IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අපේ දේශපාලකයන් වඳින්න යන දකුණු ඉන්දියාවේ දේවාල

දේශපාලන ලෝකය අමුතුම එකකි. ඔවුන්ගේ විමුක්තිය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නැත්නම් පළාත් සභාවේය. එතැනට යන්නට ඔවුනට පිහිට වන්නේ ඡන්ද දායකයන්ය. එහෙත් මේ දේශපාලකයන් ඡන්ද දායකයා ගැන පමණක් විශ්වාසය තබා ඡන්දයට ඉදිරිපත්වන්නේ නැත. රටේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල විවිධ ආගමික මධ්‍යස්ථානවලට විවිධ දේවාලවලට යමින් විවිධාකාර පූජා පවත්වමින් බාරහාර වෙමින් නොපෙනෙන බලවේග වල පිහිට ආරක්ෂාවද ලබාගනිති. එහිදී එක් ආගමක් අදහන්නේ නැතුව බෞද්ධ කතෝලික හින්දු ආදී සෑම ආගමකටම අයත් සිද්ධස්ථාන වලට ගොස් පිහිට පැතීම පූජෝපහාර පැවැත්වීම ඔවුන්ගේ සිරිතය. එබඳු සිද්ධස්ථාන ගණනාවක් දකුණු ඉන්දියාව ආශ‍්‍රිතව පවතී. මෙවැනි තැන් වලට පිහිට පතා ගිය අපේ ඇතැම් දේශපාලඥයන්ට හා දේශපාලනයට සමීප සම්බන්ධකම් ඇත්තවුන්ට එරෙහි විරෝධතා වලට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථා කිහිපයක් ගැනද ඉකුත්දා වාර්තා විය. ඒ විරෝධතා පලකරන්නේ කොටි හිතවාදී සංවිධානයක් වන නාම් තමීලර් කච්චි නම් පක්‍ෂයකට අයත් පිරිස්ය. ඔවුන් මොනවා කළත් පිහිට පතා යන කිසිදු දෙවියකු නම් කවදාවත්ම විරෝධතා ඉදිරිපත් කරන්නේ නැත. ඒ නිසාම අන්තවාදී දේශපාලන පක්ෂ මොනවා කළත් අපේ දේශපාලකයන් දෙවියන් සොයා යාම නතර කරන්නේ නැත. මෙවැනි පූජනීය ස්ථාන අතර තිරුපති එක් සුප‍්‍රසිද්ධ පූජනීය භූමියකි. මිනිසුන් තිරුපති වන්දනාවේ යනවා කීවත් මේ කෝවිල පිහිටා ඇත්තේ තිරුමාලා නගරයේය. කඳුකර නගරයක් වූ තිරුමාලාව අයිති ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයටය. හයිද්‍රාබාද් සිට කිලෝමීටර් 600 කට දුරින්ද චෙන්නායි සිට කි.මී. 138 දුරින්ද බැංගලෝරයේ සිට කි.මී. 291 ක් දුරින්ද පිහිටි තිරුපති, තිරුමාලා හි වෙන්කතේශ්වර කෝවිල විෂ්ණු දෙවියන්ගේ අනසකට යටත් වූවකි. බලාජි, ගෝවින්ද, ශ්‍රීනිවාස යන නම් වලින්ද හැඳින්වෙන විෂ්ණු දෙවියන් බොහෝ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දෙවියෙකි. තිරුමාලා කන්ද ද මුදුන් හතකින් යුත් කඳු වැටියකි. සේසාද්‍රි, නීලාද්‍රි, ගරුද්‍රාදි, අන්ජාභද්‍රි, මිරුෂාබාද්‍රි, හරයනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වන මේ මුදුන් හතේ හත් වැනි කන්දේ පිහිටි වෙන්කතේශ්වර කෝවිල කඳු හතේ කෝවිල ලෙසද සමහරු හඳුන්වති. මේ වන විට ජනප‍්‍රිය වන්දනා භූමියක් බවට පත්ව ඇති මෙතැනට දවසකට පැමිණෙන වන්දනා කරුවන්ගේ සංඛ්‍යාව පනස්දහසකට වැඩිය. වාර්ෂිකව මිලියන 40 කට කිට්ටුය. නවවැනි සියවසේදී පමණ ආරම්භ කරන ලද මෙම දෙවොල වඩාත් අලංකාරව සහ සමෘද්ධිමත්ව ඉදිකරන ලද්දේ විජයනගර් අධිරාජ්‍යයාගේ සමයේදීය. රනින් සහ දියමන්ති වලින් ආඩ්‍ය කරන ලද මෙම දේවාලය යුගයෙන් යුගයට අලූත් අංග එකතුවෙමින් සුවහසක් බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍ර වූවේය. අද මෙහි ප‍්‍රධාන අංගය රත්තරන් වහලකින් සුසැදි විමානම් කුළුණුය. මෙය දෙවියන්ගේ විමානය වැන්න. රත්තරන් සහ දියමන්ති වලින් සැරසූ ඔටුන්නක් හිස පැළැඳි විෂ්ණු දෙවියන්ගේ ප‍්‍රතිමාවේ සවන්පත් වලද රන් කරාබුය. රනින් විසිතුරු කළ ඇඳුම්, පටි ආදියෙන්ද සැරසූ දේව පිළිරුව බැතිමතුන්ගේ සිත්සතන් දේව භක්තියෙන් පුරවාලයි. තිරුමාලා කෝවිලෙහි නිර්මාණය කර ඇති දේව ප‍්‍රතිමා ගණනාවකි. ප‍්‍රධාන දෙවියන් වන වෙන්කතේශ්වර හෙවත් දුරුවා බීරම් ප‍්‍රතිමාව අඩි අටක් පමණ උසය. කම්ටුකා බීරම් හෙවත් බෝගා ශ්‍රීනිවාස, ස්නාපානා බීරම් හෙවත් උග‍්‍රා ශ්‍රීනිවාස, උත්සව බීරම් සහ බාලි බීරම් හෙවත් කොලූවු ශ්‍රීනිවාස යනුවෙන් මේ ප‍්‍රතිමා නම්කර තිබේ. යෙඩු කොන්ඩල මාඩු වෙන්කතරාවන ගෝවින්දා යන තෙළිඟු මන්තරයත්  ඕම් නමෝ නාරායනාය සහ  ඕම් ශ්‍රී වෙන්කතසායා නමඃ යන සංස්කෘත මන්ත‍්‍රයත් මතුරමින් මේ දේවාලයට පැමිණෙන බැතිමතුන් විශ්වාස කරන්නේ ඔවුනට විෂ්ණු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය සහ රැකවරණය නිරතුරුවම ලැබෙන බවය. දුරාතීතයේ සිටම ප‍්‍රචලිතව ඇත්තේ විෂ්ණු දේව වන්දනය සඳහා දවසේ අවස්ථා හයක් තිබෙන බවය. තිරුමාලා දෙවොලට ගොඩවදින බැතිමතුන් වෙනුවෙන් ආහාරපාන පිරිනැමීමද කෝවිල මගින්ම සිදුවෙයි. මෙහි ප‍්‍රචලිතම ආහාරය වන්නේ ලෙඞ්ඩුය. ඒ හැරුණු විට කිරිබත්, පොන්ගල්, මුරුක්කු සහ තවත් දකුණු ඉන්දීය කැවිලි තිරුමාලා වන්දනාවේ එන බැතිමතුන්ට පිරිනැමේ. මේ දෙවොල් බිමේදී කොණ්ඩා කපා දැමීමටද බොහෝ බැතිමත්හු පෙළඹෙති. මේ නිසා දිනපතාම හිසකෙස් ටොන් එකකට වඩා එකතුවෙයි. මේ හිසකෙස් විවිධ ගැනුම් කරුවන්ට අලෙවි කිරීමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 6 කට වඩා වැඩි ආදායමක් කෝවිලට ලැබෙන බවද පැවසේ. තිරුමාලා කෝවිලේ වාර්ෂිකව උත්සව ගණනාවක් පැවැත්වෙන අතර ඉන් ප‍්‍රධානතම උත්සවය බ‍්‍රහ්මෝත්සවයයි. එය පැවැත්වෙන සැප්තැම්බරයට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්තු කෝවිලට පැමිණෙති. වසන්තෝත්සවය, මාර්තු අපේ‍්‍රල් මාසවලත්, තෙසපත්මි උත්සවය පෙබරවාරියේදීත් පැවැත්වෙන අනෙකුත් උත්සවය. උත්සව කාලයට පමණක් නොව අනෙකුත් කාලයටද තිරුමාලා කෝවිල ජනාකීර්ණය. බැතිමතෙකුට දවසක් හමාරක් පෝලිමේ නොසිට දෙවියන් වෙත ළඟාවීමට නොහැකිය. මේ නිසා විවිධ රටවල ප‍්‍රභූවරුන් වෙනුවෙන් වෙනම වී.අයි.පී. පෝලිමක් තිබේ. එහෙත් විවිධ රටවල ප‍්‍රභූවරුන්ට දේශපාලකයන්ට පෝලිම් වල රස්තියාදු වන්නට පුළුවන් කමක් නැත. මේ නිසා කෝවිලේ පාලක මණ්ඩලය අපූරු වැඩ පිළිවෙලක් සකස් කර තිබේ. මේ තිරුමාලා කෝවිලේ තවත් ශාඛාවක් චෙන්නායි නුවර තිබේ. ප‍්‍රභූවරුන් කළ යුත්තේ මේ කෝවිලට ගොස් තම හැඳුනුම්පත් ඇඟිලි සලකුණු සහ ඡායාරූප ලබාදී තිරුමාලා කෝවිලට යන්නට දිනයක් සහ වේලාවක් ලබාගැනීමයි. ඒ අනුව ප‍්‍රභූවරුන්ට අනවශ්‍ය පරිදි පෝලිම් වල රස්තියාදු වන්නට සිදුනොවේ. බොහෝ දේශපාලකයන් තම මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කෝවිලට බාර හාර වන්නේ ඇෙඟ් බරට රත්තරන්ය. එහෙමත් නැත්නම් කාසිය. ඒ අයුරින් රත්තරන් බාරහාර වූ ප‍්‍රභූවරු ජයග‍්‍රහණයෙන් පසුව බොරු නොකර ඒ බාර ඔප්පු කරති. ඡන්ද දායකයන්ට දෙන පොරොන්දු කඩවුණු පොරොන්දු වුවත් දෙවියන් සමග සෙල්ලම් කළ නොහැකි බව ඔවුහු දනිති. ඒ විතරක් නොවේ, බොහෝමයක් දේශපාලකයෝ පාප විනාශක දිය ඇල්ලෙන් ස්නානය කිරීමටද අමතක නොකරති. මේ දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් සිදුවූ සියළු පව් වලින් නිදොස් වීමට අවසර ලැබෙන බැවිනි. එනිසාම ජනතා මුදල් ගසා කන්නට පුරුදු වූ දේශපාලකයන්ට තමා කළ පව් සෝදාගන්නට ලැබීම වාසනාවකි. තිරුමාලා වන්දනාවේ යන්නේ දෙමළ දේශපාලකයන් පමණක් නොවේ. සිංහල බෞද්ධයෝද යති. එසේ යන්නට හේතුවක්ද තිබේ. එය නම් බුදු සිරිපතුලක සටහනක් තිරුමාලා කන්දේද තිබෙන බව බෞද්ධයන් විශ්වාස කිරීමයි. විෂ්ණු දේව ප‍්‍රතිමාව ඉදිකර ඇත්තේ එකී බුදු සිරිපතුල මතුපිට බව පවතින මතයයි. බුදු හිමියෝ සුරාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසිණි. මේ තවුසා නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් බුදු හිමියනට සිදුවූයේ තවුසා බුදු සසුනේ මහණ කිරීමටය. අනතුරුව මේ තවුසාද බුදු හිමියන් සමග සුරාපරන්තයට යන්නට සූදානම් විය. එවිට බුදු හිමියන් කීවේ සප්තභද්‍රට එහිම වාසය කරන ලෙසය. එහෙනම් මට වැඳුම් පිදුම් කරන්න දෙයක් දෙන්න යැයි එවිට තවුසා ඉල්ලා තිබේ. බුදු හිමියෝ තම සිරිපා සලකුණක් එතැන පිහිටුවාලූයේ ඉනික්බිතිවය. කෙසේ හෝ වේවා අපේ රටේ ප‍්‍රබල දේශපාලකයෙක් වතාවක් තිරුමාලා කෝවිලට ගියේය. එහෙත් ඔහු එවර වෙඩි නොවදින ඇඳුමක් ඇඳ සිටි බැවින් කෝවිලට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබිණිලූ. හේතුව ඔර්ලෝසු සපත්තු ජංගම දුරකථන කැමරා ආදී උපකරණ රැගෙන කෝවිල් බිමට ඇතුළුවීමට කිසිවකුටත් අවසර නොලැබීමය. තිරුපති හැරුණු විට අපේ දේශපාලකයන්ගේ පා පහස ලබන තවත් සිද්ධස්ථාන කිහිපයකි. කන්‍යාකුමාරි ඉන් වඩාත් ප‍්‍රසිද්ධ කෝවිලයි. ඉන්දියන් සාගරය බෙංගාල බොක්ක අරාබි මුහුද යන මුහුදු තුන එකට හමුවන තැන පිහිටි කන්‍යා කුමාරිගේ භද්‍රකාලී කෝවිල බොහෝ හාස්කම් තිබෙන තැනක් බව පිළිගැනීමයි. මුළුමනින්ම වතුරෙන් වටවී පවතින කන්‍යාකුමාරි භද්‍රකාලී කෝවිල අසලින් ස්නානය කිරීමෙන්ද සියළු පව් සේදී යන බවට පවතින්නේ ප‍්‍රබල විශ්වාසයකි. ගණදෙවියන් ඇතුළු තවත් දේව ප‍්‍රතිමා ගණනාවක් සහිත කන්‍යා කුමාරියට ඇතුළු වීමේ දොරටුද රැසකි. ඒ එක් එක් දොරටුවෙන් එක් එක් කෝවිල්වලට ඇතුළු වීමට පුළුවන. එක්තරා යුගයක අති ප‍්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් ව පැවැති මෙතැන කාලයක් ජෛනාගමේ කේන්ද්‍රස්ථානයක්ව තිබිණි. එහෙත් මේ වනවිට හින්දු භක්තිකයන්ගේ කෝවිලක් බවට පත්වුවත් කන්‍යාකුමාරි වන්දනාවට පැමිණෙන බැතිමතුන් අතර විවිධ ආගමිකයෝ සිටිති. අපේ රටේ ප‍්‍රබල දේශපාලකයෝද කන්‍යාකුමාරිගේ පිහිට ආරක්ෂාව සොයා යති. ගුරුවායුර් ද ලාංකික දේශපාලනඥයන්ගේ ගෞරවාදරයට පාත‍්‍රවූ තවත් කෝවිලකි. කේරල සිතියමේ අතිශය වැදගත් ස්ථානයක් වන ගුරුවායුර් කේරළයේ සුප‍්‍රකට සංස්කෘතික මධ්‍යස්ථානයක්ද වේ. දෙව්ලොව වෙසෙන සියළුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා බැතිමතුන් යා යුත්තේ කේරළයේ ත‍්‍රිෂූර් දිස්ත‍්‍රික්කයේ පිහිටි ගුරුවායුර් කෝවිලටය. විවිධ රෝගාබාධ වලින් පෙලෙන්නන්ට ඉක්මන් සුවය සඳහා දේව ආශිර්වාදය ලබාගැනීමට ගුරුවායුර් නම්දරා තිබේ. මේ නිසාම ගුරුවායුර් වන්දනාවේ යන වැඩිදෙනෙක් විවිධ රෝගාබාධ වලින් පෙළෙන්නන් බව කියැවේ. මිහිතලයේ දිව්‍ය ලෝකය යන අන්වර්ථ නාමයද ගුරුවායුර් සඳහා ලැබී තිබෙන්නේ එහි සියළු දෙවිවරුන්ගේ ආශිර්වාදය මොනවට තිබෙන නිසාම විය යුතුය. ගුරුවායුර් හි අනිත් ආකර්ශනය ක‍්‍රිෂ්ණ කෝවිලය. විවිධ සිතුවම් වලින් අලංකෘත කර ඇති ක‍්‍රිෂ්ණ කෝවිලේ ක‍්‍රිෂ්ණ දෙවිඳුන්ගේ පිළිරුව බැතිමතුන්ගේ සිත්ගන්නාසුළුය. කොචින් ගුවන් තොටුපළේ සිට කි.මී. 80 ක දුරකින් පිහිටි ගුරුවායුර් වෙත දුම්රියෙන්ද බස්රියෙන්ද ළඟාවීමට හැකි බැවින් ඔක්තෝබර් මාර්තු අතර කාලයේදී ලාංකික බැතිමත්හුද ගුරුවායුර් කරා යති. කේරළයේ කොට්ටරක්කාර ප‍්‍රදේශයේ පිහිටි මහා ගණපති කෝවිලද දෙමළ දේශපාලකයන් නිතර යන එන වන්දනා කරන ස්ථානයකි. කිතුනුවන්ගේ වන්දනීයත්වයට පත්වූ වේලක්කන්නි ශුද්ධ නගරය පිහිටියේ නාග පට්ටනමේ ය. තමිල්නාඩුවේ කොරමැන්ඩල් වෙරළ බඩ පිහිටි මේ නගරයේ කන්‍යා මරියා තුමියගේ නමට කැපකල පල්ලිය නිරෝගී බව ලබාගැනීමට ආශිර්වාද කරන පූජා භූමියකි. 16 වැනි සියවස තරම් දුරාතීතයක් හිමි වේලක්කන්නිය වූ කලී දේවමෑණියන් දර්ශනය වූ ස්ථානයක් බව කියති. මේ නිසාම දේව මෑණියන්ගේ ආශිර්වාදය වේලක්කන්නි පල්ලිය තුල නිරතුරුවම පවතී. විවිධ රෝගාබාධ සුවවීම සඳහා ප‍්‍රාර්ථනා කර බාර හාර වී යන බැතිමතුන් එකී ලෙඩ රෝග සුවවීමෙන් පසුව බාර හාර ඔප්පු කරන්නේ ස්තුතිය ප‍්‍රකාශ කරන ලියුමක්ද සමගය. මේ ලියුම් සහ බාරහාර ඔප්පු කල භාණ්ඩද ඇතුලත් කෞතුකාගාරයක්ද වේලක්කන්නියේ තිබේ.ටි‍්‍රචී ගුවන් තොටුපොලේ සිට ක.මී. 165 ක දුරක පිහිටි වේලක්කන්නියට ටැක්සි සේවයක්ද නිරතුරුවම ක‍්‍රියාත්මක වේ. පුට්ටපාර්තියේ ප‍්‍රසාන්ති නීලසාති හි සත්‍ය ශ්‍රී සායි බබා වන්දනාවද අපේ රටේ බොහෝ දේශපාලකයන්ගේ ප‍්‍රියතම වන්දනාවක් විය. සායි බබාතුමාගේ ආශිර්වාදය බොහෝ දේශපාලකයන්ගේ ඉදිරිගමනට මනා පිටුවහලක් වූ බව කියති. සංගීත විද්‍යාල, විශ්ව විද්‍යාල, රෝහල් ආදියද ඉදිකරමින් මහඟු සමාජ සේවයක් කළ සායි බාබාතුමා ඉකුත් දා මෙලොව හැරගියත් එතුමාගේ බැතිමත්තු ස්වකීය වන්දනාමාන එලෙසම කරගෙන යති. එහෙත් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දකුණු ඉන්දියාවට යන අපේ දේශපාලකයන්ට සහ දේශපාලන පවුල් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නැගෙන උද්ඝෝෂණයි. මේ උද්ඝෝෂණ බොහෝවිට චෙන්නායි නුවරදී සිදුනොවුණත් දකුණු ඉන්දියාවේ අනෙකුත් ප‍්‍රදේශවල නම් සිදුවෙයි. මේ ගැටුම් ඇතිකරන්නේ නාම් තමිලර් පක්ෂයේ සාමාජිකයන්ය. පළමුව තිරුකුමාර නඬේෂන්ටත් පසුව සෙල්වින් තොන්ඩමන්ටත් ආරුමුගම් තොන්ඩමන්ටත් එල්ල කෙරිණි. නාම් තමිලර් පක්ෂය කොටි හිතවාදී පක්ෂයකි. යුද්ධයෙන් දිනන්නට බැරිවූ ඊළම සාමයෙන් ලබාගන්නට ලෝකයපුරා ක‍්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාව කැසකවන ආකාරය බොහෝ දරුණු බව මේ සිදුවීම් වලින් පෙනෙයි. තොරතුරු ලබාගැනීමට දායක වූ තිරුකුමාර් නඬේසන් සහ අබේසේන හේරත් මහත්වරුන්ට ස්තුතියි.

ශාන්ත කුමාර විතාන
ගුරු වායුර් දෙවොල කන්‍යා කුමාරි කෝවිල වේලක්කන්නි පල්ලිය තිරුපති දෙවොල



අදහස් (0)

අපේ දේශපාලකයන් වඳින්න යන දකුණු ඉන්දියාවේ දේවාල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 660 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 274 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 627 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site