IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අපේ ලොකු හාමුදුරුවෝ

(මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති ව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ නායක මාහිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් පළ කෙරෙන ලිපියකි.)

මෙයින් වසර එකසිය අටකට පෙර කන්ද උඩරට සුන්දර ගම් පියසෙක පින්වත් කුමරෙක් උපන. සැදැහැත් බෞද්ධයෙකු වන සයිමන් රාජපක්ෂ මහතාට සහ එම මහාත්මියට උතුම් මාපිය පදවි ලබා දෙමින් උපන් මේ කුමරා නමින් ධර්මදාස රාජපක්ෂ නම් විය.

දෙසැම්බර් මස 24 වෙනිදා රාත්‍රී 10. 00 ට උපන් කුමරු දෙසැම්බර් මස 25 වෙනිදා උදාවන නත්තල් දිනය ආසන්නයේ ම උපන් බැවින් දෝ ඔහු තුළින් බෞද්ධ ගති පැවතුම් දුරු වේ ය යන බිය නිසා ම‍ දෝ ධර්මයට සේවය කිරීමට කැප කරනු වස් ධර්මදාස යන තබන්නට දෙමාපියන්ට හට ‍සිත් දෙන්නට ඇත. සිය නමට ගැළපෙන ලෙස‍ට ම හැසිරීම සිදු කළ මෙම දරුවා උගත මනා ශිල්ප ශාස්ත්‍ර හදාරා තුරුණු වියට පා තැබීය.

ලද උසස් අධ්‍යාපනයටත් වඩා ගමේ පන්සලෙන් ලද දහම් අධ්‍යාපනය නිසා වඩ වඩාත් දහමට නැඹුරු වූ මෙම ධර්මදාස තරුණ මහතා ගුවන් විදුලියෙන් අසන ලද ධර්ම දේශනාවක් නිසා සිය දිවි මඟ සොඳුරු සසුන් මඟකට හරවා ගත්තේය. බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ගුවන් විදුලි‍ය ඔස්සේ දේශනා කරන ලද ධර්ම දේශනාවක් අසා උන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදීමට පත් ධර්මදාස තරුණ මහතා මහානායක මාහිමිපාණන් වහන්සේ සොයා පැමිණියේ පැවිදි වෙනු රිසියෙනි.

පෙර පින් කළ බව සිය දිවි මගේ බුහුටි අවධියේ පටන් විදහා දැක් වූ මෙම තරුණ දරුවා වර්ෂ 1936 මැයි මස 6 වෙනිදා අතිගරු පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා අතිගරු වේරගම්පිට සිරි රේවත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට ඇතුළු විය. කීර්තධර ධර්මදූතයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය නාරද මාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මාහිමි, පියදස්සී මාහිමි, කඹුරුගමුවේ මහානාම මාහිමි, ආදී උතුම් පැවිදි සොහොයුරු පිරිසකගේ ඇසුර ලබන්නට ද මේ තරුණ ස්වාමීන් වහන්සේ භාග්‍ය සම්පන්න වූහ.

සිය ආචාර්යෝත්තමයාණන් වහන්සේගේ පා සෙවණෙහි ථේරවාද බෞද්ධ භික්ෂුවක විසින් ලබා ගත යුතු වූ ධර්මවිනය, භාෂා- ශාස්ත්‍ර පිළිබඳ විසල් දැනුමක් ලබා ගත් අප කථානායකයාණන් වහන්සේ වර්ෂ 1936 ජූලි මස 30 වෙනිදා කැළණි නදියෙහි ඉදි වූ රමණීය උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ. අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමි, අතිපූජ්‍ය තල්අරඹේ ඉන්දසාර මාහිමි, අතිපූජ්‍ය අහංගම පඤ්ඤාලෝක මාහිමි යන මහ තෙරුන් වහන්සේලා උපසම්පදාවේ දී උන් වහන්සේට කර්මවාගාචාර්යවරු වූහ.

එතැන් පටන් උන් වහන්සේ බම්බලපිටිය සිරි වජිරාරාමය කේන්ද්‍ර කර ගනිමින් සිය ජීවිතය දහමින් විනයෙන් පෝෂණය කරමින් සැබෑ භික්ෂුත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වන්නට වූහ. ප්‍රශස්ත මුනිවරයෙකු සතු විය යුතු ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්මප්‍රතිපන්න යන සංඝශෝභන ගුණ හයෙන් දිදුළන්නට වූහ. 

අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ යි පැවැසූ ලෙසින් භික්ෂු ආකල්ප කුමක්දැයි අවබෝධ කර ගෙන කටයුතු කළහ. අන් අයට ද එමග පෙන්වා දුන්හ. තුරුණු වියෙහි පටන් ඉතා සෘජු ව හා කාර්යශූරී ව කටයුතු කළ අප හිමිපාණෝ ගුරු ගෞරවය ඉතා ඉහළින් සිය ජීවිතය තුළ විදහා දැක්වූහ. ගිලන් වූ තම ගුරු ‍දෙවි උතුමන්ට තුරුණු වියෙහි පසුවන භික්ෂුවක ලෙසින් මහත් කැපවීමෙන් හා සෙනෙහසින් සිදු කළ උවටැන්හි ඵල උන් වහන්සේ මේ අත් බැව්හිදී ම අත් වින්දාහ.

වසර දහයකට අධික කාලයක් වයස්ගතවීම නිසා ම එක්තැන්ව සිටින්නට වුවත් සිය උපස්ථායක දීපාලෝක හිමියන්ගේ සෙනෙහෙබර උවැටැන නිසා උන් වහන්සේගේ සිරුරෙහි එකදු බිබිලක් හට නොගත් බවත්, කිසිදු දුර්ගන්ධයක් එක මොහොතකට හෝ නොදැණුන බවත් සැවොම දන්නා කරුණකි. එවන් අසිරිමත් උපස්ථානයක් උන් වහන්සේ හිමි කර ගත්තේ සිය ගුරුදේවයාණන් වහන්සේ වෙත සියැතින් ම සිදු කළ උපස්ථාන නිසා බව අපගේ විශ්වාසයයි. සිය වයස්ගත ගුරුවරුන් සමච්චලයට ලක් කරන සිසුන් සිටින මෙවන් සමාජයක උන් වහන්සේ සමාජයට සපයා ඇත්තේ විශිෂ්ඨ චරිතාදර්ශයකි.

සිය ගුරු දේවෝත්තමයාණන්ට උවැටන් කරන බොහෝ අවස්ථාවල උන් වහන්සේගේ මුවින් නික්මුණු වදනක් වූ මට තව හොඳ භික්ෂූන් වහන්සේලා පනහක් හදලා මැරෙන්න ඇත් නම් යන්න අප ස්වාමිපාදයාණන් වහන්සේගේ හදවතෙහි ගැඹුරින් ම තැන්පත් විය. සිය ගුරුදේවයාණන් වහන්සේගේ මේ උතුම් පැතුම කෙලෙසකින් හෝ සම්පූර්ණ කළ යුතු යැයි ගැඹුරින් ම සිතෙහි තැන්පත් කර ගත් උන් වහන්සේ මේ උතුම් කාර්යයට සාකල්‍යයෙන් ම සුදුස්සා වනුයේ සිය ජේෂ්ඨ පැවිදි සහෝදර අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ බව කල් තියා ම වටහා ගෙන කටයුතු කළහ.

ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ස්වීය නිකායේ අභිනව මහානායක පදවියට ද පත් සිය පැවිදි සොයුරු අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟින් එක්ව, උන් වහන්සේ ගුරු දෙවිතුමන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ කරනු පිණිස කටයුතු ආරම්භ කළහ. උගත්, සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් සසුනට දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ඇරඹුණේ එලෙසිනි. සිය ගුරු දෙවිඳුන්ගේ ශ්‍රී නාමයට උපහාර පිණිස ආරම්භ කරන ලද එම ආයතනය මේ වන විට මුළු ලොව සම්බුදු දහම බෙදන ප්‍රධාන මධ්‍යස්ථානයක් වී හමාර ය.

වර්ෂ 1958 අප්‍රේල් මස 21 වෙනිදා හෙවත් හරියට ම අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ වත්මන් මහානායක ධුරය හොබවන, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් බිහි වූ සුවිශිෂ්ඨ ම ශිෂ්‍ය රත්නය වන අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටු දාට පසු දින ආරම්භ කරන ලද මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වත්මන් දියුණුවේ පදනම අප මාහිමිපාණන් වහන්සේ ම ය.

සිය ආචාර්යත්වයෙන් හා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සියයකට අධික පැවිදි සිසු පිරිසක් සසුනට දායාද කළ අප මාහිමිපාණන් වහන්සේ සිය සිසු දරුවන්ගේ ලොකු හාමුදුරුවෝ වූහ. ධර්මායතනයේ සිසු දරුවන්ට දෙමාපිය දෙපළක් වූහ. පියා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ ය. මව අප ලොකු හාමුදුරුවන් වහන්සේ ය.

සැබැවින් ම ගෙදරක පියා ගෙදරින් බැහැරව රාජකාරියට යමින් ද, තම දරුවන්ට අවවාද දෙමින් ද කටයුතු කරන්නේ යම් සේ ද, ‍එලෙසින් ම මහනාහිමිපාණන් වහන්සේ සිය සිසුනට පියෙකු සේ කටයුතු කළහ. උන් වහන්සේ සිය සිසුන්ට නිතර අවවාද කළේ නැත. නමුත් සතියකට වතාවක් අවවාද කළහ. උන් වහන්සේ සිසුනට දඬුවම් කළේ ද නැත. එනමුදු කිව යුත්ත හිතට වදින සේ පැවැසූහ. ලොකු හාමුදුරුවන් වහන්සේ සිය සිදු දරුවනට අතිශයින් ම ආදරය කළහ. දඬුවම් ද කළහ. දිනපතා අවවාද කළහ.

සිය සිසුන් සමඟින් ම කාලය ගත කළහ. සිසුන් සමඟින් ම බුදුන් වැන්දාහ. සිසුන් සමඟින් ම වත් පිළිවෙත් ද කළහ. සිසුන් සමඟින් උන් වහන්සේ අතිශයින් ම ප්‍රිය කළ පිණ්ඩපාත චාරිකාවෙහි වැඩියහ. සිසුන් සමඟින් ම භාවනා කළහ. සිසුන් සමඟින් ම ධර්මායතන භූමියෙහි පැළ සිටවූහ. වතුර දැමූහ. ආරාම භූමිය පිරිසිදු කළහ. එය සියලු කටයුතු විනය අනුව ම සිදු කළහ.

උන් වහන්සේ ආචාර ගෝචර සම්පන්නය හ. අල්ප මාත්‍ර වූත් වරදෙහි භය දක්නා සුළු වූහ. අතිශය ශික්ෂාකාමී වූහ. උන් වහන්සේ දායකයන්ට අතිශයින් ම ප්‍රිය වූහ. සොඳුරු කථා ඇති උන් වහන්සේ පුතා යන වදනින් ගිහි පැවිදි බොහෝ දෙනා ඇමැතූහ. එය බොහෝ දෙනාගේ ආකර්ෂණයට හේතු විය. උන් වහන්සේ සතු වූ අපරදිග භාෂා ඤාණය නිසා ඉංගිරිසි බස ප්‍රිය බොහෝ දෙනාගේ පැහැදීම උන් වහන්සේට හිමි විය. අගනුවර බොහෝ ධනවත්, උගත් පවුල්වල උදවිය හා ව්‍යාපාරික පවුල්වල උදවිය උන් වහන්සේගේ ඇසුර රිසි වූහ. සුරාවට ඇබ්බැහි වූ බොහෝ දෙනා උන් වහන්සේගේ කළ්‍යාණ මිත්‍ර ඇසුර නිසා සිය ජීවිතය දහමට නැඹුරු කොට දිවි මග ජය ගත්හ.

තමන් ඇසුර එන ඕනෑම කෙනෙකුගේ හිත පැහැදෙන්නට කථා කිරීමට උන් වහන්සේ තුළ තිබූයේ සුවිශේෂ හැකියාවකි. සැම විට ම අන් අයට පැවිදි වන්නට උපදෙස් දුන්හ. කුඩා දරුවෙකු මුණ ගැ‍සු‍ණු සැනින් දකුණු අත ගෙන බලන්නේ ඒ දරුවා මහණ කිරීමට සුදුසුදැයි සොයමිනි. උන් වහන්සේට අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ ව ද මනා දැනුමක් තිබිණ. ඒ සියල්ල යොදා ගත්තේ සසුනේ පැවැත් ම සඳහා ම ය.

උන් වහන්සේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සැබෑ භික්ෂුත්වයේ ප්‍රතිමූර්තියකි. ආදර්ශ සම්පන්න ගුරුවරයාණ කෙනෙකි. උන් වහන්සේ සිය ඇසුරෙහි හැදෙන වැඩෙන සැම දෙනාට ම නැ‍‍ඟෙන්නට අත දෙමින්, වැටෙන්නට යන සෑම විටදී ම නඟා සිටුවමින්, දිරි දෙමින් කටයුතු කළහ. ලොකු හාමුදුරුවෝ සිසුන් හික්මවීමෙහි දී විටෙක ගලක් සේ දැඩි වූහ. විටෙක මලක් සේ මෘදු වූහ. උන් වහන්සේ ශිෂ්‍යයන් හික්මවීමෙහි දී භාවිතා කළ ඇතැම් ක්‍රම වේද ඉතා උසස් මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත ඒවා බව දැන් අපට මැනැවින් වැටහේ.

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට යන උපදෙස මැනැවින් පිළිගත් අප ලොකු හාමුදුරුවන් වහන්සේ සැබැවින් ම ආදර්ශ සම්පන්නය හ. උන් වහන්සේ සිසුන් සමඟින් උදාසනින් පිබිදී බුද්ධ වන්දනාවට සම්බන්ධ වූහ. බුද්ධ වන්දනාවේදී කුඩා සාමණේරයන් වහන්සේලා විසින් වරදවා කියන ලබන ගාථා උච්චාරණයන් නැවත නැවත සකස් කළහ. නිවැරදි දේ ම නිසි ලෙසින් කරන්නට පැවැසූහ. උන් වහන්සේ නිසි කලට වැඩ කිරීමෙහි ගුණයෙන් ද යුක්තයහ. කිසිදාක වැඩකටයුතු පමා වී සිදු කරන්නේ නැත. බණට වැඩියත්, දානයට, පිරිතට පමණක් නොව පාංශුකූලයට වැඩියත් නිසි වෙලාවට වැඩම කළහ.

උන් වහන්සේ භාවනාව අතිශයින් ම ප්‍රිය කළහ. සසුනට මහ මෙහෙවරක් කළ හැකි සිසු දරුවන් රැසක් දායාද කළ උන් වහන්සේගේ සැදෑ ජීවිතයේ බලවත් කැමැත්තක් ව පැවැතියේ විවේකී සෙනසුන් ඇසුරු කර ගෙන භාවනානුයෝගී ව සිටීමයි. ඒ නිසා ම උන් වහන්සේ අම්පාර මහඔය, මාතලේ වැනි අති දුෂ්කර ප්‍රදේශවලට වැඩ ම කොට ගල් ලෙන්වල භාවනා කළහ. මහනුවර බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනය, අනුරාධපුර කටුපොත කන්ද වජිරාරාම ආරණ්‍ය සේනාසනය වැනි සෙනසුන් ද, ප්‍රිම්රෝස් උයන වජිරාරාමය, කෙන්ගල්ල අඹකොටේ වජිරාරාම තපෝවනය වැනි ස්ථාන ද ස්ථාපිත කරමින් භාවනාව ප්‍රිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මහත් සවියක් වූහ.

උන් වහන්සේ මහත් වුවමනාවකින් ස්ථාන හැදුවා සේ ම සන්තානය ද හදා ගත්හ. ඒ නිසා ම උන් වහන්සේ වෙහෙස වී හදා ගත් ඇතැම් ස්ථාන කිසිදු දුකකින් තොරව අතහැර දැමූහ. සම්බුදු සසුනට වැඩ වැඩිය හැකි වෙනත් භික්ෂූන් වහන්සේලාට සිය ස්ථාන පූජා කළහ. අඹකොටේ වජිරාරාම තපෝවනය එවැන්නකි. වත්මනෙහි සිරි සුගත තපෝවනය නමින් මුළු මහත් මහනුවර දිස්ත්‍රික්කයට ම සුවිශාල සේවාවක් සිදු වන එම ආයතනය පූජනීය ඉල්වානේ ආනන්ද හිමිපාණන්ට ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් නිස්සරණාධ්‍යාශයෙන් යුතුව ම ලියා පවරා දුන්හ.

උන් වහන්සේ අතිශයින් ම ත්‍යාගශීලී ය. තමන් සන්තක ඕනෑම දෙයක් අත හරින්නට උන් වහන්සේට හැකියාව තිබුණි. ඉගෙන ගන්නා වයසේ සිටින ධර්මායතනයෙන් පිට භික්ෂූන් වහන්සේලා ද අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ පිහිට ලද්දෝය. එවන් උපකාර ලැබූ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පැවිදි පිරිස අද උන් වහන්සේගේ ගුණ කියති.

උන් වහන්සේ ළමා පරපුරට අතිශයින් ම මෛත්‍රියෙන් කටයුතු කළහ. තමන් හමුවට එන සෑම දරුවෙකුට ම කිනම් හෝ බණ පදයක් කියා ඔවුන් යහ මග යවන්නට උන් වහන්සේ කටයුතු කළහ. ළමා පරපුර සසුන රැකිය හැකි පිරිසක් බවට පත් කරළීමේ අදහසින්, දහමට සමීප වූ පිරිසක් බවට පත් කිරීමේ අදහසින් උන් වහන්සේ සිරි වජිරඤාණ දහම් පාසැල ආරම්භ කරන ලද්දේ ළමා පරපුර කෙරෙහි ඇති අපරිමිත සෙනෙහසිනි.

මේ වන විට මහරගම සිරි වජිරඤාණ දහම් පාසැල දිවයිනේ වැඩි ම ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගන්නා දහම් පාසැල බවට පත් වී ඇත. එපමණක් ද නොව හොඳ ම ප්‍රතිඵල ලබන දහම් පාසැල බවට ද පත් ව ඇත. සිසු දරු දැරියන් හත් දහසකට අධික ප්‍රමාණයක් දහම් අධ්‍යාපන ලබන මෙම දහම් පාසල ආරම්භ කිරීමෙන් බෞද්ධ අධ්‍යාපනයට වූ මෙහෙවර මෙතෙකැයි කියා කිව නොහැකිය.

කෙතරම් ශාසනික හා ආයතනික කටයුතු තිබුණත් උන් වහන්සේ ධර්ම දේශනා කිරීම හා ධර්මය අධ්‍යයන කිරීම අමතක කළේ නැත. උන් වහන්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දක්ෂ දේශකයාණන් වහන්සේ නමකි. ඉතා මිහිරි, සන්සුන් හඬින් උන් වහන්සේ දේශනා කරන ධර්මය අසන්නට ශ්‍රාවකයෝ ප්‍රිය කරති. මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ දේශකයාණන් වහන්සේ නමක ලෙසින් උන් වහන්සේ වසර ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේ එය ද බෞද්ධ පාසැල් අධ්‍යාපනයට රුකුලක් වන බව දන්නා ‍නිසාවෙනි. උන් වහන්සේ දේශකයෙකු මතු නොව දක්ෂ ලේඛකයෙකු ද වූහ. උන් වහන්සේගේ අතින් ලියැවුණු පාඨකයා ප්‍රිය කළ කුඩා ධර්ම ග්‍රන්ථ රාශියකි.

උන් වහන්සේ ත්‍රිපිටක ධර්මය කියැවීමෙහි ප්‍රිය ඇත්තෙකි. නිරන්තරයෙන් ම විවේකී අවස්ථාවල බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ පොතක් පෙරළාගෙන රස කරමින් කියවන ආකාරයත්, තමන් ළඟට පැමිණෙන සිසු දරුවන්ට ඒවා රස කරමින් විස්තර කර දෙන ආකාරයත් අදටත් අපට මැවි මැවී පෙනේ.

ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති, වත්මන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත වංශද්වජ, අතිපූජ්‍ය මහරගම ධම්මසිරි නායක මාහිමිපාණන් වහන්සේ, බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ධුරන්ධර, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ශාඛ්‍යසිංහ සම්බුද්ධ මහා විහාරාධිපතිව වැඩ සිටි, අපවත් වී වදාළ විචිත්‍ර ධර්මකථික  අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ආදී මහා යතීන්ද්‍රයාණන් වහන්සේලා රැසකට මඟ පෙන් වූ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ උන් වහන්සේ ය.

ධර්මායතන පින්බිමට පිවිසෙන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන තුරු ලතා රැසකි. ඒ තුරු ලතාවෝ නිහඬ ව කියා පානුයේ මොවුන් වහන්සේ තුරු ලතාවන්ට දක්වන ලද සෙනෙහසේ ඵලයයි. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් සිදු කෙරෙන සකල විධ ශාසනික, ජාතික, ආගමික හා සාමාජික සේවාවන් සාර්ථකවීමේ අදෘෂ්‍යමාන පුණ්‍ය ශක්තිය මොවුන් වහන්සේගේ ය. මොවුන් වහන්සේ ගිහි පැවිදි සිසු කැල නැමැති දෙවුර පෝෂණය කරමින් ගලා බැස ගිය මහා නදියක් වැන්න. බොදු සව් මන කුමුදු විකසිත කළ සඳ මඬල වැන්න. දහම් පිපාසාවෙන් පෙළෙනවුන් සැනැහූ මිහිරි දිය උල්පත වැන්න.

මොවුන් වහන්සේ නිහතමානී කමෙන් සැරියුත් මාහිමි අනුයාත ය හ. අල්පේච්ඡතාවෙන් මහකසුප් මාහිමි අනුයාතය හ. පිය බවින් අනඳ මාහිමි අනුයාතය හ. එමතු ද නොව ලබනවුන් අතර සීවලී මහරහත් සිසු පුත් වැන්න. දුරින් සිට බලා සිටින්නෙකුට වුව හැදෙන්නට යමක් මොවුන් වහන්සේගේ හැසිරීමෙන් උකහා ගත හැකි විය. මොවුන් වහන්සේ හා වදනක් හෝ බිණූ කෙනෙක් ඒ වදන්වල ඇති මිහිරියාව, කරුණාව මැනැවින් වටහා ගති. මොවුන් වහන්සේගේ වත මඬල දුටු කෙනෙහි සිසුන්ගේ හද මඬල සැනැහී ගියේය.

සිසුනට සෙනෙහෙ පානා පැවිදි ඇදුරන් අතර මොවුන් වහන්සේ හා සමාන උතුමෝ විරළ ය හ. එසේ ම සිසුන්ගෙන් බුහුමන් ලබන වියපත් පැවිදි උතුමන් අතළොස්ස අතර මොවුන් වහන්සේ ද ඉදිරියෙන් ම වැඩ සිටියහ. ළපැටි වියෙහි පටන්, සිසු දරුවෙකු ව උන් වහන්සේගේ පා සෙවණෙහි හැදෙන්නට තරම් මම ද භාග්‍යවන්තයෙකු වීමි. තම දර්ශනයෙන් පවා සිසුන් තුළ ස්වයං ශික්ෂණයක් ඇති කිරීමෙහි සමත් ඉතා ආදර්ශ සම්පන්න මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වසර 106 ක් ආයු වළඳා 2020. 02. 17 දින අපවත් වී වදාළහ. මීට දෙවසරකට පෙර අපවත් වී වදාළ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති ව වැඩ වුසූ, අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ නායක මාහිමිපාණන් වහ‍න්සේට අජර වූ අමර වූ නිවන් සුවය ම වේවා යි මහත් යටහත් ව ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි.

 

තලල්ලේ චන්දකිත්ති හිමි

කොළඹ - 07, බෞද්ධාලෝක මාවතේ, නාරද බෞද්ධ ධර්මායතනාධිපති, අලව්ව පනාදණ්ඩ, පැණසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අනුශාසක

 



අදහස් (0)

අපේ ලොකු හාමුදුරුවෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2982 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12169 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 562 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 937 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1010 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site