මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය.
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නිර්මාණ ජීවිතයේත් සොඳුරු මතකයන් සොයා යන විට සිය පවුලේ සමීපතමයන්ගේත් සමකාලීනයන්ගේත් අත්දැකීම්වලින් අල්පමාත්‍රයක් අපි පෙර සතියේ ඔබ හමුවේ තැබීමු.
තම පියා සමග ගෙවූ ළමා කාලයේ සුන්දර අත්දැකීම් ආදියත් සේකරයන්ගේ නිර්මාණවලට ඒවා පදනම්ව ඇති සැටිත් මහගම සේකර දියණිය නිරූපමා මහගම සේකර තවදුරටත් අප සමග පැවසුවේ මෙලෙසිනි.
‘‘අපේ අම්මා ඒ දවස්වල ඉගැන්නුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට සිංහල ඉගැන්නුවේ අම්මා. ඒ පන්තිවල දරුවන්ට සමහර අවස්ථාවල තාත්තා ගිහින් දේශන පැවැත්වුවා කියලා අම්මා කියලා තියනවා. තාත්තගෙ යාළුවොත් සමහර අවස්ථාවල ඒ දේශනවලට සම්බන්ධ කරලා දීලා තියෙනවා. එක්තරා අවස්ථාවක රත්නාවලී බාලිකා විද්‍යාලයේ අරමුදලක් පිහිටුවන්නට සල්පිලක් තිබ්බා. මට මතකයි අපේ තාත්තා වෙස්මූණු සියයක් විතර හැඳලා සල්පිලට පරිත්‍යාග කළා. වෙස්මූණු හදන එක ටිකක් සංකීර්ණ වැඩක්. නිවාඩු පාඩුවේ කරන්න ඕනෙ. මට මතකයි ඒ වෙස්මූණු හදන්න අපි තුන්දෙනත් තාත්තට උදවු වුණා. ඒ කටයුතු කිරීමෙන් තාත්තා බොහෝ සේ සතුටට පත් වුණා.”
මහගම සේකර කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගෙවුවද දරුවන්ගේ සතුට වෙනුවෙන් ඔහු සෑම විටකම වෙහෙසුණු බව හෙළි වන්නේ නිරූපමා විස්තර කරන තම පියාගේ අතීත සිද්ධි අසා සිටින විටය. වෙසක් පොහෝ දිනවල වෙසක් සැරසිලි, පෙරහර ආදිය කුඩා දරුවන්ගේ සතුට වඩන කාරණාය. එවන් දිනවල තම දරුවන් සමග මහගම සේකර කළ කී දෑ නිරූපමා මහගම සේකර සිහි කළේ මෙලෙසිනි.
“ඒ දවස්වල හැම අවුරුද්දෙම අපේ ගේ ඉස්සරහින් පෙරහරක් යනවා. මේ ගේ ඉස්සරහ තිබුණා රත්මල්වලින් හදපු ටිකක් උසට වැඩුණු වැටක්. ඒ වැට උස නිසා අපට පාර හරියට පේන්නෙ නෑ. මට මතකයි පෙරහර දවස් කාලෙට අපේ තාත්තා මේ රත්මල් වැට ටිකක් පහත් වෙන්න කපනවා. එහෙම කරන්නෙ අපිට ගේ මිදුලෙ ඉඳගෙන පෙරහර බලන්න පුළුවන් වෙන්න. තව මතකයි වෙසක් දවස්වලට පාට පාට කඩදාසි ගෙනත් තාත්තා එක එක සැරසිලි කරලා මිදුලෙ එල්ලනවා අපිට බලන්න. අහල පහල අයත් මේවා බලලා අපි වගේම තාත්තත් හරියට සතුටු වුණා. පෙරහර එන වෙලාවට තාත්තා වතුර කළේකුයි වීදුරුවකුයි පාර අයිනෙන් තියල එනව මට මතකයි. ඒ පෙරහරේ එන අයට බොන්න. ඈතට පේනවා හැම ගෙදරකම වෙසක් කූඩු බකට් පත්තු කරලා තියනවා. ඒ වෙලාවෙ අම්ම කියල තියනවා තාත්තට බලන්නකෝ කිසි බෙදීමක් නෑ නේද, තනි යායක් වගේ නේද මේ පහන් එළි ඈතට පේන්නෙ කියලා. පස්සෙ කාලෙ තමයි අපට තේරුණේ අම්ම කියපු ඒ අදහස තමයි තාත්තා ප්‍රබුද්ධ කාව්‍යයේ මෙහෙම ලියන්නෙ.
වෙසක් පහන්වලින් ගලන
සවණක් ඝන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටුකම්බිද
මොහොතකින් අතුරුදන් වී ගොසින්ය
ලෝකය තනි යායකි
බලන්න ඒ අදහස තාත්තා කොච්චර ලස්සනට ගලපනවද කියලා. තනි යායක් වගේ පේනව කියලා අම්මා කියපු අදහස හරිම තදින් තාත්තගේ හිතේ ඇදුණු බවයි මෙයින් පෙනෙන්නේ. එහෙම බලපුවාම අපේ අම්මා තාත්තගේ නිර්මාණ දිවියට විවිධ අයුරින් බලපෑ චරිතයක් කියල කියන්න පුළුවන්.”
“ඒ කාලෙ ලලිත කලායතනය අපේ ගෙදර වගේ අපට ඉතාම හුරු පුරුදු තැනක්. අපි ගියාම මූර්ති අංශයෙන් අපට මැටි ලැබෙනවා. තාත්තා වැඩ ඉවර වෙනකල්ම අපි කරන්නෙ අර මැටිවලින් එක එක දේවල් හදන එක. ඒක නම් හරිම සුන්දර මතකයක්. ලලිත කලායතනයේ අධ්‍යාපන චාරිකාවලදි තාත්තා අපිවත් එක්ක යනවා. තාත්ත අපිත් එක්ක අන්තිමට චාරිකාවක් ගියේ බදුල්ල පට්ටිපොළට. ඒ යද්දි තාත්තා චිත්‍ර අඳින්න කොළ කෑලි, දිය සායම් එහෙම අරගෙන යනවා. අපිටත් කියනවා චිත්‍ර පොත් පාර පෙට්ටි අරගෙන එන්න කියලා. අපි කෝච්චියේ බදුල්ලට යනකල්ම පාර දෙපැත්තෙ පරිසරය බලමින් යන්නෙ. තාත්තා කියනවා ඒ යද්දි එද්දි පරිසරයේ දැකපු දේවල් අදින්න කියලා. ඒවා ගැන ලියන්න කියලා. බදුල්ලෙ ගමන ගැන මම ඒ දවස්වල ලියපු කවි මේ ළඟක් වෙනකල්ම මගේ ළඟ තිබුණා.
තාත්තාගෙ ජීවිතේ අන්තිම කාලෙ භාවනා කරන්න උනන්දු වුණා. යෝග අභ්‍යාස ගැන පොත් පත් කියවලා ඒවායේ විවිධ ආසන ප්‍රගුණ කළා. මට මතකයි අපිත් ඒ අභ්‍යාස කරන්න හදපු හැටි. අවුරුදු 46 දී තාත්තා නැති වුණා. තාත්තා නැති වෙද්දි අපෙ අම්මාට අවුරුදු 41යි. අක්කට 11 යි. මට අවුරුදු 9 යි. මල්ලිට 7 යි. ආපස්සට කල්පනා කරලා බලනකොට අපි තුන්දෙනාගෙම ජීවිතවල තිබුණ ඉතාම සුන්දර පරිච්ඡේදයක් තාත්තාගේ මරණයත් සමග අවසන් වුණා. අපි අද වැඩිහිටියන් බවට පත් වෙලා. ඒත් තාත්තගේ අඩුව අපට තාමත් දැනෙනවා.”
මහගම සේකරයන්ගේ නිර්මාණ කාර්යයේදී රසවත් සිද්ධි ගණනාවක් සේකර මතක අතර වේ. එම අනුභූතීන් සරල අත්දැකීම් පමණක් ලෙස ගෙන බැහැර කළ නොහැක්කේ ඒවායේ ඇති වැදගත්කම නිසාය. නිර්මාණ රචනයේදී තවත් කෙනකුට ආදර්ශයක් වන නිසාය. ඒ ඇතැම් නිර්මාණ අත්දැකීම් නිරූපමා මහගම සේකර සිහිපත් කළේ මෙලෙසිනි.
“තාත්තා ප්‍රබුද්ධ රචනා කරන කාලෙත් රිද්ම ලක්ෂණ ගැන ආචාර්ය උපාධි නිබන්ධය කරන කාලෙත් සමහර දේවල් මගේ මතකයේ තියනවා. ඒ 1975 අවුරුද්දෙ වගේ කාලෙ. ප්‍රබුද්ධ කාව්‍යයේ මෙහෙම කොටසක් තියනවා ඔබට මතක ඇති.
රන්මැලි මහ සෑ මළුවෙහි
සිටියේ ඔහු පමණක්මය
ඒ ගොම්මං වේලාවෙහි
අහසේ පායා තිබුණේ
බ්‍රහස්පති තාරකාව පමණක්මය
දිලිසෙයි එය
මේ අපූර්ව සංකල්පය සේකරයන්ගේම අත්දැකීමකි. ඒ ගැන මතකය නිරූපමා මහගම සේකර විස්තර කළේ මෙලෙසිනි.
ප්‍රබුද්ධ කාව්‍යයේ රන්මැලි මහ සෑ මළුවෙහි කියන කොටස ඇත්තටම තාත්තගෙම අත්දැකීමක්. අපි 1975 අවුරුද්දෙ අනුරාධපුරයට ගියා චාරිකාවකට. ඒ ගියේ තවත් කට්ටියක් එක්ක. කවියේ තියන විදියටම රුවන්මැලි සෑය වටේ තාත්තා කීප සැරයක් එහෙ මෙහෙ ගියා. ඔහු අහසේ ඈතින් පෙනෙන බ්‍රහස්පති තාරකාව දිහා බලමින් ඒ තාරකාව රුවන්මැලි සෑයේ කොත් කැරැල්ලේ චූඩාමාණික්‍ය සේ සම්බන්ධ වන තැන සොයා ගත්තා. තාත්තා ඒ දර්ශනය වන්දනා නඩයේ හැමෝටම අඬගහලා පෙන්නුවා මෙන්න බලන්න කියලා. ඒක හරිම ලස්සන අත්දැකීමක් වගේම හරිම ලස්සන සිතිවිල්ලක්.”
සේකරගේ ප්‍රබුද්ධ කාව්‍යයත් පර් යේෂණ නිබන්ධනයත් පළවීමට පෙර ඔහු මෙලොව අතහැර ගියේය. සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ පර් යේෂණ නිබන්ධනයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මහගම සේකරයන්ට ආචාර්ය උපාධියක් පිරිනැමිණ. මියගිය අයකු පර් යේෂණ නිබන්ධනයක් සඳහා ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
මහගම සේකරගේ තුංමංහංදිය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ හා සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ධර්මසේන හේමපාල මහතාය. තම සිනමා දිවිය හේමපාල මහතා ආරම්භ කරන්නේ අවුරුදු විස්සේදීය. ඔහු එවකට පාසල් සිසුවෙකි. සංදේශය චිත්‍රපටයෙන් සිනමා දිවිය ආරම්භ කළ හේමපාල මහතා පරසතු මල්, තුංමංහංදිය ඇතුළු මෙරට වඩාත් ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට අනූපහකට පමණ තම දායකත්වය ලබා දී තිබේ. මහගම සේකර සමග තුංමංහංදියේදී හේමපාල මහතා ලැබූ රසවත් මෙන්ම අර්ථවත් අත්දැකීම් රාශියෙන් කිහිපයක් අප සමග විස්තර කළේ මෙසේය.
“සේකර මහත්තයා මට මුලින්ම හමුවෙන්නේ 1960 දී පමණ. ඒ ඔහු රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන කාලයේ. එතකොට මම එතුමාගේ ශිෂ්‍යයෙක්. පස්සෙ කාලෙක පරසතු මල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයත් සහාය අධ්‍යක්ෂණයත් කරන්න මට අවස්ථාව ලැබුණා. මහගම සේකර ඒ චිත්‍රපටයට ගීත ලිව්වා. සඳකත් පිනි දිය දිය වී ගලනා ගීතයේ රූප රාමු ගන්න ගියේ මම. මේ ගීතය ගැන සේකරත් එක්ක බොහෝ දේවල් කතා කළා. පස්සෙ අපි බොහොම මිත්‍ර වුණා. ඒ කාලෙ වෙනකොට සේකර මහත්තයා හිටියෙ ගම්පහ ශ්‍රී බෝධි පාරෙ ගෙදර. මම ඒ වන විට ගුරුවරයෙක් විදියට වැඩ කළේ නිකවැරටිය පැත්තෙ ඉස්කෝලෙක. සති අන්තෙ දවස්වල මම කෙළින්ම එන්නෙ සේකරගේ ගෙදරට. සමහර දවස්වල මම යනකොට සේකර මහත්තයාගෙ බිරිඳ එළවළු ගේන්න යන්න කාරෙකට නගිනවා. ඒත් සේකර මහත්තයා මම එනවා දකිනකොටම
ආ...අන්න ධර්මෙ එනවා ධර්මෙ එනවා. එහෙනම් අපි දැන් යන්න ඕනැ ලොකේෂන් බලන්න කියලා කියනවා. අර එළවළු ගේන වැඩේ එතනින්ම ඉවර වෙනවා.
එහෙනං ඔයාල එනකොට එළවළු ටිකක් ගේන්න කියල කියනවා මිස කුසුමලතා මිස් අපේ ගමන් බිමන් වැඩ කටයුතුවලට කවදාවත් වචනයකින්වත් බාධාවක් කරලා නෑ. ඈ හරිම කාරුණික බොහොම ගුණ යහපත් කෙනෙක්. ඒත් අපිට හැමදාම ආපහු එනකොට එළවළු ගේන එක අමතක වුණා.”
සමහර දවස්වල අපි නිදාගන්නෙ පාන්දර තුනට විතර. සේකර තුංමං හංදිය චිත්‍රපටයේ සැලසුම් හැදුවේ රෑ අහසේ තාරකා දිහා බලාගෙන. තාරකා තමයි අපේ සටහන් වුණේ. අර තරුවෙන් මේ තරුවට යනකොට මෙන්න මේ කොටස ආදි වශයෙන් සේකර සැලසුම් හදනවා. මට මතකයි මම ඒ සැලසුම් කොළේක ලියා ගත්තා. තුංමං හංදිය චිත්‍රපටයේ එන අතීතයෙන් ගග ගලා බසී ගීතයට සේකරට වචන ආවෙ මේ වගේ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවක. මම සේකරගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු මා කී හැමදේම අනුමත කළේ නෑ. මගේ සැලසුම කිව්වට පස්සෙ සේකර කිව්වෙ
“ධර්මෙ ඒක හරි තමයි. ඒත් ඒක මට උවමනා දේ නෙවෙයි. මේ කියන ඔක්කොම කාර්මිකයි. ඒත් මට ඕනෙ කලාත්මක දෙයක්. මට ඕනෙ කැමරා එකේ හරඹය නෙවෙයි” කියලා එතුමා හෙව්වෙම නිර්මාණයේ කලාත්මක ගුණයයි. ඔහු ඉවත බලාගෙන නිසොල්මනේ ඉන්න අවස්ථා බහුලයි. ඒ ඉන්නෙ එයාගෙ නිර්මාණ ලෝකෙ. ප්‍රබුද්ධ කාව්‍යයේ මෙහෙම කියනවා.
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනගින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකැට්ටුවක්
ඒ මත පැන්සල් කොටයකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්
සේකර කියන මේ කතාව මතුපිට අර්ථයෙන් බැලුවත් හරියටම හරි. එහෙම තමයි ඔහු කවි ලිව්වෙ. සේකර මේසයක් ළඟ පුටුවක් තියාගෙන ලියනව මම දැකලා නැහැ. කවි ගීත ආදිය නම් එහෙම ලිව්වෙම නෑ.
නල දමයන්ති නාට්‍යයට සේකර ලියූ
ඈත කඳුකර හිමවු අරණේ
සීත චන්දන ළපලු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
ගීතය ඒ කාලෙ හරිම ජනප්‍රිය වෙලා තිබුණෙ. දවසක් මම ඇහුවා සේකර මහත්තයාගෙන් කොහේ ඉඳලද මේ ගීතය ලිව්වෙ කියලා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා සේකර කිව්වෙ
ආ.. ඕක මම බෝක්කුවක් උඩ ඉඳගෙන සිගරැට් පැකැට්ටුවක ලියපු එකක්
කියලා. එතුමා බොහොම චාම් සරල ජීවිතයක් ගෙවපු කෙනෙක්. තමන් වෙනුවෙන් ගෞරවයක් එතුමා අපේක්ෂා කළේ නෑ. සේකර හැමවිටම කතා කළේ ප්‍රයෝජනවත් වැදගත් දෙයක් පමණයි.”
ධර්මසේන හේමපාල මහතාගේ මතක සැමරුම්වලින් වඩාත් පැහැදිලි වන්නේ මහගම සේකර කලාකරුවා ප්‍රකට කළ සැබෑ කලාකරුවකුගේ භූමිකාවයි. ඔහු තුළ තිබූ සැබෑ මානව හිතවාදී ගුණයයි. මහගම සේකරයෝ නොමියෙති. ඔහුගේ නිර්මාණ එදා අද වගේම හෙට ද සමස්ත සමාජයේ කතාබහට ලක්වනු ඇත. සේකරයන්ට ලබා දිය හැකි ඉහළම ගෞරවය වන්නේ ඔහු කලා ලෝකයේ හෙළි කළ අනගි මාවත වින්දනයෙන් මෙන්ම බුද්ධියෙන්ද තේරුම් ගෙන ඉදිරියට ගෙන යාමයි.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ