මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍රහාරවල ඉලක්කය වූ කිතුනු ජනතාව ඒවා සම්බන්ධයෙන් සෑහීමකට පත් වී නැත.
එසේම දේශපාලන වශයෙන් ද ඇතැම් පිරිස් මෙම පරීක්ෂණවලින් සෑහීමකට පත් වී නැත.
මේ වන විට මෙම ජන ඝාතක අපරාධය සම්බන්ධයෙන් දෙස් විදෙස් පරීක්ෂණ දහසකට වැඩි ගණනාවක් පැවැත් වී ඇත. මුලින්ම මෙම ප්‍රහාර එල්ල වන විට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පරීක්ෂණ සඳහා කමිටුවක් පත් කළේය. ඉන්පසු එවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.
ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේය. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඉදිරිපත් කෙරිණි. එමගින් ත්‍රස්තවාදී ප්‍රහාරවල වින්දිතයන්ට වන්දි ගෙවන්නට වග උත්තරකරුවන්ට නියම විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම ප්‍රහාරවල විවිධ පැති සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කළේය. වින්දිතයන්ට වන්දි ඉල්ලා නඩු 108ක්ද පවරනු ලැබ තිබේ. සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ දහස් ගණනක් පුද්ගලයන් අතුරෙන් 25 දෙනකුට එරෙහිව අපරාධ නඩු ද පවරනු ලැබ තිබේ. මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශීය වශයෙන් කමිටු තේරීම් කාරක සභා, කොමිෂන් සභා අධිකරණ ආදිය මගින් පරීක්ෂණ අටක් කෙරී ඇත. ඇතැම් නඩු තවමත් අවසන් නැත.
එසේම ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය හා පාකිස්තානය රටවල අපරාධ පරීක්ෂණ කණ්ඩායම් මෙම ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දී ජර්මන් රූපවාහිනී නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබිණි.
මේ අතර නවසීලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය යන රටවල බලධාරීන් හා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියේ බලධාරීන් ද පරීක්ෂණ පවත්වා ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පළ වූ ලිපියක සඳහන් විය. එහෙත් මේ කිසිවකිනන් සෑහීමකට පත් නොවූ පිරිසක් සිටිති. ඒ ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රහාරයට ඍජුව සම්බන්ධ නොවී ඒ පිටුපස සිට ක්‍රියාත්මක වූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් (මහ මොළකුරුවකු) සිටි බවට ඔවුන් විශ්වාස කරන හෙයිනි. නැතහොත් එවැන්නක් පරීක්ෂණවල වාර්තා හෝ තීන්දුවලින් ප්‍රකාශ විය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරන හෙයිනි.
2019 දී සිට සෑම වසරකම පාස්කු ඉරිදා දිනය ළඟා වන විට මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කළ යුතු යැයි කතෝලික සභාව ඉල්ලා සිටියි. එසේම මෙම ප්‍රහාරය පිටුපස සිටියවුන් හෙළි කළ යුතු යැයි ද කතෝලික නායකයෝ ඉල්ලා සිටිති.
2019 ජනාධිපතිවරණය ආසන්නයේ දී වින්දිතයන්ට සාධාරණය ඉටු කළ නොහැකි නම් හැකියාව ඇති පිරිසකට ඉඩ දී ආණ්ඩුව ඉවත් විය යුතු යැයි කතෝලික ප්‍රජාවේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා ඉල්ලා සිටියේය. ඉන්පසු එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු දැන්නම් සෑහීමකට පත් විය හැකි අයුරින් පරීක්ෂණ කෙරෙන බව එතුමා කියා සිටියේය. එහෙත් පසුව එතුමා එම ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන්නට විය.
2020 මැද දී පමණ හදිසියේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සිද්ධිය පිටුපස සිටින බවට මතයක් පැතිර ගියේය. ඒ දඩයම කර ගසාගෙන යන්නා දඩයක්කරුවාය යන පදනමනි. එනම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දේශපාලන වාසිලබා ගත් පිරිස එම ප්‍රහාරය පිටුපස සිටියේය යන්නයි. පසුව කතෝලික සභාව ද මෙම මතය පිළිගත් බවක් පෙනෙන්නට තිබිණි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවත් ඒ පිටුපස සිටියවුන් හෙළි කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ කළේය. ඒ අනුව කතෝලික ප්‍රජාවෙන් බහුතරය පසුගිය මැතිවරණවල දී එම පක්ෂයට සහාය දුන් බව පෙනිණි.
දැන් කතෝලික සභාවේ ඉවසීම සීමාවට ළං වී ඇති බව පෙනේ. මෙවර පාස්කු ඉරිදාට පෙර මෙම අපරාධය පිටුපස සිටි පිරිස් හෙළි නොකළ හොත් තමන්ට යළිත් පාරට බසින්නට සිදුවන බව ඒ අනුව කාදිනල් තුමා පැවසීය. එහෙත් පාස්කු ඉරිදාට වසර හයක් පිරෙන මේ මස 21 වැනිදාට පෙර යම් යම් හෙළි දරව් කිරීම් කළ හැකි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය නිසාදෝ කාදිනල්තුමා එසේ පාරට බැස්සේ නැත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් දේශපාලන වාසි ගන්නට විරුද්ධ පක්ෂයේ නායකයෝ උත්සාහ කරති. 21 වැනිදාට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී යැයි කියමින් ඔවුහු ජනාධිපතිවරයා පොරොන්දු කඩ කළ බව කියති.
කෙසේ වෙතත් දින වකවානු සඳහන් කරමින් යම් යම් හෙළිදරව් කිරීම් කළ හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත්, අසුවල් දිනට පෙර අසුවල් දේ හෙළිදරව් කළ යුතු යැයි කතෝලික සභාව දිනවකවානු නියම කිරීමත් ප්‍රායෝගික නොවේ. පරීක්ෂණවල කුමන අවස්ථාවේ දී අලුත් වැදගත් තොරතරු හෙළිවේදැයි කිසිවකුටත් කල් තබා කිව නොහැකිය. දැන් 21 වැනිදා පසු වී තිබුණ ද පරීක්ෂණ සෑහීමකට පත් විය හැකි අයුරින් ඉදිරියට යන බව කතෝලික නායකයෝ පවසති.
මෙම අපරාධය පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටි බවට පැතිර ගිය මතය මේ වන විට බොහෝ දුරට මුල් බැසගෙන ඇති බව සමාජ මාධ්‍ය දෙස බලන විට පෙනේ. මේ අතර පසුගිය 20 වැනිදා පොළොන්නරුවේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැලියක් ඇමතූ ජනාධිපතිවරයා ද බලය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද දරුණුම ඛේදවාචකය පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයය යනුවෙන් ප්‍රකාශ කොට තිබිණි. එම ප්‍රහාරය හා දේශපාලන පක්ෂයක් අතර සබඳතාවක් මෙතෙක් ඔප්පු වී නැති වුවද එම ප්‍රහාරයෙන් උපරිම දේශපාලන ප්‍රයෝජනය ගත්තේ පොදුජන පෙරමුණ වූ හෙයින් ඔහු මේ චෝදනා කරන්නේ එම පක්ෂයට බව ඉතා පැහැදිලිය.
කලෙක කොටි සංවිධානයේ මඩකළපු ප්‍රදේශයේ නායකයකුව සිට ඉන් ඉවත්ව පසුව වෙනම පක්ෂයක් පිහිටුවාගෙන පොදුජන පෙරමුණට සහාය දුන් නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පසුගිය 8 වැනිදා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. ඒ 2006 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙනි.
එහෙත් දින දෙකකට පසු ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල මහතා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලයාන්ගෙන් තොරතුරු රාශියක් ලැබුණු බව ප්‍රකාශ කළේය. 12 වැනිදා ජනාධිපතිවරයා ද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මඩකළපුවේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසා තිබිණි. ඔහු ඉන් අදහස් කරන්නට ඇත්තේ පිල්ලයාන් විය යුතුය.
පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබීමත් සමග තේරුම් ගත නොහැකි සිද්ධි දෙකක් සිදු විය. එකක් නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනය ඔස්සේ පිල්ලයාන් සමග කතා කිරීමට රහස් පොලියෙන් ඉල්ලීමක් කිරීමයි. පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අයකු සමග හිටපු ජනාධිපතිවරයාට කතා කිරීමට ඇත්තේ කුමක්ද?
එසේම පිවිතුරු හෙළි උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද තමන් පිල්ලයාන්ගේ නීතිඥයා යැයි කියමින් පිල්ලයාන් හමුවීමට රහස් පොලිසියෙන් අවසර ගෙන ඔහු හමුවී පැමිණ ජනමාධ්‍ය හමුවක් ද පැවැත්වීය. ගම්මන්පිල මහතා ඔබේ නීතිඥයා දැයි බන්ධනාගාර නිලධාරින් පිල්ලයාන්ගෙන් විමසා ඇති බවත් දින කිහිපයක් පිටස්තර කිසිදු පුද්ගලයකු සමග කතා කරන්නට අවස්ථාව නොලද පිල්ලයාන් වහාම ඔව් යැයි පිළිතුරු දී ඇති බවත් ගම්මන්පිල මහතා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබිණි. ඉන් කියවෙන්නේ ගම්මන්පිල මහතා පිල්ලයාන්ගේ නීතිඥයා වී ඇත්තේ ඔහුගේ ඉල්ලීම මත නොවන බවයි.
පුද්ගලයකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවකුගේ ඉල්ලීමක් හෝ නැතිව නීතිඥයකු සේ ඔහු හමුවීමට ගම්මන්පිල මහතා යාම පුදුම සහගත නොවේද?
කෙසේ වෙතත් පිල්ලයාන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කොට මහජන ආරක්ෂක ඇමැතිවරයා 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඇතැම් විට රනිල් වික්‍රමසිංහ මහතා පිල්ලයාන්ට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කිරීමටත් ගම්මන්පිල මහතා නීතිඥයකු සේ පිල්ලයාන් හමුවීමටත් හේතු වූවාද යන ප්‍රශ්නය මතුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබුව ද වික්‍රමසිංහ මහතා හා ගම්මන්පිල මහතා පිල්ලයාන්ට කතා කිරීමට උනන්දු වීම තේරුම් ගත නොහැකිය.
මෙම ප්‍රහාරයට පිල්ලයාන්ගේ සබඳතාවක් ඇතැයි ඔහුගේ ලේකම්ව සිටි හන්සීර් අසාද් මව්ලානා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියට 2023 දී පවසා තිබිණි. පිල්ලයාන්ගේ උපදෙස් මත තමා ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායක සහරාන් හාෂීම් හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අතර 2018 දී හමුවක් සූදානම් කළ බව මව්ලානා එහිදී පවසා තිබිණි. සලේට අවශ්‍ය වූයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වාතාවරණයක් නිර්මාණය කොට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම බවද ඔහු පවසා තිබිණි. එහෙත් මෙම කරුණු සනාථ කිරීමට ඔහු කරුණු ඉදිරිපත් කොට තිබුණේ නැත.
පසුගිය පෙබරවාරි 4 වැනිදා ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ ගම්මන්පිල මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හා සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ යොමු වී ඇති දිශාව හා ඒ පිළිබඳව ආණ්ඩුව හා රාජපක්ෂ හිතවාදීන් අතර ඇති සීතල යුද්ධය පිළිබඳව මේ අනුව අදහසක් ඇති කර ගත යුතුව ඇත.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සහ්රාන් හෂීම් යැයි ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයේ නිලධාරියකු එරට අධිකරණයකට ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශයක් ද මේ දිනවල ජනමාධ්‍යවල පළ වේ. එම දිව්රුම් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ 2020 දී වුවද එය පසුගිය වසර හතරකට අධික කාලයක් මෙරට කිසිවකුගේ අවධානයට ලක් නොවී දැන් ඉස්මතු වීම ද සිතා බැලිය යුතු කරුණකි.
මහමොළකරු නවුෆර් නම් මව්ලවි කෙනකැයි මීට පෙර හිටපු මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසා තිබිණි. දැනට රහස් පොලිසිය කරගෙන යන පරීක්ෂණ අනුව කවුරුන් මහ මොළකරු යැයි කියවේදැයි දැන්ම කිව නොහැකිය. එහෙත් මහමොළකරු ප්‍රශ්නය මේ වන විට දේශපාලන ප්‍රශ්නයක් වී අවසන්ය. මේ කඹ ඇදිල්ලෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය 269 දෙනාට හා තුවාල ලැබූ පන්සියයකට ආසන්න පිරිසට සාධාරණයක් ඉටුවේ ද යන්න සැක සහිතය.
(*** එම්.එස්.එම්. අයුබ්)
අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා
මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය