති එල්.එච්.මෙත්තානන්ද, මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය, මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් යන අය ද වූවෝය. ඒ අතර ඩයස් රාජ්‍ය සේවකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් වැළකී සිටියේය. සිංහල – බෞද්ධ හිතවාදී ක්‍රියාකාරකම්වල පවා ඔහුගේ නම සඳහන් වූයේ නැත. පසුබිමේ රැඳී සිට අන් අය ලවා එළිපිට රැඟුම් රඟ දැක්වීමට එන්.කිව්. වඩාත් ප්‍රිය කළේය.
ආගමේ ප්‍රයෝගය
ඔහුගේ අරමුණ හා ඉදිරි දැක්ම අතිශය දේශපාලනික වුවද තමන්ගේ සිත තුළ සැඟවුණු අභිප්‍රායන් හෙතෙම ආගම නැමති ප්‍රයෝගයෙන් වෙස් මාරු කොට වසාලීමේ පිළිවෙතක් අනුගමනය කළේය. තමන්ගේ අභිප්‍රාය ජය ගැනීමේ වේදිකාවක් ලෙස මුලින්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය භාවිතා කළ ඔහු රාජ්‍ය සේවාව තුළ බුද්ධාගම ප්‍රචාරය හා ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තේය.
සතියේ දිනවල එන්.කිව්.ඩයස් අනලස්ව වෙහෙස වී වැඩකරන රජයේ සේවකයකු වූයේය. සබරගමු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස රත්නපුරේ කටයුතු කළ ඔහු පසුව කොළඹ රෙජිස්ටාර් - ජනරාල් ධුරය ඉසුලුවේය. සති අන්තවල ඔහු බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් බෞද්ධ භික්ෂූන් මුණ ගැහුණේය. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඩයස් එහි ප්‍රාරම්භක සභාපතිවරයා විය. ඒ අනුසාරයෙන් ඒ හා සමාන බෞද්ධ සංගම් හා විවිධ පරිපාලන ශාඛා ඔහු ගොඩනැගුවේය.
එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ සමිති සංවිධාන 23ක් ඒකාබද්ධ කොට රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවාවල බෞද්ධ සමිති සම්මේලනය ඔහු බිහි කළේය. එහි සභාපතිවරයා එන්.කිව්. ඩයස් වූ අතර ලේකම් වරයා වූයේ ගණකාධිකාරී ගුණසේන විතානය.
එන්.කිව්.ඩයස් දුරදිග බලා සිදු කළ තවත් කාර්යයක් වූයේ සංවිධානාත්මක දේශපාලන ආයතනයක් ලෙස බෞද්ධ භික්ෂූන් හා ගිහියන් ඒකාබද්ධ කොට මුලෝපාය පෙරමුණක් සංවිධානය කිරීමයි. අනෙක් අයට එහි ප්‍රධාන කාර්ය ඉටු කරන්නට ධෛර්ය දෙමින් ඩයස් පසුබිමේ සැඟව උන්නේය. පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ හිමියෝ නිකාය නොතකා, බෞද්ධ භික්ෂූන්ගේ සංඝ සභාවක් ගොඩ නැගීමට උත්සාහ ගත්හ. අවසානයේ මෙම උත්සාහයත් ඵල දැරුවේ ප්‍රබල එක්සත් භික්ෂු පෙරමුණ ලෙසිනි.
තවත් කාලයකින් ජාතික බෞද්ධ බලවේගය පිහිටු වූ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්.එච්.මෙත්තානන්ද හවුල් කරගෙන දේශපාලන බෞද්ධ ගිහි සංවිධානය ගොඩ නගන්නට ඩයස් ක්‍රියා කළේය. 1954 අප්‍රේල් 2 වැනිදා දියත් කළ බෞද්ධ කොමිසමේ ව්‍යාපෘතියටද ඩයස් පසුබිමේ සිට ප්‍රබල සහයක් ලබා දුන්නේය. බෞද්ධ විමර්ශන කමිටුව බෞද්ධ කොමිසම නමින් ප්‍රචලිත විය. රට පුරා රැස්වීම් පැවැත්වීමෙන් පසු කොමිසම 1956 පෙබරවාරි 4 වැනිදා එහි වාර්තාව එළි දැක්වූයේ.
චානක්‍ය විසින් තම චන්ද්‍රගුප්ත සොයා ගැනීම
චන්ද්‍රගුප්ත තුළින් මෞර්ය අධිරාජ්‍ය බිහි කිරීමේ චානක්‍යගේ ආදර්ශය පසු කාලීනව එන්.කිව්.ඩයස් ලබා ගත්තේය. රට පුරා සිංහල බෞද්ධ ආධිපත්‍ය පිහිටුවන්නට චන්ද්‍රගුප්ත හා සමාන අයකු නවීන සමාජයෙන් බිහිකරන්නට ඔහුට ඕනෑ විය. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් එජාප රජයෙන් බිඳී විපක්ෂයට පැමිණි විට ඔහුට එම අවස්ථාව පෑදුනේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීලංකා නිදහස් පක්ෂය පිහිටවූයේය. ක්‍රිස්තියානි ආගමිකයකු ලෙස උපත ලබා බෞතිස්ම කරනු ලැබූ බණ්ඩාරනායක පසුව බෞද්ධයකු බවට පත්විය. හෙතෙම ලහි ලහියේ දේශපාලන බලය හඹා ගියේය. ලිබරල්, බටහිර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බණ්ඩාරනායක දේශපාලන වශයෙන් සාර්ථකත්වය ලැබීමට නව උපාය මං අනුගමනය කරන්නට සූදානම්ව සිටියේය. චානක්‍ය ඔහුගේ චන්ද්‍රගුප්තයන් සොයා ගත්තේය.
සිවිල් සේවක එන්.කිව්. ඩයස් 1954 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට කිට්ටු කළේය. පසු බිමේ හිඳිමින් හෙතෙම ශ්‍රීලනිපය හා සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තේය. බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ අරමුණු උදෙසා නිර්ව්‍යාජ ලෙස කැප වන්නේද යන්න හෙතෙම තරමක් සැක පළ කළ නමුදු මැතිවරණයෙන් එජාපය පරාජය කිරීම සඳහා සිංහල බෞද්ධ රැල්ල මුදුන් පත් වෙද්දී හොරගොල්ල වලව්ව ඊට ඈඳා ගන්නට ඩයස් කල්පනා කළේය. සර් ජෝන් කොතලාවල එජාප අගමැතිවරයා වීම වාසියක් කොට ගත් ඔහු දේශපාලන වශයෙන් පහර දීමට ඔහු ඉලක්ක කර ගත්තේය.
ඩයස්ගේ උපාය වූයේ ඊළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ 1957 දී බණ්ඩාරනායක බලයට ගෙන ඒමය. 1957 මැයි මාසයේ බුද්ධ ජයන්තිය (2500) සැමරීමට එවකට රටම ලැහැස්ති වෙමින් සිටියහ. බුද්ධ ජයන්ති වර්ෂය පටන් ගත්තේ 1956 මැයි මාසයෙනි. එජාප විරෝධි මැතිවරණය ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ඩයස් බුද්ධ ජයන්තිය උපයෝගි කරගන්නට සැලසුම් කළේය. එකම රාජ්‍ය භාෂාව සිංහල කිරීමත් බෞද්ධයන් හට සිදු වූ ඓතිහාසික වැරදි නිවැරදි කිරීමක් මැතිවරණ ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ විය. ඉංග්‍රීසි වෙනුවට දෙමළ හා සිංහල භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත් කිරීමට බණ්ඩාරනායක දිගු කලක සිට බලා උන්නේය. එහෙත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට 1955 බණ්ඩාරනායක කැමති වූයේය. එසේ කැමති කරවා ගැනීමේ යෝධ කාර්ය භාරය ඉටු කළේ එන්.කිව්. ඩයස්ය.
1956 පාර්ලිමේන්තු මැතිවරණය
1956 එජාප රජය වෙනස් ස්ථාවරයක් උදෙසා පෙනී සිටින්නට තීරණය කළේය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව එජාපයේ කැලණිය ප්‍රඥප්තියේ දී සම්මත කෙරිණි. නියමිත කාලයට වසරකට පෙර මහමැතිවරණයට යන්නට අගමැති ජෝන් කොතලාවල තීරණය කළේය. පාර්ලිමේන්තුව පෙබරවාරියේ විසුරුවා හරිනු ලැබ 1956 අප්‍රේල් මාසයේ මැතිවරණය පවත්වන්නට තීරණය විය. සිංහල බෞද්ධ ක්‍රමෝපායවාදී නීල් ක්වින්ටස් ඩයස් 1956 පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ක්‍රියාකාරී වූයේය.
ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි
2022/පෙබරවාරි/19 Daily Mirror පත්‍රයේ පළවු Sinhala Buddhist Strategist – N.Q.Dias was feared as the TSAR ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිංහල බෞද්ධ උපායවේදියාගේ තිරය පිටුපස කතාව