පක්ෂවලට වෙන්ව බිඳී ගොස් තිබෙන පාලක සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැළකිය යුතු මන්ත්‍රීන් පිරිසක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වූහ.
ඔවුන් කියා සිටියේ දැන් අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම නිසා දිනෙන් දිනම තව තවත් දුෂ්කරතාවයන්ට ලක්වෙමින් සිටින ජනතාවට සහන සැළසීමට බවය. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විට, රටේ තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙන්නට බෙහෙවින්ම ඉඩ ඇතැයි ඔවුහු බිය පළකරන්නෝය.
තත්ත්වය පාලනය කරගැනීමට හදිසි පියවර දැනටමත් ගෙන තිබේ. රාජ්‍ය සේවකයින්ට නිවසේ සිටම රාජකාරි සිදුකිරීමට අවශ්‍ය කටයුතු සළස්වා දීම, පාසල් දරුවන්ට නිවෙස්වලම සිට අධ්‍යාපන කටයුතුවල යෙදීමට අවස්ථාව සළසාදීම, ඒ සමහරකි.
මේ සියල්ලට හේතුව වී තිබෙන්නේ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රටට නොමැතිවීමය.
කොළඹ ඇතුලුව වෙනත් ප්‍රදේශවලත් ඉන්ධන පිරවුම්හල් අසළ කිලෝමීටර 2-3 දිගු පෝලිම් දැකගත හැකිය. එම බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන ලැබී නොතිබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාරවල මිල අහස උසට නැඟෙමින් ඇත. සෑම දෙයක්ම හිඟව යමින් ඇත.
ගෑස් සොයාගැනීමටවත් නැත. සොරකම් ඉහළ යමින් තිබෙන්නේ, කාර්යයන් ගණනාවකට අවධානය යොමුකළ යුතුව තිබෙන පොලිසියට තවත් බරක් පටවමින්ය. තත්ත්වය තවත් බරපතල වුවහොත් නීතිය හා සාමයේ බරපතල බිඳ වැටීමක් සිදුවනු ඇතැයි ආරක්ෂක විශේෂඳයෝ අනතුරු අඟවති.
එක්තරා දේශපාලඥයින් පිරිසක් මෙන්ම ජනතාවගේ පොදු වුවමනා වෙනුවෙන් පෙනී සිටින, ඇතැම් විට ඉහත සඳහන් කළ දේශපාලකයින්ටත් වඩා පිරිස් බලයෙන් අඩුවන කුඩා කණ්ඩායමක් හැරෙන්නට, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අන් කිසිවෙකුගේවත් අවධානය යොමුව තිබෙන බවක් පෙනෙන්නට නැත. අත්‍යාවශ්‍යව තිබෙන භාණ්ඩ සපයා ගැනීම දිනෙන් දිනම දුෂ්කර වෙමින් තිබේ. ගොඩනැගෙමින් තිබෙන අර්බුදය- 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අරබයා ඉදිරිපත්ව තිබෙන තාර්කික පදනම වසා ගනිමින් නැගිට සිටින සෙයකි.
ජනපති ගෝඨාභය රාජපක්ෂත්, තමන්ට ලැබී තිබෙන බලතලවලින් බහුතරයක් එළෙසම තබාගෙන ඉතිරි ධූර කාලයත් ධූරයේ රැඳී සිටින බව ප්‍රසිද්ධියේම කියා තිබීමත්, එයට තල්ලුවක් වී, ඇත.
රජයේ මෙන්ම විපක්ෂයේ ද, විමතියට හේතු වෙමින් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත 13 වැනි සඳුඳා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් නොවුනි. එය එසේ ඉදිරිපත් කෙරෙණු ඇතැයි ලියුම්කරුද, ගෙවුණු සතියේ මෙම තීරුවෙන් වාර්තා කළේය.
කොටින්ම, එවැන්නක සඳහනක් කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයේ පවා නොතිබුණි. එසේ සිදුව තිබුනේ සඳුඳා එනම් ගෙවුණු 13 වැනිදා, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට ගන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙසෙසෙයින්ම සඳහන් කර තිබූ පසුබිමකය. එයද, ලියුම්කරු ගෙවුණු සතියේ වාර්තා කළ අතර, එම වාර්තාවට අනුව ජනපතිවරයා එවැනි තීරණයක් ගෙන තිබුනේ පසුගිය 4 වැනිදා, එනම් සෙනසුරාදා සිය සොයුරු බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති රැස්වීමකින් පසුවය.
එහිදී, සංවාදය මදක් නතර කළ ජනපතිවරයා, දුරකතනය ඔස්සේ අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව ඇමතුවේය. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 5 වැනිදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට නොගන්නැයි ඔහු අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය. නමුත්, කැබිනට් රැස්වීම අවසානයේ දී, කෙටුම්පතේ පිටපත් අමාත්‍යවරුන් අතර බෙදා දිය හැකියැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ගෙවුණු සඳුඳා පැවති කැබිනට් රැස්වීමේ දී, එදිනට නියමිත න්‍යාය පත්‍රයේ වූ කරුණු එකින් එක සාකච්ඡා කර අවසන් වූ පසුව ඉතිරිව තිබුණේ වෙනත් කාරණා වෙතොත් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලයයි. එහිදී, අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, යෝජිත නව ව්‍යවස්ථාවට අදාළ ගැටලුවක් අමාත්‍යවරුන් හමුවට ඉදිරිපත් කළේය.
නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ කමිටුවකින් මේ වන විට කෙටුම්පත්කර අවසන් කර ඇත. එහි එන සම්පාදනයන් අධ්‍යනය කිරීම සඳහා ජනපතිවරයා කැබිනට් උප කමිටුවක් පත්කර ඇතැයි යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා, කමිටුවේ වාර්තාවත් සකස් කර අවසන් වුවත් දැන් එම කමිටුවේ සාමාජිකයන් වූ අමාත්‍යවරුන් කිසිවෙක් වර්තමාන කැබිනට්ටුව නියෝජනය නොකරන බව පෙන්වා දුන්නේය.
ඔවුන් අතරින් අදටත් කැබිනට්ටුව නියෝජනය කරන්නේ ගුණවර්ධන මහතා පමණකි. එසේ සකස් කළ වාර්තාවට කුමක් කළ යුතුදැයි දැනගැනීමට ගුණවර්ධන මහතාට අවැසි විය.
21 ට මොකද වුණේ.. ?
නාඳුනන හඩක් මේ අවස්ථාවේ දී ගුණවර්ධනට බාධා කළේය. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වුනේ මොකක්ද? ඔහු ඇසුවේය.
එයින් අනතුරුව සංවාදය සිදුවූයේ මේ ආකාරයටය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා (මුලසුනේ) -
අපි ඒක දැනටමත් අනුමත කරලා ඉවරයි නේද?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
නැහැ තවම නැහැ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල අදහස් මා ලබාගත යුතුව තිබෙනවාය කියන එකයි කැබිනට් අමාත්‍යවරුන්ගේ අදහස වුනේ. ඒ අනුව මම ඔවුන් සමග රැස්වීම් දෙකක් පැවැත්වුවා. ඉන් අනතුරුව ඔවුන් නිර්දේශ කළ සංශෝධන අදාළ පරිදි ඇතුළත් කරන්නය කියා මම අධිකරණ සහ ව්‍යවස්ථා සංශෝධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. එයින් පසුව මා එය කැබිනට් ලේකම්වරයා වෙත යොමුකළා.
කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා-
මට එය ලැබුණේ නැහැ
(සටහන- ගෙවුණු සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ වැඩි කොටසක් වෙන්ව තිබූ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එම අනාවරණය පරිදි කැබිනට් ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුනේත්, සහ එය එදින කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබුණේ ඇයිද යන්නත් මෙයින් පැහැදිලි වේ. එය ජූනි මස 6 වන සඳුඳා ජනපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව කැබිනට් අමාත්‍යවරුන් අතර බෙදා හැරීමට අධිකරණ සහ ව්‍යස්ථා සංශෝධන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පියවර ගත්තේය)
මෙම කාරණා සැළකිල්ලට ගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත කැබිනට් ලේකම්වරයාට යොමුකරන ලෙසට උපදෙස් දුන්නේය. ජූනි 20 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට (20) 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත්ව තිබෙන්නේ එළෙසය.
ඊට කැබිනට්ටුවේ අනුමැතිය හිමිවූවායින් පසුව, අගහරුවාදා (21 වැනිදා) 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට රජය යෝජනා කර තිබෙන අතර, එදිනම එය ගැසට් නිවේදනයක් හරහා ප්‍රසිද්ධියට පත් කෙරෙනු ද, ඇත. සංශෝධනයේ අන්තර්ගතය, පවත්නා ව්‍යවස්ථාවේ සම්පාදනයන් හා අනුගත වන්නේදැයි විමසීමට එහි පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමටත් කතානායකවරයා පියවර ගනු ඇත.
රජයේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත සම්පාදනයන් අභියෝගයට ලක් කිරීමට අදහස් කරගෙන සිටින අයෙක් වේ නම්, එම අභියෝගයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් හිමිවේ. ශ්‍රේෂ්ඨාධිකරණය, එයිනුත් අනතුරුව තවත් සති දෙකක කාලයක් 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් එහි තීන්දුව ලබාදීමට ගනු ඇති අතර, මේ සියල්ල එකතු කළ විට සංශෝධනය පාර්ලිමේන්තුවේ දෙවනි වර කියැවීම වන තෙක් පුරා මසක පමණ කාලයක් ගතවේ.
21 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම, එය පාර්ලිමේන්තුවේ පළමුවර කියැවීමට මාර්ගය සූදානම් කිරීමක් ලෙස ගත හැකි අතර, අදාළ දිනය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවයි. සංශෝධනයට සිදුකළ යුතුව තිබෙන වෙනස්කම් වෙතොත් ඒවා සිදුකළ යුත්තේ කමිටු අදියරේදීය. මෙය හොඳ සිහියෙන් සහ අවදියෙන් සිටිය යුතු අවස්ථාවක් වේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැළකීමේ දී, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගැටලු මතුකළ එහි ඇතැම් සම්පාදනයන් පාර්ලිමේන්තු කමිටු අදියරේ දී, වෙනත් වදන් භාවිතා කිරීම හරහා සම්මත කරවාගත් බවට නැගුණු චෝදනා හමුවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
උඩුගං බලා පිහිනීම
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවාගැනීම උඩුගං බලා පිහිනීමක් බඳු යැයි හඳුන්වාදීමට හේතුවන කාරනා කිහිපයකි.
මෙවන් ව්‍යායාමයකට මෙම අවස්ථාවේ දී, අතිශය ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙමින් ඇත්තේ මන්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් අතරින් නැගෙමින් තිබූ විරෝධය දැන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත. 21 හඳුන්වාදෙන්නේ බැසිල් රාජපක්ෂට ජනපති වරම් අහිමි කරවීමට යැයි කලින් පැහැදිලි කිරීමක් පැවතියත්, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිසා එය තවදුරටත් වලංගු නැත.
ඉදිරිපත් වන තවත් කාරණයක් වන්නේ 21 සම්මත වීම හරහා ජනපතිවරයාගේ බලතල සැළකිය යුතු ලෙස කප්පාදුවී, ඔහු නමට පමණක් සීමාවන ජනපතිවරයෙක් වනු ඇතිය යන්නය. මෙතැනද පදනමක් නොමැත්තේ, ඉතිරිව තිබෙන වසර 2ක ධූර කාලයෙත් තමන් ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස කටයුතු කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙන නිසාය.
එනිසා තර්කය වන්නේ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුව ද, පවත්නා තත්ත්වයේ කිසිඳු වෙනසක් සිදුවනු නැතැයි යන්නය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කළේ එහි මහලේකම් සාගර කාරියවසම් මහතාය. සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින් ඔහු මෙසේ කීවේය.
“විධායක ජනපතිධූරය අහෝසි කළ යුතුය යන්නයි අපේ ස්ථාවරය. ඒ වෙනුවට විධායක බලතල හිමි ශක්තිමත් අගමැතිවරයෙක් සිටින ක්‍රමයක් පැවතිය යුතුයි. පවත්නා මැතිවරණ ක්‍රමය ද වෙනස් විය යුතුව තියෙනවා” යයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවැසිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ආසන 103 ක් පමණ තිබේ. යම් පක්ෂයකට නිශ්චිතව හිමි ආසන ගණන කීමද, මේ වන විට අපහසුය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර නිතර පක්ෂ මාරුවේ යෙදෙන බැවින්ය. මෙයට හොඳ උදාහරණයක් වන්නේ ගෙවුණු මැයි මස 17 වැනිදා පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමයි.
අගමැති රනිල් වික්‍රමසිංහ ඡන්ද විමසීමට පෙර නිර්දේශයක් කරමින්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය නිතරගයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරිය ලෙස පත්කළ යුතුව ඇතැයි යෝජනාවක් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පුටුවට කාන්තාවක් පත්වීම පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ ගෞරවයටත් හේතු වන්නට තිබිණ. ජනපති ගෝඨාභය රාජපක්ෂ ද, අගමැතිවරයාගේ යෝජනාවට එකඟත්වය පළකරමින්, එය ඒ ආකාරයෙන් සිදුකරන ලෙස අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධනට උපදෙස් දුන්නේය.
පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක දී, මෙම කාරණය මතුකළ ඔහු, ඒ සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලා සිටියේය. රෝහිණී කවිරත්න මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පුටුවට පත්කිරීම ජනපතිවරයාගේ ද, කැමැත්ත බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නේ ඔවුන්ගේ පක්ෂයෙන් තරගයට ඉදිරිපත් වූ අජිත් රාජපක්ෂ මහතාටය. ඔහුට ඡන්ද 109ක් ලැබිණ.
මෙවන් කාරණා සම්බන්ධයෙන් කේවල් කළ නොහැකි බවත්, පක්ෂයේ ස්වාධීනත්වය සෑම අවස්ථාවකම ආරක්ෂා කළ යුතුව තිබෙන බවත්, ඡන්ද විමසීමට පෙර සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබිණ.
21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් සියලුදෙනාම, එකාවන්ව විරෝධය දක්වනු නැති වුවත්, ඔවුන්ගෙන් 50 කට වඩා (එනම් සැළකිය යුතු පිරිසක්) ඊට විරුද්ධව පෙනී සිටිනු ඇති යැයි කිව හැකිය.
සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
21 වැනි කඩුල්ල පැනීම