හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරයයි. මෙහි රුහුණේ ප්‍රාග් ඉතිහාසය, ඉතිහාසය, වාස්තු විද්‍යාව, කලාව ආදි හැම අංශයකම අදාළ කෞතුක භාණ්ඩ ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඒ ඒ අංශවල වැදගත් තොරතුරු ආකෘති, සිතුවම්, පින්තූර මගින් ඉදිරිපත් කර තිබීම ද මෙහි ඇති විශේෂත්වයකි.
මෙම කෞතුකාගාරය නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඒ ඒ ප්‍රදර්ශන කුටිය නියෝජනය කෙරෙන තේමාව, ප්‍රදර්ශන භාණ්ඩ හා ඒවා පිහිටි ස්ථාන ආදිය පිළිබඳ සවිස්තර තොරතුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා නරඹන්නන්ට විඳගැනීමට අවස්ථාව ලබා දී ඇත. යටත්විජිත සමයේ හම්බන්තොට ද රුහුණේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක්ව තිබී ඇත. එහෙයින් හම්බන්තොට නගරය තුළ ද බටහිර ජාතින් විසින් ඉදිකරනු ලැබු ගොඩනැගිලි අදටත් දක්නට තිබේ. මේ අතරින් එවකට හම්බන්තොට දිසාපති ලෙස කටයුතු කළ සුප්‍රසිද්ධ ලේඛක ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිවාසය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස නම්කර ඇති විශේෂිත ඉදිකිරීම් බොහෝමයක් ඉදිකර ඇත්තේ හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමේය.
කෞතුකාගාරය පිහිටා ඇති භූමියට ඔබ්බෙන් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටුවා ඇති එල්ලුම්ගස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. එවකට විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමවූවන් එල්ලා මැරීම සඳහා මෙම එල්ලුම්ගස කිතුල් කඳකින් නිමවා එකවර හතර දෙනෙක් එල්ලීමට හැකිවන ලෙස සකස් කර තිබූ බව පෙනේ. දිරාපත් වී ඇති මෙම එල්ලුම්ගස යකඩ පටිවලින් වැර ගන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ ඇත. ලේඛකයකු මෙන්ම කීර්තිමත් රජයේ සේවකයකු ලෙස පිළිගත් ලෙනාර්ඩ් වුල්ෆ් මහතා හම්බන්තොට දිසාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ විභාග කරන ලද පුද්ගල ඝාතන හා මං පැහැරීම් නඩුවලදී වැරැදිකරුවන් වූ හත් දෙනකුට මරණ දඬුවම පනවා ඇත. එම වැරදිකරුවන් හත්දෙනා මෙම එල්ලුම්ගසේ ප්‍රසිද්ධියේ එල්ලා මරණයට පත්කරන ආකාරය වුල්ෆ් මහතා දිසාපති මැඳුරේ සිට කවුළුවකින් බලා සිටි බවද සඳහන් වේ.
කෞතුකාගාරය පිහිටි ස්ථානයට ඉදිරිපසින් සමීපවම ඉදිකර ඇති ගොඩනැගිල්ල එවකට නඩු විභාග කිරීම සඳහා පැවති උසාවියයි. එම කාලයේ දී සිදුවූ විවිධ අපරාධ, මං පැහැරීම් වැනි සිද්ධි පිළිබඳ නඩු කටයුතු මෙම උසාවිය තුළදී විභාග කර තිබේ. මෙම උසාවි සංකීර්ණය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේ සිළිදුගේ නඩුව ඇසූ උසාවිය යනුවෙනි. ලෙනාර්ඩ් වුල්ෆ් මහතා හම්බන්තොට ජීවත්ව සිටි සමයෙහි එහි ජීවත් වූ ගැමියාගේ සිතුම් පැතුම් හා චර්යා රටා පිළිබඳ මනා අධ්‍යයනයක නිරත වී ඇත. දුප්පත් අහිංසක අසරණ ගැමියාගේ දුක්ඛිතභාවය හා කූට උපක්‍රමවලට හසුවී ක්‍රමයෙන් විනාශ වන ගැමි ජීවිතය සිළිදු හා ඔහුගේ පවුලෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස Village in the Jungle කෘතිය බිහිවුණි.
මෙම කෘතියේ මුල් කෘතිය මෙරට රඳවා ගන්නට ප්‍රවීණ ගත්කතුවරයකු වූ ඒ.පී. ගුණරත්න මහතා සමත්වීමත් සමග එය බැද්දේගම නවකතාව නමින් සිංහලයට අනුවර්තනය වුණි. ඒ හේතුවෙන් බැද්දේගම මෙරට ජනතාවට බෙහෙවින් සමීප ලෙස රසවිඳින්නට හැකියාව ලැබී තිබේ. මෙහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් මෙම කෘතිය සිනමා පටයකට ද හරවනු ලැබීය. අධිරාජ්‍යවාදී පාලන සමය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන මැද හුදෙකලාව පැවති ගම්මානයක ජීවත්වූවන්ගේ ජීවන අරගලය පිළිබඳ ගෙනහැර දක්වන මෙම බැද්දේගම සිනමා පටය එවක බිහිවූ විශිෂ්ට නිර්මාණයකි. කතාවේ ප්‍රධාන චරිතය වූ සිළිදු එවක ජන සමාජය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ මෙම සිනමා පටයත් සමග ජනගත වීමත් සමගය.
බැද්දේගම නවකතාවේ අවසානයේ දී සොබාදහමේ බලවේගත්, සමාජ බලවේගත් අතර දෝලනය වන මානව ජීවිතයේ සත්‍ය ස්වරූපය නිරූපණය කරන අවස්ථාවක් ලෙස සිළිදුගේ නඩුව අසන අවස්ථාව පෙන්වා දිය හැකිය. සිළිදු ජීවිතාන්තය තෙක් සිරගෙට නියම කරන නඩු තීන්දුව ලබාදෙන, එම නඩුව විභාග කරන ලද උසාවිය අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතීත කෞතුක සිහිවටනයක් ලෙස තිබෙන්නේ මෙම කෞතුකාර භූමි පරිශ්‍රයේමය. බැද්දේගම සිනමා පටයෙහි රූපගත කිරීම්වලට ද යොදාගත් මෙම උසාවි සංකීර්ණය අද වනවිට ජරාජීර්ණ වූ ගරාවැටුණු නටබුන් ගොඩක් බවට පත්ව ඇත.
2018 වසරේදී අප මෙම උසාවිය නැරඹීමට යාමේදී එය එවකට පැවති ආකාරයෙන්ම පැවතිය ද අද වනවිට එය වවුලන්ගේ රජදහනක් බවට පත්ව බිත්ති පුපුරා ගොස් ඇත. එම ගොඩනැගිල්ල වැඩි කාලයක් නොගොස් බිමට සමතලා වීම වැළැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද නොහැකිය.
බටහිර ජාතින් විසින් හම්බන්තොට නගරය තුළ ඉදිකරනු ලැබු ගොඩනැගිලි අතර වැදගත් වන තවත් ස්ථානයක් ලෙස මාටෙලෝ කුලුන පෙන්වා දිය හැකිය. 1794 දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව උතුරු කෝර්සිකාවේ මොර්ටෙල්ලා තුඩුවේ ඉදිකර තිබූ ප්‍රංශ බලකොටුවකට පහරදීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ එම බලකොටුවේ තිබූ සුවිශේෂ බව නිසාය. සිලින්ඩරාකාර හැඩයක් ඇති එම බලකොටුවේ උඩුමහලේ සිට සෑම දිශාවකටම ප්‍රංශ හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවට පසුබසින්නට සිදුවිය. පසුව ගොඩබිම් මාර්ගයෙන් මේ බලකොටුව අල්ලාගත් බ්‍රිතාන්‍යයන් මෙම බලකොටුවේ සැකැස්ම පිළිබඳ අධ්‍යනයක නිරත වී ඇත. එම බලකොටුවල ඇති ආරක්ෂාකාරී බව වටහාගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් පියවර ගත්තේ තම අධිරාජ්‍යයේ යටත්විජිත රාජ්‍යවල නොයෙක් තැන්වල එම බලකොටු ස්ථාපිත කරන්නටය.
මේ ආකාරයෙන් මුල්ම බලකොටුව ඉදිකර ඇත්තේ කෝරසිකාවේ මෝරටෙල්ලා තුඩුවේ නිසා මෙම බලකොටු මාටෙලෝ කුලුනු වශයෙන් හැඳින්විය. බ්‍රිතාන්‍යයන් ලංකාව තුළ පවත්වාගෙන ගිය එකම මාටෙලෝ කුලුන අද වනවිට රුහුණු මාගම්පුර කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටා තිබේ. අප මෙම කුලුන නැරඹීමට ගිය අවස්ථාවේදී දැන ගැනීමට හැකිවූයේ මෙම සුවිශේෂ බලකොටුවෙහි බිත්ති පුපුරා ගොස් ඇති බවකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම කුලුන ආරක්ෂා කරන බව කීවද කුලුන විනාශ වීම වළක්වා ගැනීමට මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවක් නොපෙනේ.
මාටෙලෝ කුලුන ආසන්නයේම අඩි 43ක් පමණ උස කළු සුදු වර්ණයෙන් යුත් අලංකාර ප්‍රදීපාගාරයක් තිබේ. දැනට ක්‍රියාත්මක නොවන මෙම ප්‍රදිපාගාරය පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය. මෙම ප්‍රදීපාගාරය ද ඇතුළතින් දිරාපත් වෙමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබේ.
රුහුණු මාගම්පුර කෞතුකාගාරය ඉදිකළේ රුහුණු රාජ්‍යයේ අභිමානය රටට පෙන්වීමටය. විශාල මුදලක් වියදම් කරමින් කෞතුකාගාරයක් ඉදිකළ ද ඉන් නිසි ප්‍රයෝජනයක් වෙන බවක් පෙනෙන්නට නැත. අඩුම තරමින් එම කෞතුකාගාර පරිශ්‍රයේ ජල විදුලි බිල්පත් ගෙවීමට තරම් මාසික ආදායමක් නොලැබෙන බව ද එහි ප්‍රකාශකයෙක් අප වෙත තහවුරු කළේය. කෞතුකාගාරය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වූ රුහුණු රාජ්‍යයේ පුරාවෘතය මෙරට ප්‍රචාරය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. එය නැරඹීමට එන ප්‍රේක්ෂකයාට සියලු පහසුකම් සහිතව කෞතුකාගාරය නැරඹීමට හැකි වුවද නැරඹීමට යන කෙනකු ද නැත. අඩුම තරමින් මෙම කෞතුකාගාරය පාසල් මට්ටමින් හෝ ප්‍රචලිත කිරීමට බලධාරීන්ගේ සැලසුමක් නැත.
මෙවැනි කෞතුකාගාරයක් තිබෙන බවක් ද හම්බන්තොට ජනතාව ද දන්නේ නැත. එම ජනතාව නොදන්නා කෞතුකාගාරයක් ගැන රටේ ජනතාව දන්නේ කෙසේද යන්න වග බලධාරීන්ගෙන් විමසිය යුතුය. කෞතුකාගාරය ඉදිකිරීමට වියදම් කළ මුදල හෝ උපයා ගැනීමට සොයා ගැනීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත්තේ එහෙයිනි.
මාටෙලෝ කුලුනේ සහ ප්‍රදීපාගාරයේ බිත්ති පුපුරායාම සහ උසාවිය කඩා වැටී විනාශ වී ඇත්තේ එහි නිසි නඩත්තුවක් නොමැති නිසාය. 2018 වසරේදී එම කෞතුකාගාරය නැරඹීමට ගිය විට කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර පැවතියත් මහජනතාවට එය නැරඹීට නොහැකි විය.
එහට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දුන්නේ පොදු පහසුකම් නොමැති හෙයින් මහජනතාවට කෞතුකාගාරය විවෘත කළ නොහැකි බවයි. මේ වනවිට පොදු පහසුකම් ඇති කළ ද කෞතුකාගාරය ගැන ප්‍රචාරය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. ලෙනාර්ඩ් වුල්ෆ් නඩු ඇසූ උසාවියේ සිර මැදිරිය, සාක්ෂිකරුවන් විත්තිකරුවන් නගින ලද කූඩුව, ලෙනාර්ඩ් වුල්ෆ් නඩු ඇසූ ස්ථානය පැහැදිලිව 2018 වසරේදී දැකගන්නට හැකියාව තිබිණි. පසුගිය කාලයේ අප මෙහි ගිය විට දැකගැනීමට හැකිවූයේ ඒ සියල්ල විනාශ වී ගොස් බිමට සමතලා වූ ගොඩනැගිල්ලක් පමණි.
එල්ලුම්ගස ද යකඩ පටිවලින් වැර ගන්වා සංරක්ෂණය නොකර තිබුණේ නම් මේ වනවිට එයද අවට ජනතාව දරට ගෙනියනු නොඅනුමානය. රටට පෙනෙන්නට ලෝකයට පෙනෙන්නට කෞතුකාගාර ඉදිකර පළක් නොමැත. ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට නම් සැලසුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තිබිය යුතුය. එහෙත් එවැනි සැලසුමක් හම්බන්තොට රුහුණු උරුම කෞතුකාගාරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොමැති බව පෙනේ. මේ සම්බන්ධව කරුණු විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. එහෙයින් මේ සම්බන්ධව පිළිතුරු දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තවමත් අවස්ථාව විවෘතව පවතී. මෙම කෞතුකාගාරයේ විනාශය ගැන කලකිරී සිටින නිලධාරීන් අප වෙත සනාථ කළේ මෙම විනාශය ගැන මාධ්‍යයට තොරතුරු දුන්විට එය තමන්ට ගැටලුකාරී තත්වයක් බවයි. එහෙයින් එම නිලධාරීන් ද ආරක්ෂා කර මෙම කෞතුකාගාරය රැකබලා ගැනීම මෙන්ම මහජනතාව මෙම කෞතුකාගාරය වෙත ගෙන්වා ගැනීම බලධාරීන් සතු වගකීමක් සහ යුතුකමකි.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට
ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො
ශ්රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක
කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.
පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක