IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිරිකිත වන් මෑන් ෂෝ දේශපාලනය

මන්ත්‍රීවරයකු තෝරාගන්න අවම ඡන්ද සීමාව සියයට 5 සිට සියයට 12.5 දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ගෙනෙන ලද 21 වැනි සංශෝධනයට පක්ෂ විපක්ෂ මත රැසක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. එහෙත් ඒ ගැන කෙරෙන කතාබහ පටු රාමුවක සිර වී ඇති අතර ඒ නිසාම අදාළ යෝජනාව ගැන පුළුල් සාකච්ඡාවකට යාම සිර වී තිබේ. අදාළ යෝජනාවට පසුබිම් වූ දේශපාලන පරිසරය ගැන කෙරෙන සාකච්ඡාවකින් මිස සමස්ත චිත්‍රය වර්ණ ගැන්වීම කළ නොහැකිය. ඒ නිසා ආසන්න දේශපාලන අත්දැකීම්වලින් හෝ කතාව ආරම්භ කළ යුතුවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී 41 දෙනකු ඇප තැන්පත් කළ ද නාමයෝජනා බාර දෙනු ලැබුවේ දේශපාලන පක්ෂ 35ක අපේක්ෂකයන් විසිනි. මෙම තිස්පහෙන් ප්‍රධාන පක්ෂ තුන හැරුණු විට සියයට 1 සීමාව හෝ ඉක්මවන්නට අනෙකුත් කිසිවකුට හැකියාවක් ලැබුණේ නැත. ඒ අතරෙන් 19 දෙනකු තරග වැදුණේ ප්‍රධාන ධාරාවේ අපේක්ෂක දෙපළට සහාය පිණිස බව ද පසුව හඳුනාගැනිණි. මේ අතර පසුගිය කාලයේ විශාල සංවාදයක් ගොඩනැගුණේ මෙම දේශපාලන පක්ෂ විශාල මිල ගණන්වලට විකිණෙන බවටය. පෙර කී උපකාරක අපේක්ෂකයන් ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නා අතරම ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහකයාගෙන් යම් යම් වරදාන වරප්‍රසාද ලබාගන්නා ආකාරයට ද නිරීක්ෂණය විය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනාව එන්නේ මේ පසුබිමේ බව සිහි තබාගෙන සාකච්ඡාව ඉදිරියට ගෙනයන්නට දැන් අපට හැකිය.

ජනාධිපතිවරණයේදී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් තරග වැදීම නතර කළ යුතුය යන්න පැෆ්රල් සංවිධානය හැටියට අපේ ද ස්ථාවරයයි. මක්නිසාදයත් විදේශ ණය ටිකවත් ගෙවාගැනීමට බැරිව සිටින රටකට මේ බොරු තරගයට රුපියල් කෝටි 350ක පමණ අතිරේක වියදමක් දැරීමට සිදුවීම ජාතික අපරාධයක් නිසාය. 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ 19ක් තරග කළ අතර මේ කෝටි 350 ඊට සාපේක්ෂවය. ඊට අමතරව මේ ව්‍යාජය නඩත්තු කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට අතිරේක නිලධාරීන් යොදන්නට සිදුවන අතර ඡන්ද පත්‍රිකාව ද අනවශ්‍ය ලෙස දිගු වේ. ඡන්ද පෙට්ටි ද වැඩිපුර හැදීම ඇතුළු ප්‍රායෝගික දුෂ්කරතා රැසක්ම අමුතුවෙන් නිර්මාණය වේ. මේ හරහා සිදුවුණේ එක් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් අතලොස්සකගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කිරීමකි.

කෙටියෙන් කිවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමකි. ඒ නිසා එයට පාලනයක් අවැසිමය. ප්‍රශ්නය එන්නේ එය කරන්නේ කෙසේදැයි යන කාරණයේදීය. ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතය පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට හානියක් නොවන පරිදිය. රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනාවේ එන්නේ දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරයකු තෝරන අවම ඡන්ද සීමාව සියයට 5 සිට සියයට 12.5 දක්වා ඉහළ දමන්නටය. එය ප්‍රශ්නයකි. එය කරන්නට ගියහොත් සැබැවින්ම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට පහර එල්ලවීමකි.

 දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අවම ඡන්ද සීමාව සංඛ්‍යාත්මකව වෙනස් වේ. ඊට අනුව සාමාන්‍යයෙන් ඡන්ද 25000 - 75000ත් අතර සීමාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්වෙති. එවැනි ජන පදනමක් සහිත දේශපාලන කණ්ඩායම් සඳහා මැතිවරණ ක්‍රමයේදී ඉඩ තිබිය යුතුවේ. යම් ආකාරයකට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල දේශපාලන මතවාද සමග ඔවුන්ගේ ආර්ථික, සාමාජයීය ප්‍රතිපත්ති සමග සිය ප්‍රතිපත්ති ගැටෙන දේශපාලන කණ්ඩායමකට තමන්ට අනන්‍ය වූ ප්‍රතිපත්ති සමග ගමනක් යන්නට ඉඩ තිබිය යුතුය. අනෙක් අතට රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම සියයට 5 සීමාව හඳුන්වා තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් දෙන ලද අල්ලසක් හැටියටය. එම අර්ථකථනයම නිවැරැදි නොවේ. ඊට දේශපාලන ඉතිහාසයක් තිබේ. පසුව ඩිව් ගුණසේකර මහතා එය නිවැරැදි කර තිබෙනු මම දුටුවෙමි.

ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයකට නියෝජනයක් ගැනීමට නොහැකි වීම හොඳ දෙයක් නොවේ. එවැනි පිරිස් ඇතැම්විට ආයුධ අතට ගන්නට පවා පුළුවන. මිනිසුන් බුලට් එක විශ්වාස කරන්නේ බැලට් එකෙන් පිටමං කරනවිට බව අප අමතක කළ යුතු නැත. මිනිස් හැඟීම් සහිත දේශපාලනය යනු ගංගාවක් හරස් කරන වේල්ලක් වැන්න. ජලය ගලායන්නට ඉඩ නොදී සියලු දිය මං වසාදැමීම කළ හැකි දෙයක් නොවේ. එහි ප්‍රතිඵලය වේල්ල කඩාගෙන යෑමය.

එහෙත් පැෆ්රල් සංවිධානය හැටියට අප සිතන්නේ ද ජාතිය හෝ ආගම මත පදනම් වූ දේශපාලන පක්ෂ බහුආගමික බහුජාතික රටක් වූ අපට අවශ්‍ය නැතැයි කියාය. දේශපාලන පක්ෂ ක්‍රියාකළ යුත්තේ ප්‍රතිපත්ති මත බැවින් ඊට ලොකු පොඩි භේදයක් තිබිය යුතු ද නැතැයි කියාය.  

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හැත්තෑවක් ලියාපදිංචි වී තිබේ. එයින් මැතිවරණවලට බාගෙට බාගයක් තරග කරන්නේ නැත. එසේ තරග කරන්නන්ගෙන් බහුතරය ද පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අරමුණු කරපින්නාගත් ඒවාය. ඒවායින් අතිබහුතරයකට මහජන පදනමක් නැති බව මැතිවරණ ඉතිහාසය විමසන්නකුට හොඳින් පෙනේ. දේශපාලන පක්ෂයක් තමන් සතුව තිබීම විශාල ආයෝජනයක් හැටියටත් විවිධ ප්‍රතිලාභ ගෙනදෙන කප්රුකක් ලෙසටත් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.

එවැනි පක්ෂ විශාල මිල ගණන්වලට විකිණෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ පවා පසුගිය කාලයේ දැකගත හැකි විය. කිසියම් මතවාදයක් සහ ජන පදනමක් සහිත කණ්ඩායමක් සුදුසුකම් සපුරන්නේ නම් පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට අවස්ථාව තිබිය යුතු වුවද ව්‍යාපාර හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඉදිරිපත් වන අයැදුම්පත් අධෛර්ය කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හයේම තීරණ ගන්නා මණ්ඩලවල එකදු කාන්තාවක්වත් නැති බව ඔබ දන්නවාද? මෙය පක්ෂ ලියාපදිංචිය සඳහා 2009 අංක 58 දරන සංශෝධනය අනුව නීතියෙන් පිටපැනීමකි. දේශපාලනයෙහි කාන්තා නියෝජනය වැඩිකිරීමට ප්‍රාදේශීය සභා පළාත් සභාවල කෝටාව වැඩිකිරීමට වඩා පක්ෂවල අභ්‍යන්තර තීන්දු ගන්නා කවයන්හි කාන්තා නියෝජනයට අවස්ථාව දීම වඩා ප්‍රයෝජනවත්ය. දැනට ක්‍රියාත්මක වන ඇතැම් පක්ෂ එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් කීප දෙනකු විසින් පාලනය කරනු ලබන බැවින් ඉදිරියේදී ලියාපදිංචි වන පක්ෂවල විධායක මණ්ඩල සඳහා අවම වශයෙන් දස දෙනකුවත් සිටිය යුතු බවට නිර්ණායකයක් ඇතුළත් කළ යුතුය.

අප දන්නා ආකාරයට දේශපාලන පක්ෂ හතරක විධායක සභා සාමාජිකත්වය සිව් දෙනකුටත් අඩුය. දන්නා භාෂාවෙන් කිව්වොත් මේවා වන් මෑන් ෂෝ ය. පසුගිය දිනෙක මගේ මිත්‍රයකුගෙන් වෙනත් පුද්ගලයකු විමසා තිබුණේ අපි පක්ෂයක් ලියාපදිංචි කරලා දැම්මොත් නරකද කියාය. ඔහු එය ව්‍යාපාරික අරමුණකින් කීවාද නැද්ද පැහැදිලි නැතත් දේශපාලන පක්ෂ පිහිටුවීම කඩෙන් බඩුවක් මිලට ගන්නා සරල සිල්ලර කාරියක් බවට පත්ව ඇති බව එයින් පැහැදිලිය. අනෙක් අතට රටට ප්‍රජාතන්ත්‍රවාදය කියාදෙන්නට හදන දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ආදර්ශයට ගත හැකි තැනක නොවේ. තීන්දු තීරණ ගැනීම්වල විනිවිදභාවය තහවුරු කෙරෙන, අත්තනෝමතිකභාව පාලනය කෙරෙන ක්‍රමවේද බොහෝ තැන්වල නැත.

එනිසා අලුතින් පිහිටුවන පක්ෂවල ලියාපදිංචියේදීම එවැනි ක්‍රමවේද විමසා බැලෙන තත්ත්වයක් ඇතිකළ යුතුවේ. අප තරුණයන් රටේ ජීවනාලිය යැයි කියමින් කෑමොර දුන්න ද අදටත් දේශපාලනයෙහි තරුණයන්ට ඇති ඉඩ අවමය. පක්ෂවල නිලධාරි මණ්ඩලවලට සැලකිය යුතු සංඛ්‍යාවක් තරුණ තරුණියන්ට අවස්ථාව සැලැසෙන වැඩපිළිවෙළකින් මිස ඔවුන්ට සැබෑ උත්තේජනයක් සැලැසෙන්නේ නැත. එය තරුණ අසහන කමිටු වාර්තාවේ ද ඇතුළත් නිර්දේශයකි. දැන්වත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යය. පැෆ්රල් සංවිධානය හැටියට මේ කාරණා ගැන මැතිවරණ කොමිෂන් සභාවට අවධාරණය කරන්නට අප කටයුතු කළ අතර මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිසම ද ඒ ගැන දැඩි මැදිහත්වීමක් කරමින් තිබීම අගය කළ යුතු තත්ත්වයකි.

බහු පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නකි. එහෙත් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය යනු විකෘතියකැයි කීම වැරැදි නැත. ඒවා සාතිශය බහුතරය සක්‍රීය නැත. එනිසා අප මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ එවැනි අක්‍රීය දේශපාලන පක්ෂ ලියාපදිංචියෙන් ඉවත්කිරීමට කටයුතු කරන්නැයි කියාය. රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය එන්නේම මෙසේ නාමිකව තිබෙන දේශපාලන පක්ෂ නිසාය.

උදාහරණයකට ගතහොත් ඇතැම් දේශපාලන පක්ෂ අපේක්ෂකයන් පසුගිය ජනාධිපතිවරණයේදී මුළු රටින්ම ගෙන තිබෙන්නේ ඡන්ද දෙතුන්දාහකි. මේ ඇතැම් පක්ෂ වාර්ෂික සම්මේලන පවත්වන්නේ නැත. වත්කම් බැරකම් ප්‍රකාශ, අයවැය වාර්තා නිසි කලට දෙන්නේ නැත. ඔවුන් කරන එකම දේ මැතිවරණයක් එද්දී ඡන්දයට ඉදිරිපත්වීමය. නිසියාකාරව කරන අධ්‍යයනයකින් එවැනි පක්ෂ වාර්ෂිකව ලියාපදිංචියෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසමට ශක්‍යතාව තිබිය යුතුය. එහිදී සියයට 12.5 සීමාවට අප එකඟ නැතත් ජාතිවාදීව ආගම්වාදීව කුඩා කුඩා කණ්ඩායම් වෙනත් අභිමතාර්ථ පෙරදැරිව දේශපාලන පක්ෂ බවට රූපාන්තරණය වීම නම් වැළැක්විය යුතු බව නැවතත් අවධාරණය කරමි.

1910 සිට 1978 දක්වාම සෑම මැතිවරණයකදීම ආණ්ඩුකාරවරයා තම කැමැත්ත මත මහජන නියෝජනයට පුද්ගලයන් පත් කෙළේය. ඒ කාරණා දෙකක් මුදුන්පත් කරගැනීමටය. එකක් නම් නියෝජනයක් නොලැබූ කණ්ඩායම්වලට නියෝජනයක් දීමය. දෙවැන්න නම් විශේෂඥයන් වෘත්තියවේදීන් පාර්ලිමේන්තු ගෙනඒමෙන් නීති කෙටුම්පත්කරණයට ඔවුන් දායක කරගැනීමය. ජාතික ලැයිස්තුව යනු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා එකී ක්‍රමය විධිමත් කිරීමකි.

එහෙත් මෑතභාගය වෙද්දී ජාතික ලැයිස්තුව යනු මෙකී අරමුණු දෙකින්ම ඈතට ගිය නියෝජනයක් වූ බව සක්සුදක් සේ පැහැදිලිය. උදාහරණයකට 2015 අවසන් අගෝස්තු මහමැතිවරණයම ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සාතිශය බහුතරය ජාතික ලැයිස්තුවට පත්වූවෝ පරාජිත අපේක්ෂකයෝය. ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයකුත් පරාජිත අපේක්ෂකයකුට අවස්ථාව දුන්නේය. ආසන්න පාර්ලිමේන්තු පහක ජාතික ලැයිස්තු ගෙන බැලුව ද කතාව මීට වැඩි වෙනසක් නොවේ.

මෙම තත්ත්වය වෙනස් නොවන්නේ නම් එය ඉතාම අභාග්‍යකි. එනිසා අප කියන්නේ අඩුම තරමින් ජාතික ලැයිස්තුවෙන් සියයට 40 ක්වත් විශේෂඥ දැනුම ඇති පිරිස්වලට ඉඩ වෙන්කළ යුතුය. තවත් සියයට 40 ක් නියෝජනයක් නොලැබූ ජන කණ්ඩායම්වලට වෙන්කරන්නට ඔවුන්ට හැකිය. එවිට පරාජිතයන් පත් නොකරම බැරි නම් ඊට සියයට 20 ක ඉඩක් ඇත. එමෙන්ම නාමයෝජනාවලට පෙර සැකැසෙන ජාතික ලැයිස්තුවට ප්‍රමුඛතාවය දීම ද අත්‍යවශ්‍යය. දැන් ජාතික ලැයිස්තුව පැත්තක දමා ඊට පරාජිතයන් ඔබ්බවන්නේ එවැනි ක්‍රමයක් නැති බැවිනි. එමෙන්ම ජාතික ලැයිස්තු සැකැසීමේදී විශේෂඥ දැනුම නියෝජනයටත් නියෝජනයක් නොලබන කණ්ඩායම් නියෝජනයටත් නම්කර ඇත්තේ කවුදැයි දේශපාලන පක්ෂය පැහැදිලි කළ යුතුය. එමෙන්ම යම් මන්ත්‍රීවරයකු ජාතික ලැයිස්තුවකට පත්කෙරෙන්නේ දෙවැනි වතාවට නම් අවසන් පාර්ලිමේන්තුවේදී ඔහු හෝ ඇය නීති ප්‍රතිපත්ති සම්පාදනයට දුන් දායකත්වය ගැන විවරණයක් කිරීමට ද දේශපාලන පක්ෂයට හැකියාව තිබිය යුතුය. මන්දයත් නීති ප්‍රතිපත්ති සම්පාදනයට දායකත්වයක් නොදුන් කෙනකු නැවත නැවතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙහි ඵලක් නැති නිසාය. අප මෙහි සාකච්ඡා කරන කාරණා මාර්තු 12 ව්‍යාපාරය හැටියට මැතිවරණ කොමිසමට දැනටමත් අවධාරණය කර ඇත. අපේ ඊළඟ උත්සාහය වන්නේ මාර්තු 12 නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ සහායෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට හෝ ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කරගැනීමටය.

මැතිවරණ අතර පක්ෂ මාරුව ද වත්මන් ඡන්දදායකයා මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව තිබේ. ආසන්න පාර්ලිමේන්තු පහක පමණ කළ අධ්‍යයනයකදී අපට දැකගත හැකි වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විපක්ෂයට ගොස් ඇත්තේ අවස්ථාවකදී දෙකකදී පමණක් බවය. අනෙක් සෑම අවස්ථාවක්ම එළඹ තිබුණේ විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පැනගැනීමය. එසේ එක් වූ අතිබහුතරය ආණ්ඩුවට එකතුවීම හරහා ඇමැති ධුර හෝ වෙනත් වරදාන ලබාගෙන තිබිණි. පිල් මාරුවේ ශෝචනීය උදාහරණය බවට පත්වූයේ වත්මන් පාර්ලිමේන්තුවය. ඒ එක් මන්ත්‍රීවරයකු දවස් තුනක් ඇතුළත හය වතාවක් දෙපිල මාරු කිරීමෙනි. මෙම තත්ත්වය ඡන්දදායක කැමැත්තට ඉමහත් කලකිරීමක් නිර්මාණය කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවයට ද පාර කපන්නකි. විශේෂයෙන්ම මෙරට මැතිවරණ ක්‍රමයෙහි මිනිසුන් ඡන්දය දෙන්නේ පක්ෂයටය. කවරෙකු බලයට ආවත් ඒ පක්ෂයට දෙන ඡන්දයෙනි. මනාප ලැබුණත් ඒ අර්ථයෙන් ගත්කල පක්ෂය මාරු කරන්නට අපේක්ෂකයාට අයිතියක් නැත. හෘදසාක්ෂියේ නිදහස අනුව තම පක්ෂය වැරැදි පිළිවෙතක පිහිටා ක්‍රියාකරන්නේ නම් වෙනත් මතයක් හා එක්වීමට මහජන නියෝජිතයන්ට අවස්ථාව තිබිය යුතු වුවත් එවැනි පරමාදර්ශ අපේ මැතිවරණ ඉතිහාසයේ විරලය. එනිසා පක්ෂ මාරුව නතරකර ගැනීම සඳහා දේශපාලන පක්ෂවල ද ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ ද සහායෙන් නීති කෙටුම්පතක් සැකැසීම ද මේ දිනවල සිදුවෙමින් පවතී.

මේ වනවිට මෙරට පුරවැසියන් 2225කට එක් අයෙක් මහජන නියෝජිතයෙකි. මෙසේ මහජන නියෝජිත සංඛ්‍යාව ඉහළ ගියේ පළාත් පාලන නියෝජන ක්‍රමය නිසාවෙනි. මේ වනවිට සමස්ත පළාත් පාලන නියෝජිතයන් ගණන නවදහස ඉක්මවා තිබේ. මෙම සභික සංඛ්‍යාව තුනෙන් එකකින්වත් අඩුකරගැනීම සඳහා යම් වෑයමක් දරමින් තිබේ. ඒ සඳහා යම් සීමා නිර්ණයකට යා යුතුය. කෙසේ වෙතත් ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සීමාව පනවාගැනීමට නොහැකි වුවහොත් ප්‍රාදේශීය ආණ්ඩුකරණයෙහි දැවැන්ත අර්බුදයකට මුහුණදීමට රටක් හැටියට අපට සිදුවනු ඇත. දැනටමත් මෙම ප්‍රශ්නය ඇත්තේ මෝරා ගිය තත්ත්වයකය. උදාහරණයක් හැටියට මෙම විශාල සංඛ්‍යාව නිසා සභිකයන්ට සභා වාරවල කතා කිරීමට හරිහැටි වෙලාවක් නැත. ඉඩකඩ ගැටලු‍වකි. මගේ මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරුන් පහක් සිටියත් මගේ නිවෙස ඉදිරිපිට මාර්ගය වැසි දිනවලදී අදටත් දිය පාරකි.

එසේ නම් මෙකී මහජන නියෝජනයෙහි ඇති අරුත කුමක් ද? අවසන සිදුව තිබෙන්නේ මහජන මුදලින් කිසියම් පිරිසකට ජීවිකාව සම්පාදනය කර ඔවුන් නඩත්තු කර පවත්වාගෙන යෑමේ ක්‍රමයක් නිර්මාණය පමණි. මේ හා බැඳුණු ඊළඟ කරුණ නම් මැතිවරණ මූල්‍යකරණයයි. එනම් පෞද්ගලික අපේක්ෂකයන් හෝ පක්ෂවලට ධනවත් ආධාරකරුවන්ගෙන් ලැබෙන පිටුබලය නිසා සාධාරණ තරගයකට ඇති ඉඩ ඇහිරීමය. විශේෂයෙන්ම මහා පරිමාණයෙන් මුදල් වැය කළ නොහැකි නමුත් අවශ්‍යයෙන්ම ජනතාව නියෝජනය කළ යුතු කාන්තා, තරුණ හා වෙනත් ක්‍ෂේත්‍රයන්හි යම් මෙහෙවරක් කළ හැකි පිරිස් පසුබෑමට ලක්වීම මේ යටතේ අපගේ අවධානයට ලක්විය යුතුම තත්ත්වයකි.

සී.එම්.ඊ.වී. හා පැෆ්රල් ඇතුළුව පාර්ශ්ව එක්ව ඒ සඳහා ද යම් පනතක් සම්පාදනය කරගැනීමේ සංයුක්ත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත්තේ ඒ අනුවය. මෙකී කරුණු සියල්ල සමස්තයක් සේ ගත්කල නිදහස් හා සාධාරණ මැතිවරණ උදෙසාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාත් රටක් හැටියට අපට කරන්නට විසල් වැඩ කොටසක් ඇති වග පැහැදිලිය. එයින් කිසිවකුටත් අත්මිදෙන්නට බැරි බව අවසන අවධාරණය කරන්නේ සෑම පුරවැසියකුම දේශපාලන සත්ත්වයෙක් වන බැවිනි.

සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

හිරිකිත වන් මෑන් ෂෝ දේශපාලනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 3 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 13 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 99 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 10 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1502 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 683 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site