අද මෙම තීරයෙන් හඳුන්වන කතා නායකයා නෙල්සන් මැන්ඩෙලාය. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයාය. නොබෙල් සාම ත්‍යාගය, ලෙනින් අභිනන්දන පදක්කම ප්‍රමුඛ විශිෂ්ට සම්මාන 250කට අධික සංඛ්‍යාවක් උරුම කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයාය. 76 වියේදී ජනපති පදවියට පත්වී, 81 වියේදී ජනපති පදවියට ආයුබෝවන් කීයා 95 වැනි සැතපුම් කණුව පසු කරද්දී දිවියෙන් සමුගත් නෙල්සන් මැන්ඩෙලාය.
ඉන්දියාවේ මහත්මා ගාන්ධි මෙන් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාද අහිංසා වාදය පෙරදැරි කොටගෙන ජීවිතයට මුහුණ දුන් ජන නායකයෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ජනපති ධූරයෙහි වැඩ භාර ගනිමින් ජනතාව හමුවෙහි කියා සිටියේ තමාද මහත්මා ගාන්ධි හා නෙල්සන් මැන්ඩෙලා යන ශ්‍රේෂ්ඨයන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවය.
දකුණු අප්‍රිකාවේ අති බහුතරයක් වූ කළු ජාතිකයන්ගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර, සුදු ජාතික පාලකයන්ගේ ක්‍රෝධයට වෛරයට හා විරෝධයට පාත්‍ර වූ නෙල්සන් මැන්ඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූයේ 1962 වසරේදීය. ඔහු වසර 27ක් බන්ධනාගාරයේ ගත කළේය. 1990 වසරේ රොබෙන් දූපතේ (Robben Island) සිරගෙදරින් නිදහස ලබන විට ඔහුගේ වයස අවුරුදු 72කි. එදා දකුණු අප්‍රිකාව පාලනය කළ සුදු ජාතික පාලකයන් සිතුවේ එවකට 72 හැවිරිදි මහලු තැනැත්තෙකුවූ මැන්ඩෙලා දේශපාලනයට අවතීර්ණ නොවනු ඇත යන්නය.
1994 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වූ මහ මැතිවරණයට ඉදිරිපත් වූ නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට ජයක් ලැබ ජනපති පදවියට පත්වීම එතෙක් පාලනය රඳවා ගෙන සිටි මෙම සුදු ජාතික පාලකයන්ගේ ඉමහත් විමතියට හේතුවක් විය. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලබන්නේ එරට ජාතියේ පියා (Father of the Nation) වශයෙනි.
අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය තුළින් ජීවිතයට මුහුණ දුන් ඔහු බලලෝභී පාලකයෙකු නොවන බව ලෝකයට පෙන්වා දුන්නේය. තමාට යළිත් විශිෂ්ට ජයක් අත්පත් වන බව දැන දැනම තම ධූර කාලය අවසන් වූ පසු මැතිවරණයට ඉදිරිපත් නොවී 1999 ජුනි 14 දා ඔහු දේශපාලනයෙන් සමුගත්තේය. අල්ලස, දූෂණය, වංචාව, නාස්තිය පිටු දකිමින්, පවුල් වාදය තුරන් කරමින්, අශීලාචාරත්වයට එරෙහි වෙමින් ශීලාචාර පාලනයකට මඟ පාදමින් ඔහු දකුණු අප්‍රිකාවට ඉමහත් සේවයක් කළේය. 2013 දෙසැම්බර් 5දා රෝහලකදී ඔහු අවසන් හුස්ම හෙළද්දී මුළු දකුණු අප්‍රිකාවම හඬා වැලපුණේ ඒ නිසාය.
මානුෂික නිදහස තකා මුළු දිවියම කැප කළ මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ ජීවිත කතාව හෝ ඔහු සිදුකළ විමුක්ති අරගලය පිළිබඳ කතාන්දරය දිග හැරීම මගේ අරමුණ නොවේ. ඔහුගේ ජීවිතයේ අභ්‍යන්තර තොරතුරු, එහි රසමුසු තැන්, පෙම් සබඳතා මෙන්ම විවාහ දිවියේ විස්තර හාරා ඇවිස්සීම මගේ අරමුණයි. විශිෂ්ට ජන නායකයෙකු වුවත් ඔහුද පෘතග්ජන පුද්ගලයෙකු බව මෙහිදී සඳහන් කළ යුතුමය.
කළු ජාතිකයන්ගේ විමුක්ති අරගලයට උර දුන් නෙල්සන් මැන්ඩෙලා ගිය ගමන රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. කඳු හෙල්, වන ලැහැබ්, ගිරිදුර්ග තරණය කරමින් ගිය අතිශයින්ම දුෂ්කරවූ ගමනකි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ කරුණු තවමත් අප්‍රකටය. අප්‍රිකා ජාතික සංගමය (African National Congress) තුළින් තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසීම ඔහුගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයකි.
1943 වර්ෂය වන විට නෙල්සන් 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ තරුණ සිතට ආලය ආදරය ඇතුළු වූ අවධියයි ඒ. තම ඥාතියකු මාර්ගයෙන් හඳුනාගත් 21 හැවිරිදි එව්ලින් එවිට සේවය කළේ හෙදියක වශයෙනි. තරුණ නර්ස් (Nurse) ඔහුට යෞවනයේ මිහිර ලබා දුන්නාය. නෙල්සන් - එව්ලින් ආදර කතාව ඇරඹෙන්නේ මෙසේය. නීතීඥ නෙල්සන් රෝහල් හෙදියක වූ එව්ලින් තරුණිය සමඟ ඇති කරගත් සබඳතාව රස ගුලාවකි. ඔවුහු පැතුම් විමනක නිමග්න වූහ.
බාධාවකින් තොරව මේ තරුණ යුවළගේ ආදර නදිය ගලා ගියේය. ප්‍රේමය නැතහොත් ආලය තරම් සොඳුරු දෙයක් මිහිතලය මත නැති බව තරුණ නෙල්සන් මැන්ඩෙලාගේ හදවතට දැනුණේය. දේශපාලනයත්, දකුණු අප්‍රිකානුවන්ගේ විමුක්ති අරගලයත්, සුදු පාලකයන්ගේ යකඩ සපත්තුවත්, නීතීඥ වෘත්තියත් ආදී මෙකී නොකී දහසකුත් වැඩ රාජකාරි අස්සේ මේ තරුණයා ආලයෙන් මුසපත් විය. දෙහදකට මිහිරියාව ඇති කළ මේ ආදර කතාව වඩාත් විසිතුරු වූයේ දෙදෙනා 1944 වසරේදී විවාහ දිවියට ඇතුළත් වීමෙනි.
නර්ස් වරියක් වූ නෙල්සන්ගේ ප්‍රථම බිරිඳවූ එව්ලින් මේස් (Evelyn Mase) දැඩි ආගමික මතවාදී කාන්තාවකි. ඇය ජෙහෝවා විට්නස් (Jehovas witness) නැමති දැඩි ආගම්වාදී සංවිධානයක ප්‍රබල සාමාජිකාවක වූවාය. නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකන් නැෂනල් කොන්ග්‍රසයේ දේශපාලන කටයුතුවල නිරත වෙද්දී ඔහුගේ බිරිඳ ඊට හාත්පසින්ම වෙනස් මඟක ගමන් ගත් ආගමික කල්ලියකට දායක වීම තුළින් දෙදෙනාගේ පවුල් ජීවිතය දෙදරා යන්නට පටන් ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් මේ දෙදෙනාගේ කැදැල්ලට දරුවෝ සිව් දෙනෙකුද ඇතුළත් වූහ. දෙදෙනාගේ විවාහය පැවතියේ අවුරුදු 14ක් පමණකි. 1958 වර්ෂයේදී නෙල්සන් මැන්ඩෙලා තම මුල් බිරිඳවූ එව්ලින්ගෙන් දික්කසාද විය. බිරිඳගෙන් වෙන්වූවත් ළමයින්ගේ සියලු කටයුතු තම කරට ගත් නෙල්සන් පියෙකුගෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටු කළේය.
සැමියා පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නිරත වීම නොඉවසූ එව්ලින් ඔහුට දේශපාලනයෙන් ඉවත් වන ලෙසට බල කළේය. බිරිඳ දැඩි ආගමික මතවාදයකට ගොදුරු වී එම කටයුතුවලට ඇලී-ගැලී සිටීම නෙල්සන් අනුමත කළේද නැත. දෙදෙනා අතර මේ නොගැළපීම දික්කසාදයකින් කෙළවර වූයේ මේ නිසාය. නෙල්සන් මැන්ඩෙලා දූපතක සිර මැදිරයක යකඩ කූරු අතරේ හිරවී සිටියදී ලියූ “නිදහස තකා ගිය දුර ගමන” (Long walk to Freedom) යන ග්‍රන්ථයෙහි තම ප්‍රථම විවාහයේ නොගැළපීම් පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත්ය.
විනී (Winnie) නෙල්සන් මැන්ඩෙලාගේ දෙවැනි පෙම්වතිය හා දෙවැනි බිරිඳයි. නෙල්සන් මැන්ඩෙලාට විනී මදිකිසෙලා (Winnie Madikizela) හමුවන්නේ දේශපාලන වේදිකාවේදීය. ඒ 1958 වර්ෂයේදීය. නෙල්සන් තම මුල් බිරිඳගෙන් වෙන්වී තනිකඩයකු බවට පත්වූයේද එම වර්ෂයේදීය. ඒ වනවිට නෙල්සන්ගේ වයස අවුරුදු 40කි. විනීගේ වයස යාන්තම් අවුරුදු 22කි.
අප්‍රිකා නැෂනල් කොන්ග්‍රස් දේශපාලන ව්‍යාපාරයේ පතාක යෝධයෙක් වශයෙන් ඒ වනවිට නෙල්සන් කටයුතු කළේය. විනී එම දේශපාලන ව්‍යාපාරයේම කාන්තා සංවිධානයේ මුල් පුටුව හෙබවීම තුළින් දෙදෙනා අතර මිතුදමක් වර්ධනය වීමට මාර්ගය පෑදුණේය. මැදිවියේ පසුවූ නෙල්සන් තරුණ නීතීඥයා නැතහොත් මුළු රටම කතාවෙන් වසඟයට පත්කර ගත් දේශපාලකයා, විනී තරුණිය වෙත ඇදී ගියේ පැතුම් ගොන්නක් හදවතේ තුරුලු කරගෙනය.
එම වසරේම (1958) විනී සමඟ නෙල්සන් විවාහ වීම ඔහුගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. දෙවන වරට තමා සිදු කරගත්තේ ගැළපෙන විවාහයක් බව නෙල්සන් අවබෝධ කරගත්තේය. ඊට හේතුව මේ යුවතිපති දෙපලම එකම දේශපාලන මතවාදයක් දැරීමයි. දෙදෙනාම පූර්ණ කාලීනව දේශපාලනයට කැපවීමයි. දෙදෙනාම දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ මානුෂික අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීමයි. තම නිජ භූමියේ ඇති සම්පත් සුදු ජාතික පාලකයන් විසින් සූරාකමින්, කොල්ලකමින් රටට සිදු කරනු ලබන විපතට, හානියට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම මේ දෙපලගේ කාර්ය භාරය විය.
කාලය සෙමින් ගෙවී යද්දී ඔව්හු දියණියන් දෙදෙනෙකුගේ මව්පියෝ බවට පත්වූහ. නෙල්සන් හා විනී අතර විවාහය සිදුවී ගතවූයේ අවුරුදු 4කි. සුදු ජාතීන්ගේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ජනතා උද්ඝෝෂණ සංවිධාන කිරීම, නිදහස් අරගලය ආරම්භ කිරීම, මානව අයිතීන් වෙනුවෙන් හඬ නැඟීම, පතල් කම්කරුවන් වෙනුවෙන් වීදි බැසීම, කළු ජාතික සටනට පණපෙවීම ආදී චෝදනා රාශියක් යටතේ 1962 වසරේදී නෙල්සන් මැන්ඩෙලා අත් අඩංගුවට ගන්නා ලදී. ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවතිණි. මෙම නඩු විභාගයේදී නීතීඥයකු වශයෙන් පෙනී සිටීමට සිදු වූයේ ද නීතීඥ නෙල්සන් මැන්ඩෙලාටය.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්විය. නඩු තීන්දුව වූයේ නෙල්සන් මැන්ඩෙලාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වීමයි. ඒ වන විට 44 වියේ පසුවූ නෙල්සන් මුලින්ම යවන ලද්දේ රොබෙන් දූපතේ සිරගෙයටය. විනී මැන්ඩෙලා නෙල්සන් සමඟ විවාහ වී වසර 4ක් ගතවූ පසු දියණියන් දෙදෙනා සමඟ තනිවුණේ මෙසේය. ඊට හරියටම වසර 27කට පසු එනම් 1990 වර්ෂයේදී නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් කරන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 72කි.
සිරෙන් නිදහස් වී පැමිණි නෙල්සන් තම දෙවැනි බිරිඳ වූ විනී සමඟ යළිත් එකම වහලක් යට නව දිවියක් ඇරඹුවේය. විනී සමඟ දේශපාලන වේදිකාවට නැග්ගේය. වසර 27කට පෙර අරඹා තිබූ සටනට යළි පණ දුන්නේය. විනී ඔහුගේ සෙවණැල්ල බඳු විය. විනී දකුණු අප්‍රිකාවේ කාන්තාවන් ඒකරාශී කරද්දී නෙල්සන් මැන්ඩෙලා මුළු රටම තමා වටා ඒකරාශී කිරීමට ක්‍රියා කළේය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1994 මැයි 10 දා මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ නෙල්සන් මැන්ඩෙලා නැමති මේ අහිංසාවාදී යුග පුරුෂයා දකුණු අප්‍රිකාවේ ජනාධිපති තනතුර භාර ගත්තේය. එය අශිෂ්ටත්වය අබිබවා ශිෂ්ටත්වය ජය කෙහෙළි නැංවූ විජයග්‍රහණයකි. ඔහුට මුළු ලෝකයේම පාලකයන්ගේ ආශිර්වාදය හිමිවිය.
ඔහුගේ දෙවැනි විවාහය දෙදරා ගියේ ඔහු ජනපති පදවියට පත්වී වසර 2කිනි. එනම් 1996 වසරේදීය. විනී මැන්ඩෙලා තම විරුද්ධවාදීන් මර්ධනය කිරීමට බලය අයුතු ලෙස යෙදවීම නෙල්සන් අනුමත කළේ නැත. නෙල්සන් කිසි විටෙක දේශපාලන විරුද්ධවාදීන්ට අපහාස, උපහාස නොකළේය. හැම ප්‍රශ්නයක්ම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමයෙන් විසඳා ගැනීමට ක්‍රියා කළේය. හැම ඉල්ලීමකට සාධාරණව ඇහුම්කන් දුන්නේය. බලය තාවකාලික බව අනිකුත් දේශපාලකයන්ට කියා දුන්නේය. එහෙත් විනී මැන්ඩෙලා මීට හාත්පසින්ම වෙනස් මාර්ගයක ගමන් කිරීම නෙල්සන් මැන්ඩෙලා පිටු දැක්කේය. ඇය විරුද්ධ වාදීන් මෙල්ල කිරීමට භීෂණකාරි ක්‍රියාවල නිරත වූවාය. ඇයට දූෂණ චෝදනාද එල්ල විය.
මේ කටයුතු හමුවෙහි නෙල්සන් ඇස්කන් පියාගෙන සිටියේ නැත. මුලින්ම විනීගෙන් වෙන්වුණු නෙල්සන් 1996 මාර්තු 19 දා ඇයගෙන් දික්කසාද විය. එවිට ඇයගේ වයස අවුරුදු 60කි. නෙල්සන්ගේ වයස අවුරුදු 78කි. නෙල්සන් රාජ්‍ය පාලන කටයුතුවලට පවුල්වල ඥාතීන් සම්බන්ධ කර නොගැනීම ඔහුගේ විශිෂ්ටත්වය කියාපාන්නකි. මුළු ලොවම ඔහුට ගරු කළේ ඔහු තුළ පැවති සරල ගති පැවතුම් නිසාය. ඔහු බලයෙන් හිස උදුම්මා ගත් පාලකයෙක් නොවීය.
ඔහු ළමයින් හය දෙනෙකුගේ පියෙකු වුවත් එම දරුවන්ට තම තනතුර ආභරණයක් බවට පත්කර ගැනීමට ඉඩ දුන්නේ නැත. තනතුර අනුසාරයෙන් ඔවුන්ට යස ඉසුරු මවාපෑමට උත්සාහ කළේ නැත. ලොව බොහෝ පාලකයන් හා නෙල්සන් මැන්ඩෙලා අතර වෙනස මෙයයි.
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය දරද්දීම නෙල්සන් මැන්ඩෙලා 3වැනි වරටත් විවාහ දිවියට ඇතුළු වීම ඔහුගේ ජීවිතයේ අවසාන පිම්ම වශයෙන් හැඳින්විය හැකිය. එය සිදුවූයේ ඔහු 80 වැනි වියට පත්වූ 1998 වර්ෂයේ ජූලි 18 දාය. මෙවර ඔහුගේ අතගත්තේ මොසම්බියාවේ (Mozambia) හිටපු ජනාධිපතිගේ බිරිඳ වූ ග්‍රාසා මැචෙල්ය (Graca Machel). ඒ වනවිට ඇය 53 වියේ පසුවූවාය. රටවල් දෙකක ෆස්ට් ලේඩි (First Lady) හෙවත් ප්‍රථම කාන්තාව බවට පත්වූ එකම කාන්තාව ඇයයි. 1975 සිට 1986 දක්වා මොසම්බියාවේ ජනපති පදවිය දැරූ සමිරා මැචෙල් (Samira Machel) ඇයගේ මුල් සැමියාය. 1986 දී ඔහු ගුවන් අනතුරකින් මිය යාමෙන් පසු ඇය වැන්දඹුවක බවට පත්ව සිටියාය.
මොසම්බියාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේ ළමයින්ගේ සුබසාධනය තකා එ.ජා. ජගත් සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානය සමඟ ඉමහත් කාර්ය භාරයක් ඉටුකළ මහාචාර්යවරියකි. ඇය කේප් ටවුන් විශ්වවිද්‍යාලය ඇතුළු සරසවි කීපයකම උප කුලපති තනතුර දැරූ සමාජ සේවිකාවකි. මහලු නෙල්සන් මැන්ඩෙලාගේ සිත ඇය කෙරෙහි ආකර්ෂණය වූයේ ඔහුටත් නොදැනුවත්වමය. ආදරයට සීමා මායිම්, වයස් සීමාවක් නැතැයි කියන එක සැබෑ කරමින් මේ දෙදෙනා එකම වහලක් යට විවාහ දිවිය ආරම්භ කළහ.
මෙය ලෝක ජනමාධ්‍යයන්ට ප්‍රධාන පුවතක් විය. ඇය 1998 ජුලි 18 දා සිට 1999 ජුනි 14 දා තෙක් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කාන්තාව (First Lady) හෙවත් ජනාධිපතිගේ බිරිඳ බවට පත්වුණේ මෙසේය. 2013 දෙසැම්බර් 5 දා නෙල්සන් මැන්ඩෙලා මියයන තෙක් ඔහු සමඟ සෙවණැල්ලක් මෙන් සිටියේ ඇයයි.
අප්‍රිකාවේ අනාථ වූ ළමා පරපුරේ උන්නතිය තකා ඉමහත් මෙහෙවරක් ඉටු කරන ඇය යුනෙස්කෝ Decade Child Hero වශයෙන් 2005 දී ලෝක ළමා ත්‍යාගය (World Childrens prize) හිමිකරගත්තාය. එමෙන්ම උතුරු දකුණු ත්‍යාගය (North south prize) සහ නැන්සන් (Nansen) පදක්කම ලබා ගැනීමටද ඇය සමත් වූවාය. මේ අනුව නෙල්සන් මැන්ඩෙලා තම තුන්වැනි බිරිඳ වශයෙන් සුදුසුම තැනැත්තිය තෝරා ගෙන ඇති බව පැහැදිලිය.
ඔහුගේ දෙවැනි බිරිය වූ විනී මැන්ඩෙලා තවමත් දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරියකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙදියගේ අත ගත් අප්‍රිකාවේ වීරයා
නිලංකා Thursday, 03 March 2016 04:02 AM
හොඳ ලිපියක්. බොහොම රසවත් (ම)
පහන් Friday, 04 March 2016 07:46 AM
සුද්දෝ කියපු විදිහට කල්ලන්ට විරුද්ධ වුණා. ගාන්ධිත් එහෙමයි. ගාන්ධි කිව්වේ මේ කම්මුලට ගැහුවොත් අනිකත් අල්ලන්න කියලා. ඒත් ඉන්දියාවෙන් බිහිවුණා විශිෂ්ට මිනිසෙක්. සුභාෂ් චන්ද්‍රබෝෂ් මේ කම්මුලට ගැහුවොත් ගහපු එකාට කණ කුඩුවෙන්න ගහන්න කියලා තමයි කිව්වේ. ඉන්දියන් අය ඉන්නවා නම් අහලා බලන්න කවුද වීරයා කියලා, කාටද එයාලා කැමති කියලා (නි)
උදය Thursday, 03 March 2016 06:57 AM
ජීවිතය කටුකයි. නමුත් සුන්දරී. බොහොම රසවත් ලිපියක්.(ම)
අබේරත්න Tuesday, 08 March 2016 05:20 AM
ඉන්දියන් කාරයින්ගේ හදවතේ වීරයා සුභාෂ් චන්ද්‍රබෝෂ් ,එ්ත් සුද්දෝ ඔහුට කැමති නැහැ. සුභාෂ් එංගලන්තයට එරෙහිව (එංගලන්තයේ උගත්තත් )ජපනුන්ට පක්ෂව ක්‍රියාකාරීව සිටි කෙනෙක්. රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දරුණු විදියට ඉදිරියට ගියකෙනෙක්. මහත්මා ගාන්ධි ක්‍රියා කළේ අවිහිංසාව පෙරට දමාගෙනයි . දෙදෙනාම ඉන්දියානුවන්ගේ හදවත්වල ජීවත් වෙනවා. (බ)