IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


සේකර මතක

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහගම සේකර නම් මේ මහා කවියා සුවිශිෂ්ට ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නාට්‍යකරුවකු චිත්‍ර ශිල්පියකු මතු නොව දරුවන් වෙනුවෙන්ද අගනා පොත පත ලියූ කලාතුරකින් පහළ වන උදාර මානව හිතවාදියෙකි.

සේකරයන්ගේ දිවිසැරිය වසර 46 කින් නිමාවී 1976 අප්‍රේල් මස 14 වැනිදා එනම් අද වැනි දිනෙක අප අතරින් වෙන්ව ගියද ඔහුගේ නිර්මාණ අදත් හෙටත් යළි යළිත් අලු‍ත්වන්නේ ඒවායේ ඇති සර්වකාලීන බව සහ යථාර්ථවාදී ගුණය නිසාය.

මහගම සේකරයන්ගේ බොහෝ නිර්මාණ එදා මෙන්ම අදත් රසික විචාරක සම්භාවනාවට විමර්ශනයට ලක්වන බව රහසක් නොවේ. එබැවින් එයට ඉඩක් තබා මේ ලිපියේ අපගේ අරමුණ වන්නේ මහගම සේකරයන්ගේ ජීවිතයේ සොදුරු මතක සටහන් කිහිපයක් පාඨක ඔබ සමග බෙදා ගැනීම ය. සේකරයන්ගේ නිර්මාණ කටයුතුවලදී වඩාත් සමීපව කටයුතු කළ අද ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටින නිර්මාණකරුවන් කිහිපදෙනකුගේ ද පවුලේ සමීපතමයන්ගේද අත්දැකීම් මේ කතා බහට අපි එක්කොට ගන්නේ එබැවිනි.

ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරාගේ නිර්මාණ දිවියේ බොහෝ තැන්වල ඔහුට සේකර හමුවෙයි. සුනිල් අගනා දේශානුරාගී ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට එක් කළ අයෙකි. ඒ බොහෝ ගීවල සෙවණැල්ල මහගම සේකරයන් බව සිතිය හැකිය. සේකරගෙන් ලද ආභාසය සුනිල් සරත් පෙරේරා සිහි කරන්නේ මෙලෙසිනි.

“මහගම සේකර පූර්ණ නිර්මාණකරුවකු වන්නේ දේශානුරාගයත් භාෂානුරාගයත් ඔහු සතුව මැනැවින් පිහිටා තිබුණු නිසයි. මේ කාරණා දෙක නැති කෙනකුට පූර්ණ නිර්මාණකරුවකු වෙන්න බෑ. අපටත් දේශානුරාගී ගී ලියන්න විශේෂයෙන් බලපෑවේ මහගම සේකරයි.සේකරට ඒ බලපෑම ලැබුණෙ කුමාරතුංග මුනිදාසගේ හෙළ මියැසියෙන් බව ඔහු කියනවා. මට මතකයි රත්න දීප ජන්ම භූමි වගේ ගීත ඒකාලෙ උදේම ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනකොට අපි ගුවන්විදුලිය ළගට දුවගෙන ඇවිත් ඒවා රසවිදපු හැටි.”‍

සුනිල් සරත් පෙරේර විස්තර කරන එම අත්දැකීම එකල ගුවන්විදුලිය ශ්‍රවණය කළ බොහෝ ශ්‍රාවකයන්ට තවමත් මතකයේ ඇතිවාට සැක නැත. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ආණ්ඩුව සමයෙහි ශ්‍රමාභිමාන ගීත ලිවීමට ගීත රචකයන් උනන්දු කළ අවස්ථාවේ සේකරයන් අතින් ලියැවුණු පහත ගීතය අදට පමණ ක් නොව හෙටටද හොදින් ගැළපෙයි.

 

බොල් පොළොවට වැහි ගෙනෙන්න වැහි කුරුල්ලනේ
ඒ පොළොවේ වී ඉහින්න වී කුරුල්ලනේ
ගොයම් කපා කරල් පැහී පාගනා දිනේ
තොපිත් වරෙවු මගුල් කන්න මල් කුරුල්ලනේ

 

එසේම සමසමාජ පක්ෂයේ ඉල්ලීමකට සේකර ලියූ

වැසි වසිනා අහස අපී
මුතු බඳිනා මුහුද අපී

ගීතයද වාමාංශික මතධාරීන්ගේ පමණක් නොව රටේ සමස්ත රසික ප්‍රජාවෙහිම ප්‍රසාදයට ලක්වූවකි. සාහිත කලාවන්හිම නියැළෙන යහළු‍ මිත්‍රයන් එකට එක්වූ විට එතැන ඇත්තේ රස ගුලාවකි. මහගම සේකරත් බන්ධුල ජයවර්ධනත් අමරදේවත් සමග සුනිල් සරත් පෙරේරා රඹුක්කන ගිය ගමන පිළිබද රස මතක විස්තර කළේ මෙලෙසිනි.

“අපි එදා රඹුක්කන බලා පිටත්වුණේ හැන්දෑ වෙලාවක. ඒ එහේ සාහිත්‍ය කටයුත්තක් සදහා. අපි හතර දෙනාම ඒ යද්දි බොහෝ දේ කතා කළ හැටි මට මතකයි. ඔය සිද්ධාර්ථ කියන හින්දි චිත්‍රපටය අපු අලු‍ත. ඒ ගැන වගේම යසෝධරා සිද්ධාර්ථ චරිත, ලලිත විස්තරය ආදිය ඉතාම ගැඹුරින් සේකර විග්‍රහ කරපු හැටි මට මතකයි. ඔහු ඒ කාලෙ ප්‍රබුද්ධ ලිවීම ආරම්භ කරලයි තිබුණෙ. මමත් ඒ වෙනවිට පෙර දිනයක මා පෙම් කළ යුවතිය ගීතය එහෙම ලියලා ටිකක් ඒ ගීතය රසිකයන් අතරට ගිහින් තිබුණ කාලෙ. ඒ යන ගමන් සේකර මහත්තයා මට මෙහෙම කිව්වා.

සුනිල්ට මං කියන්නෙ කලබලෙන් වැඩිය සින්දු ලියන්න යන්න එපා කියලා.

අමරදේව “ඇහුවා ඇයි එහෙම කියන්නෙ”‍ කියලා. සේකර ඒ වෙලාව් දුන්නෙ මෙහෙම උත්තරයක්.

“ප්‍රසිද්ධිය පතා ලියන්න ගියොත් ලියැවෙන්නේ විකාර විතරයි. අනික ප්‍රසිද්ධිය ඕනැ ජරා වැඩක් කරලා ලබාගන්න පුළුවන්. කීර්තිය එහෙම ලබන්න අමාරුයි. කෙනෙකුට කීර්තිය ලැබුණොත් ඒක ලේසියෙන් නැතිවෙන්නෙ නෑ.”‍

දැන් ටිකක් රෑවෙලා .වටපිටාව අදුරුයි. මේ යන ගමං වේවැල්දෙණිය හරියෙදි අපි කාර් එක නැවැත්තුවා. සුළුදිය පහ කිරීමේ වුවමනාවකට. අපි ඒ අවශ්‍යතාව ඉටුකරගන්න ගමන් සේකර මහත්තයා කිව්වා ”මේ වැඩේ අපි හෙට දහයට විතර පාර්ලිමේන්තු පඩිපෙළ උඩ ඉදගෙන කළොත් මොනතරම් ප්‍රසිද්ධියක් ලැබෙයිද නේද?. ඒකනෙ මං කිව්වෙ ඕනැ වැඩක් කරලා ප්‍රසිද්ධිය ලබන්න පුළුවන්. ඒත් කීර්තිය ලැබෙයිද ඒකෙන්. නෑනෙ.”‍

මහගම සේකරයන්ගේ කවිකම නිරායාසයෙන් ගලා එන සැටි සුනිල් සරත් පෙරේරා මහතා සිහිපත් කරන්නේ ඒවායේ ඇති රස මතක ද සමගය.

“එක කාලෙක එක්තරා ප්‍රංශ කම්පැණියක් ඇවිත් පළාත් කිහිපයකම වතුර පයිප්ප දාන්න කානු කැපුවා. ගම්පහත් ඒ විදියට කානු කපපු දවස් ඒ. මහගම සේකර උදේ ගෙදරින් පිටත් වෙලා ආපහු හවස ගෙදර එනකොට පාර වහලා. පයිප්ප දාන්න කානු කපනවා. පාර වහපු තැනට වෙලා කාර් එකේ ඉදගෙන සේකර හිටිවන කවියක් කිව්වා.

 

සක්මන් කරන මාවත අපෙ          වැසුවාද
ඉක්මන් ගමන් අද අපෙ කොට     කෙරුවාද
සිත් සන්තොසින් දුන් මුදලු‍ත්       ලැබුණාද
සොකමන් මගෙ නමට කානුව      කැපුවාද

සේකරට වචන එන්නෙ නිරායාසයෙන්. බොහෝ කවි ලිව්වෙ බස් ටිකට් එකේ. අනිත් එක ගැමි කවියේ ආභාසය ඔහුට තදින්ම ලැබී තිබුණා. ලෝකයේ සෑම ශ්‍රේෂ්ඨ කවියකුටම තමන්ගෙ රටේ ගැමි කවිය බලපාලා තියනවා. අපේ රටේ ගැමි කටබහ වහර ගැන සේකරට මනා අවබෝධයක් තිබුණා. ඒ ගැමි බස ඔහුගේ නිර්මාණ සමග මනා සේ මුසු කරගත්තා. ඔහු අපේ බසේ භාවික ගුණය ඉතා නිවැරැදිව හදුනාගත් කෙනෙක්. මහගම සේකරයන් සතුව පැවැති රූප විලාසයත් වාග් විලාසයත් රසික ජනයාගේ සිත් ඇදගන්නක්ම විය. සේකරයන් සතුව පැවැතියේ ඉතා පැහැදිලි මධුර වූ පෞරුෂයක් සහිත උස් හඩකි සුනිල් සරත් පෙරේරා ඒ මතකය මෙසේ අවදි කළේය.

“සේකරගේ කතා අහගෙන ඉන්න ඉතාම ප්‍රියයි. ඒ හඬේ මනා මධුරත්වයක් හා පෞරුෂයක් තිබුණා. මට මතකයි අපි ඉස්කෝලෙ යන කාලෙ මහගම සේකර ලු‍ම්බිණිය විද්‍යාලයට ආව. ඒ ආවෙ මඩවල රත්නායක මහත්තයත් එක්ක. මට මතකයි සන්නාලියනේ ගීතයේ හැඩරුව ගැන ඔහු කතා කළ දේවල්. ඔහුගේ දේශනවල මධුර බව නිසාම සේකර විශ්වවිද්‍යාලයට බදවාගැනීමේ ආශාවක් මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න මහතාට තිබුණා. ඒ හඬ මධුරත්වය හරියට කවියක් වගේ. ඔහු කියූ දේවල් අපට හරියට කාවැදුණා. අපේ රසවින්දනය දියුණුවෙන්න මහගම සේකරයන්ගේ දේශන හරියට බලපෑවා. භාෂාවේ ධ්වනි ගුණය, වචන අතරින් සංගීතය මතුවෙන්නට ඉඩදෙන හැටි අපි ඉගනගත්තෙ සේකරගෙන්. සේකරගේ කවියක එක වචනයක් අයින් කරලා දැම්මොත් මුළු නිර්මාණයටම හානි වෙනවා.

සේකරගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්වූ සුනිල් සරත් පෙරේරා මහතා ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවෙසේ තිබූ දේහයට අවසන් ගෞරවය දක්වා ආපසු එන අතරවාරයේ බස් රථය තුළම කොළ කැබැල්ලක සේකර පිළිබද ලියූ කවියයි මේ.

 

සදා නොමියෙන ගීතයකි ඔබ
සදා නොමියෙන සිතුවමකි ඔබ
ගමේ ඕවිටි තැනිතලාවල
සදා ඔබ මට මුණගැසෙනු ඇත.

මහගම සේකරයන්ගේ දිවිසැරිය වසර 46කි. කුසුමලතා මහගම සේකර ආදරණීය බිරිදත් පාඨලී මහගම සේකර,නිරූපමා මහගම සේකර දියණියන් දෙදෙනාත් රවීන්ද්‍ර මහගම සේකර පුතණුවනුත් සේකර පවුලේ සාමාජික සාමාජිකාවෝය. සේකර මිය යන විට දරුවන් තිදෙනාම තම අධ්‍යාපන දිවිය ආරම්භ කළා පමණි.

නිරූපමා මහගම සේකර කොළඹ  විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීමේ අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය තම පියා පිළිබද මතකය අවදි කළේ මේ අයුරිනි.

”‍තාත්තා නැතිවෙද්දි අපි තුන්දෙනාම හිටියෙ පොඩි වයසෙ. මට මතකයි අපි තුන්දෙනාගෙම පාසල් වැඩවලට තාත්තා ඉතාම උනන්දුවෙන් සිටි හැටි. ප්‍රාථමික පන්තිවල හරියට තියනවා නිර්මාණාත්මක වැඩ කරන්න. ඒවා කරන්න උදවු කරන්නෙ තාත්තා. අපෙ අක්කා ඉගනගත්තෙ විශාඛා විද්‍යාලයේ. මම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. මල්ලි රාජකීය විද්‍යාලයේ ඉගනගත්තෙ. තාත්තා නැතිවෙද්දි අපි තුන්දෙනාම හිටියෙ ප්‍රාථමික පන්තිවල.  මට මතකයි තාත්තා අක්කට ගණන් කියලා දෙන හැටි. තාත්තා ගණිතයට හරිම දක්ෂයි. තාතාගේ මේ මගපෙන්වීම නිසා අනෙක් සිසුන්ගේ නොදැකපු කලා කුසලතා පාසල් ගුරුවරු අපෙන් හඳුනාගත්තා.”‍

මහගම සේකරයන් සිතුවම් අදින අවස්ථාවල තම දරුවන්ද ඒ වැඩකටයුතු සදහා සම්බන්ධකරගන්නා අයුරු නිරූපමා විස්තර කළාය. සේකරගේ ළමාගීත අත් පිටපතකට තම දරුවන් ලවා චිත්‍ර ඇඳගත් අයුරුත් ළමා පුවත්පත්වලට කවි ලියන්නට හා චිත්‍ර අඳින්නට උනන්දු කළ සැටිත් ඒ පළවූ චිත්‍ර හා කවි සේකරයන් විසින් කපා අලවා එය පළවූ පුවත්පත හා දිනය යොදා සුරක්ශිතව තැබූ අයුරුත් නිරූපමා සිහිකරන්නේ තම පියා පිළිබදව හද පිරි ආදරයෙන් හා බැතියෙනි.

“ඒ නිර්මාණ මගේ ළග තවමත් තියනවා. අපි ඒ දවස්වල පදිංචි වෙලා හිටියෙ ගම්පහ ශ්‍රී බෝධි පාරෙ ගෙදර. මට මතකයි සති අන්තෙ දවස්වලනම් අපි ගෙදර ඉන්නෙම නැති තරම්. අපි පවුලේ හැමෝම එකතුවෙලා නිතරම ගමන් බිමන් ගියා. තාත්තාට තිබුණා කළු පාට මොරිස් මයිනර් කාර් එකක්. ඒකෙ තමයි අපි යන්නෙ. ඒ යද්දි හැමදාම අපි හැමෝම සින්දු කියමින් තමයි යන්නෙ. දන්නෝ බුදුන්ගේ ගීතය එහෙම තාත්තා හුගක් ආශාවෙන් ගායනා කරන හැටි මට මතකයි. නාඩගම් ගීත බොහොමයක් කුඩා වයසේදීම අපිට කටපාඩම් වෙලා තිබුණා. මේ ගමන් බිමන්වලදී ඒ ගීත නිතර ගායනා කරපු නිසා. අම්මත් කියනවා නිවාඩුවක් ලැබුණොත් රෝද හතර උඩම තමයි කියලා. වැඩිපුරම අපි නෑදෑ ගෙවල්වල ගියා. අම්මගෙ මහගෙදර තිබුණෙ මීරිගම. තාත්තගෙ පවුලෙ සහෝදර සහොදරියො කවුරුත් හිටියෙ නෑ. ඔහු තමයි පවුලේ එකම දරුවා. ඒ නිසාම අම්මගේ පවුලේ සෑම කෙනෙක්ම තාත්තට ඉතාම ළැදියි. අදටත් ඒ අය තාත්තා මතක් කරන්නෙ ඉතාම ආදරයෙන්. ”

“අනිත් එක තාත්තා නිර්මාණ කරන විට ඒ ගැන අම්මත් එක්ක නිතරම සාකච්ජා කරන පුරුද්දක් තිබුණා කියන්න පුළුවන්. දැන් ඒ නිර්මාණ දිහා බලනකොට ඒ බව හොදින්ම පේනවා. 1975 විතර කාලෙ තාත්තා සෙන් බුදු දහම ගැන බොහෝ පොත පත කියැවූ සැටි මතකයි. මේ ප්‍රබුද්ධ ලියන කාලෙ. මට මතකයි සමහර ඒ සෙන් බෞද්ධ කතා තාත්තා අපටත් කියල දෙනවා. අපෙ අක්කා ඉපදුණේ 1964 දි ඒ කාලෙ තාත්තා බතික් කර්මාන්තය ගැනත් යම් උනන්දුවක් දැවූ බවක් පේනවා. මේවා ඔහු කළේ හිතේ ආශාවට. බතික් සැරසිලිවලින් බිත්ති සැරසිලි පුටු කවර එහෙම තාත්තා හදල තිබ්බ හැටි මට හොදට මතකයි. අපේ අම්මාට තාත්තා බතික් සාරි කීපයක්ම සකස් කරලා දීලා තියෙනවා. ඒවා තාමත් අපි ළග තියෙනවා. මගෙයි අක්කගෙයි චූටි කාලෙ ඇදුම් එයා බතික් දාල ලස්සනට හැඩ කරලා නිමාණය කළා. හරිම හුරු බුහුටි විදියට පොඩි අය ට ආස හිතෙන විදියට ඒවා හදලා තියනවා. චූටි චූටි කුරුල්ලෝ, පුංචි පුංචි මල් ඒවායේ හරියට තියෙනවා. ඒ ඇදුනුත් තාම අපි ළග තියෙනවා. ආශාවට තමයි එයා ඒවා කළේ. තාත්තා නිර්මාණය කළ එම්බ්‍රොයිඩර් නිර්මාණ එකතුවක් තවමත් සුරැකිව තියෙනවා.”

“මට තව සිද්ධියක් හොදට මතකයි. ගම්පහ තිබ්බා ලෙලු‍ම කලායතනය කියලා . ඒකෙ සංගීත පන්තියක් තිබුණා. තාත්තා අපි ඒ පන්තියට එක්ක යනවා. ගිහින් තාත්තත් අපිත් එක්ක සින්දු කියනවා. ඒ පන්තියේදී අපි තාත්තත් එක්ක ”‍සුවද පද්ම ඕලු‍ ආදි”‍ ගීතය ගායනා කළ අවස්ථාවක පටිගත කිරීමක් අපි ළග තිබෙනවා. තාත්තාට තිබුණේ ඉතාම උස් හඩක්. එය හරිම ආකර්ෂණීය කටහඩක් කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ. “නිරූපමා මහගම සේකර ගේ මතක දිගහැරුමෙන් අපට වඩාත් සුපැහැදිලි කරුණක් වේ. එනම් මහගම සේකර නම් විශිෂ්ට කලාකරුවා මොනතරම් ප්‍රකට චරිතයක් වුවත් ඔහු මොනතරම් කාර්ය බහුල පුද්ගලයකු වුවත් තම බිරිද සහ දරුවන් සමග ගෙවූ සුන්දර දිවි පෙවෙතයි. උදාර ආදරණීය පියකු ලෙස කුඩා දරුවන් සෙවණේ ගෙවූ දිවියයි. තම දරුවන් වෙනුවෙන් පමණක් නොව සමස්ත දරු පරම්පරාවටම යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ පරම අපේක්ෂාව මහගම සේකරයන් තුළ පැවැති බව ඔහුගේ ජීවන පුවත්වලින් පමණක් නොව ඔහුගේ නිර්මාණවලින්ද මනා සේ හෙළිදරවු වන බව පැහැදිලිය.

 

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක්වෙයි මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්

දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබහට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්
යනුවෙන් මහගම සේකරයන් ප්‍රාර්ථනා කවියේදී ලියන්නේ ඔහුගේ ඒ පරම අපේක්ෂාව නොවේද?

තව කොටසක් ලබන සතියේ...

 (*** ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

සේකර මතක

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 55 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 54 0

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 28 0

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


සේකර මතක
2025 ජනවාරි මස 14 151 0

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ


​දින 100 මිණුම් ලකුණක් නොවේ
2025 ජනවාරි මස 14 76 0

ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂ


පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ
2025 ජනවාරි මස 14 90 0

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 221 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 304 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site