කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි. සුඛාත්මක නොවේ ජීවිතය, සදයි පෙම්වතියයි අමතක කළෙමි, මහපොළොවේ දෙවියො අපියි, සඳමඬල සහ පිනි කඳුළ, දැන් වැටුණු හුස්මක් වැනි පද්‍ය සංග්‍රහ ද ආල නුරා මල් පිපුණා, සිත් වැවට වැසි වැටී යන ගේය කාව්‍ය සංග්‍රහද දූලගෙ තාත්තා, රේස් ආච්චි, මෙත්තම්මා, නොසිතූ විරූ, බීකා, ඩ්‍රැයිවර් නැන්දා, අහසට පෙම් බැඳි ගැහැනිය වැනි කෙටිකතා සංග්‍රහ ද සුනිල් ගුණවර්ධනයන්ගේ කෘති අතර කැපී පෙනේ. ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය “පොඩි රොසයිරෝ” නමින් පසුගියදා එළි දුටු අතර ඒ සරසවි ප්‍රකාශනයක් ලෙසිනි. ගුණවර්ධනයන් සමග මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.
පොඩි රොසයිරෝ කෙටිකතා සංග්‍රහයට පදනම් වූ අත්දැකීම් කවරාකාරද?
මෙය මගේ අටවැනි කෙටිකතා සංග්‍රහය. කෙටිකතාවකදී අත්දැකීමේ අපූර්වත්වය ගැන මම හැම විටම උනන්න්දු වෙනවා. මේ සංග්‍රහයේදීත් එබදු අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලැබුණා. මේ කතාවල සිටින සෑම ගැහැනියක්ම මිනිසෙක්ම දරුවෙක්ම මට මුණගැසුණු ඇත්තම චරිත. මේ සමහර අත්දැකීම් ලැබිලා අවුරුදු තිහක් හතළිහක් පමණ කාලයක් හිතේ තැන්පත් වෙලා තිබුණු ඒවා. සෑම කෙටිකතාවකින්ම මට අලුත් යමක් පාඨකයාට කියන්න උවමනා වුණා. එසේම කතාවල ආඛ්‍යාන ක්‍රමය ගැනත් මගේ විශේෂ අවධානය යොමු වුණා. කතාවේ වස්තු විෂයට සෑම අතින්ම ගැලපෙන ආකෘතිය හොයාගන්නයි මට අවශ්‍ය වුණේ. ඒ යෝග්‍යතාව සොයාගැනීමේදී කිහිපවතාවක් නැවත නැවත සංස්කරණය කරන්නට වෙනවා. අන්තිම ආකෘතිය නිර්මාණයවන්නේ නිරායාසයෙන්. මේ කතාකොතරම් දුරට සාර්ථකද අසාර්ථකද කියන එක තීරණය කළ යුත්තේ පාඨකයා.කෙටිකතාව සම්බන්ධයෙන් අලුත් අදහස් බොහොමයක් දැන් තියනවා. කුඩා සිද්ධියකින් කතාව අවසන් කරන එක එක් ප්‍රවණතාවක්. ඒ ආඛ්‍යාන ක්‍රමය මටත් බොහෝ සේ බලපෑවා. හරියට ඩෝල්ටන් අල්විස් හයිකු කවියෙන් ආභාසය ලබලා ගීත ලිව්වා වගේ.
ඔබ මේ කතා සංග්‍රහයේ වගේම මීට පෙර කතා සංග්‍රහවලත් මූලික වශයෙන් පදනම් කරගන්නේ සමාජ සත්තා යථාර්ථවාදය බව පෙනෙනවා. ඒත් වත්මන් කෙටිකතාව මේ වන විට යථාර්ථවාදය ඉක්මවා බොහෝ දුර පැමිණ තිබෙන බව පෙනෙනවා. ඔබ තවමත් යථාර්ථවාදය කෙරෙහිම විශ්වාසය තබන්නේ ඇයි?
මම හිතන්නෙ ආර්ථික කාරණය උඩ තමයි සමාජයක සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ. මිනිස් මනස ක්‍රියාත්මක වෙන්නෙත් ඒ අනුවයි. කිසිම අවස්ථාවක සමාජ යථාර්ථය සඟවන්න බෑ. එය නිර්මාණ රචනයටත් පොදු වූවක්. මම නම් හිතන්නේ කුමන අන්දමේ නවප්‍රවණතා ආවත් සාහිත්‍යයේ සමාජ සත්තා යථාර්ථවාදය කියන එක කවදාවත් අවලංගු වෙන්නේ නෑ. ගුණදාස අමරසේකරගේ අවසන් කෙටිකතා සංග්‍රහයේ එන මැයි දිනය වගේ කෙටිකතාවක් කවදාවත් පරණ වෙන්නෙ නෑ. ඒකෙ මතුකරන සමාජ සත්තා යථාර්ථවාදය කවදාවත් අවලංගු වෙන්නේ නෑ. අමරසේකරගේ දිසොන්චිනා හාමි, මාලය කඩා ගැනීම වැනි කෙටිකතාත් එහෙමයි. කවදාවත් පරණ වෙන්නේ නෑ.
දැන් ඇතැම් කෙටිකතාකරුවන්, නවකතාකරුවන් යථාර්ථවාදී රීතිය ඉක්මවලා යන්න උත්සාහ ගන්නා බව පෙනෙනව. විවිධ මනෝමූල ක්‍රම හොයන බව පෙනෙනවා. ඒත් ඔවුන් බොහෝ දෙනා ගොඩනගන්න උත්සාහ කරන මායා යථාර්ථවාදයේ පෙනෙන්නට තියෙන්නෙ බොහොම අභව්‍ය සිද්ධි. මෑතකාලයේ යම් කතාබහට ලක්වූ නවකතාවක් කියවූ පසු මට තේරුම් ගන්න බැරිව ගියා ලේඛකයා එම කෘතියේ මායා යථාර්ථවාදය භාවිත කළේ මොන පදනමින් ද කියලා. තේ දලු නෙළන කාන්තාවක් ඒ තේ කූඩයෙන් මිදෙන්න තමයි හැම වෙලාවකම උත්සාහ කරන්නෙ. ඒක තමයි සමාජ යථාර්ථය. ඒත් මේ නවකතාවේ තේ දලු නෙළන කාන්තාව නාන්නෙත් නිදාගන්නෙත් තේ කූඩය එක්ක. ඒ ඉදිරිපත් කරන ක්‍රමය අධියථාර්ථවාදයද, මායා යථාර්ථවාදයද කියල මට නම් හිතාගන්න බෑ. අපි ඊට වඩා සමාජ සත්තා යථාර්ථවාදයෙන් ලියන එක වඩාත් සාර්ථකයි කියලා තමයි මගේ හැගීමනම්.
කෙටිකතාව, කවිය වගේ සාහිත්‍යාංග ශිල්පීය වශයෙන් යම් ගුණාත්මක තලයකට පැමිණ තිබුණත් කවි සහ කෙටිකතා කෘති සඳහා වර්තමානයේ පවත්නා ප්‍රකාශන ඉඩකඩ සහ පාඨක ඉල්ලුම සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්ද?
කිසිසේත්ම බෑ. මම හිතන්නෙ කවිපොත් කෙටිකතා පොත් අලෙවිය දිනෙන් දින අඩුවෙනවා මිස එහි වර්ධනයක් දකින්න බැහැ. ඒකෙන් පෙනෙන්නෙ පොතපතට ඇල්ම ඇති පාඨක පිරිස් දිනෙන් දින අඩුවෙමින් තිබෙන බවයි. මේක අධ්‍යාපන ක්‍රමයේ අර්බුදයක ප්‍රතිඵලයක්. සාහිත්‍යයට දරුවන් තුළ තියෙන ඇල්ම නැතිවුණාම පොත පත කියවයිද? පොත් පත්වලට තියෙන ඉල්ලුම වැඩිවෙයිද? කවි කෙටිකතා ලියන අය කොහොමත් හිතේ තියෙන කැමැත්තට හරි නිර්මාණ රචනයේ යෙදෙනවා. ඒත් පොත පත අලෙවි නොවෙද්දි ඒ අය කාටද ලියන්නෙ. ඔවුන් අධෛර්යයට ලක් වෙනව. පොත් ප්‍රදර්ශනයේදී වුණත් වැඩිපුර අලෙවි වෙන්නේ පරිවර්තන පොත් සහ නවකතා පොත් පමණයි. කවි පොතක් කෙටිකතා පොතක් පාඨකයාගේ අවධානයට ලක් වෙන්න නම් අඩුම තරමේ සම්මානයකටවත් බදුන් වෙන්න ඕනෑ.
ඔබ එහෙම කිව්වත් මෑතකාලයේ සාහිත්‍ය සම්මාන උත්සව සහ ඇගැයුම් බහුල වීමෙන් සාහිත්‍යයේ ප්‍රමාණාත්මක වර්ධනයක් මිස ගුණාත්මක වර්ධනයක් ඇති නොවූ බව ප්‍රවීණයන් බොහෝ දෙනා පසුගිය කාලයේ පෙන්වා දුන්නා නේද?
ඒ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් ඉන්න බොහෝ ලේඛකයන් වගේම ඇතැම් ප්‍රකාශකයන් උත්සාහ කරන්නෙ කොහොම හරි දෙසැම්බර් තිස් එකට කලින් පොත පළ කරන්නයි. ඒ සම්මානවලට යොමු කිරීමේ අපේක්ෂාවෙන්. ඒත් හොඳ පොතක් පළ කෙරෙන ඒ විදියේ කාලයක් ගැන කියන්න බෑ. කාල රාමුවක් හදාගෙන ඒකට අනුව නිර්මාණයක් කරන්න බෑ.
කොහොම වුණත් වර්තමානයේ ඇතැම් සම්මාන උත්සවවල විනිශ්චයන් හා එම විනිශ්චයන් ලබා දෙන විනිශ්චය මණ්ඩල ගැන ගැටලු තිබෙනවා. ඇතැම් විනිශ්චය මණ්ඩල සාමාජිකයන් අදාළ විෂය පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් තිබෙන අය නොවෙයි. එහෙම වුණාම ඔවුන් දෙන විනිශ්චයන් සමබන්ධයෙන් විශ්වාසය තියන්න බෑ. ඒත් ඇතැම් සම්මාන උත්සවවල විනිශ්චය මණ්ඩල වඩාත් වගකීමෙන් මෙම කාර්යය ඉටු කිරීමට මහන්සි ගන්නා බවත් කියන්න ඕනැ.
ඔබ සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිර්මාණ රචනයේ යෙදෙන කෙනෙක්. ජනප්‍රිය ගීත කිහිපයක් ද ඔබ ගීත සාහිත්‍ය වෙනුවෙන් දායාද කළා. දැන් ඔබ ගීත ලිවීම නොකරන්නේ වත්මන් ගීත කලාව ගැන යම් කලකිරීමකින්ද?
කට තියෙන ඕනැ කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. ඒත් ඒ හැමෝටම ගීත ගයන්න බෑ. අද කුඩා දරුවාගේ ඉඳලා හැට වයස් මහල්ලා දක්වා බැරි පුළුවන් හැමෝම සින්දු කියනවා. මේ වෙළෙදපොළ තියන අර්බුදය නිසා අලුත් නිර්මාණයක යෙදෙන අය විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ප්‍රවීණයන් කලකිරීමෙන් ඉන්නෙ. ඔවුන්ගේ ගුණාත්මක නිර්මාණ හෙහෙම පිටින්ම යටපත් වෙලා තියෙන්නෙ. ගීත රචනා කලාවටත් වෙලා තියෙන්නෙ මේක. ගීත සාහිත්‍යයේ අද තිබෙන්නේ බරපතළ ඇදවැටීමක්. අද සාහිත්‍ය ගුණයෙන් යුතු ගීත ලියන්න කෙනෙකුත් නෑ. ගයන්න කෙනෙකුත් නෑ. අලෙවි කරගන්න පරිසරයකුත් නෑ. අලුත් පරම්පරාවේ බොහෝ දෙනා අතරේ හොඳ ගීතයක් අහන්න කෙනෙකුත් නෑ. මෑතකාලයේ ගීත කලවට මහා මෙහෙවරක් කළ පද රචකයන් ගායකයන් ගැන තරුණයන්ට කියපුවාම ඒ කවුද? කියන තැනට සමාජය පත් වෙලා තියනවා. ඒ වෙනුවට බාල ශබ්ද රසයට වහල් වෙලා දඩි බිඩි සංගීතයට පිට්ටනි ගානෙ දඟලන රසික පරම්පරාවක් තමයි අද ඉන්නෙ. මේ අයගෙ වීරයන් වෙලා ඉන්නෙත් ඔවුන්ටම ගැළපෙන ගායක ගායිකාවන්.
වර්තමාන නිර්මාණවල අසන්නට ලැබෙන ඕලාරික භාෂාව ගැනත් බොහෝ දෙනාගේ තදබල විවේචනයක් තිබෙනවා. භාෂා පරිහානියෙන් සමාජ පරිහානියද නිරූපනය වෙනවා නේද?
පැහැදිලිවම. භාෂාව කෙරෙහි සැලකිලිමත් වෙන්නෙ නැතිව ඒ ගැන මනා අවබෝධයක් නැතිව නිර්මාණයක් කරන්න බෑ. නවකතාවක කෙටිකතාවක වුණත් ඒ භාෂා විචිත්‍රත්වය අනුවයි කතාවේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නෙ. මෑත කාලයේ රන්ජිත් ධර්මකීර්ති, දයාසේන ගුණසිංහ, නිශ්ශංක විජේමාන්න වගේ අය ගද්‍ය නිර්මාණවලදිත් කොච්චර ලස්සනට භාෂාව භාවිත කළාද? ඒත් අලුත් පරපුර හදාරන්නෙ නැතුව හිතට එන හැමදේම ඔහේ ලියන්න උත්සාහ කරනවා. වරද පෙන්නලා දුන්නාම ඔහු සමග අමනාප වෙනවා. නිර්මාණයක් කරන්න කලින් හොද නිර්මාණ පරිශීලනය කරන්න ඕනෑ. අලුත් ප්‍රවණතා හඳුනාගන්න ඕනෑ. ඊට පස්සෙ තමයි පෑන අතට ගන්න ඕනැ. හරියට නිර්මාණාත්මකව වාක්‍යයක් ගලපගන්න බැරිව ආකෘතික වෙනස්කම් අත්හදා බැලීම් කරනවා කියල තිත් තියල ඉරි කෑලි ඇදලා අකුරු ලොකුවට මුද්‍රණය කරල පෙන්නුවාට හොඳ නිර්මාණයක් පහළ වෙන්නෙ නෑ. ලේඛකයාට තමන්ගෙ අදහස් වචනවලට පෙරළලා ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනැ.
ඒත් අලුත් අත්හදාබැලීම් කරන්නට ලේඛකයාට අයිතියක් තියනවා නේද?
අයිතියක් තියන බව ඇත්ත. ඒත් ඒ අත්හදාබැලීම් සාර්ථක ඒවා වෙන්න ඕනැ. හිතූ හිතූ දේ කුරුටුගෑවට රූප ඇන්දට අත්හදාබැලීමක් වෙනවද? වෙන්නෙ ඒ ලේඛකයාත් සාහිත්‍යයත් අයාලේ යන එක පමණයි. සමහර ආධුනික ලේඛකයන් අමු අමුවේ ප්‍රවීණයන් අනුකරණය කරනවා. එයින් තමන්ට ස්වාධීනත්වයක් ගොගනැගෙන්නෙ නෑ. සාහිත්‍යයට හැම තිස්සෙම ඕනැ වෙන්නෙ අලුත් මිනිහෙක්.
සමාජයේ රසවින්දනය කඩා වැටීමත් අධ්‍යාපන ක්‍රමයේ පවත්නා අර්බුදයත් ගැන ඔබ මුලින් කිව්වා. මෙයින් මතුවන අර්බුදය ඉදිරි සමාජයට කවරාකාරයෙන් බලපායිද?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන වර්තමානයේත් කතා කළත් කිසිම ප්‍රතිසංස්කරනයක් සිදුවන බවක්නම් පෙනෙන්නේ නෑ. සාමාන්‍ය පෙළ සිංහල වගේ විෂයක් ඉගෙන ගන්නා දරුවන්ට උසස් පෙළට එනකොට සිංහල එපා වෙනවා. සිංහල වගේ විෂයයක් මේ විදියට අතහැරීම ඛේදවාචකයක්. අධ්‍යාපන ක්‍රමය දැන් යන්නෙ තාක්ෂණය පැත්තට. තාක්ෂණ විෂය ගැන පමණක් කල්පනා කළාම ඒ දේ පමණක් ඉගෙන ගත්තාම ගස් ගල් වගේ මිනිස්සු ටිකක් බිහි වේවි. රසවින්දනයක් සහිත මිනිස්සු ඒ පරිසරය තුළ බිහි වෙන්නෙ නෑ. හිතේ ළතෙත් ගුණයක් ඇති වෙන්නෙ නෑ. එහෙම පරිසරයක කොහොමද සාහිත්‍යයක් රැකෙන්නෙ.
උසස් පෙළ සිංහල විෂය දරුවන් අත් හරිනව කියන්නෙ විශ්වවිද්‍යාලවල සිංහල අංශ වැසී යනවා කියන එකයි. අපේ කාලෙ කී දාහක් සිංහල විෂය ඉගෙන ගත්තාද ආශාවෙන්. සිංහල විශේෂවේදී උපාධිය හදාරපු කොච්චර ශිෂ්‍යයන් හිටියද විශ්වවිද්‍යාලවල. ඒ හැදෑරීමෙන් රටට ආදරණිය මිනිසුන් බුද්ධිමතුන් බිහි වුණා මිස රටට අවැඩක් වුණේ නැනෙ. වඩාත් අර්ථවත් මනුෂ්‍යයෙක් බිහි වුණා.ඒ නිසා ඉතාම බුද්ධිමත් විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කළොත් පමණයි මේ අර්බුදයෙන් ගොඩ එන්න ලැබෙන්නෙ. රස්සාව බලාගෙන අධ්‍යාපනය දෙනවාද කියන එක ගැටලුකාරී දෙයක්. ඒ කාලෙ රස්සාව ගැන හිතල නෙවෙයි අධ්‍යාපනය ලැබුවෙ. අධ්‍යාපනය ලබලා තමයි රස්සාවක් ගැන හිතුවෙ. අද ඒක කණපිට හැරිලා. කොටින්ම සිංහල විෂය මරා දැමීම හෑල්ලුකිරීම ඛේදවාචකයක්. අපි හැමදාම මේ ගැන කතාකරනවා. ඒත් ඊට විකල්ප විසදුම් සකස් වන බවක් පෙනෙන්නේ නෑ.
අපි හිතන්නේ අපේ මවු භාෂාවෙන්. මවු භාෂාව නොතකා හැරීමෙන් චින්තකයන් බිහිවන්නේ කොහොමද? නිර්මාණාත්මක මනුෂ්‍යයෙක් බිහිවෙන්නෙ නැත්නම් මේ රට කොහෙටද යන්නෙ? හොඳ මිනිස්සු බිහිවන්නෙ කොහොමද? මිනිසා තුළ නිර්මාණශීලීභාවය හා යහපත්භාවය ඇතිකරන්නෙ භාෂාවෙන් හා සාහිත්‍යයෙන්.
(***)
සංවාද සටහන
ගාමිණී කන්දේපොළ
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට
ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො
ශ්රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක
කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.
පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
Kasun Chameera Haputhanthiri Wednesday, 09 April 2025 10:33 PM
අපේ ආදර සුනිල් සර් මෙතුමාගේ විචාරය සුපර්