IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හොර නළුවාගේ අවසන් රංගනය

 13_PAGE_PAGE_6

 

පැය දෙක තුනක් තිස්සේ ඇද හැළෙන මහ වැස්ස නිසා මධුෂිකාගේ හිතට දැනුණේ තද පාළුවකි. වෙනදානම් ඇය පාන්දරින් නැගිට කෑම පිස ලක ලැහැස්ති වී රස්සාවට යන්නේ සතුටු සිතිණි. 


ඇය සතියකට දින 6 ක්ම සේවයට යන්නීය. විවේක දිනයක් වූයේ ඉරිදා දිනයේ පමණකි. 


ඇගේ නිජබිම වූයේ රත්නපුරයයි. උසස් පෙළ අවසන් කිරීමෙන් අනතුරුව මධුෂිකා කොළඹට පැමිණියේ රැකියාවක් කිරීම සඳහාය. 


ඇයට අවශ්‍ය වූයේ මාධ්‍යවේදිණියක වීමයි. චතුර ලෙස කතා කිරීමේ හැකියාවක් ඒ සඳහා හොඳ වචන මාලාවක් පාවිච්චි කිරීමේ නිසග හැකියාවක් ඇය තුළ සැඟව තිබිණි. නමුත් ඇයගේ අපේක්ෂාව ඉටු නොවුණු නිසා කොළඹ රෙදි කඩයක සේවිකාවක ලෙස සේවයට බැඳුණාය. 


“මොනවද බං ඔය තරම් කල්පනා කරන්නේ?” 


සඳුනි ඇසුවේ මධුෂිකා අසලින් වාඩිවෙන අතරතුරය. 


බෝඩිම් ජීවිතයේත් සැබෑ ජීවිතයේත් මධුෂිකාගේ තනි නොතනියට සිටි එකම මිතුරිය සඳුනිය. 


“කම්මැලියි බං නිකම්ම ඉන්න ගියාම එළියට බහින්න බෑ චුරු චුරුව පොද වැටෙනවා.” මධුෂිකා පැවසුවේ මුහුණ ඇඹුල්කර ගනිමිනි. 


“මේ තියෙන රස්නෙ හැටියට නම් වහින එක හොඳයි.” ජනේලයෙන් එළිය බලමින් එලෙස පැවසුවේ සඳුනිය. 


“හෙට දවස මතකද?” මධුෂිකා එලෙස පවසන විට සඳුනි එයට හඬ නගා පිළිතුරු දෙන්නට වූවාය. 


“ඔව් ඔව් මට මතකයි. හෙට පොල් මුරේ දවසනෙ. 


“හැමදාම බතුයි. පරිප්පුවයි, පොල් කුඩු සම්බෝලයි, සෝයා මීටුයි කාලා එපා වෙලා. හෙට හොඳ හෝටලේකට ගිහින් සප්පායම් වෙමු.” 


“ෂා.. නියමයිනේ.” 


සඳුනි එසේ පැවසුවේ උතුරා යන ප්‍රීතියෙන් යුතුවය. 


පසුදින උදෑසන මධුෂිකා රැකියාවට ගියේ වෙනදාට වඩා නොතිබුණු ප්‍රබෝධවත් ගතියක් ද සමගිනි. 


ඇය එදින ඇගේ වැටුපගෙන තම යෙහෙළිය සඳුනි සමඟ පළමුවම ගියේ ජංගම දුරකථන අලෙවිසලක් වෙතය. 


එහි වූ නවතම වර්ගයේ ජංගම දුරකථන වර්ග වීදුරු අල්මාරිවල සිත් ගන්නාසුළු අයුරින් අසුරා තිබෙනු ඇයට දිස්විණි. මධුෂිකා ඒවා දෙස බලා සිටියේ මහත් ඕනෑකමිනි. 


“අර ෆෝන් එක කීයද?” 


සුදු පාටින් බබළන “ඇන්ඩ්‍රොයිඞ්” වර්ගයේ ජංගම දුරකථනයක් දෙස බලා ඇය කඩ හිමියාගෙන් ඒවායේ මිල ගණන් අසන්නට වූවාය. 


“රුපියල් 9500 නෝනා. මේ හොඳම වර්ගයේ ෆෝන්. මෙමරි කාඞ් එක Free, Internet Speed, Sound එහෙමත් හොඳයි” කඩ හිමියා මධුෂිකා දෙස බලමින් කියා සිටියේ එම දුරකථනවල ඇති සුවිශේෂී බවය. 


“මට මේ ෆෝන් එක දෙන්න. මේ වගේ ගැරන්ටි කොහොමද?” 


“අවුරුදු දෙකක් තියෙනවා.”


දුරකථනය මිලදීගත් මධුෂිකා ඉන් අනතුරුව ගියේ බටහිර පන්නයේ විසිතුරු කෑම ඇති ආකර්ෂණීය ආපන ශාලාවක් වෙතය. එයින් නොයෙක් වර්ගයේ කෑම වර්ග ද මිලදී ගත් ඔවුන් හනිකට ගියේ තම වාසස්ථානය වෙතටය. 


කෑම කා ඇඳට ගොඩවුණු මධුෂිකා සිය නවතම වර්ගයේ ජංගම දුරකථනය අතටගෙන කවරයෙන් ඉවත් කොට එය ඉවතට ගත්තේ ඉහ වහා ගියා සතුටකිනි. 
එදින ඇය තම දුරකථනය ඔබමින් නොයෙකුත් සෙල්ලම් දමන්නට වූවාය. පසුවදාත් රැකියාවට ගොස් තම බෝඩිමට පැමිණ ඇඟ පත සෝදා වැඩ පළ නිම කළ පසු ඇය සිටියේ ජංගම දුරකථනයේ ඇලී ගෙනයමය. 


"Face Book Account එකක් හදා ගන්න ඕනෙ. ඒක තමයි දැන් ටේ‍රන්ඞ් එක. අපිත් මෝඩියො වගේ ඉඳලා හරියන්නේ නෑ.”


මධුෂිකා සඳුනි දෙස බලා එලෙස පැවසුවාය. 


කෙසේ හෝ ඇය සම්පූර්ණ උත්සාහය දරමින් Face Book ගිණුමක් ආරම්භ කරන්න වූවාය.  


ඉන් අනතුරුව ඉඩ පාඩුවක් ලැබුණු හැම විටම පාහේ අන්තර් ජාලයට ප්‍රවේශවීම ඇයගේ විනෝදාංශය බවට පත් විය.  Face Book යෑම ඇයගේ මුළු ජීවිතයම විය.  නිවාඩුවක්, විවේකයක් ලද සෑම මොහොතකම ඇය මුහුණු පොතේ අතරමං වූවාය. 


විටෙක සිනා සෙමින්ද තවත් විටෙක ඇස් ලොකු කරමින් ද සිටිනු මධුෂිකා දුටු විට ඇය සිනා සෙන්නේ කුමකටදැයි සඳුනි විපරම් කර බලන්නීය. 


“ඒයි මෙහෙ වරෙන්කෝ බං” මධුෂිකා විටෙක කෑ ගැසුවාය. ඒ හැම විටෙකම සඳුනි දිවවිත් ඇයගේ දුරකථනයට එබී බලයි. 


මුහුණු පොතෙන් දැන ගන්නට ලැබෙන විවිධ ඡායාරූප හා විවිධ වර්ගයේ පෝස්ට් වර්ග දැක ඔවුන් හඬ නගා සිනා සෙන්නට වුණේ බෝඩිම් කාමරයද දෙවනත් කරමිනි. 


සඳුනි මේ බලපංකො. මේ කොල්ලා ලස්සනයි නේද? මධුෂිකා එසේ පවසන විට සඳුනි ඒ දෙස බලා සිනාසෙන්නට වුණේ සමච්චලයට මෙනි. 


“හ්ම් හොඳයි හොඳයි දැන් උඹට ලව් සික් ගහලා වගේ. බලපං උඹ කවදහරි මැරෙන්නෙත් ලව් සික් ඔළුවට ගහලා.” 


“මම බඳිනවනම් බඳින්නේ නළුවෙක් වගේ ලස්සන කොල්ලෙක්ම තමයි.” 


“හා හා බලමුකො. මට නම් ලස්සනට වැඩක් නෑ. සල්ලි තිබුණ නම් හොඳටම ඇති. නාඩි වැටුණම ඇතිනෙ බං. ලස්සන කන්නයැ. මධුෂිකා පැවසූ දෙයට සඳුනි සිනාසෙමින් පිළිතුරු දුන්නේ එලෙසය.” 


තම සේවා ස්ථානයේ නවතම මාදිලියේ දුරකථන තිබෙන යහළුවන්ගෙන් මධුෂිකා දිනෙන් දින බොහෝ දෙවල් ඉගෙන ගත්තාය. 


එලෙසින්ම දිනෙන් දිනම ඇගේ මුහුණු පොතට මිතුරු මිතුරියන් එක්කර ගන්නට සමත් වූවාය. 


“මේ බලපං. නළුවොත් මගෙ Friend List එකේ ඉන්නවා” දිනක් නදීකා සිය මුහුණුපොත මධුෂිකාට පෙන්වූයේ තරමක ආඩම්බරයෙන් යුතුවය.


 ඒ මොහොතේ  දිවා ආහාරය ගනිමින් සිටි මධුෂිකා ඒ දෙස බැලුවේ දැඩි විමසිල්ලෙනි. 


තම මුහුණු පොතටත් නළු නිළියන් ඇතුළත් කර ගත යුතු යැයි ඇය ඉතා තදින් හිතට ගත්තේ කවදා හෝ නදීකාට එය පෙන්වීමේ පුහු ආඩම්බරයෙන් යුක්තවය. 


එදින වැඩ නිමවී ගිය පසුත් ඇයගේ එකම අභිප්‍රාය වූයේ නළුවන් කිහිප දෙනෙකු තම මුහුණුපොතට ඇතුළත් කර ගැනීමයි. 


“උඹ කන්නේ නැද්ද? ආපු වෙලාවෙ ඉඳන්ම FB එක බඳාගෙන ඉන්නේ. සඳුනි මධුෂිකාට එලෙස පැවසුවේ තරමක උස් හඬකිනි.” 


“කන්නම් කන්නම් මම මේ පොඩි වැඩක් අනේ. එසේ කියමින් පැය භාගයකට පමණ පසු මධුෂිකා සතුටින් පිනා ගියාය. හරි හරි වැඬේ හරි. මගෙ Account එකේ දැන් නළුවො දෙන්නෙක් ඉන්නවා. මේ බලපංකෝ.” 


මධුෂිකා සුපිරි නළුවන් දෙදෙනෙකු තම මුහුණු පොතට ඇතුළත් කර ගත්තේ පැය ගණනාවක්ම මුහුණුපොත පුරා සැරි සරමින් අනතුරුවය. 


ඔවුන්ගේ කියුම් කෙරුම්ද, ඡායාරූප දෙසද ඇය ආශාවෙන් බලා උන්නාය. උඩ සිට පහළ දක්වාත් පහළ සිට උඩටත් ඉතා ආශාවෙන් නළුවන් පිළිබඳ විස්තර කියවූයේ රස ගුලාවකට පිවිසුණාක් මෙනි. 


“නදීකා හිතාගෙන ඉන්නේ ඒකිට විතරයි නළුවෙක් අල්ල ගන්න පුළුවන් කියලා. මමත් කොහොමහරි සර්ච් කරලා හොයා ගත්තනේ.” 


ඇය තම මුහුණු පොතට නළුවන් එකතු කර ගැනීම පිළිබඳව යහළුවන් සමඟ පැවසූයේ පුහු මාන්නයක් හිතේ තබාගෙනය. 


මාස 02 ක් පමණ ගත විය. රුවන්ගේ මුහුණු පොත බලමින් මධුෂිකා කල් ගෙව්වාය. ඔහු වෙතට ඇය දිනෙන් දිනම ඇදී ගියේ මලට ලොල් වූ මී මැස්සියක සේය. 


මුහුණුපොත හරහා තම ප්‍රියතම නළුවා සමඟ කතා බස් කිරීමටද ඇය පෙරුම් පුරා බලා සිටියේ දැඩි ආශාවකිනි. ඒ ආශාව කොයි මොහොතේ ඉෂ්ට වේවිදැයි ඇය පෙරුම් පුරමින් බලා සිටින්නට වූවාය. 


“රුවන් වගේ නළුවෙක් එක්ක මට Chat කරන්න තියෙනවා නම්” ඇය තමාටම කියා ගත්තාය. එහෙම වුණොත් මටත් නදීකා එක්ක කියන්න පුළුවන්. මම රුවන් එක්ක Chat කළා කියලා. 


දිනක් රාත්‍රියේ ඇය රුවන්ගේ නවතම ඡායාරූප එකතුව නරඹමින් ඒවාට ලයික් කරමින් සිටියදී අදහා ගත නොහැකි ලෙසට මධුෂිකාගේ ගිණුමට ඔහුගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි. 


“HI˜” යනුවෙන් එහි සටහන්ව තිබිණි. 


එය දුටු ඇයගේ සිතෙහි මල් යායක් පිබිදුණි. ඇය ඔහුට       'Hmm” යනුවෙන් කෙටි පණිවිඩයක් යැව්වේ ක්ෂණියකිනි. 


එලෙසින් ආරම්භ කළ ඔවුන්ගේ සංවාදය සෑම දිනකම අඩුම වශයෙන් පැය දෙකක් පමණවත් පැවතිණි. 


ඒ ආරම්භ කළ සංවාදයක් දිනෙන් දිනම වර්ධනය වන්නට විය. ඒ සංවාද ඔවුන් දෙදෙනා අන්තර් ජාලයෙන් දැඩි ලෙස සමීප පෙම්වතුන් යුවළක් බවට පත් කරන්න සමත් විය. 


අවසානයේදී ඔහු ඇගේ ඡායාරූප තමා වෙත එවන මෙන් ඉල්ලා සිටියේය. මධුෂිකාට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට දෙදෙනා අතර සබඳතාව තරවී තිබිණි. 


ඒ ලෙසින් ආරම්භ කළ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප හුවමාරුවද දිනෙන් දින වර්ධනය වන්නට විය. ඒ ආරම්භ කළ මිතුදම කල් ගත වීමත් සමග දුරකථනයෙන්ද පැය ගණනාවක් කතා බහ කරන්නට පුරුදුව සිටියේ ඉන් මිදී සිටීමට නොහැකි ලෙසිනි. අල් පෙනෙත්තක් කාන්දමකට ඇලෙන සේ මධුෂිකා රුවන් කෙරෙහි ආකර්ෂණය වී සිටියේ ඉන් ගලවා ගත නොහැකි අන්දමිනි.


දින සති මාස එලෙසින් ගතව යද්දී තම මිතුරු රුවන්ගේ මුහුණු පොතෙහි අමුතු ඡායාරූප තිබෙනු ඇය දුටුවාය. අඩනිරුවත හුවා දක්වන ඡායාරූප දෙක තුනක් එහි විය. එහෙත් මධුෂිකා ඒවා නොසලකා හැරියාය. සති කිහිපයක්ම ගෙවී ගියේය. 


එදින පොහෝ දිනයකි. මධුෂිකා බෝඩිමට වී සිටියාය. තම මිතුරිය වන සඳුනිද එදින ගම් බිම් බලා ගොස් සිටි නිසා ඇයට දැනුණේ දැඩි තනි කමකි. ඇය මුහුණු පොතට පිවිසියේ ඒ පාළුව තනිකම මඟහරවා ගන්නටය. 


ඇය තම යහළු යෙහෙළියන් සමග මුහුණු පොතේ කෙටි පණිවිඩ බෙදා හදා ගන්නට වූවාය. හදිසියේම ඇයට අසැබි ගණයේ පින්තූර රැසක් දැක ගන්නට හැකි විය.


ඒ අන් කිසිවකුගේ නොව රුවන්ගේ මුහුණුපොත හරහාය. ඒ පින්තූර දුටු ඇය වික්ෂිප්ත වූවාය. විවිධ ඉරියව්වලින් යුත් පිරිමි නිරුවත් රූ එහි විය. ඇය තමා වැරදි ගිණුමකට ඇතුළත්වී ඇද්දැයි පිරික්සා බැලීය. 


නැත. එය රුවන්ගේම ගිණුම විය. මුහුණු පොතින් වහාම ඉවත් වූ ඇය ඇඳ මතට වී කල්පනා කරන්නට වූවාය. සිදුව තිබෙන කිසිවක් ඇයට සිතා ගත නොහැකිය. 


දිනෙන් දිනම ඔහුගේ මුහුණු පොතට අසැබි ඡායාරූප පළ කෙරිණි. මධුෂිකා සිදු වූ සියල්ලම තම යෙහෙළිය සඳුනි සමඟ පවසන්නට වූවාය. 


රුවන් කියන්නේ ජරා නළුවෙක් නෙමෙයි. මේ දේවල් කොහොමත් වෙන්න බෑ. සඳුනි එසේ පැවසුවේ සිදුව තිබෙන කිසිවක්ම අදහා ගත නොහැකි නිසාය. 


ඒකනෙ බං මටත් පුදුමෙ සමහර විට Local රුවන් කෙනෙක්ද දන්නේ නෑ. 


අපි මේ ගැන හොයලා බලමු. ඒත් බං ඒ නම් රුවන්ම තමයි. ඒ වොයිස් එක මට ගොඩක් පුරුදුයිනෙ. 


මේ පිළිබඳ වැඩිදුර සොයා බලන්නට වූ මධුෂිකාට සහ සඳුනිට රුවන්ගේ දුරකථන අංකය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගෙන් සොයා ගන්නට හැකියාව ලැබිණි. 


ඔවුන්ට ඒ ලැබුණු දුරකථන අංකයට කතා කළ විට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා සැබෑවටම රුවන් බවට හෙළි වන්නටද වැඩි වේලාවක් ගත වූයේ නැත. 


සිදු වූ සියල්ලම රුවන් සමඟ පැවසූ මධුෂිකාට ඔහු පැවසුවේ තමන් මේ කිසිවක් නොදන්නා බව සහ තමන්ට Face Book ගිණුමක් ද නැති බවයි. තමන් මේ පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද රුවන් තරයේ ප්‍රකාශ කරන්නට වූවේය. 


නාඳුනන හොර නළුවා දිගින් දිගටම මධුෂිකාට කතා කරන්නට විය. හිටි හැටියේම මධුෂිකාට ඔහුව හමු වීමට ද පැමිණෙන්නැයි කියා සිටියේය. 


ඇය සිදු වූ කිසිවක් ඔහුට ප්‍රකාශ කළේද නැත. සුපුරුදු පරිදි සංවාද ගෙන ගියේ හොර නළුවාට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් යුක්තවය. 


“ඔයා හරි ලස්සනයි නංගි. නළුවෙක් වුණත් මම කවදාවත් ඔයා වගේ ලස්සන ගෑණු ළමයෙක් දැකලා නෑ.” 


“බොරු කියන්න එපා අයියෙ. කොච්චර ලස්සන නිළියො ඉන්නවද ඔයා එක්ක රඟපාන.” 


මධුෂිකා එසේ පැවසුවේ සිනාසෙමිනි. 


එලෙසින් දුරකථන ඇමතුම් දින කීපයක්ම ඇයට ලැබිණි. ඇය ඔහු හා කතා කළේ මහත් ඕනෑ කමකිනි. ඇයගේ යටි හිතේ ක්‍රියාත්මක වූයේ මේ හොර නළුවා කෙසේ හෝ නීතියට හසු කර දීමය. ඒ සඳහා ඇයට සඳුනිගෙන්ද සැබෑ නළුවා වූ රුවන්ගෙන්ද හොඳ සහයෝගයක් ලැබිණි. 


“නංගී ඔයාව මට Meet වෙන්න ඕනෙ. අපි Free එකේ පොඩි Chat එකක් දාමු ඔයා Weekend නිවාඩු පාඩුවේද ඉන්නේ” හොර නළුවාගෙන් මධුෂිකාගේ දුරකථනයට එවූ කෙටි පණිවිඩයේ එසේ සඳහන්ව තිබිණි. 


ඇය හොඳින් කල්පනා කර ඒ කෙටි පණිවිඩයට ප්‍රතිචාර දැක්වූයේ ඇයව හමුවීමට පැමිණෙන ලෙසටය. 


එදින ඉරිදා දිනයක් විය. මධුෂිකා ලක ලැහැස්තිවී තම නවාතැනෙන් පිටත් වූයේ රුවන් ලෙසට රඟපාන හොර නළුවා කව්රුන්දැයි දැන ගැනීමේ කුහුලෙනි. 
ඇය සිය දුරකථනය අතටගෙන හොර නළුවාට ඇමතුමක් ගත්තේ ඔහු සිටින ස්ථානයක් දැන ගැනීම සඳහාය. 


“හෙලෝ.. රුවන් අයියේ ඔයා කොහෙද? මම මේ ඇවිල්ලා ඉන්නේ දිය දහරා හොටෙල් එක ළඟ.”


“හරි මධු මම මේ එන ගමන් වාහනේ පාර්ක් කරලා එන්නම්.”


වයස අවුරුදු 29 ක පමණ තරුණයෙකු ඇය සිටින ස්ථානයට ඇදෙනු ඇයට ඈත සිට දිස් විය. 


රතු පැහැති ටීෂර්ටයකින් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිටි ඔහු ආරෝහ පරිණාහ දේහයෙන් යුතු කෙනෙකු බවත් සැබෑ නළුවාට සම කළ හැකි කඩ වසම් තරුණයෙකු බවත් ඇයට පෙනී ගියේය. 


නමුත් පොඩි වෙනස් කම් කිහිපයක් මත තමා වෙත මේ ඇදෙන්නේ බොරු නළුවා බවට ඇයට පසක් වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. 


ඇය තම දුරකථනය ගෙන සැබෑ නළුවාට ඇමතුමක් ලබා දුන්නාය. 


ගතවූයේ නිමේෂයකි. හාත් පස සැඟව සිටි පොලිස් නිලධාරීහු සිව් දිශාවෙන්ම විත් හොර නළුවා වටකර ගත්හ. 


ඔහුට ඒ මොහොතේ කර කියා ගන්නට කිසිවක් නොමැති විය. හොර නළුවාගේ අවසන් රංගනයද එය විය. 


“ඔයාට ගොඩක් ස්තූතියි. නංගි ඔයා මේ කරපු දේ ගොඩක් වටිනවා. අපේ නම් දාගෙන Fb ගිණුම් හදාගෙන ගොඩක් කට්ටිය ගෙනියන මේ සෙල්ලම නතර කරන්න ඕනෙ. මේ දේ මට විතරක් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. ඇත්තටම ඔයා මේ කරපු නිර්භීතකමට මම ගරු කරනවා.” 


සැබෑ නළු රුවන් මධුෂිකාට එසේ පැවසූ විට ඇයට ඇති වූයේ ඉහ වහා ගිය සතුටකි. 


රුවන් වගේ ජනප්‍රිය නළුවකු තමන්ට මෙසේ ස්තූති කරතියි ඇය කිසිසේත්ම බලාපොරොත්තු වූයේ ද නැත. 


සතියකට පමණ පසු මධුෂිකාට දැන ගන්නට ලැබුණේ හොර නළුවා ගැහැණු ළමයි කිහිප දෙනෙකුම රවටා පෙම් සුව විඳ ඇති බවයි. 


මුහුණු පොතේ සාවද්‍ය ගිණුම් සකසා කතුන් රැවටීමත්, තරුණ රංගන ශිල්පියකු වූ රුවන්ගේ කීර්ති නාමයට කළ කැළලත් හේතුවෙන් වැරදිකරුට නීතියෙන් දඬුවම් ලැබිණි. 


ජීවිතය හරි සුන්දරයි. ඒ සුන්දර බව නිසාම තරුණ හිත් ආදරය සොයාගෙන යනවා. ආදරය සොයාගෙන ඔබ යන ගමනේදී දවසක ඔබ අතරමං වෙන්න පුළුවන්. අතරමං නොවී ආදරය සොයා ගන්නට උත්සාහ කරන්න. අපේ ජීවිතවල වැරදෙන තැන් හදා ගැනීම අමාරු වැඩක්. වැරදීම් නිසා හිතට ඇතිවෙන දුක් පීඩාව සමාජයෙන් එල්ලවන නින්දා අපහාස. චෝදනා සිත් රිදවීම් ජීවිතයෙන් පළා යන්න හේතුවක් වෙන්නත් පුළුවන්. හැම විටම නිසි අවබෝධයකින් වැඩ කළ යුතුවන්නේ ඒ නිසාමයි. 

m

 


 

‘FAKE’ තිබුණොත් පින්තූරය බොරුවක්

 

මේ පිළිබඳ තාක්ෂණික උපදෙස් සැපයීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගනිමු.

 

ඔබගේ නමින්ම ඔබගේ පින්තූර යොදාගෙන හෝ ඔබගේ පින්තූර පමණක් යොදාගෙන සාදන ලද ව්‍යාජ ගිණුමක් Face Book හි ඇත්නම් ඒ ගැන Face Book වෙත පැමිණිලි කළ හැකියි. 

2
මෙහිදී නම පමණක් තිබීමෙන් එය ව්‍යාජ ගිණුමක් බවට තහවුරු කළ නොහැක. මන්දයත් එකම නම ඇති පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිය හැකි බැවින්. එම නිසා ව්‍යාජ ගිණුමක් බව ඔප්පු කිරීමට ඡායාරූප තිබීම අත්‍යවශ්‍ය දෙයක්. 


ඔබ පමණක් පෙනී සිටින ඔබගේ පින්තූර ඔබගේ අවසරයකින් තොරව යම් කිසි Face Book ගිණුමක හෝ පිටුවක පළ කර ඇත්නම් ඒ බව Face Book වෙබ් අඩවිය වෙත දැනුම් දීමෙන් ඒ ඡායාරූප ඉවත්කර ගැනීම කළ හැකියි. පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින පින්තූරයක් ඉවත් කිරීමේදී ඒ සඳහා සියලු දෙනාම ඒ ඡායාරූප ඉවත් කිරීමට වෙන වෙනම Face Book වෙබ් අඩවියට වාර්තා කළ යුතුයි. 


යම් විටෙක එවැනි ගිණුමක් සැදීමෙන් අනතුරුව එය සාදන ලද තැනැත්තා විසින් එය නියම අයිතිකරුට ඒ කියන්නේ අදාළ නම සහිත එම පින්තූර අයත් පුද්ගලයාට බලපෑම් කරනු ලබන අවස්ථා තියෙනවා. මෙවැනි අවස්ථාවකදී ඉතාමත් කල්පනාකාරී විය යුතු වෙනවා. බලපෑම් හෝ තර්ජන කරන පුද්ගලයාට තමන්ගේ කිසිදු තොරතුරක් සැපයීමෙන් වළකින එක තමයි වැදගත්ම දේ වෙන්නේ. 


බෝහෝ විට එවැනි තර්ජන පැමිණෙන්නේ තම ගිණුමට අසභ්‍ය පින්තූර එකතු කරන බව, නැතහොත් තමාගෙ පින්තූරවලට අසභ්‍ය පින්තූර බද්ධ කරන බවට. Face Book හි (Community Standards) වලට අනුව අසභ්‍ය පින්තූර එකතු කිරීම වරදක්. එබැවින් එය වාර්තා කිරීම මගින් ඉවත් කර ගත හැකිවෙනවා. 


බද්ධ කරන ලද අසභ්‍ය පින්තූර පහසුවෙන් ඕනෑම අයෙකුට හඳුනා ගත හැකියි. එමෙන්ම එවැනි පින්තූර පළ කිරීමටද Face Book හි නීතිවලට පට හැනියි. එබැවින් එම තර්ජනවලට බිය වීමට අවශ්‍ය නෑ.  


කිසිදු හේතුවක් මත තමාගේ අසභ්‍ය හෝ අතිශය පෞද්ගලික පින්තූර හෝ කිසිදු පුද්ගලයෙකුට යැවීමෙන් වැළකීම තමයි හොඳම දේ වෙන්නේ. එවැනි දෑ යැවීමෙන් සිදු වෙන්නේ එය සිදු කරන පුද්ගලයා තවදුරටත් ඔබ අපහසුතාවයට පත් කිරීම. 


තම Face Book ගිණුමට ඇතුළත් කරන පින්තූර සියල්ල තම මිතුරන්ට පමණක් බැලීමට හැකිවන ලෙස සැකසුවහොත් ඔබට ආරක්ෂා විය හැකියි. යම් අසභ්‍ය හෝ සභ්‍ය හෝ ඡායාරූපයක “—Fake˜” යනුවෙන් වචනයක් දකින්න ලැබෙනවා නම් එය වෙනසක් කළ පින්තූරයක් බව හඳුනා ගත හැකි වෙනවා. තමාගේ පෞද්ගලික තොරතුරු ලිපිනය, දුරකථන අංක, රැකියා ස්ථානයට අදාළ තොරතුරු, පවුලේ විස්තර Face Book  ගිණුමට ඇතුළත් කරන්නේ නම් අවශ්‍ය පුද්ගලයන්ට පමණක් බැලීමට හැකිවන අයුරින් සකසන්න. 


පෞද්ගලිකව නොදන්න පුද්ගලයන් සමඟ අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීමේදී පරෙස්සම් වන්න. අනවශ්‍ය ලෙස තම පෞද්ගලික තොරතුරුද නිරාවරණය කිරීමෙන් වැළකී සිටියහොත් කිසිදු ප්‍රශ්නයකින් තොරව Face Book  හරහා ගනුදෙනු කළ හැකියි.



අදහස් (0)

හොර නළුවාගේ අවසන් රංගනය

මොහොමඩ් Thursday, 17 November 2016 08:25 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 580 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 104 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1031 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 130 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 225 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 444 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site