IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Agency for International Development – USAID) මුදල් පසුම්බිය හැකිළී ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනයේ ලාංකික හවුල්කරුවන් අවුල් සහගත තත්වයකට පත්ව ඇත.

ජනවාරි 20 වැනි දින, ට්‍රම්ප් විසින් USAID  අරමුදල් සපයන සියලු‍ම ව්‍යාපෘති වහාම නවතා “ඒවා කාර්යක්ෂමද සහ පළමුව ඇමෙරිකාව (America First)  යන න්‍යාය පත්‍රය යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට අනුකූලද” යන්න තීරණය කිරීම සඳහා දින 90 ක සමාලෝචනයක් පවත්වන ලෙස විධායක නියෝගයක් නිකුත් කළේය. පසුව අරමුදල් නැවැත්වීම නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසිනි.

USAID යනු ශ්‍රී ලංකාවේ විශාලතම තනි පරිත්‍යාගශීලියා වන අතර, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනකට මෙන්ම රජයේ වැඩසටහන් සඳහා ද එම ආයතනය අරමුදල් සපයයි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන සඳහා වන සියලු‍ම අරමුදල්වලින් අඩක් පමණ ලැබෙන්නේ USAID වෙතිනි. එය පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 15 ක් පමණ විය.

ඇමෙරිකාවේ මෙම පියවරත් සමගම තීරණාත්මක ක්ෂේත්‍රවලට දැඩි බලපැමක් එල්ල වී තිබේ. ගෘහස්ථ හිංසනය සහ කාන්තාවන්ට එරෙහි අනෙකුත් ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අයට උපදේශනය, හදිසි නවාතැන් සහ නීති ආධාර හරහා සහාය වන රාජ්‍ය නොවන සංවිධානයක් වන “කාන්තා පිහිට” සංවිධානයද දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටී. ඔවුන්ගේ මෙහෙයුම්වලින් සියයට 85කට පමණ දැනට අරමුදල් සපයනු ලබන්නේ USAID ආයතනය විසිනි. රත්නපුරයේ පවත්වාගෙන යන ඔවුන්ගේ අර්බුද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම USAID හි සහාය ඇතිව අරමුදල් සපයා ගන්නා අතර, එය නීතිඥයන් සහ උපදේශකයන් ඇතුළු කාර්ය මණ්ඩලය 7 දෙනෙක් විසින් මෙහෙයවති. පසුගිය වසරේ මෙම මධ්‍යස්ථානය කාන්තාවන් 950 දෙනෙකුට සේවය සලසා දී ඇත.

“අපට සමහරවිට මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු විය හැකියි” යනුවෙන් පවසන්නේ නීතිඥවරියක සහ “කාන්තා පිහිට” සංවිධානයේ වැඩසටහන සහ නීති කළමනාකාරිනිය වන මාරියම් මොහොමඩ්ය. “‍අපගේ ව්‍යාපෘතිය පශ්චාත් සමාලෝචනයෙන් පසුව අනුමත කළත්, එම කාලය සඳහා මුදල් ආපසු ගෙවන බවට USAID ආයතනය සහතික වෙන්නේ නැහැ. “කාන්තා පිහිට” වැනි ලාභ නොලබන සංවිධානයකට මෙම පිරිවැය දැරීමට හැකියාවක් නැහැ”.‍

මොහොමඩ් මහත්මිය සහ “කාන්තා පිහිට” සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා සාවිත්‍රි විජේසේකර මහත්මිය දැනට අධිකරණ අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටියි. “කාන්තා අමාත්‍යාංශය අර්ධ වශයෙන් අපගේ හදිසි නිවාස 4 (USAID සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ) ක් සඳහා සහාය දක්වනවා. සිතාගත නොහැකි අපයෝජනයන්ට ලක්වන දහස් ගණනක් කාන්තාවන් සහ ළමයින්ට ආරක්ෂාව සපයන නිසා අපට ඒවා වහලා දාන්න බැහැ” යැයි මොහොමඩ් මහත්මිය පැවසුවාය. නවාතැන් හතරම දැනට පිරී ගොස් ඇත.

USAID ආයතනය විසින් ඔවුන්ට වසර 5 ක අරමුදල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ස්තුති වන්නට, පසුගිය වසර කිහිපය තුළ “කාන්තා පිහිට” සංවිධානය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත. එහෙත් දැන් තනි විශාල පරිත්‍යාගශීලියකු මත යැපීමේ අවදානම පෙනෙන්නට පටන් ගෙන තිබේ. USAID ව්‍යාපෘතියේ පරිමාණය නිසා, ඔවුන් වෙනත් ප්‍රධාන අරමුදල් මාර්ග අනුගමනය කර නොමැත. එහෙත් සංවිධානයට වෙනත් රටවලින් යම් ප්‍රමාණයක අරමුදල් ලැබෙන බවත් මොහොමඩ් මහත්මිය පැහැදිලි කළාය.

“මෙවැනි දෙයක් ගැන අනතුරු ඇඟවීමක් නොලැබීම සහ එවැනි නියෝගයක් සඳහා සූදානම්වීමට කාලයක් නොමැතිවීම ගැන අපි කලකිරීමට පත් වෙනවා. USAID ආයතනයේ සියලු‍ම ක්‍රියාකාරකම් එකරැයකින් නතර කිරීමට සියලුම හවුල්කරුවන්ට උපදෙස් දුන්නා” යැයි මොහොමඩ් මහත්මිය පවසයි. “ප්‍රමාණය අඩු කිරීමට අපට ඉතා දැඩි තීරණ ගැනීමට සිදු වුණා”. කෙසේ වෙතත් ඔවුන්ගේ ව්‍යාපෘතියේ අවසානයට ළඟා වෙමින් සිටින බැවින්, මාස 3 ක සමාලෝචනයෙන් පසු “කාන්තා පිහිට” සංවිධානයට කොළ එළියක් ලැබෙනු ඇතැයි මොහොමඩ් මහත්මිය බලාපොරොත්තු වේ.

ජීවිතාරක්ෂක මානුෂීය ආධාර සඳහා ගෝලීය වශයෙන් නිදහස් කිරීමක් ලබා දී ඇති අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාමට අවසර දී ඇත. එහෙත් කිසිදු ශ්‍රී ලාංකික හවුල්කරුවකු ඒ සඳහා සුදුසුකම් ලබා තිබේද යන්න USAID තහවුරු කර නොමැත. “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ විමසුමට ප්‍රතිචාර වශයෙන් ගෝලීය තත්වය පිළිබඳව අදහස් දක්වමින් USAID ප්‍රකාශකයකු පැවැසුවේ “අපි ව්‍යතිරේක ඉල්ලීම් කඩිනමින් සකස් කරමින් ඉන්නවා. පැය කිහිපයක් ඇතුළත හදිසි ඉල්ලීම් කිහිපයක් අනුමත කරලත් තියෙනවා.” යනුවෙනි.

ඇමරිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අයිතිවාසිකම්, මැතිවරණ නිරීක්ෂණය, පෝෂණය, දේශගුණික විපර්යාස අනුවර්තනය, දූෂණ විරෝධී සහ ආපදා සහන වැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවලට අමතරව, USAID  ආයතනය විසින් රජයේ වැඩසටහන් සඳහා ද අරමුදල් සපයයි. නම සඳහන් කිරීමට අකමැති පාර්ලිමේන්තුවේ නිලධාරීන් පැවැසුවේ ආංශික අධීක්ෂණ කමිටු සහ විශේෂයෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සහ කාන්තා පාර්ලිමේන්තු සංසදයට විශේෂඥයන් සැපයීමේදී USAID ආයතනයය උපකාර කර ඇති බවයි. විධායක නියෝගය ක්‍රියාත්මක කරන විට, USAID  ආයතනය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඔවුන්ගේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේ තීරණාත්මක තාක්ෂණික සහාය ලබා දීමේදී ඔවුන් සැමවිටම USAID  ආයතනය මත විශ්වාසය තබා ඇති බවයි. “රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතුව කිසිදු තාක්ෂණික කාර්ය මණ්ඩලයක් නැහැ” යැයි හර්ෂ ද සිල්වා පවසයි. “අතීතයේ දී මෙන් USAID  විශ්ලේෂකයන් සපයනු ඇතැයි අපි අපේක්ෂා කළා. එහෙත් ඇත්ත වශයෙන්ම අපට උසස් තත්වයේ විශ්ලේෂකයන් සිටින බව සහතික කිරීම රජයේ කාර්යභාරයයි.” ඔවුන්ගේ සතිපතා අධ්‍යයනයන්ට අමතරව, රාජ්‍ය මූල්‍ය කමිටුවේ වියදම් වෙන් කිරීම් සහ ණය, වියදම් සහ ආදායම සඳහා වන පුරෝකථන පිළිබඳ ප්‍රධාන වාර්තා දෙකක් පෙබරවාරි මැද භාගය වනවිට නිකුත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවට අමතරව අනෙකුත් ආයතන ද දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කමිටුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම සඳහා USAID  වෙතින් පුළුල් සහයෝගයක් ලැබෙන බවද ඒවායේ නිලධාරීහු තහවුරු කරති. තාක්ෂණික සහාය සහ පුහුණුව ලබාගැනීම සඳහා ආයෝජන මණ්ඩලය ද සාකච්ඡා පවත්වමින් සිටියේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ලබාගැනීමේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා එච්එන්බී සහ ඩීඑෆ්සීසී වැනි බැංකු සමඟ හවුල් වෙමින් USAID  ආයතනය පෞද්ගලික අංශය සමග ද කටයුතු කරයි. වාණිජ මණ්ඩලය වැනි ආයතන සමග වැඩ කිරීමේදී ඇති වන බාධක අවම කිරීමෙන් වෙළෙඳාම වැඩිදියුණු කිරීමට ද ඔවුහු උපකාරී කරති.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ දහස් ගණනක් සේවය කරන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනකු නඩත්තු කෙරෙන්නේ USAID  ආයතනය විසිනි. මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන ආරංචි මාර්ග පවසන්නේ 1,000 කට අධික පිරිසකගේ රැකියා අවදානමට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ජාලය ඔවුන්ගේ අරමුදල්වලින් සියයට 40-50 ක් පමණ USAID  ආයතනයේ අරමුදල්වලින් පියවා ගන්නා අතර, එම සංවිධානයේ නිර්මාතෘ සහ ප්‍රධානී, භූමි හරේන්ද්‍රන් පවසන්නේ ඔවුන්ට දැනටමත් කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කිරීමට බල කෙරී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ජාලය විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට නවාතැන්, ආහාර සහ මානසික සහාය ලබාගැනීමට උපකාරී කෙරෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සැලසුම් සැලකිල්ලට ගැනීමේදී, සමාලෝචනයට ඔරොත්තු දෙන සංවිධාන අතර ඔවුන්ගේ ඒවා ඇති බව ඇය අපේක්ෂා නොකරයි.

USAID ආයතනයෙන් අරමුදල් ලබාගන්නා සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්කාර ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයක් වන ආසියානු පදනමේ නිලධාරියකුට (නම හෙළි නොකරන ලෙසට ඉල්ලීමක් කොට ඇත) අනුව, වඩාත් බලපෑමට ලක්වීමට ඉඩ ඇත්තේ කුඩා සහ බිම් මට්ටමේ කණ්ඩායම්වල සේවය කරන අයයි. “ජාතික රාජ්‍ය නොවන සංවිධානවලට බහුවිධ ව්‍යාපෘති තියෙනවා. මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන වැටුප් පිරිවැයෙන් කොටසක් අනෙකුත් පරිත්‍යාගශීලීන්ගෙන් අවශෝෂණය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා” යනුවෙනි. “එහෙත් පීඩාවට පත්වීමට සිදුවන්නේ එම පහසුකම් නොමැති කුඩා ඒවටයි”. සමහර සංවිධාන අරමුදල් නැවැතීමේ නියෝගයට පෙර ජනවාරි මාසයේ වැටුප් තවමත් තම කාර්ය මණ්ඩලයට ගෙවා නොමැති අතර, අනෙක් සංවිධාන USAID විසින් ප්‍රතිපූරණය කරනු ඇතැයි අපේක්ෂාවෙන් වැඩසටහන් වියදම් සඳහා ගෙවා ඇති බවද “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට දැනගන්නට ලැබුණි.

රාජ්‍ය නොවන සංවිධාන සිටින්නේ තමන්ව පාවාදී ඇතැයි යන හැඟීමෙනි. “අපි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා USAID  සමග ගිවිසුම්වලට එළැඹිලා හිටියා. කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව, ස්වාභාවික යුක්තිය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව ඒ සියලු ගිවිසුම් අත්තනෝමතික ලෙස අවලංගු කළා”. යනුවෙන් පවසන්නේ සිය අරමුදල්වලින් සියයට 50 ක් පමණ USAID  වෙතින් ලබාගන්නා සංවිධානයක ප්‍රධානියෙකි. “මේ ගැන කතා කළොත් අපිට දඬුවම් ලැබෙයි කියලා අපිට බයයි. එහෙම වුණොත් අපිට අනාගත අරමුදල් පවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. මේ කාරණය නිසා එක්සත් ජනපද කීර්තිනාමයට සිදුවන හානිය අතිවිශාලයි”.

USAID  ආයතනයේ අරමුදල් නතර කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආධාර අංශය තුළ පමණක් නොව, ලොව පුරා දැවැන්ත පරතරයක් ඇති කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ රෝහල් විසින් සරණාගතයන් ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, ගැටුම් කලාපවල නොමිලේ ආහාර ලබාදෙන මධ්‍යස්ථාන වසා දමමින් සිටින බවත්ය.

ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ USAID  ආයතනය දුර්වලවීමට ඉඩ ඇති බවට ඔවුහු අනතුරු අඟවති. අරමුදල් සීමා කිරීමට අමතරව, USAID  ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කිරීම, ආක්‍රමණශීලී ප්‍රතිසංවිධානය සහ පරිපාලකයකු පත් කිරීමට ට්‍රම්ප් අපොහොසත්වීම වැනි කාරණා, ජ්‍යෙෂ්ඨ ආයතනය හැකිළීමේ සහ දුර්වලවීමේ පූර්ව සලකුණු ලෙසින් ඔවුහු පෙන්වා දෙති. රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය සහ රජය මෙම වෙනස්කම් සඳහා සූදානම් විය යුතුය.

මිමි අල්ෆොන්සස් විසිනි..

(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (0)

USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 152 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 62 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 42 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 1603 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 506 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 358 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 802 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site