ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂය භාර අමාත්‍යවරයා ලෙස, ආනන්ද විජේපාල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයකු වන විජේපාල මහතා මීට පෙර ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙසද සේවය කර ඇත. අද වන විට ඔහු තම අමාත්‍ය ධුරයට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ද හොබවයි.
සන්ඬේ ටයිම්ස් පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ විජේපාල මහතා, පසුගිය දින 100 තුළ රජයේ ක්‍රියාකාරිත්වය, වර්තමාන සහ අනාගත අභියෝග, දූෂණයට එරෙහි සටන, පොලිසිය තුළ ප්‍රතිසංස්කරණ සහ මේ වන විට ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වටා ඇති මතභේද ඇතුළු පුළුල් පරාසයක මාතෘකා සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීය.
එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගන්න ලද කොටස් පහත දැක්වේ:
අනුර කුමාර දිසානායක ජනාධිපතිපතිවරයාගේ දින 100
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට තේරී පත් වී මේ වන විට දින 100කට වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, 2024 මහ මැතිවරණයෙන් පසු නව ආණ්ඩුව පිහිටුවා ගතව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් බව විජේපාල මහතා පෙන්වා දුන්නේය. “අපි කිසි විටෙකත් දින 100 වැඩසටහනක් ඉදිරිපත් කළේ නැහැ. කෙසේ වෙතත්, පෙර ආණ්ඩු ඔවුන්ගේ වැඩසටහන් වලදී එවැනි මිණුම් ලකුණක් ඉස්මතු කළා. මාධ්‍යවල, සමාජයේ සහ පාර්ලිමේන්තුව තුළ පවා දින 100 ක් ගැන සඳහන් වෙන්නේ බොහෝ දුරට ඒ නිසා වෙන්න ඇති”
ජාතික ජන බලවේගය මැතිවරණය ජයග්‍රහණය කළේ තනි පක්ෂයක් ලෙසින් බවත්, එය කිසි විටෙකත් සන්ධානයක් නොවූ නිසා, සභාග හවුල්කරුවන්ට කිසිදු පොරොන්දුවක් දීමට අවශ්‍ය නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. “අපගේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමඟයි. එය මම බැඳීමක් ලෙස හඳුන්වන්නම්. ඔවුන් අප බලයට පත් කරන විට, ඔවුන් තුළ තිබූ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම සහතික කිරීමේ වගකීම අපට තිබෙනවා. අපි අපගේ ප්‍රතිපත්ති ප්රකාශනය වන “සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක්” හරහා ජනතාවට අපගේ දැක්ම ඉදිරිපත් කළා. ජනතාව මෙම ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගෙන අප තෝරා පත් කර ගත්තා.”
නව දේශපාලන සංස්කෘතියක්
ජාතික ජන බලවේගය කිසිදු විටෙක දින 100 වැඩසටහනක් ඉදිරිපත් නොකළද, පක්ෂය බලයේ සිටි කෙටි කාලය තුළ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් කිරීමට සමත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. “ඉන් එකක් තමයි පසුගිය වසර 76 තුළ මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අපි සමත් වී සිටීම” යැයි ඔහු පැවසීය.
“මෙම දේශපාලන සංස්කෘතියෙන් පෝෂණය වූ දේශපාලනඥයන් කිසිදු විටෙක ජනතාව අතර සැබවින්ම ජීවත් වූ මහජන නියෝජිතයන් වුණේ නැහැ. මේකට හේතුව තමයි දේශපාලන පන්තිය වංශවත් අය විසින් අනුගමනය කරන ලද දේශපාලනයක් ඉදිරියට ගෙන යාම. ඔවුන් දේශපාලනය කළේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත යහපත් කිරීමට නෙමෙයි. ඔවුන් දේශපාලනය කළේ තමන් වෙනුවෙන්. ඔවුන් වාහනවල සහ ආරක්ෂකයන් ගේ සිට සුඛෝපභෝගී නිවාස දක්වා ඔවුන්ගේ වංශවත් බව ප්‍රදර්ශනය කරන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මෙවලම්වලින් තමන් සහ ඔවුන්ගේ පවුගේ සාමාජිකයන් පොහොසත් කළා. ඒ නිසා දේශපාලනඥයන් සහ ජනතාව අතර පුළුල් පරතරයක් ඇති වුණා.”
මේ ආකාරයෙන් රට පාලනය කළ අය අවසානයේ රට බංකොලොත්භාවය කරා ගෙන ගියා. එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නව කණ්ඩායමකට බලය ලබා දීමට ජනතාව තීරණය කළ බව විජේපාල මහතා පැවසීය. “මෙම කෙටි කාලය තුළ පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මහජන නියෝජිතයන් නිර්මාණය කිරීමට අපට හැකියාවක් ලැබුණා. ඔවුන් ජනතාවගෙන් වෙන්වෙලා නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ ජනතාව අතරමයි.”
ග්‍රාමීය දරිද්‍රතාව අඩු කිරීම
ජනාධිපති දිසානායකගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ ග්‍රාමීය දරිද්‍රතාව අඩු කිරීමයි. ඒ නිසා නව රජය දැනටමත් “අස්වැසුම” සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් වැඩි කර තියෙනවා. මෑතකදී මෙම වැඩසටහන හරහා අඩු වරප්‍රසාද ලත් පවුල්වල දරුවන්ට පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 ක දීමනාවක් ද ගෙවන බව නිවේදනය කළා. “අස්වැසුම” යෝජනා ක්‍රමය සාධාරණ ලෙස ක්‍රියාත්මක කර නොමැති බවට සහ අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ බොහෝ දෙනකු මෙම යෝජනා ක්‍රමයෙන් බැහැර කර ඇති බවට චෝදනා එල්ල වූ නිසා, සිසුන් 300 ට අඩු රජයේ පාසල්වල ඉගෙන ගන්නා සෑම දරුවකුටම රුපියල් 6,000 ක දීමනාව ගෙවීමට රජය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද විජේපාල මහතා පැවසීය.
රටේ පවුල් මිලියන 5.7 න් මිලියන 2.4 ක් පමණ තවමත් දරිද්‍රතාවෙන් පෙළෙන අතර, ඔවුන් අස්වැසුම හෝ සමෘද්ධි සුබසාධන යෝජනා ක්‍රම මගින් ආවරණය වෙයි. ජනතාව දරිද්‍රතාවෙන් මුදා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඉක්මනින් මෙම සුබසාධන යෝජනා ක්‍රම මගින් ආවරණය වන පවුල් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට නියමිතය. එහිදී පියා සහ මව සතු සුදුසුකම් සහ කුසලතා, ඔවුන්ට ඇති සම්පත් මොනවාද, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, ඔවුන්ට කිසියම් වෘත්තීය සුදුසුකම් තිබේද යනාදිය වැනි අංශ පිළිබඳව නිලධාරීන් විසින් සොයා බලනු ඇත. එවැනි සාධක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව, දරිද්‍රතාවෙන් මිදීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා සෑම නිවසක් සඳහාම නිශ්චිත ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ වගකීම නිලධාරීන්ට පැවරෙනු ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ප්රාග්ධනය ලබා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට රජය මැදිහත් වනු ඇත. ඔවුන්ට හොඳ මාසික ආදායමක් ලබා ගත හැකි වන පරිදි ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙෙළඳපොළක් සොයා ගැනීමට ද එය උපකාරී වනු ඇතැයි අමාත්‍යවරයා විස්තර කළේය. “ව්‍යාපෘති සාර්ථක වුණාට පසුව, අවසානයේ ඔවුන් දරිද්‍රතාවෙන් මිදෙනවා. එවිට තවදුරටත් සුබසාධන ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය වෙන එකක් නැහැ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැනටමත් මෙම ව්‍යාපෘතිය සඳහා අඩිතාලම දමා ඉවරයි.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. “අපි හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා පොහොර සහනාධාරය සැලකිය යුතු ලෙස වැඩි කර තිබෙනවා. මෙහි අවසාන අරමුණ වන්නේ දැනට පාඩු ලබන වෘත්තියක් වන කෘෂිකර්මාන්තය ලාබදායී එකක් බවට පත් කිරීමයි. බීජ නිෂ්පාදන ගොවිපොළ හරහා බීජ සංවර්ධනය කිරීම, කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණය සහ තවත් පර් යේෂණ පැවැත්වීම වැනි පියවර කිහිපයක් හරහා මෙම අරමුණ කරා ළඟා වීමට සැලසුම් කර තිබෙනවා.
නීතියේ ආධිපත්‍යය සහ පොලිසිය
“නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළ යුතු බව අපි ජනතාවට පැවසුවා. අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ නැතිව අපට එය කළ නොහැකියි“ යැයිද අමාත්‍යවරයා පැවසීය. පද්ධතියේ බොහෝ ආයතන දේශපාලනීකරණය වී ඇති බවත් ඒවා ස්වාධීන කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය. පොලිසිය සම්බන්ධයෙන් ගත් කල, එහි ස්වාධීනත්වය සහතික කිරීමේ උත්සාහයේ කොටසක් ලෙසින් රජය විසින් වත්මන් වැඩබලන පොලිස්පතිවරයා පත් කළ බවද ඔහු පැවසීය. එපමණක් නොව, ඉතිහාසයේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කාන්තා නිලධාරිනියක් පත්කර තියෙනවා. තවත් කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියන් කිහිප දෙනකු ඉක්මනින් පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද විජේපාල මහතා පැවසීය.
නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම පොලිසියේ වගකීම වුවද, ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසුවද පාතාලයට සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙෙළඳාමට සම්බන්ධ බොහෝ අපරාධ සිදුවී ඇති බව ඔහු පිළිගත්තේය. “මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීමට අපට හැකි වූ බවට පුරසාරම් දෙඩීමට අපි සූදානම් නැහැ. කෙසේ වෙතත්, අපි ඒවා මැඩපැවැත්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. පාතාල ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් සිදුවන පොලිස් කොට්ඨාස හඳුනාගෙන ඒවා මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස අපි දැනටමත් පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් දීලා තියෙනවා.”
ජ්‍යෙෂ්ඨ මට්ටම්වලදී පොලිසිය ස්වාධීන කර ඇත. කෙසේ වෙතත්, පොලිසිය සැබවින්ම ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම සඳහා තවත් ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
දෙමළ භාෂාව කතා කරන උපාධිධාරීන් 237 දෙනකු උතුරු නැගෙනහිර සේවය කිරීම සඳහා පොලීසියට බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු හෙළි කළේය. උතුරු නැගෙනහිර සේවය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීම සඳහා වෙනම ගැසට් පත්‍රයක් ද නිකුත් කරන බව ඔහු අනාවරණය කළේය. “උතුරු නැගෙනහිර ජනතාවට පොලිසිය සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී භාෂා බාධකය ප්‍රධාන ගැටලුවක්. මෙම අන්තර්ක්‍රියා සුහද හා පහසු කිරීමට අපට අවශ්‍යයි. කලාපයේ දෙමළ කතා කරන නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට අපි සැලසුම් කරන්නේ එම අරමුණ ඇතිවයි.”
පොලිසිය අධීක්ෂණය කරන මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, සුළුතර නිලධාරීන් සම්බන්ධ දූෂණ ක්‍රියා නැවැත්වීමට සහ සමස්තයක් ලෙස දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට තමන් වෙහෙස මහන්සි වී වැඩ කරන බව විජේපාල මහතා පැවසීය. “නීති ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙය කිරීමට හැකියාවක් නැහැ. පොලිස් නිලධාරීන්ට වඩා හොඳ පහසුකම් ලබා දිය යුතු අතර, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දියුණු කරන්නනට වෙනත් දිරිගැන්වීම් ද ලබා දිය යුතුයි. මේ සඳහා අපට කළ හැකි දේවල් තියෙනවා. පරීක්ෂණ සාර්ථකව නිම කරන නිලධාරීන්ට මුදල් ත්‍යාග සහ ප්‍රසාද දීමනා ලබා දීම වැනි ක්‍රියා හරහා එය සිදුකළ හැකියි.”
උසස්වීම්, දීමනා සහ නිල ඇඳුම් සම්බන්ධ කරුණු ඇතුළුව රජය විසින් විසඳිය යුතු පොලිස් නිලධාරීන්ට බලපාන තවත් ගැටලු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඇතැම් අවස්ථාවලදී දැනටමත් යම් ප්‍රගතියක් ලබා ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇත. පසුගිය මාසයේ දී රජය විසින් පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර සහ නවාතැන් දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 3 ක හිඟ මුදල් පියවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
“ක්ලීන් ශ්‍රී ලංකා”
“ක්ලීන් ශ්‍රී ලංකා” යනු ජනාධිපති දිසානායක සහ ඔහුගේ රජයේ ප්රමුඛ ව්‍යාපෘතියකි. “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ අරමුණ වන්නේ වසර ගණනාවක් තිස්සේ දිරාපත් වී ඇති සමස්ත පද්ධතියම පිරිසුදු කිරීමයි. මෙයට සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් ඇතුළත් වේ. අනෙක් ඒවා අතර, දූෂණයෙන් තොර පුරවැසියකු නිර්මාණය කිරීම, පිරිසුදු පරිසරයක් තිබීම සහ දරුවන් සහ අනාගත පරම්පරා මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම වෙයි. එබැවින්, මෙම ව්‍යාපෘතියේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රධාන කාර්යභාරයක් පැවැරී ඇත.”
ව්‍යාපෘතියේ කොටසක් ලෙසින් වාහනවලින් යම් යම් අලංකාර කොටස් සහ උපාංග ඉවත් කිරීම හා සම්බන්ධ මතභේදය ගැන සඳහන් කරමින් විජේපාල මහතා අවධාරණය කළේ, විනයගරුක රියදුරන් නිර්මාණය කිරීම සහ මාර්ග අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත බේරා ගැනීම රජයේ අරමුණ බවයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දිනකට මාරක රිය අනතුරු හතක් සිදුවන අතර ඉන් පුද්ගලයන් 7-9 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වේ. පොලිසියේ අලුත් උත්සාහයට ස්තූතිවන්ත වන්නට, මෑත දිනවල එක මාරක රිය අනතුරක්වත් වාර්තා වී නොමැති බව අමාත්‍යවරයා පැවසීය. උදාහරණයක් ලෙස, නත්තල් දිනයේ මාර්ග අනතුරු හේතුවෙන් එක මරණයක්වත් වාර්තා වී නොමැත.
අනතුරුවලට හේතු විය හැකි අනාරක්ෂිත වෙනස් කිරීම් සහ උපාංග ඉවත් කිරීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. එවැනි වෙනස් කිරීම් ඉවත් කිරීම සඳහා රජය මුලින් ජනවාරි 19 වැනි දින දක්වා රියදුරන්ට කාලය ලබා දී තිබුණද, දැන් එය මාස තුනක කාලයක් පුරා පවතින දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික ව්‍යාපාරයක් බවට වෙනස් කර ඇත. එහි අරමුණ රියදුරන් තම වාහනවලින් එවැනි අනාරක්ෂිත වෙනස් කිරීම් සහ උපාංග ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කිරීමයි. මෙම මාස තුන ඇතුළත මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිවකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු නොලැබේ. “අවසානයේ රියදුරන් විසින්ම අනාරක්ෂිත වෙනස් කිරීම් හෝ උපාංග ස්වේච්ඡාවෙන් ඉවත් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි විජේපාල මහතා තවදුරටත් පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ගැටලුව
විදේශ ගමන් බලපත්‍ර හිඟය ජාතික ජන බලවේගය රජයට පසුගිය රජයෙන් උරුම වූ අර්බුදයක් වුවද, එයද පාලනය කිරීමට යම් යම් උත්සාහ ගෙන ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද ඇත්තේ විජේපාල මහතා යටතේය. විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන 5 ක් ප්‍රසම්පාදනය සඳහා වන ටෙන්ඩරය දැනට අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින්, විද්‍යුත් ගමන් බලපත්‍ර ප්‍රසම්පාදනය සඳහා අලුතින් ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට රජයට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. පසුගිය කැබිනට් මණ්ඩලය තාවකාලික පියවරක් ලෙස යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් ප්‍රසම්පාදනය කිරීමට අවසර දී තිබුණු අතර ඊට අධිකරණයේ අවසරයද ලැබුණි. වත්මන් විදේශ ගමන් බලපත්‍ර තොගය සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පැවසීය.
මෙම සතියේ සිට, දිනපතා නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1200 සිට 2500 දක්වා වැඩි කර ඇති බව ඔහු පැවසීය. යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 500,000 ක් පමණ “අපට තවත් අවශ්‍ය වෙන බව අපි හිතනවා. ඒ සඳහා අපි ඉක්මනින් විවෘත ටෙන්ඩරයක් කැඳවනවා.”
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා විදේශ ගමන් බලපත්‍ර 30,000ක් පමණ වෙන් කර ඇති අතර, විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා තවත් 5,000 ක් වෙන් කොට ඇත. නිෂ්කාශනය වෙමින් පවතින විදේශ ගමන් බලපත්‍ර 130,000 ක් පමණ ගොඩගැසී ඇත. මේ අතර, තම විදේශ ගමන් බලපත්‍රය හදිසියේ ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් වෙන් කර ඇත. නිදසුනක් වශයෙන්, පුද්ගලයකුට පෙබරවාරි මාසයේදී රැකියාවක් භාර ගැනීමට ඇති නමුත්, අයදුම්පත ඉදිරිපත් කිරීමට අප්‍රේල් මාසයේ දිනයක් ලබා දී ඇත්නම්, ඔහුට හෝ ඇයට ගමන් දිනයට පෙර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අදාළ ලියකියවිලි සමඟින් මෙම කවුන්ටරයට යා හැකිය. “අපි ගැටලුව සියයට 100ක් විසඳා නොමැති වුවත්, එය කළමනාකරණය කිරීමට අපට හැකි වී තිබෙනවා.
එය ඉක්මනින් විසඳෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයිද අමාත්‍යවරයා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය
ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසුව පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව අදියරකට ගොස් ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, දෙමළ මක්කල් විඩුතලෙයි පුලිගල් (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් “පිල්ලයාන්” ගේ හිටපු සහායකයකු වූ අසාද් මවුලානාගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයෝ බලාපොරොත්තු වෙති. චැනල් 4 නාලිකාව 2023 වසරේදී විකාශය කළ ප්‍රහාර පිළිබඳ වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන “රහස් හෙළි කරන්නා” මවුලානා ය. ප්‍රහාර පිළිබඳව සම්පූර්ණයෙන් විමර්ශනය කරන බවට ජාතික ජන බලවේගය රජය විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා වෙත පොරොන්දුවක් ලබා දී ඇති බවත් එම පොරොන්දුවට ගරු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. “කතෝලිකයන් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය දැනගත යුතුයි. අපගේ අරමුණ වන්නේ වගකිව යුතු සියලු දෙනා සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමයි. විමර්ශනය දැන් ඉතා හොඳින් සිදුවෙමින් පවතිනවා. මහජනතාවට ඉක්මනින්ම ප්‍රතිඵල දැකගත හැකි වනු ඇත.”
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වන විජේපාල මහතා, ජනතා විමුක්ති පෙරමුණ යනු ජාතික ජන බලවේගයේ “න්‍යෂ්ටිය” යැයි පැවැසීය. ජාතික ජන බලවේගය බිහි වූයේ ජනතා විමුක්ති පෙරමුණ හරහා ය. කෙසේ වෙතත්, මාලිමා ලකුණ යටතේ තරග කිරීමෙන් පසුව දැන් රජයක් පිහිටුවා ඇත්තේ ජාතික ජන බලවේගයයි. “ජවිපෙ සාමාජිකයන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපාරයට විශාල දායකත්වයක් ලබා දුන් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන් බවට පත්වුණා. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ දෙස වෙන වෙනම බැලීමට අවශ්‍ය නැහැ. අපට දැක්මක්, සැලැස්මක්, වැඩසටහනක් සහ අරමුණක් තියෙනවා. අපි ඒ අරමුණ කරා ගමන් කරමින් සිටිනවා. විපක්ෂයේ සමහර කොටස් ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක් ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා. ඒත් එය අසත්‍යයක්. ජනතාව විසින් අපට ලබා දුන් ජනවරම ඉටු කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය.
සහල් හිඟය
සහල් සහ පොල් හිඟය සෘතුමය ගැටලුවක් ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය. “එවැනි ගැටලු ඇති කිරීමට අඩිතාලම දැම්මේ අපි නෙමෙයි. ඒ නිසා අපට සම්පූර්ණයෙන්ම දොස් පවරන්න බැහැ. පෙර ආණ්ඩු ද සහල් ආනයනය කළා. ඔවුන් සහල් ආනයනය කිරීම සඳහා හිතවතුන්ට සහල් කෝටා ලබා දුන්නා. කෙසේ වෙතත්, මෙවර එක රුපියලක්වත් කිසිවකුගේ සාක්කුවට යන්නේ නැහැ. සහල් ආනයනය කරනු ලබන්නේ අඩුම මිලට වන අතර, අපි ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් කටයුතු කරමින් සිටිනවා.”
රට සහල්වලින් ස්වයංපෝෂිත කිරීමෙන් සහල් ආනයනයෙන් ක්‍රමයෙන් ඉවත් වීමට රජය සැලසුම් කරන බව ඔහු පැවසීය. “කෙසේ වෙතත්, එය කිරීමට නම්, අපට අවම වශයෙන් මාස තුනක සහල් තොගයක් තිබිය යුතුය.”
පළාත් පාලන මැතිවරණ
දිගු කලක් ප්‍රමාද වී තිබූ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මැතිවරණය සඳහා නව නාමයෝජනා කැඳවීමට සහ පෙර නාමයෝජනා ලැයිස්තු අවලංගු කිරීමට මග පාදන නීති දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. “සමහර පක්ෂ කණ්ඩායම් වලට බෙදිලා. ඒ නිසා පෙර ලැයිස්තු අනුව තවදුරටත් යාමේ තේරුමක් නැත. සමහර අපේක්ෂකයන් මිය ගිහින්. තවත් පිරිසක් විදේශගත වෙලා. ඒ විතරක් නෙමෙයි, පෙර නාමයෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන අවස්ථාවේ තරග කිරීමට නුසුදුසු වයස අවුරුදු 16 ක් වූ සහ, දැන් වයස අවුරුදු 18 ක් වූ සමහර තරුණයන් අතර මැතිවරණයට තරග කිරීමට කැමැති අය සිටිය හැකියි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ද ඡන්දදායකයන් නැවත වරක් ජාතික ජන බලවේගයට සහාය දක්වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළ අතර, එමගින් රජයට පළාත් පාලන ආයතන පිහිටුවීමට ඉඩ සැළැසී, ඒ හරහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
(*** අනිල් කරුණාරත්න)
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂ
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දින 100 මිණුම් ලකුණක් නොවේ