IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු

(ගාමිණී ෆොන්සේකාගේ මෙම 21 වැනිදාට යෙදී තිබෙන 89 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙනි)

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “ගාමිණී” සිනමා ශාලාව හරහාය. “රන්මුතු දූව” මම පළමු වරට නැරඹූ සිංහල චිත්‍රපටයයි.

පවුලේ අය එය නැරඹීමට ගියේ හේතු දෙකක් නිසාය. එක් හේතුවක් වූයේ එය පළමු සිංහල වර්ණ චිත්‍රපටය වීමයි. අනෙක් හේතුව වූයේ මයික් විල්සන් විසින් නිර්මාණය කරන ලද සුප්‍රසිද්ධ දිය යට දර්ශන නැරඹීමට තිබූ ආශාවයි. ගාමිණී එහි රඟපෑවේ ජීවරාණි, ෂේන් ගුණරත්න සහ ජෝ අබේවික්‍රම සමගිනි. ගාමිණීගේ රංගනය, නැටුම් සහ සටන් මා සිත් ගත් අතර, “පිපී පිපී රේණු නටන” ගීත අනුපිළිවෙළ තවමත් මගේ මතකයේ නැවුම්ව පවතී.

ගාමිණීව පළමු වරට තිරයේ දුටු පසු මම සැබවින්ම ඔහුට ආකර්ෂනය වුණෙමි. එම ආකර්ෂනය කෙදිනකවත් අඩු නොවුණි. මගේ තරුණ කාලයේ මට මගහැරුණු ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයක් නැති තරම්ය. ගාමිණී ෆොන්සේකා මගේ ළමා කාලයේ චිත්‍රපට මතකයේ ස්ථිර කොටසක් බවට පත් වූ අතර, ඔහු සදහටම එහි රැඳී සිටියි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 89 වැනි ජන්ම සංවත්සරය මාර්තු 21 වැනිදාට යෙදී තිබෙන බැවින් මෙම ලිපිය ලිවීමට මම අදහස් කළෙමි.

ගාමිණී යනු නළුවකු ලෙස මා ආදරය කළ, අධ්‍යක්ෂවරයකු ලෙස අගය කළ, දේශපාලනඥයකු ලෙස පිළිගැනීමට ලක් කළ සහ සියල්ලටම වඩා යහපත් මිනිසකු ලෙස ගරු කළ චරිතයකි. ගාමිණී ගැන ලිවීම මට සැමවිටම ප්‍රසන්න හා ප්‍රියජනක ව්‍යායාමයක් වූ අතර, මම මීට පෙර ද බොහෝ වාරයක් එසේ කර ඇත.

 

එකම සුපිරි තරුව

සිංහල චිත්‍රපට රසිකයකු ලෙස මගේ මුල් කාලය බෙහෙවින් බලපෑමට ලක් කර හැඩගස්වන ලද්දේ ගාමිණී විසිනි. මා හා සමාන අදහස් ඇති මිලියන සංඛ්‍යාත ජනතාවට, සිංහල සිනමාව දිගු කලක් තිස්සේ පුද්ගලාරෝපණය කරනු ලැබුවේ ගාමිණී ෆොන්සේකා විසිනි. සිංහල චිත්‍රපටවල ප්‍රමිතිය ඉහළ මට්ටමක තිබූ අපේ කාලයේ දක්ෂ නිර්මාණකරුවන් කොතෙකුත් සිටියදීත්, ගාමිණී ගැන නොසිතා සිංහල සිනමාව පරිකල්පනය කිරීමට හෝ දෘශ්‍යමාන කිරීමට කෙනකුට නොහැකිය. සිංහල සිනමාව යනු නිසැකවම ගාමිණී ෆොන්සේකා පමණක් නොවේ. එහෙත් ඔහු නොමැතිව සිංහල සිනමාවක් ද නොතිබුණි. ඔහු අවිවාදාත්මකව සිංහල සිනමාවේ පළමු සහ එකම සුපිරි තරුව විය.

ළමා කාලයේ ගාමිණී මගේ වීරයා වුණේ ඔහු රිදී තිරයේ ක්‍රියාදාම වීරයකු වූ නිසාය. මා මුලදී ආකර්ෂනය වුණේ සටන් ජවනිකාවලටය. දකුණු ඉන්දියානු ජවනිකාවල කෘත්‍රිම බව වෙනුවට, ගාමිණී ඒ ජවනිකාවලට නැවුම් සහ ස්වාභාවික බවක් රැගෙන ආවේය. ඔහුගේ රංගනයේ සියුම් කරුණු අගය කිරීමට ඉගෙන ගත්තේ ඊට පසුවය.

ගාමිණීගේ සටන් ජවනිකාවල ස්වාභාවිකත්වයට ප්‍රධාන හේතුවක් වූයේ ගාමිණී නම් මිනිසාගේම ස්වභාවයයි. ඔහු සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සටන්කරුවෙක් විය. ඔහු බොහෝ විට රණ්ඩු සරුවල්වලට පැටළුණු නමුත්, ඒ සෑමවිටම හොඳ අරමුණක් සඳහාය.

ගාමිණීගේ බොහෝ චිත්‍රපට අතර 1965 දී තිරගත වූ ටයිටස් තොටවත්තගේ “චණ්ඩියා” ද විය. එය සිංහල සිනමාවේ සහ ගාමිණීගේ වෘත්තීය ජීවිතයේ සංධිස්ථානයක් විය. මෙය සමහර විට සිංහල සිනමාවේ පළමු ප්‍රති-වීර චරිතය විය හැකිය. ගාමිණී ජීවත් වූයේ දැඩි මිනිසකුගේ චරිතය හුස්ම ගෙනය. ටයිටස්ගේ ඊළඟ චිත්‍රපටය “චුට්ටේ” විය.

ගාමිණී “චණ්ඩියා” ලෙස රඟපෑම, කලාව ජීවිතය අනුකරණය කිරීමේ අවස්ථාවක් ද විය. ඊට හේතුව ගාමිණී සැබෑ ජීවිතයේ සෑම අතින්ම “චණ්ඩියකු” වූ නිසාය. අතීතයේදී පැරණි ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ පාසල් කාලයේ ඔහුගේ සටන් කුසලතාව ගැන බොහෝ දේ කතා කරති. කෙසේ වෙතත්, ඔහුගේ සටන් කුසලතාවයේ මිනුම් ලකුණ වූයේ දෙහිවල “චණ්ඩියකු” වූ කාර්තේලිස් සමග සිදුවූ “ඓතිහාසික” සටනයි.

 

ගාමිණී - කර්තේලිස් සටන

දෙහිවලදී සිදුවූ කර්තේලිස් සටනේ බොහෝ අනුවාද මා අසා තිබුණත්, වඩාත්ම සත්‍ය සහ නිවැරැදි විස්තරය මට පැවසුවේ මගේ පැරැණි පාසල් මිතුරකු සහ හිටපු මාධ්‍ය සගයකු වන ප්‍රසාද් ගුණවර්ධන යා ප්‍රසාද්ගේ පියාගේ ආච්චි ගාමිණීගේ පියා වන විලී ෆොන්සේකාගේ වැඩිමහල් සහෝදරියයි.

ප්‍රසාද් වසර ගණනාවක් තිස්සේ ඔහුගේ ගාමිණී මාමා පිළිබඳ කතා සහ සාරාංශ කිහිපයක් මා සමග පවසා තිබුණි. දැනට ජීවතුන් අතර නොමැති ප්‍රසාද් ගුණවර්ධන, එවකට සිදු වූ දේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මට ලබා දුන්නේය.

කර්තේලිස් සමග ඇතිවූ ගැටුම ආරම්භ වූයේ ගාමිණීගේ පියා වන විලී ලෙස හඳුන්වන විලියම් ෆොන්සේකා සමගය. ඒ දිනවල කර්තේලිස් කුලී රථ රියැදුරකු වශයෙන් කටයුතු කළ අතර, ගාමිණීගේ මිතුරකු පාර හරහා මාරුවන විට කර්තේලිස් විසින් පැදවූ කුලී රියේ හැපී බිම ඇද වැටුණි. වාසනාවකට මෙන් ඔහුට කිසිදු තුවාලයක් සිදු නොවීය. වේගයෙන් සහ අපරීක්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් කුප්‍රකට කර්තේලිස්, වින්දිතයාට කුණුහරුපෙන් බැණ වැදී ඇත.

එම පුද්ගලයා මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශයේ පිළිගැනීමක් තිබූ ගාමිණීගේ පියා වන විලී ෆොන්සේකාට පැමිණිලි කර තිබුණි. විලී ෆොන්සේකා දෙහිවල චණ්ඩියා වූ කර්තේලිස්ට චෝදනා කර ඔහුගේ නින්දිත හැසිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදී තිබුණි.

ඊට පසු දිනම, මැරයන් 10 දෙනකුගෙන් යුත් කල්ලියක් සමග කර්තෙලිස් කුලී රථ දෙකකින් විලී ෆොන්සේකාගේ නිවෙසට පැමිණ තිබුණි. විලී ෆොන්සේකා ගේට්ටුව විවෘත කර තනිවම කල්ලියට මුහුණ දුන්නේය. මැරයන් දෙදෙනකු සතුව කඩු තිබුණි. ඒ වන විට නිවසේ සිටි විලීගේ සහෝදරයන් වන නෙල්සන් සහ ගාර්මොයිල් සහ ඥාති සහෝදරයා වන ෆ්‍රෙඩ් (ප්‍රසාද්ගේ පියා) ද මෙම සටනට එක් වූහ.

ගාමිණී ඒ වන විටත් සිටියේ කුස්සියේ ආහාර ගනිමිනි. කලබලය ඇසී ඔහු දුවගෙන ආවේය. සරමක් හැඳ සිටි ගාමිණී හදිසිය නිසා ලිස්සා වැටුණි. ඔහුව අල්ලාගත් මැරයෝ පස්දෙනෙක් කඩුවලින් ගාමිණීට පහර දීමට උත්සාහ කළහ. වාසනාවකට මෙන් ගාමිණී බේරා ගැනීමට පැමිණි විලී සහ අනෙක් අය ඉදිරියට පැන කඩු උදුරාගෙන ඇත. කර්තේලිස් සහ ඔහුගේ මැරයෝ කඩු අතහැර පලා ගියහ. ඒවා වසර ගණනාවක් ෆොන්සේකා නිවසේ කුසලාන ලෙස ප්‍රදර්ශනය කර තිබුණි.

ගාමිණීව පසුව ඩර්ඩන්ස් රෝහලට ගෙන ගොස් ඔහුගේ තුවාල සඳහා ප්‍රතිකාර කර ඇත. පොලිසියට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවීය. කර්තේලිස්ට පාඩමක් උගන්වන බවට ගාමිණී දිවුරා පොරොන්දු වූ අතර, “මුහුණට-මුහුණ” සටනකට ඔහුට අභියෝග කළේය. කර්තේලිස් කිසි විටෙකත් එම අභියෝගය භාර ගත්තේ නැත.

ඊට වසර ගණනාවකට පසු ගාමිණී ගාලු පාරේ තම මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී වැල්ලවත්ත-දෙහිවල පාලම අසල කර්තේලිස් සිටගෙන සිටිනු දුටුවේය. ගාමිණී තම වාහනයෙන් බැස කර්තේලිස් වෙත ගියේය. ඉන්පසු ආරම්භ වූයේ “වැලි කතර” චිත්‍රපටයේ සහකාර පොලිස් අධිකාරී රන්දෙණිය සහ ගෝරිං මුදලාලි අතර සටන සිහිපත් කරන ඓතිහාසික සටනකි.

මුහුණට-මුහුණ සටනේදී ගාමිණී අනුකම්පා විරහිතව කර්තේලිස් පරාජය කළේය. දෙහිවල චණ්ඩියා කර්තේලිස් ගාලු පාරේ එහාට සහ මෙහාට දුව ගිය අතර, ගාමිණී ඔහුට එළව එළවා පහර දුන්නේය. ඉන්පසු “ඕනෑම දිනක, ඕනෑම තැනක, ඕනෑම වේලාවක” ආපසු සටනකට සූදානම් බව පැවැසූ ගාමිණී, කර්තේලිස් අතහැර පිටත්ව ගියේය.

සටනින් පසු කාර්තේලිස් රෝහල්ගත කළේය. ඔහු කිසි විටෙකත් ගාමිණීගේ අභියෝගය භාර ගත්තේ නැත. දෙහිවල චණ්ඩියාගේ අවසානයේ ආරම්භය එය වූ අතර, මෙම සිද්ධියෙන් පසුව ඔහුගේ බලය නැති වී ගියේය.

 

1936 මාර්තු 21 වැනිදා

සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා 1936 මාර්තු 21 වැනි දින දෙහිවල දී විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළගේ තුන්වැනි දරුවා ලෙස උපත ලැබීය. ප්‍රෙස්බිටේරියන් ආයතනයකින් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය.

ද්විතීයික පාසල් ගමන අවසන් කිරීමෙන් පසු, “දඩබ්බර” ගාමිණීට මුලින්ම අවශ්‍ය වූයේ පොලිස් නිලධාරියකු වීමටය. ඔහු උපපරීක්ෂක තනතුරට අයැදුම් කර තිබූ අතර, සම්මුඛ පරීක්ෂණයක් සඳහා ද කැඳවනු ලැබ තිබුණි. ගාමිණී පොලිසියට බැඳීම සම්බන්ධයෙන් මව ඩේසි තරයේ විරුද්ධ වූ අතර, ගාමිණී ඔහුගේ දෙවැනි ආදරය වූ සිනමාව දෙසට හැරුණේ ඉන් අනතුරුවය.

 

ලෙස්ටර් ජේම්ස් පීරිස්

ගාමිණීට නළුවකු ලෙස චිත්‍රපට ක්ෂේත්‍රයේ පළමු අවස්ථා ලබා දුන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඒ ඔහුගේ “රේඛාව” චිත්‍රපටය හරහාය. ගාමිණී ප්‍රථම වරට තිරය මත තම මුහුණ පෙන්වූයේ චිත්‍රපටයේ දර්ශන තලයකදීය. ඔහු එවකට ලෙස්ටර් වෙනුවෙන් කැමරා සහ නිෂ්පාදන සහායකයකු ලෙස සේවය කරමින් සිටියේය. ගාමිණී ඔහුගේ දෙවැනි චිත්‍රපටය වන “සංදේශය” සඳහා සහකාර අධ්‍යක්ෂවරයකු ලෙසින් බඳවා ගත්තේ ලෙස්ටර්ය. එහි ඔහු ආනන්ද ජයරත්නගේ දෙවැනි උප ප්‍රධාන චරිතය ද රඟපෑවේය. තිරයේ ගාමිණීගේ අමතක නොවන චරිත නිරූපණ තුනක් වන්නේ පිළිවෙළින් “ගම්පෙරළිය”, “නිධානය” සහ “යුගාන්තය”යි. එම චිත්‍රපටවල ගාමිණී ජිනදාස, විලී අබේනායක සහ සවිමන් කබලාන ලෙස රඟපෑවේය. මේ තුනම අධ්‍යක්ෂණය කරන ලද්දේ ලෙස්ටර් විසිනි. ගාමිණී අධ්‍යක්ෂකයකු ලෙසින් ඔහුගේ පළමු උත්සාහය වූයේ “පරසතුමල්”ය. එහිදී ලෙස්ටර්, උපදේශකයකු සහ මාර්ගෝපදේශකයකු ලෙස තිරය පිටුපස භූමිකාවක් නියෝජනය කළේය.

ගාමිණීගේ රංගන ජීවිතයේ පළමු විශාල පිම්ම වූයේ 1959 වසරේදී තිරගත වූ “දෛවයෝගය” චිත්‍රපටයයි. එහිදී ඔහු ද්විත්ව චරිත රඟපෑවේය. සේනාධීර කුරුප්පු සහ රුක්මණී දේවි ප්‍රධාන චරිත නිරූපණය කළහ. ඉන්පසු ලෙස්ටර්ගේ “සංදේශය” චිත්‍රපටයේ නාමිකව ආනන්ද ජයරත්නට දෙවැනියා ලෙස ගාමිණී රඟපෑ නමුත්, විශිෂ්ට රංගනයකින් ඔහුගෙන් අවධානය පැහැර ගැනීමට ගාමිණීට හැකිවිය.

“අදට වැඩිය හෙට හොඳයි”, “රන්මුතු දූව”, “ගැටවරයෝ” සහ “ධීවරයෝ” වැනි චිත්‍රපට රිදී තිරය මත පුපුරා ගොස් බොක්ස් ඔෆිස් ආකර්ෂනයක් ලබා ගැනීමට ගාමිණී සමත් වූයේ මේ කාලයේදීය. කෙසේ වෙතත්, නවදිල්ලියේ රන් මයුර සම්මානය දිනාගත් ලෙස්ටර්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ චරිතාංග නළුවකු ලෙස තම සලකුණ තැබූ ගාමිණී, තමා ගායනය, නර්තනය සහ සටන් ජවනිකාවලට පමණක් කොටුවූ නළුවකු නොවන බව ඔප්පු කළේය. “ගම්පෙරළිය” චිත්‍රපටයේ ගාමිණී නැවත වතාවක් හෙන්රි ජයසේන සහ පුණ්‍යා හීන්දෙණියට පසුව “තුන්වැන්නා” වූ නමුත්, ජිනදාස ලෙස විශිෂ්ට රංගනයක නිරත විය.

 

ජේම්ස් බොන්ඩ් - ජේමිස් බණ්ඩා

හැටේ දශකයේ අගභාගයේ සහ හැත්තෑව දශකයේ මුල් භාගයේදී ආදර ක්‍රියාදාම වීරයකු ලෙස ගාමිණී, ඔහුගේ ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට රැගෙන ආවේය. ඉයන් ෆ්ලෙමින්ගේ “ඩොක්ටර් නෝ” සහ “ෆ්‍රොම් රෂියා විත් ලව්” වැනි චිත්‍රපට හරහා ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් ලෙසින් බටහිර ලෝකය දිනාගන්නා විට, මයික් විල්සන් ශ්‍රී ලාංකික අනුවාදයක් සමග “007” උන්මාදයෙන් ප්‍රයෝජන ගත්තේය. ඔහු එය කළේ මිනීමැරීමට බලපත්‍රයක් ඇති අපේම මිනිසා හරහාය. ඒ ජේමිස් බණ්ඩාය. “සොරුන්ගෙත් සොරු” චිත්‍රපටයේ චරිතයට සාධාරණය ඉටු කළ හැක්කේ ගාමිණීට හැර වෙන කාටද?

තමිල්නාඩුවේ මොඩර්න් ස්ටූඩියෝස් හි රාමසුන්දරම් විසින් නිෂ්පාදනය කරන ලද ජයශංකර් සහ මනෝහර් රඟපෑ ප්‍රසිද්ධ “වල්ලවා” දෙමළ චිත්‍රපට මාලාවේ ශ්‍රී ලාංකික අනුවාද සමග තවත් ජනප්‍රිය චරිත රඟපෑමට ගාමිණීට හැකි විය. සිංහල භාෂාවෙන් නිෂ්පාදනය වූ “සූරයා” චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණීය. “සූරයන්ගෙත් සූරයා”, “එදත් සූරයා අදත් සූරයා”, “සූරයා සූරයාමයි” සහ “හතරදෙනාම සූරයෝ” වැනි චිත්‍රපට ඊට උදාහරණය.

පැරැණි ක්‍රියාදාම චිත්‍රපටවල මතුපිට අර්ථයට යටින්, වෙනම අර්ථයක් තිබූ අතර, ඒ යහපත විසින් නපුර පරාජය ​ෙක​ෙරන බවයි. එබැවින් එම්.ජී.ආර්. සේම ගාමිණී වැනි නළුවන් ප්‍රේක්ෂකයන්ට සතුටු හැඟීමක් ලබා දුන් අතර, සියල්ලන්ටම ඉහළ උසකට යාම සඳහා අවශ්‍ය කරන පෙළඹවීමක් ලබා දුන්නේය. ක්‍රියාදාම චිත්‍රපටවල මෙම සාර්ථකත්වයෙන් අදහස් කළේ ගාමිණී තනිවම ඒකාකෘති චරිත රඟපාන බවක් නොවේ. ඊට බොහෝ දුර ගිය අදහසකි! ඔහු විවිධාකාර චරිත රඟපෑ අතර, ඒ හරහා ඔහුගේ රංගන කුසලතා ඔප්පු කර පෙන්වීය.

 

කැපී පෙනෙන චිත්‍රපට

ඔහුගේ ඓතිහාසික කුසලතා කැපීපෙනෙන ලෙස ප්‍රදර්ශනය වූ අනෙකුත් සුවිශේෂ චිත්‍රපට අතර “ගැටවරයෝ”, “හුලවාලි”, “ඔබ දුටු දා”, “සැනසුම කොතනද’, “වැලි කතර”, “සැණකෙළිය”, “දෙවියනේ ඔබ කොහෙද?” සහ “සරුංගලේ” වැනි චිත්‍රපට සඳහන් කළ හැකිය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ඔහුගේ රංගන සියල්ලම අද්විතීය ඒවා විය.

ගාමිණී තම රංගනයේදී මාලන් බ්‍රැන්ඩෝ, යුල් බ්‍රයිනර් සහ පෝල් නිව්මන්ගේ සෙවණැලි ඒකාබද්ධ කළේය. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රධාන ආභාසය බ්‍රැන්ඩෝය. බ්‍රැන්ඩෝගේ බලපෑමට ලක් වුවද, තමාගේම “සංයෝජන” විලාසය සහ සුවිශේෂී ක්‍රමය පරිණාමය කළ නිසා ගාමිණීට ප්‍රශංසා කළ යුතුය.

 

“සරුංගලේ” චිත්‍රපටයේ නඩරාජා

සුනිල් ආරියරත්නගේ “සරුංගලේ” චිත්‍රපටයේ දෙමළ ජාතිකයකු ලෙස රඟපාමින් ගාමිණී විශ්මයජනක රංගනයක් ඉදිරිපත් කළේය. දෙමළ විරෝධී වාර්ගික ප්‍රචණ්ඩත්වය මෙන්ම දෙමළ ජනතාව අතර කුල ප්‍රතිවිරෝධතා යන දෙකම ඉස්මතු කරන කතාවක ඔහු යාපනයේ දෙමළ ලිපිකරු නඩරාජා ලෙස රඟපෑවේය. එම චිත්‍රපටයේ ඔහුගේ චරිතය ගැන ගාමිණී ඉතා ආඩම්බර විය.

චිත්‍රපටය තිරගත වීමට පෙර පැවති සංවාදයකදී ඔහු මට පෞද්ගලිකව පැවසුවේ “මෙම චිත්‍රපටය නරඹන ඕනෑම සිංහල මිනිසකු නැවත කිසි දිනෙක දෙමළ ජාතිකයකුට අත නොතබනු ඇත” යනුවෙනි. අහෝ! එය සිදු නොවූ අතර වසර ගණනාවකට පසු 1983 කළු ජූලිය පැමිණියේය.

ගාමිණී සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු එක් දෙයක් නම්, ඔහු තුළ ජාතිවාදයේ කිසිදු අංශුමාත්‍රයක්වත් නොතිබූ මිනිසකු බවයි. 1978 වසරේදී “වීරකේසරී” පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක් ද ඇතුළුව, මම ඔහු සමග සංවාද හතරක් හෝ පහක් පමණ පවත්වා ඇත. ප්‍රසාද් ඇතුළු ඔහුව හොඳින් හඳුනන අයගේ එම සංවාද සහ සාක්ෂි මගින් මේ සම්බන්ධයෙන් ඔහුගේ සත්‍යවාදී අදහස් මට ඒත්තු ගියේය.

සිංහල සහ දෙමළ යන දෙඅංශයම ඇතුළුව ශ්‍රී ලාංකික චිත්‍රපට උරුමයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ කර්මාන්තය තුළ ඇති බහු-වාර්ගික විවිධත්වයයි. සිංහල, ශ්‍රී ලාංකික සහ ඉන්දියානු දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන සියලු දෙනාම මේ සඳහා දායක වී ඇත. සිංහල චිත්‍රපට කර්මාන්තයට දෙමළ ජනතාවගේ දායකත්වය අති විශාලය. සුළුතර ප්‍රජාව සිංහල සිනමාවට ලබා දුන් මෙම අතිමහත් දායකත්වය ගාමිණී පිළිගෙන අගය කළේය. අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකම මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔහු කිසි විටෙකත් බිය නොවීය.

 

චිත්‍රපට 108 ක් සහ එක් ටෙලිනාට්‍යයක්

දශක පහකට ආසන්න කාලයක් පුරා දිවෙන කීර්තිමත් වෘත්තීය ජීවිතයකදී ගාමිණී චිත්‍රපට 108 ක සහ එක් ටෙලිනාට්‍යයක රඟපෑවේය. ඔහු චිත්‍රපට 89 ක ප්‍රධාන චරිතය රඟපෑ අතර, චිත්‍රපට 19 ක සහාය නළුවකු ලෙස රඟපෑවේය. ගාමිණී චිත්‍රපට 10 ක් අධ්‍යක්ෂණය කර චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළේය. ඔහු චිත්‍රපට කිහිපයකට දෙබස් සහ තිර රචනා ලිවීය. ගාමිණී රඟපෑ එකම ටෙලිනාට්‍ය ඩී.බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද “සුදු සහ කළු” ය. මෙම ටෙලිනාට්‍යයේ ගාමිණී “කළු මහත්තයා” ලෙස රඟපෑවේය.

ඔහු බොහෝ නිළියන් සමග රඟපෑ නමුත්, ගාමිණීගේ රස විද්‍යාව හොඳින්ම බලපෑවේ මාලනී ෆොන්සේකාටය. ගාමිණී සමග හොඳින් ගැලපුණු තවත් දෙදෙනකු වූයේ ජීවරාණි කුරුකුලසූරිය සහ වීණා ජයකොඩිය.

ගාමිණී පවසන ආකාරයට ඔහු ඇසුරු කළ ලස්සනම නිළිය සන්ධ්‍යා කුමාරි වූ අතර මාලනී හොඳම නිළිය වූවාය. ගාමිණීට අනුව හොඳම නළුවා ඔහු නොව, ජෝ අබේවික්‍රමය. හොඳම චරිතාංග නළුවා ලෙස ටෝනි රණසිංහ ගැන ගාමිණීට ඉමහත් ගෞරවයක් තිබුණි. අධ්‍යක්ෂවරයකු ලෙස ගාමිණී තුළ ඇති හොඳම දේ මතු කළ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස්ටර් සහ ගාමිණීම විය.

 

නළුවා - අධ්‍යක්ෂවරයා

තමන් විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේදී අසාර්ථක වූ නළුවා-අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් සිට ඇත. එය අඩුවෙන් රඟපෑම හෝ අධික ලෙස රඟපෑම යන සිද්ධි නිසාය. මෙම ද්විත්ව චරිතය රඟපෑ එක් ගෞරවනීය පුද්ගලයකු වූයේ හින්දි සිනමාවේ රාජ් කපූර් (ආවාරා, බර්සාත්, ශ්‍රී 420, වැනි චිත්‍රපට) ය. සිංහල සිනමාවේ, ගාමිණී අධ්‍යක්ෂණය කිරීමේදී රංගනයෙන් පසුබට නොවූ තවත් එක් මිනිසෙකි. “පරසතු මල්” සිට “උතුමානෙනි”, “සාගරයක් මැද”, “කොටි වලිගය” සහ “නොමියෙන මිනිස්සු” වැනි චිත්‍රපට දක්වා, ගාමිණී එම චිත්‍රපටවල ඔහුගේ චරිත කැපී පෙනෙන ලෙස රඟපෑවේය. සිංහල සිනමාවේ සුපිරි අධ්‍යක්ෂවරයකුගේ ශ්‍රේණියට ඔහු ඇතුළත් කළ නොහැක. එහෙත් ඔහු නිසැකවම හොඳම අධ්‍යක්ෂවරයෙක් විය.

මම අද දක්වාම කලාත්මක ගුණාත්මක චිත්‍රපටවලට පමණක් නොව, “මසාලා” විනෝදාස්වාදය සහිත වාණිජ සිංහල චිත්‍රපටවලද උග්‍ර රසිකයෙක් වෙමි. ගාමිණී මෙම ලෝක දෙකම පහසුවෙන් තරණය කළේය. ඔහු සම්භාව්‍ය චිත්‍රපටවල “කලාත්මක” නළුවකු මෙන්ම ජනප්‍රිය සිනමාවේ “ජනප්‍රිය” තරුවක් ද විය. ඔහු කලාත්මකව පිළිගැනීමට ලක්වූ අතර, වාණිජමය වශයෙන් අගය කිරීමකට ලක්විය.

 

සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු

දශක ගණනාවක් තිස්සේ ගාමිණී සිංහල සිනමාවේ ඔටුනු නොපළන් රජු විය. ඔහු නළුවකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස තම සලකුණ තැබීය. එම ක්‍රියාවලියේදී ඔහු සිංහල සිනමාව ඉන්දියානු බලපෑමෙන් මුදා ගැනීමට සහ එයට නැවුම් ඉදිරි දර්ශනයක් සහ ගතික දිශාවක් ලබා දීමට උපකාරී විය. සුපිරි තරු ගාමිණී සිංහල සිනමාවේ පරිණාමය හා වර්ධනය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී සිටී. ඔහු 2004 සැප්තැම්බර් 30 වැනි දින වයස අවුරුදු 68 දී මිය ගියේය.

 

(***)
“ඩේලි මිරර්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (0)

සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු
2025 මාර්තු මස 19 421 0

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම
2025 මාර්තු මස 19 575 0

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත


විචාරකයන්ට අමතකවුණු මහාකවියා - රැයිපියෙල් තෙන්නකෝන්
2025 මාර්තු මස 18 83 0

මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප


සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
2025 මාර්තු මස 18 81 1

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය
2025 මාර්තු මස 18 97 0

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 105 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 981 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site