2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගිය අතර එහිදී විභාග දෙපාර්තමේන්තුව එකඟ වූයේ පිටවූ බවට සඳහන් වූ ප්‍රශ්න තුනට සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමය.
එපමණක් නොවේ. උතුරුමැද පළාතේ රජයේ පාසල්වල 6 හා 7 ශ්‍රේණිවල වාර විභාග ප්‍රශ්න පත්‍ර ද විභාග දිනයට පෙර සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණි. සබරගමුව පළාතේ පාසල් සඳහා සැකසූ 10 වැනි ශ්‍රේණිය ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රද විභාගයට පෙර පිටවූ බවට චෝදනා නැගුණි. 2024 වසරේ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද පිටවීමේ සිද්ධියක් හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර වෙනත් දිනයක අලුත් ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට ලබාදීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවිය.
ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීමෙන් අපහසුතාවට පත් වන්නේ කොපි නොකර තමන්ගේ දැනුමෙන් විභාගයට නිවැරැදිව ලියූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. දශක හයක පමණ ඉතිහාසය පුරාම රජයේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිදුවීම් විශාල සංඛ්‍යාවක් දැක ගත හැකිය.
රාජ්‍ය සේවයේ ඉහළම විභාගය වන ලංකා පරිපාලන සේවයට ඇතුළත් කර ගැනීමේ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම නිසා 1968 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වසරකින් පමාවිය. එම වසරේදී අපේක්ෂකයන් 3000ක් එම තරග විභාගයට පෙනී සිට තිබුණි. එකල එම විභාගයට ඉදිරිපත් වීම සඳහා අය කළ මුදල් රුපියල් 200කි. මේ පිළිබඳ වාර්තාවක් 1969 ඔක්තෝබර් 6 වැනිදා ඇත්ත පත්‍රයේ පළවිය. එහි මෙසේ ද සඳහන් වේ. ‘‘පිටවී ඇත්තේ යුරෝපීය දේශපාලන ඉතිහාසය’’ යන ප්‍රශ්න පත්‍රයයි. ඒ සඳහා අපේක්ෂකයෝ 33 දෙනෙක් පෙනී සිටියහ. ප්‍රශ්න පත්‍රයක් පිට නොවී විභාගයක් පැවැත්වීම මේ කාලයේ හැටියට හාවා හඳ දකින්නා වගේ වැඩකැයි එක් විභාගාපේක්ෂකයෙක් කීය.’’
1969 වසරේදී ද ප්‍රශ්න පත්‍රයක් පිටනොවී විභාග පැවැත්වීමට බැරි තත්වයක් උද්ගතව තිබූ බව ඉන් කියැවෙයි. විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් වසරකට වැඩි කාලයක් තම ප්‍රතිඵල නිකුත් වන තුරු බලා සිටියද ඔවුනට ප්‍රතිඵල ලැබුණේ නැත.
විභාග ප්‍රතිඵල ඉක්මනින් හා නිවැරැදිව නිකුත් කිරීම සඳහා පළමුවරට ගෙන එන ලද පරිගණක යන්ත්‍ර නිසා 1969 වසරේදී රටම කතා කළ ප්‍රශ්නයක් උද්ගත විය. එයට හේතුව වූයේ විභාග ප්‍රතිඵල පරිගණක යන්ත්‍ර මගින් සකස් කිරීමේදී ප්‍රතිඵල විකෘති වී තිබීමය. පාසල් ගණනාවකට යැවුණු ප්‍රතිඵල ලේඛනවල විෂයයන්ගේ නම සඳහන් වී තිබුණද ප්‍රතිඵල සටහන් නොවීය. මේ තත්වය ‘‘ඇත්ත’’ පුවත්පත වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
‘‘අපොස විභාගය අවලංගු වේද?
පසුගියදා නිකුත් වූ අධ්‍යයන පොදු සහතික (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල එකම අවුල් ජාලයක් බවට පත්ව තිබීම නිසා මෙම විභාගය සම්පූර්ණයෙන්ම අවලංගු කර දැමීමේ තත්වයක් උදා වී ඇති බව දැනගන්නට තිබේ.’’
මේ නිසා විභාග අපේක්ෂකයන් දහස් ගණනකට සති කිහිපයක් යනතුරු තමන්ගේ ප්‍රතිඵල දැන ගැනීමට නොහැකි වූයේ නම හා විෂයය ඇතුළත් කර ඇතත් පරිගණකයෙන් සටහන් කළ ප්‍රතිඵල ලේඛනයේ එම අපේක්ෂකයන්ගේ සමර්ථ හෝ අසමර්ථභාවය සඳහන් කර නොතිබූ නිසාය. කොළඹ සහ පිට පළාත්වල විදුහල්පතිවරුන්ගෙන් මේ නිසා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පිරී ගොස් තිබූ බවද පුවත්පත්වල සඳහන් විය. එකල ලංකාවේ පරිගණක යන්ත්‍ර තිබුණේ අතලොස්සකටත් අඩු සංඛ්‍යාවකි. විභාග දෙපාර්තමේන්තුව එවැනි පරිගණක කිහිපයක් ලැබූ රජයේ දෙපාර්තමේන්තුවකි.
1970 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම එකල රටේ විශාල කතාබහකට තුඩු දුන්නේය. ලංකාදීප පුවත්පත එදා එම ප්‍රවෘත්තිය මෙසේ වාර්තා කර ඇත. ‘‘දැනට පවත්වාගෙන යන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය) පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයද අවලංගු වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත. මෙම ප්‍රශ්න පත්‍රයත් පිටවී ඇති බවට සාක්කි රහස් පොලිසියට ලැබී ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වා තිබීම නිසා මෙම පියවර ගැනීමට ඉඩ ඇත.
විභාගය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට අදහස් නොකරයි.
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් සැක කරනු ලබන එක්තරා වර්ණයෝජකයකුගේ වැඩ තහනම් කරනු ලැබ ඇති අතර රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි...’’
මෙම සිද්ධියට අදාළව දිවයින පුරා ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථාන 2500 භාර පරීක්ෂකවරුන්ගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කළ බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.
ප්‍රශ්න පත්‍ර එකල මුද්‍රණය කළේ අකුරු ඇමිණීමේ ශිල්පය අනුවය. රහස් පොලිසිය මේ සම්බන්ධව කරුණු සොයාගෙන තිබුණේ නවීන මුද්‍රණ යන්ත්‍ර නොමැතිකම නිසා රහසිගතව මුද්‍රණය කළ යුතු ප්‍රශ්න පත්‍රවල අච්චුව සති ගණන් මුද්‍රණ යන්ත්‍රය මත තිබූ බවය. 1970 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයේ මුලින්ම පිටවී තිබුණේ අංක ගණිතය ප්‍රශ්න පත්‍රයයි. එම ප්‍රශ්න පත්‍ර අච්චුව දින 20ක් තිස්සේ ප්‍රශ්න පත්‍රය සෙමින් සෙමින් මුද්‍රණය කර තිබූ බවත් එම අවස්ථාවේ වර්ණ සංයෝජකයා ප්‍රශ්න පත්‍රය සොරකම් කර විකුණා ඇති බවත් රහස් පොලිසියට හෙළි දරව් වී තිබුණි. ඇතැමුන් රහසේ පිටවූ ප්‍රශ්න පත්‍ර බව කියමින් බොරු ප්‍රශ්න පත්‍ර විභාග ශාලා අසල දී වැඩි මිලට විකුණූ අතර එක් ප්‍රශ්න පත්‍රයක මිල රුපියල් සියයේ සිට දෙසිය පනහ දක්වා මිලට විකුණූ බවත් වාර්තා ගත වී ඇත.
එකල පුවත්පත්වල පළවී ඇත්තේ මෙම විභාගයේ ඉංග්‍රීසි රචනය, මූලික ගණිතය, ආර්ථික විද්‍යාව හා රසායන විද්‍යාව යන ප්‍රශ්න පත්‍රද පිටවී ඇතැයි තොරතුරු ලැබීම නිසා ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවය. 1970 සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෝ 325000ක් පෙනී සිටියහ.
එකල ප්‍රශ්න පත්‍ර සොරකම් කෙරුණේ ඉතා සූක්ෂම ක්‍රමවලටය. රජයේ මුද්‍රණාලයට දැඩි මුරකාවල් දමා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන හෙයින් සේවකයන්ට පෞද්ගලික බඩු බාහිරාදිය මුද්‍රණාලයට ගෙන ගිය නොහැකිය. එකල සුළු සේවකයන්ගේ ඇඳුම වූයේ සරම සහ කමිසයය. සරමට යටින් අඳින අමුඩය මුද්‍රණාලයේදී ගලවා එය මුද්‍රණයන්ත්‍රය මත තබා අච්චුවේ කොටසක් අමුඩයේ මුද්‍රණය කරගෙන පිටතට ගෙන ගිය බව එකල වාර්තා වී තිබේ.
1983 දෙසැම්බර් මස පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සියල්ලම පාහේ විභාගයට කලින් පිටවී ඇති බවට වාර්තා වීමත් සමග මව්පියෝ සහ සිසුහු ඒ සම්බන්ධයෙන් කලබලයට පත්වූහ. ඇතැම් සිසුන් නිවසේදී සකසා ගෙන ආ පිළිතුරු ළඟ තබාගෙන විභාගයට වාඩි වූ අවස්ථා ද තිබූ බව පුවත්පත්වල පළ විය. විභාග කොමසාරිස්වරයා පවසා තිබුණේ තමන්ටද එවැනි ප්‍රශ්න පත්‍ර කීපයක් ලැබී ඇති බවය. ඇතැම් ප්‍රශ්න පත්‍රයක විභාගයේදී නිකුත් කළ ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න තිබූ බවද එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා පුවත්පත්වලට අදහස් පළකර තිබුණි. මෙසේ පිටවී තිබුණේ ඉංග්‍රීසි, සිංහල, බුද්ධාගම, ගණිතය සහ විද්‍යාව යන විෂයයන් පිළිබඳ ප්‍රශ්න පත්‍ර බව කියමින් රුපියල් සියය එකසිය පනහ හා දෙසීයේ මිලට ප්‍රශ්න පත්‍ර විකිණීමේ ජාවාරමක් විභාග මධ්‍යස්ථාන අවට ක්‍රියාත්මක වූ බවද පුවත්පත්වල පළවී තිබුණි.
1985 සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍ර කලින් පිට නොවූවද ගණිත ප්‍රශ්න පත්‍රය අවලංගු කර අලුතෙන්ම ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට ලබා දුන්නේ එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගේ බුද්ධිමට්ටමට වඩා සංකීර්ණ එකක් වීම නිසාය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා වාඩිගත් මොහොතේ සිටම තමන් ඉගෙන ගත් විෂය කරුණු මෙම ප්‍රශ්න පත්‍රයේ නොමැති බවට සිසුන් පැමිණිලි කර තිබිණ. උත්තර පත්‍ර සමීක්ෂණය කිරීමේදී බලධාරීන්ට පෙනී ගොස් තිබුණේ සිසුන්ගේ විරෝධය සාධාරණ බවය. එයට හේතුව නම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ සිසුන්ගෙන් සියයට අනූවක්ම එම විෂයයෙන් අසමත්වීමය. සමත්වී තිබුණේ සියයට දහයක ප්‍රතිශතයක් පමණකි. එම ප්‍රශ්න පත්‍රය සකසා තිබුණේ වෙනදා ප්‍රශ්න පත්‍රය සකස් කරන කණ්ඩායම නොවන බව මේ පිළිබඳව කළ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබුණි.
2012 වසරේදී ද සාමාන්‍ය පෙළ සිසු දරුවන් මත කඩා පාත් වුණේ ‘‘ටියුෂන්’’ හෙණහුරෙකි. එවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී තිබුණි. චෝදනාව එල්ල වුණේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකුටය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් වන විටම විභාග කොමසාරිස්වරයාට මේ ගැන පැමිණිලි ලැබී තිබූ අතර එක්තරා උපකාරක පන්ති ගුරුවරයකු අවසාන මොහොතේ සිසුන්ට ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක එවර විභාගයට පැමිණ තිබූ ප්‍රශ්න දහනවයක් ඇතුළත්ව තිබූ බව එම පැමිණිල්ලය. එම ප්‍රශ්න සියල්ල බහුවරණ පත්‍රයේ ප්‍රශ්න විය. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක විය. අවසානයේ විභාග කොමසාරිස්වරයා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි සියලු සිසුන්ට නිදහස් ලකුණු 19ක් ලබාදීමට තීරණය කළේ ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව තහවුරු වූ නිසාය.
ඊළඟ ප්‍රශ්නය මතු වූයේ 2024 වසරේ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 2 වැනි ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම නිසාය. එවරද චෝදනාව එල්ල වූයේ උපකාරක පන්ති පවත්වන රජයේ පාසලක ගුරුවරයකුටය. අම්පාර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ගුරුවරයා ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය මගින් තම සිසුන් වෙන බෙදා හැර තිබිණි. කරන ලද පරීක්ෂණයෙන් පසු එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර අලුත් ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට ලබා දුන්නේය. මෙම ප්‍රශ්න පත්‍රය පිටවීමේ විශේෂත්වය වන්නේ මෙවර පළමු වතාවට ප්‍රශ්න පත්‍රයම පිටවීමය. මෙයට පෙර අවස්ථාවල විභාග දිනයට පෙර පිටවී තිබුණේ ප්‍රශ්න පත්‍රයේ කොටස් පමණකි.
වැඩිහිටියන්ගේ විභාගවලින් ඇරඹුණු ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීම මේ වන විට 5 වැනි ශ්‍රේණියේ කුඩා දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය දක්වාම පැතිරී ඇත්තේ සමාජයේ පවතින එකිනෙකා පරයා යෑමේ තරගය නිසාය. කොතරම් දඬුවම් දුන්න ද ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නොකඩවාම සිදුවන හෙයින් සියලු දරුවන් අමතර ප්‍රශ්න පත්‍රයකටත් සූදානම් වී සිටීම නුවණට හුරුය.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.
මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ
මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.” කල්‍යාණ මිත්‍ර ලක්ෂ්
වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හැමදාම සිසුන් හැඬවූ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ ජාවාරම
dileepa1986 Monday, 27 January 2025 01:24 PM
මේවත් වැඩද අප්පා. මුන් මේවා හැමදාම බය නැතුව කරන්නෙ ලිහිල් නීති නිසා. නීති දැඩි කරානම් හරි. විශාල දඩයක් වසර 20 ක සිරදඩුවමක් ආදිය දෙනවා කිව්වා නම් එකෙක් ඕවා කරන්නෙ නෑ.
karu Monday, 27 January 2025 04:43 PM
නීති හදන ආයතන වලට කියන්නේ, වැරැදි කරුවන් වුනොත් සිවිල් අයිතිවාසිකම් අවුරුදු 10කට අත්හිටුවන්න නීති හදන්න. හිරේ දන්නේ නැතිව පොදු ස්ථාන පිරිසිදු කරන්න යොදවන්න...
Wimal Friday, 31 January 2025 08:38 AM
කවදාවත් අධ්‍යාපනේ ප්‍රශ්න ටියුෂන් කරුවන්ට පිටවෙන්නේ නෑ. ටියුෂන් කරුවන්ගේ ප්‍රශ්නපත්‍ර තමයි දෙපාර්තමේන්තුව දෙන්නේ. එහෙමයි අපේ... අතරමැදි ගැටළු, පැලැස්තර විසඳුම් අහෝ...!