අද වනවිට මේ රට ටිකෙන් ටික අස්ථාවර තත්ත්වයට, අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් සිටින බව පිටින් සිට බලන්නකුට පෙනෙන ස්වරූපයයි. මේ පරිසරය යටතේ පොඩි පොඩි කාරණා ගැන අපි කතා කර ඇත්තෙමු. එහෙත් අද වනවිට ප‍්‍රධාන අර්බුද කීපයක් ගොඩනැඟී තිබේ. ඒවා එකිනෙකට සම්බන්ධය. වෙන් කිරීම අපහසුය. ඩෙංගු උවදුර එක් උදාහරණයකි. අද මෙය උච්ඡුතම ස්ථානයකට පැමිණ තිබේ. මේ ප‍්‍රශ්නයට කිසිදු විසඳුමක් පසුගිය දශක කීපයේදී සොයා ගැනීමට හැකිවී නැත. නොයෙක් සාකච්ඡා කතාබහ දශක කීපයක සිට පැවතියද තිරසාර විසඳුමක් හදා ගැනීමට හැකියාවක් ලැබී නැත.
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප‍්‍රශ්නය දෙවැනි කාරණයයි. මෙයද පසුගිය වසර තිහක් තිස්සේ දකින ප‍්‍රශ්නයකි. කුණු කඳු ආරක්ෂා කරමින් ඒවා ටිකෙන් ටික ගොඩනගා ගෙන ආවා මිස මේ ප‍්‍රශ්නය විසඳීමට පුළුල් වැඩ පිළිවෙළක් හදාගැනීමට හැකිවී නැත. ආපදා පිළිබඳ ප‍්‍රශ්නය තෙවැනි කරුණය. සුනාමියෙන් පසුව මේ රට ආපදාවලට ලක්වීමේ අවස්ථාව තිබෙන බව තේරුම් ගත් කරුණකි. එහෙත් එදා සිට අද දක්වාම අපදාවලට සාර්ථකව මුහුණදීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් යාන්ත‍්‍රණයක් සකසා ගැනීමට හැකිවී නැති බව පැහැදිලිය.
වසර 1983 සිට ජාතීන් අතර ප‍්‍රශ්නය සහ විවිධ අවස්ථාවල විවිධ ප‍්‍රශ්න තිබුණි. තිස් වසරක යුද්ධයක් තිබුණි. ජාතීන් අතර සැකය වර්ධනයවී තිබුණි. යුද්ධය කෙසේ හෝ නවතා ගැනීමට හැකියාව ලැබීම ජයග‍්‍රහණයකි. එහෙත් මේ දක්වාම ජාතික එකඟතාවක් මත තිරසාර විසඳුමක් ඇතිකරගෙන සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමට හැකිවී තිබේද? ජාතික එකඟතාවක් ගොඩනගා ගැනීමට කැපවී කටයුතු කිරීමට පාලකයන්ට වුවමනාවක් තිබේද යන්න සමාජය හමුවේ තිබෙන ප‍්‍රශ්නයකි. මේවා කොතරම් දුරට මේ සමාජයේ කැකෑරෙමින් පැවතියද ඒවා කෙරෙහි අවධානය යොමුකිරීමට අදාළ පුද්ගලයන් උනන්දු වෙනවාද?
මේ අතර ආර්ථිකය සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් තිබේ. මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම සේවා ආර්ථිකයකට යොමුකර තිබේ. මේ නිසා කෘෂි අංශය කාර්මික අංශය යම් පසුබෑමක තිබෙනවා විය හැකිය. සේවාමත ආර්ථිකය රඳා පැවැතීම නිසා ඇතිවන ආර්ථීක පීඩනය නැති කිරීමේ හැකියාවක් නැත. නිෂ්පාදනය අඩු වීම නිසා තිබෙන භාණ්ඩවලට ඇති ඉල්ලූම වැඩිවනු ඇති. මේ නිසා මිල ගණන්ද ඉහළ යනු ඇත. මෙහි පීඩනය අවසන් වශයෙන් දරන්නේ ජනතාවමය. ආර්ථිකයේ තව බොහෝ ප‍්‍රශ්න පවතින බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.
මේ පීඩාකාරී වාතාවරණය යටතේ තරුණයන් පිළිබඳ ප‍්‍රශ්නයද සමාජයේ තිබේ. තරුණ ප‍්‍රශ්න සම්බන්ධයෙන් 1971 සිට කතා කර තිබේ. තරුණ අසහනය පිළිබඳව නොයෙක් අංශ ඔස්සේ පරීක්ෂාකර බලා ඇති බවද මතකය. මේ රටේ තරුණයන්ගේ අනාගතය ස්ථාවර කිරීමට අවශ්‍ය කරන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කිරීමටද තවම හැකියාවක් ලැබී නැත. ආර්ථිකය සහ අධ්‍යාපනය අතර සම්බන්ධයක් නැති බව 1972 දී හඳුනාගත් කරුණකි. මේ අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිවන අය ආර්ථිකයේදී ප‍්‍රතික්ෂේප වන බව එදා සිටම අත්දකින තත්ත්වයකි. මේ නිසා තරුණ කොටස් පලදායී රැකියාවලට යොමුවීම අඩුය. එය රටේ ආර්ථික පලදායීතාව නැංවීමේදී අහිතකරව බලපාන සාධකයකි. අදවනවිට මේ තත්ත්වය රටේ අනාගතය කෙරෙහි ඉතාමත් නරක ලෙස බලපාන බවද කිවයුතුය. ප‍්‍රශ්නය වන්නේ මේ දක්වාම මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජාතික මට්ටමේ එකඟතාවක් ගොඩනඟා ගැනීමට නොහැකිවීමය. මේ සියල්ල කවුරු හෝ සංකල්පීය වශයෙන් කියාදෙන කරුණු හෝ න්‍යායික කාරණා නොවේ. මේ රටේ පොළොවේ පය ගසා ජිවත්වූ සහ ජීවත්වන අයගේ අත්දැකීම්ය.
මේ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට අපට ඇති එකම ක‍්‍රමය කුමක්ද? එනම් රාජ්‍යය මුල්කරගෙන පැහැදිලි සහ පිළිගත් රාමුවක් තුළ මේ ප‍්‍රශ්න විසඳා ගැනීමට වැඩ පිළිවෙළක් සකස්කර ගැනීමය. එහෙත් එවැන්නක් කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
ආපදා තත්ත්වය හේතුවෙන් රටේ ඇතිවුයේ කුමන පසුබිමක් දැයි අපි සැවොම දැන්නෙමු. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණයට නොහැකිවීමෙන් ඇතිවූයේ කවර ප‍්‍රතිඵලයක්දැයි මීතොටමුල්ලෙන් පැහැදිලිය. අපද්‍රව්‍ය කළමනාකරණ ප‍්‍රශ්නය ඉතා භයානක වාතාවරණයකට පත්ව අවසන්ය. කොළඹ මුල්කරගෙන පසුගිය දශක කීපයේ ඇතිවූ සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ ප‍්‍රශ්නය උග‍්‍රවී තිබේ. සංවර්ධනය වූ පමණින් මේ ප‍්‍රශ්න උග‍්‍රවීමේ වාතාවරණයක් ඇතිවිය නොහැක. එහෙත් මේ රටේ මේ ප‍්‍රශ්න නිර්මාණය වන්නේ සංවර්ධනයට සමගාමීව අනෙක් අංශවල ගැටලූ නිරාකරණයට නිශ්චිත වැඩ පිළිවෙළක් නොමැති නිසාය. සියලූ දෙනාම පොරකන්නේ කොළඹට කේන්ද්‍රවීමටය. ළමයින් කොළඹ පාසල්වලට ඇතුළත් කිරීමටය. කොළඹ පිහිටි කාර්යාලයක සේවය කිරීමටය. කොළඹ පාසලකට පත්වීමක් හදා ගැනීමය. මේ නිසා පවතින ප‍්‍රශ්නවලට පැහැදිලි විසඳුම් ලබාගැනීමේ දැඩි අවශ්‍යතාව මතුව තිබේ. අධ්‍යාපනයේ පවත්නා ගැටලූ නිරාකරණයට වැඩ පිළිවෙළක් නැත. මේ ගැටලූවට විසඳුම් දෙනවා නම් මේ ප‍්‍රශ්න යම්තාක් දුරකට විසඳා ගැනීමට පුළුවන.
කොළඹ පවතින්නේ පුදුමාකාර තදබදයකි. පර්චස් දෙකේ ඉඩමක පවා නිවාස ඉදිකර ගැනීමට අවසර දී තිබේ. මේවා ලෝකයේ කිසි රටක සිදුනොවන කාරණාය. මේ නිසා තවත් සමාජ ප‍්‍රශ්න රාශියක්ද නිර්මාණයවී හමාරය. නිදහස් බිමක් කොළඹ නැති තරම්ය. ප‍්‍රධාන මාර්ග සියල්ලේම ඇත්තේ පුදුමාකාර තදබදයකි. මේ සියල්ල සමග කසළ කළමනාකරණය, ජල කළමණාකරණය සහ පවිත‍්‍රතාව පවත්වාගෙන යාමට නොහැකිවීම යන ප‍්‍රශ්න රාශියක් තිබේ. පරිසරයේ පවත්නා මේ දුෂිත ත්ත්ත්වය නිසා මහා ව්‍යසනකාරී වාතාවරණයක් නිර්මාණයවී තිබේ. රටේ ධනවත් නැතිනම් ඉහළ ආදායම් ලබන පිරිස සිටින්නේ බස්නාහිර පළාතේය. ඒ අනුව මෙය පරිභෝජනයේ උච්ච ස්ථානයකි. ඒ වගේම දිනකට කොළඹට සහ අවට ප‍්‍රදේශවලට පැමිණෙන පිරිසද ඉහළ අගයකි. එකතුවන අපද්‍රව්‍ය වැඩිය. මේ සියල්ල ගත්විට වැඩිම ජන සංකේන්ද්‍රනයක් තිබේ. මේ තත්ත්වය පාලනයට පුළුල් වැඩ පිළිවෙළක් තිබිය යුතුය. මෙකී වාතාවරණය සහ ඉන් ඇතිවන අතුරු කාරණා කළමනාකරණයට විවිධ ක‍්‍රම සහ විධි ලෝකයේ විවිධ රටවල තිබේ. ඒවා අධ්‍යයනය කර හෝ වැඩපිළිවෙළකට යාමට වුවමනාය. අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ඇතුළු පුළුල් සහ තිරසාර වැඩසටහන් ඒවාට අන්තර්ගත කළ යුතුය. එසේ නොකළහොත් විශාල අර්බුදයක් අනාගතයේදී මතුවන්නට පුළුවන.
ඇතැම් ක‍්‍රියා සම්බන්ධයෙන් ආයතන පිහිටුවා තිබුණද ඒවා බලගැන්වීමක් කර නැත. ඒවායේ ප‍්‍රතිඵලයක් වශයෙන්ද යම් යම් ප‍්‍රශ්න සමාජයේ ඉතිරිවී තිබේ. යම් ආයතනයකට වගකීමක් පැවරූ පසු ඔවුන් එය කළ යුතුය. එය ඉටු නොකළොත් අවශ්‍ය පියවර වෙනම ගැනීමට ඊට ඉහළින් ඇති ආයතනවල වගකීමකි. වගවීමට සෑම කෙනකුම වගබලා ගතයුතුය. ඉහළම සිටින අයගේ සිට පහළම අය දක්වා මේ වගවීම ගමන්කළ යුතුය. මේ ක‍්‍රියාවලියේ අතර මැද බිඳ වැටීම් තිබිය නොහැක. එහෙත් මේ වගවීම සිදුවන්නේ නැත. බොහෝ ප‍්‍රශ්න දශක ගණනාවක් තිස්සේ පවතින්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
පාලනය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන තිබේ. මේ ආයතන වලට වෙන් වෙන් වශයෙන් වගකීම් පවරා තිබේ. එහෙත් ඒවා එලෙස ඉටුවනවාද? ඉහළින්ම කරන්නේ මොනවාද? මැද කරන්නේ මොනවාද සහ අණ කරන්නේ මොනවාද? මේවා සියල්ල එකකට එකක් කළවම් වී තිබේ. පළාත් පාලන ආයතන කළයුතු වැඩ මධ්‍යම ආණ්ඩුව කරනු දැකගන්නට පුළුවන. පළාත් සභාව කළ යුතු දේවල් මධ්‍යම ආණ්ඩුව කරන්නේ කුමකටද? මේ ආකාරයට පාලනයේ පවතින අවුල්සහගත බවද රටේ ප‍්‍රශ්න නිර්මාණයට හා ඒවා නිරාකරණයට බාධාවක් වී ඇති බව පැහැදිලිය. එනිසා මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබේ.
සමාජ යහපත උදෙසා යම් යම් ආයතන පිහිටුවා තිබුණද ඒවා ක‍්‍රියාත්මක වූයේ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ ආයතනවල ක‍්‍රියාකාරීත්වය ගැන නැවත සලකා බැලිය යුතුය. වෙනත් රටවල පැයෙන් පැයට කාලගුණ අනාවැකි පළකළ හැකිය. කොතරම් විපත් සිදු වුවද එවැනි අංශ කෙරෙහි අවධානයක් යොමුව තිබේද? මුල සිටම මෙවන් ක‍්‍රමවේදයක් අනුගමනය කළානම් ආපදාවලට මුහුණදීමට සහ ආපදාවලින් වන හානි අවම කරගැනීමට පුළුවන. ඒ වගේම මේවා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදුවනවාද යන ප‍්‍රශ්නයද තිබේ. යම් විපතක් වූ පසු දැනුවත් කිරීමට වඩා අවශ්‍ය වන්නේ විපතකට පෙර අදාළ ජන කොටස් දැනුවත් කර තිබීමය. තෙත් කලාපයේ වගා කටයුතු ගැන ජනතාවට නිසි දැනුමක් ලබාදී තිබේද? අනුගමනය කළයුතු ක‍්‍රමවේද පිළිබඳව දැනුම ලබාදී තිබේද? ගැළපෙන බෝග වර්ග සම්බන්ධව කියාදී තිබේද? ඇතැම් විට මේවා සුළු කාරණා ලෙස නොතකා නොසලකා හැර තිබිය හැකිය. එහෙත් ඒවායෙන් ඇතිවන බලපෑම සුළු නොවන බව කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතුය. කෙසේ වුවත් මේ සියල්ල සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කාලය පැමිණ ඇතිබව පැහැදිලිය.
පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ කිසිදු ප‍්‍රශ්නයක් තිරසාරව විසඳා ගැනීමට අවශ්‍ය පසුබිම සකසන්නේ නැත. එය ඉතා ශෝචනීය තත්ත්වයකි. ප‍්‍රශ්න රාශියකට මුහුණදී සිටින රටක් ඒ ප‍්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය පරිපාලන හා අනෙකුත් පසුබිම් සකසා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුය. එහෙත් පෙනෙන්නට තිබෙන්නේ මේ සියල්ල අවුලෙන් අවුලට යන තත්ත්වයකි. එනිසා වඩා හිතකර වාතාවරණයක් ගොඩනඟා ගැනීමට උනන්දු විය යුතුය. එසේ නොවුණහොත් වඩා භයානක අර්බුදයකට රට ගමන් කරනු ඇත. ආර්ථිකය පවතින්නේ අස්ථාවර මට්ටමකය. විදේශ ආදායම් ප‍්‍රශ්න තිබේ. ගෘහ සේවයේ නියුතු අය සහ සංචාරක ව්‍යාපාරය ප‍්‍රධාන විදෙස් ආදායම් මාර්ග වී තිබේ. කටාර්වල ඇතිව තිබෙන තත්ත්වය අපට සුබ නැත. මැදපෙරදිග රටවල වෙන්නේ කුමක්දැයි කිව නොහැක. මේවාට මුහුණදීමට අපට සැලැස්මක් තිබිය යුතුය. සංචාරක කර්මාන්තයද අස්ථාවර වුවකි. රෝගී තත්ත්ව රටපුරා ව්‍යාප්ත වෙනවා නම් ආපදාවක් ඇතිවූ විට එය කළමණාකරණයට අපොහොසත් නම් එවැනි රටකට සංචාරකයන් ඒමට දක්වන්නේ බියකි. ඒ වගේම දේශපාලනික අස්ථාවරභාවයද අහිතකරය. මේ අනුව බලන විට අද අප සිටින්නේ යන්තම් ගැටගසා ගෙනය. මේ අනුව බලන විට ඉදිරියට ඇත්තේ භයානක තත්ත්වයකි. එහෙත් එයට මුහුණදීමට නිශ්චිත සූදානමක් දක්නට ලැබෙන්නේ නැත. මේ පසුබිම යටතේ නිර්මාණයවන අනතුර හමුවේ කුමන දිශාවට හැරෙන්නදැයි සිතා ගැනීමට නොහැකිවනු ඇත. එනිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනතුරක් අත ළඟ
කොබා Tuesday, 20 June 2017 05:31 AM
මේ ගැටළු වලින් පෙන්වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ ආසාර්ථක කමයි, පැහැදිළිවම රාජ්‍ය අංශය ට මුල් තැනක් දෙන රටවල මේ තත්වය අපට අත්දකින්න පුළුවන්, අපේ ජීවිතයේ හැම සන්ධිස්තානයකදීම අනවශ්‍ය විදියට රජයේ මැදිහත්වීම තියෙනවා, ඒ විතරක් නොවෙයි මිනිසුන් පවා තමන් ගැන විශ්වාසයක් නොමැතිව රජයේ සහාය පතනවා, අප කල්පනා කලයුත්තේ එයින් ගැලවීමයි. දැන් නිදහස් ආර්ථිකයක් නිදහස් වෙළඳපොළක් අනවශ්‍ය රෙගුලාසි සහ නීති නොමැති නම් සමාජය ස්වයංක්‍රීයවම වඩාත් හොඳ තත්වයකට දියුණු වෙනවා, මොකද තෝරාගැනීම තිබෙන්නේ මිනිසුන් අතර, තරඟකාරීත්වය නිසා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වඩා හොඳ සේවයක් සලසන්න පෞද්ගලික අංශයට සිදුවනවා, මෙතනදී තේරුම් ගත යුත්තේ අනවශ්‍ය ඒකාධිකාර ඇති වීමට ඉඩක් නොතැබිය යුතුය යන්නයි, එනම් රජයේ හෝ පෞද්ගලික අංශ වල ඒකාධිකාරය, අපේ වැඩක් කර රජයට පැවරුවා යයි සිතමු , එවිට අලුතෙන් විවිධ කාර්යාංශ කාර්යාල රජයේ සේවකයින් පත් කරගනිමින්, අලුත් නීති රෙගුලාසි පනවමින්, ඔවුන් නඩත්තු කරන්න අලුතෙන් බදු ගසමින් ඉන්නවා ඇරෙන්න වැඩක් කරන්න බැහැ, ආණ්ඩු මාරු වෙන විට මැතිවරු මාරු වන විට ඔය රාජ්‍ය ආයතනත් ආයේ පෙරළි තියෙනවා මිස ස්ථාවර වෙලා වැඩක් කරන්නේ නැහැ,
arunalu Tuesday, 20 June 2017 08:02 AM
සියලුම ශ්‍රී ලාංකිකයන් සහ විශේෂයෙන් දේශපාලකයන් තම අවදානයට යොමුකළ කරුණු ඇතුලත් ඉතාම හොඳ ලිපියකි. අපිට තිබුනාවූ අසීරුම ප්‍රශ්නයවූ 30 වසරක යුද්දයෙන් අපි අද නිදහස් වී ඇත්තෙමු ඉහත සදහන් කර ඇති ප්‍රශ්න විසදීමට නොහැකි රජයක් කලයුත්තේ කල හැකි අයෙකුට රජය භාරදී ගෙදර යාමයි.
darshana batagoda Tuesday, 20 June 2017 04:29 PM
මහින්ද මහත්තය රට සංවර්දනය කලේ යුධයකුත් තියා ගෙන නේද?
manjula bandara Wednesday, 21 June 2017 04:39 AM
ස්තුතියි මෙවැනි අදහස් ලියනවට... ඉන්දියාව සහ චීනයත් මීට බලපානවා...
Rohan Wednesday, 21 June 2017 06:56 AM
ඉතා වටිනා ලියවිල්ලකි. අප මෙය උපයෝගී කරගෙන රටේ සියලු ප්‍රශ්න සාරාංශ කල යුතුයි. මේ සඳහා මේ දක්ෂ ලියවිල්ල ලියූ කතුවරයාට මගේ අදහස් සරලව සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියා එවන්න ක්‍රමයක් දන්වන්න..
sachith Wednesday, 21 June 2017 10:10 AM
මේ ලිපියේ තියෙන දේවල් වලින් 25% ක් වත් අපේ ඡන්ද දායකයන්ට තේරෙනවා නම් මේ වගේ විනාශයක් වෙන්නේ නෑ අපේ රටට. වචාලකමට කියවන අයව පාර්ලිමේන්තු යැව්වාම කටින් බතල හිටවන එක තමයි වෙන්නේ.
pradeep Wednesday, 21 June 2017 11:07 AM
වටිනා ලිපියක්. නමුත් කියවල තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතන්න පුළුවන් මිනිසුන් කොහෙද ලංකාවේ.... අපි විනාසය කරා වේගයෙන් යන ජාතියක් වෙලා...
GVD.Tilakasiri Wednesday, 21 June 2017 04:20 PM
මෙම ලිපියේ දැක්වෙන කරුණු ඉතා වැදගත්ය. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රය පාගා ගෙන රජය හා අැමතිවරු, නිලධාරින් මත යැපෙමින් කටයුතු කිරීම නිසා මතුවන අනතුරුදායක තත්වය තවත් දසගුණයකින් පමණ වැඩි වීමේ ලක්ෂණ සමාජ යටිතලයේ පෙනෙන්නට තිබේ. මැතිවරණ සටන ඉක්මවා ඍජු සටන් පාරට ක්‍රමයෙන් පැමිණෙමින් තිබේ.
ajit Wednesday, 21 June 2017 05:27 PM
මේ ලිපිය බැරිද මහ එඋන් දෙන්නට යවන්න . මිනිස්සු වැඩට යන හැටි දැක්කම පිස්සු හැදෙනවා. එත් මහ එඋන්ට අලුත් වාහන නැතිව බෑ රට හදන්න. හිතේ වේදනාවට මේවා ලියන්නේ.
sachith Thursday, 22 June 2017 09:29 AM
මහා උන්ගෙ ඉදල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වෙනකම් ඕක තමා තත්වේ. දැන්වත් මිනිස්සු රට වෙනුවෙන් හරි තීරණයක් ගන්න ඕනි. මේ රට මෙහෙම ගියොත් අපිටත් පිටරටකට සරණාගතයෝ වගේ යන්න වෙන්නේ.
kimSunday, 25 June 2017 08:29 PM
මහ උන් මේ කාරණා නොදන්නවා නොවේ. ඒ අයගේ එකම අරමුණ බලය රැකගන්නේ කොහොමද හා ඊළග රට සවාරිය යන්නේ කොහෙද කියල හිතන එක මිසක් රටේ ප්‍රශ්න විසදන එක නෙවෙයි. ඊට පල්ලෙහා උන් බලන්නේ උපරිම විදියට සල්ලි හොයන්නේ කොහොමද කියල. විදේශ අමාත්යන්සයට ලොතරැයි මණ්ඩල අනුයුක්ත කරන්නේ රටට ආදරයටද?
vidya Thursday, 22 June 2017 06:31 PM
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා දේශපාලනයෙන් ඉවත්වෙන කොට කියල ගියේ අනාගතයේ හොරුන් තක්කඩියන් , නුගතුන් පාර්ලිමේන්තුවට එන බවයි. ඔහුම කී දේ ප්‍රතිපල නේද මේ