සමාජය හරිම විසමාකාරයි. පුංචි දරුවන්ට එයාලගේ ලෝකය විඳින්න අද සුවදායික පරිසරයක් නැහැ. තන පුඩුවේ එල්ලිලා කිරි උරන කිරිකැටියා ඒ අත්දෙකෙන්ම මරලා දාන්නේ, අම්මා තමන්ගේම කුසින් වදාපු දියණිය ගණිකා වෘත්තියේ යොදවන්නේ, මොන හිතකින්ද?
පුංචි පැටවුන්ගේ ජීවිත බිලිගන්න බලාගෙන ඉන්න රාක්‍ෂ ඇස්වලින් මේ සමාජය පිරිලා.
මේ පුංචි ළාමක හිත්වලට දැනෙන වේදනාව වචනවලට පෙරළන්න බැහැ. තමන්ගේ ලෙයින් උපන් දරුවා සමාජ අපරාධකාරයෙක් විදිහට සමාජය ඉදිරියේ හංවඩු ගහන්න තරම් අම්මෙක් ක්‍රියාකරන්නේ කොහොමද? හැබැයි අවාසනාවකට වගේ එහෙම අම්මලා මේ සමාජයේ ඉන්නවා. නුවන්ගේ අම්මත් දරු දුක නොතේරුණු වැදීමට පමණක් මවක් වුණ ගැහැනියක්.
නුවන් මේ ලෝකෙට බිහි වෙන්නේ වාසනාවන්තව වුණත් කරපු මොකක්දෝ අවාසනාවකට එදා මේ පුංචි කොලු පැටියගේ හුරතල් මූණ බලන්න ශල්‍යාගාරයේ දොර ළඟ අප්පච්චියෙක් හිටියේ නැහැ.
නුවන් උපදිනකොට නුවන්ගේ තාත්තා හිටියෙ විදේශගත වෙලා. විටින් විට නිවාඩු ගතකරන්න ලංකාවට ආවත් නුවන්ට තාත්තාගේ උණුහුම විඳින්න ලැබුණේ හරිම අඩුවෙන්. උපදිනකොට නොදැකපු මුහුණක් දැනුම් තේරුම් වෙනකොට දැක්කම නුවන් පුදුම වෙලා බලා සිටියා. ඒත් ඒ ලේ සුවඳටවත් තාත්තාගේ සෙනෙහසටවත් බොරු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
නුවන්ගේ තාත්තා කොච්චර කල් රට හිටියද?
අම්මාගෙන් දික්කසාද වෙද්දිත් තාත්තා හිටියෙ රට. මම පුංචි කාලේදිත් තාත්තා අවුරුදු දෙකකට වතාවක් නිවාඩුවට ආවා. අම්මා රැකියාව කළේ විදේශ කටයුතු සම්බන්ධ ආයතනයක. තාත්තා ලංකාවට ආවත් ගෙදර පිරිච්ච සතුටක් වෙනුවට මම දැක්කේ මට ඇහුණේ රංඩු විතරයි. අම්මා එක්ක රංඩු වෙන හැම වෙලාවකම තාත්තා මට බැන්නේ කාලකණ්නි කමට ඉපදුණු එකා කියලා. පුංචි කාලේ ඉඳලම ආදරේ කියන දේ මට ලැබුණේ ගොඩක් අඩුවෙන්. ආත්තම්මගෙයි, සීයගෙයි ආදරේ තමයි මම වින්ඳේ. අම්මා වැඩට ගියහම මම හැදුණේ වැඩුණේ ආත්තම්මා ළඟ.
ඒත් ඒ කොච්චර දේවල් කළත් අම්මා ආත්තම්මටයි, සීයටයි සැලකුවේ නැහැ. අම්මා නිතරම ආත්තම්මයි සීයයි එක්ක රණ්ඩු වුණා. මම හිතනවා තාත්තා අම්මා එක්ක ගොඩක් රණ්ඩු කළේ ආත්තම්මටයි සීයටයි සලකපු නැති නිසා. ඒත් අම්මා කොච්චර නපුරුකම් කළත් ආත්තමයි සීයයි තාත්තාට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ දෙන්නා අම්මගේ නපුරුකම් පුදුම විදිහට දරාගත්ත දෙන්නෙක්.
මට ටික ටික තේරෙනකොට අත්තම්මයි සීයයි තාත්තලගේ මහ ගෙදර ගියා. ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. අම්මා උදේට වැඩට යනවා. මම ඉස්කෝලේ ගිහින් සමහර දවසට ආත්තම්ම ළඟට යනවා නැත්නම් ගෙදර ඇවිත් තනියම ඉන්නවා. ඔය විදිහට තමයි ජීවිතේ ගෙවුණේ.
එක පාරක් තාත්තා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ ගෙදර ලොකු රණ්ඩුවක් වුණා. ඒ රණ්ඩුව දිගින් දිගටම තිබුණා. අම්මත් තාත්තට දෙවැනි වුණේ නැහැ. පස්සේ ආයෙම අත්තම්මයි සීයවයි තාත්තා අපේ ගෙදර ගෙනල්ලා නතර කළා. නතර කරලා ආයෙම තාත්තා රට ගියා. ඔය කාලෙදි අම්මා ගැන විවිධ කථා ගම පුරා පැතිරෙන්න ගත්තා.
මොනවද ඒ...?
ආච්චිටයි සීයටයි සලකන්නේ නැහැ. තාත්තා ලංකාවට එන්නේ නැහැ. එයා වෙනත් විවාහයක් කරගෙන වගේ විවිධ කථා ගමේ පැතිරුණා. ඉස්කෝලේ ගියහම යාළුවෝ මගෙන් එක එක දේවල් අහන්න ගත්තා. සමහර අවස්ථාවලදි මම ගොඩක් අසරණ වුණා. ඔය අතරතුර දවසක්. එක පාරටම ගෙදරට පොඩි දරුවෙකුත් වඩාගෙන ගෑනුකෙනෙක් ඇවිත් ආත්තම්මයි, සීයටයි හොඳටම බැණලා බැණලා යන්න ගියා.
එදා ඒ ගෑනු කෙනා බැන්නේ අම්මට. කෝච්චියේ වැඩට යන කෙනෙක් එක්ක අම්මගේ සම්බන්ධයක් තිබිලා. අම්මා එදා හවස ගෙදර ආවම ආත්තම්මා අම්මට නොසෑහෙන්න බැන්නා. ආත්තම්මා පොළවේ හැපි හැපි ඇඬුවා. මේ වෙච්ච දේවල් එක්ක මට ඉස්කෝලෙ ළමයි හිනාවෙන්න ගත්තා.
මහ මිනිස්සු කරන වැරදිවලට විඳවන්න වුණේ මේ පුංචි කොල්ලට. ඒත් තැලෙන්න පොඩිවෙන්න හිතක් නුවන්ට ඉතිරි වෙලා තිබුණේ නැහැ.
ඊට පස්සේ මොකද වුණේ?
පස්සේ අම්මට වැඩට යන්න පවා බැරි වුණා. ඒ ගෑනු කෙනා අම්මගේ කාර්යාලයත් සොයාගෙන ගිහින් රණ්ඩු වෙලා තිබුණා. කවුරුහරි මේ දේවල් තාත්තට කියලා. තාත්තා මාස තුනක් ඇතුළත ලංකාවට ආවා. තාත්තා ලංකාවට ආවේ අම්මට නොදන්වා. ඇවිත් තාත්තා ගොඩක් රණ්ඩු කළා. ප්‍රශ්නයේ අවසානය වුණේ තාත්තා අම්මගෙන් වෙන් වෙන්න තීරණය කළා.
තාත්තා ආත්තම්මට මාව භාරකරලා නැවත විදේශගත වුණා. ඒත් උසාවියේදී මාව භාර වුණේ අම්මට. ඒත් මම නිතර හිටියේ ආත්තම්මලා ළඟ. අම්මා හිතුවෙ මේ දේවල් තාත්තට කියලා තාත්තාව ලංකාවට ගෙන්නුවේ ආත්තම්මා කියලා. ඒ පීඩනය හිතේ තදකරගෙන ඉඳපු අම්මා. දවසක් ආත්තම්මා එක්ක රණ්ඩු කරලා ආත්තම්මව තල්ලු කළා. එදායින් පස්සේ ආත්තම්මා ලෙඩ ඇඳට වැටුණා. ලෙඩ ඇඳේ කාලයක් ඉඳලා, මාව ජීවිතේ අතරමං කරලා මගේ ආත්තම්මා සදහටම ඇස් පියාගත්තා. මගේ අම්මා තාත්තා නැති වුණාට වඩා තනිකමක් එදා මගේ ජීවිතේට දැනුණා. තාත්තටත් අපි ගැන සොයන්න ඒ තරම් ඕනකමක් තිබුනේ නැහැ. මට ඉගෙන ගන්න සල්ලි එව්වා. ඒ ඇරෙන්න ලොකු මව්පිය සෙනෙහසක් මට දැනුණේ නැහැ. ආත්තම්මගේ මරණයෙන් පස්සේ මම ආයෙම අම්මා ළඟට ගියා. තාත්තගෙන් වෙන් වෙලා මාස අටක් විතර යනකොට අම්මා වෙනත් විවාහයක් කරගත්තා.
එතකොට ආත්තම්මගේ මරණයට තාත්තා ආවේ නැද්ද?
නැහැ. ලොකු තාත්තතලා තාත්තට දැනුම් දුන්නා. මරණයට මුදල් එව්වා මිසක් තාත්තා ආවේ නැහැ. අම්මා ආත්තම්මගේ මිනියවත් බලන්න ගියේ නැහැ. ආත්තම්මත් නැති වෙලා ලොකු කාලයක් ගියේ නැහැ. අම්මා නැවත විවාහ වුණා.
අම්මා දෙවැනි විවාහය කරගත්තට පස්සේ ඔයා...?
මම හිටියේ අම්මා ළඟ. බාප්පා කොළඹ වැඩපළක රියදුරෙක් විදිහට තමයි සේවය කළේ. අපට තේ ඉඩම් තියෙනවා. පස්සේ බාප්පා රැකියාවෙන් ඉවත් වෙලා ඉඩම්වල වැඩකරගෙන හිටියා. බාප්පා හරිම සැරයි. අම්මත් සැරයි. මට කාගෙන්වත් පිළිසරණක් තිබුණේ නැහැ.
බාප්පා මුල් කාලෙ නම් මට හොඳට සැලකුවා. ටික දවසක් ගියාට පස්සේ මට හරියට වෙනස්කම් කළා. පොඩි දේටත් බාප්පා මට හරියට ගැහුවා. මාව පුච්චලත් තියෙනවා. අම්මා ඒ කිසිම දේකට බාප්පට මුකුත් කිව්වෙ නැහැ. මගේ අම්මා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් සමහර අවස්ථාවලදි බාප්පගේ බොරු කථා අහලා මට නොසෑහෙන්න වෙනස්කම් කළා. ඒත් මම ඒ දේවල් හැමදේම දරාගෙන හිටියා. බාප්පා මගේ ඉස්කෝලේ ගමන කඩන්න ගොඩක් උත්සාහ කළා. ඒත් මගේ යාළුවෝ මට ඉගෙන ගන්න උදව් කළා.
නුවන්ගේ අම්මගෙ දෙවැනි විවාහයේ ස්වාමියා ඒ කියන්නේ නුවන්ගේ බාප්පා නුවන්ට සැලකුවේ දාසයකුට වගේ. නුවන්ගේ අත් දෙකේ කරගැට එනකම් ඉඩම්වල වැඩකළා. ඒත් කවදාවත් බාප්පා නුවන්ගේ හොඳක් දැක්කේ නැහැ. බාප්පගේ කෝටු පාරට තැලුණේ රිදුණේ අතපය නෙමෙයි නුවන්ගේ පුංචි හිත.
ඒ දවස්වල පොඩි වරදටත් බාප්පා මට හරියට තරවටු කළා. සමහර දවස්වලට ඉස්කෝලෙ යන්න එපා කියලා ඉඩම්වල වැඩ කරන්න කිව්වා. මට ගෙදර වධකාගාරයක් වෙලා තිබුණේ. මට බාප්පයි අම්මයි වෙනස්කම් කරනවා කියලා ගොඩක් අය දැනගෙන හිටියා.
එතකොට තාත්තා නුවන්ට කථා කළේම නැද්ද?
නැහැ. අම්මට මාසෙට ගාණක් එව්වා. මට ඉගෙන ගන්න කියලා. අම්මා කිව්වා උඹ තාත්තා එක්ක කථා කරනවානම් තාත්තා ළඟටම පලයං කිව්වා. ඒත් තාත්තා මාව භාරගත්තේ නෑනේ.
සමහර දවස්වලට මගේ යාළුවන්ගේ අම්මලා ඉස්කෝලේ ළඟට ඇවිල්ලා කවලා ඒ යාළුවන්ව පන්ති යවනකොට. මම කඩෙන් මොනවාහරි කාලා තනියම පන්ති ගියා. මගේ ඔළුව අතගාලා ඉගෙන ගනින් කියන්න කවුරුන් හිටියේ නැහැ. ඒත් මම ඉගෙන ගන්න ආසයි. ඒ දේවල් දකිනකොට දන්නෙම නැතුව මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. අනුකම්පා කරන්න ගොඩක් අය හිටියා. ඒත් මම වෙනුවෙන් කථා කරන්න කවුරුත් හිටියේ නැහැ.
මට යාළුවෝ ආශ්‍රය කරන්න, කථා කරන්න මේ දේවල් වලට අම්මා ඉඩ දුන්නේ නැහැ. මම යාළුවෙකුගේ ගෙදර ගියත් අම්මා හවසට ආපු ගමන් බාප්පා අම්මට කේලම් කිව්වා. කිසිම හේතුවක් නැතුව මට නිතරම ගැහුවා. දවසක් මගේ අතින් ගෙදර වතුර බටයක් කැඩුණා. එදා බාප්පා මාව ගහක බැඳලා දිමි ගොට්ටක් දැම්මා. එදා දළු කඩන්න ආපු නැන්දා කෙනෙක් තමයි මාව බේරගත්තේ. මේ වගේ තාඩන පීඩන විඳගෙන මම කැඩි කැඩි ඉස්කෝලෙත් ගියා. ඔය විදිහට ඉද්දි අම්මාට බබෙක් ලැබෙන්න හිටියා.
ඒ දවස්වල මට ඉස්කෝලේ ළමයි හරියට හිනා වුණා. එතකොට මම ලොකුයි. මට හොඳට තේරෙනවා. අම්මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා යාළුවො මට එක එක කථා කිව්වා. අම්මට නංගියෙක් හම්බ වුණා. මං හිතුවා ඊට පස්සෙවත් බාප්පගේ තාඩන පීඩන අඩුවේවි කියලා. නංගියා ගෙදරට ඇවිත් වැඩි දවසක් ගියේ නැහැ අම්මටත් මාව මහා බරක් වුණා. කොච්චර බාප්පගේ කෙනෙහෙලිකම් තිබුණත් අම්මගේ ආදරේවත් තියේවි කියලා හිතුණා.
ඒත් අම්මටත් මාව එපා වුණා. නුවන්ගේ අම්මගේ පුංචි කැදැල්ලට පුංචි නුවන්ට ලොකු කරදරයක් වුණා. නුවන්ගේ තාත්තා එක්ක තියෙන තරහ අම්මා පිටකළේ නුවන්ගේ පිටින්.
නුවන් කියන්නේ ඒ අම්මගෙම ලෙයින් උපන් දරුවෙක්. තව දරුවෙක් ඉපදුණා කියලා ඇයට එක දරුවෙක් බරක් වෙන්නේ කොහොමද? දෙන්නා දෙමහල්ලෝ අතරේ ඕන තරම් ඝට්ටන තියෙන්න පුළුවන්. ඒත් අහිංසක දරු පැටව් ඒකට පලි නෑ.
මට කරන වෙනස්කම්වල අඩුවක් තිබුණේ නැහැ. ඒ දේවල් දරාගෙන හිටියේ මට යන්න තැනක් නැති නිසා. සාමාන්‍ය පෙළ ලියලා කොහේ හරි රස්සාවක් සොයාගෙන යනවා කියලා තමයි හිතාගෙන හිටියේ. ගෙදර කරදර දරාගන්න බැරුව ගෙදරින් පැනලා යන්න හිතුණු වාර අනන්තයි. මම හිතුවා නංගි ටික ටික ලොකු වෙනකොටවත් බාප්පා නැතත් අම්මා වෙනස් වේවි කියලා.
නංගි ටික ටික ලොකු වෙනකොට බාප්පට ඉඩම්වල යන්න මම ඉස්කෝලේ නොගිහින් නංගිව බලාගත්තා. ඔය විදිහට ගුටි කකා ගෙදර වැඩයි, ඉඩම්වල වැඩයි කරගෙන මම හිටියා.
දවසක් මම හීනෙකින්වත් නොසිතපු දේකට මුහුණ දෙන්න වුණා. එදත් අම්මා වැඩට ගිහින්. බාප්පා ඉඩමේ ඉඳලා ඇවිල්ලා මිදුලේ මොකක්දෝ කරකර හිටියා. නංගිත් මිදුලේ හිටියේ. මම බාප්පාගෙන් ඇහුවා කඬේ ළඟට ගිහින් එන්නද කියලා. ඕනේ නෑ ගෙදරට වෙලා හිටපං කිව්වා. හිටි හැටියෙම නංගි අඬාගෙන මගේ ළඟට ආවා. නංගි අඬනවා විතරයි මුකුත් කිව්වෙ නැහැ.
අම්මා ආවට පස්සේ බාප්පා මොනවදෝ මහ හයියෙන් කියනවා ඇහුණා. එක පාරටම අම්මා මට අතට අහුවුණ පොල්ලකින් හොඳටම ගැහුවා. මම ඇහුවේ එක දෙයයි. ඇයි මට මෙහෙම ගහන්නේ කියලා විතරයි. තිරිසනෙකුට වගේ මට ගැහුවා. මගෙන් ඇහුවා උඹ නංගිට මොනවද කළේ කියලා. මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. නංගි බයවෙලා එයා කථා කළේම නැහැ. මම නංගිට කරදරයක් කළේ නැහැ කිව්වත් මම කියන දෙයක් අම්මා පිළිගත්තේ නැහැ. බාප්පා එකහෙළාම කිව්වා නංගිට මම අතවර කරනවා දැක්කා කියලා. මාව පොලිසි අරන් ගියා. හැම තැනකදිම මගේ ඇත්ත එයාලට බොරුවක් වුණා. මම කුඩු ගහනවා, අරක්කු බොනවා කියලා බාප්පා ඒ වෙලාවේ මට චෝදනා කළා. මගේ හිත දන්නවා හැමදාමත් ඇත්ත මොකද්ද කියලා.
කොහොමත් අම්මටයි, බාප්පටයි මාව වදයක් වෙලා තිබුණේ. මගේ හෘද සාක්‍ෂිය දන්නවා මම නිර්දෝෂයි කියලා. නංගිට මොනව හරි දෙයක් වුණා නම් ඒ බාප්පගෙන්.
මම වැරදිකාරයෙක් විදිහට සමාජය ඉදිරියේ හංවඩු ගැහුණත් මගේ හිත දන්නවා මම නිර්දෝෂයි කියලා. ඒ අපායෙන් මිදිලා මම මේ ගෙවන ජීවිතේ සැපයි කියලා මට හිතෙනවා.
ඇත්තටම නුවන් නිර්දෝෂයි. මේ වගකීමකින් යුතුව කියපු දේ අප දැනගන්න ලැබුණේ නුවන්ට සෙවණ දෙන ඒ වටපිටාවෙන්මයි. ඇත්තටම නුවන්ගේ නංගි අතවරයට ලක් වුණේ කා අතින්ද? මේ වනතුරුත් ප්‍රශ්නාර්ථයක්. නුවන් නිර්දෝෂයි කියන්න අපට සාක්‍ෂි නැතිවුණත් හෘද සාක්‍ෂිය ඒ හැමදේකටම වඩා ප්‍රබලයි.
ඒ කොහොම වුණත් අද නුවන් මේ විදිහට ජීවත් වෙන්නේ මව්පියන්ගේ වරදින්. සමාජය ඉදිරියේ අපරාධකාරයෙක් විදිහට ලේබල් කරල. තමන්ගේ ලෙයින් උපන් දරුවෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?
මව් පදවිය ලැබුවා කියලා හැම ගැහැනියෙකුටම අම්මා කෙනෙක් වෙන්න බැහැ. නොකළ වරදකට නුවන් අද සමාජයෙන් කොන් වෙලා. අහිංසක දරුවන්ගේ ජීවිත මේ විදිහට අඳුරු කරන්න එපා. ඔබ ඔබේ සතුට සොයනවා සේම අසරණ වෙන දරු පැටව් ගැනත් මොහොතක් සිතන්න.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපරාධ ලේබලය ඇලවුණු අහිංසකයා
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 01 March 2016 11:03 AM
යම් සීද්ධියකදි දරුවන්ගේ සාක්ෂි ප්‍රබලයි කියලා තමා අපිනම් අහල තියෙන්නේ එත් මෙතැනදී දරුවාගේ.... අසරණ කමට නොමග ගිය අම්මගේ සහ කුරිරු බාප්පාගේ සාක්ෂි වලින් දරුවාව වැරදි කරුවෙකු කරන්න තරම් නීතිය සාහසික උනාදෝ කියලා හිතෙනවා. (ර)
ලලිත් පෙරේරා Friday, 26 February 2016 07:34 AM
මේ වගේ දරුවන්ගේ තොරතුරු දානවා නම් ලොකු දෙයක්. මම ආසයි උදව් කරන්න. (ර)
ටෙනිසන් Thursday, 25 February 2016 10:44 PM
හොඳ කතාවක් (නි)
සත්‍යා Friday, 26 February 2016 09:22 AM
මෙන්න ටෙලි නාට්‍ය කරන්නේ ඕන කතාවක් සමාජයට (හේ)