ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නමින් පසුගියදා එළි දැක්වුණි. හර්ෂණ දිසානායක ගයන “දැන් ඉතින් සමුගන්න”, කරුණාරත්න දිවුල්ගනේ ගයන “වන්නි වන හිස”, සුනිල් එදිරිසිංහ ගයන “වියපත් වී නැත”, ශෂිකා නිසංසලා ගයන “සුනිල නෙත් පොකුණේ”, තිළිණ සුදේශ් ගයන ”මතක මංකඩ සුන්දරයි” වැනි ජනප්‍රිය ගීත ඇතුළුව සෝමවීර ලියූ ගීත ගණන එකසිය පනහකට අධිකය. ඔහු සමඟ කෙරෙන මෙම සංවාදය නූතන ගීතය පිළිබඳව කියැවීමකි.
Q ඔබේ තුන් වැනි ගේය කාව්‍ය සංග්‍රහය මතක මංකඩ නමින් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පසුගිය දා එළි දැක්වුණා. කාලයක් පුරා රැස් කළ මේ සංග්‍රහයේ නිර්මාණවලට බලපෑ පසුබිම්, අත්දැකීම් සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කෙබඳු මතකයක් ද?
මීට පෙර 2014 වසරෙදී “වසන්තය මගෙ නොවෙයි” නමින් පළමු ගේය කාව්‍ය සංග්‍රහයත්, 2019 දී “දැන් ඉතින් සමුගන්න” නමින් දෙවැනි ගේය කාව්‍ය සංග්‍රහයත් එළි දැක්වුණා. තුන්වැන්න තමයි “මතක මංකඩ”. 2019 වර්ෂයේ සිට මේ දක්වා මගේ අතින් ලියැවී ගීත බවට පත්වූ ගේය කාව්‍ය නිර්මාණ හැටක් මේ පොතට ඇතුළත් කළා. මගේ නිර්මාණවලින් වැඩි කොටසකට වස්තුබීජ වුණේ මගේ ජීවන අත්දැකීම්. මම උපන්නෙ නවගත්තේගම. පාරිසරික වශයෙන් ඉතා ශුෂ්ක ප්‍රදේශයක් වගේම ජීවිතය අතිනුත් අපි ගෙවුවේ ඉතාම දුෂ්කර ජීවිතයක්. මට මතකයි දවසට වේලක් දෙවේලක් බොහොම අමාරුවෙන් කාලා හුස්ම ගැටගහගත්ත අතීතයේ පුංචි අපි හාමතේ අඬනකොට තාත්ත අපි ළඟට අරගෙන “අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා” වගේ කවි හයියෙන් කියවද්දී ඒව අහගෙන නිදාගත්ත දවස්. එවැනි සිදුවීම් සිය ගණනක් එක්ක ගැටුණ අපිට දරා ගැනීම, අල්පේච්ඡතාව, ඉවසීම ආදරය, කරුණාව වගේ දේවල් ඒ පරිසරයේ අත්දැකීම්වලින්ම එන්නත් වුණා. අනික් අතට අපි කැලේම ගඩා ගෙඩි කාල වැව්වල ඇළවල්වල නාලා පීනලා සතා සීපාව එක්ක හැදුණු සොබාදහමේම ජීවියෝ. ඔන්න ඔය දේවල් විසින් ඇති කළ කම්පනය පස්සෙ කාලෙක මගේ පරිකල්පන ලෝකයේ නිර්මාණ විදියට ලියැවුණා.
“මේ මතක මංකඩ සුන්දරයි
ඔබ ඇවිත් බොර නොකෙරුවානම්”
“දියවෙන්න නොදී පරිස්සමට හිත යට හීනය
මුදු පියාපතින් පිසදාගෙන නළලේ දාඩිය
බර නුහුරු කරෙන් උහුලනකොට ජීවිතයේ බර
මං ඉහට උඩින් ඉහලන්නම් උතුරන ප්‍රේමය”
Q ඔබ ගීතාත්ම නමින් රට පුරා රැගෙන යන ගී රසවින්දන වැඩසටහන දැන් වඩාත් ජනප්‍රියයි. ඇයි එබඳු වැඩසටහනක් ආරම්භ කරන්න සිතුණේ?
මේ වැඩසටහන පටන් ගත්තෙ මං උසස් පෙළ පන්තියේ ඉගෙනගත්ත කාලේ. ඒ කියන්නෙ 2000 අවුරුද්දෙ විතර. එතකොට කැසට් ගී යුගයේ උච්චතම කාලය. අපි කුඩා කාලෙ වින්ද ගීත සහ ඒ වෙලාවෙ ඉතා වේගයෙන් ප්‍රසිද්ධ වුණ ගීත අතරෙ ගුණාත්මක භාවයෙ පරිහානියක් තියෙනව කියල දැනුණා. ඒ කාලෙ ජයතිලක බණ්ඩාර සහ මහින්ද චන්ද්‍රසේකර එක්ව ඉදිරිපත් කරපු “සාධු ජන රාව” වැඩසටහන මම කිහිප විටක් ශ්‍රවණය කරල විඳලා තිබුණ. ඒක අප හරියට කම්පනයට පත් කළ වැඩසටහනක් වගේම ගීතය කියන්නෙ කොයිතරම් මෙහෙයක් සමාජයට කළ හැකි මාධ්‍යක්ද වගේ කතිකාවකට අපිව යොමු කරපු වැඩසටහනක්. මට කුඩා කාලෙ ඉඳලම සන්නිවේදක හැකියාවක් තිබුණ. මුලින්ම “සාධු ස්වර අභිවන්දන” නමින් ආණමුඩව මධ්‍ය මහා විද්‍යාලයේ සහෝදර සිසුන් වෙනුවෙන් ගී රස වින්දන වැඩසටහනක් විදියටයි මේක පටන් ගත්තේ. ඒකට ලැබුණ ප්‍රතිචාර එක්ක වෙනත් සහෝදර පාසල්වලත් මමත් මගේ යහළුවනුත් මේ වැඩසටහන ඉදිරිපත් කළා. පාසල් දරුවො කණ්ඩායමක් විදියට අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ. ඉතින් ඒ ලැබුණ උත්තේජනය එක්ක නොකඩවා මම මේ වැඩසටහන කරගෙන ආවා. පසුගිය කාලයේ ඒක විවිධ නම්වලින් පවත්වාගෙන ආවා. අන්තිමට එය ගීතාත්ම වුණා. මේ වෙනකොට එය රාජ්‍ය ආයතනවල සහ විවිධ පළාත්වල ගම්දනව්වල දරුවන් මිනිසුන් වෙනුවෙන් පවත්වනවා. මේ කාලය තුළ මේ වැඩසටහන නිසා ජීවිතය වෙනස් කරගත් බොහෝ දරුවන් මිනිසුන් මට මුණ ගැහිලා තියෙනවා. ඒ අත්දැකීම් මට කියල තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා ඒ ගැන.
Q ගීතාත්ම ඔබ නම් කරන්නේ ජීවිතයට ප්‍රතිශක්තිය දෙන ඖෂධීය ගී මාත්‍රාව නමින්. ජීවිතයට ශක්තිය ලබා දෙන්නට ගීතය ඖෂධයක් වෙතැයි ඔබ සිතනවා ද?
ඔව්. මම දැඩිව එහෙම කල්පනා කරනවා. එහෙම අත්දැකීම් සමුදායක් ගීතය කවිය සම්බන්ධයෙන් මට තියෙනවා. ඒ වගේම අතීතය පිරික්සලා බලපුවාම ගීතය සතු ඖෂධීය ගුණයෙන් මිනිසුන් සුවපත් වුණ හැටි හොයාගන්න පුළුවන්. ගීතය කියන්නෙ සාහිත්‍ය සහ සංගීතය කියන පාර්ශව දෙකෙහිම එකතුවක් විදියට නිර්මාණය වුණ කලාංගයක්. මිනිස් මනස සුවපත් කරන්න මේ දෙකෙහිම ලොකු හැකියාවක් තියෙනවා. ආකල්පමය හා චින්තනමය වශයෙන් මනස වෙනස් කිරීමේ හැකියාව සාහිත්‍යය සතුයි. අනික් අතට නිවීම උදෙසා ප්‍රතිකාර ක්‍රමයක් විදියට මේ වෙනකොට නවීන ලෝකය සංගීතය භාවිත කරනවා. අපි බෞද්ධ දර්ශනයේ කතා කරන සම්මා සතිය, සම්මා දිට්ඨිය වගේ ගුණ ඇති කරගන්න ගීතයේ සාහිත්‍යමය භාවිතාව උදව් වෙනවා. එවැනි දියුණු තත්වයන් ඇතිවීම නේද මනසේ සුවපත් බව ඇති කරන්නෙ. මේ කලාපය ඉතා පුළුල්ව කතා කළ හැකි කලාපයක්. නිකමට උදාහරණ කිහිපයක් ගත්තොත් බලන්න මේ වචන පේළි ඇතුළෙ අපේ මනසට ලැබෙන ආලෝකය, ශාන්තිය, ශක්තිය සහ අවබෝධය. ඒ වගේම අපේ චින්තන කලාපය දියුණු කරන හැටි.
ලොව දුන්න දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි.
ඝන කළුවරට අප පෙම්කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි (රත්න ශ්‍රී විජේසිංහ)
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ (වසන්ත කුමාර කොබවක)
මම මෙහෙම ගීතයක් ලිව්වා.
දැන් ඉතින් සමුගන්න
සිනා දොතොලට ගන්න
දුක් කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න
උදාහරණයක් විදියට ඔය මම ලිව්ව ගීතය එක්තරා පාසලක ප්‍රේමයේ වියෝව දරාගත නොහැකිව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ දියණියක් නැවත ආදරය සහ ජීවිතය ගැන හිතන්න පොළඹවපු ගීයක්. ඇය පස්සෙ කාලෙක මට කතා කරලා කියනවා ඇගේ ජීවිතය නැවත පටන් ගත්තෙ මේ ගීතය නිසා කියලා. තව එහෙම පෙම්වතුන් පෙම්වතියන් සිය ගණනක් මට කතා කරලා තියෙනවා. ඉතින් මම කොහොමද පිළි නොගෙන ඉන්නෙ ගීතයට ඖෂධීය ගුණයක් තියෙනවා කියලා. මම මේ කතා කළේ සාහිත්‍යමය පාර්ශවය විතරයි. සංගීතය පැත්තෙන් තවදුරටත් මේ ඖෂධීය ගුණය විද්‍යනුකූලව පැහැදිලි කරන්න පුළුවන්.
තව එක දෙයක් කියන්නම්. අපි හැමෝටම කුඩා කාලෙ සරම්ප, පෝලියෝ වගේ එන්නත් දීල තියෙනවා. ඒ රෝග අපිට හැදුණ නිසා නෙවෙයි. කවදහරි හැදෙන්නෙ නැති වෙන්නයි. ඒ රෝග කාරකවලට එරෙහිව සටන් කරන්න පුළුවන් ශක්තිය තමා ඒ එන්නත් කරන්නෙ. ඒවටනෙ අපි ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නෙ. හොඳ ගීයකත් මේ ලක්ෂණයම මම දකිනවා. සමහර ගීත අපේ විඳීම් කලාපයෙ එහෙම නැත්නම් අපේ ඇසුරේ තිබ්බම අපේ ප්‍රශ්න ගැටලුවල දී අකම්පිතව ඉන්න ශක්තිය වගේම ගැටලු නිරාකරණය කරගන්න ශක්තිය නිර්මාණය කරනවා. ඒ නිසයි මම ජීවිතයට ප්‍රතිශක්තිය දෙන ඖෂධීය ගී මාත්‍රාව කියලා මගෙ වැඩසටහන නම් කරන්නෙ. මේ වැඩසටහන ඇතුළෙ කතා කරන්නෙම එහෙම ගීතවල තියෙන ගුණය ගැන. මම කරන්නෙ හුදෙක් ගීත රසවින්දන වැඩසටහන්වලට එහා ගීය වගකීම් සහගත සමාජ කාර්යයක්. ඒ නිසා ඒ වැඩසටහන ගීත රසවින්දන වැඩසටහනක් විතරක් කියන තැනට පටු කරන්නත් මට බෑ.
Q වර්තමාන ගීත කලාව අයාලේ යමින් තිබෙන බව යි බොහෝ දෙනාගේ අදහස. ඔබේ නිරීක්ෂණය කෙබඳු ද?
ඔව් ඒක සාධාරණ අදහසක්. ඒත් මම මේක ටිකක් පැතිරුණ විමසිල්ලකින් දකින්න කැමතියි. අතීතයේ ඉඳලම මේ චෝදනාව ගීත ක්ෂේත්‍රයේ නියැළුණු අය එල්ල කරලා තියෙනවා. ග්‍රැමෆෝන් ගීතය ගත්තාමත් ඒ කාලෙත් හොඳ සහ නරක ආදී වශයෙනුත් වෙනත් වෙනත් සීමා ඉරි ගහගෙනත් බෙදීම් තිබිලා තියෙනවා. ගීතයේ ස්වර්ණමය යුගය විදියට ගැනෙන හැත්තෑව අසූව කාලෙත් එක්තරා කොටසක් ගීතයේ අවැඩදායී කොටසක් අඳුන්නල දෙනවා. ජෝති මිල්ටන් වගේ අයත් එක්තරා කාලයක එක්තරා පාර්ශ්වයක නිර්දය විවේචනවලට ලක්වෙලා තියෙනවා. ඒ නිසා කලින් කලට ඔය අදහස විවිධ විදියට සමාජයට ඇවිත් තියෙනවා. තරාදියක් වගේ මේ හැම කාලෙදිම උස් පහත් වෙමින් මේ සියල්ල පැවතගෙන එනවා. අදත් ඒ සංවාදය එහෙමම තියෙනවා. මෙතනදී සාපේක්ෂව යම් යම් දර්ශක අගයන් වෙනස් වෙලා තියෙනවා කියන එක පිළිගන්න වෙනව. එහෙම නැතුව සමහර කෙනෙක් මේක සම්පූර්ණයෙන් සෝදාපාළුවට ලක්වෙලා තියෙනව කියන මතය පිළිගන්න ඕනි නෑ අපි. මට හිතෙන්නෙ ඔවුන් එහෙම කියන්නෙත් කිසියම් සීමාවක ඔවුන් දකින නිරීක්ෂණ සමගයි කියන එක.
අද යහපත් නිර්මාණයක් කරගන්න කිසිම නිෂ්පාදකයෙක් නෑ. ගුවන්විදුලිය වගේ ආයතන ඒ කටයුත්ත අතඇරලම දාල. ඒ විතරක් නෙවෙයි අපි ලක්ෂ ගාණක් වියදම් කරලා නිර්මාණය කරපු ගීයක් ගිහින් දුන්නමත් ටිකක් මැළියි ඒව ප්‍රචාරය කරන්න. තම තමන්ගෙ මුදලින් තමයි නිර්මාණයක් කරන්නෙ. ඒකෙදී එදා වගේම අදත් හරසුන්, රසසුන් නිර්මාණ බිහිවෙනවා. ඒක ඇත්ත. ඒවා විවිධ වෙළඳ උපක්‍රම මගින් සමාජ ගත කෙරෙනවා. ඒ නිසා ඒ දිහා විතරක් ඇහැ කන යොමු කරගෙන ඉන්න අයට මේකෙ හොඳ කිසිවක් පේන්නෙ නෑ. තිරුවාන ගලුත් පාට කරලා මැණික් වගේ විකුණන කාලයක් මේක. ඒකට විශාල වෙළඳපොළක් හැදිල. ඒත් මැණික් මැණික් විදියටම පොළොව යට තියෙනවා.
Q අපි අද මේ සමරන්නෙ 77 වැනි නිදහස් දිනය. කලාකරුවකු විදියට අපේ සංස්තෘකික නිදහස ගැන මොන වගේ ආකල්පයක් ද තියෙන්නෙ ?
ඇත්තටම සංස්කෘතික නිදහස විතරක් නොවෙයි කිසිම විදියක නිදහසක් හරිහමන් විදියට භුක්ති විඳින්න ලැබුණ පිරිසක් නෙවෙයි අපි. අපි නිදහස කියන වචනය බරට උච්චාරණය කරමින් සමස්ත මිනිස් සමාජයක අයිතීන් සූරා කාපු, නිදහස සූරාකාපු පාලක පැලැන්තියක සුඛ විහරණය දිහා බලාගෙන හිටිය පිරිසක්. සාහිත්‍ය කන්න ද වගේ ප්‍රශ්න අහපු පාලකයෝ යටතෙ ජීවත් වුණ රට වැසියො පිරිසක්. සරච්චන්ද්‍ර වගේ මිනිස්සුන්ට කානුවෙ දාගෙන ගහපු දිහා සුසුම්ලමින් බලන් ඉන්න වෙච්ච පිරිසක්. යාපනේ පුස්තකාලෙ වගේ සම්පත් ගිනි තියන්න පන්දම් අවුලපු පාලකයො යටතෙ ජීවත්වුණ කිසිම නිදහසක් තියා නිදහස ගැන හිතන්න නිදහසක් වත් තිබ්බෙ නැති පිරිසක්. කලින් කලට පාලකයා හඳුන්වා දෙන එක එක උපක්‍රමික භාවිතාවන් මිනිස්සුන්ගෙ ඇස් අන්ධ කරලා තිබ්බ. කන් බිහිරි කරවලා තිබ්බ. හදවත් හිරිවට්ටල තිබ්බ. එබඳු සමාජයක සංස්කෘතික නිදහසක් කොයින්ද? ඒක ගොඩනැඟීම අභියෝගයක්.
ඒත් මේ ඒ අහිමි වුණ වටිනාකම් බලාපොරොත්තු දැල්වෙන වගේම මහන්සියෙන් දල්වාගත යුතු කාල පරිච්ඡේදයක්. ඒකට උදව් කළ යුතු කාලයක්. අපිට යම්කිසි විදියක ආලෝක ධාරා පේනවා. මම විශ්වාස කරන දේ තමයි සංස්කෘතික මිනිසා ඔසවා තබන තරමට තමයි අපිට සදාචාරවත්, නිදහස්, ආචාරශීලි, විනයගරුක රටක් නිර්මාණය කරගන්න පහසුව හැදෙන්නෙ.
Q ගීතයේ පරිහානියක් ගැන කතා කෙරෙන මේ යුගයේ ප්‍රවීණ පද රචකයන් බොහෝ දෙනා ඒ ගැන කලකිරීමෙන් සිටිනවා. කොටිම්ම ඇතැමුන් ගීත රචනයෙන් පවා ඉවත්ව සිටිනවා. ඒත් එබඳු යුගයක ඔබ ගීතය වෙනුවෙන්ම පෙනී සිටින්නේ ඇයි?
ඒකට අරමුණ කියන සාධකය එක හේතුවක් වෙන්න ඇති. මම ගීත ලියන්න පෙළඹුණේම කැසට්, සංයුක්ත තැටි සමාගම් ගීතයේ ආධිපත්‍ය තහවුරු කරගනිමින් හිටිය යුගයක. ගුවන් විදුලිය ගීත නිෂ්පාදනයෙන් වගේම ප්‍රචාරයෙනුත් ඈත් වෙන යුගයක. අනික් අතට ගීතයේ ගුණාත්මක බවට වඩා වෙළඳ වටිනාකම ගැන හිතපු කාලෙක. පෞද්ගලික ගුවන්විදුලි නාළිකා ඇතිවෙමින් ගීත ක්ෂේත්‍රයට විවිධ වෙළඳ අරථයන් එකතු කරමින් හිටිය කාලෙක. අපි ඇසුරු කරපු සාරවත් නිර්මාණවල සුවඳ රැකගෙන ඒ වගේ නිර්මාණ කරන්න මම පටන්ගත්තෙම එවැනි වටපිටාවක. ඒ නිසා මට මේ මොහොතේ වුණත් අමුතු කලකිරීමක් නෑ.
ඒ වගේ වටපිටාවක මම හැම වෙලේම මහන්සි වුණේ සාරවත් නිර්මාණයක් කරල හැකි පමණින් හෝ සමාජ ගත කරගන්නෙ කොහොමද කියන විකල්ප හොයන මානසිකත්වයක් එක්ක. මම ඇත්තටම සමාජ මාධ්‍යවලින් ගොඩක් ප්‍රයෝජන ගත්තා. දැන් ඒ මහන්සියට මට සැනසුම් දායක ප්‍රතිචාර ලැබෙනවා. දැන් ඒ ප්‍රතිලාභ මට විතරක් නොවෙයි ගීත ක්ෂේත්‍රයේ යහපත් නිර්මාණ කරන්න හිතන නවකයන්ටත් ආදර්ශයක් වගේම ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් මට ඇති ඒ හොඳටම.
“හැමදාම නියඟය නෑ
වැහි පොදක් හරි වැටෙනවා
ඉරි තැලුණ බිම්වල පවා
අලුත් හුස්මක් නැගෙනවා
කඳුළු පිපිරී මලක් වෙන දා
ඒ සුවඳ පොද විඳිනවා”
(***සටහන - ගාමිණී කන්දෙපොළ)
හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට
ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී
2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ
ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම
වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර
“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්