IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අභයභූමිය වැනසූ අයට දැඩි දඬුවම් ඕනෑ

කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියේ උණුසුම පහව යාමටත් පෙර තවත් ඩෝසර් කිරීමක් වාර්තා වී තිබේ. පුත්තලම ආනවිලු‍න්දාව අභයභූමියේ කොටසක සිදුකෙරුණු මෙකී ඩෝසර් කිරීමෙන් අක්කර 04කට ආසන්න තෙත් භූමියක් මුඩු බිමක් බවට පත්ව ඇත. රාජසභා මණ්ඩප පමණක් නොව අභයභූමි වුවද ඩෝසර් කිරීම ශ්‍රී ලංකා ජනරජයේ සාමාන්‍ය පුරවැසියකුට නම් කළ හැකි ක්‍රියාවක් නොවන බවත් එවැනි ක්‍රියාවක් පසුපස බලවත් දේශපාලන හස්තයක් තිබිය යුතු බවත් දෙකේ පන්තියේ ළමයකුගෙන් වුවද දැනගත හැකිය.

ආනවිලු‍න්දාව ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන්ද ප්‍රකාශයට පත්කර තිබෙන අභයභූමියකි. මේ වටිනා පරිසර සම්පත තමන්ගේ බල ප්‍රදේශයට කොතරම් වාසනාවක්දැයි නොදන්නා අමනයකුට හැර වෙන කිසිවකුටත් නම් ඒ මතින් ඩෝසර යවා එය විනාශ කිරීමට අනුබල දීමක් ගැන සිතීමට පවා නොහැකි බව අපගේ වැටහීමය. රටටම වැදගත් පරිසර පද්ධතියක් විනාශ කොට එම ප්‍රදේශය ඉස්සන් කොටු ගැසීමට සුදුසු යැයි තීරණය කළ හැක්කේ කාගේ නීතියකට අනුවද? මේ ගැන සොයාබැලීමට කිසිදු බලධාරියකු එදා එම ප්‍රදේශයේ නොසිටියේද? මේ ප්‍රශ්නවලට පිළිතුර වහාම සොයාගත යුතු යැයි අපි සිතමු.

හෙක්ටයාර 1357ක විශාලත්වයකින් යුත් ආනවිලු‍න්දාව අභයභූමියක් බවට පත්කර ඇත්තේ 1997 වසරේදී බව සඳහන්ය. සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවකගේ සංචාරක ගමනාන්තයක් වන සුන්දර ආනවිලු‍න්දාව 2001 වසරේදී ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක් වශයෙන් නම්කරනු ලබන්නේ එහි ඇති පාරිසරික වැදගත්කම හේතුවෙනි. ජාත්‍යන්තරය පවා පිළිගත් මේ පාරිසරික වැදගත්කමට වඩා ඉස්සන් කොටු ගැසීම වැදගත් යැයි සිතන අසමජ්ජාතීන් කිහිප දෙනකු සහ ඔවුන්ට තල්ලු‍ව දුන් බලවතා විසින් සිදුකර ඇත්තේ බරපතළ පාරිසරික අපරාධයකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් වාර්තාවේ. එය යහපත් පියවරකි. එහෙත් සිද්ධියක් වීමෙන් පසුව, විනාශයකින් පසුව පියවර ගන්නවාට වඩා වැදගත් වන්නේ එවැනි විනාශකාරී ක්‍රියා සිදුවීම වැළැක්වීමට කල්තබාම පියවර ගෙන තිබීමය. එය නොසිදුවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ රටටම වැදගත් පරිසර කලාපයක් විනාශ මුඛයට යාමය. ඇතැම් විට එම හානිය කවදාවත් ප්‍රතිපූරණය කිරීමට නොහැකි වීමට ඉඩ තිබීම ලොකුම කනගාටුවයි.

ඉස්සන් කොටු ගැසීම සඳහා ආනවිලු‍න්දාවට මීට පෙරද විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිට ඇතැයිද ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එම පිරිස් එකී ස්ථාන හැරගොස් ඇතැයිද වයඹ පරිසර හඬ සංවිධානයේ පරිසරවේදී අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කර තිබිණි. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභයභූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි සැකයක් පවතින බවද ඒ මහතා කියා තිබිණි. අපගේ සැකයද ඒ මහතාගේ සැකය හා සමපාත වන බව ප්‍රකාශ කළ යුතුය.
දේශපාලනඥයන් මෙවැනි කඩප්පුලි වැඩවලට සහයෝගය දෙන්නේ තම හෙංචයියන් තමන්ට ලබාදෙන දේශපාලන සහයෝගයට ප්‍රතිචාර වශයෙන් බව අපි දනිමු. එහෙත් පරිසරය රැක ගැනීමේ වැදගත්කමට මුල් තැනක් ලබාදෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි ජනාධිපතිවරයකු යටතේ මෙවැනි ක්‍රියාවලට කිසිසේත්ම ඉඩක් තිබිය යුතු නැත. ඒ බව ආනවිලු‍න්දා විනාශය පසුපස සිටින දේශපාලන හස්තයද දැන සිටීම වැදගත් යැයි අපි සිතමු.

ආනවිලු‍න්දාව සීමාව තුළ කාලයකට පෙර අටවා තිබූ ඉස්සන් කොටු 1997 දී අභයභූමියක් වශයෙන් නම් කෙරුණු විට අත්හැර දමා තිබිණි. එහෙත් එම බිම්වල විනාශයට පත්ව තිබූ කඩොලාන යළි හටගෙන ඇත්තේ ඉතා අවම වශයෙන් බව පරිසරවේදීහු පෙන්වා දෙති. මේ විනාශය සිදුවීමෙන් අභයභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා 2003 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයේ වළවල් හාරා ඉස්සන් කොටු ගැසීම වැළැක්වීමට කැබිනට් තීන්දුවක්ද ගෙන තිබේ. එසේ තිබියදීත් දේශපාලන වශයෙන් බලවත් පිරිසක් විසින් සිදුකරන ලද මේ විනාශය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව කනගාටු වෙනවා හැර වෙන කුමක් කරන්නද?

අප එසේ අසන්නේ දේශපාලන වශයෙන් බලවත් පිරිස්වල වුවමනාවට සිදුකෙරෙන විනාශකාරී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවන බවට රටේ මතයක් පවතින නිසාය. මේ ඩෝසර් කරන ලද භූමියේ යළි කඩොලාන වැවෙන තුරුම සිද්ධියට වගකිවයුතු සැබෑ වැරදිකරැවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නූනොත් ඒ ගැන පුදුම විය යුතු නැත. අපේ රටේ ස්වභාවය එයයි.  කෙසේ වුවද දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ ගැන අපි සතුටුවෙමු.

පරිසරය බිල්ලට ගනිමින් තම හෙංචයියන්ගේ බඩවියත සරිකර දීමට උත්සාහ කරන දේශපාලනඥයන්ට අප කියන්නේ දැන්වත් මේ විනාශකාරී ක්‍රියා නැවැත්විය යුතු බවය. පරිසරය අයිති රටේ ජනතාවට මිස දේශපාලනඥයන්ට නොවේ. ඒ බව නොදන්නේ නම් ඒ ගැන දන්නා අයගෙන් හෝ විමසා දැනගන්නැයි පවසමු.

(***)

 



අදහස් (0)

අභයභූමිය වැනසූ අයට දැඩි දඬුවම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 25 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 84 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 33 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 45 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 212 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 401 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site