IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අපනයන ආදායම් නැංවීමේ ක්‍රමවේද ඕනෑ

උද්ගත වූ ආර්ථික අර්බුදයට මේ වන විට වසරක් ඉක්ම වූ කාලයක් ගතව තිබේ. එම අර්බුදය පැතිකඩ කිහිපයකින් සමන්විත වේ. ඩොලර් හිඟය, රුපියල් හිඟය සහ ණය අර්බුදය වශයෙන් ඒවා හඳුනා ගත හැකිය. මේ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක් දක්වා ප්‍රසාරණය විය. වත්මන් ජනාධිපතිවරයා 2022 මැයි මස අගමැති ධුරයට පත්වීමත් සහ එම වසරේදීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් වීමත් සමග එම දේශපාලන අර්බුදය යම් ආකාරයකින් කෙළවර වූයේ යැයි කිව හැකිය.

මේ අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එම වැඩසටනෙහි එක් අංගයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. දෙවැන්න රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. ඊට අමතර යමක් අපට නොපෙනේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පළමුව අවධානය යොමු කළේ විදේශීය ණයවලටය. විදේශ ණය හිමියන් සමග ඊට අදාළ කටයුතු කරගෙන යන අතරතුර දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුය යන ඉල්ලීම ඔවුන්ගෙන් ඉදිරිපත් විය. එහෙත් ආණ්ඩුව මුලදී දිගටම ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවය. දැන් සිදුව තිබෙන්නේ මුලදී ආරම්භ කළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වෙමින් තිබීමය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල ඊට අදාළ කර ගනිමින් එම අරමුදලෙන් රජයට සපයා ඇති ණය මුදල් අඩු කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ යටතේ 2035 වන විට අරමුදලේ මුදල් රුපියල් බිලියන 3500 ක් පමණ අඩු වනු ඇති බව ප්‍රකාශ වේ. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අලාබයක් සිදු වේ. අර්ථසාධක අරමුදල යනු ශ්‍රමයේ අරමුදලක් මිස ප්‍රාග්ධනයේ අරමුදලක් නොවේ. එය ධනපති පන්තියේ අරමුදලක් නොවේ. වැඩ කරන පන්තියේ මිනිසුන් ඔවුන්ගේ ශ්‍රමයෙන් දහඩියෙන් ගොඩ නැගූ එකකි.

විදේශීය ණය මූලාශ්‍ර අතර ද්වීපාර්ශ්වීය ණය බහුපාර්ශ්වීය ණය සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ යන ඒවා ප්‍රධාන වේ. දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස ශ්‍රී ලංකාවට බල කළේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ණය හිමියන් නොහොත් ජාත්‍යන්තර පොලී මුදලාලිලාය. ශ්‍රී ලංකාවේ විදේශ ණයවල වැඩි වශයෙන් තිබෙන්නේ ද මේ ජාත්‍යන්තර පොලී මුදලාලිලාගෙන් ගත් ණයයි. එය ප්‍රතිශතාත්මකව සියයට 40 කි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය බොහෝවිට විදේශකරණය කරමින් සිටියි. ඒ යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන හාරසියය ගාණක් ලැයිස්තු ගත කර තිබේ. ඇතැම් ආයතන අහෝසි කිරීමටත් සමහර ඒවා පෞද්ගලික අං‌ශයට ලබා දීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව 1961 දී ආරම්භ කළේ එවකට ඛනිජ තෙල් කර්මාන්තය ෂෙල්, කැල්ටෙක්ස් ආදී පෞද්ගලික සමාගම් විසින් ඉතා දරදඬු ආකාරයට මෙහෙයවනු ලැබූ පරිසරයකය. ඛනිජ තෙල් කර්මාන්තය රජයට පවරා ගැනීමෙන් පසු ලාබ ලැබූව ද පසුව දේශපාලනීකරණය වීම නිසා මේ ආයතනය විනාශ විය.

රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම සඳහා ආණ්ඩුව යොදා ගන්නා සංකල්පය වී තිබෙන්නේ රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුය යන්නයි. ඒ යටතේ රජයේ ආයතන වෙනත් රටවලට පවරා දෙමින් සිටියි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය හරහා එක්තරා කාරණයක් ඉටු කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා ගැනීමය.

පසුගිය වසරේ අප්‍රේල්වල දී බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ පසු ශ්‍රී ලංකාවට ණය දීමට කිසිදු රටක් හෝ සංවිධානයක් හෝ ඉදිරිපත් වූයේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට කරගෙන යන ණය වැඩසටහන ඔස්සේ නැවත ණය ලබා ගැනීමේ හැකියාව ලබා ගනිමින් සිටියි. පසුගිය වසරේ සිට ආණ්ඩුව මේ වැඩසටහනෙහි නිමග්නව සිටියි. මෙයින් රටේ අර්බුදයට විසඳුමක් ලැබී තිබේද යන්න විමසුමට ලක් කළ යුතුය.

පසුගිය වසරේ තිබූ පෝලිම් ආදිය දැන් නැති නිසාත් ඇතැම් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඩු වී ඇති නිසාත් රට හොඳ තත්ත්වයක තිබෙන බව ආණ්ඩුව කියයි. එහෙත් දරිද්‍රතාව වැඩි වී තිබේ. පසුගිය වසරේ සිට නාගරික දුප්පත්කම තුන් ගුණයකින් වැඩි වී ඇත. ග්‍රාමීය දුප්පත්කම දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. වතුකරයේ දුප්පත්කම සියයට 51 කි. ළමයින්ගෙන් සියයට 30 ක් මන්දපෝෂණයෙන් පෙළෙති. මෙපරිදි දුප්පත්කම වැඩි වී ඇති තත්ත්වයක අර්බුදය විසඳී ඇතැයි ප්‍රකාශ කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ඇසිය යුතුය.

ඊට අමතරව අපරාධ වැඩි වෙමින් තිබේ. පසුගිය වසරේ සිට සෑම මාසයකදීම 95000 දෙනකු ලංකාවට හැර ගොස් ඇත. 2022 වසරේ රටින් පිටව ගිය පිරිස ලක්ෂ 11 කි. වෛද්‍යවරු 1200 ක් රට හැර ගොස් සිටිති. අද වන විටත් වෛද්‍යවරු හතර පස් දෙනෙක් දෛනිකව සේවය හැර යමින් සිටිති. මේ වන විට හෙද හෙදියන් දෙදහසකට වැඩි පිරිසක් වෙනත් රටවලට ගොස් ඇත. මා යළිත් ප්‍රශ්න කරන්නේ අර්බුදය විසඳී ඇතැයි ප්‍රකාශ කරන්නේ කෙසේද කියාය. ශ්‍රී ලංකාව තවදුරටත් කඩා වැටෙමින් තිබේ.

ශ්‍රී ලංකාව අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නමැති දඬු කදේ ගසා තිබේ. ලෝකයේ සිටින හොඳම මහ බැංකු අධිපතිවරයකු යැයි කියන වත්මන් මහ බැංකු අධිපතිවරයා රට බංකොළොත් බව පසුගිය වසරේ ප්‍රකාශ කළේය. එබැවින් අපට තවදුරටත් විදේශීය ණය ගෙවිය නොහැකි යැයි ද ඔහු කීවේය. එහෙත් හෙතෙම ඒ සඳහන කළේ මෙරටේ ද්වීපාර්ශ්වීය විදේශ ණය ගෙවිය හැකි වෙනත් ක්‍රමවේද යෝජනා වෙමින් තිබියදීය. රට බංකොළොත්ය යන ප්‍රකාශය කර ඔවුහු මේ රට යම් සිර කිරීමකට ලක් කළහ. 1815 දී බ්‍රිතාන්‍යයන්ට රට පාවා දීම සඳහා අස්සන් කළ උඩරට ගිවිසුමට පසු යළිත් රට පාවාදීම වෙනුවෙන් කළ මහා කුමන්ත්‍රණය වශයෙන් මේ ප්‍රකාශය හඳුනා ගත හැකිය.

පාකිස්තානයේත් ආර්ථික අර්බුදයක් ඇති විය. එහිදී එරට ණයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මූල්‍ය අරමුදල පාකිස්තානයට දැනුම් දුන්නේ රට බංකොළොත් බව ප්‍රකාශ කරන ලෙසය. එහෙත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළේය. එසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයට ණය මුදලක් අනුමත කළේය.

ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඩොලර් හිඟයයි. එසේනම් අප පළමුව කළ යුත්තේ ඩොලර් ඉපැයීමයි. එහෙත් රටේ දැන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ නිසා ඩොලර් ඉපැයීමක් සිදු වන්නේ නැත. ඩොලර් ඉපැයීමට නම් රටේ නිෂ්පාදනය වැඩි කර භාණ්ඩ වැඩියෙන් පිට රට යැවිය යුතුය. 2023 වසරේ පළමු මාස හයේ දී අපේ අපනයන ආදායම දැක්වෙන්නේ ඩොලර් කෝටි 550 ක් වශයෙනි. එහෙත් අප ඩොලර් කෝටි 850 ක පමණ මුදලක් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය කර තිබේ. ඒ අනුව, අදාළ කාලයේ දී ඩොලර් බිලියන 3 ක පමණ වෙළෙඳ හිඟයක් වාර්තා විය. 1977 සිට අඛණ්ඩව වෙළෙඳ හිඟයක් පැවතිණි. ඩොලර් අර්බුදයක් උද්ගත වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ සන්දර්භයේ අපේ ආනයන වියදම්වලට වඩා අපනයන ආදායම් ඉහළ නංවා ගත යුතුය. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතුය. එහෙත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවක් නොපෙනේ.

ආර්ථික අර්බුදය උග්‍ර වීමට බලපෑ අනික් සාධකය නම්, රුපියල් අර්බුදයයි. 1977 වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24 ක් පැවතියේ රාජ්‍ය ආදායම්ය. මේ වන විට එය සියයට 6 දක්වා අඩු වී තිබේ. ඊට හේතු වූයේ බදු ප්‍රතිපත්තියයි. එයින් රජයේ බදු ආදායම් පහළ ගිය අතර රජයේ බදු නොවන ආදායම් ද අඩු විය. මෙවැනි පසුබිමක බදු ආදායම් මෙන්ම බදු නොවන ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රමවත් සාධාරණ වැඩපිළිවෙළකට යා යුතුය. මහා ධන කුවේරයන් ඉලක්ක කරගත් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එහෙත් එවැන්නක් ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට වෘත්තිකයන් පීඩාවට පත් වන ආකාරයේ ආදායම් බදු පැනවීමක් පමණක් සිදු කර තිබේ. එයින් බුද්ධිගලනය වේගවත් වී තිබේ.

ආර්ථික අර්බුදයේ මූලික ප්‍රශ්න දෙක එනම්, ඩොලර් හිඟය හා රුපියල් අර්බුදය විසඳීමට අදාළ නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව පැහැදිලි වේ. ඉහත දී සඳහන් කළ අයුරින් මේ අර්බුදයේ තෙවන පැතිකඩ ණය අර්බුදයයි. ණය අර්බුදය තීව්‍ර වූයේ ජාත්‍යන්තර පොලී මුදලාලිලාගෙන් ලබා ගත් විදේශ ණය හේතුවෙනි. එම ණය අර්බුදය විසඳනවා වෙනුවට තවදුරටත් ණය ගනිමින් සිටියි. මේ තත්ත්වය සමාන කළ හැක්කේ දියවැඩියා රෝගියකුට ප්‍රතිකාර වශයෙන් සීනි ලබා දීමකටය.

ආණ්ඩුව ගෙන යමින් සිටින ක්‍රියාමාර්ග අපැහැදිලිය. එනිසා මේ අර්බුදය විසඳෙන පාටක් පෙනෙන්නට නැත. අර්බුදය විසඳීමට අවැසි ඵලදායක ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්නා බවක් දිස් වන්නේ නැත. එබැවින් සිදු විය හැක්කේ ප්‍රශ්නය තවත් උග්‍ර වීමක් පමණි. ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය එකිනෙකට බැඳී තිබේ. පළමුව අප මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණිය යුතුය. එසේ නොවුණ හොත් දේශපාලන අර්බුදය විසඳෙන්නේ ද නැත. 1978 සිට මේ දක්වා ක්‍රියාත්මක වන ආර්ථික මූලෝපාය වෙනුවට වෙනත් විකල්ප ආර්ථික මූලෝපායයක් රටට අවශ්‍ය වේ. ඊට අදාළ වැඩපිළිවෙළක් පදනම් කරගත් දේශපාලන පෙළගැස්මක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පෙනී සිටී.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (1)

අපනයන ආදායම් නැංවීමේ ක්‍රමවේද ඕනෑ

chandima Monday, 25 September 2023 03:13 PM

අපරටේ අපනයන සමාගම් කියන්නේ මිලියන් ගණන් වලින් අපනයනය කරනවා නම් විතරයි. ඩොලර් දෙතුන්දාහක බඩු අපනයනය කළාට පයිසෙකට ගණන් ගන්නේ නැහැ. කිසිම බදුවිරාමයක්වත්, පහසුකමක්වත් ඒ ගොල්ලන්ට නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 604 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 960 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 139 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 388 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site