IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මීට අදාළව ශ්‍රී ලංකාව සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට හැකි වූ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව එම ගිවිසුම ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ සහ විධායක මණ්ඩල විසින් අනුමත කරනු ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ඊළඟ ණය වාරිකය වන ඩොලර් මිලියන 333 ක මුදල ලබාගත හැකි බව ද ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer)  ප්‍රමුඛ එම නියෝජිත පිරිස මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වූහ. ඒ අතරම මෙම සම්මුතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස් පිළිබඳ සාරාංශයක් සහ එහි ස්ථාවරය ඇතුළත් ප්‍රකාශනයක් ද නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකාව විස්තීර්ණ ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවල ප්‍රගතිය පිළිබඳව මෙන්ම මෙවර සමාලෝචනයේ නිගමන පිළිබඳව ද විස්තර එම ප්‍රකාශනයේ ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර ජාතික ජන බලවේගය සහ එහි නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳව කර ඇතැයි කියන ප්‍රකාශ පිළිබඳව මේ දිනවල විවිධ මත සහ අදහස් ප්‍රකාශ වී තිබේ. නව ජනාධිපතිවරයා මැතිවරණවලට පෙර පැවැති රැස්වීම්වලදී “වැල්පාලම” පිළිබඳව කළ ප්‍රකාශ බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. ඔහු පසුගියදා ප්‍රකාශ කළේ වැල්පාලමෙන් එතෙර වීම සඳහා ආරම්භ කළ ගමන මේ වනවිට සැහෙන දුරක් ගොස් ඇති බැවින් එම ගමන අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාමට තමන් සූදානම් බවය.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු එය නැවතත් තහවුරු කළේය. “අප ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වැනිදා එළඹීමට හැකිවෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගනු ලබන එකඟතාවේ ඉතාමත් තීරණාත්මක පියවරක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවලට අනුව කටයුතු කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව තම රජයේ අවසන් නිගමනය පිළිබඳව ද නැවත වරක් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

“අවුරුදු දෙකකට ආසන්න කාලයක් ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ පැවැති සාකච්ඡාවල අවසන් අදියර තමයි අපි බලයට පැමිණෙන විට තිබුණෙ. ඒ නිසා එම යෝජනා හොඳ ද, නරක ද, වාසි ද, අවාසි ද, කියන එක දැන් විවාද කිරීමෙන් ඵලක් නැහැ. එය තමයි අප හමුවේ තිබෙන යථාර්ථය” ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි ලෙස අන්තරගත කර තිබේ. ඒ අනුව ගිවිසුම මගින් දැනට ඇති කරගෙන තිබෙන එකඟතා ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත. එහි වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව එමගින් නිශ්චිතවම හා පැහැදිලිවම ප්‍රකාශ වී තිබේ.

දේශපාලන වේදිකාවල කවරාකාරයේ අදහස් හා මතවාද ප්‍රකාශව තිබුණ ද, මෙහි දී ඉතා වැදගත් වන්නේ රටේ ආර්ථික ස්ථායිතාව වහා ගොඩ නගා ගැනීමයි. ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති පරිදි දැනට ඇති කරගෙන තිබෙන එකඟතා වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම් එම සාකච්ඡා සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇත. මෙම සමාලෝචනය වුව ද මැතිවරණ නිසා ප්‍රමාද වූ බව ජනාධිපතිවරයාගේ කථාවෙන්ම සනාථ වේ. එබැවින් වැල්පාලමේ දිගටම ගමන් කරමින් මාණ්ඩලික මට්ටමේ එකඟතාවලට පැමිණීම හැඳින්විය හැක්කේ එය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා හිතකර තීරණයක් බවයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගත් ගිවිසුම අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බව ද අයි.එම්.එෆ්. ප්‍රකාශනයේ සඳහන් වේ. 2024 ජුනි මාසයෙන් අවසන් වූ කාර්තු හතර තුළ සියයට හතරක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබේ. එය සිදුව ඇත්තේ සියලු‍ ආර්ථික අංශවල වර්ධනය ඉහළ යාමත් සමගිනි. මූර්ත උද්ධමන අනුපාතයේ සාමාන්‍යය සියයට 0.8 ක් සහ මධ්‍යගත උද්ධමන අනුපාතයේ සාමාන්‍යය සියයට 3.8 ක මට්ටමක පැවැති අතර මේ වසරේ තුන්වැනි කාර්තුවේ දී නිල විදේශ සංචිතය ද ඩොලර් බිලියන 6.4 දක්වා ඉහළ ගියේය. 2024 ඔක්තෝබර් මාසය අවසානයේ  දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග මෙසේ විදේශ සංචිත ඉහළ ගොස් තිබේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයේ මූල්‍ය කටයුතු ද ශක්තිමත් වී තිබේ.

2024 ජූලි අවසානය දක්වා අයි.එම්.එෆ්. හා ශ්‍රී ලංකා එකඟතා සහ ඉලක්ක සියල්ල සම්පූර්ණ කර තිබේ. 2024 සැප්තැම්බර් දක්වා එකඟතා ඉලක්කවලින් සමාජ සුබසාධන වියදම් හැර අනෙකුත් ඉලක්ක සම්පූර්ණ කර ඇත. 2024 ඔක්තෝබර් දක්වා වූ ව්‍යූහාත්මක වෙනස්කම් සමහරක් නියමිත පරිදි ද, තවත් සමහරක් ප්‍රමාදවීම් සහිතව ද ක්‍රියාත්මක කර තිබේ. මැතිවරණ හේතුවෙන් සමහර ඒවා ප්‍රමාද වී ඇත.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද එම වාර්තාව කරුණු ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමත්, ණය ප්‍රතිව්‍යූහගතකරණයත් ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඒ සඳහා වගකීමෙන් යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාම ද අවශ්‍ය වේ. මෙම වැඩසටහනේ එකඟතාවලට අනුව 2025 අයවැය ලේඛනය සකස් කිරීමත්, ආදායම් එක්රැස් කිරීමේ ක්‍රියාවලිය හා වියදම් සීමා කිරීමත් අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ආදායම් පරිපාලන ක්‍රියාවලිය සහ බදු ගෙවීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීම ද අවශ්‍ය වේ. මුල්‍ය ආදායම් බැහැරවීම වැළැක්වීමටත්, දූෂණ අවදානම අඩු කිරීමටත්, මුල්‍ය සීමා පවත්වාගෙන යාමටත්, අලු‍ත් බදු විරාම වැළැක්වීමටත් කටයුතු කළ යුතුය. ඉන්දන සහ විදුලිය බිල නියම කිරීමේ දී පිරිවැය ආවරණය කිරීමත්, රජය සතු ව්‍යාපාරවල ණය ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කිරීමෙන් මුල්‍ය අවදානම අවම කර ගැනීමට හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කර ඇති ඉහත සඳහන් නිර්දේශවලින් පැහැදිලි වන්නේ දැනට ඇතිකර ගෙන තිබෙන එකඟතා ඒ අයුරින්ම ක්‍රියාත්මත කිරීමට රජයට සිදුවන බවයි. ඉදිරියේ දී ඉන්ධන හෝ විදුලි බිල විශාල ලෙස අඩුකිරීමේ හැකියාවක් ඇති බවත් එම ප්‍රකාශයෙන් ගම්‍ය නොවේ. බදු පරිපාලනය මෙන්ම බදු පදනම වැඩිකර ගැනීමට ද රජයට සිදුවේ. ඒ අතරම අලු‍තෙන් බදු විරාම ලබා නොදිය යුතු බවට ද ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් තුළ උපයනවිට ගෙවීමේ බද්ද අඩු කිරීම, බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම ආදිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබේ ද යන ප්‍රශ්නය ද පැන නගී. රාජ්‍ය ආදායම් සීමා කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කර ඇති බැවින් රාජ්‍ය අංශයේ වැටුප් කිරීම සඳහා වුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බව ද පෙනේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ අඩු ආදායම්ලාභීන් දැඩි පීඩාවකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. ඔවුන්ගේ සුබසාධනය සහ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා සමාජ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. එවැනි ඇතැම් ව්‍යාපෘතිවලට අරමුදල් සපයනු ලබන්නේ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසිනි. එසේ වුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා වූ වියදම් නියමිත ආකාරයෙන් සිදුකර නැති බව ද පෙන්වා දී තිබේ. අස්වැසුම පිළිබඳව එම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. එවැනි සමාජ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව වුව ද, මැතිවරණ කොමිසම එවැනි මුදල් ප්‍රදාන ලබාදීම තහනම් කළ ආකාරය පිළිබඳව මා විසින් මීට පෙර මෙම තීරයේ කරුණු ඉදිරිපත් කරන ලදී. මෙම පසුබිම තුළ පැහැදිලි වන කරුණක් වන්නේ මැතිවරණ කොමිසම වැනි ආයතන විසින් ගනු ලබන එවැනි ක්‍රියාමාර්ග රටේ ආර්ථිකයට හානිකර මෙන්ම ණය ගිවිසුම් හා එකඟතා අහෝසි වීමට පවා හේතුවිය හැකි බවය. එබැවින් එවැනි තත්ව ඇතිවීම වළක්වා ගැනීම සඳහා පක්ෂ, විපක්ෂ සියලු‍ දේශපාලන පක්ෂ මැතිවරණ කටයුතුවලට අදාළ ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා කර එකඟතා ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ.

එවැනි සාකච්ඡා හා සම්මුති අවශ්‍ය වන්නේ මෙම ගැටලු‍ව පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැඩි ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක. “මේ දුෂ්කර අවස්ථාවේ දුප්පතුන් සහ ආර්ථික අපහසුතාවලට පත්ව සිටින පිරිස ආරක්ෂා කිරීම රජය සතු ඉතා වැදගත් වගකීමකි. සමාජ වියදම් සම්බන්ධයෙන් එකඟතාවලට අනුකූලව අවම වියදම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උත්සාහය දෙගුණ කිරීම ද ඉතා වැදගත් වේ” යැයි එම වාර්තාවේ සඳහන් වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම සමාලෝචනය පිළිබඳ ප්‍රකාශනය අවසන් කරමින් සඳහන් කර ඇති පහත ප්‍රකාශය පිළිබඳව වගවිය යුත්තන්ගේ මෙන්ම මහජනතාවගේ ද අවධානය යොමුවිය යුතු යැයි සිතමි.

“නව රජයට ලබා දී ඇති ජන වරමින් දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම, ආර්ථික විශ්වාසය යළි ගොඩ නැංවීම සහ ආර්ථික වර්ධනය වඩාත් ශක්තිමත් කිරීම යන සියල්ල ඇතුළත් වන පරිදි පාලන ප්‍රතිසංස්කරණ නැවත පණ ගැන්වීම සඳහා අවස්ථාව උදාවී ඇත.” එම ජනවරමට අනුව කටයුතු කිරීම සියලු‍ දෙනාගේම වගකීම වේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 134 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 497 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 239 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 859 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 387 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 275 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 118 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 268 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 876 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site