අසූව දශකයම අපට ගිනිගත් යුගයක් විය. ඒ ගින්නට අසු වූ බොහෝ අය ඒ ගින්නෙන්ම අළු දූවිලි අගුරු බවට පත් වූහ. ඉතිරි වූ අතළොස්සක් මිනිසුන් අතරේ සිට අපි ඒ අතීතයේ කතාව ගොඩනගමු. එය කෙතරම් විප්ලවවාදී ද කෙතරම් බියජනක ද කටුක ද කඨෝර ද යන්න සියලු සිදුවීම් අතරින් මතුවී පෙනේ. රෝහණ විජේවීර චරිතය නොමියෙන, අමරණීය චරිතයක් ලෙස වර්තමානය තුළ දවසින් දවස අලුත් වන්නේ ඔහු අවසාන මොහොත දක්වාම සටන පවා නොදුන් සැබෑ විප්ලවවාදියකු වන නිසාය. ඉතිහාසය තුළ දේශපාලන නායකයෝ ඉපැදුණහ. මියැදුණහ. එහෙත් විජේවීර සහෝදරයා මියැදුණු නායකයෙක් ලෙස අපට සැලකිය නොහැක. ඔහුගේ ජීවන චරිතයේ 80 දශකයෙන් පසු යුගය ඔහු සදා ජීවත් කරවා ඇත. එම මතකයට සමීපතමයෙක් අද අපේ කතාබහට එකතු වෙයි. ඔහු 1980න් පසු විජේවීර සහෝදරයාගේ රියදුරා ලෙස කටයුතු කළ සේපාල ලියනගේ සහෝදරයාය. 1983 ජ.වි.පෙ. තහනම් කිරීමත් සමග රෝහණ විජේවීර හා පවුලේ අය රහසිගත ආරක්ෂිත ස්ථානයකට කැඳවාගෙන ගිය පුද්ගලයන් අතර සේපාල ද වෙයි. විජේවීර හා ගෙවුණු එකී කාලය සේපාල මෙසේ වචනයට පෙරළයි.
1980 ජූලි වැඩ වර්ජනය සමස්ත රටම ගිනිබත් කළ සිදුවීමක් විය. එහි ප්‍රමුඛ ඉල්ලීම වූයේ රාජ්‍ය සේවක දිනක වැටුප රුපියල් 10කින් වැඩි කරන ලෙසය. මාසයට රුපියල් 300ක වැටුප් වැඩි වීමට එදා ආණ්ඩුව කොහෙත්ම එකඟ වූයේ නැත.
නමුත් වැඩ වර්ජනය නිකම්ම අතහරින්නට එයට උරදුන් කරදුන් කිසිවෙක් කැමැති වුණේ නැත. මේ කාලය වන විට සේපාල ලියනගේ රාජකාරි කළේ මීතොටමුල්ල බස් ඩිපෝවේ රියදුරෙකු ලෙසය. එහි ලංකා ගමනාගමන සේවක සංගමයේ සාමාජිකයකු ලෙස සිටියත් එය වෘත්තීය සමිති මට්ටමේ ප්‍රබල සංවිධානයක් නොවුණේය. එය කොමියුනිස්ට් පක්ෂයට අයත් වූවක් විය.
සී.ටී.බී. සේවකයන් හැටියට වැඩිම පිරිසක් වැඩි පඩි ඉල්ලා වර්ජනය කළ එකම ඩිපෝව එදා මීතොටමුල්ල විය. පිරිස වශයෙන් ගත් විට 700කට වැඩි පිරිසක් ඊට එකතු වූහ.
එදා මීතොටමුල්ල ඩිපෝවේ වැඩ වර්ජනය තුළ සටන්කාමියකුව සිටි නිසා අසාර්ථක, අසංවිධානාත්මක වැඩ වර්ජනය තුළ සේපාල ද පොලිස් අත්අඩංගුවට පත් විය. ආපසු එවැනි දේ නොකරන්නට මෙන් සේපාලගේ ඇස් ද අත් ද ගැටගසා තලගොයකු මෙන් බිම දිගේ ඩිපෝව වටේ ඇදගෙන යාමට ආණ්ඩු පාක්ෂිකයෝ කටයුතු කළහ.
ඡායාරූපය: අන්තර්ජාලයෙනි
“තලගොයෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහින් මා ගෙනාවට පස්සෙ වැඩ වර්ජනය කරපු අයට එහි ලේකම් කිව්වා “මූ ඔබලාගෙ ජීවිත, පවුල් විනාශ කරන එකෙක්” කියලා. ඊට පසු මාව එයාලගෙ මූලස්ථානයට ගෙනියන්න හැදුවා. ඒ වෙද්දි ඩිපෝවේ ආරක්ෂාවට නාවුක හමුදාව යොදවා තිබුණා. ඒ අය මාව ගෙනියනවට කැමති වුණේ නෑ. එනිසා මා නාවික හමුදාව යටතට ගෙන පසුව වැල්ලම්පිටිය පොලිසියට බාර දුන්නා. එතැනින් මාව වැලිකඩට දාලා මාස 7ක් එහි සිටියා. වැලිකඩින් මාව නිදහස් වෙලා ආවේ සී.ටී.බී. රියදුරු රැකියාව අහිමි වුණු කෙනෙක් විදිහටයි.
සේපාල මහතා එම අතීතය සිහිපත් කරයි. 80 වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූ ඔහු ඉන්පසු ජ.වි.පෙ. හි පූර්ණකාලීනයකු ලෙස වැඩ පටන් ගත්තේය.
සේපාල සී.ටී.බී. රියදුරෙක් ලෙස සිටි නිසා ඔහුට ජනතා විමුක්ති පෙරමුණට අයත් “විමුක්ති ගී” බසයේ රියදුරුකම ලැබිණි. මේ බස් එකේ වැඩ කරන ගමන් ඉඳහිට සේපාලව විජේවීර සහෝදරයාගේ රියදුරා ලෙස ද කැඳවනු ලැබිණි. එකල විජේවීරගේ ස්ථීර රියදුරා ලෙස සිටියේ කුඩාවැල්ලේ ධර්මෙ අයියාය.
විජේවීර සහෝදරයා ළඟින් සිටිමින් විශ්වාසවන්ත රියදුරු බවට පත්වෙන්නට සේපාලට හැකිවිණ.අසූව මුලභාගයේ පැවැති ජනාධිපතිවරණ අපේක්ෂක නාමයෝජනා අවස්ථාවට විජේවීර සහෝදරයා ආවේද සේපාල සමගය.
එදා විශේෂ සිදුවීමක් වුණා. නාමයෝජනා දීම සිදුවුණේ ටවුන්හෝල්වලදී. මට මතක හැටියට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙ උපන්දිනේ දවසේ. මේකට කොල්වින් ආර්. සිල්වා, හෙක්ටර් කොබ්බෑකඩුව, වාසුදේව නානායක්කාර වැනි අයත් සහභාගි වෙලා හිටියා.
ජේ.ආර්. මේ අවස්ථාවට සහභාගි වෙද්දි පුටුවල වාඩිවෙලා හිටපු සේරම කම්කරු නායකයො නැගිට්ටා. විජේවීර සහෝදරයා විතරයි නැගිට්ටෙ නැත්තෙ.
වැඬේ ඉවරවෙලා වාහනේට ආපු රෝහණ සහෝදරයා කිව්වා “බලන්න සහෝදරයා, අපේ රටේ ඉන්නෙ පුදුම කම්කරු නායකයො. වැඩ වර්ජනයෙන් අසූ දාහක් දොට්ට දාපු ජේ.ආර්.ට මේ කම්කරු නායකයො ටික නැගිට්ටනෙ” කියලා.
විජේවීර, චිත්‍රාංගනී සහ දූ දරුවෝ
විජේවීර සහෝදරයා කම්කරු හදවත් නොදත් කම්කරු නායකයන් ගැන කලකිරීමෙන් කතා කළේය. 83 කළු ජූලිය ඇති වුණේ මේ සිදුවීමට ඉතා කෙටි කලකට පසුවය. මේ කාලය වන විට සේපාල රෝහණ විජේවීරගේ ස්ථීර රියදුරා ලෙස කටයුතු කරමින් සිටියේය. ඊට අමතරව පක්ෂයට සම්බන්ධ ශක්ති මුද්‍රණාලයේ ද කටයුතු කළේය.
1983 ජූලි කලබල ඇති කළේ ජ.වි.පෙ. නෙවෙයි. ආණ්ඩුව මේක අවුළුවලා ජ.වි.පෙ. හි වැඩක් විදිහට අපට බැර කළා.
“ජූලි කලබලය ගැන මම මුලින්ම දැන ගත්තෙ ශක්ති මුද්‍රණාලය බාරව හිටපු නන්දෙ සහෝදරයා මාර්ගයෙන්. එයා මට කතා කරලා කිව්වා “සහෝදරයා, පොඩි ප්‍රශ්නයක් ඉක්මනට වාහනේ අරන් රෝහණ සහෝදරයාගේ ගෙදරට යන්න කියලා” ඒ වෙනකොට රෝහණ සහෝදරයාගේ ඩට්සන් පිකප් කැබ් එක තිබුණේ මුද්‍රණාලයේ. මම ඒකෙ කෙළින්ම විල්ලෝරවත්තෙ ගෙදරට ගියා. මම එහාට යන කොටත් විජේවීර සහෝදරයයි, චිත්‍රාංගනී සහෝදරියයි, ළමයි දෙන්නයි, තවත් සහෝදරයන් කීපදෙනෙකුයි ගමනකට සූදානම් වෙලා හිටියා. එය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් උදෙසා යන ගමනක් බව මම දැනගෙන හිටියා.රෝහණ විජේවීරත් පවුලේ අයත් නංවාගත් කැබ් රථය ගාලු පාර දිගේ දකුණු කෙළවර දක්වා ඇදෙමින් තිබිණි.
කළු දුම් වලා අහස් කුස සිඹින ගිනි ජාලා තැනින් තැන පෙනෙන්ට තිබේ. මේ අතර විවිධ කණ්ඩායම් අතර මග සිට වාහනය නවත්වයි..
“පෙට්‍රල් ද”.... වාහනයේ ඉන්ධන වර්ගය ගැන විමසයි.“නෑ... ඩීසල්” එසේ කී විට වාහනය ඉදිරියට යාමට අවසර ලැබෙයි.
“පාරේ වාහනවල පෙට්‍රල් එකතු කරනවා, ගිනි තියනවා. මේ විදිහට තමයි, ඔය ගිනි තැබීම වුණේ... අපට දැනුණු විදිහට...’
ගාලු පාර දිගේ විවිධ තැන්වල නැගෙන කළු දුමාරය දෙස ඉදිරිපස රියදුරු අසුනට අනෙක් පස සිටින විජේවීර සහෝදරයා වාහනයෙන් එබි එබී බලයි...
මෙය අවදානම අතරේ තවත් අවදානමක් බාර ගැනීමකි. රෝහණ සහෝදරයා යම් ආකාරයකට හඳුනාගතහොත් තවත් ප්‍රශ්න ජාලයකි. සේපාලට කේන්ති ගියේය.
“මොනවද සහෝදරයා බලන්නෙ... එබෙන්න එපා. පාඩුවෙ ඉන්නකො...” විජේවීර හිමින් සීරුවේ හිස පහළට හරවා ගත්තේය...
සේපාල කී දේ අසා සිටි චිත්‍රාංගනී සහෝදරිය.
“අන්න හරි... අන්න හරි... මෙයාට තේරෙන්නේ නෑනෙ...” සේපාල කී දෙය ඇය අනුමත කළාය. එතැනින් පසු කැබ් රථය තංගල්ලට ළඟාවෙන තුරුම රෝහණ විජේවීර සහෝදරයා මුහුණ කැබ් එකේ යටට හරවා සඟවා ගත්තේය. තංගල්ලට එන තුරුම පිටත දෙස බැලුවේවත් නැත.
පැය කීපයක් යන විට පිරිස තංගල්ලට ළඟා වූහ. රෝහණ විජේවීර සහෝදරයා අපේක්‍ෂාවෙන් තංගල්ලේ ඔහුට අයත් නිවසට වී ආරියසේන ඊශ්වරගේ සහ පියසේන රාමනායක සහෝදරවරු බලා සිටියහ. සිත සිතා ඉන්නට වේලාව අහිමි මොහොතකි. සියල්ල කඩිනමින් සිදුවිය යුතුව ඇත. චිත්‍රාංගනී සහෝදරියට හා දරු දෙදෙනාට සමුදුන් රෝහණ සහෝදරයා, වහාම, එම නිවසින් පිටත්වූයේ කැබ් රියෙනි. රෝහණ විජේවීර, පියසේන රාමනායක, ආරියසේන ඊශ්වරගේ, සේපාල ලියනගේ පිරිස විජිත රණවීර සහෝදරයාගේ නිවසට පැමිණියහ. එය විශාල වලව්වකි. එහි වළක් ඇතුළට කැබ් රිය දමා එය සම්පූර්ණයෙන් වැසෙන සේ පොල්ලෙලි පිරැවූහ. පැයක් පමණ ගතවන විට විජේවීර සහෝදරයාගේ කැබ් රථය තංගල්ලේ වලව්වක වළක් ඇතුළේ පොල්ලෙලිවලින් වැසී නොපෙනී ගියේය.
ඊට පසු මොකද වුණේ...
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
83 තහනමින් පසු විජේවීරගේ සැඟවුණු ජීවිතය
අජිත් Friday, 05 February 2016 07:53 AM
88/89 කාලේ විප්ලවකාරයෝ හිතුවේ රජයේ දේපොළ කියන්නේ ජේආර්ගේ දේපොළ කියල. බස්, දුම්රිය දාස් ගණනක් ගිනිතිබ්බා. එ්කෙන් රට දශක ගණනවක් පස්සට ගියා. (බ)
මලික් Thursday, 04 February 2016 01:09 AM
මෙයාලගේ විප්ලවයෙන් සිද්ධවුණේ අන්තිමට අහිංසක කොල්ලෝ කෙල්ලෝ මැරුණ එක. (නි)
රාමන් Thursday, 04 February 2016 07:43 AM
මෙයාලගේ විප්ලයෙන් කොල්ලෝ කෙල්ලෝ මළා. 80 වර්ජනයෙන් රටේ තොග පිටින් පාරට වැටුනා. අද ඒ මුකුත් වුනේ නැහැ වගේ 80 දශකයේ පාලකයෝ සහ ඔවුනගේ වලිගෙ එල්ලී දිව්‍යලෝකේ යන කට්ටිය නිදහස් ගීත කියනවා. (බ)
නුවන් විජේවර්ධන Friday, 05 February 2016 05:54 AM
මම අහල තියෙන විදියට, 80 වැඩ වර්ජනයට ජවිපෙ සම්බන්ධ වුනේ නෑ...ඒ වෙලාවෙ වැඩවර්ජනයකට යන්න එපා කියල විජේවීර කියල තියෙනවලු. ඒ කාලෙ රජය බලවත් නිසා එහෙම කිව්ව කියල තමයි කියන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න.(කෞ)
ප්‍රේම් Saturday, 06 February 2016 11:07 AM
අායිත් බාගෙට හරි. වර්ජනය කරන්න යන පක්ෂපාතී සටන් මැගසින් පාගලා දානවා කියලා ජේවීපී එක තීරණය කළ නිසා වර්ජනය යන්න එපා කිව්වා (බ)