IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


අධ්‍යාපන ගමන් මග කොතැනටද?

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමතිනී, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසූ බව කියැවෙන මාධ්‍ය වාර්තාවක් කියවීමි.

එයට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේත් විභාග දෙපාර්තමේන්තුවේත් ජාතික අධ්‍යාපන ආයතනයේත් ප්‍රධාන නිලධාරීන් සමග ජා.ජ.බ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවේ කිහිප දෙනෙකුත් 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අගමැතිනිය සමග සාකච්ඡා කර ඇත.

මේ කියන්නා වූ 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ කොහේද? ඒවා සම්පාදනය කෙරුවෝ කවරහුද? එම ප්‍රතිසංස්කරණ ආවරණය කරන්නේ අධ්‍යාපනයෙහි කවර ක්ෂේත්‍රද? එවැනි කිසිදු කාරණාවක් පිළිබඳව සම්පූර්ණ තොරතුරු කොහේවත් නැත.

මුල සිට කතාව පටන් ගතහොත් මේ රටේ සමස්ත විධිමත් අධ්‍යාපනය - “පෙර පාසල්වල සිට ප්‍රාථමික, ද්විතියික, උසස් හා වෘත්තීය අධ්‍යාපනය දක්වාත් ඒවායේ ගුරු සේවා හා පුහුණුකරුවන් දක්වාත් පාසල් පරිපාලනයේ සිට අධ්‍යාපන පරිපාලනය දක්වාත්” - සියල්ල මුළුමනින්ම ගරා වැටුණු, පිරිහුණු, පරපුටු, දූෂිත ක්ෂේත්‍රයක් ලෙස පවත්වා ගෙන යන්නකි. කණ්ඩායමක් කල්ලියක් හවුල් වී එයට තැන තැන අණ්ඩ දැමීමෙන් අධ්‍යාපනයේ යෝධ හිල් වැසෙන්නේ නැත. “ජාතික අධ්‍යාපනය” එලෙස පවත්වා ගෙන යා නොහැක. පවත්වා ගෙන නොයා යුතුය. කලෙක සිට මේ රටේ බිඳ වැටුණු, පිරිහෙමින් ඇති අධ්‍යාපනය දුර දිග යන, පුළුල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ එබැවින්ය.

මේ සමාජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු විය යුතු අත්‍යාවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් ඇත. අධ්‍යාපන අරමුණු සම්බන්ධව හා දරුවන්ගේ ඉගෙනීම පිළිබඳව දරුවන්ට අතිශය අහිතකර දෙමාපියන් කරතියාගෙන ඉන්නා ප්‍රාථමික පසුගාමී ආකල්ප වෙනස් කිරීම එකකි. දෙවැන්න, ගුරුවරුන් “ගුරුවරයෙකු” සතු වගකීම් හා රාජකාරි මොනවාදැයි නොදැන ගුරු වෘත්තියෙහි නිරත වීම අධ්‍යාපන ක්‍රියාවලියෙහි නොතිබිය යුත්තකි. පාසල් විෂය මාලාව හා පාඨමාලා පිළිබඳ කතාවත් පාසල් හා අධ්‍යාපන පරිපාලනය ගැන කතාවත් ඉන්පසුව එන කතාය. පළමු කතා දෙකෙන් පසු ඒවා අනිවාර්යෙන් සාකච්ඡාවට ගැනෙන මාතෘකාවන්ය.

පළමු මාතෘකාව වෙත යොමු වන විට දැකිය හැක්කේ මේ සමාජයේ ජනප්‍රිය පාසල්වලට තම දරුවන් කෙසේ හෝ ඇතුළත් කර ගැනීමට උත්සාහ දරන මැදපාන්තික තරුණ මවුපියන් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන බවය. එහෙත් ඒ වෙනුවෙන් දරණ මහන්සිය හා වැය කිරීම් සඳහා ඉන් ලැබෙන වාසිය කුමක්දැයි ඔවුහු හරියාකාරව නොදනිති. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම යෝධ දූෂණ ජාලයක් නිර්මාණය කිරීමකි. එය එම පාසල්වල විදුහල්පතිවරුන්ද, අධ්‍යාපන නිලධාරීන්ද විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික මැදපාන්තිකයන්ද හවුලේ නඩත්තු කරන රුපියල් කෝටි ගණන් අත මාරු කෙරෙන දූෂණයකි. මේ දූෂිත ක්‍රියාවලියට නිල ආවරණයක්ද ඇත. දරුවන් පළමු වසරට ඇතුළත්කර ගැනීමේදී නිවසේ සිට පාසලට ඇති දුර කි.මී. 02 ට අඩු විය යුතුයැයි වන නීතිය අවුරුදු 30 ට 40 ට වඩා එපිට කාලයක සිට ක්‍රියාත්මක කෙරෙන රටේ අගලවත්ත, අම්බලංගොඩ, ඇහැළියගොඩ, වරකාපොල, මීරිගම, මීගමුව වැනි ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල්වලට දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා පාසල් සේවා වාහන යැයි අවසර ලබා දීමෙන් හැම ආණ්ඩුවක්ම සහ මේ සමාජයද ඒ දූෂණය අනුමත කරති.

ඊළඟට තම දරුවා අනෙක් දරුවන්ට ඉහළින් ඔසවා තැබීමේ තරගය සඳහා ගුරුවරුන් පිනවීමේ අනුග්‍රාහක පින්කම්වලට මවුපියන් හවුල්වීමත් තව දූෂණයකි. අධ්‍යාපනයෙහි ඒ දූෂණ කවුරුත් කතා නොකරන මහ පරිමාණ දූෂණ ගොන්නකි. ඒ දූෂණවලට හවුල්වන්නට තරම් ආර්ථික ශක්තියක් නොමැති මවුපියන්ගේ දරුවෝ ඒ තරගයෙන් හැලෙති. ඒ වගේම ඒ තරගයෙහි ගිලී ඉන්නා මවුපියෝ තම දරුවන්ගේ නිදහස, විවේකය හා කැමැත්ත නොතකා තමන්ගේ තේරීම් හා තීන්දු සමගින් දරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යාමේ, ආත්මාර්ථකාමීත්වයකින් පෙළෙන්නාහ. තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය උරච්චිකර දමන එවැනි පසුගාමී දූෂිත මවුපියන් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැක. එනිසා ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ කතිකාවෙහි එක් ප්‍රධාන මාතෘකාවක් විය යුත්තේ මවුපියන් සමග අධ්‍යාපන අරමුණු සම්බන්ධයෙන් දිග හැර ගන්නා සමාජ කතිකාවය.

දෙවැනි කතාව වන ගුරුවරුන් වර්තමානයේ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම පිළිබඳ කතාවද දුගඳ හමන කතාවකි. ගුරුවරයකු යනු කවර වගකීමක් ඇත්තෙක්දැයි ඇසූ විට පුරුද්දට මෙන් කියන්නේ, ළමුන්ට උගන්වන්නා ගුරුවරයකු යැයි කියාය. එහෙත් සැබෑ ගුරුවරයකු යනු ළමුන්ට උගන්වන්නකු නොව, ළමුන්ට ඉගෙන ගැනීම සඳහා සහායවන්නකුය. මවුපියන් හා අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගත්තාට පන්තියට ගොස් ළමුන්ට උගන්වන්නා සහ ළමුන්ට ඉගෙන ගැනීමට ආධාර කරන්නකු, සහායවන්නෙකු අතර ලොකු වෙනසක් ඇත. එය අනාගතය වෙනුවෙන් උගත් බුද්ධිමතකු හැදීම හා විභාග සහතිකලාභියකු හැදීම අතර ඇති වෙනසය. ඒ වගේම ගුරුවරයා යනු අනාගතය සඳහා කාර්යක්ෂම ශ්‍රමිකයකු මෙන්ම මේ සමාජයේ සංස්කෘතික විවිධත්වය සාධනීය ලෙස හඳුනා ගන්නා, ආත්මගරුත්වය හඳුනන, යහපත් පුරවැසියකු වන්නට ළමා පෞරුෂය වර්ධනය කරන්නට මග පෙන්වා දෙන්නෙකි.

දැන් ප්‍රශ්නය වන්නේ අපේ පාසල්වල ඉන්නා ළමුන්ට කන පැලෙන්න අතින් පයින් පහර දෙන, කොසු මිටිවලින් පහර දෙන, රෝහල්ගත කරන තෙක් පහර දෙන, ළමයින් ලිංගික හිංසනයට ලක් කරන විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන් අයත් වන්නේ කොතැනටද යන්නය. එවැනි පැමිණිලිවලින් ගුරු මණ්ඩලයේ තම හිතවතා හිතවතිය ආරක්ෂා කර ගැනීමට මැදිහත්වන සහ ඒ කිසිවක් නොඇසුණා මෙන් නොදැක්කා මෙන් ඉන්නා ගුරු මණ්ඩලයේ අනෙක් නිහඬ සාමාජික සාමාජිකාවන් අයත් වන්නේ කවර ගණයකටද යන්නය. ඒ වගේම මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ ළමා මනස වර්ගවාදී ආගම්වාදී මනස්ගාතවලින් පුරවන පුද්ගලයන් ගුරුවරුන් විය හැකිද යන්නය.

ගුරු සේවය මෙවැනි අශිෂ්ටයන්ගේ තක්කඩි සේවාවක් නොවිය යුතුය. එය වැදගත් අනාගත පරපුරක් හදන්නා වූ නම්බුකාර සේවාවක් ලෙස තහවුරු කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් ගුරුවරුන් බඳවා ගන්නා අවම සුදුසුකම සහ බඳවාගැනීමේ පටිපාටිය ගැනත් දැනට අනෙකුත් රජයේ සේවකයන්ට අනුපාතිකව සකසන වැටුප් මට්ටම් අතහැර, ගුරුවරුන්ට වෙනත් අමතර ආදායම් සොයන්නට අවශ්‍ය නොවන වැදගත් වැටුප් ක්‍රමයක් හැදීමත් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය දියුණුකර ගැනීමේ අවකාශ හැදීම ගැනත් මේ සමාජය සාකච්ඡා කළ යුතුය.     

අධ්‍යාපනයට අදාල ප්‍රතිසංස්කරණ කිසිවක් එනිසා කොළඹ බලධාරීන් හා දේශපාලන කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් ඔවුන්ගේ වායු සමීකරණය කෙරුණු කාමරවල තීන්දු කළ යුතු හෝ කළ හැකි කාර්යක් නොවේ. එය සමස්ත සමාජයම හවුල් වන්නාවූ විවෘත සාකච්ඡා ඔස්සේ තීන්දු කළ යුතු බරපතළ ප්‍රතිසංස්කරණ සම්පාදන ක්‍රියාවලියකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එනිසාම පාදක විය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මේ රටේ විධිමත් අධ්‍යාපනය සම්බන්ධ ආණ්ඩුවක් බාර ගන්නා වගකීම කුමක්දැයි තීන්දු කළ යුත්තේ එම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” මගින් ය. එය විවෘත සමාජ කතිකාවක් ඔස්සේ සමාජය එළැඹෙන පොදු එකඟතාවක් විය යුතුය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවක් සමාජ වගකීමට බැඳ තැබෙන්නේ ඒ සමාජ එකඟතාව මගින්ය. ප්‍රතිසංස්කරණ සකස් කළ යුත්තේ ආණ්ඩුවට බාර කෙරෙන ඒ සමාජ වගකීම් අනුවය. නිදසුනක් ලෙස කිවහොත් ජාත්‍යන්තර පාසල් යැයි පෞද්ගලික සමාගම් විසින් ලාභය සඳහා පවත්වා ගෙන යන අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය ස්ථාවරයක් තිබිය යුතුය. ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නේද නැතිනම්, ස්ථිර නියාමනයකට යටත් කෙරෙන්නේද හෝ වර්තමානයේ මෙන් ආණ්ඩුව ඒ සියල්ලෙන් ඉවත්ව ඉන්නේද යනු ප්‍රතිපත්තිමය තීන්දුවකි. එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි පැහැදිලි විය යුත්තකි. ඒවගේම, හන්දිගානේ කඩ කාමරවල ආරම්භ කෙරෙන විදේශ උපාධි අලෙවි කිරීමේ කොම්පැනි සම්බන්ධයෙන් ආණ්ඩුවක වගකීම කුමක්ද? රජයට බදු ආදායම් ලැබීම සඳහා ඒවාද විදේශ රැකියා ඒජන්සි මෙන් ලියාපදිංචි කරන්නේද? එවැනි පෞද්ගලික අධ්‍යාපන ඒජන්සි සමග “ජාතික අධ්‍යාපනය” යනු කුමක්ද? කෙටියෙන් කියන්නේ නම්, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපනය “පෞද්ගලීකරණය” කිරීම ගැන සමාජයෙහි පොදු එකඟත්වක් තිබිය යුතුය. ආණ්ඩුවක අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු ඒ “සමාජ එකඟතාව” මිස, කල්ලි කණ්ඩායම්වල යෝජනා නොවිය යුතුය.

එනිසාම පාර්ලිමේන්තුවෙහි සම්මත කළ යුතු “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” විවෘත සමාජ කතිකාවක් ඔස්සේ “ධවල පත්‍රිකාවක්” ලෙස පළමුව කෙටුම්පත් කරගත යුතුව ඇත. එයට ආරම්භයක් ලෙස, අධ්‍යාපන ඇමතිනියට මනාප අයුරු ඇයගේ කණ්ඩායමක් සමග සකස් කර ගන්නා දළ කෙටුම්පතක් සමාජගත කළ හැකිය. එවැන්නක් සමාජගත කිරීමේ පහසුම සහ සාර්ථකම පිළිවෙත වනු ඇත්තේ රජයේ පාසල් 10,100 ට වැඩි සංඛ්‍යාවක් හරහා ගුරුවරුන් දෙලක්ෂයකට වැඩි පිරිසකට හා ළමයින් ලක්ෂ 40 කගේ පමණ මවුපියන්ට එම දළ කෙටුම්පත බෙදා හැරීමය. එවැනි සමාජ කතිකාවකට ගුරු සංගම් පමණක් නොව, රජයේ හා පෞද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිතිද, නීතිඥ, විශේෂඥ වෛද්‍ය, වරලත් ගණකාධිකාරී වැනි වෘත්තිකයන්ගේ සංවිධානද වාණිජ හා ව්‍යාපාරික සංවිධානද හවුල් විය යුතුය. අධ්‍යාපනය ඒ සියලු වෘත්තීය හා වෘත්තික ක්ෂේත්‍රවලට අදාළ වනවා සේම සාර්ථක දියුණු අධ්‍යාපනයක් පවත්වා ගැනීම වෙනුවෙන් බරපැන් දැරීමට හවුල් වන පිරිස් ලෙස ඔවුන්ටද ඒ වෙනුවෙන් සමාජ වගකීමක් ඇත.

එනිසා මේ මොහොතේ ගුරු හා විදුහල්පති සංගම්වලටත් සමාජ ක්‍රියාකාරීන්ටත් පැවරෙන ආසන්නම වගකීම වන්නේ 2026 ක්‍රියාත්මක කරන්නේ යැයි අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් බල කිරීමය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුත්තේ දීර්ඝ දියුණු සමාජ කතිකාවකින් පසුව ලියැවෙන කෙටුම්පතක් වශයෙන් පමණි. අපහසුවකින් තොරව එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කළ හැක්කකි. තම පාසලේ සංවර්ධන සමිතිය කැඳවා අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් යෝජනා සම්මත කර අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් කවුරුන් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනය තව අවුල් කිරීම ඔවුන්ට වළකා ගත හැක. ඒවගේම එවැනි මැදිහත්වීම් සමග ප්‍රාදේශීය “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදන කමිටු” පිහිටුවා ගැනීමටත් නම්බුකාර ස්වාධීන ගුරු සේවාවක් සමග දියුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගැනීමටත් දායකවන්නට හැකිය.

මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්, අධ්‍යාපනය ගොඩ දමා ගන්නා තෙක් මේ රටේ කිසිදු අර්බුදයක් හරියාකාරව විසඳිය නොහැකි බවය. එබැවින් අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා විවෘත සංවාදයක් ඔස්සේ ප්‍රතිසංස්කරණ සකස් කර ගැනීම අනිවාර්ය වැදගත් සමාජ වගකීමක් වන බව තේරුම් ගත යුතුය.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

අධ්‍යාපන ගමන් මග කොතැනටද?

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල
2025 පෙබරවාරි මස 11 330 0

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර


අධ්‍යාපන ගමන් මග කොතැනටද?
2025 පෙබරවාරි මස 11 44 0

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා


කොළොම්තොට අසිරිමත් කලා මංගල්‍යය නවම් මහා පෙරහර
2025 පෙබරවාරි මස 10 153 0

කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


පොල් අර්බුදයට විසඳුම ආනයනයද?
2025 පෙබරවාරි මස 10 123 0

පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩ


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 145 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 793 1

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 100 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 894 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site