IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ෆින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුණේ ඇයි?

ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.

ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 128 වැනි ස්ථානයයි. ඒ රටවල් 143ක් අතරිනි. ලෝක සිතියමේ අබැටක් තරමේ වුව ද මේ රට වාසනාවන්ත මෙන්ම සශ්‍රීක රටකි. ස්වාභාවික විපත් අවම නිසි කලට වැසි වසින, සෞම්‍ය දේශගුණයක් හිමි රටකි. එහෙත් අප රටේ ජනයාට සතුටෙන් ජීවත්වීමේ වරම අහිමි කර හෝ නැත්නම් අහිමි කරගෙන වී තිබේ. දුගීභාවයත් අවිනිශ්චිතභාවයත් උරුමව මනුෂ්‍යත්වයේ අසරණකම තුළ දවස් ගෙවා දැමීමට පුරවැසියාට සිදු වී තිබේ. මෙහි බරපතළම වින්දිතයන් බවට පත්ව සිටින්නේ මල්මෙන් හදවත් ඇති නෙත් මෙන් රැකබලාගත යුතු දරු පරපුර වේ. ඒ සම්බන්ධ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මව්පියන්ගේ නිසි රැකවරණයක් නොමැතිව අනාරක්ෂිතව දිවි ගෙවන බව කියන හලාවත ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික පාසලක සිසු සිසුවියන් 27 දෙනකු ගැන එම පාසල පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හලාවත කොට්ඨාස ළමා සහ කාන්තා  කාර්යංශයට පැමිණිලි කළ බව ය. එමෙන්ම හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සුභාෂිණි හේරත් මහත්මිය එම ග්‍රාම නිලධාරිනිය සමග එම පාසලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ය.

පළමුව එම නිලධාරිනියන් දෙදෙනාට ප්‍රණාමය පිරිනැමිය යුතු ය. ඒ අනුන්ගේ දරුවන් යැයි නොසිතා එම අහිංසක දරු පැටවුන් ගැන සොයා බැලීම සම්බන්ධයෙනි. බොහෝවිට සිදුවන්නේ ඛේදවාචකයක් වූ විට ඒ සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළීම සහ කප්පරක් තර්ක විතර්ක ඇදබෑම ය.

අප ප්‍රවෘත්තියට අනුව මෙම බාල වයස්කාර සිසුසිසුවියන් විසි හත් දෙනාම අනාරක්ෂිතභාවයට පත්ව ඇත්තේ මවුපියන් විදෙස් රැකියා සඳහා යෑමත් පියවරුන්ගේ බීමත්කමත් නිසා ය. මෙම සිසු සිසුවියන් විසිහත් දෙනාගේ මවුවරුන්ගෙන් පස් දෙනකුම දරුවන් අතහැර අනියම් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සමග පැනගොස් පවුල් ජීවිත ගත කරන බවත් දරුවන් අනාරක්ෂිතභාවයට පත් කිරීම සම්බන්ධයෙන් එම මවුවරුන්ට ඉදිරියේ දී නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කරන බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

බීමත්කමට ඇබ්බැහි වී සිටින පියවරුන් උපදේශන සේවාවලට යොමුකර ඔවුන් සමාජගත කිරීමට හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පියවර ගෙන ඇති බවත් උපදේශන සේවාවලට යොමුකර තිබියදීත් මත්පැන් පානය කිරීමට යොමු වුවහොත් ඔවුනට එරෙහිව ද අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය.

මුළු රටේම අවධානය යොමු විය යුතු තත්වයකි. අප රටේ දූ දරුවන් මුහුණ දී සිටින දුක්ඛිත ඉරණම මෙම ප්‍රවෘත්තියෙන් කියැවේ. පසුගිය ජනවාරි මාසයේ සිට මෙම මාසයේ මුල් සතිය දක්වා පමණක් අනාරක්ෂිතව සිටි දරුවන් 12 දෙනකු සොයාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සඳහා හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අවශ්‍ය පියවර ගෙන තිබේ.

මුළු රටේම සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි මෙබඳු සමීක්ෂණ කළ යුතු ය. අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර නොපමාව ගත යුතු ය. ෆින්ලන්තයේ ජනයාට උරුම සතුට අපට උරුම කරගත හැකි වන්නේ එමගින් පමණි.

(***)



අදහස් (9)

ෆින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුණේ ඇයි?

විමල් Saturday, 23 March 2024 09:18 AM

සතුටින් සිටීමට බොහෝ කාරණා බලපානු ලබන බවයි පෙනී යන්නේ. ඒවා පුද්ගලයෙකු තුළ හා ඔහුගෙන් පරිභාහිර යන ලෙස සාධක ගොනුවන බවයි දක්නට ලැබෙන්නේ. ඒ අනුව භූමි සාධක ලෙස "Nordic Countries" වලට අයත් ෆින්ලන්තය සතුටින්ම ජීවත්වීම එම භූමියේ ඇති සෘතුමය රටාවට ගැලපෙන සමස්ථ සමාජීය, සංස්කෘතික ජීවන රටාවට අනුගමනය කරන නිසා බවයි පෙනී යන්නේ. එය කිසිසේත්ම ලංකාව වැනි රටක සෘතුමය පරිසරයකට අවශ්‍ය වන සරල පරිභෝජන රටාව පසෙකලා, එවැනි රටක සමාජ දත්ත ගෙඩිය පිටින්ම ගෙන සැසඳීමේදී සැබෑව පිළිබිඹු නොවන බවයි කියන්නට තිබෙන්නේ. ඒ අනුව බැලීමේදී, කොතරම් සතුට තිබෙන ෆින්ලන්තයේත් වුණත් අසතුටින් සිටින අය ඉන්න හැකිබවත්, මෙතරම් අසතුට ඇතියැයි කියන ලංකාවෙත් ඕනෑ තරම් සතුටින් සිටින අය ඉන්න හැකිබවත්‍ ය. ස්තුතියි.

:       21       10

බද්රානිSaturday, 23 March 2024 02:27 PM

විමල්ගේ බක පණ්ඩිත අදහස් දැකලා මට හිනාව නවත්වා ගන්න බැරි වුණා.. රටක බහුතරයක් සාමයෙන්, සැනසීමෙන්, එකිනෙකාට ගෞරව දක්වමින්, ජීවත් වීමට හැකි වාතාවරණයක් පවතිනවා නම්, ඒ රටේ ජනතාව සතුටින් සිටින බව ආයේ අමුතුවෙන් කිවිය යුතු දෙයක් නොවෙයි... ලංකාවේ මෙන් හොර පාලකයින් හා තක්කඩි පූජකයින් ජනතාව මුලාකරමින් ගෙන යන පාලන ක්‍රමයක් ස්කැන්ඩිනේවියන් රටවල නොමැති බව අපි මුලින්ම අවබෝධ කර ගත යුතුයි... ශීත සෘතුවේ අධික ශීතල පැවතියත් ඔවුන්ගේ නිවෙස් උණුසුම් කරගැනීමට හැකි පහසුකම් ඒ රජයන් විසින් ලබාදී තිබෙනවා... ලංකාවේ මිනිස්සුන්ට වතුර ටිකවත් ලබාදීමට නොහැකි පාලකයින්ට ෆින්ලන්තය වැනි රටක දේශගුණයක් මේ රටේ තිබුනා නම්, අපට වෙන්නේ සීතලේ මැරෙන්න... විමල්ගේ අදහසේ යටි අර්ථය තමයි මේ රටේ හොර තක්කඩි පාලකයින්ට සුදු හුණු ගැ ජනතාව නොමග යැවීම... ඒ රටවල පාලකයෝ හොරු නොවන බව දැන්වත් පිලිගන්න.

:       4       28

විමල් Saturday, 23 March 2024 05:01 PM

දුකින් සිටි භද්‍රානි මහත්මිය ඒක කියවා හිනාවෙලා සතුටු වෙනවා කියන්නේම, සතුටින් සිටින අය හෝ සතුටුවිය හැකි අය ඇති බවට හොඳම සාක්‍ෂියක්.... ස්තුතියි...!

:       15       4

wimalcrc Monday, 25 March 2024 06:15 AM

හලාවත අර කී ග්‍රාම නිලධාරිතුමියටත් ඒ ගැන සොයා බැලූ අයටත් මෙන්න මගේ ප්‍රණාමය..! අපිට පින්ලන්තයට වඩා සතුටින් ඉන්න තිබුණා. අපිව සොරු මංකොල්ලකරුවෝ කන්ඩායමකට හසු උනේ නැත්නම්... ඒ කන්ඩායම ඉතාම සූක්ෂම ලෙස ඉදිරි පරම්පරාවේ මොල මැටි කරන කටයුත්ත සිදුකර තිබෙනවා. මෝඩ තරගය ඇතිකරලා තිබෙනවා... දැන් හැමදෙනාම පිට සෝබනේ පෙන්වීම සඳහා තරගයක තමයි ඉන්නේ. ඇතුළ ගැන කල්පනාවක් නැහැ. මේකට මුලින්ම යොදාගෙන තියෙන්නේ. අධ්‍යාපනය... මේකට මුදල් වැය කරනවා අර පහසුකම් ගේනවා පිහිනුම් තටාක දෙනවා.. බස් දෙනවා කීවාට යටින් යන්නේ උපතින් බුද්ධිමතුන් අවුරුදු දහයක් වගේ කාලෙකින් හිස් පුස්සන් කිරීමේ වැඩ පිළිවෙලයි. මෙහි යෙදී ඉන්නා අය තම තමන්ව ඇගැයීමට ලක්කර ගන්නේ තමන් මී වදයක් බැඳීමට උදව් වුණා කියා සතුටින්... හැබැයි අන්තිමට හැදෙන්නේ තුඹසක්. එහි විස සතුන් සිටින විස රහිත සතුන් සිටිය හැකියි. එහෙමත්ම ළමයෙක්ගේ මොළය ඉතුරු වෙන්නේ පෙර පිනකින්. මේ අධ්‍යාපනයෙන් බිහි වෙච්චි ගුරුවරුන් කරන්න දන්නෙත් මේකමයි. විසඳුම කුමක්ද?

:       0       7

විමල් Monday, 25 March 2024 06:26 AM

ලොව සතුටින්ම සිටිය ෆින්ලන්තය බවත්, ලංකාවට එහෙම වුණේ ඇයි යනුවෙන් කතුවරයා මතුකළ කේන්ද්‍රීය කරුණ දෙස යොමුවීමට අදහස් කළෙමි. එනම් හැදෙන දරුවන්ගේ අනාරක්‍ෂිතභාවය, දෙමව්පියන්ගේ විදේශ ගතවීම හා බීමත්කම මූලික වීමෙන් ලංකාවේ පවුල් සංස්ථාව තුළ ඇතිවී තිබෙන ගැටළුව ගැනයි. එම කරුණෙහි බීමත්කම ගැන ආවධානය යොමුකිරීමේදී, වාර්ථාවී ඇති පසුගිය සමීක්‍ෂණ දත්ත අනුව, ෆින්ලන්තයේ 68% තරම් ඉහල ප්‍රතිශතයක් ඇල්කොහොල් භාවිතාකරණ අතර ඉන් ගැහැණුන්ගේ ප්‍රතිශතයද ඉහළ අගයක පවතී. නමුත් පසුගිය වසරවල් වල එය සාපේක්ෂව අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ලංකාව ගැන බැලීමේදී, ඇල්කොහොල් පරිභෝජනය 25% තරම්වන අතර ගැහැණුන්ගේ ප්‍රතිශතය අඩුබවයි. නමුත්පසුගිය වසරවල එය වැඩිවීමේ ප්‍රවණතාවය සහිත බවයි. ඒ අනුව බැලීමේදී, ඉහළ ඇල්කොහොල් පරිභෝජනයක් සහිත ෆින්ලන්තය වැනි රටක බීමත්කමේ (මත්වීමේ) අඩුවීමේ ප්‍රවණතාවය නිසා ජනතාව සතුටට පත්වනවාද? ලංකාව වැනි රටක බීමත්කම වැඩිවීමේ හෝ මත්වීමේ ප්‍රවණතාව නිසා අසතුටට පත්වී සිටිනවාද? නැත්නම් ෆින්ලන්තයට සමානව වැඩිපු බීමට නොහැකිව අසතුටට පත්වී සිටිනවාද? යන්න ගැන තනි තනිව හා පොදුවේ සිතාබැලිය යුතු කාරණයක්ය. ස්තුතියි..!

:       8       0

ajithMonday, 25 March 2024 07:04 PM

ඇල්කොහොල් භාවිතය පිළිබඳව ෆින්ලන්තය සහ ලංකාව අතර ඇති ප්‍රධාන වෙනස නම් සීමාවක් රහිතව, අතේ ඇති මුදල් සියල්ල විනාශ වෙන විදියට ෆින්ලන්තයේ මිනිසුන් ඇල්කොහොල් පරිභෝජනය නොකිරීමයි.

:       0       9

විමල් Tuesday, 26 March 2024 07:52 AM

ෆින්ලන්තයේ ජනජීවිතයට සාපේක්‍ෂව ලංකාවේ ජනජීවිතය ගැන සෘණාත්මක දර්ශණයක් තිබුණත් , අජිත් මහතා ඉදිරිපත් කරණ කරුණෙහි ඉතාම සාධනීය ලක්‍ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. (1). තනිපුද්ගල හෝ පවුලක් වශයෙන් ගත්කළ අත්‍ය‍වශ්‍ය මූල්‍ය කළමණාකරණය ( ආදායමේ හැටියට වියදම් කිරීම) සිදුවිය යුතු බවයි (2) ජීවත්වන පරිසර සාධක සැළකිල්ලට ගෙන අවශ්‍ය ආහාර පරිභෝජන රටාව සකස්කර ගැනීම කළයුතු බව ( උදා. ෆින්ලන්තයේ ශීතල පරිසරයට අනුකූලව ඇඟ උණුසුම් හා මේද අධික ආහාර දිරවීම පහසුව සඳහා ඇල්කොහොල් අවශ්‍ය වුවත් ලංකාවේ සමෝශ්ණ පරිසරයට එය අත්‍යවශ්‍ය නොවන බව).(3) තවද, සමස්ථ ලංකාව තුළ ඇති වෙනස් සමාජ ස්ථර ගැන සැසඳීමේදි, ලංකාවේ මූල්‍ය ශක්‍යතාව ඇති සමාජ පංතිය, ෆින්ලන්තයේ ජනතාවමෙන්ම මුදල් නාස්තිවනතුරුම මත්පැන් නොබොනවා විය හැකිබව. (4) ජීවත්වන සමාජ පරිසරය හා බද්ධව, ගැලපෙන පරිභෝජන රටාව සකස්කළ ගත යුතු බව හා හැමෝම කරන්ණන් වාලේ, ගෙඩිය පිටින්ම බාහිර කාරණා අනුගමනය නොකළයුතු බවයි. (උදා: ෆින්ලන්තයේ ජීවනක්‍රම එලෙසම ලංකාවට නොගැලපෙන බව, ඒවගේම, ලංකාව තුලද පොහොසතුන්ගේ ජීවන රටාව එලෙසම දුප්පතුන්ට නොගැලපෙන බව ආදී ලෙසයි) ස්තුතියි.

:       2       1

Don Tuesday, 26 March 2024 04:55 PM

පාරට බැස්සොත් දූවිලි කාගෙන දාඩිය නාගෙන ගෙදර ඇවිත් හවස් වෙද්දී මදුරුවෝ කාගෙන හිටියාම කොහොමද සැප...?

:       0       0

විමල් Wednesday, 27 March 2024 08:35 AM

මෙවන් බොහෝ කාරණා අතර ෆින්ලන්තයේ ජනතාව සතුටින් සිටීමට ප්‍රධානවන සාධකයක් වන්නේ එරටේ පවතින ඉතාම උසස් අධ්‍යාපන ක්‍රමයයි. (1) එහිදී ස්වදේශීය භාෂාවට මුල්තැන දීම (2) න්‍යායාත්මක අධ්‍යාපනයට වඩා සමාජසුබ සාධන ක්‍රයාකාරී කටයුතු සඳහා වැඩි අවදානය යොමුකිරීම (3) පංතිකාමරයේ දරුවන් ගණන 20ට හෝ අඩුවෙන් පවත්වා ගැනීම (4) ගෙදර වැඩ ප්‍රමාණය පැය 2.5 අඩුවෙන් පවත්වා ගැනීම (5) සෑම ළමයකුගේම උපන් හා ඇලුම් කරන හැකියාවට ගැළපෙන ලෙස සියළුම වෘත්තීන් සමාන කොට අධ්‍යාපනය දීම ආදී කරුණුයි. එය ලංකාව සමග සැසඳීමේදී හාත්පසින් වෙනස්... ලංකාවේ ගුරුවරයෙකුට ළමයින් 40ක් හෝ 45ක් රැකබලා ගැනීමට තිබේ. ගෙදරවැඩ අපමණකි, පැය 5ක්වත් වෙයි. එය ෆින්ලන්තයේ ගුරුවරයෙකුට ඇති ගණන මෙන් 2 ගුණයකි. එයින් ජනිතවන මානසික ආතතිය ෆින්ලන්තයේ මෙන් 2ගුණයකි. එනම් සතුට භාගයෙකි. එනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගින් සතුට වෙනුවට දරුවට දෙනු ලබන්නේ ගුරුදෙගුරු දෙපිරිස විසින්ම "පීඩනය හා අසතුටයි". එයින් බිහිවන පුරවැසියන් හැමදේම දෙසම "අසතුටින් බැලීම" අරුමයක් නොවේද? එය එදා එංගලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙඩිය පිටන්ම හොඳයි කියා බාරගැනීමේ ප්‍රතිඵලයක් නිසාද විය හැකියි. ස්තුතියි...!

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 601 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 948 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 139 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 388 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 714 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site