IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හැට වසරකට පෙර අපේ තරුණියන්ට හැදුණු පෙක් - පෙක් පිස්සුව

   01-page6-S2-4   

 

අඩි 6කුත්, අඟල් 5ක් උස, කඩවසම්, මිහිරි මෙන්ම ගැඹුරු කටහඬකට උරුමකම් කී එකම හොලිවුඞ් නළුවා ඔහුය. කටහඬ විෂයක් වශයෙන් ඉගෙන ගත් විශේෂිත නළුවාද ඔහු බව පැවසේ. අද ඔහු ජීවතුන් අතර සිටියානම් ඔහුගේ 100 වැනි ජන්ම දිනය ලෝකය පුරා විසිරී පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවන් ඉතා ඉහළින් සමරමින් උණුසුම්ව සුභ පතන බවට කිසිම සැකයක් නැත.

01-page6-S2-6
1916 වසරේ අප්‍රේල් 05 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලාජොල්ලා නගරයේ එල්රෙඞ්හි උපත ලැබූ ග්‍රෙගරි පෙක්, සැන් ඩියෝගු ස්ටේට් පාසලේ ඉගෙනුම ලබා, ලොරි රියැදුරුකම තම ජීවන වෘත්තිය ලෙස තෝරාගත් මුල් කාලයේ කලාවට කිසිදු ඇල්මක් නොදැක්වූ තරුණයෙකි. පෙක්ගේ ප්‍රථම පෙම්වතිය නිසා තමා නළුවකු වූ බව, ප්‍රවීණ පුවත්පත්කලාවේදී ප්‍රෙමිල් රත්නායකට ඔහු පවසා තිබුණි.


ඇය චාම් පහේ තරුණියකි. වැඩිකල් නොගොස් ග්‍රෙගරි පෙක් නම් ලොරි රියැදුරාට පෙම්බැඳි ඇය, ඔහුගේ ආකල්ප වෙනස් කිරීමට සමත් වූවාය.


“ඔබට රියදුරු රැකියාවට වඩා උසස් රැකියාවක් සොයා ගන්න පුළුවන්. මුලින්ම ඔබ ඉංග්‍රීසි සාහිත්‍ය කෘති කියවන්න.


කලාව රසවිඳින්න. ඔබට හොඳ අනාගතයක් උදාවේවි” ඇය නිතර ම තම පෙම්වතාට කීවාය.


ග්‍රෙගරි පෙක් නම් අග්‍රගණ්‍ය නළුවා බිහි වන්නේ ප්‍රථම පෙම්වතියගේ මග පෙන්වීම නිසා බව කී ඔහු මෙසේද පවසා තිබුණි.

 

“සත්තකින්ම ඇය පරාර්ථකාමී තරුණියක්. එවැනි කාන්තාවක් මට ඉන්පසු හමුවණේ නැහැ. මම නළුකමට පිවිසියාට පසු ඇය සදහටම මට නැති වුණා. මම ලොරි රියැදුරෙකුව සිටියා නම් ඇය මගේ බිරිඳ වනු නොඅනුමානය. මගේ ප්‍රථම පෙම්වතිය දැන් වැඩිමහල් දූ පුතුන් ඇති වාසනාවන්ත මවක්.” පෙක් එදා අපේ මාධ්‍යවේදියාට පවසා තිබුණි. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සිදුව ඇත්තේ 1954 වසරේ පෙක් ලංකාවේ රූගත කිරිමට පැමිණි පසුය. ඒ වනවිට පෙක් රඟ පෑGentleman's Agreemat, Roman Holiday, The Million Pound Note යන චිත්‍රපට ලාංකීක ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට අවස්ථාව ලැබී තිබුණි.

රොබට් පැරිෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Purple Plain (දඹතැන්න) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට ග්‍රෙගරි පෙක් ලංකාව පැමිණියේ 1954 වසරේ ජනවාරි 06 වැනිදාය. රත්මලාන ගුවන් තොටුපලින් ගොඩ බට පෙක් දැක බලා ගැනීමට දෙදිනක් තිස්සේ ඔහුගේ ලාංකික සිනමා රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටි බව එකල පුවත්පත්වල සඳහන් වී තිබුණේ මෙසේය.


“තම ප්‍රියතම හොලිවුඞ් නළුවා සියැසින් දැක බලා ගැනීමේ චේතනාවෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතූළු විශාල පිරිසක් ඊයේ (6) රත්මලාන ගගනංගයට පැමිණ රැස්කකා බලා සිටියහ. ග්‍රෙගරි පෙක්ගේ අත්සන තම සමරු පොත්වලට ඇතුළත් කර ගැනීමේ චේතනාවෙන් ඔහු වෙත කඩා පැන්න හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම ඉල්ලීම් ඉටු කිරීමට ඔහු මැලි නොවීය. ඇතැම් ශිෂ්‍යාවන් තම ලේන්සුවල පවා අත්සන් ලබාගත් අතර තරුණයන් කිහිප දෙනෙක් තම කමිස සාක්කුවේද ඔහු ලවා අත්සන් ගත්හ. “දඹතැන්න” (ද පර්පල් ප්ලේන්) චිත්‍රපටයේ රඟපෑම සඳ හා ඔහු එදින රාත්‍රියේම සීගිරිය බලා පිටත් විය.

 

01-page6-S2-3

 


දිනමිණ 1954 ජනවාරි 07 මුල් පිටුව)
“ජනතා” නම් සවස පළවන පුවත්පතේ 1954 ජනවාරි 05 වැනිදා පළ වී තිබුණේ පෙක් ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ජනවාරි 05 වෙනිදා ඔහුගේ නොපැමිණීම නිසා රසික, රසිකාවියන්ද මුහුණ දුන් අකරතැබ්බයක ඡායාරූප කතාවකි.


“ලක්ෂ සංඛ්‍යාත කලාකාමීන්ගේ ගෞරවය දිනා සිටින ග්‍රෙගරි පෙක්ගෙන් සමරු පොත් අත්සන් කර ගැනීමට ගිනි අව්වේ රත්මලාන ගුවන් තොටුපොළට රැස්වූ යුවතියන්ගේ පින්තුරයක්. ඔවුන්ගෙන් ඇතැමෙක් කලාන්ත වී වැටී ඇත.


පෙක් ලංකාවට එනවිට කොළඹ රීගල් සිනමා හලේ තිරගත වී ඇත්තේ ඔහු රඟ පෑ THE MILLION POUND NOTE චිත්‍රපටයයි. 1954 පෙබරවාරි 18 වැනිදා රීගල් සිනමාහලට පෙක් පැමිණියේ සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ගේ ඇරැයුමෙනි. විශාල රසික රසිකාවන් පිරිසකගේ උණුසුම් ඝෝෂා මැඩගෙන පිළිගැනීම් මත වේදිකාවට පැමිණි පෙක්ට මල්මාලාවක් පළඳා පිළීගනෙ ඇත්තේ සුජාතා ජයවර්ධන විසිනි. STARS OVER INDIA නම් ජර්මන් චිත්‍රපටයේද පසුව “දෙලොවක් අතර” චිත්‍රපටයේ ද රඟ පෑ සුජාතා, පෙක්ගේ හොඳම රසිකාවියක් වූවාය. සර් ගාඞ්නර් පෙක් වෙනුවෙන් ගෝල්ෆේස් හෝටලයේ හා තම නිවසේද බාල් නැටුම කිහිපයක් සංවිධානය කොට තිබුණි.


දිනපතා සවස පුවත්පතක (1954 පෙබරවාරි 19 සිකුරාදා) පෙක් රීගල් සිනමා හලට මෝටර් රථයෙන් බසිද්දී රැස් කකා සිටි කාන්තාවන්ගෙන් එකියක් වියරු වූ තැනැත්තියක් මෙන් ඔහු ඉදිරියට යාමට පොර කද්දී පොලිසිය ඇය නවතා දැමූ ඡායාරූපයක් පළවිය. එහෙත් ඒ ගැන කිසිත් සැලකිල්ලක් ග්‍රෙගරි පෙක් ගෙන් නොලැබීම නිසා අදහස් සුන්විමෙන් වියරුවූ තැතැන්තියක මෙන් ඈ දුක් සුසුම් හෙළන ඡායාරූප පළ වී තිබුණි. මේ පින්තූරවල ශීර්ෂ පාඨය වී තිබුණේ “ගෑනිට තරු පෙනෙන කොට...” යනුවෙනි.


එදා රත්මලාන ගුවන් තොටුපළේ තමාගේ අත්සන ලබාගැනීමට පොර කකා සිටි බාලිකාවන්ගෙන් පළමුවැන්නාගේ පෑන ගෙන අත්සන් කළ ග්‍රෙගරි පෙක් ආපසු පෑන දී ඇත්තේ වෙන බාලිකාවකටය. පසුව පෑන අයිති බාලිකාව තම පෑන ආපසු නොදීම ගැන ග්‍රෙගරි පෙක්ට කළ නෝක්කඩු ඔහුට සීගිරියේ දී අසන්නට ලැබිණ. කොළඹ ස්ටැන්මෝර් ක්‍රෙසන්ට්හි සී. පෙරේරා නමැති පෑන හිමි මේ බාලිකාවට ලිපියක් ලියු ග්‍රෙගරි පෙක් ඇගේ පෑනේ වර්ගය දන්වන ලෙස ඉල්ලා තිබේ. ඈට පෑනක් අරන් දෙන්නටද ඔහු එයින් පොරොන්දු වී ඇත. මේ ප්‍රවෘත්තිය 1954 ජනාවරි 10 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ 07 වෙනි පිටුවේ පළ වී තිබුණේ “ග්‍රෙගරි පෙක්ගෙන් දැරියකට පෑනක්” යන ශීර්ෂ පාඨයෙනි.

 

01-page6-S2-2

 


එම ප්‍රවෘත්තියේම සීගිරියේ රූගතවීම්වලට සහභාගි වූ ග්‍රෙගරි පෙක් පිළිගැනීමට මෙන් නොකඩවා වැස්සන කඩා හැළී ඇත. මේ නිසා රූගත කිරීම්ද කල්දැමීමට අධ්‍යක්ෂකට සිදුවිය.


“මෙහෙම වහින්නේ, අව්ව තියෙන ලංකාවට එන්න. යයි කියනවා නේද?” පෙක් රඟපෑමට පැමිණි කෙනෙකු ගෙන් අසා ඇත.


දවල් කෑම සඳහා තාවකාලිකව සාදන ලද මඩුවකට ගිය ග්‍රෙගරි පෙක්ට මුල්ලක දරණලා සිටි නයෙක් දක්නට ලැබිණ. ඌ පරීක්ෂා කළ ග්‍රෙගරි පෙක් අතේ තිබූ කුඩයෙන් උස්සා හොඳ හැටි බැලීය. මේ කුඩය ග්‍රෙගරිට ලැබී ඇත්තේ ලාංකික සිනමාලෝලයකු ගෙනි.

01-page6-S2-5
මේ අතර සීගිරියේ සිටි ග්‍රෙගරි පෙක්ට ලංකා ඉතිහාසය හා බෞද්ධාගම පිළිබඳව ලියු පොත් කියවීමට ආසාවක් ඇති විය. බෞද්ධාගම ගැන අවබෝධයක් ලබා ගැනීමට තමාට හැකිවුයේ බෞද්ධ ප්‍රභූ මහතෙකු සමග කළ සංවාදයක් නිසා බව මාධ්‍යවේදියකුට ඔහු පවසා ඇත. 1954 ජනවාරි 17 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ මේ ප්‍රවෘත්තිය පළ වී ඇත්තේ “ග්‍රෙගරි පෙක්ට බණ පොතක්” යන ශීර්ෂයෙනි.


ග්‍රෙගරි පෙක්ට සීගිරියේදීවත් සිනමා රසිකයන්ගෙන් ගැලවීමක් නොලැබී ඇති බව ඔහු ලන්ඩනයේ සිටි හිතවතුන්ට ලියා යවා තිබූ බව ලන්ඩනයේ සිටින ලංකාදීප ලියුම්කරු 1954 පෙබරවාරි 26 වෙනිදා “ටයිම්ස්” හා ලංකාදීප පත්‍රවලට වාර්තා කොට තිබුණේ “ග්‍රෙගරිපෙක්ට විවාහකයන්ගෙන් විවාහ යෝජනා” යන සිරස්තලයෙනි.


එහි මෙසේද සඳහන් වී තිබුණි.


“ඉතාම ළඟ තැපැල් කාර්යාලය පිහිටියේ සැතපුම් 5ක් ඈතිනි. එය ඉතා කුඩා එකකි. මා මෙහි සිටින්නේ සතියක් පමණ නමුත් තැපැල් සේවකයා තේ රාත්තල් 200කට වඩා උස්සා ගෙන වැනි වැනි අවුත් මට බාර දුන්නේය. මින්පසු ගෙවල්වලට ඒමට තිබු ආරාධනා 166කි. විවාහ යෝජනා 3කි. ඡායාරූප ඉල්ලා සිටි ලිපි 300 ගණනකි. මේ කැලේ දී අපට වැඩිපුර පුවත්පත් දකින්නට ලැබෙන්නේ නැහැයි මම දවසක් මගේ රසිකයකුට කිව්වා. පසුදා පටන් හැමදාම දවසකට පුවත්පත් රාශියක් අපේ කඳවුරට ලැබුණා.” ග්‍රෙගරි පෙක් ලන්ඩනයේ සිට ලියු ලිපියක එසේ සඳහන් කළ බව විශේෂ ලියුම්කරු වාර්තා කොට තිබුණි.


ධර්ම ශ්‍රී කුරුප්පු සංස්කරණය කළ “සිනමාලෝකය” නම් සිනමා සඟරාවේ 1954 මාර්තු කලාපයේ “ගිය මාසයේ රසවත් සිද්ධිය” පෙක්! පෙක්! පිස්සුව” මැයෙන් දෙහිවල ඩබ්ලිව්.කේ. සිරිසේන ලියූ කවි පෙළක තෝරා ගත් කවි තුනකි මේ.


රීගල් රඟහලට පෙක් එන පුවත    දැන
එහි ගිය සෙනග කොපමණ දැයි බලනු    මැන
ඒ නළුවාට හිටි අඩියෙම වසඟ    වන
දහසක් කතුන් විය මා මේ කියන    දින

අගනුවරම වසන දනපති තරුණිය    කි
පෙක් නැති සොවින් ඇය ඇවිදින ඇට    ගොඩකි
රීගල් ගොසින් ආ තැන් සිට හරි     ලෙඩකි
පෙක්! පෙක්! කියා ඇය ළත වෙයි    පුදුමයකි

තේ වතු රබර් වතු දායාදයට    දෙමි
ඔබ කැමති නම් මම හොලිවුඞ් එකට    එමි
මගේ මුළු සේසතම දීමට කැමති    වෙමි
යනුවෙන් යෝජනා විය තද කරන    බැමි

 

පෙක් පිස්සුව වැළඳුණු කොළඹ හතේ තරුණියන් හා වැඩිහිටි කාන්තාවන් ඔහු කොළඹ සිටියදී නවාතැන් ගත් ගෝල්ෆේස් හෝටලයට ගොස් ඔහු නිදා සිටි කාමරයේ ඇඳ පවා අත ගා බලා එය සිඹ සතුටු වූ බව තමා අසා ඇති බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මීට වසර 10කට පමණ පෙර අපට පවසා සිටියේ සිනාසෙමිනි.


ප්‍රකට කලා විචාරකයකු, කෙටිකතා රචකයකු හා පරිවර්තකයකු  වන දැනට ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින ඩී.බී. කුරුප්පු තම ජීවිතයේ මතක සටහන් ඇතුළත් කොට ලියූ “මග හොඳට නොතිබුණත්” කෘතියේ ග්‍රෙගරි පෙක් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට පැමිණි අපූරු ගමනක් මෙසේ සඳහන් කර ඇත.


“ග්‍රෙගරි පෙක් පේරාදෙණියේ සරසවියට සම්ප්‍රාප්ත වූයේ (1954) මා එහි සිටි අවදියේය. මා ඔහු දුටුවේ නැත. මෙම පිළිගැනීම අසන්නට ලැබුණු දෙයකි. එහිදි ඔහු ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයක් වූ හිල්ඩා ඔබේසේකර ශාලාවට ගියේය. එහි නේවාසිකයන් ඔහු පිළිගත්තේ එතැනට පය ගැසූ මොහොතේමය. නළුවා වට කරගත් තරුණියෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඉන් වසර පනහකට (2011) පසු මන්ත්‍රීන්  විසින් ජනප්‍රිය භික්ෂුන් වහන්සේ නමකට කරන්නට යන සංග්‍රහයට පුර්වාදර්ශයක් ඇති කළෝය. එහෙත් වෙනසක් ඇත. බරපතළ වෙනසක්. පසු කලක මන්ත්‍රීන් අතර හාමුදුරුවන්ට එම සංග්‍රහය කරන්නට ඉදිරිපත් වුයේ අනවශ්‍ය පරිදි කතා නායකවරයා වෙත පිය නගන මන්ත්‍රී හාමුදරු නමකට යන්නට ආ විට තරහටය. සරසවි සිද්ධිය ඊට හාත්වසින් වෙනස් චෙතනාවකින් කරන ලද්දකි. අර දැරියන් ග්‍රෙගරි පෙක්ට ඒ විදිහේ සංග්‍රහයක් කරන්නට සිතුවේ හුදු සෙනෙහසින්ය. උතුරා යන ආදරයකින් ය. හාමුදුරුවන්ට ඇති වූ ආකාරයේ වේදනාවක් නළුවාට ඇති නොවන්නටත් ඇත.”


බුරුමය හා සියමය පසුබිම් කර ගත් “දඹතැන්න” චිත්‍රපටයේ රූප ගත කිරිම් වැඩි කොටසක් සිදුව ඇත්තේ කොග්ගල පැරණි ගුවන් තොටුපල අසලදී හා සීගිරියෙන්ය. ආතර් රෑන්ක් සමාගම වෙනුවෙන් ජෝන් බ්‍රයන් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ රූප ගත කිරීම් සඳහා නිෂ්පාදක, අධ්‍යක්ෂ ඇතුළු පනස් ගණනක කණ්ඩායමක් ලංකාවට පැමිණි අතර 300 පමණ වූ ලාංකික පිරිසක් සීගිරියේ දී අපූරු නගරයක් නිර්මාණය කළහ. මේ චිත්‍රපටයේ ලංකාවේ කටයුතු සම්බන්ධීකරණය කළේ සිලෝන් ටුවර්ස් අධ්‍යක්ෂ පී.ඒ. එදිරිවීර ය.


1954 ජනවාරි 17 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මේ පිළිබඳව අගනා විශේෂාංගයක් ධර්මසිරි ජයකොඩි ලියා තිබුණේ “කුවේර භවනේ සිනමා නගරය” නමිනි. මේ ඔහු කළ විස්තරයකි.


“පොල් ගසක් පළාතකවත් නොතිබුණු නමුත් චිත්‍රපටයට පොල් ගසුත්, වුවමනා වූ බැවින් ඔවුහු පොල් ගස් සිට වූහ. පොල් පැල නොව පොල්ගස් පිටින් ඔවුහු වැවූහ. මෙසේ එක පොල් ගසක් විනාඩි ගණනක් ඇතුළත “වැවීමට” මිනිසුන් පනහක් හැටක් අවශ්‍ය විය. මෙසේ වැවුණු පොල්ගස් සිය ගණනක් එහි ඇත්තේය. පැරණි ගුවන් මග දෙපස කැලේ කපා ගාලු පාර වැනි පාරවල් 10ක් පමණ එකට තබන්නට හැකි විශාල දිග් බිම් තීරුවක් ඔවුහු නිර්මාණය කළහ. සීගිරි තානායමට සැතැපුම් දෙකක් පමණ ඈතින් පිහිටි විශාල දිග් බිම් තීරුවක, ඔවුහු බොජුන් සල් ඇති කළහ. හාල් තුනපහ පමණක් නොව, සිසිල්බීම, මද්‍ය බීම, වර්ගද එහි කලකට සෑහෙන ප්‍රමාණයක් තැන්පත් කළහ. මෙසේ මේ වන වැද කුඩා චිත්‍රපට නගරයක් බිහි විය. ග්‍රෙගරි පෙක් එහි සිටියේය. ඔහු දුටුවේ තමාට කවදාවත් පුරුදු ඔහුගේ නිවාසය වන ඇමෙරිකාවේ හොලිවුඞ් නගරයට වැඩි වෙනසක් නැති පුංචි හොලිවුඞ් නගරයකි.

 

01-page6-S2-1

 


පෙක් ලංකාවේ මාසයක් පමණ ගතකොට ඇත. ඒ කාලය තුළ ලංකාවේ විශේෂයෙන් තරුණ රසිකාවන්ගේ උණුසුම් සිහිවටනවලට අමතරව කොත්තමල්ලි ගෙන ගිය බව මාධ්‍යවේදියකුට කියා තිබුණි. වරක් ග්‍රෙගරි පෙක්ට බලවත් ලෙස සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳී තිබුණි. ඔහුට පෙන්සිලින් සොයා ගැනීමට බැරිව ලතවූ අවස්ථාවේ සිලෝන් ටුවර්ස්හි අධ්‍යක්ෂ පී.ඒ. එදිරිවීර මහතා සීගිරියේ සිටි සිංහල වෙද මහත්තයකු දුන් ඉඟුරු කොත්තමල්ලි පස් පංගුව බොන්නැයි දුන්නේය. එයින් ඉතා ඉක්මනින් පෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සුව වී ඇත.


“සෙම්ප්‍රතිශ්‍යාවට කොත්තමල්ලි හොඳ බෙහෙතක් බව දැන ගත්තේ ඔබේ රටේදී. කොත්තමල්ලි ඇමෙරිකාවේ තිබුණා නම් ඇමෙරිකානුවෝ ලක්ෂපතියෝ වෙනවා ඒකාන්තයි. මම ඇමෙරිකාවට යන කොට කොත්තමල්ලි ගෝනියක් අරන් යනවා. පෙක් මාධ්‍යවේදී ප්‍රෙමිල් රත්නායකට කියා තිබුණි. “ලංකාව දෙවියන්ගේ මල් උයන වගේ” ඔහු පවසා ඇත.


“දඹතැන්න” චිත්‍රපටයේ පෙක්, පෝස්ටර් නම් ප්‍රධාන චරිතය රඟ පෑ අතර ප්‍රධාන නිළිය වූ ඈනා ලෙස රඟපා ඇත්තේ බුරුම නිළියක් වූ මින් මින්තාන්ය. ඇය පසුව සිල් මාකාවක් වුවාය.


1954 මාර්තු 24 වැනිදා බොම්බායේ මෙට්රෝ තියටර්ස් හි පැවැති Filmfare සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙසට සහභාගි වීමට තිබුණේ “දඹතැන්න” චිත්‍රපටයේ රඟපෑම් කරන අතරය. එහෙත් ඔහුට නියමිත වේලාවට සහභාගිවීමට නොහැකි වුයේ සීගිරියේ සිට නියම වේලාවට රත්මලානේ ගුවන් තොටුපල වෙත ඒමට ප්‍රමාදවීම නිසාය.


එහෙත් එදින රාත්‍රී පැවැති Filmfare සම්මානලාභීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ඔහු සහභාගි වී ඇත. මේ සිද්ධිය Filmfare සඟරාව වාර්තා කොට තිබුණේ මෙසේය.


"Gregory Peck, Famous Hollywood Star who could not arrive in time from Ceylon for the awards presentation ceremony attended the dinner and was accorded a cordial welcom by all present, especialy the stars, evdrgone of whom was able to meet and talk with him."


පසු කලෙක ග්‍රෙගරි පෙක් රඟ පෑ Moby Dick, Guns of Navarone, Meckenna's Gold, The Omen යන චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය වීය. ශ්‍රී ලාංකික රසික රසිකාවන් මෙතරම් ආදරය කළ මෙහි මතක සටහන් රැසක් තැබූ පෙක් 2003 වසරේ ජූනි 12 වෙනිදා මිය ගියේය.

m



අදහස් (0)

හැට වසරකට පෙර අපේ තරුණියන්ට හැදුණු පෙක් - පෙක් පිස්සුව

රත්න Thursday, 06 October 2016 05:49 AM

අගනා ලිපියකි. (ම)

:       0       0

ටිහාන් Wednesday, 05 October 2016 04:57 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 66 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 399 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1020 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1512 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site