IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


අධ්‍යාපනය සංවාදයකට භාජන කරමු

“ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම, අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බව නොබෝදා කී ජනාධිපතිවරයා, ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.”

මෙහි හඬ, මෙහි ස්වරය, ශ්‍රී ලංකාව ආසියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රය බවට පත් කිරීමේ අධ්‍යාපන සැලසුම් ගැන කතා කළ පසුගිය යහපාලන ආණ්ඩුවේ අගමැති වික්‍රමසිංහගේ හඬදැයි සිතුණද, මෙය ඉකුත් ඔක්තෝම්බර් 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවෙහිදී කළ ප්‍රකාශයකි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේද සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාව ගැන එදිනම ලංකාදීප පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයෙහි වාර්තා කර තිබුණේය. එකී වාර්තාවට අනුව, එම අමාත්‍යාංශවල විදේශාධාර සමඟ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති 05 ක් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් එහිදී ලබාදී ඇත.

ආරම්භයේදීම කිව යුත්තේ, විදේශාධාර මත ඔවුන්ගේ සැලසුම් අනුව ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ව්‍යාපෘති මගින් අපගේ ජාතික අධ්‍යාපනය පිළිසකර කළ නොහැකි බවය. ඒවගේම ජනාධිපති අනුර කුමාර අධ්‍යාපන වගකීම් බාර දෙන මේ රටේ නිලධාරීන් යනු “කාර්යාල” පරිපාලකයන් මිස “සංවර්ධන” කළමනාකරුවන් නොවන බවද කියා සිටියේය. අපේ ඉතිහාසයෙහි විදේශාධාර මත ක්‍රියාත්මක වූ වඩාත්ම සැලසුම් සහගත සංවර්ධන වැඩසටහන වූයේ ලෝක බැංකුව මුල් වී 1978 දී කුරුණෑගලින් ආරම්භ කළ “නෝරාඩ්” සංවිධානය අරමුදල් ලබා දුන් “ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන” (IRDP) ය. අවම සිව් වසරක, අදියර දෙකකින් ක්‍රියාත්මක වූ ඒ සංවර්ධන වැඩසටහන් 1988 වන විට මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු උතුරු-නැගෙනහිර පළාත් හැර දිස්ත්‍රික්ක 19 න් දිස්ත්‍රික්ක 16 ක ක්‍රියාත්මක කෙරුණි. නෝර්වේජියානු, ජපන්, පින්ලන්ත, ස්වීඩන ආධාර සංවිධාන, එ.ජා.කෘෂි සංවර්ධන අරමුදල වැනි විදේශාධාර ආයතන දායක වූ ඒ වැඩසටහන් ස්ථාපිත කරනු ලැබුවේ පරිපාලන සේවාවේ ජ්‍යෙෂ්ඨයන් වන දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ ය. ඒවායින් ලැබුණු සංවර්ධනයක් නැත. ඒ සියලු ව්‍යාපෘති අසාර්ථක වූයේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදේශාධාර මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ගත් විටද, පසුගිය දසක කිහිපයේත් දැනටත් යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවාව, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධානවල ණය හා ආධාර සමග අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති හා වැඩසටහන්ද අධ්‍යාපන බලධාරීන් යටතේ වන අසාර්ථක වැඩසටහන් ය.

මේ නව ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රවේශය ඇගයිය යුත්තේ එම පසුබිමෙහිය. එය සංක්ෂිප්ත කළහොත් (1) නිලධාරීන්ගේ වගකීමක් ලෙස අධ්‍යාපන ව්‍යාපෘති තැබීමත් (2) දැනටද පවතින අනාගත එල්ලයක් නොමැති ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමත් (3) ඉදිරි වසර 10 ක කාලයේ දියුණු ලෝකයටද නිශ්චය කළ නොහැකි, ලොවට අවශ්‍යවන මානව සම්පත සඳහා නිලධාරීන්ගේ වගකීම යටතේ අධ්‍යාපනය යොමු කිරීමත් සැලකූ විට, අපගේ පාසල් අධ්‍යාපනය ඇතුළු විධිමත් අධ්‍යාපනයෙහි ඇති බිඳ වැටීම ගැන ඔවුන් සතු අවබෝධය අතිශය ප්‍රශ්නකාරීය.

අපේ අනාගතය සඳහා අපට අවශ්‍ය අධ්‍යාපනයෙහි තිබිය යුතු වටිනාකම්, ගුණාංග, ලක්ෂණ කවරේදැයි අප කතා කළ යුත්තකි. අපගේ විධිමත් අධ්‍යාපනයෙහි තත්වය අප මැන ගත යුතුය. අධ්‍යාපනයෙහි ඇති බිඳ වැටීමේ තරම සහ හේතු කාරක අප හරියාකාරව තේරුම් ගත යුතුය.

“කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල” සිට කතා කරන්නේ නම්, ඒ මගින් “නොමිලේ” යැයි අදහස් කෙරෙන නිදහස් අධ්‍යාපනයක් අපට ලබාදී නැත. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට යැයි පාරට බැස මොර දෙන හැම කෙනකුම, මේ රටේ රජයේ පාසලක ඉගෙන ගත්තේ නම්, ඔවුන්ගේ මාපියන්ගේ ආර්ථික අසීරුතා සලකා ග්‍රාම සේවා නිලධාරීගේ නිර්දේශයක් අනුව නිදහස් නොකළේ නම්, වාර්ෂිකව පාසල් ගාස්තු ගෙවා ඇත. රජයේ පාසල්වල දැනට ඉගෙන ගන්නා මිලියන 04 ක් පමණ වන දරුවන්ගේ දෙමාපියෝද වාර්ෂිකව පාසල් ගාස්තු ගෙවති. ඊට අමතරව, පාසල් සංවර්ධන සමිතියේ සාමාජික මුදල ලෙස තවත් සැලකිය යුතු මුදලක් අනිවාර්යයෙන් ගෙවිය යුතුය. ළමයින්ගේ පාසල් අධ්‍යාපනය සඳහා ඊටත් අමතරව මවුපියන් දරන්නා වූ වියදම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ “2016 ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණයට” අනුව මාසිකව රුපියල් 2,066 කි. උත්සව සැණකෙළි, ත්‍යාග ප්‍රදාන වැනි පාසලට සීමාවන අවුරුද්දක බාහිර අය කිරීම් එකතු කළ විට, එය සමීක්ෂණයෙහි සඳහන් මුදල මෙන් දෙගුණයකටත් වැඩිය. “නිදහස් අධ්‍යාපනය” යනු එවැන්නකි.

වැදගත්ම කාරණාව නම්, අධ්‍යාපනය සෑම දරුවකුගේම “මූලික අයිතියක්” වූවත් සියල්ලන්ට “සමාන පහසුකම් හා සමාන අවස්ථා” මේ අධ්‍යාපනයෙහි නොමැත. මේ කතා කරන අධ්‍යාපන අයිතිය, බොල් වී වැනිය. කන්නන්ගර ප්‍රතිසංස්කරණ මගින් “අධ්‍යාපනය” සෑම දරුවකුගේම මූලික අයිතියක් ලෙස පිළිගත්තද, ඒ “අයිතිය” අර්ථවත් කෙරෙන “සමාන පහසුකම්” ඇති පාසල් පද්ධතියක් සහ “සමාන අවස්ථා” සහිත අධ්‍යාපන ක්‍රියාවලියක් තහවුරු වී නැත. ඒ වෙනුවට නොදියුණු පාසල් අති බහුතරයක ඉන්නා “දක්ෂ” ළමයින්ට දියුණු පාසල් ලබා දීමට යැයි 1948 දී “05 ශිෂ්‍යත්වය” හඳුන්වා දෙනු ලැබුවේය. පහේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ළකුණු ලබමින් සමත්වන දරුවන් සඳහා වෙන් කෙරුණු දියුණු යැයි කියු බාලක පාසල් 37 සහ බාලිකා පාසල් 61 අතර අදටත් සැසඳිය නොහැකි තරමේ පහසුකම් පරතර ඇත. එවැනි විට, අධ්‍යාපන ක්‍රියාවලියෙහි සැමට සමාන අවසථා ඇති වන්නේ නැත. ඒවාට එකතුවන අමතර පහසුකම් සමග විසමතා දිගින් දිගටම වැඩි වන්නේය. එබැවින් “05 ශිෂ්‍යත්ව” විභාගයෙන් ඒ අයිතිය සැමට සමාන අයිතියක් කෙරෙන්නේ නැත.

නව ජනාධිපති ඔහුට ඡන්දය දුන් නොදුන් සියලු පුරවැසියන්ට පොරොන්දු වූ “පොහොසත් රටක ලස්සන ජීවිතයකට” අත්‍යාවශ්‍ය ප්‍රධාන පියවරක් ලෙස අධ්‍යාපන අයිතිය සම්පූර්ණ කිරීමට “පහසුකම් හා අවස්ථා” අතර ඇති විසමතා අහෝසි කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුව ඇත. නොදියුණු පාසල් බහුතරය, පහසුකම් සහිත දියුණු පාසල් බවට සංවර්ධනය කළ යුතුව ඇත. අධ්‍යාපන ක්‍රියාවලියෙහි සැමට සමාන අවස්ථා හැදිය යුතුය.

ළමා අයිතිය අර්ථවත් කෙරෙන නූතන ලෝකයේ විධිමත් අධ්‍යාපනයෙන් ඉල්ලා සිටින්නේ දේශීය අවශ්‍යතා පාදක වූ “රැකියාභිමුඛ” ඉගැන්වීමකි. එහෙත් කන්නන්ගර අධ්‍යාපනයෙන් අරමුණු කෙරුණු “සත් පුරුෂයෙකු” හැදීමේ වගකීම අත් හරින්නට නොහැක. එනිසා “අධ්‍යාපනය” ලෙස අප කතා කළ යුත්තේ, ඒ ද්විත්ව වගකීම ඉටු කර ගැනීම සම්බන්ධයෙනි. “බහු සංස්කෘතික සමාජයේ සියල්ලන් සමානයන් ලෙස සැලකෙන ගෞරවනීය ජීවිතයකට අවශ්‍ය ආකල්පමය හැඩ ගැසීමක් සහිත, දිගු කාලයක ආර්ථික ක්‍රියාවලියක උත්පාදනය කෙරෙන රැකියා සඳහා අවශ්‍ය ජීවන කුසලතා සමගින් වන පුරවැසියකු” සමාජයට දායක කිරීම ගැන ය.

මෙතැනදී අප විසඳගත යුතු මූලික කාරණාවක් ඇත. ඉදිරි වසරවල ආර්ථිකයෙහි උත්පාදනය කෙරෙන රැකියා වර්ග සහ වෘත්තීය ක්ෂේත්‍ර සම්බන්ධ නිවැරදි අවබෝධයක් නොමැතිව අපට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමට නොහැක. සරළව කිවහොත්, රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා ගැන කතා කිරීමට, ඉදිරි දසකයක දෙකක ආර්ථිකයෙහි උත්පාදනය කෙරෙන රැකියා වර්ග ගැන අවබෝධයක් අපට තිබිය යුතුය. තේරෙන බසකින් කියන්නේ නම්, ආර්ථිකයෙහි උත්පාදනය වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩසටහන් කළමනාකරුවන් සඳහා රැකියා පුරප්පාඩු නම්, ගණකාධිකාරීන් හදන්නාවූ අධ්‍යාපනයකින් සමාජයට වැඩක් නැත.

එනිසා අධ්‍යාපනය සැලසුම් කිරීමට පෙර, පූර්ව පාසල් වියෙන් පසු ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා, 

1. අපගේ සංවර්ධන ක්‍රියාවලියෙහි නිෂ්පාදන හා වාණිජ සබඳතා සම්බන්ධ ගනුදෙනුව අප කලාපීය හා ගෝලීය වෙළඳපොළෙහි ස්ථානගත කළ යුත්තේ කෙසේදැයි තේරුම් ගැනීමත්.

2. දේශීය විදේශීය ආයෝජන සඳහා ජාතික ආර්ථිකයෙහි ප්‍රමුඛතා තීන්දු කෙරෙන්නේ කවර ක්ෂේත්‍ර සඳහා දැයි නිශ්චිතව හඳුනා ගැනීමත්, අතිශය වැදගත් ය.

අනතුරුව වැදගත් වන්නේ, ළමයින්ට හඳුන්වා දෙන දැනුමෙහි වපසරිය හා අන්තර්ගතය කවරේද යන්නය. එය අපගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි තීන්දුකර ගැනීමය. මා යෝජනා කරන්නේ :

01. අපගේ බහු සංස්කෘතික සමාජයෙහි සියලු පුරවැසියනට තම ආත්ම ගරුත්වය ඇතිව ජීවත් වීම සහතික කෙරෙන සහජීවනයක් සඳහා වන අන්තර්ගතයක්ද,

02. අතීතකාමයට සීමා වුණු අන්තර්වර්තික දැනුම වෙනුවට, ළමයින් නූතන ලෝකයට විවෘත කෙරෙන අධ්‍යාපනික අන්තර්ගතයක්ද

03. විභාග සමත් වන්නට තොරතුරු ගොන්නක් කට පාඩම් කරන්නක් වෙනුවට දෛනික ජීවිතයෙහි තාර්කිකව හා විශ්ලේෂණාත්මකව තම සමාජ වටපිටාව තේරුම්ගත හැකි නීති වර්ධනයක් ඇති දැනුමක්ද පාදක වන්නාවූ, පාසල් විෂය මාලාවකි.

එවැනි අන්තර්ගතයක් ළමයින්ට පන්ති කාමරයෙහි හඳුන්වා දෙන්නේ කෙසේදැයි යන කාරණය කෙරෙහිද උත්තර තිබිය යුතුය. පළමු කාරණය නම්, “පාසල” හා “පන්ති කාමරය” ළමයින්ට ස්ව-කැමැත්තෙන් හා සතුටින් පැමිණෙන ස්ථානයක් විය යුතු බවය. මවුපියන් බලහත්කාරයෙන් දරුවන් ඇද ගෙන එන, ළමයින් නුරුස්සන ස්ථානයක් නොවිය යුතුය. පන්ති කාමරයක් යනු ළමයින්ට “උගන්වන” භෞතික අවකාශයක් නොව, ළමයින් “ඉගෙන ගන්නා” මානසිකව විවෘත, සුහද අවකාශයකි. එනිසා ගුරුවරියක/වරයකු යනු තෝරා ගත් තොරතුරු ප්‍රමාණයක් “උගන්වන්නකු” නොව, ළමා කුතුහලයට සරිලන ඉගෙනීමට “සහාය වන්නෙකුය”.

විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනයට යාමට පෙර, විධිමත් පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉතා පුළුල් පරාසයක් පුරා පැතිරෙන බැව් ඒ සියල්ලෙහි තේරුමය. අධ්‍යාපනයේ පවතින බිඳ වැටීම පිළිසකර කිරීමට නම්, පාසලක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවේ සිට විෂය මාලා, පාඨමාලා, පාසල් සංවිධානය, භෞතික පහසුකම්, පාසල් කළමනාකරණය, ගුරු පත්වීම්, ගුරු පුහුණුව වැනි විශාල පරාසයක් ආවරණය කෙරෙන සහ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන මවුපියන්ගේ පීඩාකාරී තරගකාරී මැදිහත්වීම් අවබෝධයක් ඇතිව වෙනස් කිරීමේ පුළුල් ප්‍රතිසංවිධානයක් අපට අවශ්‍ය වන්නේය.

එය අනුර කුමාර ජනාධිපති බලාපොරොත්තු වන අයුරු අධ්‍යාපන කාර්යාලවල ඉන්නා නිලධාරීන්ට බාරදීමෙන් කළ හැක්කක් නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පළමුව විය යුත්තේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන තම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ඇතුළත් ධවල පත්‍රිකාව වහා ප්‍රසිද්ධ කිරීමය. එය විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි දීර්ඝ අත්දැකීම් ඇති පිළිගත් විශේෂඥයන්ගෙන්ද වෙනත් වෘත්තිකයන්ගෙන්ද සැදුම් ලත් උපදේශන මණ්ඩලයක් මගින් සමාජ සංවාදයකට තැබිය යුතුය. අනතුරුව දියුණු කෙරෙන ධවල පත්‍රිකාවට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කිරීම දෙවන කාර්ය වන්නකි. එයද පාර්ලිමේන්තුවේ සම්මතයට පෙර සමාජ සංවාදයකට තැබිය යුත්තකි.

එවන් විවෘත, ප්‍රජාතන්ත්‍රවාදී, පුළුල් කතිකාවක් ඔස්සේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය නවීකරණය කිරීම ආරම්භ කරන මෙන්, අලුත් පිරිසුදු දේශපාලන සංස්කෘතියක් පොරොන්දු වූ ජනාධිපති අනුර කුමාරට මම මෙයින් යෝජනා කරමි.

(***කුසල් පෙරේරා)



අදහස් (0)

අධ්‍යාපනය සංවාදයකට භාජන කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site