මහ බැංකුව පවසන පරිදි මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් රජයට විදේශ ණය ගෙවීමට ඇති අතර, ඉන් බිලියන 1.3ක් ගෙවා ඇත. ඒ අනුව තව ඩොලර් බිලියන 2.4ක් ඉදිරියේදී ගෙවිය යුතුය. ලංකාවේ විදේශ ණය ප්‍රශ්නය බරපතළය. ඊට හේතුව නම් ණය ගැනීම හා ණය යෙදීම කළමනාකරණය කර නොගැනීමය. මේ නිසා ණය ගෙවීමට අවශ්‍ය ආදායම් නැති වී යන තැනකට ලංකාව පත්ව ඇත.
විදේශ ණය ගෙවිය යුත්තේ විදේශ මුදල්වලිනි. ඒ නිසා විදේශ ණය ගෙවීමට නම් රටකට අපනයන ආදායමක් තිබිය යුතුය. එහෙත් අපේ අපනයන අංශය ඉතා දුර්වලය. වෙළෙඳ ශේෂයේ අගය ඉතාම වැඩිය. ආනයන පාලනය කරමින් ද්විපාර්ශ්වීය ණය ගනිමින් හා මහ බැංකුවේ ඇති සංචිත පාවිච්චි කිරීම මගින් මෙම ප්‍රශ්නය විසඳන්නට ප්‍රතිපත්ති සම්පාදකයන් උත්සාහ කළත් අවසාන විග්‍රහයේදී අප සිටින්නේ ණය ගෙවීමට අපහසු දැඩි අර්බුදයකය.
විදේශ මූල්‍ය වෙළෙඳපොළින් ණය ගැනීම් වෙනුවට රජය මේ වනවිට අනුගමනය කරන්නේ හිතවත් රටවලින් විනිමය හුවමාරු පහසුකම් ලබාගැනීමය. කෙටියෙන් කිවහොත් එයින් අදහස් වන්නේ මුදල් වර්ග දෙකක් හුවමාරු කරගැනීමය. එය රටවල් දෙකක් හෝ ආයතන දෙකක් අතර සිදුවිය හැකිය. පාර්ශ්ව දෙකකට ඒ ඒ මුදල් වර්ගවල තිබෙන අවශ්‍යතාව අනුව සිදුවන මෙම ගනුදෙනුව හැම අවස්ථාවකදීම ණයක් වන්නේ නැත. අපට අදාළව ගත්විට සිදුවන්නේ ලංකාවේ රුපියල් වෙනුවට ඇමෙරිකානු ඩොලර් හෝ චීන යුආන් වැනි මුදලක් ගැනීමය. මෙහිදී සිදුවන්නේ ණය ගැනීමක් නිසා කිසියම් කාලයකදී එය නැවත ගෙවීමේ කොන්දේසියකි. එමෙන්ම ගෙවිය යුතු පොලිය පිළිබඳ එකඟතාවක් ද ඇත. මෙය නිදසුනක් ඇසුරෙන් කිවහොත් අප බංගලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ගත්තත් ඔවුන්ට ශ්‍රී ලංකා රුපියල් අවශ්‍ය නැත. එනිසා මෙහි ඇත්තේ ණයකි. එම ණය මාස තුනක් ඇතුළත ගෙවීමත්, ලන්ඩන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොලී අනුපාතිකයට වඩා තවත් සියයට 2ක් එකතු කර පොලී ගෙවීමත් එහි කොන්දේසියයි. මේ දිනවල ජාත්‍යන්තර පොලී අනුපාත තිබෙන්නේ බිංදුවටම වැටී ඉතාම පහළ මට්ටමකය.
එනිසා මෙම ණය මුදලේ පොලිය සාමාන්‍යයෙන් දශම දෙකට තරමක් වැඩි වනු ඇත. එසේ බලද්දී මෙම ණය ගැනීම ඉක්මන්ය. ණය ගැනීමට යන පිරිවැය මෙන්ම පොලිය ද අඩුය. එනිසා මෙසේ ද්විපාර්ශ්වික ණය ගැනීමක වාසියක් ද ඇත. එහෙත් බහුපාර්ශ්වීය ණය ගැනීමකදී සැලකිය යුතු ලෙස සාකච්ඡා කිරීමට මෙන්ම රටේ ආර්ථික තත්ත්වය ගැන තක්සේරු කිරීමට ද සිදුවේ. එසේම මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ගැනීමේදී අදාළ රටේ ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට කොන්දේසි දැමීමක් ද සිදුවේ.
කෙසේ වෙතත් මෙසේ ණය කොන්දේසි දැමීමෙන් අදහස් වන්නේ අදාළ රටට ණය ගෙවීමට ඇති හැකියාව සහතික කිරීම බව අවධාරණකටයුතුය. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය මිනිසුන් බැංකුවකින් ණයක් ගත්තත් කිසියම් කොන්දේසි මාලාවකට එකඟ වීමට සිදුවේ. ගෙවුම් ශේෂ අර්බුදවලදී සිය සාමාජික රටවලට ණය දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අනුගමනය කරන්නේ එවැනි පිළිවෙතකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ණය ගත් සෑම අවස්ථාවකදීම ඉටු කළ යුතු දේවල් සම්බන්ධයෙන් කොන්දේසි පැනවූයේ ඒ නිසාය. එහෙත් බොහෝ අවස්ථාවල වූයේ ලංකාව එම කොන්දේසි අනුව ක්‍රියා නොකිරීමය.
මගේ මතය නම් අප එම කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය නිසා නොව ඒවා අපේ ආර්ථික දියුණුවට හේතු වන නිසාය. සැබැවින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව අදාළ කොන්දේසි තුළ ක්‍රියා කළේ නම් ශ්‍රී ලංකාව මෙවැනි මූල්‍ය අර්බුදයකට තල්ලුවන්නේ නැත. අපේ ආර්ථිකය මීට වඩා හොඳ මට්ටමක පවතිනු ඇත. එහෙත් අප කොන්දේසි නොතකා ක්‍රියා කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසන් වරට දුන් ණය මුදලේ අවසන් වාරිකය පවා නොලැබීමය.
අප නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කළත් බොහෝවිට අපට ණය ලැබීමට ඉඩ ඇත. එහෙත් නිසැකවම කිසියම් කොන්දේසි මාලාවකට එකඟ වීමට අපට සිදුවනු ඇත. එහෙත් එවැනි පිළිවෙතක් අනවශ්‍ය කරදරයක් හැටියට සලකන්නේ නම් අපට චීනයෙන්, බංගලාදේශයෙන් මුදල් ඉල්ලාගත හැකිය. ඇතැම්විට ඒ අනුව අපට ඉදිරියේදී නේපාලයෙන් ද මුදල් ඉල්ලාගත හැකිය.
මන්දයත් නේපාලයේ මූල්‍ය තත්ත්වය ද ලංකාවට වඩා යහපත්ය. එමෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් වුව ඉල්ලාගත හැකිය. ඇෆ්ගනිස්ථානයේ ද විදේශ සංචිතවල තත්ත්වය ලංකාවට වඩා යහපත්ය.
අනාවැකි කීම අපහසු වන්නේ ඉන්දියාව සම්බන්ධයෙනි. කොළඹ වරාය පර්යන්තයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් හටගත් ආරාවුල වැනි සිදුවීම්වලින් හිත නරක් වී තිබීම ඊට ආසන්න හේතුවක් හැටියට දැක්විය හැකිය. එහෙත් එවැනි තත්ත්වයක පවා ඉන්දියාව හා ලංකාව අතර ඩොලර් මිලියන 500ක විනිමය හුවමාරුවක් මීට පෙර සිදුවිය. කෙසේ වෙතත් අප වැටී සිටින තැන අනුව අපට කොන්දේසි නොතකා සල්ලි පමණක් හොයාගැනීමේ ක්‍රමවේදය නම් සල්ලි ඉල්ලාගන්නට අසල්වැසි රටවල් ලෝක සිතියමේ තිබේ.
මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටෙන් පිටට මුදල් යෑම වැළැක්වීමට ආණ්ඩුව විවිධ තීන්දු ගනිමින් සිටී. එහෙත් මා අවධාරණය කරන්නේ මුදල් රටින් පිටට යෑම වැළැක්විය හැක්කක් නොවන බවය. මා යෝජනා කරන්නේ අප කළ යුත්තේ මුදල් උපැයීම බවය. මුදල් වියදම් නොකර මුදල් උපයන්නත් බැරිය. දැන් ප්‍රතිපත්තියක් හැටියට මුදල් මෙරටින් පිටට ගලායෑම වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ ආනයන පාලනය කිරීමෙනි. එහෙත් ආනයන පාලනය බලපාන්නේ අපේ පරිභෝජනයටම පමණක් නොවේ. අපේ ආනයන වියදම්වලින් සියයට 80ක් වෙන් වන්නේ අතරමැදි භාණ්ඩ හා යන්ත්‍රෝපකරණවලටය. එවිට අප ආනයන නතර කළහොත් එය ඍජුව බලපාන්නේ අපේ නිෂ්පාදනයටය. මේ නිසා දැනටමත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටී. ණයවර ලිපි විවෘත කිරීම අධෛර්යමත් කරමින් එම ක්‍රියාවලියට අදාළ විදේශ මුදල්වලට සීමා පනවමින් බැංකුවලින් පවා සහායක් නිෂ්පාදකයන්ට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අනෙක් අතට ඉතිරි සියයට20 තුළ ඇත්තේ පාරිභෝගික භාණ්ඩ යැයි කීවත් ඒ ගැන ද තරමක් ගැඹුරින් සිතිය යුතුය.
නිදසුනකට ෂැම්පු බෝතලයක් ගනිමු. එය තනි පුද්ගලයකු භාවිත කළහොත් පාරිභෝගික භාණ්ඩයක් බව සැබෑය. එහෙත් එය රූපලාවන්‍යාගාරයකදී තනි පුද්ගල පරිභෝජන භාණ්ඩයක් නොවේ. එම සේවාදායකයාගේ ව්‍යාපාරයට නැතිවම බැරි අංගයකි. විදුලි පංකාවක්, ශීතකරණයක්, වායුසමීකරණ යන්ත්‍රයක් වුව එසේ නොවේ ද?
නිවැසියන්ගේ පාවිච්චියට ගනිද්දී පාරිභෝගික භාණ්ඩයක් වුවත් එය ආයතනයක පාවිච්චියට ගනිද්දී සැලකෙන්නේ අතරමැදි භාණ්ඩයක් හැටියටය. එසේ බලද්දී මේ පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණය ද එතරම් පැහැදිලි නැත. අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හැටියට කෙරෙන වර්ගීකරණයේදී ද වැඩ සිදුවන්නේ මේ ආකාරයටමය. එනිසා මේ ආනයන පාලනය සාර්ථක වන දෙයක් නම් නොවේ. ඇතැම්විට විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා යැයි කරන මේ වැඩපිළිවෙළින් අපේ නිෂ්පාදනයටත් සේවා නියුක්තියටත් පහර වැදී මීටත් වඩා නරක තැනකට අප තල්ලු විය හැකිය.
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබාදීම අත්හිටුවීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පසුගිය දා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, එම යෝජනාවට පක්ෂව අතිබහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබීමත් මෙම ආර්ථික පරිසරයෙහි වූ තවත් වැදගත් සිදුවීමකි. විදේශ සංචිත හා විදේශ මුදල් උපැයීම සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවහොත් එය අපට දැරිය හැකි තත්ත්වයක් නොවේ. සහනය නැති පසුබිමකත් අපේ ඇතැම් අපනයනවලට යුරෝපා හවුලේ වෙළෙඳපොළෙහි තරගකාරීව සිටිය හැකි නමුත්, එය බහුතරයක් අපනයනවලට පොදු යැයි මම සිතන්නේ නැත. ජී.එස්.පී. ප්ලස් හිමිවීමට දුප්පත්කම කොන්දේසියකි. දුප්පත්කම ඔවුන් අර්ථකථනය කරන්නේ ලෝකයේ ආර්ථික තලයෙහි කම්පනවලින් නිරන්තරයෙන් පීඩාවට පත්වන යන අරුතිනි. ඉතින් ලංකාව යනු සැබැවින්ම ලංකාවේ තත්ත්වය කුමක් ද? ඇමෙරිකාවේ කුමක් වුවත් අප පීඩාවට පත්වේ. යුරෝපයේ වුවත් එසේය. තෙල් මිල ඉහළ ගියත් අප පීඩාවට පත්වේ. වසංගතයක් ආවත් එසේය.
මේ ආකාරයට බලද්දී ජගත් කම්පන හමුවේ ලංකාව යනු නිතරම පීඩා විඳින රාජ්‍යයකි. අනෙක් අතට යුරෝපාකරයට අප කරන අපනයන අපට ලොකු දෙයක් වුවත් ඔවුන්ගේ ආනයන පංගුවට සාපේක්ෂව එය සොච්චමකි. අපට ජී.එස්.පී. ප්ලස් ලැබෙන්නේ ද මේ තත්ත්වය නිසාය.
අනෙක් අතට ඇතැම් රටවල් යුරෝපා හවුල සමග වෙළෙඳ ගිවිසුම්වලට අවතීර්ණ වී ඇත. ඇත්තෙන්ම එසේ ගිවිසුම්ගත වීමට ඒවා පොහොසත් රටවල් විය යුතුම නැත. නිදසුනකට මියන්මාරය දැක්විය හැකිය. එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත් වෙද්දී සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගිවිසුම් ඇති කරගැනීමට පරිසරය සැකැසීමට හැකි තරම් උත්සාහ කළේය. එහෙත් අප කළේ එම අවස්ථා මගහැරීමය.
එනිසා ජී.එස්.පී. ප්ලස් අපට වැඩියෙන් වැදගත්ය. අනෙක් අතට මෙහි උත්ප්‍රාසජනක කරුණක් ද තිබේ. එනම්, අප ඔවුන්ගේ වෙළෙඳපොළෙන් අපේ අපනයනවලට අවස්ථාවක් ඉල්ලන්නේ අපේ ආනයන නතර කළ පසුබිමක වීමය. තවත් සරලව කිවහොත් අප අපේ බඩු ඔවුන්ට විකුණන්නට සැරසෙන්නේ ඔවුන්ගේ බඩු මෙරටට එන්නට ඇති දොරවල් වසා දමලාය. මෙය මහා විහිළුවකි.
රට අර්බුදයකට ගියේ නොදැන නොවේ. මෙය වසර දහයක් පහළොවක් පමණ තිස්සේ ගිය ගමනකි. මෙය කොරෝනා නිසා නිර්මාණය වූ තත්ත්වයක් යැයි කවරෙකු හෝ කියන්නේ නම් එය මුළුමනින්ම වැරැදිය.
කොරෝනා ප්‍රශ්නය ලංකාවට පමණක් නොව ඉන්දියාවටත්, බංගලාදේශයටත්, නේපාලයටත් බලපෑවේය. එහෙත් ඒ රටවල් ලංකාව තරම් දුර්වල මට්ටමට වැටුණේ නැත. අපට තිබෙන්නේ කාලයක් තිස්සේ දැනුවත්ව ප්‍රපාතයක් කරා ගිය ගමනකි. මේ ආර්ථික ව්‍යසනය ගැන වූ අපේම සාහිත්‍යය හාරා අවුස්සද්දී මා විසින්ම සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන ලද ලිපියක් හමුවිය. 'Heading to a foreign exchange crisis’ හෙවත් විදේශ විනිමය අර්බුදයක් කරා යන හිසින් එය පළ වී තිබුණේ 2008 වසරේදීය. එසේ බැලුවහොත් අප මේ කතාව කියන්නේ දැන් වසර දහතුනක් පමණ තිස්සේය. ඇත්තටම අප සිටින්නේ දැන් ගමනක කෙළවරය. පෙනෙන්නට ඇති ලකුණු අනුව නම් ඉදිරියේදී සිදුවිය හැක්කේ මේ තත්ත්වය උග්‍ර වීම පමණි.
ඒ අනුව අප දැනටමත් වැටී ඇති ප්‍රපාතයේ දිග පළල අනුව එයින් ගොඩ එන්නට නම් සැලැස්මක් මෙන්ම ලොකු කැපකිරීමක් ද අවශ්‍යය.
එහෙත් ඒ කැප කිරීම අවශ්‍ය වන්නේ ජනතාවගෙන් පමණක් නොවේ. පාලකයන් ද කැපකිරීම්වලට සූදානම් විය යුතුය. එහිදී අපට මහා විශාල රාජ්‍ය ආයතන නිරපරාදේ නඩත්තු කිරීම මෙන්ම අයවැය ප්‍රශ්නය විසඳා ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. එසේම තම තමන්ගේ ඕනෑ එපාකම් අනුව හැම කෙනාම ආර්ථික ප්‍රතිපත්ති සකසන පිළිවෙතින් මිදීමට සිදුවනු ඇත. එවැනි ප්‍රතිපත්තියකදී බල පරාක්‍රමය විහිදුවාගෙන සිටින ඇතැම් වෘත්තීය ක්‍ෂේත්‍රවලට ඇඟ රිදිය හැකිය. එහෙත් මේ සියල්ල අපේම ඊළඟ දරු පරම්පරාව වෙනුවෙන් බව පාලකයන් මෙන්ම ජනයා ද තේරුම්ගත යුතුය. අඩුම තරමින් ඔවුන්ට හෝ යහපත් ජීවිතයක් අත්පත් කරදීමට අප දැන්වත් සිතිය යුතුව තිබේ. එහිදී සැලසුම් පමණක් සකස් කළ පමණින් පලක් නොවේ. දේශපාලන පක්ෂ භේදයකින් තොරව නායකයන් හා මහජනයා එක්ව එම කැප කිරීම කළ යුතුව ද තිබේ.
(***සංවාද සටහන- බිඟුන් මේනක ගමගේ)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයේ තිත්ත ඇත්ත
Rakitha Monday, 21 June 2021 03:05 PM
2015 සිට සංචිත කඩා වැටීම මේ අර්බුදයට හේතුවයි..
දොලේවත්තTuesday, 22 June 2021 03:50 PM
"රට අර්බුදයකට ගියේ නොදැන නොවේ. මෙය වසර 10 ක් 15ක් පමණ තිස්සේ ගිය ගමනකි. මෙය කොරෝනා නිසා නිර්මාණය වූ තත්ත්වයක් යැයි කවරෙකු හෝ කියන්නේ නම් එය මුළුමනින්ම වැරැදියි." ඉහතින් මා දක්වන්නේ මෙම ලිපියේ අඩංගු අදහසකි. එම අදහසට පටහැනිව ඔබ උත්සාහ දරන්නේ ඔබේ වහල්කමට අනුකූලව 2015ට පෙර තිබූ රජයට සුදු හුණු ගෑමට ඔබ වැනි පුද්ගලයින් සිටින තාක්කල් මේ රට දියුණු නොවේ...
VINIVIDAWednesday, 23 June 2021 06:17 AM
නිදහසින් පසුව ලංකාව, අප උපන් රට අර්බුද ගණනාවක් මැදින් ගමන් ගත් රටකි. ලංකාවේ දකුණ මූලිකව කැරලි දෙකක් මතුවිය. උතුරු නැගෙනහිර දේශපාලන බලය සහ ජාතිවාදය මුල්කොට ගෙන මතුවූ යුද්දය අවසන්වුයේ 2009 වසරේය. මේ සෑම අර්බුදයකින්ම අවසාන වුයේ දහස් ගණනකගේ ජිවිත නැති කරමින්ය. රටට නැතිවුයේ ලංකාවේ උපන් පුරවැසියන්ය. 2004 වසරේ සුනාමිය, 2009 යුද්ධය අවසානය වුවත් රටට දියුණුවක් නැත. . 70 - 77 අතර කාලයට වඩා දරුණු තත්වයක් මතුවනු ඇත. 70 -77 අතර කාලයේ ලංකාව ලෝකයට විවෘත නොවූ රටකි. එම යුගයේ දුරකථන, අන්තර්ජාල, විදුලිය, දුරකථන සහ වෙනත් පහසුකම් නැත. එදා ලෝකය තුල සිදුවනදේ අප දැනගනු ලැබුයේ ලංකාවේ ගුවන් විදුලි සංස්ථවේ ප්‍රවෘත්ති මගිනි. නොඑසේනම් බීබීසී ලෝක පුවත් මගීනි. 77න් පසුව විවෘත ආර්ථිකය සමග ලංකාව ලෝකයට එක්විය. එදා ලෝකය විශාල වුවත් වර්තමාන ලෝකය තාක්ෂණය මගින් අප සෑමදෙනාම සම්බන්ද කර ඇත. එම සම්බන්ධය කිසිදා වෙනස් කළ නොහැකි සම්බන්ධතාවකි. මේ සියල්ල තිබියදීත් ලංකාවට සිදුවුයේ කුමක්ද? ආර්ථික වශයෙන් මේ වනවිට පෙර නොවූ විරූ තත්වයකට රට කඩාවැටී ඇත. දේශපාලන වශයෙන් එකිනෙකට දෝෂාරෝපණය කිරීම අවසන් කළ යුතු කාලය පැමිණ ඇත...
bandara Monday, 21 June 2021 06:48 PM
1948 සිට රට පාලනය කල සියලුම පාලකයින් මේ පරිහානියට වගකිවයුතුව ඇත. ඔවුන් කලේ රට හැදීමට වඩා තැනගේ ඡන්ද පදනම හදාගැනීම සහ හොරකමයි. අසීමිතව සහනාධාර දීම තුළින් රටේ සංවර්ධනයට මුදල් නැතිවුණා. ගම්උදාව වැනි වැඩ සඳහා දරාගත නොහැකි වියදම් කළා. දියුණු කල රටවල් අවශ්‍ය පොදු යටිතල පහසුකම් දියුණු කළා. සහනාධාර අවම කර රැකියා අවස්ථා ලබා දුන්න. ඒ රටවල් වල ජාතික නිෂ්පාදනය වැඩි කළා. දැන් ලංකාව දුප්පතුන්ගේත් දුප්පත් රටක්.
ajithMonday, 21 June 2021 09:02 PM
පාලකයින් පමණක් නොව, මේ කාලය තුල යුද්ධ සහ කැරලි හරහා රටේ මහජන දේපළ සහ මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ කල කණ්ඩායමුත් මීට වගකිව යුතුයි.
VINIVIDA Wednesday, 23 June 2021 06:19 AM
සිදුවූ සියල්ල නැවත නැවත ආවර්ජනය කිරීමෙන් හෝ එකිනෙකට දිශාරෝපණය කිරීමෙන් රටට කිසිදු අනාගතයක් නොමැත. මේ සඳහා සියලු දේශපාලන පක්ෂ පමණක් නොව සියලු ජාතීන්ද, ආගමික නායකයන්ද ඔවුන්ගේ කැප කිරීම කල යුතුවේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා එක්වීම මේ අවස්ථවේ කලයුතුම වේ. එසේ නොවන්නට ලෝකයේ කිසිදු රටක් අපට සහයෝගය දක්වන්නේ නැත. පළමුව අප රටක් වශයෙන් එක්සත් බව ලෝකයට පෙන්විය යුතුය. එම එක්සත් බව පරතකමි අවියාජ, විස්වාසය සහ අවංකත්ව මතම ගොඩ නැගිය යුතුවේ. ඒ සදහා නායකත්වය දීමට කිසිවකු ඉදිරියේදී ඉදිරිපත්වනු ඇත. ඒ සඳහා ඕනෑතරම් නායකයන් ලංකාවේ සිටියි. ශ්‍රී ලාංකිකයින්ට හෙට දවසක් ලබා දිය යුතුවේ. එය ඉබේ ලැබෙන්නේ නැත. එය අප ලබා ගත යුතුව ඇත. ඒ සඳහා අවංකව කැපවිය යුතුවේ.
VINIVIDA Wednesday, 23 June 2021 06:20 AM
මේවනවිට කොරෝනා නිසා කඩාවැටුණු පසුබෑමට ලක්වූ ගෝලීය ආර්ථිකය නව මුහුණුවරකින් පැමිණෙමින් තිබේ. ලෝකයේ බොහෝ රටවල් තුල මේවන විට ආර්ථික තරග කාරිත්වයක් අරඹ විඇත. කොරෝනා නිසා ලෝකය වෙනස් විය. වෙනස් ආකාරයේ ආර්ථික මොඩල මේ වනවිට හඳුන්වා දෙමින් තිබේ. ලෝකයේ දියුණුම රටවල් ආසියානු කලාපය සමග වෙළෙඳ ගනුදෙනු කිරීම සඳහා ඒෂියා පැසිෆික් සමග සම්බන්ද වෙමින් තිබේ. මෙය ඉතා සීඝ්‍රයෙන් පුළුල් වෙමින් තිබේ. ලංකාව ගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නා වූ සුවිශේෂී පිහිටීම මත ඉතාම ඉකමනින් රට දියුණු කිරීමට හැකියාව පවතී. එ් සඳහා අවශ්‍ය වන්නේ ජාතින් අතර එක්සත් බව සහ රට තුල දේශපාලන ස්ථිරසාර බවකි. අවංකත්වය, විස්වාසය, ඉවසීම සහ කැපවීම රටට අවශ්‍යම මොහොතකි.
Bernard Perera Thursday, 24 June 2021 03:27 PM
ඉතාම හොඳ ලිපියක්... පළකළාට ස්තුතියි...!!!