IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හිරේ ගියදා සිට නිදහස් වූ දා දක්වා...

මරණ දණ්ඩනය නියමව, වසර පහකට ආසන්න කාලයක් සිරගතව සිටි දුමින්ද සිල්වා නිදහස ලබා ඊයේ (24) ගෙදර ගියේය. මෙවර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනපති පොදු සමාව ලැබූ දුමින්දගේ නිදහස්වීම ගැන ඊයේ (24) උදෑසන සිට බොහෝ මාධ්‍යවල උණුසුම් පුවත් මවන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“දුමින්ද නිදහස්”, “දුමින්ද ට ජනපති පොදු සමාව”, “දුමින්ද ගෙදර ගියා”.... ඊයේ (24 වැනිදා) දසතින්ම ඇසෙන්නට වූයේ එයයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ ‘සී වාට්ටුවේ’ රඳවා සිටි දුමින්ද, ජනපති පොදු සමාවෙන් නිදහස ලැබූ 94 දෙනාගෙන් කෙනකු වීමට වාසනාවන්ත විය.

මරණීය දණ්ඩනය නියමව සිටි අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින් ද සිල්වාට යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ද ජනාධිපතිවරයාට නිර්දේශයක් නිකුත් කර තිබිණි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සෙසු සාමාජිකයන් වූ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් ඒකමතිකව තීන්දු කර තිබුණේ දුමින් ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කෙරුණ නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුව තිබු බවය.

“දුමින්ද සිල්වා යනු කවුද?”

ඔහු, මුලින්ම ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, 2004 ජුලී මාසයේ පැවැති පළාත් සභා මැතිවරණයෙනි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ දුමින්ද, මනාප ඡන්ද 56,569ක් ලබා ගනිමින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් වාර්තා කළ පළාත් සභා මන්ත්‍රීවරයා බවට පත්විය.

පසුව ඔහු, එක්සත් ජාතික පක්ෂය අත්හැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ 2007 වර්ෂයේදීය. 2009 වර්ෂයේ පැවැති පළාත් සභා ඡන්දයෙන් වැඩි මනාප ඡන්ද එක්ලක්ෂ හැටපන්දහස් එකසිය විසි අටක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් නැවත වරක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ දුමින්ද සිල්වා මහතා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. පසුව, ඔහු, 2010 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී පැවැති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූයේ එක්ලක්ෂ හතළිස් හයදහස් තුන්සිය තිස්හයක මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි.

මෙම කාලවකවානුවේ දී, කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් වූ දුමින්ද සිල්වා මහතා දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් පසුපස සිටි නායකයකු බවට එම ප්‍රදේශයේ ජනතාව නිරන්තරයෙන් කියූ කතාවකි. එවකට කොළොන්නාවේ තරුවක්ව සිටි දුමින්ද, ‘පොඩි මිනිහාගේ’ දුක් කම්කටොළුවල දී ඉදිරියට එන්නේ දෙවරක් නොසිතා බව එම ප්‍රදේශවාසීන් කියූවකි. ඒ අනුව දුමින්දට හිර ගෙදරට පාර කැපෙන්නේ මේ සියල්ල සිදුවෙමින් තිබියදීය.

දිනය, වර්ෂ 2011 ක් වූ ඔක්තෝම්බර් 08 වැනිදාය. ඒ, බස්නාහිර පළාතේ පළාත් පාලන ඡන්දය පැවැති දිනයයි. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීමේ තරගය තීව්‍ර ව තිබූ අවස්ථාවක, කොළොන්නාව ආසන සංවිධායක ලෙසින් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මුල්ලේරියාව ප්‍රදේශයට යන්නේ ඡන්දය නිමවීමට හෝරා කිහිපයකට පෙරය.

එවකට ජනාධිපති වෘත්තීය සමිති නායකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාද තම ආධාරකරුවන් පිරිසක් සමග ඉහත කී ප්‍රදේශය වෙත යමින් සිටියේය. ඒ වන විට වේලාව සවස 2. 30ට පමණ වන්නට ඇත. අංගොඩ හිඹුටාන පටුමගේ බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය අසල දී මේ දෙපාර්ශ්වය එකිනෙකාට මුහුණට මුහූණලා හමුවෙයි. සියල්ල ආරම්භ වන්නේ එම හමුවීම තුළිනි.

සිනමා සිතුවමකින් ඇඳි පරිද්දෙන් මුළු මුල්ලේරියාව ප්‍රදේශයම වෙඩි හඬින් ගිඟුම් දෙද්දී භාරත ලක්ෂ්මන් මහතා සහ ඔහුගේ සගයෝ සිව්දෙනකු මෙන්ම දුමින් ද සිල්වා මහතාත් වෙඩි වැදී බිම ඇද වැටෙති. විනාඩි කිහිපයකින් එම සිද්ධිය නිමාවට පත්වුවත්, ඒ වන විට මුළු කොළොන්නාව ප්‍රදේශයම පුංචි යුද්ධයකට මුල පුරමින් සිටියේය.

“ලකී අයියාට වෙඩි වැදිලා... දුමින්දටත් අමාරුයි ලු.” ඇසූ ඇසූ හැම පැත්තෙන්ම ඇසුණේ ඒ හඬ පමණී. මෙම සිදුවීමෙන් භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, භාරත ලක්ෂ්මන් මහතාගේ පොලිස් ආරක්ෂක නිලධාරියා වූ රාජ්පුරගේ ගාමිණී මහතා සහ එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස සිටි දුමින්ද සිල්වා මහතාද වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූහ.

තුවාල ලත් ගාමිණී යන අය කොළඹ ජාතික රෝහල වෙතත්, දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධන පුර රෝහල වෙතත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූහ. ඒ වන විටත් හිසට වෙඩි වැදී සිටි දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත රැගෙන යෑමට ඔහුගේ භාරකරුවන් උත්සුක වන්නේ විදේශයෙන් පැමිණී වෛද්‍යවරුන් දෙදෙනකුගේ නිර්දේශය මතයි. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් හෙලිකොප්ටර් යානක් මගින් ගුවන් තොටුපොළ වෙත රැගෙන එන දුමින් ද සිල්වා මහතා සිංගප්පූරුව බලා රැගෙන යන්නේ 2011 වර්ෂයේ ඔක්තෝම්බර් 16 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් පළමුව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නේ 2011 ඔක්තෝම්බර් 13 වැනිදාය. ඒ, හෙට්ටිආරච්චි කංකානම්ලාගේ චන්දන ජගත් කුමාර, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, මංජුල හෙට්ටිආරච්චි, විජේසුන්දර ආරච්චිගේ මාලක සමීර, විදානගමගේ අමිල සහ තරිදු ලසන්ත යන සැකකරුවෝය. පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආර්. ගාමිණී යන අය රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව කෝවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර යන අය රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ එම වසරේ ඔක්තෝම්බර් 24 වැනිදාය. පසුව මෙම සිද්ධියේ අටවැනි සැකකරු ලෙස මොරවක දේවගේ සුරංග ප්‍රේමලාල් යන එම වසරේ නොවැම්බර් 27 වැනිදාත්, චමින්ද සමන් කුමාර යන අය නොවැම්බර් 29 වැනිදාත්, ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් රෝහණ මාරසිංහ යන සහ නාගොඩ ලියනාරච්චි චාමින්ද යන දෙදෙනාත් දෙසැම්බර් 21 වැනිදාත්, රහස් පොලිස් අත්අඩංගුව ගනු ලබති.

එසේම, මෙම නඩුවේ තවත් සැකකරුවකු වූ සිරිනායක පතිරනගේ චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” නැමැත්තා ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයට පලා යමින් සිටියදී 2012. 10. 12 වැනි හා එරටින් පිටුවහල් කරනු ලබන්නේ විදෙස් ගමන් තහනමක් මෙරට අධිකරණය මගින් ලබා දී තිබූ බැවිනි. පසුව එම සැකකරු මෙරටට පැමිණී අවස්ථාවේ දී කටුනායක 18 කණුව අසල දී රහස් පොලීසිය භාරයට ගනු ලැබූ බවට රහස් පොලීසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා (මහාධිකරණය හමුවේ දී පැමිණීල්ලේ සාක්ෂි ලබා දෙමින්) සඳහන් කර තිබිණි.

මෙම නඩුවේ සැකකරුවකු ලෙස දුමින්ද සිල්වා මහතා නම් කරනු ලබන්නේ 2012 ජනවාරි 17 වැනිදාය. ඒ අනුව, විදේශ ගතව ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා රහස් පොලීසිය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත යන්නේ 2012 ජුනි  22 වැනිදාය. එහිදී රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් දුමින් ද සිල්වා මහතා සදහන් කර තිබුණේ “මට කිසිම දෙයක් මතක නෑ” යනුවෙනි.

මෙම සිද්ධිය සිදුවූ ස්ථානයේ වීඩියෝ පටයක් නීතිපතිවරයා වෙත රහස් පොලීසිය මගින් ලබා දෙනු ලබන්නේ 2012 සැප්තැම්බර් 18 වැනිදාය. පසුව 2013 ජනවාරි මස 01 වැනිදා දුමින්ද සිල්වා මහතා මෙරටට පැමිණීමේ දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර, රෝහල්ගත කර සිටි ඒ මහතාව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවකට ලක් කර රක්ෂිත භාරයට පත්කරනු ලබයි. පසුව එම සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකු ඇප මත මුදා හැරීමට අධිකරණ නියෝග නිකුත් වෙයි.

මෙම නඩුවේ ලඝු නොවන නඩු විභාගයෙන් පසු නිතිපතිවරයා විසින් චූදිතයන් 13 දෙනකුට අධිචෝදනා ගොනු කරනු ලබන අතර, ඉන් පස් දෙනෙක් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. ඒ අනුව නීතිපතිවරයා විසින් ලේඛන 45ක් සහ සාක්ෂි 118ක් සහිතව මෙම චූදිතයන් 13 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා 17ක් ගොනු කරනු ලැබන්නේ ඉකුත් 2015 වසරේ මාර්තු 03 වැනිදාය.

ඒ අනුව විතානලාගේ අනුර තුෂාර ද මෙල්, හෙට්ටිකංකානම්ලාගේ චන්දන ජගත් කුමාර, සිරිනායක පතිරණලාගේ චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද”, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසූරිය ආරච්චිගේ මාලක සමීර, විදානගමගේ අමිල, කෝවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, මොරවක දේවගේ සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ, රෝහණ මාරසිංහ, අරුමාදුර රොමෙලෝ දුමින් ද සිල්වා සහ නාගොඩ ලියනාරච්චිගේ ශාමින් ද මෙම නඩුවේ විත්තිකරුවන් 13 දෙනා ලෙස නම් කර ලැබූහ. මෙහි 10 වැනි විත්තිකරු වූ දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක ගලගොඩ නැමැත්තා නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ 2015. 08. 06 වැනිදා සිට විත්තිකරු නොමැතිව සාක්ෂි මෙහෙයවමින් නඩු විභාගය ආරම්භ විය.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විභාග කිරීමට නීතිපතිවරයා ලබා දෙන ලද උපදෙස් අනුව, දින 72ක් පුරාවට නඩුව විභාග විය. ඒ අනුව මෙම විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතීත්තවය හෙබ වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් සහ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක යන මහත්ම  මහත්මීන් විසිනි. වර්ෂ 2015 ඔක්තෝම්බර් 12 වැනිදා සිට මෙම නඩුවේ සාක්කි විභාගය ආරම්භ කෙරුණු අතර එදින සිට දින 52ක කාලයක් පුරා පැවැති සාක්ෂි විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 දෙදෙනකු සාක්ෂි ලබාදුන් අතර, භාණ්ඩ 86ක් සහ ලේඛන 126ක් පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර නඩුවේ සාක්ෂි අවසන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙය වූ අතර, පැමිණිල්ලේ ඉල්ලීමකට අනුව අපරාධ ස්ථානය නැරඹීමට යාමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ අතර, නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීම ඉකුත් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදා සිදු කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම 2016 සැප්තැම්බර් පෙරවරු 10.40ට පමණ සිදු වූ අතර, එය පිටු 297කින් යුක්ත වූ බෙදුණු තීන්දුවක් විය. විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ ශිරාන් ගුණරත්න මහතා විසින් එක් තීන්දුවක් ද අනෙක් විනිසුරුවන් දෙපළ විසින් තවත් තීන්දුවක් වශයෙන් ද බෙදී ගිය මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් පසුව සමාජය තුළ ද විශේෂ කතාබහක් ඇති විය.

මෙම නඩුව සම්බන්ධයෙන් පැමිණිල්ල විමර්ශන සිදුකළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති බවත්, විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවත් සඳහන් කරමින් සභාපති විනිසුරුවරයා විත්තිකරුවන් සියල්ලන්ම නිදොස් කොට නිදහස් කළ යුතු යැයි තීන්දු කළේය.

එහෙත් බහුතර එකඟතාව මත එනම්, අනෙක් විනිසුරුවන් දෙපළ විසින් සඳහන් කරනු ලැබුවේ යම් යම් සාක්ෂි පරස්පරතාවයකින් යුක්ත වුවත්, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැති බැවින් නඩුවේ විත්තිකරුවන් 8 දෙනකු නිදොස් කොට නිදහස් කරන බවත් තවත් සැකකරුවන් පස් දෙනකුට දඬුවම් නියම කරනු ලබන බවත්ය.

මරණීය දණ්ඩනය නියම කළ අධිකරණය එම දඬුවම ප්‍රකාශ කිරීමට මත්තෙන් විත්තිකරුවන්ට යමක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි යන්න අධිකරණය විසින් විමසා සිටියේය. මෙහිදී විත්තිකරුවෝ සිව්දෙනා තමන් නිවැරැදි කරුවන් බවට ප්‍රකාශ කළෝය.

පසුව, කොළඹ මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩනයට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම අභියාචනය විභාග කර 2018 වසරේ ඔක්තෝබර් 11 වැනිදා පස්වරු 2.30 කොළඹ මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය. එහිදී මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැන වූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

රෝයල් පාක් මිනිමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනි යන අයට ද එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් කරනු ලැබුවේ ඉකුත් 2019 නොවැම්බර් 11 වැනිදාය.

2015 වර්ෂයේ දී සිදු වූ මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි යුද හමුදාවේ විශේෂ බළකායේ සාජන් මේජර් සුනිල් රත්නායක මහතාට ද ඉකුත් 2020 වසරේ මාර්තු 26 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති සමාවක් ලබා දී නිදහස් කළේය.

භාරත ලක්ෂ්මන් නඩුවේ තීන්දුව ඒ ආකාරයෙන් ප්‍රකාශයට පත්වෙද්දී දුමින්ද සිල්වා ඇතුළු පිරිස වැලිකඩ සිරබත් බුඳින්නට ගියහ. වසර පහකට ආසන්න කාලයක් වැලිකඩ සිරගෙදර කල්දේරම් බත් කෑ දුමින්දට දැන් නිදහස ලැබී ඇත. සමාජ මාධ්‍ය තුළ අද සිට සති ගණනක් පුරාම දුමින්ද ගැන පුවත් මැවෙනු ඇත.

 

(*** නිමන්ති රණසිංහ)



අදහස් (5)

හිරේ ගියදා සිට නිදහස් වූ දා දක්වා...

Harin Friday, 25 June 2021 07:05 AM

නිදහස් වුණ ඒක හොදයි

:       0       1

Puppa Saturday, 26 June 2021 05:02 AM

දැන් ඉතින් සුදුහුණු ගාලා දුමින්ද සිල්වාත් ගුණගරුක පුද්ගලයකු කරන්න පටන් ගන්න. ඔබලා සමාජ ශෝධකයෝ නෙමෙයි. හාම්පුතාලට පන්දම් අල්ලන සමාජ ඝාතකයෝ...

:       0       0

Nimal Sunday, 27 June 2021 03:32 PM

"කල්දේරම් බත් කෑ දුමින්ද" ඔයා ඉන්නේ ලංකාවේ නෙවෙයිද?

:       15       65

Bamunuarachchi Monday, 28 June 2021 06:52 PM

නිමල් බලාගෙන, හොයාහෙන කට්ටිය ඒවි...!!!

:       0       1

ලුම්බිණි Tuesday, 29 June 2021 11:08 AM

ඒ මනුස්සයාට පොළට කතුරුමුරුංගා අරන් යන්න බස් එකක් හෝ බයිසිකලයක් තිබ්බා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑනේ. තමන්ගේ වත්තේ වැවෙන දෙයකින් කීයක් හරි නීත්‍යානුකූල විදිහට හම්බ කරගන්න හදපු උත්සාහයක්... ලියුම්කරුට වහ කදුරු වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 115 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 116 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 423 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1061 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1541 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site