ජනාධිපතිවරණය නිසා මෙවර ද අයවැය විසර්ජන පනත නිසි කලට ඉදිරිපත් කෙරුණේ නැත. 2018 වසරේදී ද දේශපාලන සාධක මත එයම සිදුවිය. කාලයේ සීමාකම නිසා වාර්ෂික අයවැයක් වෙනුවට අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම එහි ප්‍රතිඵලය විය. මෙය නව ආණ්ඩුවේ ආර්ථික දර්ශනයට සංගත වන සේ වාර්ෂික අයවැයක් සකස් වීම වෙනුවට ඊට බොහෝ දුර්වල තත්ත්වයකි.
ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ගැන බලා සිටින ආයෝජකයන්, ලෝක සංවිධානවලට පැහැදිලි දැක්මක් ලබාගැනීමට නම් පමා වී හෝ වාර්ෂික අයවැයකට යා යුතුවේ. ඒ කෙසේ වෙතත් ආර්ථික වශයෙන් ගත් කල නව වසරේදී ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් තිබේ. එය කොතරම් බරපතළ ද යන්න තීරණය වෙන්නේ රටේ ආර්ථික දියුණුවත් ආර්ථික කළමනාකරණයත් යන කාරණා දෙක මතය. පසුගිය කාලයේදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් පහළ වැටුණේය. ඒ පැමිණි මඟ අනුව නම් මේ 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 3% කටත් වඩා පහළ වැටී තිබිය යුතුය. නව සංඛ්‍යාලේඛන අනුව ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වසරේ මුල් මාස නවයේදී එහි අගය 2.6% කි. රටේ ආර්ථික කටයුතු ක්‍රමානුකූලව පහළ වැටෙද්දී ආණ්ඩුවේ ආදායම අඩුවේ. ජනතාවගේ ආදායම වැඩිවීම ද රැකියා බිහිවීම ද සීමාවේ. එහි අනෙක් නිරූපණය වන්නේ අපනයන දුර්වල බවය.
අපනයන දුර්වලවීම අත්වැල් බැඳගන්නේ විනිමය අනුපාත ප්‍රශ්න සමගය. මේ ප්‍රශ්නවල ඊළඟ ප්‍රතිඵලය වන්නේ තව තවත් ණය ගැනීමට සිදුවීමය. රටක් හැටියට අප පසුගිය කාලයේදී කටයුතු කර තිබෙන්නේ මෙවැනි ප්‍රශ්න ගණනාවක් වැඩිදියුණු කරගන්නටය.
ආණ්ඩුවේ ආදායම දැනට පවතින ආර්ථික කටයුතුවල ප්‍රමාණය අනුව නම් පහළ වැටිය යුතුය. එහෙත් 4-5% ක මට්ටමකට ආර්ථික කටයුතු 2020 දී ඉහළ යනවා නම් එක්තරා දුරකට ආණ්ඩුවේ ආදායම් වැඩි විය හැකිය. මේ අතරේම ආණ්ඩුව සිය වියදම් පිරිමසා ගැනීමට උත්සාහ කරනු අපට දැකිය හැකිය. ආණ්ඩුව එමගින් උත්සාහ කරන්නේ ආදායම් අඩුවීම තුලනය කරගැනීමටය. එසේ වුවද වියදම වැඩිවන යෝජනා කීපයක් ද දකින්නට හැකිය. මේ අනුව තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ රටේ ආර්ථික වර්ධනය ප්‍රමාණවත් පරිදි ඉහළට ගෙන ඒමට මොන තරම් දුරට ආණ්ඩුවට හැකියාව ලැබේද යන්නය. ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන සෙසු අභියෝග තීරණය වනු ඇත්තේ මෙම ප්‍රමුඛ අභියෝගය අනුවය.
දැනටමත් රටේ ලක්ෂ 15ක් පමණ වූ රාජ්‍ය සේවක පිරිසක් සිටිති. රටක ආර්ථික වර්ධනය වේගවත් වන්නේ නම් පුරවැසියන්ට රැකියා සම්පාදනය කිරීමට ආණ්ඩුවකට සිදුවන්නේ නැත. ආණ්ඩුවට රැකියා සම්පාදනය කිරීමට සිදුව තිබෙන්නේම ආර්ථිකය පුළුල් නොවීම මතය. රටේ ඉදිරි ගමන් තිරසර ලෙස සංවිධානය වන්නේ නම් ජනතාවගේ ආදායම වැඩිවන්නේ ආණ්ඩුව වැටුප් වැඩි කිරීම මත නොවේ. රටේ නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩිවීම මතය. දුප්පත්කම ද අපේ රටේ සැලකිය යුතු ලෙස වර්ධනය වූ ප්‍රශ්නයකි. ලෝක බැංකු ගණනය කිරීම්වලට අනුව රුපියල් 600.00කට වඩා දෛනික ආදායම ලබන ජනගහනය ලක්ෂ විස්සකි. මේ දුප්පත්කමින් ජනතාව ගලවාගැනීම තීරණය වන්නේ ද විවිධ උපභෝග පරිභෝග භාණ්ඩ හෝ සහනාධාර ප්‍රදානය මත නොව රැකියාවක් කර ශ්‍රමය වගුරුවා මුදලක් උපයන්නට ජනතාවට ඉඩ ප්‍රස්ථා සැලැසීම මතය. රැකියාවක් කර ආදායම් මට්ටම ඉහළ නැංවීමෙනි. පීඩාවට පත් ජනයා දුප්පත්කමෙන් තිරසර ලෙස මුදාගන්නේ එමඟිනි. නව ආණ්ඩුව කුමන හෝ හේතුවක් නිසා නව රැකියා ලක්ෂයක් ප්‍රදානය කරන බව පවසයි. කෙසේ වෙතත් දිගුකාලීන හා තිරසර ලෙස රැකියා බිහිවන්නේ ආණ්ඩුව තුළ නොවන බව යළි අවධාරණකටයුතුය. ආණ්ඩුව තුළ බිහිවන්නේ උපකාරක රැකියාය. එය රටේ ආර්ථික දියුණුවට අවශ්‍ය වන උපකාරයකි. ඍජු රැකියා බිහිවන්නේ ආර්ථික වර්ධනයට සාපේක්ෂවය.
නව ආණ්ඩුවේ ද ඇතැමෙකු රට ස්වයංපෝෂිත කිරීම ගැන අදහසක් දක්වා තිබෙනු දැකිය හැකිය. එහෙත් නූතන ලෝකයේ ආර්ථික ගමන් මඟ දෙස බැලූ විට නම් අපට කියන්නට තිබෙන්නේ මේ කතාවේ ඇත්තක් නැති බවය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල කෘෂිකර්මයේ ප්‍රධානම ලක්ෂණයක් වන්නේ අවශ්‍ය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් එහි සිර වී සිටීමයි. සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට කෘෂිකර්මාන්තයෙහි නියුතු පිරිස ලක්ෂ විස්ස ඉක්මවයි. එහි දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය 8% කි. මැලේසියාව යනු දියුණුම රටක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටින රටකි. ප්‍රමාණයෙන් ලංකාවට වඩා ටිකක් විශාල මැලේසියාවේ ද දළ දේශීය නිෂ්පාදිතයට කෘෂි අංශයේ දායකත්වය 8% කි. එහෙත් ඒ 8% නිපදවන්නේ ශ්‍රම බලකායෙන් 10%කිනි. ලංකාවේදී මෙම දායකත්ව අගය 25% කි. අපේ රටේ කෘෂිකර්මයෙහි ඕනෑවට වඩා පිරිසක් සිරව සිටින බවට මේ මැලේසියා කතාවම හොඳ උදාහරණයකි.
නිෂ්පාදනය හා ඵලදායිතාව අනුව ජනතාවගේ ආදායම තීරණය වේ. එසේ නම් මෙසේ කෘෂි අංශයේ නියුතු ලක්ෂ විස්සක ජනයාගේ ආදායම තීරණය වන්නේ ඔවුන් කරන නිෂ්පාදනය අනුවය. අපේ රටේ කෘෂි අංශයේ නිෂ්පාදනය අල්පය. දරිද්‍රතාව සම්බන්ධයෙන් ඇති සංඛ්‍යාලේඛනවලින් ද එය පැහැදිලිවේ. මෙරට දිළිඳු ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් නියෝජනය කරන්නේ ග්‍රාමීය කෘෂි අංශයයි. එසේ නම් අපේ රටේ දිළිඳුකමට ප්‍රධාන හේතුවක් හැටියට ද කෘෂි අංශය දැක්විය හැකිය. නෙදර්ලන්තය යනු ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටකි. එරට කෘෂි අංශයේ ජනගහනය ලක්ෂ දෙකකි. එයින් එක් ගොවියකු දළ දේශීය නිෂ්පාදිතයට වර්ෂයකට දක්වන දායකත්වය ඇමෙරිකානු ඩොලර් 75,000 කි. එනම් නෙදර්ලන්ත ගොවියකුගේ මාසික ආදායම ඩොලර් 6000ක් පමණ වේ. එහෙත් ශ්‍රී ලංකාවේ ලක්ෂ විස්සක් පමණ වූ ගොවි ගහනයෙන් එක් ගොවියකු වසරකට දක්වන දායකත්වය කොපමණද? ඇමෙරිකානු ඩොලර් 3500 කි. මාසයකට නම් ඇමෙරිකානු ඩොලර් 292 කි.
එසේ බලද්දී කෘෂි අංශයේ ගොවීන්ගේ දුප්පත්කමට හේතුවම දුප්පත් ආදායමය. දුප්පත් ආදායමට හේතුවම අනවශ්‍ය තරම් පිරිසක් කෘෂි අංශයේ සිර වී සිටීමය. එහෙත් හැත්තෑ වසරක් තිස්සේ තවමත් අප ස්වයංපෝෂිතවීමක් ගැන කතා කරමින් සිටින අතර නව ආණ්ඩුව යටතේ ද එහි නිමාවක් දකින්නට නැති ගානය. එහෙත් දැන් අවශ්‍ය වී තිබෙන්නේ කෘෂි අංශයේ සිර වී සිටින අතිරික්ත ජනයා එයින් එළියට ගැනීමය. ඒ එළියට ගැනීමට අවශ්‍ය වන්නේ අපේ රටේ කාර්මික හා සේවා අංශ පුළුල් කිරීමය. ඒවායේ නිෂ්පාදන වැඩිකිරීමය. එසේම නාගරීකරණය වඩා ක්‍රමවත්ව ඉදිරියට ගෙනයෑමය. ග්‍රාමීය අංශයේ සිටින ජනතාව වඩා යහපත් ලෙස නාගරීකරණයට ඇතුළත් කරගැනීමය. ගොවි පවුල්වල දරුවන් උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබද්දී සිදුවන්නේ ඔවුන් ක්‍රමිකව නගරයට සේන්දු වීමය. මන්දයත් ඔවුන් ඊළඟට තෝරාගන්නේ නගරයේ රැකියාය. කෘෂි අංශය අනවශ්‍ය බරක් නොවී එහි අතිරික්තය විකල්ප රැකියා වෙළෙඳපොළකට සම්මුඛ කිරීමට එමගින් ඉඩ ලැබේ.
විදේශ මූල්‍ය ප්‍රදාන හා ණයාධාර ගැන ද යමක් කිව යුතුය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති සාකච්ඡාව ඊට ආසන්න උදාහරණයක් පමණි. MCC යනු 2004 දී එක්සත් ජනපද කොංග්‍රසය විසින් ගොඩනගන ලද මූල්‍යාධාර ගෙවීමේ නව ඒජන්සියයි. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියට (USAID) සමාන මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බොහෝ කාලයක පටන්ය. ජනයාගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් ඊට සුදුසුකම් ලැබූ රටවල සංවර්ධන ව්‍යාපෘති උදෙසා මූල්‍යාධාර සැපයීම එයින් සිදුවේ. එහෙත් බොහෝ විවේචන මතුව තිබෙන්නේ බලගතු රටවලින් ලැබෙන ආධාර ගැන ඇති සැක සංකා සමඟය. බලගතු රටකින් ලැබීම පදනම් කරගෙන ආධාර ප්‍රතික්ෂේප කිරීමට ගියහොත් සැබැවින්ම අපට සිදුවනු ඇත්තේ සියලු ආධාර ප්‍රතික්ෂේප කිරීමටය.
ඇමෙරිකානු ආධාර ප්‍රතික්ෂේප කරන අප ජපන් ආධාර බාරගන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. චීන හා ඉන්දියා ආධාර ප්‍රතික්ෂේප නොකරන්නේ ඇයිදැයි ඇසිය හැකිය. එසේනම් මේ ප්‍රධාන රටවල් හතරේම ආධාර ප්‍රතික්ෂේප කරනවාද? එසේ කිරීමට අපට හැකියාවක් තිබේද? එසේ නැත්නම් මේ රටවල් හතරේම ආධාර ලබාගෙන ඔවුන්ගේ ද සහාය සමඟ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවාද? අප පෙරළා අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්න මේවාය. දෙවැනි කාරණය වන්නේ ආයෝජන හෝ ආධාර ලෙස අපේ ආර්ථික දියුණුවට විදේශ සම්බන්ධ කරගන්නේ නම් වඩාත්ම ප්‍රඥාගෝචර හා උපායශීලී ලෙස එය ඉදිරියට ගෙන යා හැක්කේ බහුවිධ පාර්ශ්ව එකතු කරගැනීමෙන්ය යන්න මගේ අදහසයි. නොඑසේව රටකට හෝ දෙකකට හේත්තු වී ඔවුන්ට වැඩි සැලකිලි දැක්වීමෙන් නොවේ. සරලව කිවහොත් ඇමෙරිකාව ඉවත් කර අප චීනය සමග පමණක් ගනුදෙනු කරන්නේ යැයි තීන්දුවක් ගත්තොත් එය අප කරගන්නා ලොකු හානියකි. ඉන්දියාව ඉවත් කර චීනය පමණක් තෝරාගතහොත් ඒත් එසේමය. ජාත්‍යන්තර දේශපාලනය වශයෙන් ගත්ත ද අපේ රටටම සුවිශේෂී වූ කරුණු සාධක අනුව ගත්ත ද මේ යථාර්ථය වෙනස් නොවේ.
චීනයට බර තබන්නැයි යෝජනා කරන ඇතැමුන්ගේ අදහස වන්නේ ඇමෙරිකාව හා යුරෝපයේ මිලදී ගැනීමේ හැකියාව පහළ වැටී ඇත යන්නය. ආර්ථිකයේ පෙරගමන්කරුවා බවට ආසියාව පත්ව ඇතැයි යන්නය. ඇමෙරිකාව, ජපානය සහ යුරෝපය ආර්ථික අවපාතයක සිටින බව ඇත්තය. එහෙත් අදටත් අපේ රටේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවන් වන්නේම මේ රටවල්ය. එනිසා අප එම රටවල් අවතක්සේරු කළ යුතු නැත. ආර්ථික වර්ධන වේගය අඩුවීම යනු ආර්ථිකය කඩාවැටීමක් නොවේ. පවතින මට්ටමේ සිරවීමය. යුරෝපයේ මේ මොහොතේ සිදුවන විවිධ දේශපාලනික හා ආර්ථික වෙනස්කම්, විවිධ පාර්ශ්ව අනුගමනය කරන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හා ඇමෙරිකාව සමඟ පවතින සංඝට්ටන නිසා යුරෝපයේ යම් යම් සීමාකාරී තත්ත්ව තිබෙන්නට පුළුවන.
එහෙත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතාවලදී තවමත් අප රැඳී තිබෙන්නේ ඇමෙරිකාව හා යුරෝපාකරය මත බව අමතක කළ යුතු නැත. ආසියානු ආර්ථිකයේ පුළුල්වීම ද ඇත්තය. ලෝකයේ දැනට වේගයෙන්ම වර්ධනය වන ආර්ථික කලාපය බවට පත්ව තිබෙන්නේ ආසියාවය. ලෝක ජනගහනයෙන් බාගයකටත් වඩා සිටින්නේ ද ආසියාවේය. බිලියන හතක ලෝක ජනගහනයෙන් චීනය හා ඉන්දියාව පමණක් ගත් කල ඒ ජනගහනයේ අගය බිලියන දෙකහමාර ඉක්මවයි. ආසියාවේ ඉහළ ආදායම ලබන පංතියත් අලුත් පාරිභෝගික පන්ති පුළුල්වීමත් ඒ මත ආසියානු වෙළෙඳපොළ පුළුල්වීමත් එමෙන්ම ඇත්තය. එහෙත් එතැනදී ප්‍රශ්නය වෙන්නේ එකී පුළුල්වීම මෙතෙක් කල් අප ප්‍රයෝජනයට ගත්තේද යන්නය. අපට ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ද තිබේ. චීනය සමග ද තව ගිවිසුමකට සාකච්ඡා සිදුවේ. ප්‍රශ්නය වන්නේ ඒවායේ ඇති ප්‍රයෝජනය අපේ අපනයන පුළුල්වීම හරහා ලැබුණේද යන්නය. සැබැවින්ම ආසියාව නොව මොන කලාපයේ ආර්ථිකය දියුණු වුණත් අපේ ප්‍රශ්නය තිබෙන්නේ ගේ ඇතුළේය. අපේ ආර්ථික ප්‍රතිපත්තිය, අපනයන ප්‍රවර්ධනය අප තවමත් හදාගෙන නැත. ඉතින් ලෝකයේ කවර ආර්ථික කලාපයක් දියුණු වුණත් ගේ ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නේ නැතිව බර තැබීම් කළාට ඵලක් නැත.
ලංකාවට ඇති තවත් ප්‍රධාන ප්‍රශ්නයක් නම් ණය බරයි. රටක් හැටියට අප සිටින්නේ ණය වාරිකවල ඉහළම ගෙවීම් තිබෙන කාලපරිච්ඡේදයකය. එය ආණ්ඩු වෙනස්වීම හෝ නොවීම මත තීරණය වන්නක් නොවේ. ණය ලබාගෙන තිබෙන බැඳුම්කර පරිණතභාවයට පත්වීම අනුව තීරණය වන්නකි. එනිසා දේශීය වශයෙනුත් විදේශීය වශයෙනුත් ආණ්ඩුවට ගෙවන්නට සිදුවන ණය පංගුව 2020 දී අතිවිශාලය. ඩොලර් බිලියන හයක පමණ විදේශ ණය ගෙවමින් 2019 ගෙවුණේ ද එහෙමය. අයවැය පැත්තෙන් හිරවෙද්දී විනිමය අනුපාත දුර්වල වෙද්දී ආර්ථිකය කඩාවැටෙද්දී එසේ නම් අප ණය ගෙව්වේ කෙසේදැයි කෙනෙකුට සිතිය හැකිය. ඒ තවත් ණය ගැනීමෙන් මිස අන් ක්‍රමයකින් නොවේ. රාජ්‍ය බදු ආදායම යම් යම් සංශෝධන මගින් වෙනස් කළ හා වියදම් පිරිමසාගන්නට යම් පියවර අනුගමනය කළ පරිසරයේ සමස්තය විසින් ණය ගෙවීම තවත් බරක් වේද නැද්ද යන්න තීරණය කරනු ලැබෙනු ඇත. ආයෝජක විශ්වාසය දිනාගෙන රටේ තිබෙන වෙනස් ආකාරයේ වත්කම් ආයෝජන වශයෙන් විදේශ මුදල්වලට පරිවර්තනය කළ හැකි නම් කිසියම් අස්වැසිල්ලක් ලැබීමට ආණ්ඩුවට හැකිවනු ඇත. ණය බර අඩු කරගැනීම, ආදායම් වැඩිකරගැනීම, විනිමය අනුපාතිකය ස්ථාවර කරගැනීම ආදී වශයෙන් ආණ්ඩුව අනුගමනය කරන සංයුක්ත තීන්දු මත 2020 දී රටේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇති වග අවසන් වශයෙන් සඳහන් කරමි.
සටහන - බිඟුන් මේනක ගමගේ
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2020 රටට අභියෝගයක්
aruna Tuesday, 31 December 2019 06:05 AM
ඉතා හොඳ, අපක්ෂපාති ආර්ථික විශ්ලේෂණයක්.