IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හිරගෙදරත් සුපිරි සැප විඳින සුපිරි පාතාලයෝ

පාතාල අපරාධකරුවන්ට හිරගෙදර රජගෙදරක් වැනිය. ඒ ආරක්ෂාව හා රැකවරණය ඉහළින්ම ලැබෙන නිසාය.


කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් හා මත්කුඩු ජාවාරම්, පැහැරගැනීම් හා බියවැද්දීම් බන්ධනාගාර තුළ සිට සිදුකෙරෙන ප්‍රධාන පෙළේ ජාවාරම්වලින් කීපයක් පමණය.

24-page-19-BA
හිරගෙවල්වල සිට සිදුකෙරෙන පාතාල අපරාධ කිසි දිනෙකත් හෙළි කරගන්නට බැරිය. ඒවා නැති කරන්නටද බැරි ගානට අද ඔඩුදුවලාය.


පාතාල අපරාධකරුවන් හිරගෙදර විශේෂ ගනයේ සිරකරුවෝය. ඒ “නම්බු නාමය” නිසාම ඔවුහු හිරගෙදර පොරවල්ය.


සංවිධානාත්මක පාතාල අපරාධවලින් මුල්තැන කප්පම් ජාවාරමටය.


හිරගෙදර කප්පම අද මහ ඉල්ලමක්ය. මුදලට මිනීමැරීම හිරගෙදර සිට සිදුවෙන අවස්ථා එතරම් ප්‍රචලිත නැතත් නොකෙරෙන්නක්ද නොවන්නේ එකිනෙක පාතාල කණ්ඩායම් අතර සිදුවන ගැටුම් උත්සන්න වීමත් සමගය.


මෙම පාතාල ගැටුම්වලින් පාතාල අපරාධකරුවන් ජීවිතාරක්ෂාව පතා හිරගෙවල් තෝරා ගන්නේ නිකමට නොවේ. කාලයක් අච්චුව ඇද නැවතත් සංවිධානය වී “ගේමට” බහින්නටය.


පාතාල අපරාධ, මිනීමැරුම්, කල්ලි ගැටුම්, එළිපහලියේ සිදුවෙනුයේ ඇතුළේ සිට කෙරෙන සැලසුම්වලට අනුවය. ඇතුළට එන පාතාල ක්‍රියාකාරිකයන් එතැන් සිට සිය ජීවිතය රැකගෙන විරුද්ධවාදී කණ්ඩායම් ගෙඩි පිටින් බාවන්නේ කිසිදු හිරිකිතයක් නැතිවය.


පාතාල අපරාධ කල්ලි වාහන පිටින්ම ගිනිබත් වෙන්නේද ඒ අනුවය. සැලසුම ඇතුළෙනි. වැඩ එළියේ ගෝලබාලයන් ගෙනි.


හිරගෙදර සිට ඕනෑම දෙයක් කරන්නට උවමනා වන්නේ සෙල්ෆෝන් එකක් හා සිම්කාඞ් දෙක තුනක් පමණය. ඒ එමගින් සිරගෙවල්වල සිට කළ නොහැකි දෙයක් නොමැති නිසාය.


හිරගෙවල්වලට කොන්ත්‍රාත් මිනීමැරුම, කප්පම් හා කුඩු ජාවාරම කජ්ජක් නොවන්නේද ඒ නිසාය.


සෙල්ෆෝනය හිරගෙදරට නැතිවම බැරි මෙවලමක් වී ඇත්තේ යම්සේද ඉහළම වටිනාකමින් යුත් එකම භාණ්ඩයද එයම වන්නේය.


මේ වනවිට හිරගෙදරක හොර රහසේ පරිහරණය වන සෙල්ෆෝනයක අවම වටිනාකම රුපියල් 40,000කට වැඩි නැත.


වෙළෙඳ පොළේ රුපියල් 1500ක සෙල්ෆෝනයනට හිරගෙදරදී ලැබෙන වටිනාකම එසේය.


සිරවාට්ටු වටලන හැම මොහොතකම සොල්ෆෝන් බුරුතු පිටින් හසුවන්නේද එනිසාය.


ඇතුළේ සිට සිදු කෙරෙන හැම අපරාධයකටම ජාවාරමකටම සෙල්ෆෝනය එකම අවිය බවට පත්කර ගන්නා ජාවාරමුන් ඊට ඉහළම වටිනාකමක් ලබාදෙද්දී ඒවා ඇතුළට ගෙනඑන්නටද කුඩු සැකකරුවන් මෙන්ම ඇතැම් දූෂිත නිලධාරීන්ට විවිධ උපාය උපක්‍රම භාවිත කරනුයේ බුද්ධි නිලධාරින්ගේද ඇස් වසමිනි.


අද වනවිට හිරගෙදර සිට සිදු කෙරෙන අපරාධ අතරට කප්පම් මුල්තැන ගෙන ඇත.


හිරගෙවල් හොල්ලන කප්පම් අද පොලිසියටද හිසරදයක් වෙලාය.


පසුගිය කාලයේ මිරිහාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට හිරගෙදර සිට මෙහෙයවූ කප්පම් ජාවාරම් පිළිබඳ පැමිණිලි පමණක් 44ක් ලැබී තිබුණු බවට තොරතුරු වාර්තා වී තිබිණි.


එළියේ සිට මුදලට මිනීමැරූ එකා ඇතුළේ සිට කරන්නෙත් ඒකය. කුඩු වික්ක එකා කරන්නෙත් කප්පම් ගත් එකා කරන්නෙත් ඒකමය.


සමහර සැකකරුවන් නඩුවලට, අධිකරණවලට එහෙමත් නැත්නම් රෝහලකට ගෙනයනවිට ටවුමක දකින මහා පරිමාණ ව්‍යාපාරික ආයතනවල දුරකතන අංකයක් ලියාගෙන ඒමට අමතක කරන්නේද නැත. මේ බව වැඩිදෙනෙකු දන්නේද නැත.


 පත්තර කොළ කෑල්ලක ඇති දුරකථන අංක ගැනද කප්පම් ජාවාරම්කරුවන්ට හොඳ ඉවක් ඇත.


හිරගෙදරක ගේම් පටන්ගන්නේ හවස 7න් පසුවය. සිරකුටි වසාදමා නිලධාරීන් විවේක ගන්නට එහාට මෙහාට වුණාට පසුවය.


කුඩු ජාවාරම්කරුවෝ බිස්නස් එකට බහින්නේත් කප්පම් ජාවාරම් පටන් ගන්නේත් සිරකුටි වැසුණාට පසුවය.


සමහර සිරකරුවන් ෆෝන් චාජ් කිරීමටද, තවත් සමහර සිරකරුවන් කුඩු පැකට් කිරීමද රාත්‍රියේ දී අරඹති.


සෙල්ෆෝන් ගජරාමෙට වැඩ කරන්නට පටන් ගන්නේත් ඉන්පසුවය. එළියෙන් ලබාගත් දුරකතන අංකවලට ඇමතුම් දෙන්නටත්, කප්පම් ජාවාරමට බහින්නටත් නොනිල අවසරය ලැබෙන්නේ රාත්‍රියේ වෙලාවක් කලාවක් නැතිවය.


මේ හැමදේකටම ඇතැම් දුෂිත නිලධාරීන්ගේ ආශිර්වාදය ඉහළින් ලැබෙන නිසා වැඬේ අමාරුවක්ද නැත.


කප්පම්කාර පාතාල අපරාධකරුවන් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ජංගම දුරකථන අංකවලින් මරණීය තර්ජන එල්ලකොට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ඉල්ලන්නේ මේ වෙලාවටය.


ඒ සඳහා නමගිය පාතාල අපරාධකරුවන්ගේ නම් භාවිතා කිරීමද සිදු කෙරෙන බව ව්‍යාපාරිකයෝ දන්නේ නැත.


එවැනි නමක් ඇසුණු හැටියේම භීතියට පත්වන කෝටිපති ව්‍යාපාරිකයින්ගේ කප්පම් මුදල ඊෂිකෑස්වලින් කෙළින්ම වැටෙන්නේ ලබාදුන් බැංකු ගිණුම්වලටය.


රටපුරා කෝටිපති ව්‍යාපාරිකයින්ට මරබිය ගෙනදෙන මෙවැනි කප්පම් ජාවාරම් ගැන ඔවුන් වැඩි දෙනෙකු හෙළිකරන්නේද නැත.


මෙහි වඩාත්ම පුදුමය වන්නේ ඇතැම් පාතාල අපරාධකරුවන් තම ගෝලබාලයින් සිරගෙදරකින් තවත් සිරගෙදරකට මාරුකර යවන්නටත් මේ විදියටම හිරගෙදර ලොක්කන්ට දුරකථන ඇමැතුම් දීමට පවා පෙළඹුණු අවස්ථා නැත්තේ නොවේ.


මීට ඉහත අවස්ථාවක හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකුට සිරකරුවෙකු විසින් ලබාදෙනු ලැබු එවැනි දුරකතන ඇමැතුමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඔහු සමත් වූයේ එම සිරකරුවාද හෙළිදරව් කරමිනි.


තවත් සිරකරුවකු බෝගම්බර හිරගෙදර සිට වැලිකඩ සිරකරුවෙකු බෝගම්බරට මාරුකර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වාදෙමින් වත්මන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කෙරී තිබුණේ පසුගියදාය.


හිරගෙදර සිට නමගිය පාතාල අපරාධකරුවන්ගේ නමින් කෙරෙන මරණීය තර්ජන ව්‍යපාරිකයන්ට මේ වනවිට මරඋගුලක් බඳුය.


ඒ පිළිබඳව කටක් හොල්ලන්නට පවා ඔවුන් බිය දක්වන්නේ එය ඉල්ලන් කෑමක් වන නිසාය.


මෙය කප්පම්කරුවන්ට කප්පරක් මුදල් උපයන්නට ලැබුණු වරමක් බඳුය.


හිරගෙවල්වල අඳුරු අහුමුළුවලට වී ලක්ෂ ගණනින් ගිණුමට මුදල් බැර කර ගන්නා මෙම ජාවාරමේ මහ කෙරුමන්ට හිරගෙදරින් ලැබෙන සැලකිලිද මහ ඉහළය.


කප්පම්කරුවන්ට වරෙක හිරගෙදර සුරවිමනක් බඳුය. තවත් වරෙක අපායක් බඳුය. මේ ලෝක දෙකම මැවෙන්නේ තරාදියට වැටෙන ගනුදෙනුවේ බර අඩු වැඩිවන තරමටය.


එවැනි කප්පම්කරුවන් හිරගෙදරට “මෝරුන්ය” ඔවුන්ට සුපිරි සිරකුටි මැවෙන්නේද ඉබේටමය.


මෝරුන් වැඩිවන තරමට හිරගෙදර ලොක්කන්ගේ වත්කමේ බරද වැඩිවන්නේය.


ඒ නිසාම එවැනි සිර වාට්ටු කිසි දිනෙකත් සෝදිසියට ලක් නොවීමද පුදුමයක් නොවන්නේය. ඒවා සොයා බලන්නට නොව ඒ පැත්තට යන්නටවත් සමහර බන්ධනාගාර ලොක්කන්ගේ අවසරය තිබිය යුතුය.


මෝරුන්ට කාමර වෙන් කිරීමේ සිට සෑම සහනයක්ම ලැබෙන්නේ ලොක්කන්ට සලකන තරමටය.


ඒ සඳහා නියම කෙරෙන මුදලක් මාස්පතා ලොක්කන්ට ලබාදීම සාමාන්‍ය සිරිතය.


ඊට එරෙහි වන්නට හෝ ඒ පිළිබඳව හෙළි කරන්නට කිසිදු පාතාල අපරාධකරුවෙක් ඉක්මන් වන්නේ නැත.


ඒ එය සියතින්ම ගෙළ සිඳගැනීමක් වන නිසාය.


ඕනෑම සිරගත පාතාල අපරාධකරුවෙක් සිරගෙදරට වී නිකන් සිටින්නේ නැත. ඒ එළියේ කළ දේ ඊටත් වඩා හොඳින් ආරක්ෂිතව කරන්නට සිරකුටිය තුළ ආරක්ෂාව ඕනෑවටත් වඩා ඇති නිසාය.


පොලිසියෙන් බාධාවක්ද නැත. විරුද්ධවාදීන්ගෙන් තර්ජනයක්ද ඔවුන්ට නැත.


කප්පමේ රජදහන වැලිකඩ බන්ධනාගාරය බව අද නොදන්නා කෙනෙක් නැත.


කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයද ඊට දෙවැනි නොවන්නේ එහි වැඩිපුරම රඳවා සිටින්නේ සැකකරුවන් නිසාය.


ජංගම දුරකථනවලට හා මත්කුඩු ජාවාරම්වලට මෙම බන්ධනාගාර ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි.


නමගිය මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම රඳවා සිට ඇත්තේ, දැනට රඳවා සිටින්නේත් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේය. ඉන් කීප දෙනෙකුට මේ වනවිට පොලිස් වෙඩි කා මියගොස්ය.


කුඩු මෝරුන් මෙන්ම කප්පම් කප්පිත්තන් හිරගෙවල්වලට රජ බඩුය.


හිරගෙවල් පාලනය කරන තරමටම මෝරුන් බලවත්ය. එක්තරා අවධියක වැලිකඩ බන්ධනාගාරයේ සිටි මරණ දඬුවම නියම වූ පාතාල අපරාධකරුවෙකු එහි ලොක්කාට මෙල්ල කරන්නට පවා නොහැකි තරමට ප්‍රබල චරිතයක් වූ බව නොදන්නා කෙනෙක් නැත.


මෙවැනි අප්‍රකට සිද්ධීන් රැසක්ම හිරගෙදර අඳුරු බිත්ති අතර සැඟව තිබේ.


හිරගෙදර පාතාල අපරාධකරුවන්ගේ උවමනා එපාකම් ඉටු කරන්නට එළියේ සිටින කුඩු ජාවාරම්කාර මාෆියා කල්ලිය ඕනෑම මොහොතක සූදානම්ය. ඒ සඳහා අතමිට දිගහැර වියදම් කරන්නටද ඔවුන් සූදානම්ය.


ඇතුළෙන් ඇමතුම එනවිට ඊට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන්නේද ඒනිසාය.


තම කල්ලියේ බොස්ට නවීන පන්නයේ දුරකථනයක්ද, මුදල්ද, වෙනත් ඕනෑම අවශ්‍යතාවයක්ද ඉටු කිරීම එළියේ ගෝල බාලයන්ට සුළු දෙයක්ය.


නවීන පන්නයේ ජංගම දුරකථන පාතාල අපරාධකරුවන්ට ලැබෙන්නේ කෙසේද යන්න බන්ධනාගාර බුද්ධි අංශවලට පවා ගැටලුවක් බවට පත්ව ඇත්තේ වරක් දෙවරක් නොවේ.


බන්ධනාගාර තුළ සිට සිදු කෙරෙන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් මේ වනවිට කොළඹ හිරගෙවල්වල ජෑමර් යන්ත්‍ර සවි කෙරුණේ රුපියල් කෝටි ගණනින් මහජන මුදල් වැය කරමිනි. එහෙත් ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබෙන්නේද යන්න සැක සිතෙන තරමට බන්ධනාගාරය තුළ ජංගම දුරකථන පරිහරණය අඩුවීඇතැයි සිතන්නට බැරිය.


ඒ තවමත් කප්පම් මත්කුඩු ජාවාරම් අදටත් එලෙසින්ම සිදු කෙරෙන බවට තොරතුරු ලැබෙන නිසාය.


මේ වනවිට බන්ධනාගාරගතව සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් කීප දෙනෙකු සිය ව්‍යාපාරය එලෙසින්ම සිදු කරන බවට පැතිරයන ආරංචි බැහැර කිරීමට තරම් ඉක්මන් නොවන්නේ ඔවුන් කීපදෙනා සතුව අධිබල නවීන තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන කිසිදු ජෑමර් යන්ත්‍රයකට පවා මෙල්ල කිරීමට නොහැකිව ඇති බවට රාවයක්ද පැතිර පවතින්නේ නිකමට නොවේ.


පිරිමින්ගේ සිර ගෙවල් තරමටම කාන්තා අංශ බන්ධනාගාරවලද පාතාල ගණයේ අපරාධ සිදුනොවන දිනයක් නොමැති තරම්ය.


මුදල් වංචා කිරීමේ චෝදනා සිය ගණනකට වසර 102ක සිරදඬුවමක් විඳින සිර කාන්තාවක තවමත් සිරගෙදර සිට මුදල් වංචාවේ නිරත වන බවද නොදන්නා කෙනෙක් නැති තරම්ය. පුවත්පත්වලින් ලබාගන්නා දුරකථන අංකවලට විවිධ පුද්ගලයින්ට, විහාරස්ථානවල හිමිවරුන්ට ඇමැතුම් ලබාදී මෙම ජාවාරම කලක සිට සිදු කෙරෙන බවට එහි නිලධාරිනිහු හෙළි කරනුයේ බැරිම තැනය.


මේ ගැන ඉහළ තැන්වලට දැනගන්නට ලැබී පරීක්ෂණ පවත්වා එවැන්නක් නොමැති බවට තහවුරු කර උසස් නිලධාරිහු ඇඟ බේරාගෙන ඇතත් විහාරාධිපති හිමිවරුන්ට ඉඩම් ලබාදෙන බව කියමින් වංචනිකව ලබාගත් මුදල් ආපසු ඉල්ලා එම හිමිවරුන් තවමත් බන්ධනාගාරයට පැමිණෙන බවද රහසක් නොවේ.


මෙම කාන්තා අංශයේ පාතාලය හා සම්බන්ධකම් පවත්වන සිරකාන්තාවන් බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවද නොදන්නා කෙනෙක් නැත.


විවිධ අපරාධ සැලසුම්වලට තවත් තෝතැන්නක් බවට බන්ධනාගාර රෝහලද නම් දරා ඇති තැනකි.


බන්ධනාගාරගත වන මෝරුන් වැඩි දෙනෙකු මුදලේ බලය හෝ දේශපාලන බලය මත තෝරාගන්නේ බන්ධනාගාර රෝහලය. මොවුන් රිමාන්ඞ් වනවිටම ලෙඩ වීමද සිදුවේ.


එතැන් සිට වෛද්‍ය නිර්දේශ මත දිගින් දිගටම රෝහලේ ගත කරන මෙම ජාවාරම්කරුවන් ලෙඩ ඇඳේ සිට පාතාල අපරාධ මෙහෙයවූ බවට තොරතුරු බන්ධනාගාර නිලධාරිහු හෙළිකරනුයේ ඊට සහාය දෙන ඇතැම් වෛද්‍යවරුන්ගේද කෙරුවාවල් සමගය.


කළ වැරදි ගැන පශ්චාත්තාප වන පාතාල නායකයන්ද බන්ධනාගාර තුළ නැත්තේ නොවේ.


කලක රටම හොල්ලාගෙන සිටි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන නඩුවෙන් මරණ දඬුවමට නියම වී බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඞ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් එවැන්නෙකි.


මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් සිරකුටියක වෙසෙන නව්ෆර් සිටින්නේ ලෙඩගානේය.


දරුණු වකුගඩු ආබාධයකට ලක්ව සිටින ඔහුගේ එකම ඉල්ලීම වී ඇත්තේ නිදහසය.


ජනාධිපති සමාවක් ඉල්ලා ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියක දැක්වෙනුයේ මැරෙන්නට පෙර සමාවක් ලබාදෙන ලෙසට කර ඇති ඉල්ලීමක් පමණි.


හෙළිවන තොරතුරුවලට අනුව බන්ධනාගාර අධිකාරි සාකච්ඡාවලදී ඔවුන් වෙනත් ආරක්ෂිත බන්ධනාගාරවලට මාරුකර යවනු ලබයි.


එහිදී සිය ජාවාරම් රිසිසේ කරගෙන යාමට නොහැකි වනවිට පලායාමේ සැලසුමක් ඇති බවට ප්‍රචාරයක් ගෙනයෑම ඔවුන්ගේ අලුත්ම උපක්‍රමය වී තිබේ.


ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට මහර බන්ධනාගාරයේ සැකකරුවකු ලෙස දැඩි ආරක්ෂාව මත රඳවා සිටින මොහොමඞ් සිද්දික් නමැත්තා පලායාමේ සැලසුමක් ඇති බවට පසුගිය දිනවල ප්‍රචාරය වූයේ එලෙසිනි.


බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටියදී පලායාමේ සැලසුමක් හෙළිවීම නිසා පොට්ට නව්ෆර් නමැත්තා බදුල්ල බන්ධනාගාරයට මාරුකර යවනු ලැබුවේ මීට වසර 3කට පමණ පෙරය.


නව්ෆර් එසේ ලෙඩ ගානේ සිටිද්දී ඇතැම් පාතාල අපරාධකරුවන් ඔහුගේ නම සඳහන් කරමින් තවමත් කප්පම් ගන්නා බවට තොරතුරු හෙළිවී ඇත්තේ වැඩි ඈතක නොවේ.


ඒ අදටත් ව්‍යාපාරිකයන් පොට්ට නව්ෆර් නමට බියක් දක්වන නිසාය.

m



අදහස් (0)

හිරගෙදරත් සුපිරි සැප විඳින සුපිරි පාතාලයෝ

මහේෂ් Thursday, 29 September 2016 07:41 AM

මේවා නැති කරන්න එල්ලුම්ගස නැවත ගෙනායුතුයි. එවිට මේ දේවල් වලින් ශ්‍රී ලංකාව කුඩු පාරාදීසයක් වීමේ ඉඩ මඟහැරේවි

:       0       0

රූපවතී Sunday, 02 October 2016 09:53 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

සොපි Friday, 30 September 2016 08:44 AM

කාලෝචිත ලිපියක් .ස්තුතියි ....! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1028 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 162 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 830 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 75 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 221 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 362 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site