IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


​බිරිඳට තිබූ ආදරය නිසාම ඉදිකළ රෙජිනා වලව්ව

කොළඹ විද්‍යාල සරසවියේ (සිලෝන් යුනිවසිටි කොලේජ්) ආරම්භය 1921 වසර දක්වා ඈතට දිවයයි. මෙරට ප්‍රභූ පවුල්වල දරුවන්ට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිවලට පෙනී සිටීම සඳහා ලංකාවේ ආරම්භ කළ උසස් අධ්‍යාපන ආයතනය වූයේ විශ්වවිද්‍යාල කොලිජියයි. ලංකා විශ්වවිද්‍යාලය ලෙස කොළඹ සරසවිය (යුනිවසිටි ඔෆ් සිලෝන්) ස්ථාපිත කරන ලද්දේ 1942 දීය. එදා අංගසම්පූර්ණ ගොඩනැගිලි ඊට අයත් නොවුණු බැවින්, පරිපුර්ණ විශ්වවිද්‍යාලයක තත්වය කොළඹ සරසවියට ලබාදීමට නොහැකි විය. ඒ අනුව, කොළඹ සරසවිය පේරාදෙණියට ගෙන යෑම සිදුවිය.

1967 දී එය කොළඹ විශ්වවිද්‍යාලය ලෙසින් යළි ස්ථාපනය වූ අතර, 1978 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණි. කොළඹ සරසවිය ආරම්භයේ එහි උසස් අධ්‍යාපන ආයතනය වූ විශ්වවිද්‍යාල කොලීජි ගොඩනැගිල්ල අප කවුරුත් හඳුනන්නේ ‘කොලේජ් හවුස්’ යන නමිනි. වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාල පෙදෙසේ, ගහකොළවලින් පිරි සෙවණැති වටපිටාවක පිහිටි කොලේජ් හවුස් ඉපැරණි ගොඩනැගිල්ල එකල විසූ ධන කුවේරයකුගේ මන්දිරයකි, වලව්වකි. අද කොලේජ් හවුස් යනුවෙන් මෙය හැඳින්වුවත්, කොළඹ විශ්වවිද්‍යාලයට අයත් මෙම ඉපැරණි ප්‍රතාපවත් මන්දිරය රෙජිනා වලව්වය.

කොළඹ තුම්මුල්ල හන්දියෙන් ආරම්භ වන කුමාරතුංග මුනිදාස මාවත (අතීතයේ මෙය පැරණි තර්ස්ටන් පාර) දෙපසම පිහිටා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ගොඩනැගිලිය. ඒ අතරේ, ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන කැපී පෙනෙන අලංකාර මන්දිරයකි. මෙම මන්දිරය රෙජිනා වලව්වය. ‘කොලේජ් හවුස්’ යනු මෙම වලව්වට, ඉංග්‍රීසි පාලන කාලේ ලැබුණු නාමයයි. ගහකොළින් සමන්විත විශාල අලංකාර මිදුලකින් සමන්විත මෙම වලව්වට ඇත්තේ ආකර්ෂණීය පෙනුමකි. දෙපසින් විහිදුණු ඕවලාකාර ගොඩනැගිලි දෙකත්, ඒවා මැදින් ඉදිකෙරුණු උස් කුලු‍නක් වැනි ගොඩනැඟිල්ලත් නිසා රෙජිනා වලව්වට ගාම්භීර පෙනුමක් ලැබෙයි. බැලූ බැල්මට මහල් තුනක් සේ පෙනුණත්, මෙම වලව්ව මහල් දෙකකින් සමන්විතය.

සිව්රැස් හැඩැති පියස්ස, වලව්වේ අලංකාරත්වය ඉහළ නැංවීමට හේතුවක් වී ඇත. ඉදිරිපස ඇති පෝටිකෝව මන්දිරයේ පෙනුමට ආකර්ෂණීයත්වයක් එක් කරයි. බිත්තිවල කැටයම් පෝටිකෝවේ අලංකාරත්වය වැඩි කිරීමට සමත් වෙයි. පෝටිකෝවේ පියස්ස දරා සිටින කුලු‍නුවලින් ලැබෙන්නේ සුන්දරත්වයකි. ආරුක්කු ආකාරයේ කැටයම් සහිත ජනේල, සියුම් ලෝහ කැටයමින් යුත් සඳලු‍ තල, වහලේ බාල්කවල කැටයම් ද ගොඩනැඟිල්ලේ පෞරාණිකත්වය විදහාපායි. වික්ටෝරියා සහ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය එකට මිශ්‍ර කර, විශාල මුදලක් වැය කරමින්, රෙජිනා වලව්ව ඉදිකළ බව පැවසෙයි. පෝටිකෝව පසුකරමින් රෙජිනා වලව්වට ඇතුළු වනවිට දකින්න ලැබෙන්නේ දැව තරප්පු පේළියකි. මුළු උඩුමහලම වසා සිටින්නේ, තේක්ක ලීයෙන් නිමවුණු ගෙබිමය.

රෙජිනා වලව්ව ඉදි කළේ ලංකාවේ සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු චාල්ස් හෙන්රි ද සොයිසාගේ සිව්වැනි පුතු තෝමස් හෙන්රි ආතර් ද සොයිසාය. චාල්ස් හෙන්රි ද සොයිසාට එකල ඉඩම් අක්කර හතළිස් දහසක් අයිතිව තිබුණු බව පැවසෙයි. ධනපතියකු ලෙස ප්‍රකට චාල්ස් හෙන්රි ජීවත් වූ කොල්ලු‍පිටිය බගතලේ වලව්ව ද ගාම්භීර විශාල මන්දිරයකි.

චාල්ස් හෙන්රි ද සොයිසාගේ සමයේදී රෙජිනා වලව්වේ සිට ඇල්ෆ්‍රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජෙස්ටික් සිටි දක්වා ඉඩම් සියල්ල ද සොයිසා පවුලට හිමි වී තිබුණි. රෙජිනා වලව්වට නුදුරින් පිහිටි තවත් පැරණි මන්දිරයක් වන ලක්ෂ්මී ගිරියේ හිමිකරු වූයේ තෝමස් හෙන්රි ද සොයිසාගේ වැඩිමල් සහෝදරයා වුණු ඇල්ෆ්‍රඩ් ජෝෂප් රිචඩ් ද සොයිසාය. මේ විශාල මන්දිරවලින් එකල ඔවුන්ගේ ධනවත්කම පෙන්නුම් කරන්නට සමත් විය.

තෝමස් හෙන්රි උපත ලැබුවේ 1874 දීය. ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලෙන්, ශාන්ත තෝමස් විදුහලෙන් සහ කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනයෙන් පසු පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටි තෝමස් වතු වගාව සහ මිනිරන් පතල් ව්‍යාපාරය ඉදිරියට කරගෙන ගියේය. විශාල ධනයක් උපයා ගත්තේ එම ව්‍යාපාර කටයුතුවලිනි.

සයිමන් පෙරේරා අබේවර්ධන දකුණේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස කිරුළු දරා සිටියේය. ඔහු ගාල්ල ප්‍රදේශයේ බෞද්ධ බල කණුවක් ලෙස ප්‍රසිද්ධ චරිතයකි. අබේවර්ධන, චාල්ස් හෙන්රි ද සිල්වාගේ සමීප මිතුරෙකි. සයිමන් අබේවර්ධනගේ දියණිය රෙජිනා පෙරේරා අබේවර්ධනය. මේ පවුල් දෙකේ සාමාජිකයන් නිතර හමුවෙද්දී, චාල්ස් හෙන්රිගේ තරුණ පුතු තෝමස් සහ රෙජිනා අතර පෙම් සබඳතාවක් ඇති විය. අබේවර්ධන පවුල බෞද්ධයන් වුවත්, සොයිසා පවුල බැතිමත් කිතුනුවන් වුවත්, දරුවන්ගේ විවාහයට ආගම බාධාවක් නොවීය.

ආතර් සහ රෙජිනා යුවළගේ විවාහය සිදුවුණේ 1899 මාර්තු 2, ගාල්ල සියලු‍ ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදීය. එම විවාහ මංගල්‍යය එකල ලංකාවේ කවුරුත් අතර කතාබහට ලක් වුණා පමණක් නොව ලන්ඩනයේ පවා ප්‍රවෘත්තියක් බවට පත් වුණු බව පැවසෙයි. 1899 වසරේ මාර්තු 2 වැනිදා ලන්ඩනයේ ඩේලි ග්‍රැෆික් පුවත්පතේ ද මංගල්‍යය ගැන පුවත් වාර්තාවක් පළ වුණු බව පැවසෙයි. එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ තෝමස් ආතර් ද සොයිසාගේත් රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනීගේත් සරණ මංගල්‍යය වෙනුවෙන් දින හතක් පුරා උත්සව පැවති බවය. සොයිසා පවුලේ නිජබිම වන මොරටුවේ හිතවතුන් සහ ඥාතීන් ඇතුළු පිරිසක් මංගල උත්සවයට සහභාගී වූහ.

ඒ අමුත්තන් කිසිවකුගෙන් නව යුවළ තෑගි ලබාගෙන නැතැයි පැවසෙයි. ගාල්ලේ දී විවාහ වුණු නව යුවළ මුලින්ම පදිංචි වී ඇත්තේ ආතර් ද සිල්වාට අයත් බ්‍රොඩි නම් නිවසේය. ආතර් සහ රෙජිනා යුවළට දියණියෝ පස් දෙනෙකි.

තම බිරියට දැඩි සේ ආදරය කළ තෝමස් ආතර් ඇය වෙනුවෙන් තමන්ට පියාගෙන් හිමිවුණු ඉඩමක අලංකාර මන්දිරයක් ඉදිකිරීම ආරම්භ කළේ 1912 දී පමණය. ‘රෙජිනා වලව්ව’ යන නම ඊට ලැබුණි. ප්‍රධාන දොරටුවෙන් සාලයට ඇතුළු වූ විට කාමර ගණනාවක් දිස්වන ලෙස එය සැලසුම් කර තිබුණි. මන්දිරයට ඇතුළු වනවිටම උඩු මහලට පිවිසෙන අලංකාර කැටයම් සහිත පියගැට පෙළ ද දිස්වෙයි. අලංකාර සිවිලිම, කැටයමින් යුත් දොර ජනෙල් ආදිය ද මන්දිරයේ ඇතුළත පෙනුම ඉහළ නංවයි. එහෙත්, රෙජිනාට ඇය වෙනුවෙන් ඉදි කළ එම ගාම්භීර මන්දිරයට පය තැබීමටවත් වාසනාවක් ලැබුණේ නැත. වලව්වේ ඉදිකිරීම් අවසන් අදියරේදී ඇය මෙලොවින් සමුගත්තාය. වලව්වේ ඉදිකිරීම් කටයුතු අවසන් වන්නට ඇත්තේ 1920 දී පමණ යැයි ද පැවසෙයි. රෙජිනාගේ මරණයෙන් වසර හයකට පසු වැඩිමහල් දියණිය වයලට්ගේ විවාහය සිදුකර ඇත්තේ රෙජිනා වලව්ව ඉදිරිපස තැනූ මඟු‍ල් මඩු ආකෘතියක් සහිත ගොඩනැඟිල්ලක යැයි ද පැවසෙයි.

ආණ්ඩුකාර හෙන්රි මැනිංගේ අනුග්‍රාහකත්වය යටතේ ලංකාවට විශ්වවිද්‍යාල කොලීජියක් ඇති කිරීමට පිඹුරුපත් සැකසුණු අතර, කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය ආරම්භ කිරීමට නව ගොඩනැඟිල්ලක් අවශ්‍ය විය. මේ කාලයේ, රෙජිනා වලව්ව විකිණීමට ආතර් ද සොයිසා තීරණය කර තිබුණේ, ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වීමත් සමඟය.

විශ්වවිද්‍යාල කොලිජියේ පන්ති සඳහා ගොඩනැඟිල්ලක් ලෙස ශ්‍රීමත් එඩ්වඩ් ඩෙනම්ගේ නිර්දේශය යටතේ 1920 දී එවක ආණ්ඩුව රෙජිනා වලව්ව මිල දී ගැනීම සිදුවිය. රෙජිනා වලව්ව, කොලේජ් හවුස් බවට පත් වූයේ ඒ අනුවය. ඒ සමඟම වලව්වට යාබදව පිහිටි රාජකීය විදුහලට අයත්ව තිබූ විශාල ගොඩනැඟිල්ලක් ද අලු‍තින් අරඹන්නට යන විශ්වවිද්‍යාල කොලිජියට පවරා ගැනීම සිදුවිය.

එදා ආණ්ඩුකාරයාව සිටි විලියම් මැනිං විශ්වවිද්‍යාල කොලීජියේ ආරම්භය සටහන් කළේ කොලේජ් හවුස් ගොඩනැඟිල්ලේ පැවති උත්සවයකිනි. මෙම වලව්ව අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල ලෙස පවත්වාගෙන යෑම සිදුවෙයි. මුල් කාලයේ විශ්වවිද්‍යාල කොලිජියේ කලා හා විද්‍යා උපාධිවල මූලික දේශන පැවැත්වූයේ එම මන්දිරයේ ශාලාවලය. 1942 වසරේ දී විශ්වවිද්‍යාල කොලිජිය කොළඹ විශ්වවිද්‍යාලය බවට පත්වීමෙන් අනතුරුව එහි උපකුලපති සර් අයිවර් ජෙනිංස් සිය කාර්යාලය පිහිටුවා ගත්තේත් මේ ගොඩනැඟිල්ලේය. කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය මුලින්ම ආරම්භ වූයේ ද කොලේජ් හවුස් තුළය.

උප කුලපතිවරයාගේ කාර්යාලයත්, ලේඛකාධිකාරිවරයාගේ කාර්යාලයත් සෙනෙට් ශාලාවත් මෙහි වෙයි. සර් අයිවෝ ජෙනිංග්ස් සොල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ ද අද මෙහි උපකුලපති කාමරයේ සිට යැයි ද පැවැසෙයි.

88-89 භීෂණ සමයේ දී, උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කෙරුණේ ද මෙහි උපකුලපති කාර්යාලය තුළය. රෙජිනා වලව්ව අසලින් තර්ස්ටන් පාරේ සිට ගාලු‍ පාර දෙසට ඇති අතුරු පාර අතීතයේ රෙජිනා පාර ලෙස නම් කර තිබුණු අතර, පසුව එය රැජින පාර ලෙස වෙනස් කළේ, කොළඹ නගර සභාවය.

(*** ලු‍සිත ජයමාන්න)



අදහස් (1)

​බිරිඳට තිබූ ආදරය නිසාම ඉදිකළ රෙජිනා වලව්ව

Thusitha Kodikara Thursday, 15 August 2024 10:42 AM

කොළඹ නගර සභාවෙන් කලොත් ඉතින් ඔය වගේ හපන් කමක් තමයි. ඉතිහාසයේ තිබුණු නමක් වෙනස්කරලා කිසිම පසුබිමක් නැති නමක් දැම්මා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 12 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 25 0

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 12 0

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


සේකර මතක
2025 ජනවාරි මස 14 142 0

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ


​දින 100 මිණුම් ලකුණක් නොවේ
2025 ජනවාරි මස 14 67 0

ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂ


පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ
2025 ජනවාරි මස 14 89 0

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 219 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 302 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site