IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අය-වැය යෝධ පිම්මක්

ජනාධිපතිවරයාගේ අටවැනි පදවි ප‍්‍රාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස අද පැවැත්වේ. 2005 සිට ඔහු හා මේ ආණ්ඩුව මෙතෙක් පැමිණි ගමන් මඟ හා අද දවසේ සුවිශේෂී බව ගැන විශේෂ විග‍්‍රහයක් කරන වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහගේ මතවාදයි මේ. ප‍්‍රශ්නය:- 2005 ජනපතිවරණය මේ රටේ ඉදිරි ගමන තීන්දු කළ තීරණාත්මක එකක්. වැඩි ලක්ෂ 1 1/2 ක සුළු සුළු ඡන්ද සංඛ්‍යාවකින් එම ජනපතිවරණය ජයගත් මේ ජනාධිපතිවරයා එතැන් සිට පැමිණි ගමන් මෙඟ් අටවන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරන දිනය අදයි. එතුමාගේ හා මේ ආණ්ඩුවේ ගමන් මඟ දෙස හැරී බැලීමේදී ඔබට ඇතිවන හැඟීම් කෙබඳුද? පිළිතුර:- අද ඉතා සුවිශේෂ දිනයක්. එනම් මේ රටේ දෙවැනි නිදහසේ නිර්මාතෘවරයාවූ ජනාධිපතිතුමා රටේත් ජනතාවගේත් වාසනාවට ඔටුනු පළන් දිනය අදයි. අප නිදහස ලබලා වසර 64 යි. ඉන් පළමු වසර 30 අපි ගත කළේ සමාජවාදයද ධනවාදයද කියන දෙකෙන් යා යුතු මාවත සොයා ගන්නයි. ආර්ථිකයට අදාළ ඒ ගමන් මඟ 77 දී විසඳුණා. ඊළඟ වසර 30 අප ගත කළේ ත‍්‍රස්තවාදයෙන් අනේකවිධ ප‍්‍රහාර ලබමිනුයි. මේ රට ඒ ආර්ථික දේශපාලන සමාජ අස්ථාවර බව තුළ එක තැන පල්වුණා. රටේත් ජනතාවගේත් අවසන් හුස්ම පොද පිටවෙන්න ඔන්න මෙන්න තිබියදීයි ජනාධිපතිතුමා රට බාර ගත්තේ. රටේ ඒකීය හා ස්වාධීන බවත් ඒ වෙනකොට අවිනිශ්චිත තත්ත්වයක තිබූණේ. විදෙස් අත පෙවීම් පේනතෙක් මානයේ තිබුණේ. එවැනි අභියෝග මැද පසුගිය වසර 07 තුළ එතුමා ගමන් ගත් මග හා ඒ තුළින් රටට, ජනතාවට ලැබුණු නිදහස, ඒකීය බව හා ආර්ථික දියුණුව බලන කොට දේශපාලන භේදයෙන් තොරව සියලූ දෙනා ඒ ගැන සතුටු වෙනවා. 2005 යන්තම් ජයගත් එතුමා ඉන්පසුව පැවැත්වූ සියලූ මැතිවරණ කප් ගහල දිනන්නේත් ඒ තුළයි. සමස්ත ජනතාව එතුමාට ප‍්‍රණාමය පුද කරන බවයි මම කියන්නේ. එඩිතර හා දැක්මක් ඇති නායකයකු ලෙස රටේ ප‍්‍රමුඛතා හඳුනාගෙන ඒ සියලූ අභියෝග ජයගනිමින් වේගවත් ගමනක් යාම දැන් සිදු වෙනවා. එතුමා බාරගත් ආණ්ඩුවට ශක්තිමත් බහුතරයක් තිබුණෙත් නෑ. ආණ්ඩුවට වඩා විපක්ෂයට පිරිස වැඩියි. කතානායකත් එජාපයේ කෙනෙක් හිටියේ. මමත් කෙහෙළිය ඇමැතිතුමාත් මුලින්ම සහායට ආවේ ඒ තුළයි. ඔළුවයි රටයි ජනතාවයි බේරගෙන නැගී සිටියේ එතුමා සතු දේශපාලන විඥානය නිසයි. පොළොවේ පය ගහලා දේශපාලනය කරන පළල් බුද්ධියක්, දැක්මක් හා සංවේදීකමක් තිබූ නිසයි. මේ රටේ හිටපු නායකයන් කොටින්ට එරෙහි යුද්ධය කීපවිටක් කළත් එය ඉදිරියටම ගෙන යාමේ අධිෂ්ඨානය හා එඩිතරකම මේ ජනාධිපතිතුමාට වගේ ඔවුන්ට තිබුණෙ නෑ. මෙතුමාගේ සාර්ථකත්වයට පදනම එයයි. රණවිරුවන් පවා වෙනදා නොතිබූ ආත්ම ශක්තියෙන් දෑස්, අත්පා ලේ මෙන්ම ජීවිත පුදා යුද්ධයට කැපවුණේ සැබෑ නායකයකු තමන් පසුපස ඉන්නා නිසයි. ආයෝජකයො දේශපාලන ස්ථාවර බවක් සාමයක් නැති තැන්වල මුදල් ආයෝජනය කරන්නෙ නෑ. අධිෂ්ඨානය තිබේ නම් ත‍්‍රස්තවාදය මර්දනය කළ හැකි බව පෙන්වා ලෝකයට නව පිටුවක් එක් කළේ ජනාධිපතිතුමායි. අද ආයෝජකයො, සංචාරකයො ලංකාවට එන්න පොරකන්නේ ඒකයි. එදා හදිසි නීතිය සම්මත කරලා යුද්ධය පවත්වා ගන්නත් ඇතැම් පක්ෂවලට වඳින්න වුණා. අද ආණ්ඩුව 2/3 දක්වා වර්ධනය වුණේ මෙතුමාගේ ගමන් මඟ නිවැරැදි බව ජනතාව පිළිගන්නා නිසයි. අනික එදා 2005 දී වර්ධන වේගය තිබුණේ 5% මට්ටමෙයි. අද එය 8% තරම් වර්ධනය වෙලා. දියුණු රටවල වර්ධනය පහළ බසිද්දී හා ලෝක ආර්ථික අවපාත මැද ලංකාව මේ වර්ධනය ලබා ගන්නේ ත‍්‍රස්තවාදය නඟා සංවර්ධනය වේගවත් කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර නිසයි. උතුරු නැගෙනහිර හා රටේ යටිතල 2005 වෙනකොට දුබල අඩියක තිබුණේ. ඒත් අද මාර්ග, අධිවේගී මාර්ග, ගමේ කොන්ක‍්‍රීට් පාරවල්, පාලම්, ගුවන් පාලම් වැනි යටිතල කොච්චර දියුණු වෙලාද බලන්න.     ප‍්‍රශ්නය:- ඒත් උතුරු නැගෙනහිර ප‍්‍රමාණවත් ප‍්‍රගතියක් නැති බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ලවීම රටට හිතකරද? පිළිතුර:- සමහරු කෑගහන්නේ අපි කළ වැඩ දැකල නෙවෙයි. මෑතක උතුරු නැගෙනහිර ගිය කවුරුවත් ප‍්‍රශංසා මිසක් චෝදනා කරන්නෙ නෑ. උතුරු නැගෙනහිර කිසිම යටිතල පහසුකමක් වසර 30 කින් නොලැබුණු හා තිබූ දේවලූත් විනාශ වූ තත්ත්වයක් තිබුණේ. යුද්ධයෙන් පසු සියලූ දේ මුල ඉඳලා ඉදිකළේ මේ ආණ්ඩුවයි. එදා රටේ ආදායමට වඩා ණය ගෙවන්න වැය වන තත්ත්වයක් තිබුණේ. දැන් ඒකත් සුබවාදී අතට පෙරළිලා තියෙන්නේ. විදේශ සංචිත මාස 2-3 කට තිබුණේ. ඒත් අද විශාල වර්ධනයක් තියෙනවා. ඒ මතයි දැන් ආර්ථිකය දියුණු කරමින් රට සංවර්ධනයට යොමු වෙලා ඉන්නේ. උතුරේ ආර්ථික වර්ධනය ගිය වසරේ 22% යි. දැන් 27% යි. ඒත් රටේ ආර්ථික වර්ධනය මේ වසරේ මඳක් අඩුවේවි. ලෝක ආර්ථික අවපාත, ස්වභාවික විපත් මැද පෙරදිග යුද්ධ ඊට හේතුයි. උතුරු නැගෙනහිර ආර්ථික දියුණුව හා අප කළ කී දේවල් පිටරට සමුළුවල මම කතා කරන කොට ඔවුන් පුදුම වෙනවා. යුද්ධයෙන් අවතැන්වූ ලක්ෂ 03 ට අමතරව තවත් ලක්ෂ 02 ක ජනතාවක් අපි පුනරුත්ථාපනය කරලා තියෙනවා. ඒ පළාත් දෙකේ යටිතල 93% ක් සම්පූර්ණ කළා. මේක ප‍්‍රාතිහාර්යයක් නෙවෙයි. කැපවීමෙන් කළ දෙයක්. නිවාස විතරක් ලක්ෂ 1 1/2 ක් විතර හැදුවා. පාලම්, පාරවල්, පාසල්, රෝහල්, ජලය, විදුලිය, දුරකතන, ටී.වී. කුලූනු ආදී සියල්ල කළා. සුළු ජාතීන් බහුතරයක් ඉන්න නැගෙනහිර බලය ආණ්ඩුවට ලැබුණෙත් ඒ තුළයි. දැන් සංචාරකයො ලක්ෂ 10 ක් එන රටක් මේක. හෝටල් කාමර 25,000 ක් තිබෙනවා. උද්ධමනය ඉහළ යාමේ වේගය පහළ දාලා තියෙන්නේ. ඒකපුද්ගල ආදායම ඩොලර් 2800 දක්වා දෙගුණ කර තිබෙනවා. ලක්ෂ ගණනක් රැකියා දීලා තියෙනවා. රාජ්‍ය සේවය විතරක් අද ලක්ෂ 13 කට වැඩියි. ලෝක මිල ඉහළ ගිය භාණ්ඩ තිබුණත් රටේ ආර්ථිකය හා ජීවන වියදම සමබර කරගෙන ඉදිරියට යන්න අපි සමත්වී තිබෙනවා. ඒ විතරද විදුලි බලාගාර. වරායවල්, ගුවන් තොටුපොළවල්, ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ, අධිවේගී මාර්ග පවා හදල තියෙනවා. ජලය, විදුලිය 90%ක් ජනතාවට ලබාදී තිබෙනවා. ජනතාව අද විපක්ෂය දිහා බලන්නේවත් නැත්තේ ඒ තුළයි. බිම්බෝම්බ වර්ග කි.මි. 2500 ක ඉවත් කළා. තව සුළු ප‍්‍රදේශයකයි ඉවත් කරන්න තියෙන්නේ. කොටි ත‍්‍රස්තවාදීන් පවා පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. ළමා සොල්දාදුවන් 548ක් පුනරුත්ථාපනය කරලා මවුපියන්ට බාර කරලා අධ්‍යාපන පහසුකම් සලසා දී තිබෙනවා. එදා උතුරෙන් දකුණටත් මෙහෙන් එහාටත් යන්න බෑ. අද රටක් ලෙස යාවෙලා තියෙන්නේ. ඒ නිසා මේ ජනපති 2005 දී පත්වීම මේ රටේත් සියලූ ජාතීන්ට අයත් ජනතාවගේත් අනාගතය පරපුරෙන් වාසනාවට සිදුවූ දෙයක් ලෙසයි මම දකින්නේ.     ප‍්‍රශ්නය:- ගෙවී ගිය රාජපක්ෂලාගේ වසර 07 ක ප‍්‍රගතිය ගැන ඔබ පළල් විග‍්‍රහයක් කළා. යුද්ධය අවසන්වූ වහාම ජනතාවට සහන දෙන බව කිව්වත් අද බඩු මිල යුද්ධ කාලෙටත් වඩා වැඩියි. සැබෑ පඩි වැඩිවීම් හෝ ආදායම් ඉහළ යාම් නැති බවට මැසිවිලි නගනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් ගැන රට ඒකාධිපතිත්වයකට යන බවට මත පළවෙනවා. ආණ්ඩුවේ නාස්තිය හා හොරකම ඉහළ බවත් ජනතාවට සහන දිය හැකි ප‍්‍රකෝටි ගණනක් සැමරුම් උත්සව සඳහා වියදම් කිරීම සදාචාරාත්මක දැයි අහන අයට දෙන්න පිළිතුරක් තිබේද? පිළිතුර:- ජනාධිපතිතුමාට නෙවෙයි ශක‍්‍රයාටවත් සියලූ දෙනා සතුටු වෙන විදියට අයවැය දෙන්න වැඩ කරන්න බෑ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳින් තිබෙන බවට එකම සාක්කිය ආණ්ඩුව විවේචනය කරන්න නිදහස තිබීමයි. ඒකාධිපති රටවල එහෙම පසුබිමක් නෑ. තම දේශපාලන න්‍යාය තුළ ඉඳලා වාසි පිණිස නොයෙක් විවේචන කරනවා. ඒක වැරදියි කියල මම කියන්නෙ නැතත් මධ්‍යස්ථව බලන්නේ නැති අය ගැන ජනතාව තකන්නේ නැති බව නම් ඔප්පු වෙලා ඉවරයි. එවැනි අවිධිමත් විග‍්‍රහ ගැන ආණ්ඩුවත් කලබල වෙන්නේ නැහැ. එදා හා අද රට තුළ තිබෙන තත්ත්වය සුබවාදීද නැද්ද කියන එක විතරයි ජනතාව බලන්නේ. ඇමෙරිකානු ජනපතිවරණයේත් මුලික සාධකය වුණේ විදෙස් පිළිවෙත නෙවෙයි. ආර්ථිකයයි. එදාට වඩා අද ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටිලා කියලා විපක්ෂය පෙන්නන්න හැදුවත් අන්තිම මාසය තුළ රට ඉහළට එසවීමට හැකිවූ බව ඔබාමා සංඛ්‍යාලේඛන හරහා පෙන්වා දුන්නා. රට දැන් හොඳ අතට හැරෙන්න පටන් අරන් නිසා ඊට සහාය දිය යුතු බව ජනතාව තීන්දු කළා. ලෝක ආර්ථික කඩා වැටීමේ බලපෑම ලංකාවටත් දැනුණා. ඒත් මේ ආණ්ඩුවේ හැකියාව නිසා එය අර්බුදයක් දක්වා ඔඩු දුවන්න ඉඩ නොදීම අපේ ජනතාව ලැබු අස්වැසිල්ලක්. ලක්ෂ ගණන් රැකියා නැතිවෙන්න ගත්තා නම්, කෑම හිඟ වුණා නම් තත්ත්වය හිතලා බලන්න. ඇමෙරිකාවටත් වඩා ලංකාව ශීඝ‍්‍රයෙන් හොඳ අතට හැරෙන්න ගත්තේ ත‍්‍රස්තවාදය පරාජයක් එක්කයි. ලබන වසර 02 තුළ අද පවතින යම් ආර්ථික ගැටලූත් නැති කරන්න අප සමත් වෙන බව ස්ථිරයි. ජනතා ආදායම් අද ඉහළ නැගලා. මා යටතේ පාලනය වන තේ හා රබර් මිල වාර්තාගත ලෙස ඉහළ නැගලා. ජනතා ආදායම් හුඟක් ඉහළ ගිහින්. ඒත් ඇතැම් අයට ජීවන බර ගැටලූ තිබෙනවා. ඒවාත් සමනය කරන තීරණ රැුසක් ආණ්ඩුව අරන් තියෙනවා. අද පවත්වන්නේ රටේ දෙවැනි නිදහස උරුම කළ ජනාධිපතිතුමාගේ පදවි ප‍්‍රාප්තිය සැමරීමයි. ඒක ජාතික උත්සවයක. ඒකෙ වියදම ගැන කතා කිරීම සාධාරණ නැහැ. සටන් පාඨ නැති අයයි එවැනි දේ අල්ලා ගන්නේ. ඉතා චාම්ව මේ උත්සවය තියන්නේ. එතුමා ගැන ජනතාවට, රටට ලොකු ආඩම්බරයක් තියෙනවා. එතුමාට තව ධෛර්යය ලබාදීම ජාතියේ වගකීමයි. දේශයේ හා ජාතියේ අභිමානයයි අද සමරන්නේ.     ප‍්‍රශ්නය:- ජනතාවට දිනකට රු.25 ක් පඩි වැඩිකර ජනාධිපති දිනකට රු. ලක්ෂ 200ක් වෙන් කර ගැනීම, කිරිපිටි බද්ද ඉහළ දමා රේසිං කාර් බද්ද බින්දුවට බැස්සවීම ඇතුළු අයවැයේ තීන්දු රටට හා සාමාන්‍ය ජනතාවට බරක් නේද? පිළිතුර:- ලෝක ආර්ථික අවපාත මැද හැම දෙනාම සතුටු කරන රටේ සියලූ ප‍්‍රශ්න එක රැයෙන් විසඳන අයවැයක් ගේන්න පුළුවන් නායකයො කොයි රටේද ඉන්නේ. මේ රටේ විපක්ෂය සිල්ලර තර්ක ඉදිරිපත් කරලා අයවැයේ වචනයක් දෙකක් අල්ලලා වැරදි විග‍්‍රහ දෙනවා. ජනතාව ඒවා පිළිගන්නෙ නැති බවටත් විපක්ෂය තේරුම් ගන්නෙ නැහැ. ගිය අයවැය වලදී කියපු සාම්ප‍්‍රදායික දේම මිසක් මධ්‍යස්ථ විග‍්‍රහයක් දෙන්න විපක්ෂය ක‍්‍රියා නොකිරීම ගැන අපි කනගාටු වෙනවා. මේ අයවැය මධ්‍යස්ථව විග‍්‍රහ කළා නම් විපක්ෂයට මීට වඩා ලකුණු දාගන්න තිබුණා. මෙවර මගේ අයවැය කතාවේදී මම මේක සංසන්දනය කළේ 2005 සිට පැමිණි අයවැය එක්කයි. මේ අයවැය ආණ්ඩුවේ තවත් යෝධ ඉදිරි පිම්මක් - මේ අයවැයෙන් විතරක් ප‍්‍රාතිහාර්ය පාන්න බෑ. ඒත් රටක් ලෙස අපි ශීඝ‍්‍රයෙන් ඉදිරියට යන බව පිළිගන්න  ඕනෑ. 7% ට වැඩි ආර්ථික වර්ධනයක් ලැබීම හා ණය ප‍්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% මට්ටමට අඩු කිරීම, උද්ධමනය, විරැකියාව අඩු කිරීම, අය වැය පරතරය පාලනය කිරීම වගේ හිතකර දේවල් තමයි මේ අයවැයේ තියෙන්නේ. වර්තමානයටත් වඩා අනාගතය සුබවාදී කරලා ලොව දියුණුම රටක් ඉක්මනින් බිහි කරන්නයි අපි බලන්නේ. ඒත් විපක්ෂය පළල් විදියට ඒවා නොදැක අයවැයේ වචනයක් දෙකක් අල්ලාගෙන බොරු විරෝධයක් පානවා. රේසිං කාර්, දිනකට රු. 25 යි, ජනාධිපතිතුමාගෙ වියදමයි විතරක් අල්ලලා කතා කරලා ඔවුන් ලකුණු කපා ගන්නවා. ජනාධිපතිතුමාට තවම දෙස් විදෙස් තර්ජන තියෙනවා. ආරක්ෂාව හා වෙනත් කටයුතු තර කළ යුතු නැද්ද? එතුමා විෂයයන් කීයක වගකීම් ඉටුකරනවාද? අනික ලංකාවේ පඩි දෙන්නේ දිනකට නෙවෙයි. මාස් පතා බවත් විපක්ෂයට මතක් කරනවා. අනික අමාරුකම් මැද රු. 1,500 ක පඩි වැඩිවීමක්, විශ‍්‍රාමිකයන්ට රු. 500ක්, ගොවි ණය, පොලී කැපීම, කුඩා ව්‍යාපාරිකයා වැට්වලින් නිදහස් කිරීම, පාසල් දරුවන්ට සපත්තු, නිල ඇඳුම් ලබාදීම, තේ හා රබර් වගාවට සහනදීම හා ඉහළ දැමීම, උගතුන්ට විශේෂ දිමනා, ජූලි වර්ජකයන්ට ගෙවීමත් යටිතල දියුණුවට වගේම අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මයට විශාල ප‍්‍රතිපාදන වෙන් කිරීම මේ අයවැයේ කරල තියෙනවා. විපක්ෂය ඒවා ගැන කතා නොකිරීම පුදුමයක්. ජනතාව එදාට වඩා බුද්ධිමත්. හාල් සේරුවට, පාන් ගෙඩියට ආණ්ඩු පෙරළපු ජනතාවක් අද ලංකාවේ නෑ. හැමදේටම වරුද්ධ වන නොවෙයි නරක දේට විතරක් එරෙහි වන විපක්ෂයට විතරයි අනාගතයක් තියෙන්නේ.     ප‍්‍රශ්නය:- යුද්ධ කාලේ වගේම අදත් රටට එරෙහි චෝදනාවලට ජිනීවා ඇතුළු ලොව පුරා පළිහ අල්ලන්නේ ඔබයි. ළඟදී ජීනීවාවල ලංකාවට අදාළව පැවැති විශ්ව සමාලෝචනයේදී රටවල් 98ක් අතරින් බහුතරය ලංකාවට ප‍්‍රහාර එල්ල කිරීම සුබවාදීද? ඔවුන් ගෙනා යෝජනා 210න් 100 ක් ලංකාව ප‍්‍රතික්ෂේප කළේ ඇයි? පිළිතුර:- මෙතැනදි කාටවත් බොරු කරන්න බැහැ. බොරු කළොත් මමත් අහුවෙනවා. ඒ වෙබ් එක බැලූවාම කාටවත් ඇත්ත තේරේවි. රටවල් 98 න් 7-8 ක් හැර අනිත් අය කවුරුත් පිළිගත්තා ලංකාව විශාල ප‍්‍රගතියක් ලබමින් දුරක් ඇවිත් ඉන්න බව. ඒ රටවල් කාටත් විනාඩි 1 1/2 බැගින් කතා කරන්න ලැබුණා. ලංකාවට ලැබුණු විනාඩි 70 න් 54 ක් මම කතා කරලා ලංකාව ලබා ඇති ප‍්‍රගතිය හා අපේ ඉදිරි සැලසුම් ඉදිරිපත් කළාම කාටවත් ඒවා ප‍්‍රතික්ෂේප කරන්න බැරි වුණා. සමහරු අපේ ප‍්‍රගතිය ගැන පුදුම වුණා. යුද්ධය ඉවර වෙලා තවම වසර 3 1/2 යි. ප‍්‍රාතිහාර්යය කරන්න බැරි නිසා අපට කාලය දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. ප‍්‍රශ්න නැහැ කියලත් අපි නොකියන බවත් මම කිව්වා. ඒ නිසා ළඟදි ජිනීවාහිදී රටට එරෙහි මඩ හෝදලා රටේ ප‍්‍රතිරූපය ලෙස නංවන්න අපට හැකි වුණා. ස්වාධීන රටකට පිළිගත නොහැකි යෝජනා අපි ප‍්‍රතික්ෂේප කළා.     ප‍්‍රශ්නය:- ජිනීවාහිදී සුබවාදී බවක් ඇතිවූ බව ඔබ කිව්වත් ලබන මාර්තුවේදී ලංකාවට එරෙහි දරදඬු යෝජනාවක් ජිනීවාවලට ඒමේ අනතුරක් තිබෙනවා. ලංකාව ගැන සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ඉන්දියාව, ස්පාඤ්ඤය හා බෙනීන් රට ඇතුළත් කමිටුව ගැන හා ලංකාවේ මානව හිමිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීම ගැන ආණ්ඩුව මීට වඩා උනන්දුවීම වැදගත් නැද්ද? අග‍්‍රවිනිශ්චයකාර තුමියට එරෙහි දෝෂාභියෝග ගෙන එමින්, අධිකරණ කොමිසමේ ලේකම්ට පහරදීම් කරලා, හිරකරුවන් ඝාතනය කරලා. ආණ්ඩුවම රටේ ප‍්‍රතිරූපය වනසන බවට සමහරු චෝදනා කරනවා නේද? පිළිතුර:- මොන රටේද ප‍්‍රශ්න නැත්තේ? මානව හිමිකම් රැකීම හා ප‍්‍රවර්ධනය ගැන යම් රටක් මධ්‍යස්ථව ලංකාව දිහා බැලූවොත් ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරන්න දෙයක් නොමැති බව පිළිගන්න වෙනවා. ඒ පැත්තෙන් අපට ප‍්‍රශ්නයකුත් නැහැ. මෙහෙ තත්ත්වයකට වුණත් අපට මුහුණ දෙන්න පුළුවන්. අපි ක‍්‍රියා කරල තියෙන්නේ ව්‍යවස්ථාවට එකඟවයි. පවතින වැරදි නිවැරදි කරගන්න එවැනි නීත්‍යනුකූල පියවරවලට යන්න වෙනවා. දෝෂාභියෝගය ආවේ ඒ පදනමෙන්.     ප‍්‍රශ්නය:- එතකොට අධිකරණ කොමිෂමේ ලේකම්ට පහර දුන්නෙත් ව්‍යවස්ථාවට එකඟවදැයි යමෙක් ප‍්‍රශ්න කළොත් මොකද කියන්නේ? ඒක පොලිසියට තවම සොයා ගන්න බැරි වුණේ ඊට ආණ්ඩුව සම්බන්ධ නිසාදැයි අහන අයත් ඉන්නවා නේද? පිළිතුර:- ලේකම්ට ගහපු එක ආණ්ඩුවේ එකවුන්ට් එකට දාන්න පුළුවන්ද? ඔය කතාව කියන්නේත් ආණ්ඩුවේ ප‍්‍රතිවාදීන්. ගැහුවෙ කවුද කියලා කඩිනමින් සොයා ගැනීම පොලිසියේ වගකීමක්. මේක ඉක්මනින් සොයාගත යුතු දෙයක්. ඉතින් ජිනීවාවලදී අපට එරෙහි යෝජනා ගේන්න යථාර්ථවාදීව නම් ඉඩක් නෑ. ඒත් විවිධ අයගේ දේශපාලනික න්‍යාය පත‍්‍ර අනුව යම් ක‍්‍රියා මාර්ග එන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න අපි සූදානම්. එඩිතර නායකයෙක්  ඉන්න නිසා අපි අභියෝගවලට බය නොවී මුහුණ දෙනවා. මුහුණ දීමේ ශක්තිය අපට තිබෙනවා.

වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ

සංවාද මෙහෙවර අශෝක ජයතුංග



අදහස් (0)

අය-වැය යෝධ පිම්මක්

අචිනි Wednesday, 21 November 2012 10:21 AM

අපිටනම් ඒ හැටි වැදගත් නැහැ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 01:58 AM

ඒ යෝධ පිම්ම පැන්නේ අහිංසක ජනතාවගේ ඇගට නොවැ. ඒකයි දුක. (නි)

:       0       0

නාමල් Tuesday, 20 November 2012 02:09 PM

වැඩක් නෑ කියලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 165 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 570 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 157 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 147 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 343 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 659 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site