IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


හේතු නැති වැටුප් වැඩිවීම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව වෙත දෙන ලද ස්වාධීනත්වය (අව) භාවිත කරමින් නොබෝදා මහ බැකුව විසින් හිතුමතේ තම කාර්ය මණ්ඩලයේ වැටුප් අසම සම හා දැවැන්ත අකාරයෙන් වැඩිකර ගැනීම මුළු මහත් ජාතියම තුෂ්ණිම්භූත කරවීමට හේතු වූ සිද්ධියක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ මූලාශ්‍ර පවසන ආකාරයට එම වැටුප් වැඩිකර ගැනීමට හේතු වනුයේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතින් පවරා ඇති ස්වාධීනත්වයයි. ඒ අනුව සිය කාර්ය මණ්ඩලයට ඒකාබද්ධ අරමුදලෙන් නොගෙවන්නා වූ වේතන ගැන කිසිම  අයකුට ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැතිවීම බුද්ධි ගලනය පාලනය කිරීමට එම වැටුප් වැඩි කිරීම අවශ්‍ය වීම සහ අනෙක් මූල්‍ය ආයතනවල වැටුප් හා සම තත්වයට එම වැටුප් ගෙන ඒම ආදි කාරණා හේතුවී ඇත. එසේම වසර තුනකට වරක් එසේ වැටුප් වැඩි කිරීමට එකඟතාවක් තිබීම ද තවත් හේතුවකි.

මහ බැංකුවේ වැටුප් චක්‍රය අනුව,  රජයේ වාර්ෂික ආදායමට සියයට 50ක තරම් දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට  එම තනතුර අතහැර මහබැංකුවේ ලිපිකරු තනතුරකට පත්වීම  වඩා යෙහෙකි. එසේම අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ටත්, විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරීන්ටත් සිය තනතුරු අතහැර මහ බැංකුවේ අවම මට්ටමේ ලිපිකරු තනතුරකට පත්වීමක් ලබාගෙන දැනට වඩා වැඩි වැටුප් උපයාගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකාව මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ මෙකී අසාමාන්‍ය, සදාචාර විරෝධී වැටුප් වැඩි කර ගැනීම නිසා රටේ ජනයා මහත් වූ කම්පනයකට පත් වෙද්දී ඔවුන් තෙපලන නිදහසට කාරණා පසෙක තිබිය දී, අදුරදර්ශී දේශපාලකයන් මැඩ පවත්වා, දූෂණය පරදවා රට බංකොලොත් භාවයෙන් ගොඩ අදින්නට ඔවුන් (මහබැංකුව) තවමත් සමත් වී නැත.

ශ්‍රී ලංකා  මහ බැංකුවට නීත්‍යනුකූලව හෝ සදාචාරාත්මක ලෙස තම වැටුප් වැඩිකර ගැනීමේ අයිතියක් නැත.

අතීත හා වර්තමාන ආර්ථික අර්බුදයට සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව රහසක් නොවේ. රටේ මහජනතාව විඳින අසාමාන්‍ය දුක් කන්දරාවටත්, රටේ වර්තමාන බංකොලොත් භාවයටත් හේතු වන්නේ එයින් බලාපොරොත්තු වූ යුතුකම් හා වගකීම්  මහ බැංකුව ඉටු නොකිරීමය.

රටේ ඉහළම අධිකරණයෙන් 2023/11/14 දින දී ඇති තීන්දුව අනුව එය මොනවට පසක් වනු ඇත.

ඕනෑම රටක එහි මහ බැංකුවේ මූලික හා ප්‍රමුඛ අරමුණ වන්නේ රටේ පාරිභෝක මිල ගණන්වල ස්ථාවර භාවයත් මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවයත් පවත්වා ගැනීමය. මිල ස්ථාවරභාවය ආර්ථික වර්ධනයටත් සමස්ත යහපැවැත්මටත් තීරණාත්මක ලෙස බලපෑම් කරයි. උද්ධමනය සාමාන්‍ය මට්ටමින් පවත්වා ගැනීම ඔස්සේ වියදම් කිරීම හා ආයෝජන දිරිමත් කෙරෙන අතර අධි උද්ධමනයක් වෙතොත් එයින් ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධා වීමත් ක්‍රය ශක්තිය හීන කිරීමත්, (වියදම් කිරීමේ හැකියාව මොට කිරීම) අස්ථාවර භාවය ජනිත වීමත් අනිවාර්යයෙන්ම සිදුවේ.

මූල්‍ය ස්ථාවර භාවය, ආර්ථික වර්ධනයටත්, සමෘද්ධියටත් අතිශය වැදගත්ය. බැංකු කඩා වැටීම, වෙළෙඳපොළ බිඳ වැටීම වැනි ව්‍යවසන වළක්වාලීමට මහ බැංකුව කටයුතු කරනුයේ ඒ ඔස්සේ සිදුවන ආර්ථික අංශයේ බිඳ වැටීමකින් සමස්ත ක්‍රමය වළපල්ලට යා හැකි වන බැවිනි. පසු විපරම් කිරීම, මූල්‍ය ආයතන නියාමනය, පද්ධතියේ අවදානම් තත්වය පාලනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු  උදෙසා වූ ස්ථාවර වට පිටා ආරක්ෂා කිරීම ඊටම අයත් කාර්යය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම

ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප හා මානසිකත්වය නොදැන, ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුයයි, විස්තීරණ ණය පහසුකම් සපයන විට තමන් නියම කළේ ඇයි ද යන්න ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මවිත වී කල්පනා කරන බව මට හොඳ හැටි සහතිකය.

නිලධාරීන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ සියතට ගනිමින් නූගත් දේශපාලකයන් තීරණ ගන්නා විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක සංවර්ධනය උදෙසා මහ බැකුව ස්වාධීන කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සැපයීම උදෙසා නොබෝදා සම්මත කළ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතින් ප්‍රදානය කර ඇති ස්වාධීනත්වය උත්ප්‍රාසායට කාරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට වඩාත් අවශ්‍ය ස්වාධීනත්වය දේශපාලකයන් තුළත් මහජනතාව තුළත් එකසේ ඒ පිළිබඳව අසුබවාදී මතයක් ජනිත කරලීමයි.

මෙකී අමතර ස්වාධීනත්වයක් පැවරූ සැණින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබාගත් අසාමාන්‍ය වූත් භායානක වූත් වැටුප් වැඩි කර ගැනීමෙන් ජනිත කරන්නා වූ හැඟීම්  වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවකුට වග නොකියන රටේ නීතියට ඉහළින් වැජඹෙන ආයතනයක් ද යන්නයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම හා එහි ඇති සදාචාර විරෝධි බව

විචක්ෂණශීලී බව නිසාත් එහි ඉන්නා නිවුණු ගති ඇති අධිපතිවරයා හරහාත් මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව දිනාගත් මද විශ්වාසය (ඔහු වැටුප්  වැඩි කිරීම එකඟ නොවු බව වාර්තවේ) එක රැයින් උඩු යටිකුරුව ගියේය. වසර තුනකට වරක් වැටුප් වැඩි කිරීමේ එකඟතාව නාමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැටුප් වැඩිකර ගැනීමට ගත් සදාචාර  විරෝධි අත්තනෝමතික පියවර විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ඔස්සේ සමච්චලයට භාජන විය.

නීතිමය වශයෙන් නිවැරැදි දේ නිතරම සදාචාරාත්මක වශයෙන් නිවැරැදීවීම අවශ්‍ය නොවේ

නීත්‍යනුකූල පදනමින් නිවැරැදි යයි කියමින් 1983 දී පැවැත් වූ ජනමත විචාරණය සාධාරණීකරණ කරමින් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එකහෙළා කී දේ අදත් මගේ මතකයට එයි. එම ප්‍රකාශයෙන් ජනමාධ්‍යවේදියෝ තුෂ්නිම්භූතව ගියෝය.

ත්‍රෛවාර්ෂික එකඟතාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම නීත්‍යනුකූල වුවද එය සදාචාරාත්මකව නිවැරැදි නොවන බව කෘතහස්ත මහ බැංකු අධිපතිවරයාණන්ට මතක් කිරීමට බලාපොරොත්තු වෙමි. පහත සඳහන් කාරණා ඊට හේතුවෙයි.

ගැටලුවේ කොටසක් නම්:- මහ බැංකුව මේ වනවිට රට ඇද වැටී ඇති වළක්වාගත නොහැකි වූ ආර්ථික අර්බුදයේ පූර්ණ කොටස්කරුවෙකි. පසුගිය දශක හතේ දී ශ්‍රී ලංකා මහබැංකුව තමන්ට පැවරුණු රාජකාරි හරිහැටි ඉටු කළේ නම් කිසිවකු මීට විරුද්ධව වචනයකුදු නොකියනු ඇත. මෙවැනි වැටුප් වර්ධක බොහෝ රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික ආයතනවල අයද භුක්ති විඳින බැවින් එම නිසා මෙම වැටුප් වර්ධක අසාමාන්‍ය නොවන්නේය.

 

ස්වාධීනත්වය අවභාවිත කිරීම

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව ඊට ස්වාධීනත්වය පවරා ඇත්තේ ඊට ඇති ස්වාධීනත්වයේ නාමයෙන් තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමට නොව රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීමට, පාරිභෝගික මිල ස්ථාවරව පවත්වා ගැනීමට සහ වර්ධනයේ තුලිත භාවය ආරක්ෂා කර ගැනීමත් යන මූලික අරමුණ ඉටුකර ගැනීම සඳහාය. මෙකී මුග්ධ ස්වාධීනත්වය පැවරීම ගැන කනස්සල්ලෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වලිගය ගාත්‍රා අස්සේ රුවාගෙන බලා හිඳින බව මට සහතිකය.

 

වරප්‍රසාද අවභාවිතය

රටේ සංවර්ධනය උදෙසා මහ බැංකුවට විශේෂිත වූ රාජකාරි සහ ක්‍රියාකාරකම් පැවරී ඇති බව ඇත්තකි. එය සුබ වෘත්තියකටම හා වෘත්තිකයකුටම පොදු වූවකි. ඒක් එක් වෘත්තිකයන්ට සහ වෘත්තීය ප්‍රවීණයන්ට තමන් නැතිවම බැරි වෘත්තිකයන් සිටිතියි සිතන්නට විශේෂිත වූ තමන්ටම ආවේනික හේතු කාරණා තිබේ.

එවැනි වරප්‍රසාද තිබියදී යම් පුද්ගලයකුට හෝ ආයතනයකට, තමන් කිසිවකුට වග විස්තර කිරීමට බැඳී නැතැයි සිතීමට නීතියෙන් වරප්‍රසාද පැවරී නැත. අනෙක් අංශවලට අහිතකර ලෙස බලපාන තීරණ හිතුමතේ ගන්නට එවැනි පුද්ගලයන්ට හෝ ආයතනවලට නීතියේ වරප්‍රසාද පැවරෙන්නේ නැත.

මේ වනවිට තමන්ගේ සාමාජිකයන්ගේ වැටුප රුපියල් ලක්ෂයකින් නොව රුපියල් දස දහසකින් වැඩි විය යුතු යයි හඬ නගන වෘත්තීය සමිති මේ වනවිට මෙම වැටුප් වැඩි කිරීම ගැන අවදියෙන් පසුවේ. මෙවැනි වැටුප් වැඩි වීමක් ගෙවීමෙන් පාරිභෝගික මිල ස්ථාවරත්වය අස්ථාවරව ගොස් වැටුප් වැඩිවීමක් නොලබන ශ්‍රම බළකායේ ඵලදායි බවත් චිත්ත ධෛර්යයත් අකා මකා දැමෙනු නියතය.

 

බුද්ධි ගලනය

දේශපාලන බල අධිකාරියත් මහ බැංකුවේ නිලධාරී පැළැන්තියත්, ඒකාබද්ධව නිර්මාණය කළ ආර්ථික අර්බුදයට සහ බංකොළොත් භාවය කරන කොට ගෙන රට හැර යන්නේ මහ බැංකුවේ අති දක්ෂ නිලධාරීන් පමණක් නොවේ. වෘත්තිය තරාතිරම කුමක් හෝ වේවා ඕනෑම මනුෂ්‍යයකු රට හැර යා හැකි නම් රටින් පලා යන්නට උපරිම උත්සාහ දරනු නියතය. පසුගිය වසර කිහිපය තුළ ජීවිතාරක්ෂාව සපයන විශේෂඥයන් සහ වෛද්‍ය වෘත්තිකයන් සිය ගණන් සිය සමෘද්ධිය සොයා මෙරටින් ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ මහ  බැංකුවේ වැටුප් වැඩි කිරීම හේතු කොටගෙන රජයේ රෝහලක වෛද්‍යවරයකු ලබන වැටුපට වඩා වැටුපක්  මහ බැංකුවේ සාමාන්‍ය ලිපිකරුවකු ලබනු ඇත. එවැනි වැටුප් වැඩි කිරීමකින් ආදායම් විසමතාව උත්සන්න වී මෙම තර්කය අනෙකුත් නිපුණ හා නිපුණ නොවූ ශ්‍රමිකයන්ට ද බලපෑම කරනු නියතය. එම නිසා එක් අංශයක ඇති කරන සාධාරණ හේතු විරහිත වැටුප් වැඩිකිරීම විසඳුමකට වඩා ගැටලු රාශියක් මතුකරවන්නක් වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු පනත ඔස්සේ ස්වාධීනත්වය ලද විගස මාස දෙකක් තුළ කරන අසාමාන්‍ය වැටුප් වැඩි කර ගැනීමකින් ශ්‍රී ලංකා මහ බැංකුව ලෝකයාට වැරැදි සංඥාවක් දෙනු ඇත. මහ බැංකුව ද කොටස් කරුවකු වූ රටේ ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය කරණකොටගෙන සිදුවූ ණය ප්‍රතිව්‍යුගත කරන වැඩසටහනේ එකඟ වූ අකාරයට සිය බැඳුම්කර  සඳහා කල් පිරුණු  කාලය ඒවාට ගෙවිය යුතු මුදල් ලබා ගැනීමට හිමිකම් ඇති විදේශීය ස්වෛරී බැඳුම්කර හිමියන් සහ දේශීය ණය හිමියන් මේ දෙස අවදියෙන් බලා හිඳිනු ඇත.

රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිව යුතු අයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව වැටුප් වැඩිකර ගනිමින් කළ හිතුවක්කාර තීරණයේ වගකීම අධිකරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ  වෙත ද පැවරේ. නව පනත තුළ ශ්‍රී ලංකා බැංකුවට ස්වාධීනත්වය හිමිවීම ගැන හෙතෙම පසුතැවිලි වූයේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හිමිව තිබූ ශ්‍රී ලංකාවේ අවසාන ආණ්ඩුකාරවරයා කී ප්‍රකාශයකින්  මගේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව සිය නීතිමය පාලනය සඳහා නිදහස ලැබීමට තරම් (පරිණත වී) මෝරා නැතැයි හෙතෙම කියා සිටියේය.

එම කියමන සත්‍ය නම් ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් ගත වූ තැනක් තම ස්වාධීනත්වය ධනාත්මක ලෙස ඉවහල් කර ගැනීමට තරම් මෝරා නැතැයි කියන්නට මම බිය නොවෙමි. රටේ සමෘද්ධිමත්භාවය නිරන්තරයෙන් කඩා වැටීමත්, වළපල්ලට යෑමත් උදෙසා දේශපාලකයන් ජන්දයෙන් පත් වූවන් හා රාජ්‍ය නිලධාරීන් සියල්ලම වගකිව යුතුය.

 

(***)
2024 මාර්තු 11 වැනිදා Daily FT පත්‍රයේ පළ වූ
Amazing Salary hike for CBSL: Abusing the Privilege to fill one's own Plate?
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (6)

හේතු නැති වැටුප් වැඩිවීම්

ලුම්බිණි Wednesday, 20 March 2024 09:21 AM

සම්පුර්ණ එකඟයි.

:       4       6

Nanda K Rohana Wednesday, 20 March 2024 10:53 AM

මෙම ලිපියේ බොහෝ අදහස් හා එකඟ ‌වියහැක. ශ්‍රී ලංකා‌වේ ආර්ථික අර්බුදය හා බංකොලොත් භාවයට මහ බැංකු අනිාර්යයෙන්ම වග කිව යුතුය. එයට එක් හේතුක් වනුයේ රටේ මුදල් ප්‍රතිපත්තිය හා මුල්‍ය ප්‍රතිපත්තිය යන දෙකම පසුගිය දශක 3 කට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් වීමය. පසුගිය දශක කිහිපයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන ලද ආචාර්ය පී.බී.ජයසුදර මහතා, එස්.ආර්.ආටිගල මහතා මෙන්ම දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිර්ධන මහතාද මහ බැංකු සේකයන්ය. ඒ අනුව පසුගිය කාලය පුරාම මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය යන දෙකම පාලනය කර ඇත්තේ මහ බැංකවේ බලපෑම මත ‌බව පැහැදිළිවේ. අපට පසුගිය කාලයේ ඇති අත්දැකීම් වනුයේ මැතිරණයක් ආසන්න වන විට ලංකාවේ මිල මට්ටම්, විදේශ විනිමය හුවමාරු අනුපාත, සේවා වියුක්තිය ආදී ආර්ථික දර්ශක යහපත් වන බවයි. ඒ අනුව පෙනී යන්නේ මෙම ආයතන ස්වාධීනව කටයුතු කළ බවද? දැන් මහ බැංකව ස්වාධීන කර ඇත. මැතිවරණ සමයක් එළඹෙමින් තිබේ. ආර්ථික දර්ශක වෙනදා මෙන්ම යහපත් වීම අරඹා ඇත. මේ න විට ඩොලරය රපියල් 300 දක්වා පහළ ගොසිනි. එසේ සිදවන්නේ මහ බැංකු ස්වාධීන කළ නිසාද? මහජනතාවට පැනයකි

:       3       11

රෝහිත Wednesday, 20 March 2024 10:56 AM

ලොකුම විහිලුව නම් මහ බැංකුවෙන් පඩි ගන්නා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමාගේ පඩිය වැඩි වන අතරවාරයේ රජයේ අනෙකුත් සේවකයන්ට පටි තදකරගැනීමට චක්‍ර ලේඛ ගැසීමයි.

:       3       10

Chaminda Thursday, 21 March 2024 05:27 PM

ඒ වගේම අකුරට ආදායම් බදු එකතු කරලා රාජ්‍ය ආදායම ඉහළ නංවා... දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශ්‍රාම ගිහිනුත් මේ වගේ අක්‍රමිකතා ගැන ජනතාව දැනුවත් කරන එක කොච්චර වටිනවාද?

:       0       3

harshaFriday, 22 March 2024 05:38 PM

ඒක නම් සහතික ඇත්ත. ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට අවන්කව බදු එකතු කළා නම් මේ විදියට ටැක්ස් වැඩිකරන්න වෙන්නේ නෑ. බන්කොලොත් භාවයට ඔය වංචනික නිලධාරිනුත් වගකියන්න ඕනෑ. දේශපාලකයින්ට විතරක් බැනලා වැඩක් නෑ. කොච්චර ටැක්ස් රෙගියුලේශන්ස් ගෙනාවත් වැඩක් නෑ මේ කපේදී ඕක හදන්න බෑ.. ඔය හොර නිලධාරි සෙට් එක සහ හොරකම් කරන්න පුළුවන් හිල් වහන තුරාවට ලංකාවේ නම් හරියට ටැක්ස් එකතු කරන්න බෑ...

:       0       3

Mo77 Wednesday, 27 March 2024 03:28 PM

මහ බැංකුව අධිපති අවුරුදු 40ක් මා බැංකුව වැඩ කරපු කෙනෙක්. භාණ්ඩාගාරික ලේකමුත් අවුරුදු හතළිහක් විතර මහ බැංකුවේ වැඩ කරපු කෙනෙක්. ඔය මහා බැංකු ඉහළ පුටුවල වැඩ කරන කට්ටියේ දක්ෂතාවය සහ කාර්යක්ෂමතාවය පේනවා රට බංකොලොත් වීමෙන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 114 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 414 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 122 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 120 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 296 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 567 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site