ක‍්‍රිස්තු වර්ෂ 411 දී ලංකාවට පැමිණී චීන ජාතික පාහීයං හික්ෂුව මෙන්ම ක‍්‍රිස්තු වර්ෂ 1344 දී ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබ්න් බතූතාද රාජකීය භාණ්ඩාගාරය අගනා සුදෝ සුදු මුතුකැට වලින් පිරී තිබූ බව සටහන් කර තිබේ. එසේ නම් අරිප්පුවේ මුතු කැඞීම කෙරී තිබෙන්නේ ඒ තරම්ම ඈත අතීතයක සිටය.
තම රුවල් නැව සුළඟට හසුවී ලංකාවට සේන්දු වූ පෘතුගීසීහු ඊළඟට ලංකාවේ මුහුදු බඩ පෙදෙස් තම ග‍්‍රහණයට නතු කර ගත්හ. ඒ අනුව අරිප්පුවේ වෙරළද ඔවුන් සතු කරගත් පෘතුගීසිහු 1620 ගණන් වලදී අරිප්පුවේ බළකොටුවක් තනා ගත්තේය. හැබැයි එය කුඩාම කුඩා බළකොටුවකි. සේනාංක දෙකක් පමණක් රඳවා තැබීමට හැකි පරිදි කුඩාවට තැබූ මේ බළකොටුවේ ප‍්‍රධාන ගේට්ටුව තිබුණේ මුහුද දෙසිනි. හතර පැත්තම පෙනෙන පරිදි තැනූ බැලූම් කුළුණට නැගුණු විට පෙනුණේද මනස්කාන්ත දර්ශනයකි.
ඉදිරිපසින් මන්නාරම් බොක්කත්, උතුරු දෙසින් පෝක් සමුද්‍ර සන්ධියත් අනෙක් පැතිවලින් ලංකාවේ හරිත වර්ණ පොළොවත් මේ බැලූම් කුළුණට නැගුණුවිට දැක බලාගත හැකිවිය.
අරිප්පු බළකොටුව
අරිප්පුවේ බලකොටුව තනාගත් පසු කොන්ඩච්චි බොක්කේ මුතු බෙල්ලන් කැඞීම පෘතුගීසිහු, තම අතට ගත්හ. පෘතුගීසි ජාතික රිබෙයිරෝ සිය ලංකා ඉතිහාසය කෘතියේ එක් පරිච්ෙඡ්දයක් වෙන්කර තිබුණේ මුතු බෙල්ලන් කැඞීම ගැනම ලියා තැබීමටය.
මාර්තු මාසය ඇරඹෙන විටම අරිප්පුව මුතු කිමිදෙන්නන්ගේ ඔරු වලින් පිරී යයි. ඔරු එකක් දෙකක් නොවේ. දෙතුන්දාහකි. මේ ඔරු කන්දරාවේ අයිතිකරුවන් රටේ ප‍්‍රභූවරු, ක‍්‍රිස්තියානින් හා මරක්කලූන්ය. මේ හැම ඔරුවකම මුතු කිමිදෙන්නන් අටක්වත් සිටිති. මේ ඔරු හිමියන් ඊළඟට කරන්නේ මුතු බෙල්ලන් සිටින තැන් සොයාගැනීමයි. ඒ සඳහා මුහුදු පත්ලට කිමිදෙන්නට සිදුවෙයි.
නමුත් මුතු කැඞීම ආරම්භ කරන්නේ මාර්තු මස එකළොස්වෙනිදා පාන්දර හතරටය. ඒ හරියට නියමිත හෝරාවට විධානය ලැබීමත් සමඟය. තම තමන් තෝරාගත් ස්ථාන වලට යන ඔරු වල කිමිදුම්කරුවෙක් වහ වහා කිමිදෙමින් මුතු බෙල්ලන් කඩන්නට පටන් ගනියි. එක් කිමිදුම්කරුවකට මුහුදු පත්ලේ රැුඳී සිටිය හැක්කේ මිනිත්තු දෙකක් පමණි. හැකි තරම් බෙල්ලන් කඩාගෙන ඔරුවට එද්දී තවත් කිමිදුම්කරුවෙක් මුහුදු පතුලට යයි.
මේ අයුරින් ඔවුහු කඩාගන්නා මුතු බෙල්ලන් වෙරළෙහි ඔවුනොවුන් තෝරාගත් ස්ථානවලට ගෙනැවිත් ගොඩ ගසති. අපේ‍්‍රල් 20 වැනිදා මුතුබෙල්ලන් කැඞීමේ වාරය අවසන් වූ පසු දින නවයක් විවේක ගනිති. හේතුව මුතු බෙල්ලන්ට වහන මැසි කන්දරාව නිමව යා යුතුවිමයි. අපේ‍්‍රල් තිස්වැනිදාට තම තමන්ගේ මුතු අස්වැන්න නෙළාගෙන වෙළෙන්දුන්ට විකුණා දැමීම සිදුකෙරේ.
ලංකාවේ තවත් වෙරළබඩ ඉසව්වල මුතු බෙල්ලන් සිටියත් සිංහල රජ සමය කාලයේ මුතු බෙල්ලන් කැඩුවේ අරිප්පුවේ පමණය. ඊට හේතුව අරිප්පු මුහුද නොගැඹුරු වීමත් සංසුන්වීමත් විය යුතුය.
පෘතුගීසින්ගෙන් පසුව අරිප්පු බළකොටුව අයිති වූයේ ලන්දේසින්ටය. ඒ 1658 වසරේදීය. අරිප්පුවේ බළකොටුවට අලූතින් ගොඩනැගිලි එකතු කළ ඔවුහු බලකොටුව තරමක් විශාල කළහ.
මහනුවර රාජධානියේ සිංහල රජුගේ සිරකරුවකු බවට පත්ව සිටි ඉංග‍්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස් අරිප්පු බළකොටුවට ළඟාවූයේ ඔන්න ඔය කාලයේදීය. ඔහු එනවිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා අරිප්පු කොටුවේ නොසිටියද, බළකොටුවේ සිටි ලන්දේසීන්ගෙන් නොක්ස්ටත් ඔහු සමඟ පලා ආ මෙට්ලන්ඞ්ටත් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
ඊට හේතුව නොක්ස් ඒ මොහොතේ වීරයකු බවට පත්ව සිටීමය. කෲර ඒකාධිපතියකු වූ සිංහලේ රජුගෙන් මිදී පලා එන්නට එසේ මෙසේ ‘පුතෙකුට’ නම් හැකිවන්නේ නැත....
අනෙක් අතට මේ මිනිසා සතුව උඩරට රාජධානිය ගැන ඇති රහස් සංඛ්‍යාව අප‍්‍රමාණය. ඒ නිසාම නොක්ස් යනු සම්පතක් විය. බළකොටුවේ සිටි ලන්දේසීන්ට උඩරට තොරතුරු කියන්නටම නොක්ස්ට ලොකු කාලයක් ගතවිය.
මේ උඩරට රහස් නැතිනම්, තම අත්දැකීම් මොනතරම් අගනේදැයි නොක්ස් තේරුම් ගත්තේය. ඒ සියල්ල සටහන් තබන්නට ඔහු තීරණය කළේය. නොක්ස් ඒ මොහොතේම අරිප්පු ඇතුළු වයඹ වෙරළ තීරය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තේය. ඔහුගේ ඇස ගියේ එරිට්ටුකඞ්ඩුවේ පිහිටි උසැති වැලිකන්දටය. එය මුතු බෙල්ලන්ගේ කටු වලින් හැදුණු වැලිකන්දක් බව දැනගත් විට ඔහු පුදුමයට පත්විය.
අවුරුදු දහනවයකට කලින් ත‍්‍රිකුණාමලය වරායට පැමිණි දා පටන් උඩරට රජුගේ සිරකරුවකු ලෙස ජීවත්වෙමින් ‘‘කෑ මාර පරිප්පුව’’ ඔහු අරිප්පුවේ සිට සිහිපත් කළේය.
මේ හැම සිදුවීමක්ම ලියා තබන්නට සැලසුම් කළ ඔහු පොතේ නම ලෙස ‘‘සීන් සිලෝන්’’ යන්න සුදුසු බව තීරණය කළේය. ලන්දේසින්ගේ උදව්වෙන් ජකර්තාවටත් එතැනින් එංගලන්තයටත් යන්නට නොක්ස් පසුව සමත්විය.
ලන්දේසි බළකොටුවක්ව තිබූ අරිප්පුව ඊළඟට බි‍්‍රතාන්‍ය පාලනයට නතුවිය. ප්‍රෙඞ්රික් නෝත් මන්නාරම් පළාතේ බළකොටුවල පාලකයා බවට පත්වෙද්දි ඔහුගේ සුවිශේෂ අවධානයට යොමුවූයේද මුතු බෙල්ලන් කැඞීමයි. මුතු බෙල්ලන් කැඞීම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබීම නිසාම නෝත් අරිප්පු බළකොටුවෙහි නතරවී මේ කටයුතු ගැන සොයා බැලූවේය.
ඔහු තම නිල නිවෙස අරිප්පු බළකොටුව අද්දරින්ම ඉදිකරවා ගත්තේය.
ඔහුගේම සැලසුමකට අනුව නිර්මාණය කෙරුණු මේ නිල නිවෙසට තට්ටු දෙකක් අයත් විය. ඉන් යට තට්ටුවේ කාමර හතරක්ද උඩ තට්ටුවේ කෑම කාමරය සහ නිදන කාමරයද විය.
උඩුමහලට නගින පඩිපෙළ වූයේ නිවෙසේ හරි මැදිනි.
ග‍්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකෙරුණු මේ ගොඩනැගිල්ලේ අඩියකටත් වඩා පළල බිත්ති බැඳ තිබුණේ ගඩොල් වලිනි.
? නින්දෙන් පිබිදෙන නෝත් ඇඳෙන් බහින විටම ඔහුට පෙනෙන්නේ සුන්දර මුහුදු තීරයයි. රාත‍්‍රියට සඳ පහනේ නැහැවෙන සුන්දරම මුහුදු තීරය දෙස බලන විට මධුවිතෙන් සප්පායම් වූ නෝත්ට හිතෙන්නට ඇත්තේ ඔහු අරිප්පුවේ රජ්ජුරුවන් කියා විය යුතුය.
ඒ 1804 වසරේදී පමණය. කෙසේ වෙතත් පෙඞ්රික් නෝත් පසුකලෙක මුළු ලංකාවේම රජ්ජුරුවො බවට පත්වූයේය.
1807 වසරේදී ජේම්ස් කොර්ඩිනර් පියතුමා ‘‘ඩිස්ක‍්‍රිප්ෂන් ඔෆ් සිලෝන්’’ නමින් පොතක් ලීවේය. එහි ඔහු සඳහන් කළේ එවකට ලංකාවේ පිහිටි ලස්සනම ගොඩනැගිල්ල අරිප්පු වෙරළේ තැනූ මෙම නිල නිවෙස බවයි.
එදා මෙදා තුර කාලය වසර දෙසීය ගණනකින් පියමං කර තිබේ. එදා මුහුද අද්දර කඳු ගැටයක සාදා තිබූ මේ නිවස්නයේ උඩුමහල අද ඇත්තේ මුහුදු වෙරළ මතය.
මම පුංචි කාලේ මුහුද තිබුණෙ මීට අඩි පනහක් විතර එහායින් ඒත් අද මුහුද මෙතෙන්ටම ඇවිත්. මේ විදිහට මුහුද රට ඇතුළට එන්න ගත්තොත් මේ ගොඩනැගිල්ල තිබුණු තැනක් වත් හොයාගන්න බැරිවෙයි.
ප‍්‍රදේශයේ හිටපු ග‍්‍රාම නිලධාරිවරයකු බව කී අයෙක් පැවසුවේය.
මුහුදු ඛාදනයට විසඳුමක් සැපයිය යුතු බව ඔහුගේද අදහස විය.
නෝත්ගේ නිවහන සේම අරිප්පු බළකොටුවද අද කඩාවැටුණු ගොඩනැගිල්ලකට සීමාවී තිබේ. තැන තැන කැඩුණු බිත්තිවලින් සමන්විත මේ බළකොටුව ඇතුළේත් රූස්ස ගස්ය.
ප‍්‍රධාන ගොඩනැගිල්ලට ඔබ්බෙන් තිබෙන තවත් ගරාවැටුණු ගොඩනැගිල්ලකි. එහිද බිත්තිය මත පවා රූස්ස ගස් වැවී තිබේ.
අරිප්පු බළකොටුව පැවතියේ මුහුද අද්දරය. එහෙත් අපිට නම් පෙනෙන්නේ බළකොටුව වටකරගත් ගෙවල් සමූහයක් පමණි.
එසේනම් මුහුද කෝ? මම හාත්පස බැලීමි. අවසානයේ මුහුද හමුවිය. හැබැයි ඒ මීටර් සියයකටත් වඩා දුරකිනි. එසේනම් එදා අරිප්පු බළකොටුවට විශාල බිම්කොටසක් අයත්ව තිබෙන්නට ඇත. සේනාංක රඳවා තැබීමට ඉඩකඩ, පාසල, පල්ලිය, නිල නිවාස මෙන්ම කනත්තද පැවතියේ මේ බළකොටුව තුළමය. එහෙත් අද මේ කිසිවක නටබුන් දකින්නට නැත. අරිප්පුව ඒ තරමටම කාලයේ පරිප්පුවට අවනතවී තිබෙන පාටය.
එහෙත් මේ පොළොව යට එදා වළදැමූ ලන්දේසීන්ගේ මිනී වලවල් ආදිය ඉතිරිව පවතිනු ඇත. මන්නාරම් කොටුව හෝ වෙනත් ඉපැරැුණි බළකොටු මෙන් සුරක්ෂිතව නැති බැවින් අපිට අරිප්පුවේදී ඒ කිසිවක් හමුනොවේ.
එහෙත් අරිප්පු බළකොටුව තුළ සිටින විට හෙළිදරව් වූ තොරතුරු වලට වඩා බොහෝ රහස් මේ පොළව යට සැඟවී තිබෙන බවනම් අපට සිතුණි.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරිප්පු බලකොටුව...
වජිර කොඩිතුවක්කු Thursday, 14 May 2015 07:30 AM
කෙසේ වෙතත් හොඳ ලිපියක්. (හේ)
වජිර කොඩිතුවක්කු Thursday, 14 May 2015 07:47 AM
ඉතා හොඳ ලිපියක් (ම)
සොපී Saturday, 28 March 2015 03:53 AM
නිසි සංරක්ෂණයක් නැති නිසා දැන් නම් පරිප්පු නේද...? (ම)
ලසන්ත සිරිතුංග Saturday, 25 April 2015 06:04 AM
හොද තැනක්. ලස්සන පරිසරයක්. මෙතැන මම ගොඩ කාලයක් රාජකාරි කරා. හැබැයි මුතු බෙල්ලෝ නම් ඉතාමත් සුළුවෙන් තමයි දැක්කේ. (ස)
හේවාවිතාරණ Monday, 18 May 2015 07:33 PM
මහාචාර්ය එච්.සී.පී. බෙල් මහත්මයා අද දක්වා ජීවත්වුණා නම් මේවා රැකගන්න තිබුනා (නි)
නිමල් විජේසුරිය Saturday, 28 March 2015 11:19 PM
මේ අවට මුහුදේ සංචාරක ධීවරයෝ මසුන් අල්ලාටි. (නදී)