IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අර්බුදයේ නොදුටු පැත්තක්

අද මුළු රටේම දක්නට ඇත්තේ අස්ථාවර ස්වභාවයකි. ප්‍රධාන වශයෙන් ආර්ථිකය අතිභයානක තත්ත්වයක් දක්වා පිරිහී තිබේ. ඒ ඔස්සේ ගොඩනැගුණු සමාජ පීඩනය මේ වන විට පුපුරා යමින් ඇත්තේ රට පුරා පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ඔස්සේය.. මේ කාරණාවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ විදේශ ණය ගැනීම්ය. මේ රට යම් දියුණුවක් ලබා තිබුණි. එතැන් සිට අලුතෙන් සංවර්ධනය වන රටක් දක්වා ගමනක් ගියේය. මෙම ගමනේදී ආර්ථිකයේ ලොකු වෙනසක් ඇති විය. සංවර්ධනය වන රටක්ව පැවැති සමයේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් රටවලින් විශේෂ සහන ලංකාවට ලැබී තිබුණි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ලංකාවට ණය ලබා දුන්නේ පහසු ක්‍රමවේද යටතේය. අඩු පොලියකට ආපසු ගෙවීමට දිගු කාලයක් ලබා දී තිබුණි. එහෙත් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ලංකාව පත්වීමත් සමග සහන ණය සියල්ල අහිමිව ගියේය. ආර්ථික අර්බුදයට මග පෑදෙන එක් කාරණයක් වූයේ එයයි.

ජාත්‍යන්තර ණය, ආධාර ලබන යම් ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳ හොඳ අධීක්ෂණයකින්, විපරමකින් ඔවුහු පසුවෙති. ඇගයීම් කරති. කෙසේ වුවත් මේ පහසු වටපිටාව අහිමි වීමත් සමග මුහුණ පෑමට සිදු වූයේ අලුත් තත්ත්වයකටය. නව කාර්මීකරණ රටක් බවට පත්වීමට පෙර සහනදායි වටපිටාවක් යටතේ අපේ නිෂ්පාදන ඇමෙරිකාව ඇතුළු රටවලට අපනයනය කිරීමට හැකියාව තිබුණි. එහෙත් නව තත්ත්වය යටතේ ඒ සහන අහිමිව ගියේය. මේවායෙන් සිදු වූයේ අපේ නිෂ්පාදන වියදම නැති නම් අලෙවි කරන මිල ගණන් ඉහළ යාමය. මෙරට තිබූ ඇඟලුම් කම්හල් බංගලාදේශය, කාම්බෝජය, වියට්නාමය ආදී රටවලට ගෙන ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේවායෙන් සිදු වූයේ රටට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වීමය.

මෙවන් පසුබිමක අපේ ආදායමට වඩා වියදම ඉහළ ගියේය. අය වැය පරතරය ද පුළුල් විය. මෙය රටට මුහුණ දීමට සිදුව තිබෙන බරපතළ අභියෝගයකි. මේ පරතරය මගහරවා ගැනීමට සිදුවන්නේ දේශීයව හෝ විදේශීයව හෝ ණය ගැනීමෙනි. දිගින් දිගටම සිදුව ඇත්තේ මෙම ක්‍රියාවලියයි. රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමග සහන ණය ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට නොහැකි නිසා ණය ගැනීමේ අලුත් ක්‍රමවේදයකට ගියේය. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණය ගැනීම එම ක්‍රමයයි. මේ ණය වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවිය යුතුය. ඒ වගේම මේ ණය ගැනීමේදී ණය ගන්නේ කුමක් සඳහා ද ණය ආපසු ගෙවිය හැකි ද යන කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමක් සිදු වූයේ නැත. මේ නිසා සිදු වූයේ ඉල්ලන පමණට ණය දීමත්, දෙන පමණට ණය ගැනීමත්ය. අය වැය පරතරය අඩු කරගැනීමට සහ විවිධ ව්‍යාපෘතිවලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමට මෙම ක්‍රමයෙන් ණය ගැනීම පහසු විය. රටේ ණය බර වේගයෙන් ඉහළ යාමට මේ සාධකය හේතු වූ බව පැහැදිලිව හඳුනාගන්නට පුළුවන. අද දවසේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මූල සාධකයක් හැටියට මෙම තත්ත්වය හඳුනා ගැනීමේ වරදක් නැත.

ලංකාවේ ආර්ථිකය සංවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග මුල් කාලයේ කළ සාකච්ඡාවලදී ඔවුන් පෙන්වා දුන්නේ, රටේ ආදායම් වැඩි කරගත යුතු බවය. ඒ අනුව ආදායම් බදු ඉහළ නංවා රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට පියවර ගත්තේය. 2015ත් 2019ත් අතර කාලයේ ගත් පියවර එයට උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය. එහෙත් පිරිවැය නැති නම් වියදම් අඩු කරගැනීමක් දක්නට ලැබුණේ නැත. එසේ වුවත් අය වැය පරතරය ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබුණි. අපේ ආර්ථිකය විධිමත්ව සකසාගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන්ම කියන කතාවකි. එයට ඇත්තේ ක්‍රම දෙකකි. ආදායම වැඩි කරගැනීම ඉන් පළමුවැන්නය. පිරිවැය කපා හැරීම දෙවැන්නය. පෙර පාලන කාලයේදී මෙම ක්‍රමවේදයට අනුගතව කටයුතු සිදු වුව ද වත්මන් පාලනය බලයට පැමිණීමත් සමග එයින් ඈත්වීමක් දක්නට ලැබුණි. බදු සහන ලබාදීමක් අවශ්‍ය බව කියමින් බදු කපාහැරීමේ ප්‍රතිපත්තියක් ඔවුහු අනුගමනය කළහ. වැට් බදු ප්‍රතිශතය සියයට 8 දක්වා අඩු කිරීම එයට එක් උදාහරණයකි. මේ නිසා රුපියල් මිලියන 500ත් 600ත් අතර ගණනක් රාජ්‍ය ආදායමට අහිමිව ගියේය. රට මුහුණ දෙන මූල්‍ය අර්බුදය උග්‍ර කිරීමට මේ තත්ත්වය බලපෑවේය.

ඒ වගේම එදා මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවලදී ඉන්ධන, ගෑස් යනාදියට මිල සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි බර තැබීය. එය එලෙස ක්‍රියාත්මක කෙරුණි. එයින් සිදු වූයේ පිරිවැය පියවීමට සරිලන මිලක් නියම කිරීමය. යම් භාණ්ඩයක් අලෙවියේදී අලාභ ලබන තත්ත්වයක් හෝ සහනාධාර දීමට සිදු නොවන තත්ත්වයක් නිර්මාණය කරගැනීම මෙහි අරමුණ විය. මිල සූත්‍රය මාසයකට වරක් ක්‍රියාත්මක වූ නිසා මිල ඉහළ යාම සිදු වූයේ සුළු ප්‍රතිශතයකිනි. ඇතැම් විට මිල අඩු වීම ද සිදු වුණි. මේ නිසා ජනතාවට අද මෙන් දැඩි මිල පීඩනයකට මුහුණ දීමට සිදු වූයේ නැත. එහෙත් වත්මන් පාලනයට බලයට පත්වී මිල සූත්‍රය ද අහෝසි කළේය. අද එහි ප්‍රතිවිපාක විඳීමට සියල්ලන්ටම සිදුව තිබේ. මිල ස්ථායිකරණ අරමුදලක් සම්බන්ධයෙන් කතා කළ ද ඒවායේ ප්‍රායෝගිකත්වයක් මේතාක් අත්දකින්නට නැත. එනිසා ජනතාවට මෙන්ම අය වැයට ද සෑහෙන බරක් දරන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ගිය වසරේ අය වැය දෙස බලන විට වැඩිම කොටසක් වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. රාජ්‍ය ආදායම යන්නේ කොතැනට දැයි ඒ අනුව සිතාගත හැකිය. ඒ වගේම අනෙකුත් රාජ්‍ය වියදම් ද සෑහෙන පමණ ඉහළ යාමක් දැකගත හැකිය. එයට සාපේක්ෂව ආදායම් වර්ධනය වීමක් සිදුව නැත. ඒ නිසා අය වැය පරතරය තවත් පුළුල් වීමක් සිදුව තිබේ. තව තවත් ණය ගැනීමට යොමු වීමක් ද මේ නිසා සිදු වුණි. 2020න් පසුව ණය ගෙවීම ඉතා ඉහළ මට්ටමකට පත්වන බව මූල්‍ය අරමුදල එදා පෙන්වා දී තිබුණි. එහෙත් ඒවා සැලකිල්ලට ගෙන නිසි සැලසුමක් අනුව කටයුතු කිරීමක් සිදුව නැත. අද මේ තත්ත්වයට වැටී තිබෙන්නේ නිසි සැලැස්මක් අනුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මූල්‍ය සමාගම් කඩා වැටීම පෙර කලකදී සිදු විය. එම තත්ත්වය ඇමෙරිකාවේදී හඳුන්වා දෙනු ලැබුවේ ‘පොන්සි’ ක්‍රමය යනුවෙනි. එසේ හැඳින්වූයේ පොන්සි නම් පුද්ගලයා ලබාගන්නා තැන්පතුවලට ඉහළ පොලියක් ගෙවීම හේතුවෙනි. එවැනි ඉහළ පොලියක් ගෙව්වේ ද තැන්පතු ලබාගැනීම හරහාය. එහෙත් අවසානයේ සියල්ල කඩා වැටුණේය. මේ රටේ ද ඇති වී තිබෙන්නේ එවන් තත්ත්වයකි. ණය ගෙවීමට තවත් ණය ගැනීමක් මේ රටේ සිදුවෙමින් තිබේ. මෙහි අවසානය කඩා වැටීමය.

විදේශ සංචිත අර්බුදය රට ඉතාම නරක තැනකට ගෙන ගොස් තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එනිසා නිසි සැලැස්මක් ඇතිව මේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත.

තවමත් රට තුළ භාණ්ඩ පෝලිම්ය. මෙසේ වී ඇත්තේ එම භාණ්ඩ වෙළෙඳපොළේ හිඟ වීම නිසාය. මේ නිසා නිසි පාලනයකින් මේ තත්ත්වය සමනය කරගත යුතුය. මිල ගණන් ඉහළ නැංවීම ඒ සඳහා යොදාගත හැකි ක්‍රමයකි. දැනට ඒ සඳහා යොමුව තිබේ. ආනයනය කෙරෙන ඉන්ධන, ගෑස් ආදියෙහි මිල ගණන් ඉහළ නැංවීම එයට උදාහරණයකි. මේ බර දරාගැනීමට සිදු වන්නේ ජනතාවටය. මෙය චක්‍රයක ආකාරයෙන් පවතිනු ඇත. එහෙත් අත්‍යවශ්‍ය දේට පමණක් මේ සම්පත් යොදවන්නේ නම් යම් පාලනයක් කරගත හැකිය. ඉන්ධන භාවිතයේදී රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා ප්‍රමුඛත්වය දීමක් මෙහිදී කළ හැකිය. සිංගප්පූරුවේ නම් නගරයට ඇතුළු වීමේදී මෝටර් රථයක හතර දෙනෙක්වත් සිටිය යුතුය. ඒ වගේම දියුණු පොදු ප්‍රවාහන පද්ධතියක් එරට තිබේ. මේවා හරහා පෞද්ගලික වාහන පාවිච්චිය අඩු කර තිබේ. මෙවන් ක්‍රම භාවිතයෙන් පිරිවැය අඩු කරගැනීමක් ඉතා පැහැදිලිව සිදුවනු ඇත. සැලැස්මක් ඇතිව මේ ආකාරයට කටයුතු කරන්නේ මේ රටට අවශ්‍ය ධනය සම්පාදනය කරගැනීම අභියෝගයක් ද?

අනවශ්‍ය ආකාරයට කෙරෙන වියදම් සම්බන්ධයෙන් වැඩි කතාබහක් නැත. බොහෝ වියදම් ගෙනහැර දක්වන්නේ සහන දීමක් වශයෙන් හෝ වෙනත් අත්‍යවශ්‍ය වියදමක් වශයෙන් හෝ විය හැකිය. සමාජීය පිරිවැය වශයෙන් මේවා ගෙනහැර දක්වන්නේ ඒ නිසාය. එහෙත් මේ සමාජීය පිරිවැය ඇතුළු සියලු බර අවසාන වශයෙන් පැටවෙන්නේ ජනතාව පිටය. ඉහළ යන මිලට ගෙවන්නෝ ජනතාවය. මෙලෙස වියදම් ඉහළ ගිය ද ආදායම් එලෙස වැඩි වන්නේ නැත. මේ නිසා වියදම් හැකි තරම් අඩු කරගැනීමට අලුත් ක්‍රම සෙවීමට අපට සිදුවනු ඇත. පලදායිතාව වැඩි කරගැනීම එවැනි එක් ක්‍රමයකි. කොරෝනාවත් සමග තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමට යොමු වීමක් පසුගිය කාලයේ සිදු වුණි. ඩිජිටල් ක්‍රමයට අනුගත වීමෙන් පිරිවැය අඩු කර පලදායිතාව ඉහළ නංවා ගැනීමට පුළුවන. ඒ වගේම අමතර ආදායම් උපයා ගැනීමට ද ඒ හරහා රජයට අවස්ථාව උදාවනු ඇත. මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන වියදම් කරනවා වෙනුවට ඒ ඒ දෙපාර්තමේන්තු, සංස්ථා යනාදිය යම් ආදායම් උත්පාදන ක්‍රමවලට යොමු වීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. වියදම් සියයට විසිපහකින්වත් කපාහැරීම අත්‍යවශ්‍ය සාධකයකි. එසේ කපාහැරෙන මුදල් සොයා ගැනීමට එම ආයතන සැලසුම් සකස් කළ යුතුය. රාජ්‍ය ආයතන මේ තත්ත්වයට යොමු කිරීම හරහා රටට විශාල මුදලක් ඉතිරි කරගැනීමට මග සෑදෙනු ඇත.

දැනට තිබෙන තත්ත්වය අනුව ඉදිරි කාලයේදී ණය ගැනීම බෙහෙවින්ම අසීරු වනු ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මාර්ගයෙන් ණය ගැනීම අතිශය දුෂ්කර බව පැහැදිලිය. ණය ගෙවීම පැහැර හැරීමත් සමග ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව බංකොලොත් රටක් වශයෙන් වර්ගීකරණය කරනු ලැබ ඇත. ඉතා භයානක තත්ත්වයකට රට ඇදවැටී ඇති බව එයින්ම පැහැදිලිය. මේ තැනට රට වැටී ඇත්තේ ආදායම අඩු වීම සහ එයට ගැළපෙන ආකාරයට පිරිවැය සකස් කර නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ලක්ෂ අටක්ව තිබූ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 15ක් දක්වා වැඩි වී තිබේ. වියදම් වැඩි වී ඇත්තේ කුමන මට්ටමකින්දැයි මෙයින්ම සිතාගත හැකිය. මේ වියදම් වැඩි වීමට සාපේක්ෂව ඒ අයගෙන් විශේෂිත සේවාවක් ලැබී තිබේ නම් ප්‍රශ්නයක් නැත. නැති නම් පලදායිතාව ඉහළ ගොස් තිබේ නම් ගැටලුවක් නැත. එහෙත් එසේ නොවන තැනක සිදුවන්නේ සමාජීය පිරිවැය ඉහළ ගොස් බරපතළ අර්බුද නිර්මාණය වීමය. අද එවන් අර්බුද ඕජස් ගලන තත්ත්වයට පත්ව තිබේ. නිසි පාලනයක් නොතිබීම මෙයට හේතුවය.

රාජ්‍ය සම්පත් තිබූ පමණින් ඒවා නාස්ති කිරීමට කාටවත් අයිතියක් නැත. එක් එක් අයට විවිධ සහන වරප්‍රසාද නොදෙන බවත්, සියල්ල එකතු කර සැලකිය යුතු වැටුපක් ගෙවන බවත් ලී ක්වාන් යූ ප්‍රකාශ කළේය. ඒ අනුව වැටුප්, වෙනත් දීමනා, යානවාහන, දුරකතන, ආරක්ෂකයන් ලබාදීමක් සිදු වූයේ නැත. රට හැදීමේදී ලී ක්වාන් යූ අනුගමනය කළේ එවැනි පියවරකි. තමන් සතු දෙයක් නම් එය පරිහරණයේදී අරපිරිමැස්මට යොමුවනු ඇත. එහෙත් රාජ්‍ය සම්පත් පරිහරණයේදී ඒවා තමන්ගේ නොවන බව සිතා පරෙස්සමකින් හෝ අරපිරිමැස්මෙන් හෝ තොරව පරිහරණයට බොහෝ දෙනා යොමු වෙති. එසේ වන්නේ පිරිවැය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වන නිසාය. එහෙත් පිරිවැය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් අනුගමනය කළොත් නාස්තිය, දූෂණය යනාදී සෑම දෙයක්ම පාලනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ වගේම පලදායිතාව, කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට ද එමගින් ලැබෙන්නේ ශක්තියකි. අද මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට නම් මෙවන් අංශ කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

කාර්මික ලෝකයේ හතරවැනි විප්ලවයට යා යුතු බව බොහෝ දෙනාගේ අදහසය. ඒ තාක්ෂණික අධ්‍යාපනය දීමට මෙරට තිබෙන ආයතන ද ප්‍රමාණවත් නැත. ඉන්දියාවේ නවදිල්ලි, බැංගලෝරය යනාදී ප්‍රදේශ දියුණු වී ඇත්තේ තාක්ෂණය හේතුවෙනි. ආයෝජන ගලා ආවේ තාක්ෂණය නිසාය. මේවා අවධානයට නොගෙන දියුණු විය නොහැක. අද තිබෙන තත්ත්වය අනුව වියදම් අඩු කරගැනීමට, රජයේ අපහසුතා පිරිමසා ගැනීමට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව මොඩලයට යා යුතුය. ඒ ඔස්සේ ලාභය, කාර්යක්ෂමතාව, මහජන සේවාව යනාදී සියල්ල තුලිතව කරගෙන යාමට පුළුවන. එනිසා තවදුරටත් අතපත නොගා කළ යුත්තේ කුමක්දැයි නිවැරැදිව වටහාගෙන අවශ්‍ය පියවර ගැනීමට යොමු විය යුතුය.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

අර්බුදයේ නොදුටු පැත්තක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2656 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11924 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 538 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 919 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 987 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site