IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හිරගෙදර ඇතුළේ නිලධාරීන්ගේ පාතාලේ

8_SLT_P_16

 

හිරගෙවල්වලට හොරබඩු ගෙනයන කප්පිත්තන් අතර නිලධාරීහුද, සිරකරුවෝද දෙගොල්ලන්ම අති දක්ෂයෝ වෙති.


ඇතැම් බන්ධනාගාර නිලධාරීහු නිල ඇඳුම් ඇතුළේද, සිරකරුවෝ ගුද මාර්ගයේද සඟවා හොර බඩු අදින්නට උපන් හපන්කම් ඇත්තෝය. ජංගම දුරකථන දෙක තුන ගුද මාර්ගයේ සඟවා ගෙන එළියේ සිට ඇතුළට එද්දී හසුවූ සිරකරුවන් ගැන කතා හිරගෙවල්වලට අලුත් නැත.


ඇතැම් නිලධාරීන් සිය නිල ඇඳුමේ බඳපටියේ හිස්වැසුමේ එහෙමත් නැත්නම් මේස් කුට්ටමේ පවා සඟවාගෙන හොර බඩු අදිද්දී මාට්ටුවුණු වාර අනන්තවත් ඇත. ඒ හැමදෙනාම අද ගෙදරය. විශ්‍රාම වයස ළංවූවන්ද මේ වැඬේට බහින්නේ එහි ඇති කුණු රසය හොඳහැටි දන්නා නිසාය.


පහළ නිලධාරීන්ට වඩා ඉහළ ජේලර් නිලයේ සමහර නෝනලාද මහත්තුරු ගානට හොරබඩු හිරගෙදරට ගෙනයන්නේ තරඟයට වාගේය. කාන්තා අංශය භාර ලොකු නෝනා කෙනෙක් කිරිපිටි පැකට්ටුවක සඟවා ජංගම දුරකථන දෙකක්, සිම්පත් කීපයක් ගෙනයෑමට කළ උත්සාහයක් බුද්ධි අංශ මගින් අනාවරණය කරගත්තේ මෑතකදීය.


විශ්‍රාම යන්නට ඔන්න මෙන්න කියා සිටි ලොකු නෝනා දැන් ගෙදරය. හිරගෙදර ඇතුළට යන ජේලර් මහත්තුරු බුද්ධි අංශ මගින් පරික්ෂා නොකෙරෙන බවට චෝදනාවක්ද ඇත. ඇතුළට යන බුද්ධි අංශ නිලධාරීන් පරික්ෂා නොකරන බවට සෙසු බන්ධනාගාර නිලධාරීන් අතර හාහුවක්ද ඇත.


ඇතුළට හොරබඩු යන්නේ මේ නිසා බවට සැකයක් මතුව ඇත්තේද ඒ නිසාය. මේ මොනවා වුණත් හොරබඩු සෙල්ලම හැමදාමත් කරන්නට බැරිය.
ඒ බුද්ධි අංශවල ඇස් වැසිය නොහැකි නිසාය. කාන්තා අංශයේ ලොකු නෝනා බුද්ධි අංශයට මාට්ටු වෙද්දී ඇගේ දෝනියන්දාද එම අංශයේම සේවය කිරීම මෙහි ඇති වඩාත්ම පුදුමයයි.


හිරගෙදරට හොරබඩු අදින එකත් වාට්ටුවල හොර බඩු අල්ලන එකත් වළක්වන්නට බුද්ධි හා ආරක්ෂක අංශය පිහිටුවූයේ මීට වසර 7කට පෙරය. ඒ කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා යටතේය.


එවක පටන් බුද්ධි අංශය දෙස සොක්කන් මෙන්ම ලොක්කන්ද බැලුවේ වපර ඇසිනි.


හිරගෙදර හොර වැඩට වැට බැඳෙනවාට වැඩිදෙනෙකු කැමති නැත. ඒ ගාණ කපන්නට බැරිවෙන නිසාය. සමහර ලොක්කන්ගේ සුපිරි වැඩකිඩ හෙළිවන නිසාය.


බුද්ධි අංශ නිලධාරීන්ට වැඩියෙන් සලකන බවට පොඞ්ඩන් අතර මතයක් පැතිර ගියේද ඒ සමගය. වැඩිදෙනෙක් බුද්ධි අංශ සමග වැඩි ඇයි හොඳයිකමක් පවත්වන්නට අකැමැත්තක් දක්වන්නේද එනිසාය.


මේ ඔක්කෝටම මුල බුද්ධි අංශයේ වැටලීම්ය. සමහර හිරගෙවල්වල ලොක්කන්ට බුද්ධි අංශය නයාට අඳුකොළ වගේය. තම තමන්ගේ බන්ධනාගාරවල ඔවුන් වැටලීම් කරනවාට වැඩි කැමැත්තක් නැත.


බන්ධනාගාරවල අධිකාරිවරුන් හා සහයෝගයෙන් බුද්ධි අංශ කටයුතු කළයුතු බවට චක්‍රලේඛ ඉහළින් නිකුත් කර ඇත්තේද මෙබඳු දේවල් දන්නා නිසාය.
බෝගම්බර බන්ධනාගාරයේ (දුම්බර) නිලධාරීන් ඊට පටහැනිව කටයුතු කළ බවට චෝදනාවක් නැගෙන්නේද මේ අතරය.


එහි වැටලීම් කළ නොහැකි බවට බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් ආපසු කොළඹට පැමිණ ඉහළට වාර්තා කර වැඩි දිනක්ද නැත.


මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ඉහළින් පැවැත්වෙන බව කීවත් ඉන්පසු සිදුවූ දෙයක් දැනගන්නට නැත.


කොහොම වුණත් අල්පෙනෙත්තේ සිට කිසිම දෙයක් හිරගෙදරට ගෙනයාම තහනම්ය.


හොර බඩු හා තහනම් බඩු කියා හිරගෙවල්වල වර්ග දෙකක් නැත. දෙකම තහනම්ය.


ජංගම දුරකථන, සිම්පත්, බැටරි, චාජර් පමණක් නොව ගංජා, චරස්, හෙරොයින්, දුම්කොළ වැනි මත්ද්‍රව්‍ය කොපමණ වැටලුවද, සිරකුටිවලින් ඒවා එළියට එන්නේ බුරුතු පිටින්ය.


සිරකුටියකින් ජංගම දුරකථන කොපමණ සොයාගත්තද පහුවදාට ඊටත් වැඩියෙන් ඇතුළට එන්නේය.


විරුද්ධවාදියෙකු කම්බස් කරන්නට පිස්තෝලයක් හිරගෙදරට ආ ඇඟ ලොමුදැහැගන්වන කතාවක් පසුගිය කාලයේ අසන්නට ලැබුණේ දකුණේ බන්ධනාගාරයකිනි.


වැලිකඩ බන්ධනාගාරය පැත්තෙන්ද එවැන්නක් මීට කලකට පෙර පැතිර ගියේ නිකමට නොවේ.


මෙහි ඇත්ත නැත්ත කොයිහැටි වෙතත් ඒවා බැහැරකරන්නටද බැරිය.


හිරගෙදර පාතාල අපරාධකරුවන්ට මේවා කජ්ජක් නොවන්නේ ඇතුළෙන් ලැබෙන සහාය ඒ තරමටම බලවත් නිසාය.


හිරගෙදර සිටින්නන් බලන්නට එන වැඩිදෙනා හොර බඩු ගෙන ආ වාර අනන්තවත් ඇත. ඒ අයගෙන් වැඩිදෙනා ඒ හිරගෙදරටම ආ අවස්ථාද ඊටත් වැඩිය.


රැඳවියන් සඳහා රැගෙන එන ආහාරපාන හා වෙනත් ද්‍රව්‍ය තුළ සඟවාගෙන එන නීතිවිරෝධී ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා එම ආහාරපාන දැඩි පරික්ෂාවට ලක්කිරීම අනිවාර්යයෙන් සිදුකෙරෙන්නකි.


එහිදී ඥාතීන් විසින් රැගෙන එනු ලබන කෑම පාර්සල් විවෘත කර හැන්දක් හෝ ගෑරුප්පුවක් යොදාගනිමින් ඒවා පරික්ෂා කිරීම සිදුකෙරේ.


මෙම පරික්ෂණවලදී ව්‍යංජන වර්ග රැගෙන එන ප්ලාස්ටික් භාජනවල පතුල ගලවා සූක්ෂම ලෙස අමතර පතුලක් සකස්කර ඒ තුළ නීතිවිරෝධී ද්‍රව්‍ය සඟවා ගෙන පැමිණි අවස්ථාද නැත්තේ නොවේ.


බිස්කට් වර්ග සූක්ෂම ලෙස ඉවත්කර ඒ තුළ සීනිසම්බෝල වල එනසාල් ඇටවල සඟවා තිබූ හෙරොයින්ද, සම්බෝල පාර්සලයක තිබූ අමු මිරිස් කරල් තුළ සෝයාමීට් ආකාරයට කුඩා හෙරොයින් පැකට් සකස්කර තිබූ අවස්ථා මෙන්ම මස්, මාළු හා කරවල ව්‍යංජන තුළින්ද හෙරොයින් පැකට් ඉකුත් කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබුණි.


පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත වන සිරකරුවන් හා සැකකරුවන් මගින් සහ බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත ඉදිරිපත් කර නැවත බන්ධනාගාරය වෙත රැගෙන එන රැඳවුවන් මගින් නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරවලට ඒමද බහුල වශයෙන් සිදුවන්නකි.


 බන්ධනාගාර තාප්පයට පිටතින් සිට පාර්සල් හා ටෙනිස්බෝල ලෙස මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන මහා බන්ධනාගාර සිර වාට්ටු දෙසට ඉලක්ක බලා වීසි කරන අවස්ථාද මේ අතර වේ. අළුයම් වේලේ උස් කන්ටේනර් රථවල නැගී බේස්ලයින් පාරෙන් මැගසින් බන්ධනාගාරයේ කුස්සි පාටිය අසලට පාර්සලයක් දමා තිබුණේ මේ නොබෝදාය.


2014 වාර්තාවට අනුව 2010 - 2014 අතර සිව් වසර තුළ බන්ධනාගාර බුද්ධි අංශය කළ වැටලීම්වලදී ජංගම දුරකථන 10789ක්, මුදල් රුපියල් 1744921.50, සිම්පත් 5106 ක්, හෙරොයින් ග්‍රෑම් 699.8ක්, හෙරොයින් පැකට් 4368ක්, ගංජා ග්‍රෑම් 1991.1ක්, ගංජා පැකට් 866ක්, චරස් ග්‍රෑම් 63.02ක් හා චරස් පැකට් 58ක් අත්අඩංගුවට ගෙන තිබීම විස්මයට හේතු නොවන්නේද?.


මේ තරම් ප්‍රමාණයක් බන්ධනාගාරය තුළට ගියේ කෙසේද යන්න විමතිය දනවන කරුණක් වුවද, බන්ධනාගාර තුළ වැටලීම් අඩුවන්නේද නැත.
පාවහන් තුළ, කොකාකෝලා බෝතල් තුළ, දන්තාලේප ටියුබ් තුළ සඟවා රැගෙන එන හෙරොයින් හා ජංගම දුරකථන පරීක්ෂණ ස්ථානවලදී සොයා ගැනුණේ වරක් දෙවරක් නොවේ.


එක් දිනක් මෙම ක්‍රමය හෙළිදරව් වූ විට එය ඊළඟට එන්නේ වෙනස්ම ආකාරයට වීම මෙහි ඇති විශේෂත්වයයි.


දුම්කොළවලටද බන්ධනාගාර තුළ ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ ඒවා කුඩාවට කපා බීඩි ලෙස පාවිච්චි කිරීමට රැඳවියන් වැඩි කැමැත්තක් දක්වන නිසාය.
බන්ධනාගාරවලට සිගරට් බීඩි තහනම් ද්‍රව්‍යයක් වීම නිසාය.


මේ නිසාම ඇතැම් සිරකරුවන් මෙන්ම සැකකරුවෝද විවිධ සූක්ෂම ක්‍රම භාවිත කරමින් බන්ධනාගාරය තුළට දුම්කොළ රැගෙන යාමට උපන් හපන්කමක් දක්වති.


සිරකරුවෝ අධෝමුඛයේ සඟවා ගෙන දුම්කොළ රැගෙන යාම මෙම සූක්ෂම ක්‍රමයයි.


මෙම දුම්කොළ තොගයක් කකුලක ඔතාගෙන නිල ඇඳුමින් බන්ධනාගාර රාජකාරියට රපෝර්තු කිරීමට සිටි නිලධාරියෙකු කළුතර බන්ධනාගාරයේදී අත්අඩංගුවට පත්වූයේ රහසේ කානුවක බඩගාමින් සිටියදීය.


ඇතැම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ සිට රිසිසේ සිය ජාවාරම් කරගෙන යන්නට ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහාය ලැබෙන අවස්ථාද ඕනෑ තරම් ඇත.


එහි උච්චතම අවස්ථාව පසුගිය වසරේදී අනාවරණය වූයේ වෙලේසුදා පිළිබඳ සිද්ධියත් සමගය.


වෙලේසුදා වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවෙකු ලෙස සිටියදී ඔහුට සිය ජාවාරම් කරගෙන යාම සඳහා නිලධාරීන්ට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාදුන් බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරන ලද අනාවරණයට අනුව බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු වැඩ තහනමකට ලක්කරනු ලැබූයේ පරික්ෂණයකට යටත්වය.


එහෙත් පරික්ෂණවලදී ඒ පිළිබඳව තහවුරුකර ගැනීමට නොහැකිවීමෙන් එම සියලුමදෙනා නැවත සේවයේ පිහිටුවීමට බන්ධනාගාර බලධාරීන්ට සිදුවිය.
මෙහි වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ රහස් පොලීසිය මුලින්ම මෙම නම් ලැයිස්තුවට ඇතුළත් කර තිබූ 45 දෙනා පසුව 17ක් බවට පත්වීමය.
එකී නම් ලැයිස්තුවට බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනෙක් හා ජේලර්වරුන් 10ක් අයත්ව සිටි බවටද බන්ධනාගාර පුරා කටකතා පැතිර ගොස් තිබුණේද නිකමට නොවේ.


මොවුන් සියලුමදෙනා ඊසි කෑෂ් ක්‍රමයට වෙලේසුදාගෙන් ලබාගෙන තිබූ කප්පම් මුදල ලක්ෂ ගණනක් බවටද ගණන් බලා තිබුණි.


මෙහි වඩාත්ම පුදුමය වන්නේ ඉහළ නිලධාරීන් වෙනුවට ඇතුළත් කර තිබූ සියල්ලෝම සැරයන් නිලයෙන් පහළ නිලධාරීන් වීමය.


මනුෂ්‍ය සමාජයක වෙසෙන විවිධ පරිසරයන්ගෙන් පැවත එන දූෂිතවූ නිලධාරීන් අතළොස්සක් රාජ්‍ය ආයතන තුළ නොමැත්තේද නොවේ.


වැරදි පුරුදු නිවැරදි කර ගැනීමට නොහැකි ඉතා අල්පවූ නිලධාරීන් පිරිසක් දූෂණ ක්‍රියාවල නිරතවීම නිසා මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්විය හැකිය.


එවැනි නිලධාරීන්ට තරාතිරම නොබලා ලබාදුන් දඬුවම් හේතුවෙන් වර්තමානය වනවිට නිලධාරීන් දූෂණ ක්‍රියාවල යෙදීමේ ප්‍රවණතාවය අඩුවෙමින් පැවතීමද බැහැරකළ හැක්කක් නොවන්නේය.


වසර 12 කට අධික කාලයක් තිස්සේ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලය පිටස්තර පරිපාලන හා හමුදා නිලධාරීන් අතට දෝලනය වීමද දෙපාර්තමේන්තුවේ පරිහානියට හේතුවක් බවට පැරණි නිලධාරීහු පෙන්වාදෙන්නේ නිකමට නොවේ.


බන්ධනාගාර විෂය පිළිබඳ අවබෝධයක් නැති එවැනි ඇතැම් නිලධාරීන් නිසා 2012.11.09 දා වැලිකඩ, 2012.01.24 මැගසින් බන්ධනාගාරවල කැරලි පවා ඇතිවූ බවද අමතක කළයුතු නැත.


බන්ධනාගාර පරිපාලනය පසුගිය වසරේ සිට දෙපාර්තමේන්තුවේ පළපුරුදු නිලධාරියෙකු වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට ලැබීම අහම්බයක් නොවූවද එය දෙපාර්තමේන්තුවේ නව ගමනකට ඇරඹුමක් සනිටුහන් කරනු ඇතැයි යන්න කාගේත් විශ්වාසයයි.


එය එසේම වන්නේද යන්න ගැන සිතීමට තවමත් කල් වැඩිය.

m

 



අදහස් (0)

හිරගෙදර ඇතුළේ නිලධාරීන්ගේ පාතාලේ

සොපි Saturday, 15 October 2016 04:54 AM

වැටත් නියරත් ගොයම් කා නම් . කාට පවසම් ඒ අමාරුව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1025 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 161 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 830 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 74 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 220 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site