IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සිංහල මුස්ලිම් කියලා අපේ වෙනසක් නෑ

ගමක පාලනය බාරව කටයුතු කළ තැනැත්තා අතීතයේ හැඳින්වූයේ ගමරාල නමිනි. පසුව මේ නාමය ගම්මුදලි, ගම්මුලාදෑනි, ගම්පති ආරච්චි, ග්‍රාම නිලධාරි ආදි ලෙස පරිවර්තනය වෙමින් පැමිණ අද වන විට ග්‍රාම නිලධාරි බවට පත්ව තිබේ.

 2  
ඈත අතීතයේ මේ නිලයට රජයෙන් වැටුප් නොලැබුණ ද අද එය රජයේ වැටුප් ලබන නිලයක් බවට ද පත්ව තිබේ. එදා මේ නිලයට බොහෝ බලතල තිබු අතර ගමක සිදුවන ඉඩම් ආරවුල්, නඩුහබ, සොරකම්, පවුල් ආරවුල් මත්ද්‍රව්‍ය ප්‍රශ්න ආදිය විසඳා තීන්දු තීරණ දීමේ බලතලද මේ තනතුර සතුව තිබී ඇත.
මීට දශක පහකට පමණ පෙර මේ තනතුරට පත්වූ ග්‍රාම සේවක මහතෙකු අද මා “ගැමි රසවිත”ට කැඳවාගෙන ආයේ එදා ඒ වෘත්තියේ වගකීම් බලතල, මහජන සේවා හා වෘත්තීය මතක සටහන් අපේ පාඨකයන් සමඟ බෙදාහදා ගැනීමේ අටියෙනි.


ගල්ගමුව, වන්නිකුඩාවැව පදිංචි හේ නමින් එස්.කේ.එම්. මුස්තාපා මහතාය. හැත්තෑ අටවැනි වියේ පසුවන හෙතෙම දූ දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.
ඔබේ පාසල් ජීවිතය ගැන මුලින්ම කථා කරමුද? යි මම මුස්තාපා මහතාට යෝජනා කළෙමි.


“ඒ කාලේ අපේ ගමේ මුස්ලිම් පාසලක් තිබුණේ නෑ. ඒ නිසා මම පාසල් ගියේ වන්නිකුඩාවැව සිංහල ඉස්කෝලයට. අටේ පංතියට යනකම් ඒ පාසලට ගියා. අටේ පංතියෙන් විභාගයක් තියනවා. ඒක පාස් වුණොත් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. වන්නිකුඩාවැව සිංහල ඉස්කෝලෙන් අපි දෙන්නෙක් ඒ විභාගයෙන් පාස් වුණා. වන්නිකුඩාවැව ඉස්කෝලේ සාමාන්‍යය පෙළ පංති තිබ්බේ නෑ. ඒ නිසා මයිලෑව ඉස්කෝලෙට සාමාන්‍ය පෙළ කරන්න ගියා. දෙපාරකට වැඩ (විෂයන්) හයක් පාස් වුණා.”


1ඔය කාලයේ ග්‍රාම සේවක තනතුරට බඳවා ගැනීමට විභාගයක් තියෙනවා කියලා ගැසට් කරලා තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයක් පාස් අයට ඉල්ලුම් පත්‍ර දාන්න පුළුවන් කියලා තිබුණා. මං ඉල්ලුම් පත්‍රයක් දැම්මා. විභාගයට ලීවා. ඒකෙන් පාස් වුණා. සම්මුඛ පරීක්‍ෂණයකුත් තිබ්බා. ග්‍රාම සේවක තනතුරට මාවත් තේරුණා. අපට මාස තුනක පුහුණුවක් ලබා දුන්නා. පොලීසියේ, දිසාපති කාර්යාලයේ, මිල පාලනයේ තමයි පුහුණුව ලබා දුන්නේ.


“ඔබේ මුල්ම රාජකාරි වසම මොකක්ද? යි මම ඇසුවෙමි.”


“1963 අවුරුද්දේ මැයි මාසේ තමයි මට ග්‍රාම සේවා වසමක් බාර වුණේ. ඒ ආණමඩුව පැත්තේ තියෙන ආබොක්කාගම කියන වසම. පඩිය රුපියල් 275යි. එහේ ගෙදරක නතර වුණා. බෝඩිමට මාසයකට රුපියල් තිහයි අය කළේ. කෑමත් දෙනවා. බෝඩිම් ගාස්තුයි, වෙනත් වියදමුයි දරලා මාසයකට රුපියල් 50-100ක් ඉතිරි කරන්නත් පුළුවන් වුණා. මං සඳුදා උදේට ගිහින් සිකුරාදා හවසට ගෙදර එනවා. පුට් සයිකලෙන් තමයි ආණමඩුවට ගියේ ආවේ.”


එහේ අවුරුදු එක හමාරක් විතර මං වැඩ කළා. රාජකාරි පළාත දුර වැඩි නිසාත්, අම්මයි, මායි විතරක් ගෙදර සිටි නිසාත් ගම් පළාතට මාරුවක් ගන්න ඕන කියලා මට හිතුණා. ඒ කාලේ අපේ පළාතේ මන්ත්‍රීවරයා වශයෙන් හිටියේ යු.බී. වන්නිනායක මුදල් ඇමතිතුමා. මං එතුමා හමුවෙන්න එතුමාගේ බලල්ල ගෙදරට ගියා. මං එතුමාට කීවා අම්මයි මායි විතරයි ගෙදර ඉන්නේ. අම්මටත් අසනීපයි. මට ගම කිට්ටුවට මාරුවක් ලබා දෙන්න කියලා. එතුමත් බලමුකෝ කියලා කීවා. දැන් කෙහේද යන්නේ කියලත් මගෙන් ඇහුවා. මං කීවා ගල්ගමුවට යන්නේ කියලා. එහෙනම් මගෙත් එක්කම යන්න පුළුවන්. මාත් ඒ පැත්තට යන්නේ කියලා මාවත් කාර් එකේ දාගෙන ආවා. එදා හිටියේ රාජකීය දේශපාලනඥයෝ. අද නම් එහෙම කරනවාද?

07-Rasa-P2--BA
වැඩි දවසක් ගියේ නෑ මට ගිරිබාව, මඩිගේ කියන වසමට මාරු වීමක් ලැබුණා. මං ඒ පළාතේ අවුරුදු පහක් වැඩ කළා. ඔය අතර ආණ්ඩු පෙරළියක් වුණා. පැවති ආණ්ඩු කාලේ මඩිගේ පළාතේ ඉස්කෝලයක අලුතින් හදාපු ගොඩනැගිල්ලක් විවෘත කරන්න යූ.බී. වන්නිනායක මුදල් ඇමතිතුමා ආවා. මගේ වසමේ පාසලක උත්සවයක් නිසා මාත් ඒකට ගියා. ආණ්ඩු පෙරළියත් සමඟ මං දේශපාලන රැස්වීමකට ගියා කියලා මෙහෙ නාන්නේරිය ගම් සභාවේ හිටපු සභාපති අලුත් මන්ත්‍රීවරයාට කියලා මාව මහව, උල්වලපොළ වසමට මාරු කෙරෙව්වා. ඒ වසමේ දවස් පහළොවයි වැඩ කළේ. ආයි බලල්ලට මාරු කළා.”
බලල්ල වසමේ මාස හයක් වැඩ කරන කොට නැවත පාළුකඩවලට මාරු කළා. දේශපාලන පළිගැනීම් මෙහේ ඉන්න ගෝලයෝ මන්ත්‍රීතුමාගේ බිරිඳට කේලාම් කියලා අපව එහාට මෙහාට මාරු කරන්නේ. ඒ කාලේ මන්ත්‍රීගේ නෝනා තමයි ඉස්මතුවෙලා හිටියේ.


කොහොම හරි මං පාළුකඩවලට ලැබුණ ස්ථාන මාරුවට ගියේ නෑ. වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළා. එහෙම කරලා ගිරිබාව ගම්සභාවේ වැඩ කරපු මං දන්න හඳුනන අයෙක් එකතු කර ගෙන රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හම්බ වෙන්න ගියා. මගේ හිතවතා ශ්‍රී ලංකාකාරයෙක්. ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා තමයි අපේ ඇමතිවරයා වශයෙන් හිටියේ. නමුත් එදා එතුමා හම්බවෙන්න බැරි වුණා. ඒත් උප ඇමතිතුමා හම්බ වෙලා මගේ මාරුව නොච්චිය පළාතට හදා ගන්න පුළුවන් වුණා.”


නොච්චිය කියන්නේ අපේ ගමට අල්ලපු ගම. ඒ නිසා මට පහසුයි. මං අවුරුදු විසි දෙකක් නොච්චිය පළාතේ වැඩ කළා. නොච්චිය වසම ගම් හතක් එදා අයත් වුණා. පවුල් හත්සිය විසිගාණක් හිටියා. මං රාජකාරි කරද්දි පක්ෂ පාට බැලුවේ නෑ. පැත්තක් ගත්තේ නෑ. හැමෝටම සාධාරණව රාජකාරි ඉටුකර දුන්නා. අහිංසක මිනිස්සුන්ට පිං පඩි හදලා දුන්නා. අදත් ඒ මිනිස්සු මුණ ගැසුණාම මට සළකනවා.


අද සිටින ග්‍රාම නිලධාරින්ට වඩා එදා මේ නිලයට බොහෝ බලතල තිබුණ බව පැවසෙනවා. ඒ බලතල පාවිච්චි කළ බවට අමතක නොවන අවස්ථා කීපයක් ගැන පොඩි විස්තරයක් කරමුද? යි මම ඔහුට යෝජනා කළෙමි.


ඒ කාලේ හරකෙක් හේනකට, කුඹුරකට පැනලා වගා පාළුවක් කළොත් ඒ පාළුව තක්සේරු කරලා ගව හිමියාගෙන් අලාභය අයකරගෙන වගා හිමියාට ලබා දෙන්නේ අපි.


ඔන්න දවසක් වගා හිමියෙක් තමන්ගේ වගාව පාළු කළා කියා හරක් තුන්දෙනෙක් අල්ලලා ගස් බැඳලා මට ඇවිත් පැමිණිලි කළා. මං ගිහින් පාළුව බැලුවා. අලාභය තක්සේරු කරලා හරක් අයිතිකාරයාට දැනුම් දුන්නා. මිනිහා ගමේ “හයි” කාරයෙක්. අලාභය ගෙවන්ඩවත්, හරක් අරන් යන්ඩවත් ආවේ නෑ. දවස් දෙකක් බැලුවා. ඒත් නෑ. මං අලුත් ලණුගෙනත් හරක් ගස් දාලා මුර කාරයෝ දෙන්නෙකුත් දාලා හිටියේ.


මං මේ ගැන උප දිසාපතිතුමාට කීවා. එතුමා කීවා හරක් වෙන්දේසි කරලා ඒ ලැබෙන මුදලින් වගා පාළුව ගෙවන්න කීවා. ලණුවලටයි, මුරකාරයන්ටයි කරපු වියදමුත් ඒ මුදලින් ගන්න කීවා. ඉතිරි මුදල් රජයේ ගිණුමට දාන්න කීවා. හරක් අයිතිකාරයාට ඕන නම් ඒ රජයේ ගිණුමට දාපු මුදල් ආපසු ගන්න පුළුවන් කියලා දැනුම් දෙන්න කියා මට කීවා. මං  ඒ අනුව කටයුතු කළා”


ගමේ දෙපිරිසක් අතර මොනයම් දේකට හෝ ආරවුලක් ඇති වුණොත් අද වාගේ කෙළින්ම පොලීසයට යන්ඩ බෑ.


 ග්‍රාමසේවක ළඟ තමයි පැමිණිල්ල දාන්න ඕනැ. ඊට පස්සේ ග්‍රාම සේවක ඒ දෙපාර්ශ්වය ගෙන්නා ගෙන පැමිණිල්ල විභාග කරනවා. අපි ළඟ විභාග කරන්න බෑ කිවොත් අපි පොලීසියට ලියුමක් දෙනවා. ඒ ලියුම අරන් පොලීසියට යන්ඩ ඕනැ. එහෙම ලියුමක් අරන් නොගියොත් ආපසු එවනවා. ලියුම අරන් ගියත් පැමිණිල්ල විභාග කරන දවසේ ග්‍රාම සේවකත් පොලිසියට යන්ඩ ඕනැ.”


“දැන්නේ ඔය ඉඩම් නිලධාරිලා, කෑලැ නිලධාරී ලා (වන සංරක්ෂණ) ඉන්නේ. ඉස්සර ඒ සම්බන්ධව කටයුතු කළෙත් ග්‍රාමසේවක. කවුරු හරි පුද්ගලයෙක් රජයේ ඉඩමක් අල්ලා ගෙන වගා කරගෙන හිටියොත් ඒ ගැන සොයා බලා වාර්තා දෙන්නේ ග්‍රාම සේවක. ඒ වාර්තාව අනුව බොහෝ විට ඒ ඉඩම අර අල්ලාගෙන හිටපු පුද්ගලයාටම අනූනව අවුරුදු බදු ක්‍රමයට ඔප්පුවකින් ලබා දෙනවා.”


“ඉස්සර මනුස්සයෙකුට ගෙයක් දොරක් හදා ගන්න දැව දඩු ගන්න රජයේ කැලෑ ඉඩමකින් ගහක් ගන්න ඕනැ වුණොත් ඒකට ග්‍රාම සේවකගෙන් ඉල්ලීමක් කරන්න ඕනැ. ඉල්ලීමක් කළාට පස්සේ අපි ගිහින් ඒ ගහේ උස ප්‍රමාණය, වට ප්‍රමාණය මැනලා වාර්තා දෙනවා. ඊට පස්සේ රාජ්‍ය භාගය අය කරනගෙන ඒ ගහ කපා ගෙන ඉරා ගන්න බලපත්‍රය දෙනවා. අද නම් රජයේ කැලෑවකට කිට්ටු වෙන්ඩවත් දෙන්නේ නැනේ. එදා ගෙදර වත්තේ ගස් කපන්න, ඉරන්න බලපත්‍ර වුවමනා වුණේ නෑ”


ඒ කාලේ ගම්වල නීති විරෝධි, සමාජ විරෝධි කටයුතු එහෙම සිද්ධ වුණේ නැද්දැයි අප මතු කළ ප්‍රශ්නයට මුස්තාපා මහතා දුන්නේ මෙවැනි පිළිතුරකි.
අද වගේ එදා ගම සංකීර්ණ වෙලා තිබුණේ නෑ. කසිප්පු පෙරන, විකුණන එක තිබුණා. ඒ අයට කරුණු තේරුම් බේරුම් කරලා දුන්නා. සමහරු ඒ ක්‍රියාවලින් මිදුනා. දිගමට කරපු අය ගැන පොලීසියට තොරතුරු දුන්නා. එහෙම කළේ කියලා හදාගන්ඩ බැරිම මිනිස්සු ගැන. කසිප්පු අල්ලන්න එදා අපට බලතල තිබුණා. ඒවා පාවිච්චි කරලා ඕනැ නම් අපට හම්බ කරන්නත් තිබුණා. එත් මම නම් ඒ වාගේ නරක දේකට සම්බන්ධ වුණේ නෑ”


හේන් වගා කරන කාලයට සමහර අය හේනේ ගංජා පැළ වගා කරනවා. ලොකුවට නෙමෙයි. පැළ අටක් - දහයක් වගා කරගන්නවා. ගංජා බොන්ඩ පුරුදු අය තමයි එහෙම වගා කර ගන්නේ. අපි මේවා දන්නවා ඒත් දඩුවම් කරන්න ගියේ නෑ. ඒ කටයුතුවලින් මහා විනාශයක් සිද්ද නොවුණ නිසා එහෙම කළා.”
“ඒ කාලේ ඕනෑ තරම් හරක් හිටියා. කැලේ තමයි මේ හරක් හිටියේ. අයිතිකාරයෝ නෑ. හණ ගහලා නෑ. සමහර අය ගිහින් වෙඩි තියාගෙන මස් කරනවා. නඩුත් නෑ. පොලීසි ගියෙත් නෑ. එදා ගමකට හොර තුවක්කු හත - අටක් තිබුණා. බලපත්‍ර දුන්නේ නැති නිසා මිනිස්සු හොර තුවක්කු තියා ගත්තා. ඒ කාලේ මූකලන් කොටලනේ හේන් වගා කරන්නේ. රෑට හේනේ පැලට යන කොට මේ හොර තුවක්කු අරන් යන බව අපි දන්නවා. ඒත් ඇල්ලුවේ නෑ. මිනිහා වගාවයි, ජීවිතයයි ආරක්ෂා කර ගන්ඩනේ තුවක්කු අරන් යන්නේ. ඔය වාගේ දේවල් තමයි නීති විරෝධි වැඩ වශයෙන් එදා ගමේ සිදු වුණේ.


එතකොට මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ වාගේ අපරාධ සිද්ධ වුණේ නැද්ද? මම ඇසුවෙමි.


“මගේ සේවා ජීවිතයටම මිනී මැරුම් සිද්ධි දෙකක රාජකාරී කළා. ඒ දෙකම සිදු වුණේ පාළුව ගොවි ජනපදයේ. එකක් කඬේකට ගිය කෙනෙක් කැත්තකින් කපලා මරලා හිටියා. ඒ මිනිය නම් දවස් දෙකක් රකින්න වුණා. ඒ දවස්වල උසාවිය තිබුණේ මහව. පොලීසිය අඹන්පොල. නඩුකාර හාමුදුරුවෝ එනකම් රෑ දෙකක් පොලීසියත් එක්ක එකතු වෙලා මිනිය රැක්කා. අනිත් මිනීමැරුම් සිද්ධිය ත්‍රිත්ව ඝාතනයක්. තාත්තයි, දුවයි, ලේලියි තුන් දෙනාම මරලා තිබ්බා. කාන්තාවන් ගැණු දරුවන් දූෂණය කිරීමක් ගැන පැමිණිලි නම් ආවේ නෑ”


“එදා ගම සාමකාමියි. සමගියෙන් කටයුතු කළා. අපේ ගම වටාම තියෙන්නේ සිංහල අය පදිංචි ගම්මාන. අපි දෙගොල්ල අතර එදාත් අදත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. බොහොම සුහදශීලිව හිටියා. සිංහල, මුස්ලිම් කියලා වෙනසක් නෑ. අපි එකට හේන් කෙටුවා. පැල් රැක්කා, එකට කෑවා බිවා. පොඩි එකෙකුගෙන් හරි මොනවා හරි අව කැපෙන වචනයක් පිට වුණොත් අපි දෙගොල්ල එකට එකතු වෙලා සාකච්ඡා කරලා සමථයකට එනවා. 


ඒ කාලේ ග්‍රාම සේවක මහත්වරුන්ගෙන් ජනතාවට අකටයුතුකම් එහෙමත් වෙන්න ඇති නේද? මම ඔහුගෙන් විමසුවෙමි. 


“සමහරුන්ගෙන් සිදු වුණා. විරුද්ධ පක්ෂයේ අයට අනාථ වැඩක් වත් දුන්නේ නැති අය හිටියා. යම් යම් අවස්ථාවලදී පක්ෂග්‍රාහිව වැඩ කරපු නිලධාරීන් හිටියා. හැත්තෑව - හැත්තෑ හත කාලයේ මැතිනිගේ ආණ්ඩුවනේ තිබුණේ. මහා නියං සාගතයක් රටේම ඒ කාලේ ඇති වුණානේ. ඒ සාගතේ දී මිනිස්සුන්ට නියං සහනාධාර දුන්නා. ග්‍රාම සේවකලා හරහා තමයි මේ කටයුතු සිදු වුණේ. පාන් පිටි, කරවල, සැමන්, බටර් තෙල් වාගේ ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නා. තුන් දෙනෙක් ඉන්න පවුලකට පාන් පිටි රාත්තල් හතළිහක් මාසයකට දුන්නා. පවුලේ දහ-දොළොස් දෙනා ඉන්න කොට පාන් පිටි ගෝනියක් හමාරක් මාසයකට ලැබෙනවා. ගිරිබාව පැත්තේ ග්‍රාම සේවක මහත්තයෙක් ඔය සහනාධාර වංචා කරලා වැඩත් තහනම් කළා. එයාට රිමාන්ඩි එකේ ඉන්නත් සිද්ධ වුණා.”
“අපි නම් ගමේ හැමෝටම සාධාරණව ඒ සහනාධාර බෙදා දුන්නා. සමහර මිනිස්සු මටත් පිටි කිලෝ දහයක්-පහළොවක් ගෙදරට ගෙනත් දුන්නා. අපි අකටයුත්තක් කළා නම් අපට එහෙම සලකන්නේ නෑ.”


“සමහර ග්‍රාමසේවක මහත්තුරු වසමේ රාජකාරියට ගියාම ආපහු තමන්ගේ ගෙදර යන්නේ පහුවදා. හොඳට බොනවා. රෑ තිස්සේ නටනවා. ගමේ නොහොබිනා වැඩ කරන අයත් ඒ වගේ අයට කැමතිනේ. සමහරු ඒකාධිපති පාලනයක් අරන් ගියා. ගහන්න හිතුණොත් හොඳටම ගහනවා. ගම්මුලාදෑනිලාගේ කාලේ නම් දඩු කඳෙත් ගහනවානේ.”     


ඔබේ රාජකාරී ජීවිතයේදී මිනිසුන්ට පහරදීම් එහෙම කරලා තියෙනවාද? මම ඇසුවෙමි.


“මං අවුරුදු තිස් පහක් රාජකාරි කළා. ඒ මුළු කාලයටම එකම එක පුද්ගලයෙකුට ගහල තියෙනවා. ඒකත් වුණේ මෙහෙමයි. ඔය කොහොලන්කුලම ගමේ මනුස්සයෙක් හැමදාම හවසට බීලා ඇවිත් ගෑනිට ගහනවා. ඒ ගෑනි දාහතර වතාවක් මට ඒ ගැන පැමිණිලි කළා. කොච්චර අවවාද කළත් මිනිහා හැදෙන්නේ නෑ. හැමදාම ගෑනියි මිනිහයි අතර ආරවුල්.”


ඕන් දවසක් හැන්දෑවේ හය හමාරට විතර ගෑනි අඬාගෙන මාව හොයානෛ ආවා. එදත් ගෑනිට ගහලා. මං තවත් කෙනෙක් එකතු කරගෙන රෑ හත හමාරට අටට විතර මිනිහා හොයා ගෙන ඒ ගෙදරට ගියා. මිනිහා ලන්තෑරුමක් පත්තු කරගෙන ඉස්තෝප්පුවේ හිටියා. අපි එනවා දැකලා “කවුද යකෝ මේ වෙලාවේ අපේ ගෙදරට එන්නේ” “අපේ ගෙදරට එන්ඩ කාටවත් බෑ යකෝ.....” කියාගෙන මිනිහා ලන්තෑරුමත් අරන් ඉස්සරහට ආවා. හොඳටම බීලා.


ආවේ මං. මං මේ නිලධාරියෙක් වශයෙන් කියන්නේ. ඇයි උඹ හැමදාම හවසට බීගෙන ඇවිත් උඹේ ගෑනිට තඩි බාන්නේ කියලා මං කියන කොට මිනිහා තවත් කියවාගෙන ආවා. මං එක වැරට මිනිහාට ගැහුවා. ලන්තෑරුම විසි වෙලා ගියා. චිමිනිය කැඩුණා. මං මිනිහට හොඳටම ගැහුවා. දැන් මිනිහා බිම වැටිලා. ඊට පස්සේ ගෑනියි, මිනිහයි දෙන්නම මං ළඟ වැඳ වැටිලා කියනවා පොලීසි නම් අරන් යන්න එපා බීලා ඉන්න නිසා නඩු දායි කියලා. අපි දෙන්නා ආයි රණ්ඩු කරගන්නේ නැ. සාමදානෙන් ඉන්නම් කීවා. ඇත්තටම පහුවදා ඉඳලා දෙන්නා ගැටුමක් නැතිව හිටියා. මං හිතන්නේ අදටත් එහෙමයි. මිනිහගෙන් ගෑනිට හිරහැර නෑ. ඔය තමයි මං පුද්ගලයකුට පහර දුන් එකම අවස්ථාව.”


අපේ පරණ ග්‍රාමසේවක මහත්තයාගෙන් සමු ගැනීමට මට කාලය එළැඹිණ. මම එස්.කේ.එම්. මුස්තාපා මහතාට සමුදුනිමි.

m



අදහස් (0)

සිංහල මුස්ලිම් කියලා අපේ වෙනසක් නෑ

චන්දන Sunday, 15 January 2017 04:49 PM

හිරාන් කියන කතාව හරි

:       0       0

සංජීව Saturday, 14 January 2017 05:41 AM

සිංහල මිනිස්සු වෙනස් වුනේ අනිත් අය තමන්ට ඕනේ වෙනම පාලන ක්‍රම වෙනම පාසල් වෙනම කෑම වෙනම නීති වගේ දේවල් ඉල්ලන නිසා. ඉස්සර හිටපු මුස්ලිම් අය සහයෝගයෙන් වැඩකළා . එ්ත් දැන් එහෙම නෑ .(අ)

:       0       0

හිරාන් Wednesday, 11 January 2017 11:23 AM

ඉස්සර මුස්ලිම් මිනිස්සු සහයෝගෙන් ජීවත් වුනා සිංහල මිනිස්සු එක්ක. කළු ඇදගෙන ජීවත්වෙන්න උත්සහ කලේ නැහැ, දැන් කට්ටිය යන්නේ වෙනම ගමනක් කවුරු මොනවා කීවත්. අපි දකිනවා ප්‍රයෝගිකව මේ අයගේ ම කියල අනන්‍යතාවයක් ඉක්මනින් ගොඩනගාගෙන තියෙනවා. වෙනම පාසල් වැන්, වෙනම කෑම, වෙනම ඇදුම්. (ර)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 03:45 AM

මේක තමා අපේ රටේ තිබිය යුතු සහජීවනය. අපේ දේශ පාලකයෝ කියන තරම් ප්‍රශ්න රටේ නැහැ. ඔවුන් තමයි ඒවා හදන්නේ ඔවුන්ගේ පැවැත්මට. ඔබට අපේ ස්තුතිය සහ ආචාරය (අ)

:       0       0

ටෙනිසන් Thursday, 12 January 2017 08:12 AM

හිරාන් කියන කතාවට මමත් එකඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 88 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 404 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1030 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1521 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 457 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site