ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ වැනි එම පක්ෂය හා ඉතා සමීපව කටයුතු කළ ඇතැම් පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය පෙරළා දමා පොදුජන පෙරමුණ නායකත්වය දරන ආණ්ඩුවේ සුජාතභාවය දැඩි අභියෝගයට ලක් කළ මහජන නැගිටීම හෙළා දැකීමටත් එය භයානක සංසිද්ධියක් ලෙස ගෙනහැර දක්වන්නටත් මේ දිනවල ප්‍රබල උත්සාහයක් දරමින් සිටිති.
ලක්ෂ ගණනක ජනතාවගේ සහභාගිත්වයෙන් සිදුවූ එම නැගිටීම අතරතුර ප්‍රචණ්ඩ හා හෙළා දැකිය යුතු සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. මෙම සිදුවීම් උපයෝගී කරගෙන මෙම පක්ෂ සමස්ත නැගිටීමම ත්‍රස්තවාදයක් ලෙස ගෙනහැර දක්වන්නට උත්සාහ කරති.
අරගලය යනුවෙන් පොදුවේ හඳුන්වනු ලැබූ එම ජනතා නැඟිටීමෙන් අන් සෑම කෙනකුටම වඩා විශාලම පෞද්ගලික ලාභය ලැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුව අරගලයේ නිරත වූ ඇතැම් කණ්ඩායම් හැඳින්වීමට ෆැසිස්ට් යන පදය උපයෝගී කර ගත්තේය.
මේ දිනවල ජනමාධ්‍යවල පළවන ප්‍රවෘත්තිවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් අරගලයේ නිරත වූ පිරිස් වෙත එල්ල වන මර්දනය සම්බන්ධයෙන් වෙන්වී ඇත. එම සිදුවීම් ජාත්‍යන්තර අවධානයටද ලක්වී තිබේ. ආණ්ඩුවේ දේශපාලනඥයන්ද ජනතාව විශාල අගාධයකට ඇද දැමූ ආර්ථික අර්බුදයට දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් දක්වන උනන්දුවට වඩා මෙම සිදුවීම් සාධාරණීකරණය කරන්නට උනන්දුවක් දක්වන බව පෙනේ.
කෘෂිකර්මය විනාශ කළ කර්මාන්ත, අධ්‍යාපන, ගමනා ගමන, සෞඛ්‍ය සේවා ආදී ජනජීවිතයට අතිශයින්ම වැදගත් සියලු ක්ෂේත්‍ර අවුල් ජලාවක් බවට පත් කළ මෙම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නන් හා නියෝජනය කළවුන් වශයෙන් කිසිදු දේශපාලනඥයකු තුළ වරදකාරී හැඟීමක් ඇති බවද නොපෙනේ. ජනතාව පාරට බැස්සේ තමන්ගේ ආණ්ඩුව ගත් අමනෝඥ තීරණවල ප්‍රතිඵලයක් ලෙස ඇති වූ දරුණු ආර්ථික පීඩනයක් නිසා නොව ඇතැම් විපක්ෂ කණ්ඩායම්වල පෙළඹවීම හා වෙනත් කණ්ඩායම්වල මදාවිකම් නිසා යැයි සිතෙනා සේ මෙම දේශපාලනඥයෝ කටයුතු කරති.
මේ අතර මෙම මහජන නැගිටීම තුළ සිදුවූ සියලුම සිදුවීම් සාධාරණීකරණය කරන පිරිසක්ද සිටිති. එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි අය ඉලක්කයක්, වැඩ පිළිවෙළක් නැතිව හුදු ආණ්ඩු විරෝධය නිසාම ජනතාව යළිත් දහස් ගණනින් අරගල කළ යුතු යැයි සිතන බව පෙනේ.
දේශපාලන නායකත්වයකින් තොරවීම නිසා අරගලයේ ආරම්භයේදී එහි ගමන් මාර්ගය හා ඉන් ඇති විය හැකි අනිටු ප්‍රතිවිපාක ගැන සිතාදෝ මුලදී ඊට තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියා පසුව ඊට පූර්ණ සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අරගලය හා අරගලකරුවන් දෙස බලන්නේ ඉතා පරිස්සමෙනි. ඔවුහු අරගලයේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් කෙරුණු ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරළා දැමීම අනුමත කරති. එහෙත් අරගලයට එතැනින් එහාට අරමුණක් නොතිබීම වරදක් ලෙස දකිති.
මෙසේ රටේ සෑම කෙනකුම පාහේ අරගලය හා අරගලකරුවන් දෙස බලන්නේ තමන්ගේ දේශපාලන ඇසිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී එම ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විය. ඒ කාලයේ ඔහු පිළිබඳව සියලු විරුද්ධ පාක්ෂිකයන් දැරූ මතය වූයේ ඔහු ඉතා දරුණු පුද්ගලයකු ලෙසය. ඒ කාලයේ කටුනායක, හලාවත හා රතු පස්වල ඇති වූ උද්ඝෝෂණවලදී උද්ඝෝෂකයන්ද වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් පිරිසක්ද ඝාතනය කරනු ලැබීම වැනි සිද්ධි ඊට හේතු විය. එහෙත් ඔහු ජනාධිපති වශයෙන් උද්ඝෝෂණ සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඔහු එවැනි ක්‍රියාමාර්ග ගත යුතුව තිබිණැයි දැන් ආණ්ඩු පක්ෂයේ ඇතැම්හු පවසති.
ඔහු එසේ ජනාධිපති වශයෙන් වෙනස් ආකාරයකට කටයුතු කරන්නට ඇත්තේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල විය හැකි තර්ජනය ගැන සලකා විය යුතුය. විශේෂයෙන්ම පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව හා එම වසරේ මානව හිමිකම් පිළිබඳ එ.ජා.මහ කොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා ලබන්නන්ට එරෙහිව වෙනත් රටවලදී නඩු විභාග කිරීමේ හා ඔවුන්ගේ දේපළ තහංචියට ගැනීම් අනතුරක් ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කාරණය සැලකිල්ලට ගත්තා විය හැකිය.
පසුගිය වසරේ පැන නැඟුණු ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණවලදී ඒවාට පහරදී විසුරුවා හැරිය යුතුයැයි ඇමැතිවරයකු යෝජනා කළ බවත් එවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘ඔයා හදන්නේ මට පිටරටකටවත් යන්න බැරිවෙන තැනට වැඩ කරන්නදැයි’’ ප්‍රශ්න කළ බවත් ඒ දිනවල පුවත්පත්වල පළවිය.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කාරණය නොසලකා හැර ඇති බවක් හෝ ඊට බිය නොවන බවක් හෝ පෙනේ. එහෙයින් ඔහු ජනාධිපති වශයෙන් දිවුරුම් දී පැය 24ක් යන්නට පෙර ජූලි 22 වැනිදා අලුයම ගාලුමුවදොර, ගෝඨාගෝගමේ අරගලකරුවන්ට පහරදුන් හමුදාව ඔවුන්ගේ බොහෝ දෙනකු එතැනින් පළවා හැර ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුවද ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදාගත්තේය. ඒ උද්ඝෝෂකයන් එදින දහවල් එතැනින් ඉවත්වන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබියදීය.
එසේ වුවද එම ක්‍රියාව මේ වනවිට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි හෙළා දැකීමට ලක්ව තිබේ. විශේෂයෙන්ම එ.ජා. මානව හිමිකම් කවුන්සිලයද එය දැඩි ලෙස විවේචනය කොට ඇත.
මෙහිදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය වැනි රජයේ ප්‍රධාන කාර්යාලවල වැඩ කටයුතු කරගෙන යාමට බාධාවක් වීම නීති විරෝධීය යන්නයි. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර සිදුවූ ඝාතන හා ගිනි තැබීම් වැනි අපරාධ කිසිදු ශිෂ්ට පුද්ගලයකු අනුමත කළේ නැත. එහෙත් ජනාධිපති කාර්යාලයේ දොරටුව අවහිර කරමින් උද්ඝෝෂකයන් මාස තුනකට වැඩි කාලයක් උද්ඝෝෂණය කරද්දී ඇතැම් විදෙස් තානාපති කාර්යාල පවා එය දුටුවේ සාමකාමී අරගලයක් ලෙසය. ඇත්ත වශයෙන්ම ජනාධිපති කාර්යාලයේ දොරටුව අවහිර කිරීම නීති විරෝධී විය හැකි වුවද එම උද්ඝෝෂණය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මුළුමනින්ම තොර විය.
වෙනෙකක් තබා එම උද්ඝෝෂණයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් මැයි 12 වැනිදා අගමැති ධුරයට පත්වූ වික්‍රමසිංහ මහතාද ‘‘ගෝඨා ගෝ ගමට’’ අවශ්‍ය පහසුකම් සලසන්නට ඉදිරිපත් විය. එවිටද ජනාධිපති කාර්යාලයේ දොරටුව අවහිර වී තිබිණි. එය නීත්‍යානුකූල ක්‍රියාවක් නොවීය.
‘‘අපේ’’ ප්‍රචණ්ඩ ක්‍රියා හා ‘‘ඔවුන්ගේ’’ ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනස දැක්වෙන සිදුවීමක් මේ සතිය මුලදී ද සිදුවිය. අරගලය අතරතුර ජනාධිපති නිල නිවසේ භාණ්ඩවලට හානි කිරීම හා 2018 නොවැම්බර් මාසයේදී වත්මන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටක් බලා සිටියදී පාර්ලිමේන්තු සභා ගර්භයේ දේපළවලට හානි කිරීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයෙහි ඇති ප්‍රති විරෝධය ජනමාධ්‍යවේදීයකු ගෙනහැර දැක්වූ විට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතට පත්වන බවය.
එහෙත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇමැතිවරයාගේ මතය ප්‍රතික්ෂේප කොට තිබිණි. එය සිදුවූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට බලය තහවුරු කර ගැනීමට පොදුජන පෙරමුණ ගත් උත්සාහයේ කොටසක් වශයෙනි. වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටියදී ගුණවර්ධන මහතා එම සිදුවීම් සාධාරණීකරණය කරන්නට උත්සාහ කළේ එම කාරණය අමතක වීමෙන් විය යුතුය.
එක්තරා දුරකට මේ ආකාරයටම අරගලකරුවන්ද කටයුතු කර තිබේ. ආණ්ඩු විරෝධී විරෝධතා අතරතුර වත්මන් ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයන් විශාල සංඛ්‍යාවකගේ නිවෙස් ගිනිබත් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කෙරිණි. අරගලයට සහාය දුන් දේශපාලන පක්ෂ එම සිදුවීම් හෙළා දැමුවද අරගලයේ ප්‍රධාන කණ්ඩායම්වල නායකයන් තමන් ඒවාට සම්බන්ධ නැතැයි කීවා විනා ප්‍රසිද්ධියේ ඒවා හෙළා දුටුවේ නැත. ඔවුන් එසේ හෙළා දුටුවේ නම් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අද මෙන් සමස්ත අරගලයම ප්‍රචණ්ඩ යැයි කියන්නට අදට වඩා දුෂ්කර වනු ඇත.
ඇත්ත වශයෙන්ම අරගලය සමස්තයක් ලෙස ගත්විට සමාකාමී යැයි කිව හැකිය. එය සමස්තයක් වශයෙන් ප්‍රචණ්ඩ වූයේ නම් ජනතාව ඒවාට තම කුඩා දරුවන් සමග සහභාගි වන්නේ නැත. එය සමස්තයක් වශයෙන් ප්‍රචණ්ඩ වූයේ නම් ලක්ෂ ගණනක් ජනතාව කොළඹට රැස්වූ ජූලි 9 වැනිදා කොළඹ නගරයම ගිනි ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබිණි. වෙනෙකක් තබා ජනාධිපති මන්දිරයටකඩා වැදුණු ජනතාවට එහි ගිය පසු කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි විය. ඒ අනුව ඇතැම්හු එහි ඇඳන්වල නිදාගෙන හා පුටුවල හිඳගෙන ඡායාරූප ගත්හ. තවත් පිරිසක් පිහිනුම් තටාකයට පැන්නාහ.
පසුව එම මන්දිරයේ ඇතැම් භාණ්ඩ සොරකම් කිරීම් හා යම් යම් භාණ්ඩවලට හානි කිරීම් සිදුවූ බව සැබෑය. එහෙත් ඒවා ආරක්ෂා කිරීමට අරගලයේ ප්‍රධාන පුද්ගලයන් ආරම්භයේ සිටම උත්සාහයක් ගත් බවක්ද පෙනෙන්නට තිබිණි.
ප්‍රශ්නය වන්නේ පාලකයකුට බලයෙන් ඉවත් වන්නට බල කරන මෙවැනි මහා උද්ඝෝෂණයක් සාමකාමී වුවද එක්තරා දුරකට හෝ නීතිය කැඩීමක් සිදුවීම වැළැක්විය හැකිද යන්නයි. පාලකයකුගේ නිවසක් වැටලීම බොහෝ දෙනකුට හිරිහැර ඇති කරන්නකි. පාලකයාගේ සිතට මරණ බිය හෝ ඊට ආසන්න බියක් ඇති කරන්නකි. එය නීතියට පටහැනිය. 1979 දී ඉරානයේ පහ්ලවි ෂා රජු මෙන්ම 1986 දී පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ද උද්ඝෝෂකයන් තම මාලිගා වටලන්නට එද්දී රටින් පලා ගියේ ඒ බිය නිසාය.
උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරය අසලට පැමිණ සටන් පාඨ කියමින් සිට ආපසු යනු ඇතැයි පැහැදිලිව කිව හැකිව තිබුණේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජූලි 9 වැනිදා එම මන්දිරය අතහැර ගොස් 13 වැනිදා රටින්ද පිට වී යන්නේ නැත. අලුත්ම ආරංචි අනුව දැනට තායිලන්තයේ සිටින ඔහු දැන්ම පෙරළා මෙරටට පැමිණීමටද සූදානමක් නැත.
කෙසේ වෙතත් ක්‍රියාවලියක හෝ සිදුවීමක ප්‍රචණ්ඩත්වය නීත්‍යානුකූලභාවය ආදිය තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාට හෝ දේශපාලන පක්ෂයට එය බලපාන ආකාරය අනුවය. නැත්නම් ඔහුගේ දේශපාලන මතවාද අනුවය. ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයා විසින්යැයි කියමනක් තිබේ. ජූලි 22 වැනිදා මර්දනය ආරම්භ වීමට පෙර ජයග්‍රාහකයා අරගලකරුවාය. ඒ දිනවල ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න විග්‍රහ කළහ. 22 වැනිදා මර්දනයෙන් පසු ජයග්‍රහකයා වී සිටින්නේ ආණ්ඩුවයි. එහෙයින් දැන් බොහෝ දෙනා ප්‍රශ්නය විග්‍රහ කරන්නේ එම තත්ත්වය අනුවය.
(*** එම්.එස්.එම්.අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ නරකට නරක හොඳට හරවන්නෝ
fairoos Monday, 15 August 2022 02:50 PM
කවුරු මොනවා කිව්වත් රට මේ තත්ත්වෙට පත්කරපු අයටනම් හෙන ගහනවා.